Thursday, December 14, 2017

එතෙර උන්ගේ වුවමනාවට අපේ අටුකොටු වැනසීම.දෙවන ලෝක යුද්ධ​ෙයන් පසු ආර්ථිකයෙන් බිංදුවට වැටී සිටි ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ සූරාකෑමෙන් ජීවත් වූ යුරෝපීය රටවල් මුහුණ පෑ බරපතළම ප්‍රශ්නය වූයේ සිය රාජ්‍යයන් පවත්වාගෙන යාම සඳහා ලෝකය සූරාකන්නේ ​ෙකසේද? කොහොමද? යන ආර්ථික ගැටලුවයි.






මේ වන විට අප ලෝක ආහාර දින 36 ක් වසරක් පාසා පවත්වා ඇත. 36 වැනි ලෝක ආහාර දිනය පසුගිය දා රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවත්වන ලදී. මෙම දිනය සැලසුම් කොට ආහාර බෝග නිෂ්පාදනය කරන ආසියානු රටවල් තුළ මේ දිනය පිහිටුවා පවත්වා ගෙන යාමට උපකාර කරන්නේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගිනි. ආකෘ නමින් කෙටි නමකින් හඳුන්වන්නේ මෙම ආයතනයයි. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධාන සමූහයේ එක් සංවිධානයක් ලෙස හංවඩුව ලබා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමට පුරෝගාමීව කටයුතු කළේ 1944-1945 කාලවකවානුවේ ඇමෙරිකානු ජනාධිපති ලෙස කටයුතු කළ රූස්වෙල්ට් මහතාය. ආකෘ ආයතනය උපන්නේ ඒ ආකාරයටය.   
දෙවන ලෝක යුද්ධ​ෙයන් පසු ආර්ථිකයෙන් බිංදුවට වැටී සිටි ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ සූරාකෑමෙන් ජීවත් වූ යුරෝපීය රටවල් මුහුණ පෑ බරපතළම ප්‍රශ්නය වූයේ සිය රාජ්‍යයන් පවත්වාගෙන යාම සඳහා ලෝකය සූරාකන්නේ ​ෙකසේද? කොහොමද? යන ආර්ථික ගැටලුවයි. මේ පිළිබඳව රාජ්‍ය නායකයින් එක්ව අවස්ථා ගණනකදී සාකච්ඡා වට කීපයක් පැවැත්වූ අතර මේ අවදියට පෙර ඇමරිකාවේ කෘෂි ලේකම් ලෙස කටයුතු කළ අර්ල් බට්ෂ් නම් වූ රෝපණ ද්‍රව්‍ය නිපදවන්නකු කියා තිබූ කාරණය විමසුමට ගැනිණ. ඔහු කියා තිබූ කථාව මෙසේය.   
ආසියාතික රටවල මිනිසුන්ට ධනවාදය හෝ ප්‍රජාතන්ත්‍රවාදය හෝ සමාජවාදය හෝ මෙකී කිනම් වාදයකින්වත් වැඩක් නැති බවත් ඔවුන්ගේ එකම වාදය වන්නේ ආහාර වාදය හෙවත් ආහාර බෝග නිෂ්පාදනය පමණක් බවත් ඔහු කියා තිබුණි. මේ කථාවට ඕනෑකමින් කන් දුන් ජනාධිපති රූස්වෙල්ට් ආහාර නිෂ්පාදනය අවියක් ලෙස පාවිච්චි කළ හැකි නම් ආයුධ නිෂ්පාදනයට වඩා අපි ඊට අවදානය යොමු කරමු යයි අවධාරණය කළේය.   
ලෝක සූරාකන්නන්ගේ සූරාකෑමේ මාධ්‍ය වන්නේ වෙ​ෙළඳාමයි. මීට වඩාත් හොඳම වචනය වන්නේ ජාවාරම යන්නයි. මෙම ජාවාරම්කරුවන්ගේ නිෂ්පාදන වන්නේ ජීව ලෝකයට වින කරන ආයුධ, ගිනි දියර, වස විස, යන්ත්‍ර සූත්‍ර ආදියයි.   
ආහාර නිෂ්පාදනය සිදුවන්නේ පොළොව මතු පිට පසෙහිය. මේ පස තුළ ජීවයක් ගැබ් වී තිබේ. අා​පෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර භූතයන්ගේ සංකලනයෙන් ජීවය උපදී. මෙම ජීවය පොළොවේ පසට සංකලනය වේ. සියලු විද්‍යාත්මක හා අන්තර්ඥාන අවබෝධවලින් අනාවරණය වී ඇති කරුණු අනුව පොළොව මතුපිටට මෙම ජීවාත්මක පරිසරය ඇති වූයේ වසර කල්ප කෝටි ගණනකට පෙරදීය. තනිකරම ගිනි​ බෝලයක්ව පැවැති පෘතුවියේ මතුපිට තලයේ පමණක් ජීවයක් ඇති වීමට තරම් සුදුසු පරිසරයක් නිර්මාණය වුවද පොළොවේ අභ්‍යන්තරය තවමත් දරුණු ගිනි කන්දකි. සමහර රටවල වරින් වර මතු වන ගිනි කඳුවලින් එය සනාථ වේ. පෘථිවි ගර්භය තුළ ගිනි කඳු සේම ගිනි දියර වර්ග වස විස ආදියද පවතී. ඇමරිකාවේ නිෂ්පාදනය වන්නේ පෘථිවි ගර්භයෙන් ඇද ගන්නා වස විස සහිත ගිනි දියර හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ආදියයි.   
පරිසරයට හා ජීවයට කෙතරම් හානිකර වුවත් ඇමරිකාවට ඇත්තේ පොළෝ ගර්භයෙන් ඇද ගන්නා මෙම ගිනි දියර වස විස හා තෙල් වර්ගයන්ය. ඇමරිකාවේ ආර්ථිකය හසුරුවා ගැනීමට නම් පොළොවෙන් ඇද ගන්නා මෙවැනි දේ වෙ​ෙළඳ භාණ්ඩ බවට පත් කොට ලෝකයට බෙදාහැරිය යුතුය. ආසියාව ආහාර බෝග නිෂ්පාදනයේ ලොකුම වෙළෙඳ පොළය. මෙම ආසියානු ආහාර බෝග නිෂ්පාදනය අැමරිකාවේ තෙල් හා වස විස ආශ්‍රිත නිෂ්පාදනයක් බවට පත්කරලීමෙන් අැමරිකාවේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව හඳුනා ගැනීමෙන් පසු ඒ සඳහා කටයුතු කිරීම හා කටයුතුවල සම්බන්ධීකරණය කෙළින්ම ආකෘ සංවිධානයට පරවනු ලැබිණ. වස විස හා තෙල් වර්ග අළෙවි කර ගැනීමෙන් ආරම්භ කරන ලද ආර්ථික විප්ලවයේ කුමන්ත්‍රණ අපේ රටවලට පැමිණියේ හරිත විප්ලවයේ හාස්කම් අැති කරන නාමයෙනි. ​ෙම් හරිත විප්ලවයේ නියමුවා වූයේ ​ආකෘ සංවිධානයයි. ​ෙද්ශීය ගොවිතැන උඩු යටිකුරු කරමින් මේ රටේ ​ගොවිතැන ආක්‍රමණය කොට, දෙබිඩි බීජ උත්පාදනය රසායනික පොහොර භාවිතය පළිබෝධනාශක භාවිතය වල් නාශක කෘමි නාශක ආදිය මේ රටට කද බැඳගෙන ආවේ හරිත විප්ලවය හරහා ආකෘ සංවිධානය මගිනි. හරිත විප්ලවය හෙවත් ඇමරිකාවේ තෙල් හා වස විස විකුණන සූත්‍රය දෙබිඩි බීජවලට හා රසායනික ගිනි තෙල් හා කෘත්‍රීම පො​ෙහාරවලට මුළු රටම අැබ්බැහි කරවන්නට 1960 සිට එක් දශකයකට වඩා කල් ගියේ නැත.   
ලංකාවේ දේශපාලකයන්ට මෙන්ම රාජ්‍ය කළමනාකරණ මට්ටමේ නිලධාරීන්ට ද විදේශීය ශිෂ්‍යත්ව පුහුණු වැඩසටහන් යාන වාහන ආදී අනේක විධ වරදාන ආකෘ සංවිධානය මගින් ලබා දෙමින් ඔවුන් පදමට හීලෑ කර ගැනීමෙන් පසු ඔවුන් ලවා වස විස සහිත ගිනි තෙල් වර්ග හා ආම්පන්න මෙරට ගොවිතැනට හඳුන්වා දීමට ආකෘ සංවිධානය කටයුතු කරන ලදී. ලෝක ආහාර දිනය ද ආකෘ සංවිධානයේ තවත් උප්පර වැට්ටියකි. තම තමන්ගේ සාක්කුවලටත් කීයක් හෝ ගාලා එන හෙයින් රාජ්‍ය කළමනාකරණය ද මේ උගුල්වලට ගොවි ජනතාව හිර කරදෙති.   
අපේ රටේ සිංහලේ තිබුණේ වසර දහස් ගණනක් අත්දැකීම්වලින් මුවහත් වූ කෘෂි රටාවකි. එය හඳුන්වනු ලැබුවේ ඉරහඳ පවත්නාතාක් කල් ගොවිතැන් කළ හැකි ස්වභාව ධර්මයට අනුකූල වූ ගොවිතැන් රටාවක් හැටියටය. අපේ මෙම දේශීය ගොවිතැනේ පදනම වූයේ මහ පොළොව සහ ඉර හඳයි. ඉර හඳ යට මහ පොළොව අපගේ නොමියෙන නිධානයයි. මෙය ඇමරිකාව කියන සස්ටේනබල් කෘෂිකර්මයට වෙනස් වූවකි.   
අපේ මේ උතුම් ගොවිතැන් රටාව ආකෘ සංවිධානය මගින් රටේ පාලකයන්ටද ගොවි ජනතාවට ද විශේෂයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හඳුන්වා දෙන ලද්දේ යල් පැන ගිය හණමිටි නොදියුණු ගොවිතැන් රටාවක් හැටියටය. පළමුවෙන්ම පටන්ගත් මහවැලි එච් කලාපයේ සිටි ගව පට්ටි මස් කඩයට දැක්කා අත් ට්‍රැක්ටර් දේශීය මහවැලි ගොවියා අතට දුන්නේ ආකෘ සංවිධානයේ යටිසූත්තරකාර බලපෑම නිසාය. ඒ නිසා අපේ කුඹුරට ගවයා​ෙග් මෙහෙවර අහිමි වූවා පමණක් නොව ගව පට්ටියෙන් අපට ලැබුණු පස්ගෝ රස ද අහිමි වී පිටරට කිරිපිටි පැකැට්ටුවට දිව දික් කරන්නට සිදු විය. මේවා හරිත විප්ලයෙන් අපට ලැබුණ දායාදය.   
සිංහල රටේ පැවැති සිංහල ගොවිතැන් රටාව මුලිනුපුටා දමා දෙබිඩි බීජ, තෙල්, රසායනික පොහොර භාවිත කරන ආකෘ සංවිධානයේ කෘත‍්‍රිම ගොවිතැන් රටාව මේ රටේ පැළපැදියම් කරන්නට ආකෘ සංවිධානයට අවශ්‍ය විය. ඒ සඳහා දේශපාලකයන්ගේ ද රාජ්‍ය කළමනාකරණයේ ද පූර්ණ සහයෝගය ලබා ගන්නා ලදී.   
දේශීය ගොවිතැනේ මාතෘත්වය ඇත්තේ වැවටය. සිංහල ගොවිතැන් රටාව මුලිනුපුටා දැමීම සඳහා දේශීය ගොවිතැනට බද්ධ වූ වැව විනාශ කර දැමීම ඔවුන්ගේ තවත් අරමුණක් විය. ලක්ෂයකටත් වඩා මේ රටේ විසිරී ගොස් පැවැති වැව් පද්ධතිය ක‍්‍රමානුකූලව විනාශකර දැමීමට ඔවුහු උපායශීලී වූහ. උදාහරණයක් ලෙස මහවැලි එච් කලාපය දැක්විය හැක. එච් කලාපය තුළ රජ කාලේ සිට පැවැති වැව් 548කින් 272ක් පමණ පොළොවට සමතලා කර දමන ලද අතර ඉතිරිය නටබුන් වන්නට හැරියේය. මේ විනාශය සඳහා අපේ රටේ රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ අනුග‍්‍රහය ලැබිණ. හෙළ රජ දවස ‘වැව’ ගමේ ගොවියාගේ දේපළක් වශයෙන් පැවැති අතර එය රාජ්‍ය දේපොළක් ලෙස රජයට ඈඳා ගැනීමෙන් පසු සමස්ත වැව් පද්ධතියම කාබාසිනියා කර දැමීමට කටයුතු කරනු ලැබීය. රජරට පුරා පැතිර තිබූ වැව් ගම්මාන සම්ප‍්‍රදාය මුළුමනින් රජය සහභාගී කරගෙන විනාශ කර දැමීය.   
