Friday, August 12, 2016

මහලු මව මිනින්දෝරුවාට කී කව







මිනින්දෝරු මහත්තයෝ මෙන්න පරණ පැලෑන
ගෙයි ගින්දර පිටට ගිහින් ඇවිළෙයි ගම් තුලාන
ලජ්ජාවෙන් අසරණ වී වැටුණා හිත තලාන
පුතාලගේ තාත්ත ඇති මං එනතුරු බලාන


ලොකු දුව සටනකි ඉල්ලා ගෙය ඇති කොටසම
ඇය යව්වනයෙදි දුන් දුක ගෙනවිත් එලෙසම
සහෝදරත්වය මිය යති පණ නැති වැටටම
විසකුරු උරගයෝ ඇදෙති ඉනි වැට දිගටම


පාලුව හුදකලාව පිරි අඳුරු සසර මඟ
පය ඉදිමෙයි ජීවිතයේ නිසරු කන්ද නැඟ
මහගෙදරට රණ්ඩු වෙලා විසිරුණ සිව් දිග
කැඳ උගුරක්වත් පොවන්න දරුවන් නැත ළඟ


ලේ කිරි කර පෙව්ව පිනට මවකට ප්‍රති උපකාරය
දුරකථනය පුපුරන්නේ දරු මුනුපුරු උපහාරය
ලේ නෑයන් දෙන ඔවදන් මහමෙර සේ බරසාරය
ඔප්පු ලියල ඔප්පු කරමු අපට උරුම මහපාරය


මහ පොළවම උදව් කළත් අපට පැලක් හදාගන්න
තුන් හිතකින්වත් නොසිතමි මුළු පොළවම බදාගන්න
හතර රියන මැද සුවසේ සැහැල්ලුවෙන් නිදාගන්න
මගෙ දරු සෙනෙහස නොබෙදා අපේ ඉඩම බෙදා දෙන්න




3 comments: