Friday, July 8, 2016

අමාතාපුත්තික භය” යන ධර්මතා තුන



1. වයසට යාම 2. ලෙඩ දුක් හැදීම 3. මරණයට පත් වීම
මේ ධර්මතා තුන ලොවුතුරා බුදුරජාණන් වහන්සේ විසින් විශේෂ නාමයකින් හඳුන්වා ඇත්තේ “අමාතාපුත්තික භය” යන නමිනි. ඇයි මේ අමාතා පුත්තික භය යැයි සඳහන් කළේ? මේ ධර්මතා තුනට දරුවෝ යටත් වෙනකොට, ගොදුරු වෙනකොට දෙමවුපියො මොනතරම් ශක්තිමත්ව සිටියත් ගොදුරුවන මේ ධර්මතා තුනෙන් දරුවන් බේරාගැනීමට, රැක ගැනීමට, ආරක්‍ෂා කර ගැනීමට දෙමාපියන්ට හැකියාවක් හා පුළුවන්කමක් නැත. මේ ධර්මතා තුනට දෙමව්පියො, ගොදුරුවන විට ද දරුවන් මොනතරම් බලවන්තව සිටියත් ගොදුරු වන මේ ධර්මතා තුනෙන් දෙමව්පියන් බේරාගැනීමට, ආරක්‍ෂා කර ගැනීමට දරුවන්ට පුළුවන්කමක් නැත. 1 ජරාභයං (වයසට යෑම)
යම් දරුවෙකු මේ ලෝකයට බිහිවුණු දිනයේ පටන් මරණමඤ්චකය තෙක්ම වයසට යනව. තත්පරයෙන් තත්පරය විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය දවසින් දවස සතියෙන් සතිය මාසෙන් මාසෙ අවුරුද්දෙන් අවුරුද්ද වයසට යනවා. මේ කාරණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් ඉතාමත් ලස්සන උපමාවක් මෙසේ ගෙනහැර දක්වනව. අවුරුදු 100 ක් ජීවත් වන මනුෂ්‍යයෙක් දසක වශයෙන් කොටස් දහයකට බෙදා මෙසේ විවරණයක් ඉදිරිපත් කරනව. මා ඒ දශක දහය කොටස් දහයකට බෙදා මෙසේ ඉදිරිපත් කරනවා. දශක දහයේ කියාගෙන යන විට මා නතර වී සිටින්නේ කොතනද? මගේ ඊළඟ පියවර මොකක්ද? හිතා බලන්න දසක දහය නම් - මන්ද දශකය මන්ද දශකය යනු මෙලොවට බිහි වූ දිනයේ පටන් වසර 10 ක කාලපරිච්ඡේදය අම්මගෙ තාත්තගේ ආදරය උණුසුම සෙනෙහස ලබමින් හැදුනු වැඩුණු සහ හැදෙන වැඩෙන කාල පරිච්ඡේදයයි. ක්‍රීඩා දශකය ක්‍රීඩා දශකය යනු අවුරුදු දහයේ සිට විස්ස දක්වා කාලයයි. සෙල්ලම් කරනව. දුවනවා, පනිනවා, නටනව, අතපය කඩා ගන්නව, තුවාල කරගන්නව කෙළි දෙලෙන් ගත කරන සහ තරමක් විසේ ඇති නහයට අහන්නේ නැති කාල පරිච්ඡේදයකි. වර්ණ දශකය වර්ණ දශකය යනු අවුරුදු විස්සේ සිට තිහ දක්වා කාල පරිච්ඡේදයයි. මේ කාල පරිච්ඡේදය තුළ දී ශරීරය ලස්සන වෙන්න හැඩ වෙන්න ලස්සන කරගන්න හැඩ කරගන්න වෙරදරන කාලය වගේම ගිහි බන්ධනයට හෙවත් විවාහ ජීවිතයට ඇතුළත් වන කාල පරිච්ඡේදයයි. බල දශකය බල දශකය යනු අවුරුදු තිහේ සිට