Saturday, February 6, 2016

රියසක සතර මත දිවි ගමන ඉදිරියට ( අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඒකක වග්ගයට ඇතුළත් චක්ක සූත්‍රය ඇසුරින්





අපි හැමදෙනාම ජීවිතයේ යම් යම් අවස්ථාවන්හිදී බලාපොරොත්තු, ඉලක්ක ඇති කර ගනිමු. එහෙත් ඒ සියල්ලම ඒ අයුරින්ම සපුරා ගත නොහැකිය. ඒ පුද්ගල විවිධත්වය හා එකිනෙකාගේ චින්තනයේ ඇති විසමතාව නිසයි. එහෙත් ඇතැම්විට සපුරාගත හැකි අපේක්‍ෂා වුවද සපුරාගත නොහැකිව පසුතැවෙන, අපේක්‍ෂා භංගත්වයට පැමිණ ජීවිත යාත්‍රාව අතරමඟ කඩා බිඳ දමාගන්නා පිරිසක් ද සිටිති. බෞද්ධයකුගේ ජීවිතය එසේ අතරමඟ කඩා හැලෙන්නක් විය නොහැකි ය. ඒ ඔහු බුද්ධිමත්ව කටයුතු කරන්නකු නිසයි. චක්ක සූත්‍රයට අනුව, ජීවන යාත්‍රාවට අවශ්‍ය රෝද සතර නම්, 
සුදුසු ප්‍රදේශයක වාසය, 
ත්‍පුරුෂ ඇසුර, 
තම සිතෙහි පිරිසුදු බව 
 පෙර කරන ලද පින් ඇති බවයි. (පතිරූප දෙසවාසො සප්පුරිසුපස්සයො අත්තසම්මා පනිධි පුබ්බෙ ච කත පුඤ්ඤතා) බුදුදහම පිළිබඳ කතා කරන ඇතැමුන්ගේ මතය මෙය පාර ලෞකික යහපත සඳහා හෙවත් පරලෝ යහපත පිණිස දෙසන ලද්දක් බවයි. මේ මතය වැරැදි බව චක්ක සූත්‍රය මනාව ඔප්පු කරයි. චක්ක සූත්‍රයට ඇතුළත් ව ඇත්තේ කෙනකුගේ මේ ජීවිතය සාර්ථක කර ගැනීමට වුවමනා කරන කරුණු සතරකි. එහි පරලොවක් ගැන කතා නොකෙරේ.
භෞතික හා සමාජීය සබඳතාවලින් තොරව අප කිසිවකුටත් ජීවත් විය නොහැකි ය. 
උපතටත් පෙර සිටම පරිසරය සමඟ සබඳතා පැවැත්වූවත් සෘජු සබඳතාවක් ගොඩනැඟෙන්නේ උපතින් පසුවයි. මරණය දක්වාම මේ පාරිසරික බැඳීම පවත්නා සේම අවශ්‍ය ද වෙයි.
 සිදුහත් තාපසතුමෝ විමුක්තිය සොයා යන ගමනේ දී නේරංජනා ගඟ චමත්කාර ලෙස ගලායන ආකාරය දුටහ. තවත් පසෙකින් වෘක්‍ෂ ලතාවන්ගෙන් සැදුම් ලත් නිසල පරිසරයත් ඊට නුදුරින් වූ ගොදුරු ගමත් දැක, බවුන් වඩන්නට එම පරිසරය ඉතාම යෝග්‍ය බව වටහා ගත්හ. එහි නැවතුණි. ගයා ශීර්ෂයේ වැඩ සිටිමින් තම අභිමතාර්ථය සපුරා ගත්හ. පුද්ගල අපේක්‍ෂාවන් සපුරා ගැනීමට, පරිසරයෙන් ලැබෙන සහාය පෙන්වාදීමට තවත් උදාහරණ අවශ්‍ය නොවේ. මංගල සූත්‍රයේ, ‘පතිරූප දේසවාසෝ ච’ යනුවෙන් එය මංගල කරුණක් ලෙස දක්වා ඇත්තේ ද එනිසයි. එහෙත් සෑම කෙනකුටම තමන් බලාපොරොත්තු වන පරිසරයක ජීවත් වන්නට නොලැබේ. එසේ වුවත් කැපවීම, උනන්දුව හා බුද්ධිය ඇත්නම් අයෝග්‍ය පරිසරයක් වුවත් යෝග්‍ය කරගත හැකි ය. ඒ බව මන්තානි පුත්ත තිස්ස තෙරුන්ගේ කතාව අපට කියාදෙයි. මන්තානි පුත්ත තිස්ස තෙරුන් බුදුරදුන් හමුවට යන්නේ භාවනාව සඳහා පිටත්ව යෑම පිණිස කමටහන් ලබා ගැනීමටයි. තමන් ඒ සඳහා සුනාපරන්තයට යෑමට අදහස් කරන බව ප්‍රකාශ කරයි. එවිට බුදුරජාණන් වහන්සේ සුනාපරන්තයේ වැසියන් එවැනි දේට අකැමැති, රළු අදහස් ඇති දරුණු පිරිසක් බව පවසා ඔවුන්ගෙන් දොස් පරොස් ඇසීමට සිදුවනු ඇතැයි වදාළ සේක. එහෙම වුණොත් ඔවුන් මට බැණ වැදුනා විතරයි පහර දුන්නේ නැතැයි සිතා තමන් හිත හදා ගන්නා බව තිස්ස හාමුදුරුවන්ගේ පිළිතුර විය. ‘හොඳයි, අතින් පයින් ගැහුවොත්? යැ’යි යළි ප්‍රශ්න කළ විට තිස්ස හිමියන්ගේ පිළිතුර වූයේ, ඔවුන් මට අතින් පයින් තැලුවත්, දඩු මුඟුරු ආදියෙන් පහර දුන්නේ නැතැයි හිත හදා ගන්නා බවයි. තිස්ස හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න රාශියක් විමසීමෙන් පසු උන්වහන්සේ ඊට ලබාදුන් පිළිතුරුවලින් සෑහීමට පත් බුදුරජාණන් වහන්සේ තිස්ස සුනාපරන්තයටම යා යුතුයැයි පිටත් කරන්නේ උන්වහන්සේට රුදුරු පරිසරය වුව ද ජය ගැනීමට හැකියාවක් තිබූ නිසයි. අපට ලැබී ඇති පරිසරයේ ඇති සියලු බාධක හඳුනාගෙන ඒවාට අවශ්‍ය පිළියම් බුද්ධිමත්ව සිතා තමන්ට යොදා ගත හැකි නම්, ඕනෑම පරිසරයක ජීවත් විය හැකියි.
ජීවිත වාහනය පැදවීමට වුවමනා දෙවෙනි රෝදය නම් සද්පුරුෂ ඇසුරයි. මේ ලෝකයේ ජීවත්වන සැවොම සද්පුරුෂ හෝ අසද්පුරුෂ යන දෙකොටසට අයත් වෙති. ගැටලුවකට ඇත්තේ වෙන් වෙන්ව හඳුනා ගැනීමට නොහැකියාවයි. බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල දී සද්පුරුෂ හා අසද්පුරුෂ ලක්‍ෂණ පෙන්වා දී ඇත්තේ ද පුද්ගලයන් හඳුනා ගැනීමේ පහසුවටයි. අංගුත්තර නිකාය සප්පුරිස සූත්‍රයෙහි, සද්පුරුෂ ලක්‍ෂණ පහක් ඉදිරිපත් කෙරේ. ඒ මෙසේයි.’ඉධ භික්ඛවෙ එකව්වො පුරිසො පාණාතිපාතා පටි විරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො, මුසාවාදා පටිවිරතො, සුරාමෙරය මජ්ඣපමා දට්ඨානා පටිවිරතො අයං වුච්චති භික්ඛවෙ සප්පුරිසො’
