Friday, September 18, 2015

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි ගිරිහඬු සෑය

 ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි ගිරිහඬු සෑය ශාසනික වැදගත්කමකින් යුතු පුදබිමකි. 

ත්‍රස්තවාදී ගැටුම් හෙයින් දශක කිහිපයක් ජන අවධානයෙන් ගිලිහුණු මෙම පින්බිම අද යළිත් බොදුනුවන්ගේ අවධානයට ලක්වෙමින් තිබේ. ගිරිහඬු සෑය වැදගත් වන්නේ එය බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු සත් සතිය ගතකරන අතර ලබාගත් කේශ ධාතූන් තැන්පත් කර ඇති ස්ථානය වීමයි.එය මෙරට ඇති පළමු වටදාගෙය වශයෙන්ද සැලකෙයි. සම්බුද්ධත්වයට පත් බුදුරජාණන් වහන්සේ සත් සතිය අවසානයේ පනස්වැනි දිනයේදී එම වනයට අරක්ගත් දේවතාවියකගේ වචනය පරිදි පැමිණි තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් විලඳ හා මීපැණි ප්‍රථම දානය ලෙස පිළිගන්වන ලද බව පූජාවලියේ සඳහන්ය. දානය පිළිගැනීමෙන් චිත්ත ප්‍රබෝධයට පත් මෙම වෙළෙඳ දෙබෑයෝ වැඳුම් පිදුම් සඳහා යමක් ඉල්ලා සිටි අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ හිස පිරිමැද කේශ ධාතූන් වහන්සේලා ලබාදුන් බවද පූජාවලියේ වැඩිදුරටත් සඳහන්ය.
බුදුරජාණන් වහන්සේ ජීවමාන අවස්ථාවේදීම පුද සත්කාර ලබන්නට කේශ ධාතූන් වහන්සේ රැගෙන වෙළෙඳ දෙබෑයන් දඹදිව උත්තලා නගරයේ සිට ලංකාවට පැමිණ ඇත. ඔවුහු ගොඩ බැස ඇත්තේ ත්‍රිකුණාමලයටය. කුච්චවේලිය, කට්ටුකුලම් ප්‍රදේශයේ ගල් වරායෙන් ගොඩබිම සමීපයට පැමිණ යාංඔය ඔස්සේ ගිරිකණ්ඩ පර්වතයට ඔවුහු ළඟාවී තිබේ. එහි පිහිටි සුරක්ෂිත තැනක බුදුරජාණන් වහන්සේ කේශ ධාතූන් තැන්පත් කර සිය ආහාර ගෙන ඇති අතර ගිමන් හැර පිටත්ව යන්නට සූදානම් වන අවස්ථාවේදී මෙම කේශ ධාතු සහිත පැස එතැනින් ඉවත් කරගත නොහැකි වූ බවත්, එහිම එය නිදන් කොට ගිරිහඬු සෑය ඉදි කළ බවත් ඉතිහාසය ගැන දක්වන මහාචාර්ය එච්.ටී. බස්නායක මහතාගේ 'ගිරිහඬු මහ වෙහෙර පින් බිම තිරියාය' කෘතියෙහි සඳහන් වෙයි. පසු කාලයක මෙම ෙශෙලමය පර්වතයේ කටාරම් කොටා බ්‍රාහ්මී ලිපි පිහිටුවා මහ සඟරුවනට පූජා කිරීමෙන් මෙම පුදබිමේ දෙවැනි අදියර ඇරඹී ඇති බවත්, අටවැනි සියවස වන විට වටදාගෙය ඉදිකර ඇති බවත් පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමිපාණෝ සිය කෘතිවල සඳහන් කරති.
මහනුවර යුගයේදී රචිත නම් ‍පොත නමැති විහාරස්ථාන නාමාවලිය මෙකී පුදබිම නිතුපත්පාන යනුවෙන් හඳුන්වා ඇත. නිතිපතා දැල්වුණු පහනක් තිබෙන ස්ථානය පසුව නිතුපත්පාන යනුවෙන් බිඳී ව්‍යවහාරයට ආ බව සැලකෙයි.
කාලයක් මහා වනාන්තරයෙන් යටවී තිබුණු මෙම ඓතිහාසික ස්ථානය 1929 වසරේදී හමුවූ ලියවිල්ලක් අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එහි ඉතිහාසය ගවේෂණය කර තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් නිදන් කොට ඉදි කළ ගිරිහඬු සෑය මෙය බව රජයේ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරයි. 1951 වසරේදී මෙම තොරතුරු දැන ගැනීමෙන් අනතුරුව එවකට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ඩී.එස්. සේනානායක මැතිතුමා පුරාවිද්‍යා අධිකාරී සෙනරත් පරණවිතාන සූරීන් ලවා තිරියායේ පුරාවිද්‍යා කඳවුරක් ඇති කර මෙම වැදගත් සිද්ධස්ථානය ප්‍රතිසංස්කරණය කර ඇත.වටදාගෙය හෙළිපෙහෙළි කර මතුකරගෙන තිබේ.
මෙම පුදබිම ත්‍රස්තවාදී ගැටුම් නිසා 1985න් පසුව හානි වී ජනශූන්‍ය වූ අතර විහාරස්ථානයේ වැඩ විසූ සංඝරත්නයද ස්වකීය දිවි ගලවාගෙන ඇත්තේ සැඟවී ජීවත් වීමෙන්ය. 2005 වසරින් පසු ගැටුම් තවත් උත්සන්න වූ හෙයින් ගිරිහඬු සෑය විහාරස්ථානය හා අවට හිස් වී හුදකලා වී ඇත.බැතිමතුන්ට එහි ළඟාවිය නොහැකි වී තිබූ අතර පසුව නාවික හමුදාව විසින් මෙම භූමිය යළි අත්පත් කරගෙන තිබේ.

යුද්ධය නිසා වැසී තිබුණු ගිරිහඬු සෑ පුදබිම යළි බොදු දනන් හට විවෘතය. ගැටුම් අවසන් වීමත් සමග දැන් නැවතත් තිරියාය ප්‍රදේශයට වන්දනාවේ යන බොදුනු දනන්ගේ වන්දනාවට ගිරිහඬු සෑයද එකතු වී තිබේ. උරුමයක උල්පත පදනම මැදිහත්ව මහා සංඝරත්නය සහ පරිත්‍යාගශීලීන් සම්බන්ධ කරගෙන ගිරිහඬු සෑය භාර අරමුදලක් සම්පාදනය කළේය. මෙම අරමුදල ප්‍රදේශයට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් විශ්‍රාම ශාලාවක් ඇති කර වන්දනාකරුවන්ට නවාතැන් සහ ආහාරපාන සකස් කරගැනීමේ අවශ්‍යතා සපුරන්නට අවශ්‍ය බව අවබෝධ කරගත්තේය.






බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් නිදන්ව ඇති මෙම බොදු බිම නිසි බුහුමනට ලක් කිරීම බොදුනුවන්ගේ යුතුකමකි.





video