හතළිහ දක්වා කාලයයි. මෙම කාල පරිච්ඡේදය තුළදී ගතට වගේම හිතටත් හිතට වගේම ගතටත් අමුතු ප්‍රබෝධයක් අමුතු ශක්තියක් අමුතු බලයක් ලැබෙන කාල පරිච්ඡේදයකි. සමහරු හිතනව මොනවද මට කරන්න බැරි. ගස් ගල් පෙරලන්න හිතෙන කාල පරිච්ඡේදයකි. ප්‍රඥා දශකය ප්‍රඥා දශකය යනු අවුරුදු හතළිහේ සිට පනහ දක්වා කාලයයි. මේ කාල පරිච්ඡේදය තුළදී වෙනදා තිබුණු කලබලකාරී ස්වභාවයන් හුඟාක් දුරට අඩු එහෙත් ඉවසිලිවන්තව බුද්ධිමත්ව කටයුතු කරන කාල පරිච්ඡේදයයි. හානි දශකය හෙවත් නායන දශකය හානි දශකය යනු අවුරුදු පනහ, හැට දක්වා වූ කාලයයි. හානි යන්නෙන් අදහස් කරන්නේ විනාශ වන බවයි. කන්දක් පාමුල උන් මිනිසා කන්ද මුදුනට නගිනව නැගගත් මේ මනුෂ්‍යයා නැවතත් පාමුලට බසිනව. පාමුලට බසිනව යනු පටන් ගත් තැනට එනවා කියන අදහසයි. බිලිඳු කාලයේ දී අපි හැමකෙනෙකුම උඩු අතටයි සයනය කළේ. උඩු අතට උන් බිලිඳු දරුවාගේ විපර්යාස නම් අනෙක් පැත්තට පෙරළීම, බඩගාගෙන යෑම, දණගසාගෙන යාම වැටි වැටි අල්ලාගෙන නැඟිටීමයි. එසේ අමාරුවෙන් කෙලින් කරගත් නගා සිටුවාගත් ශරීරය නැවත වැටෙන්නේ කොතනටදැයි බුද්ධිමත්ව සිතා බලමු. ප්‍රාග් භාර දශකය ප්‍රාග් භාර යනු අවුරුදු හැට හැත්තෑවයි. ප්‍රාග් නම් ඉදිරියට සතර නම් බර වීමයි. ඉදිරිය යන්නෙන් අදහස් කරන්නේ මහපොළොව දෙසටයි. තව තවත් කායික දුර්වලතාවයන් වැඩිවීමයි. ප්‍රවංක දශකය ප්‍රවංක දශකය යනු හැත්තෑව, අසූව දක්වා අතර ඇති කාලයයි. ප්‍රා යන ඉදිරියයි. වංකයනු වක ගැසීමයි. ශරීරය ඉදිරියට නැමෙන ගතිය සහ බරවන ගතිය වැඩිවීමයි. තම ශරීරය තමාට අවනත නොවන ස්වභාවයයි. එවිට සැරමිට්ටක් සැරයටියක් ආධාරකයක් අවශ්‍ය කරන කාලයයි. මෝමූහ දශකය මෝමූහ දශකය යනු අසූව අනූව අතර කාලයයි. පොඩි දරුවෙකු සේ හැසිරෙන කාලයයි. මතක ශක්තිය දුර්වල වන කල්පනා ශක්තිය දුර්වල වන අමතකවන ගතිය වැඩි වීම යන්නෙ කොහෙද ඉන්නෙ කොහෙද කරන්නෙ මොනවද? කියන්නෙ මොනවද? කියා අමතක වන මතකය අඩුවන කාලයයි. සයන දශකය සයන දශකය යනු අනූව සියය අතර කාලයයි. දාපු අතදා තියෙන තමන්ගේ කටයුතු කාරණා කිසිවක් කරගත නොහැකි කාල පරිච්ඡේදයයි. කවන්ට ඕන, පොවන්ට ඕන, නාවන්ට ඕන, කැතකුණු අදින්ට ඕන, ඇඳුම් පැළඳුම් අන්දවන්ට ඕන, ඇවිද්දවන්ට ඕන කිසියම් හෝ කෙනෙකු තම කටයුතු කාරණා අනිවාර්යයෙන් කරදිය යුතු කාල පරිච්ඡේදයයි. දැන් පැහැදිලියි දෙමව්පියො වයසට යන කොට දූ දරුවන්ට වළක්වන්න බැරි බව. දරුවො වයසට යනකොට දෙමව්පියන්ට වළක්වන්න බැරි බව කාරණය මනාව පැහැදිලියි. 2 ලෙඩ දුක් හැදීම ලෙඩ දුක් හැදීම පුදුමයට හේතුවකුත් නොවේ. පුදුම වෙන්ට දේකුත් නොවේ. ලෙඩ දුක් හැදීම ස්වභාවික දෙයකි. මොකක්ද මේකට හේතුව? එහෙත්, ඔබෙත්,මගෙත් සියලුම ලෝක ප්‍රජාවගේත් ශරීරය නිර්මාණය වී තිබෙන්නේ රන් රිදී මුතු මැණික් වලින් හෝ වෙනයම් ලෝහයකින් ද නොවේ. කුණු වෙන දිරා මහ පොළොවට පස්වෙලායන කෑලි තිස් දෙකක සම්පිණ්ඩනයක්, එකතුවක්, මොනවද මේ කෑලි 32. කෙස්, ලෝම, නියපොතු, දත්, හම, මස්, නහර, ඇට, ඇටමිඳුළු, වකුගඩු, දෙකක්, හෘදය වස්තුවක්, අක්මාවක්, දළඹුවක්, බඩදිවක්, පෙණහළු දෙකක්, කුඩා බඩවැල්, මහ බඩවැල්, ආමාශයක්, පැසුණු ආහාර සමඟ නොපැසුණු ආහාර පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මේද නැමැති තෙල, කඳුළු, වපා, වරළු නැමැති තෙල කෙළ, සොටු, අසූචි, මුත්‍රා, මොළයක් මේ කියන දෙතිස් කුනූපයන්ගෙන් සෑදුණා වූ ඔබෙත් මගෙත් ශරීරය ලෙඩවීම පුදුමයක් නොවේ. එසේ නම් මේ ශරීරය ලෙඩ වෙන සහ ලෙඩ කරණ ක්‍රම හතරක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ දී මනාව දේශනා කළහ. ඒ ක්‍රම හතර නම්, 1 වාතය කිපීම නිසා ඇතිවන රෝගාබාධ 2 පිත කිපීම නිසා ඇතිවන රෝගාබාධ 3 පිත කිපෙනකොට ශරීරය ක්‍රම 40 කට ලෙඩ කරයි. 4 සෙම කිපෙනකොට ක්‍රම 20 කට ශරීරය ලෙඩ කරයි. වා, පිත්, සෙම් තුන්දොස් එකවර කිපීම නිසා ඇතිවන ආබාධයයි. සෘතු විපර්යාසය නිසා ඇතිවන ආබාධ. වස විෂ ශරීර ගතවීම නිසා ඇතිවන රෝගාබාධ මව්කුසින් බිහිවුණු දරුවා මව්කිරි ටික බොනතාක්කල් නිරෝගීයි. ඔපක්කමිකා ආබාධා උපක්‍රම මඟින් ශරීරය ලෙඩවීම, එයද පැතිකඩ කිහිපයකට බෙදිය හැක. වෙඩි තැබීම්, ගිනි තැබීම්, බෝම්බ ගැසීම්, ඇසිඩ් ගැසීම්, වාහන අනතුරු, ගුප්ත විද්‍යාව, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, සමාජ රෝග ආදියයි. කම්ම විපාකජා ආබාධා පෙර අකුසල කර්ම විපාකදීම නිසා ඇතිවන රෝගාබාධ බුදු පසේ බුදු මහරහතන් උත්තමයන් වහන්සේලාටත් සංසාරගත පෙර අකුසල කර්ම විපාක දීම නිසා විවිධ රෝගාබාධයන්ට පෙළුණු බව ධර්ම කතාවල විවිධ කතාවස්තුවල