තමන්ටත් අනුනටත් හිරිහැර වෙන, පව්කාර සිතිවිලි ඇති කරගෙන පස් පව්වල යෙදෙන්නන් අසත්‍පුරුෂයන් බව මෙයින් පෙනෙයි. තමන් දුසිරිතෙහි යෙදෙමින් අන් අයද දුසිරිතයට යොදවා ගැනීම අසත්‍පුරුෂයාගේ ලක්‍ෂණයයි. කෙනකුගේ සත්‍පුරුෂකම හෝ අසත්‍පුරුෂකම වෙනත් කෙනකුට දැනෙන්නේ ඒ තැනැත්තාගේ හැසිරීම තුළින් හෝ කතාවෙනි. අසත්‍පුරුෂ ගති ඇති මව්පියන් ජීවත්වෙන නිවෙසක හැදෙන වැඩෙන දරුවන් තුළ ද බොහෝවිට අසත්‍පුරුෂ ලක්‍ෂණ රෝපණය වෙයි. ළදරු හා ළමා අවධියේ දී දරුවන් ඉගෙන ගන්නේ අනුකරණයෙනි. ඒ සඳහා භාවිත කරන්නේ තම ඇස හා කනයි. ඇසට දකින දේ තුළින් හා කනට ඇසෙන දේ තුළින් ඉගෙන ගනී. කුඩා අවධියේ සිටම අසත්‍පුරුෂ හැසිරීම් දරුවන්ගේ ඇස ගැටීම නිසාම ඔවුන් තුළ ඒවා රෝපණය වෙයි. බාලයන්ගේ ඇසුර අත්හළ යුතු බවත් පණ්ඩිතයන්ගේ ඇසුර ලැබීමට කැමැති විය යුතු බවත් බුදුරදුන් වදාළේ, ජීවිත කාලකණ්ණි තත්ත්වයට ඇද දමා විනාශ කරලීමටත්, උසස් මට්ටමට නංවාලන්නටත් පුද්ගල ඇසුර දැඩි බලපෑමක් සිදු කරන නිසයි. පියවරුන් දුසිරිතට ඇබ්බැහි වීම නිසා ආර්ථික වශයෙන් ප්‍රපාතයට ඇද වැටුණු, නීරෝගීකමෙන් පිරිහුණු, නොයෙකුත් ප්‍රශ්න ගැටලුවලින් පිරුණු පවුල් සංස්ථා වැඩි වෙමින් පවතී. ගැටුම්, ආරවුල් මෙන්ම මිනිස් ඝාතන හා සිය දිවි නසා ගැනීම් ද වැඩි වෙමින් පවතී. සමාජයක මෙවැනි තත්ත්වයක් ගොඩනැඟීමට අසද්පුරුෂ ඇසුර ප්‍රබල බලපෑමක් ඇති කරවයි. අසද්පුරුෂයා තමන් වරදෙහි නිරත වන අතර අනෙක් අයද වරදෙහි යොදවා ගැනීම ඉතා භයානක තත්ත්වයකි.
කායික වාචසික සංවරයෙන් කටයුතු කිරීම ‘අත්ත සම්මා පණිධි’ යනුවෙන් දක්වා තිබේ. ඒ තෙවැනි රෝදයයි. සාමාන්‍යයෙන් පුහුදුන් තැනැත්තන්ගේ ස්වභාව තමනට අහිත පිණිස පවතින දුක් කරදර ගෙන දෙන කටයුතුවල පහසුවෙන් යෙදීමත්, යහපත පිණිස අභිවෘද්ධිය පිණිස හේතුවන වැඩවල අපහසුවෙන් නිරතවීමත් ය.

සත්ව ලෝකයේ මිනිසාට උසස් තැනක් හිමිවන්නේ සෙසු කිසිදු සත්වයකුටවත් හිමි නොවන අතිශ්‍රේෂ්ඨ සිතක් මිනිසා සතු වීම නිසයි. තිරිසනාගේ ස්වභාව සිතෙන දේ සිතුණු තැනදි කිරීමයි. අප හුරු විය යුත්තේ සිතෙන දේ කිරීමට නොව සිතා මතා කටයුතු කිරීමටයි. එය පහසු කටයුත්තක් නොවේ. කුළු හරකකු මෙල්ල කිරීමටත් වඩා අපහසු බවයි. බුදුවදනෙහි දැක්වෙන්නේ. ආත්ම දමනයෙන් තොර තැනැත්තා අර්ථවත් දේ තෝරා ගත නොහැකි, තමා කළ යුතු හා නොකළ යුතු දේ වෙන් කොට හඳුනා ගැනීමට අසමත් වූවෙකි. එමෙන්ම පිළිවෙළකට යමක් කිරීමට ද ඔහුට නොහැකිය. වත්මන් සමාජයේ බහුතරයකගේ ජීවිත අඳුරු ආගාධයට ඇද වැටී ඇත්තේ ආත්ම දමනය නැතිකම නිසයි. ඇස, කන, දිව, නාසය වැනි ඉඳුරන් අසීමිත ලෙස පිනවීමෙහි නිරත වන බැවින්, මිනිස් තිරිසනුන්, මිනිස් ප්‍රේතයන් ලෙස සමහරු හැසිරෙති. ඔවුහු තම දේහය පමණක් නොව සමාජ දේහය ද විනාශය කරා පමුණුවති.
