Friday, November 4, 2016

බිනර මහට පැල් ගැහෙමුද අපි නෑනෙ











නිකිණි’ ඉඩෝරෙන් ‘හේබාවී ගිය’ (මැලවී ගිය) ගහ වැල පරළු වී ඇති පොළෝතලයට ‘වට’, වැහිකේඳිල්ලෙන් ඉසිරී යන නැවුම් පුසුඹේ දැවටී, යළි නව දළු-කොළ-මල් ලා නව ප්‍රාණයක් ලබනුයේ, ‘බිණර’ මහේදීය.

බිණර, බිඞර හෝ බිනර මහ වූ කලී, චන්ද්‍ර මාස් රටාවේ සයවැනි මාසය වන අතර, වත්මන් මාස් වියමනේ නවවැන්නට යෙදෙන ‘සැප්තැම්බර්’ මාසය වන්නේමැයි.
අපේ ගොවි ඇත්තන්ගේ සිත් සතන් ප්‍රබුද්ධ කැරෙන “මාස්කන්න” හෙවත් ඊසානදිග මෝසම් වර්ෂාව සමාරම්භ වෙන, “පිඩදඩහස” නමින් වූ මෝසම් සමයට මුලපුරන්නේ මෙම ‘බිනර’ මාසයේදීයි. බිණර මසින් පටන් ගන්නා ඊසාන මෝසම් වර්ෂාව වියළි කලාපයට මාස හතරක් පුරාවට පලදරනු ඇති. එනිසා ම ගැමියෝ ඊට ‘වැහි හාරමාසය’ යැයි නම් කරති.

’බිනර’ මහ තිඹිරිගෙයිනි, ‘සරත් සමය’ බිහිවනුයේ. ගොවි ගෙත්තමට අනුගත ව බිනර, බිණර හෙවත් බිඞර’ යැයි මේ මාසයට නම පටබැඳී ඇත්තේ, ගොවීන් ‘මහකන්නට’ නමෝවිත්තියෙන්ම සිය වගා කුඹුරුවල ‘බිංනැඟුම’ (පළමු සී සෑම) හෝ බිංඇරවීම හෙවත් ‘මඟුල් හීය’ ආරම්භ කරන නිසාවෙනි. ‘බිංඇර – ‘බිනර වූ සේ ය.

එතැන් පටන් කොට, කුඹුරු පුරාවට සවන් වැකෙණුයේ, උද්දාමයෙන් ඉපිලෙන ගොවීන්ගේ ‘ඕසේ’ නැතහොත්, අඬහැරයේ ගීදැහැනයි. එම ගී අලංකාරී කිරීම වෙනුවෙන් වෙල් මැඩියන් තනු රටාවට සත්සර ගෙත්තම සපයන අතර තුර, ඊට මුහුකරනු වස්, නඟුලේ හී වැල ඉපණැල්ල පෙරළාහඬ ජලතරංග වාදනයක් සේය.
එම වාද්‍ය භ්‍රංදයට අවනතව ගොවියෝ උදාන අඬහැරය අපූරුවට ගයති. ඒ සියලු ම වාදන – ගායනයනට අනුරූප ව අම්බරුවන් අඩි මාරුකරනුයේ, සිව්පා රංගනයෙනි.

මේ අසිරිය වරුපෙතට (වගාබිමට) කැන්දන් ඒමට ‘බිනර මහ’ පෙරගමන් කරු වෙයි. එසේ ම මේ මාසය, භාරහාර අස්වනු උත්පාදනයේ මූලික අඩිතාලම ද වනු ඇති. මෙසේ වූ ‘බිනර මහ’ ගහවැල ද ආයිත්තම් කැරුමට සමති. ඇරත් සතාසීපාවාගේ ආහාර පාන නිෂ්පාදනයට බිනර වැසි ඉවහලි.
එපමණක් ද නැත. උක්ත මාසයට මල්වරවන සුපුෂ්පිතයෝද බෙහෙවි. ‘බිඞර මල්’ හෙවත් ගින්නේරිය මල් ලන්ද කසාවතින් කළඑළි කරයි. ඇරත් ‘බිඞර’නමින් වූ දියබෙරලිය දියනිල්ලේ යාන්වෙමින් වැව් අමුණු මල්යහන් බවට පත් කරනුයේ ද මේ බිණර – මහේදීය.