ඒ අතර බීජයේ පටන්ම ගොයම් ගසට ඇමෙරිකානු වස විෂ හා යෙදවුම් හුරු කරනු ලැබීය. හැටේ දශකයේ සිටම හරිත විප්ලවය නමින් මෙරටට බෝ කළේ ආකෘ සංවිධානයේ දේශීය ගොවිතැන විනාශ කොට ඔවුන්ගේ වස වස මුසු ගොවිතැන් ක‍්‍රමයේ පල විපාක වශයෙන් දැනට වසර කිහිපයක සිට වකුගඩු, පිළිකා, හෘද රෝග, දියවැඩියාව රුධිර රෝග ආදිය මඟින් මේ රට පුරා පැතිරෙන්නට පටන් ගෙන තිබේ.   
ආකෘ සංවිධානයේ වස විස මුසු ගොවිතැන් රටාව මොනතරම් විනාශකාරී තත්ත්වයට පත් වී තිබේ ද යත් මුළු මහත් රජරටම වකුගඩු රෝගයෙන් සහ පිළිකා රෝගයෙන් ගිලගෙන තිබේ. මේ වන විට රජයේ සංඛ්‍යා ලේඛන අනුව රජරට පමණක් වකුගඩු රෝගයෙන් මියගිය සංඛ්‍යාව විසි දහස ද ඉක්මවා ඇති අතර ලක්ෂයකට වඩා වැඩි පිරිසකට රෝගය වැළඳී තිබේ. පිළිකා රෝගයද ඊට දෙවැනි නැත. අනුරාධපුර මහ රෝහලේ පිළිකා රෝගීන්ගේ වාට්ටු දෙකම පිරීගොස් ඇති අතර වසරකට පිළිකා රෝගීන් දහසකට වඩා එකතුවන බව පිළිකා විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කර ඇත.   
මානව හිමිකම් කඩ කළා යයි අප වෙත චෝදනා එල්ල කරමින් නඩු දාන ඔබට තර්ජනය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ගේම තවත් සංවිධානයක් වූ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මඟින් ඔවුන්ගේ වස විස අපේ ගොවිතැනට මුහු කිරීමෙන් සිදුවන විශාල ජීවිත විනශය ගැන කතා නොකරන්නේ ඇයි? ජීවත් වීමට මිනිසාට ඇති අයිතිය කඩකරමින් ඔවුන්ගේ වස විෂ මුහු ගොවිතැන හරහා රෝග බෝකර මේ රටේ ගොවීන්ගේ ජීවත්වීමේ අයිතිය විනාශ කර දමන ආකෘ සංවිධානය මඟින් කෙරෙන මානව හිමිකම් කඩකිරීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය කතා නොකරන්නේ ඇයි? ගොවියාත් ගොවිතැනත් ගොවි බිමත් විනාශ කරමින් ඔවුන් කරගෙන යන තෙල් පොහොර වෙ​ෙළඳාම නිසා අනාථ වන මේ රටේ ලක්ෂ සංඛ්‍යාත දරු පවුල්වලට ඔවුන් වග නොකියන්නේ ඇයි?   
ඇමරිකානු ජාවාරම්කරුවෝ ආකෘ සංවිධානය හරහා සිය රටේ නිෂ්පාදිත වස විෂ අලෙවි කිරීමේ සාර්ථක වෙළෙඳ පොළක් බවට අපේ රට පත්කරගෙන ඇත. කාලයක් තිස්සේ ඇමරිකානු වස විෂ මේ රටේ ගොවිතැනට යෙදවීම හේතුවෙන් වකුගඩු - පිළිකා වැනි රෝග දැන් දැන් බහුල ලෙස රට පුරා වැපිරෙන්නට පටන්ගෙන ඇත. අපේ රටේ නිවහල් උතුම්ම ජීවනෝපාය වූ ගොවිතැන දැන් මේ රටේ ජන ජීවිත බිලිගන්නා මාරයකු බවට පත්ව ඇත. මේ තත්ත්වය තුළ ගොවියන් මැරීයන තුරු බලා සිටීමට තරම් ඇමරිකාව ඉදිරියේ අපේ පාලකයන් නිවට වී ඇත. ඇමරිකාව වස විෂ මුසු ගිනි දියර පොහොර හරහා මේ රටේ කරගෙන යන ජීවිත විනාශය ගැන කථා කරන්නට දේශපාලකයන්ට කොන්දක් නැත. රාජ්‍ය කළමනාකරණයට ලැබෙන අනේක විධ වරදාන නිසා ඔවුන්ගේ කටවල්වලට ද ඇමරිකානු ඉබියතුරු වැටී ඇත. මොවුන්ගේ නිවටකම් නිසා අහිංසක ගොවි ජීවිත ඇමරිකානු ජාවාරම්වලට නිතිපතා බිලි වෙයි. ජනතාව බිල්ලට දී දේශපාලකයන් හා රාජ්‍ය කළමනාකරුවන් කරගෙන යන මෙම ජාති ද්‍රෝහී ජඩ ක‍්‍රියාවේ බරපතළකම වසා දමන්නට ආකෘ සංවිධානය වසරකට වරක් මේ රටේ ලෝක ආහාර දිනයක් පවත්වයි. දේශපාලකයන් හා රාජ්‍ය කළමනාකරුවන් ද ලෝක ආහාර දිනයට ආවඩමින් එය රට පුරා ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරයි. එමගින් ඔවුන්ගේ සාක්කුවලට ද ඉල්ලම් කැට වැටෙයි.   
මේ අන්දමට ආකෘ සංවිධානයේ සටකපට වැඩ මගින් ඔවුන්ගේ ගිනි දියර පොහොර ජාවාරම මේ රටේ දිගටම කරගෙන යන අතර ඒ නිසා ඉරහඳ පවතින තාක් පවතින්නට මේ රටේ පවත්වාගෙන ආ ස්වාභාවික ගොවිතැන අද වන විට මුළුමනින්ම හැඳිගෑවී ගොස් ආකෘ ගොවිතැනම රජ වී ඇත. ආකෘ ගොවිතැන නිසා මේ රටේ ඉමක් කොනක් නැතිව වැපිරීයන බෝ නොවන රෝග නිසා වසරක් පාසා රෝගීන් දහස් ගණනක් මිය යති. මේ වන විට මේ රටේ දරුවන්ගෙන් සියයට පහළොවක් දියවැඩියා රෝගයට ගොදුරු වී ඇත. යළිත් වරක් අතීතයේ පැවැති චෝල ආක‍්‍රමණය නිසා අනුරාධපුරය ජනශූන්‍ය ප‍්‍රදේශයක් බවට පත්වූ අයුරින්ම දැන් ආකෘ සංවිධානයේ ගොවිතැන් රටාව නිසා අනුරාධපුරය ජන ශූන්‍ය ප‍්‍රදේශයක් බවට පත්වෙමින් ඇත. බෝවෙන රෝගයක් පැතිරී යන්නාක් මෙන් අද අනුරාධපුරයට කඩාවැටී ඇති මෙම රෝග බිය හා මරණ බිය සෙසු ප‍්‍රදේශවලටද ක‍්‍රමයෙන් පැතිරී යනු එ්කාන්තය. 

මේ යථාර්ථය තේරුම් ගෙන ප‍්‍රමාද වී හෝ දැන්වත් ආකෘ සංවිධානය විසින් මේ රටේ ගොවියාටත්, ගොවි බිමටත් ගොවිතැනටත් කරන ලද මහා අපරාධයට ආකෘ සංවිධානයෙන් වන්දි අයකර ගෙන, එම සංවිධානය මේ රටින් පළවා හැර ඉරහඳ පවතින තුරු පවතින්නට පවත්වාගෙන ගිය මේ රටේ දේශීය ගොවිතැනට යළි පණ දීම රට කරවන ඇත්තන්ගේ පැහැරහැරිය නොහැකි ජාතික වගකීමකි.   

Lakbima. Article










සාකච්ඡා කළේ - එප්පාවල 
රත්න බී. ඒකනායක

Sunday, December 10, 2017

දෙසම්බරයේ අමතක නොවන1974, ලක්ශපාන අසල සප්ත කන්‍යා කදුවැටියේ හැපී 198 ක් මිය ගිය ගුවන් අනතුර






පුද්ගලයන් එකසිය අනූ එක්‌ දෙනකුට මරු කැඳවූ මෙරට බිහිසුණුම ගුවන් අනතුර සිදුව ඊට වසර හතළිස්‌ තුනක්‌ පිරුණ ද , නොර්ටන් බ්‍රිඡ් ටෙබර්ටන් වතුයායට අද පා තබමින් එදවස සිහිගන්වද්දී මේ මොහොතකට පෙර එම අනතුර සිදු වූ සෙයක්‌ අපට හැඟෙන්නේය. සමනල අඩවියේ ලක්‌ෂපාන ඉස්‌මත්තේ පිහිටි සප්ත කන්‍යා කඳුවැටිය හි මනරම් සුන්දරත්වය වෙලා ගත් ගුප්ත භයංකර පෙනුමක්‌ දැන් දැන් ඊට නතුව ඇත්තේ නොසිතුව මොහොතක හිස්‌ අවකාශයට එක්‌වූ පණනල නිසා විය හැකිය. සීත සෘතුව ඇරඹී තිබුණු දෙසැම්බරය නුවරඑළිය ආසන්නයේ වූ නෝර්ටන් බ්‍රිඡ් ටෙබර්ටන් ඉහළ මායිමටද මීදුම සහිත කාලගුණයක්‌ පවතින්නට ඇත. සීතලෙන් වෙලී ගත් කඳුකරය මුළු රටම උණුසුම් කරවමින් සප්ත කන්‍යා කඳුවැටියේ ගුවන් යානයක්‌ ගැටී සුණුවිසුණු වීම අද ඉතිහාසයට එක්‌ව තිබේ.
ඉන්දුනීසියාවේ සුර්වෙයාර් සිට මක්‌කම බලා ගමන් ගනිමින් සිටි වන්දනාකරුවන් එකසිය අසූදෙදෙනකු හා කාර්ය මණ්‌ඩලයේ නවදෙනකු මෙම ගුවන් අනතුරින් මිය ගියහ.
නෙදර්ලන්ත ජාතික හෙන්රික්‌ ලැම්රේ ගුවන් නියමු වශයෙන් කටයුතු කළ මාර්ටින් එයාර් ඩී-සී-8 ගුවන් යානය 1974- දෙසැම්බර් මස 04 දින නෝර්ටන් බ්‍රිඡ් ටෙබර්ටන් වතුයායට ඉහළින් ගමන් ගනිමින් තිබියදී රාත්‍රී 10.10 ට පමණ සප්ත කන්‍යා කඳු වැටියේ ගැටී විනාශයට පත්වූයේ ජාත්‍යන්තරයේම අවධානය ඊට යොමු කරවාලමිනි.
කාර්මික දෝෂයක්‌ හේතුවෙන් මෙම ගුවන් අනතුර සිදුව තිබෙන බව පසුව කළ පරීක්‌ෂණ මගින් හෙළිවී තිබිණි.
කඩාවැටුණු ගුවන් යානයේ එක්‌ රෝදයක්‌ නෝර්ටන් බ්‍රිඡ් පොලීසිය ඉදිරිපිට සිහිවටනයක්‌ ලෙස අද ද දක්‌නට ලැබෙන්නේය.
මේ සම්බන්ධයෙන් අදටත් අදහස්‌ දක්‌වන්නේ එකල කුඩා දරුවන්ව සිටි මෙදා වැඩිහිටියන්ව සිටින පිරිසකි.
"අපි අනතුර බලන්න යද්දී සල්ලි කොළ කන්ද පාමුලත් වැටිලා තිබුණා. ඇඳුම් පැළඳුම් පවා තැන තැන විසිරිලා. ගස්‌ උඩ යානාවේ කෑලී රැඳී තිබුණා. මළ සිරුරු කොටස්‌ තමයි හම්බ වුණේ. දැන් මේ අනතුර වෙලා අවුරුදු 41 ක්‌ ගතවුණත් තාමත් කන්ද දකිනකොට ඒක මැවිලා පේනවා."
"මම නිදාගන්න ගියා විතරයි. මහා පිපිරුම් හඬක්‌ ඇහුණා. කවදාවත් එච්චර ලොකු පිපුරුම් හඬක්‌ අහලා නොතිබුණු නිසා මම ඇඳෙන් පැනලා එළියට දිව්වා. කන්ද පැත්තේ ගින්දර පත්තුවෙනවා පේනවා. මහත්තයා ඒ පැත්තට ගිහින් ටික වෙලාවකින් ඇවිත් ප්ලේන් එකක්‌ සප්ත කන්‍යා කන්දේ හැප්පිලා ගිනි අරන් කිව්වා. කළුවරේ අපිට යන්න විදිහක්‌ තිබුණේ නැහැ. මහත්තයා කට්‌ටිය එක්‌ක කන්ද පැත්තට ගියා." එවකට විසි වැනි වියේ පසුවූ නෝර්ටන් බ්‍රිඡ් කිරිවන්එළිය පදිංචි මල්ලිකා හෙන්නායක අද හැට දෙහැවිරිදි වියේ පසුවෙයි. බිහිසුණු ගුවන් අනතුරේ මතක ආවර්ජනය කරන අතරතුර ඇය ගුවන් යානයේ සුන්බුන් අතර තිබී තම සැමියා ගෙනවිත් දුන් හොන්කොං රාජ්‍යයට අයත් ඩොලර් දහයක නෝට්‌ටුවක්‌ අපට පෙන්වූවාය. ඇය සිහිවටනයක්‌ ලෙස එය සුරැකිව ළඟ තබාගෙන සිටී.
"එදා රෑම අපි ඇහැරිලා හිටියේ. අදටත් දෙසැම්බර් මාසේ ළංවෙන කොට මට මේ අනතුර මතක්‌ වෙනවා.... දැන් අවුරුදු අටකට විතර කළින් ගුවන් යානයේ එදා ප්‍රධාන නියමුවා ලෙස හිටපු ලෑම් මහත්තයාගේ පුතා ලංකාවට ඇවිත් වාර්තා චිත්‍රපටියක්‌ කළා. අනතුර ගැන මතකක්‌ තිබෙන හැමෝම ඒ මහත්තයා මුණ ගැහිලා තොරතුරු ලබා ගත්තා... එදා මේ අනතුරින් මියගිය 190 දෙනකුගේ සිරුරු සප්ත කන්‍යා කඳු පාමුල මිහිදන් කළා. එක්‌ ගුවන් සේවිකාවකගේ සිරුර හඳුනා ගන්න පුළුවන් මට්‌ටමේ තිබුණ නිසා එයාගේ පෙම්වතා මළ සිරුර මෙහි මිහිදන් නොකර ඉන්දුනීසියාවට රැගෙන ගිය බවද ඇය කීය.
අනතුරින් මියගිය ගුවන් යානයේ කාර්ය මණ්‌ඩලයේ නවදෙනාගේ නම් සටහන් කළ සිහිවටන ඵලකයක්‌ සප්ත කන්‍යා කන්ද පාමුල මළ සිරුරු මිහිදන් කළ ස්‌ථානයේ අද ද දක්‌නට ලැබේ. එම ස්‌ථානයේ සිහිවටනයක්‌ ලෙස තබා තිබූ මාර්ටින් එයාර් ගුවන් සමාගමේ ගුරුලකුගේ රැව සහිත නිල ලාංඡනය පසුකාලීනව කිසිවකු විසින් රැගෙන ගොස්‌ තිබේ.
එකල පහළොස්‌ හැවිරිදි පාසල් සිසුවකුවූ වීරප්පන් රායි සිද්ධිය මෙසේ විස්‌තර කළේය. එදා හොඳටම සීතල දවසක්‌. මීදුම හවස්‌ කාලයේ ඉඳලම තිබුණා. මහ ලොකු හඬකින් පිපුරුමක්‌ ඇතිවුණා. ජනේලය තුළින් ගේ ඇතුළට විදුලියක්‌ කොටනවා වගේ එළියක්‌ ආවා. මොකක්‌ද කියලා හිතාගන්න බැරිවුණා. එළියට ගිහින් බලනකොට කන්ද පැත්තේ ගිනිබෝල පත්තු වෙනවා. කැලේ තැනින් තැනත් ගින්දර එළි පේන්න තිබුණා. වත්තේ තේ ෆeක්‌ටරියේ නළාව වත්තේ මහත්තයා නාද කරලා හැමෝම කැඳෙව්වා. තාත්තත් එක්‌ක මාත් ගියා. ප්ලේන් එකක්‌ කන්දේ හැප්පිලා කඩාගෙන වැටිලා කියලා වත්තේ මහත්තයා තමයි කිව්වේ. පන්දම් එළි අරගෙන ලොකු කන්ද නගින්න කැලේට ගියා. රෑ එළිවෙනකම් මහන්සි වුණත් අඳුර නිසා මොනවත් කරගන්න පුළුවන්කමක්‌ තිබුණේ නැහැ කියලා තාත්තා කිව්වා. ඒ කලේ දැන් වගේ දුරකථන පහසුකම්, මාධ්‍ය නැති නිසා සිද්ධිය ප්‍රචාරය වුණේ පහුවදායි. මිනිස්‌සු වැල නොකැඩී අනතුර බලන්න එන්න පටන් ගත්තා. දිනමිණ පත්තරේ අනතුර ගැන ලොකු විස්‌තරයක්‌ දාලා තිබුණා. පත්තර විකිණුනේ උණු කැවුම් වගේ.... කළු පෙට්‌ටිය හොයන්න තමයි හමුදාව වගේම පිටරටින් ආපු මහත්තුරු මහන්සි වුණේ. පත්තරවලත් ඒ විස්‌තර දාලා තිබුණා. කළු පෙට්‌ටිය ගොඩක්‌ වටිනවා කියලා මම හිතුවා. දවස්‌ ගාණකට පස්‌සේ ඒක කන්දේ දෙබොක්‌කාවක තිබිලා හම්බවුණා කියලා දැනගන්නට ලැබුණා.
වර්ෂ 1966 මුල්ම ගුවන් ගමන ගිය මාර්ටින් එයාර් ගුවන් යානය සුන්දර නුවරඑළියේ සප්ත කන්‍යා කඳුවැටියේ ගැටී සුණුවිසුණුව යද්දී වසර අටක ආයුකාලයක්‌ ගෙවා තිබිණි. අනතුර සිදුවූ අවස්‌ථාවේ එය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව නිවැරදි තක්‌සේරුවක්‌ කළ නොහැකි වූයෙන් නොයෙක්‌ කටකතා සමාජයේ පැතිර ගියේය. ලක්‌ෂපාන විදුලි බලාගාරයේ ආලෝක කුලුනු කටුනායක ගුවන් තොටුපළේ ආලෝක කුලුනු ලෙස ගුවන් නියමුවා වැරදියට වටහාගෙන ගුවන් යානය පහතට ගැනීමට ගිය අවස්‌ථාවේ එය කන්දේ ගැටුණු බව එවැනි එක්‌ කතාවකි. කටුනායක සිට ගුවන් යානයේ මැදිරිය අතර පැවති අදහස්‌ හුවමාරුව නිවැරදි ලෙස සිදු නොවීම අනතුරට හේතුව බව තවත් මතයකි. එම අවස්‌ථාවේ ගුවන් යානය තිබූ නාවික සැතපුම් 40 ක දුර ප්‍රමාණය ඉංග්‍රීසි භාෂා උච්ඡාරණයේදී ෆොaර්ටි යන්න ෆොaර්ටීන් ලෙස වැරැදියට වටහා ගැනීම නිසා ගුවන් නියමු යානය පාත්කිරීමේදී එය කන්දේ ගැටී තිබෙන බවට පැතිර ගිය මතයට සමාජයේ ප්‍රභූ පිරිස්‌ද එකල යම් එකඟතාවක්‌ පළ කැර තිබිණි. තවත් පිරිසක්‌ මෙම මත දෙකටම වෙනස්‌වූ මතයක්‌ දැරිය. ඒ බුදුන්ගේ පා පහස ලද සමනොල කඳු මුදුනට ඉහළින් යානය ගමන් ගැනීම අනතුරට හේතුව බව එම මතයයි. මේ සියල්ල බොරු කරමින් පසුකාලීනව මේ පිළිබඳ පරීක්‌ෂණ පැවැත්වූ විදේශීය නියෝජිත පිරිස යානයේ කාර්මික දෝෂයක්‌ අනතුරට හේතුව බව ප්‍රකාශයට පත්කරනු ලැබීය. ජීවිත 191 සමඟ විනාශ වූ යානය පිළිබඳ දැන් ඇත්තේ මතකයක්‌ පමණි. සිහිවටන ඵලක හැරෙන්නට අනතුරේ මතක අවදි කෙරෙන ගුවන් යානයේ කොටසක්‌ අදත් නෝර්ටන් බ්‍රිඡ් පොලිස්‌ ස්‌ථානයට ගියවිට දැකගත හැකිය. ඒ යානයේ ඉදිරිපස ටයරයයි.
රයිට්‌ සහෝදරයන් ගුවන් යානය නිර්මාණය කැර ගෙවුණු දශක 11 ක කාලය තුළ ලොව පුරා ගුවන් අනතුරු වලින් දස දහස්‌ ගණනක්‌ මියගොස්‌ ඇත. පළමු ගුවන් අනතුර ගුවන් යානයේ නිර්මාතෘ ලෙස පිළිගැනෙන රයිට්‌ දෙසොහොයුරන්ගෙන් කෙනකු වන ඕවිල් රයිට්‌ (Orville Wright) අතින් සිදුවූයේ 1908 වසරේ සැප්තැම්බර් 17 දිනය. ලුතිනන් තෝමස්‌ සෙල්ෆ්රිඡ් (Thomsa Selfridge) නමැති අයට මරු කැඳවූ එම ගුවන් අනතුරින් පසු තවත් අනතුරු දහස්‌ ගණනකට ගුවන් යානා භාජනය විය. ඒ අතරින් බිහිසුණුම ගුවන් අනතුර ලෙස අදටත් පිළිගැනෙන්නේ ටෙන්රිෆ් (Tenerife) ගුවන් තොටුපළේදී බීජිං 747 වර්ගයේ ගුවන් යානා දෙකක්‌ එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරය. මෙම යානා දෙකේ සිටි හයසිය හතලිස්‌ හතරදෙනකු අතරින් මෙහිදී පන්සියඅසූ තුන්දෙනකු ජීවීතක්‌ෂයට පත්වූ බව සඳහන් වන්නේය. ජපානයේ ටෝකියෝ හයිඩා ගුවන් තොටුපළේ සිට ඔසකා ගුවන්තොට දක්‌වා මගීන් පන්සිය පස්‌ දෙනකු
රැගෙන යමින් තිබූ ගුවන් යානය එහි කාර්ය මණ්‌ඩල සාමාජිකයන් පහළොස්‌ දෙනකුද සමඟ කඩාවැටී විනාශ වූයේ 1985 වසරේ අගෝස්‌තු 12 දායි. තනි ගුවන් යානයක්‌ අනතුරට ලක්‌ව වැඩිම පිරිසක්‌ මියගියේ එම අනතුරිනි.
එදා මෙදාතුර ලොව සිදුවූ බිහිසුණුම ගුවන් අනතුරුවලින් එකක්‌ ලෙස අදටත් සප්ත කන්‍යා ගුවන් අනතුර පිළිගැනෙයි. ඕලන්ද රාජ්‍යයට අයත් මාර්ටින් එයා ඩී.සී 08 ගුවන් යානය ඉන්දුනීසියාවේ සූර්වෙයාර් ගුවන් තොටුපළින් මක්‌කම වන්දනාකරුවන්
රැගෙන ගමන් ආරම්භ කැර තිබුණේ දහවල් 12.00 ට පමණය. එය කටුනායක ගුවන්තොටුපළට (බණ්‌ඩාරනායක ජත්‍යන්තර ගුවන්තොටුපළ) ගොඩබස්‌සවා යළි සෞදි අරාබියේ ජෙඩා ගුවන්තොටුපළ වෙත ගමන් ගැනීම පනස්‌ දෙහැවිරිදි ප්‍රධාන ගුවන් නියමු හෙන්ඩි්‍රක්‌ ලෑම් (Hendrik Lamme)ගේ අවශ්‍යතාව විය. ගුවන් පියාසර පැය විසිහයදහස්‌ හත්සිය හැත්තෑවක්‌ සම්පූර්ණ කර සිටි අති දක්‌ෂ ගුවන් නියමුවකු වූ ඔහු ශීතලට ගුලි ගැසී තිබුණු ඝන මීදුම් තට්‌ටු විදගෙන යානය පියාසර කැර තිබුණේ අඩි 2000 ක්‌ පමණ වූ උසකිනි. සප්ත කන්‍යා කඳුවැටියේ පස්‌වැනි කන්ද අභිමුව ඔවුන්ගේ ගමන නැවතුනේ කටුනායකට යැමට විනාඩි ගණනක්‌ ඉතිරිව තිබියදීය.
ඒ තත්පරයද ඔවුන්ගේ ජීවිත සියල්ල සොබා දහම වෙත යළි ගෙන්වා ඇත්තේ අපට සිහිකරන්නට මතකයක්‌ ඉතිරි කරමිනි
සමන්තී වීරසේකර

