Wednesday, December 21, 2016

වැඩිහිටි නිවාසේ සිට පුතුට ලියමි




මිරිවැඩි නොහදුනන පා යුග ගෙවෙන තුරා
කරගැට මල් පිපී දෑතම ගෙවෙන තුරා

සරසවි උපාධිය නුඹ වෙත වඩින තුරා
ඩාදිය වැගිරුවෙමි ගත සවි තිබෙන තුරා


නිළ දරුවෙකු වෙලා වගකිව යුතු තැනක
නිළ රිය අරන් යන නුඹ විලසින රජෙක

පල ලැබු නිසා එදවස දුටු සිහිනෙක
ගැලවුම් කරුයි සිතුනා නුඹ පෙර පිනක


කාළය දෙපා අතරින් රිසි ලෙස ගැලුවා
සීදේවියක නුඹෙ පතිනිය වී ආවා

වාසල නුඹේ පිය හට නුසුදුසු වූවා
මා අමතකව ලොව උඩු යටිකුරු වූවා


මා වැනි පියවරුන් තව හිස් අහස බලා
පසුවෙති අසරනව මෙහ උකටලී වෙලා

අහරක් අවැසි නැති තරමට රිදුම් වෙලා
කුසගිනි මකයි උතුරන දුක් කදුළු වෙලා


නුඹෙ ගෙයි කැකුළු මල් පැහැ මම නොදනී
මුව පොව්වන්ගෙ දග සිහිනෙන් දකින්නෙමි

හෙට එයි මහළු විය එය සිහි කරන්නෙමි
මේ දුක නොවේවා නුඹ හට පතන්නෙමි  





1 comment:

  1. අද සුලභ දෙයක් නේද මේ. අපූරුයි අයියේ. කවිය කියවද්දී තැන් තුනක වෙනසක් කරානම් තාලයට හොඳයි කියලා හිතුණා.

    (1) 2නි කවියේ 3වෙනි පේළියේ අන්තිම වචනය "සිහිනෙක" වෙනුවට "සිහිනයක" ලෙසත්
    (2) අන්තිම කවියේ මුල් පේළියේ "නොදනී" වෙනුවට "නොදන්නෙමී" ලෙසත් අන්තිම පේළියේ "දුක" වෙනුවට "දුකක්" ලෙසත් වෙනස් වුණොත් තාලය එක දිගට ගලායනවා කියලා හිතෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete