Tuesday, November 22, 2016

වියපත් සිතුවිලි








ලොල ලොල ගාන විට දත්ටික නොමැති කට
සෙලවෙයි වාරු නැති අතපය තරගය ට
වල එක පයයි ගොඩ එකකුයි තියෙන මට
කළ යුතු දෙයක් නැත මලගම ළඟය හෙට

ආ මග හරි දිගය යා යුතු මග කෙටිය
ඒ මේ ජීවිතේ නැව පැදවෙන හැටිය
වදිනා තැන හබල විසිරෙන පෙණ කැටිය
තව ටික දුරක් වත් පැදගෙන යනු තොටිය

ගොඩ කරගත් සියලු දේ මහමෙර උසට
වැඩකට ගත නොහැක පය දූවිලි ලෙසට
බිහිරිය දෙකණ නොපෙනෙයි කිසිවක් ඇසට
මේ කුණු කය රැගෙන තව දුර යනු කුමට

මේ මහගෙදර ඇති අන්තිම කුටිය කොනේ
ලණු ඇඳ තමයි අවසානෙට ඉතුරු වුණේ
සෙනෙහස දිනූ අය සිටියත් සතර කොනේ
යා යුතු ගමන තනිවම යා යුතුය අනේ

නොතිර සැප සොයා ඉඳුරන් හට රැවටී
නිතර දුකට පත්වෙන කුණුකය නොවටී
සතර ඇත්ත දැනගෙන දුක කරන කෙටී
අජර අමර නිවනින් සැනසීම වටී





3 comments:

  1. හරි දේ කියාදී හරි මග වෙතට යොමා
    දිරි දී අපට නිති ලැබ දුන්නාය පෙමා
    පිරි කුසලයක අනුහස නොමවේය නිමා
    කිරි අම්මාට නිරෝගි සුව පතමි මෙමා.......

    ජයවේවා!!!

    ReplyDelete