Sunday, November 19, 2017

" ආසයි බයයි ඒ බෝට්ටුවෙ නමයි අතීත කතාව "



.

 

 නිල්වලා නදී කොමළිය මාන්තොටින් තොටමුණට පැමිණ සයුර බලා නිසලව ගලා ගෙන යයි.මාතර අසිරිය විචිත්‍රවත් කරන්නට මෙසේ ගලා බස්නා නිල් නදිය එදා මෙදා තුර සමත් වූ බවට විවාදයක් නැත.එසේ වූ හෙයින් ම මේ නිල්වලා ගංදිය පිළිබඳව පදවලට නැගුණු ගීත ගණනාවක් නිර්මාණය වී ඇත.නිල්වලා නදීය හා ගොඩැනැගුණු සංස්කෘතියක් ද නිර්මාණය වී ඇත.අද මෙන්ම එදාද වෙසක් අසිරිය නැරඹිමට විශාල ජනතාවක් වෙසක් පො‍හොය දිනවල මාතර නගරයට එක් වෙති.එසේ පැමිණෙන ජනතාව නිල්වලා ග‍ඟේ බෝට්ටු චාරිකාවකට එක්වෙන්නටද අමතක නොකරති.මේ බෝට්ටු චාරිකාවට තිත තබමින් ආසයි බයයි ගීතය නිර්මාණය වුයේ ශ්‍රී ලාංකීය ජනතාව පමණක් නොව ලොවම කම්පාවට පත්කළ සිදුවීමක් ඇසුරිනි.හරියටම මීට දසක හතරකට පෙර එනම් 1977 වර්ෂයේ මැයි මස 3 වැනි දින ආසයි බෝට්ටුව පෙරළි අහිමි කළ ජිවිත 36 කි.කාලයාගේ ඇවෑමෙන් එය අඳූරු අතීතයක සැගව ගියද “ආසයි බයයි” බෝට්ටුවේ බිහිසුණු මතකය අවදිකරන්නට සිද්ධිය සියසින් දුටුවන් කිහිපදෙනෙකු මෙන්ම බෝට්ටුවේ කපිතාන්වරයාද තවමත් මාතර ප්‍රදේශයේ ජිවත් වෙති.එදා ආසයි බයයි බෝට්ටුව අනතුරට පාදකවූ කඩාවැටි තිබූ කෝන් ගහේ බෝ පැලයක්ද මේ දිනවල දැක ගත හැකිය.

වසර 40 කට පසුව අතීතය ආවර්ජනය කරන්නට මුලින්ම අප ගියේ තොටමුණ ප්‍රදේශයටයි.තොරතුරු විපරම් කිරීමේදී 58 හැවිරිදි වියේ පසුවන නිහාල් නැමැත්තෙකු හමුවිය. ඔහු අපට සිය අමිහිරි අත්දැකීම මෙසේ ආවර්ජනය කළේය. සිද්ධිය වෙන විට මට අවුරුදු 18 යි.මාතර දැන් බස් නැවතුම් පොළ තිබෙන ස්ථානයේ තමයි ක්‍රීඩාංගණය තිබුණේ.බස්නැවතුම් පොළ තිබුණේ ක්‍රීඩාංගණය තිබුණු තැනයි.අප කිහිපදෙනෙකු එදා එහි ක්‍රිකට් ක්‍රීඩා කරමින් හිටියේ.මිනිසුන් කෑගහසන හඩ ඇසී මා එම ස්ථානයට දිවගෙන ගියා. ආසයි බයයි බෝට්ටුව පෙරළි ඇති බව ආරංචි වුණා. අප හත්අට දෙනෙක් බේර ගන්නට හැකිවූ බව නිහාල් පැවසීය‍.

අපේ කථාබහට තවත් පුද්ගලයෙකු එහිදී එකතු විය. මා ඟගට ආසන්නෙම තියෙන දර මඩුවක වැඩ කරමින් හිටියේ.අඳුර වැටීගෙන එන වේලාව.පස්වරු 6.00 ට පමණ මා දැක්කා පුද්ගලයෙක් පාවෙනවා .‍ඔහු බෝට්ටු ලෑල්ලක් අල්ලගෙන පාවෙනවා.ටික වේලාවකින් ඒක අත්හැරුණා .මේ මනුස්සය ග‍ඟේ ගිලෙනවා මා දුටුවා.ඒක ම‍ගේ ජිවිතේ අමිහිරි අත්දැකීමක් බව “මේ වන විට තිහගොඩ,කපුගොඩ පදිංචි සේපාල හේට්ටිආරච්චි පැවැසීය.

අඩි 36 එක් දින යාත්‍රාවක් වන ආසයි බයයි බෝට්ටුව අයිති සමිතියේ සභාපතිවරයා වන්නේද ලීලයියා නමින් හඳුන්වන ලබන පුද්ගලයෙකි.අප ඔහුගේ නිවසට ගියේය.ඔහු නමින් පී.බී ලීලාරත්නය

72 හැවිරිදි වියේ පසුවන ලීලයියාට බොහෝ දේ මතකයේ ඇත.සිය හඩ මෙසේ ඔහු අවධි කළේය.

“අපේ කොටුවේ ධීවර සමිතියට බෝට්ටු තුනක් තිබුණා.මේ බෝට්ටු පැදෙව්වේ සමිතියේ සාමාජිකයන්මයි.එදා වෙසක් පොහෝයදා.විශාල සෙනගක් මාතරට ඇවිත් තිබුණා.මාතර නගරයේ අසිරිය බලන්න අප සාමාන්‍යයෙන් එක ගමනකට 30 ක් පමණ රැගෙන යනවා.මේ අය පටවගෙන මැද්දවත්ත හන්දියට ගිහින් නැවත එනවා.එක් අයෙකුගෙන් අය කරන්නේ ශත විසි පහයි.මේ ආපු පිරිස මේ බෝට්ටුවට 50 -60 ක් අතර පිරිසක් පැටෙව්වා. මම ඒ අයට කිව්වා.මේච්චර ගණනක් ගෙනියන්න බැහැ කියලා.ඒ අය ඇහුවේ නැහැ.මා දන්නවා සෙනග වැඩිවුණහම හරවන කොට අපහසු වන බව දැනගෙන හිටිය.

පිට ගම්මානවල අය තමයි වැඩියෙන්ම ඇවිත් හිටියේ. එන්න එන්නම සෙනග වැඩි වුණා. එහෙම පටවාගෙන ගිහින් මැද්දවත්තෙන් බෝට්ටුව හරවල නැවත එනවා.මේ බෝට්ටුව පැදෙව්වේ ටී.එච් සිරිපාල යි.මම සිරි ට කිව්වා බලාගෙන සිරි යන්නේ කියලා.මට මතකයි බෝට්ටුවේ සල්ලි එකතු කළේ පීටර් කියලා කෙනෙක්.. පසුව මම පිට්ටනියට ගියා සෙල්ලම් කරන්න.ටික වේලාවකින් අපේ බෝට්ටුව පෙරලී ඇති බව ආරංචි වුණා. මා එහෙමම දිව්වා.

