Saturday, September 10, 2016

බුලත් හෙප්පුව නුඹෙන් ගන්නට









කුමාරියකගෙ බිලිඳු කටහඬ
ඇසේ මා පුතු නිවහනය තුළ
මුනුපුරුගෙ මගෙ තනි මකන්නට
නංගියෙක් ගෙදරට ඇවිත්

පුතුගෙ පුතු දඟකාරකම් දැක
සතුට හද තුළ දෝරෙ ගැලු සඳ
සුරඟනාවියෙ නුඹත් ආවේ
අපේ පොඩි හුරතලිය වන්න ද

දෙකන්පෙති නුඹෙ විදින දිනකදී
රන්තෝඩු නැත නුඹට දෙන්නට
නුඹේ කන්පෙති මලින් සරසා
බලා ඉන්නම් දුවගෙ හැඩරුව

ආස හිතුණත් වඩාගන්නට
දුවේ වියපත් දැන් මගෙ අත
තදින් මම දුව තුරුල් කෙරුවම
පුංචි සමනලියට රිදේවිද

තරුණියක ලෙස දොරට එන දින
බලා ඉන්නම් ඇඟිලි ගැන ගැන
බුලත් හෙප්පුව නුඹෙන් ගන්නට
වාසනාවක් මට ලැබේවි ද





No comments:

Post a Comment