බුදුන් දවස ජීවිතය අවුල් කරගෙන සිටි බොහෝ දෙනා බුදුරදුන්ගේ මඟ පෙන්වීමෙන් ජීවන යාත්‍රාව නිවැරැදි මාවතට යොමු කරගෙන, සසර ගමන නිමා කළේ ආත්ම දමනයෙනි. ජීවිතය අවුල් කරගත් බාහිය තෙරුනට බුදුරදුන් විසින් දෙන ලද උපදේශය උදාන පාලියේ මෙසේ දැක්වෙයි.
‘බාහිය, ඔබ මෙසේ හික්මිය යුතුය, යමක් දකින්නේ හුදු දක්නා ලද්දක් ලෙස සැලකිය යුතු ය. යමක් අසන ලද්දේ හුදු අසන ලද්දක් ලෙස සැලකිය යුතු ය. යමක් සිතන ලද්දේ හුදු සිතන ලද්දක් සේ සැලකිය යුතු ය.’ ඉන්ද්‍රිය ශික්‍ෂණයක් අපේක්‍ෂා කරන්නා අරමුණ ඉන්ද්‍රිය සමඟ ගැටුණු විගස විඤ්ඤාණය මෙහෙයවා කටයුතු කිරීමට හුරුවක් ලද යුතු බව එයින් පැහැදිලි වෙයි.
සිව්වැනි රෝදය ලෙස දැක්වෙන්නේ, පෙර කරන ලද පින් ඇති බවයි. උපතට මෙන්ම උපතින් පසු ජීවිතය පවත්වාගෙන යාමේදීත් සත්වයාට පෙර කරන ලද කර්ම ශක්තියේ බලපෑම ලැබෙන බව බෞද්ධ ඉගැන්වීමයි. කම්ම දායාදා, කම්ම යෝනි, කම්ම බන්ධු, කම්ම පටිසරණො යන බුදුවදන් තුළින් පැහැදිලි වන්නේ කිසිවකුටත් කර්මයෙන් ගැලවී සිටිය නොහැකි බවයි. උපතේදීම ඇතැමුන් පව් කරගහගෙන පැමිණීම නිසා පවුලේ අනෙක් සාමාජිකයන්ට ද ඉඩ කඩම් විකුණා දැමීම, අනපේක්‍ෂිත ලෙස රැකියා අහිමිවීම, තිබෙන වස්තුව නැතිව යෑම, ලෙඩ රෝගවලට ගොදුරුවීම වැනි කරදරවලට මුහුණ පෑමට සිදුවෙයි. එහෙත් කුසල කර්ම ශක්තීන් ඇතිව උපදින දරුවන් නිසා ඔහුත් පවුලත් ගමත් රටත් බබළයි. මොහොතක් සිහි නුවණින් විමසා බලන්න. මගේ ජීවන යාත්‍රාවේ යථෝක්ත රෝද සතර ශක්ති සම්පන්නද? පිළිසකර කළ යුතු දුර්වලතා නැද්ද? මෙලෙස නුවණින් පිරික්සා බලා ඌණතා ඇත්නම් එය හඳුනා ගෙන ඊට පිළියම් වහ වහා යොදා ගැනීම තුළින් සාර්ථක ගමනක නිමාවක් කරා ජීවන යාත්‍රාව පදවාගෙන යා හැකි ය. එය ජීවන ගමනේ ජයග්‍රහණයයි




No comments:

Post a Comment