සරත් සෘතුවේ මුවදොර ලෙස සැලැකිය හැකි ‘බිනර මහ’ යෞවන, යෞවනියන්ගේ ‘ලීල ගෙඩි’ (ප්‍රේමාන්විත හදවත්) හංකිති කවන සරාගික සමය කැයි ද පැවසේ. එහෙයින්ම දෝ මේ මාසයේ නාඹර පදමේ රහමිහිරට ඔවුන් ආසක්ත වනුයේ.

එසේ ම නිකිණි මාසය පුරා, අහස මත සක්මන් කළේ පුළුන් පොදක් බඳුවූ සැහැල්ලු වළාවන් ය. එහෙත් බිණර මාසය ලබත් ම “බිනර කළු” වලින් (වැසිවළාවන්ගෙන්) අහස් කුස ආවරණය වන්නේම ය.
ගෝණ, මුව හා සා දෙනුන් ගැබ්ගන්නා සමය ද මෙය වෙයි. ඇරත්, දූවිල්ලට වපුරන ලද කුරහන් ඇට ‘ඇස්පෙන්නේද’ (පැලවීමට මුල් ඇතිවන්නේද) ඉරිතළා තිබූ වැව් තාවලු නිල්ලඹනුයේ ද බිනර මහේ වැස්සෙනි.

මේ අයුරින් සිරිදුව කැන්දන ‘බිනර මහේ’, අපේ ගමේ බිමේ නාඹර පදමින් ඔපවැටුණු තරුණයෙකු ගේ මුව‘ගින් මෙවන් ඇරියුම් සීපදයක් මිමිණෙන බව අපූරුවක් නොවෙයිනෙ.

’බිනර’ ‘ඕසයෙන්’ සලිතව වැටමාණේ
’බිඞර’ මලක් පිපුණද නුඹගේ මූණේ
’බිනර කළු’ කපා පායන හඳපානේ
’බිණර’ මහට පැල් ගැහෙමුද අපි නෑනේ


මේ සීපදයෙන් දිගෙලිවෙන ආලවන්ත ආරාධනයෙන් ගම්‍යමාන වෙනුයේ ‘බිනර මහ’ තාරුණ්‍ය හදවත් පෙම්පවසින් මෝදුවන බව ය.
එනයින් ම අපේ ගැමි නාඹරියන් බහුතරයක් ම සැදීපැහැදී සිටින්නේ, තම ‘නළලේ කෙටූ’ ඉරණම් ගමනට අතවනමින් නාඹරයාගේ කැදැල්ලට යාවෙන්නට ය.

ඇරත් නාඹරයෝ ද ‘බිනර’ මලක් බඳු කෝමළ වූ නාඹරියන් සිය පපු කැමැත්ත සොරාගත් නිසාවෙන් ම, නවදැලි හේනේ ඉදිකළ පැල්පත නමැති සුරවිමනට කැන්දන් ඒමට ‘බිනර’ මහම තෝරා ගත්හ. බිනර කළු අහස පුරා වියන් බැඳෙද්දී, දෙවැටේ පීදෙන ‘බිඞරමලින්’ (කහපාට වූ ගිනිහිරියමලින්) නැගෙන කාන්තියේ රන්වනින් සැරසුණු සුකුමාල ‘බිනරියෝ’ (කන්‍යාවෝ) බිණර සමයට (සරත් සෘතුවට) ‘හාති’ දෙමින් (චුම්බන පුදමින්) තම හඳුන්පතේ සඳුන් රුකක්වන් ආලවන්ත තරුණයාගේ සුරවිමනට වැඩම කරති.

මේ අනුව බිඞර, බිණර හෙවත් බිනර මහ ගැමි ගොවි සිත්සතන් පුබුදු කරන අතර, ගැමි නාඹු, නෑඹියන් ගේ ස්වාර්ථයන් ද සාධනය කැරෙන, එමෙන් ම සොබා සොඳුරු බවින් පූරීත මාසයක් ම වන්නේ ය.


1 comment:

  1. මහන්සිවෙලා ලිව්ව අපූරු සටහනක් දුශාන්.
    " බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද"
    ලස්සන ගීතයක්.

    ජයවේවා!!!

    ReplyDelete