දැකිය හැක. එසේනම් බුදු පසේ බුදු මහරහත් උත්තමයන් වහන්සේලාට කර්ම විපාක දෙන්නේ නම් පෘථග්ජන වූ අපි ගැන කවර කතාද? මේ ක්‍රම අටෙන් හැදෙන රෝගාබාධ පිළිබඳ ගිරිමානන්ද සූත්‍රය තුළ මනාව පැහැදිලි කරයි. දෙමව්පියො ලෙඩ දුක්වලට ගොදුරු වෙනකොට දරුවන්ව වළක්වාගත නොහැකි සේම දරුවන් ගොදුරුවෙන විට දෙමව්පියන්ට වැළැක්විය නොහැකි බව මනාව පැහැදිලි වේ. 3 මරණයට පත්වීම මරණයට පත්වීම කිසිවෙකුටවත් වළක්වාගත නොහැකිය. ඉපදුණු දිනයේ පටන් මරණමංචකය තෙක්ම අපි කාට කාටත් නැකත් ඇත. එහෙත් මරණයට නැකතක් හැදිය හැක්කේ කාටද? කිසිම ජගතෙකුට උගතෙකුට බලවතෙකුට මේ සඳහා ක්‍රියාත්මක විය හැකිද? මරණය එක පුද්ගලයෙකුට එක පවුලකට එක පරපුරකට එක ගමකට එක පළාතකට එක රටකට සීමා වුණු දෙයක් නොවේ. මුළු මහත් ලෝක සත්වයාටම උරුම වූ පොදු ධර්මතාවයකි. ඉපදුණු හැම කෙනෙකුටම මරණය පොදුයි. සියලු සත්වයෝ මරණයට පැමිණේ. ජීවිතයක අවසානය මරණයයි. ජීවත් වන සත්වයා කර්ම රැස් කරමින් ගමන් කරයි. ඒ ගමන් කරණු සත්වයෝ පින් ද පව් ද කරති. පව් කරන අය අපායගාමී හා දුගතිගාමී වෙති. පින් කරන අය සැපවත් හා සුගතිගාමී වෙති. කුමක්ද මේ මරණය යන්නෙන් අදහස් කරන්නේ. සත්වයෙකුගේ පැවැත්මක් සඳහා අවශ්‍ය කරුණු ධර්මතා තුන ඒවා නම්, 1. ආයුෂත් 2. ශරීර උෂ්ණත්වයත් 3. විඤ්ඤානයත් මේ ධර්මතා තුනයි. මේ ධර්මතා තුන යම් ශරීරයකින් ගිලිහුණු කල මැරුණා යයි ව්‍යවහාර කරයි. එසේ නම් මාත් මැරෙනවා. ඔබත් මැරෙනවා. කොයි කවුරුත් මරණයට පත් වනව. මේ මරණය නමැති ධර්මතාව ලෝක ධාතුව තුළ සිදුවන්නේ ක්‍රම හතරකට බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළහ. එසේ නම් අපි හැම කෙනෙකුම වටිනා මිනිස් ජීවිත ලබාගෙන සිටිනව. ගුණයට බර වෙන්න දහමට බර වෙන්න අඩුපාඩු හදාගෙන හොඳ මනුෂ්‍යයෙක් හැටියට ශීලාචාර පුද්ගලයෙක් හැටියට සමාජයේ ජීවත් වන්නට අදිටන් කරගනිමු. ජීවිතය සැපවත් කරගන්නට මේ උතුම් ධර්ම ශක්තිය ඔබටත් මටත් ලෝක ප්‍රජාවටත් ධර්ම ශක්තියක් වේවා. එපා කිසි විට උඩඟු වන්නට එයින් යහපත නැසෙනවා එපා කිසි විට කෝප වන්නට ඔබේ හොඳගති නැසෙනවා එපා කෙනෙකුට දුකක් දෙන්නට එයින් හදවත් රිදෙනවා එපා ආශා පොදි බඳින්නට මැරෙනවා අපි මැරෙනවා තෙරුවන් සරණයි!!!

No comments:

Post a Comment