කෝංගහ නැමිලා තිබුණේ.මෙම ගසේ ගෙඩි කැඩීමට බෝට්ටුවේ ගියපු අය උත්සාහ කරලා තියෙනවා.ඒත් එක්කම සමබර බව නැතිවෙලා කෝංගහේ බදින්නට හරවද්දී බෝට්ටුව පෙරළිලා තියෙන්නේ. ”

අනතුරුව මෙම බෝට්ටුව පැදවූ ටී.එච් සිරිපාල ගේ නිවැසට ගිය අතර රෝගාතුරව ඇඳ මත සිටිනු දක්නට ලැබුණි.කාලයක සිට ඔහු මෙසේ රෝගාතුරව සිටින බව ඔහුගේ බිරිය අප සමග පැවසුවාය.මේ පිළිබඳ අතීතය අවධිකරන්න සිරිපාල එතරම් කැමැත්ක් දැක්වූයේ නැත.එහෙත් බිරියගේ ඉල්ලීමත් සමඟ මෙසේ තම හඩ අවධි කළේය.

අපි හවස 1.30 ට පමණ තමයි සෙනග අදින්න පටන් ගත්තේ. මැයි මාසේ දිය හරිම සැරයි.දෙවන සැරේට සෙනග ගෙනියන කොට සෙනග එකසිය ගණනන් නැග්ගා.මට මතකයි යාන්තන් කෝංගහේ වැදුනා.‍බෝට්ටුව හරවා ගන්නා බැරි වුණා. එක සැරේටම කට්ටිය කෝන් ගහේ එල්ලුනා. කෝන්ගහේ අත්ත කැඩුණා. එක පොදියටම ග‍ඟේ ගිලුනා.මාත් දියට වැටුනා. කොහොමහරි පීනලා ගොඩට ආව.මට මතකයි එහිදී පිරිමි ළමයෙක් බේරා ගත්තා.ඒ ළමය මාව බේර ගන්න කියලා කෑ ගැහුවා. ඒ බෝට්ටුවේ ගියේ එක ගෑනු ළමයයි. ඒ ළමයා ඉමදුවේ ප්‍රදේශයේ පුෂ්පරානි කියලා.එයා ගේ මහත්තයා ගඟට වැටුනේ පුෂ්පරානිගේ අතේ සෙරෙප්පුව ඉතිරි කරලාය.

මොවුන් දෙදෙනා අලුත විවාහවු අයෙකි. එතනි න් එහාට මතකයක් නැහැ.මට සිහිය එන විට මා හිටියේ මාතර රෝහලේ.පසුව පොලිසියෙන් ඇවිත් මා අත්අඩංගුවට ගත්තා. ඔහු අපහසුවෙන් මේ කරුණු අනාවරණය කළේය.ඔහුගේ මතකය අලුත් කරමින් අප සමඟ සිරිපාල ගේ බිරිය එච්.ජී සෝමාවති ද කථා බහට මෙසේ එකතු වුවාය.

අප ‍මේ අනතුර සිදුවන විට හිටියේ ගංඟාවේ පහළ කොටසේ මෝයේ ගෙයක් හදා ගෙන.මට දෙවන දරුවා ලැබෙන්න හිටියා.හරියටම දස මසක් වෙනවා. මහත්තයා ධීවර කටයුතු කළේ.අමතර ආදායමක් ගන්න තමයි මේ බෝට්ටු සවාරි ගියේ. එදා මගේ මහත්තයා හොයන්න මා රෝහල පුරාම ඇවිද්දා.මෝචරියේ පවා ‍හෙව්වා.පසුව රෝහලේ ප්‍රතිකාර ලබන බව දැන ගන්න ලැබුණා.මගේ මහත්තයා මේ සිදුවීමෙන් වසර ගණනාවක් මාව බේරගන්න කියලා .හීනෙන් කෑගහන බවත්,මේ සිදුවීම අවදිකරන්න මහත්තයා මැලිකමක් දක්වන බවද ඇය අප සමග කීවාය.

නිල්පාටින් , රතුපාට, ආලේප කර තිබූ මේ බෝට්ටුවේ 'බෝට්‌ටුවේ නිල්පාටයි, රතු පාටයි, සුදු පාටයි ආලේප කරලා තිබුණේ. නිල්පාට පසුබිමේ සුදුපාට අකුරින් තමයි 'ආසයි බයයි' කියලා නම ලියා තිබුණේ.සිද්ධියෙන් පසුව මේ බෝට්ටුව අලුත්වැඩියා කර දෙවිනුවර පියසේන නැමැති අයෙකුට විකුණා තිබෙනවා.එය පසුව එම බෝට්ටුව නම් කරල තිබෙන්නේ 'යළි ඉපදේ 'යන්නයි.

ටී.කේ.මහින්ද
වැලිගම සමූහ

Monday, June 26, 2017

මොනවද මේ ICE- වසර තුනෙන් කනත්තට නොමිලේ ටිකට්







ලොව භයානකම මත්ද්‍රව්‍යය දැන් ශ්‍රී ලංකාවෙත්
ඇබ්බැහි වූ අයට අවුරුදු තුනකින් නොමිලේම කනත්තට ටිකට්‌ එකක්‌
මේ රටේ ICE ඉතිහාසය අවුරුදු 20 කටත් වැඩියි


ඇහෙන දකින හැම ප්‍රශ්නයකදීම "ඔළුව වැල්ලේ හංගා ගන්නා රජයේ පැස්‌බරා ප්‍රතිපත්තියත්, ඒ හැමදේටම ලැඡ්ජා නැතුව නකුට වනා නොදිටිමි ස්‌වාමීනි, නොඇසුණි ස්‌වාමීනි" කියන නිලධාරි පැළැන්තිය නිසාත් මේ සියල්ල දෙසම ඇටිකෙහෙල් කෑ උගුඩුවා මෙන් නිහඬව බලා සිටින සිරි ලංකා පොදු ජනයා නිසාත් අපේ රට අද මිහිපිට අපායක්‌ වී ඇත. අද මේ රටේ සිදුවන අපරාධ ගැන කියනවාට වඩා සිදු නොවන අපරාධ ගැන කීම අපහසුය. කවුරුන් මොනවා කීවද මෙම ධර්මද්වීපය අද මත්ද්‍රව්‍යවලින් කප් ගසා අවසන්ය. ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය වන CYISTAL METH නැති නම් ICE ලංකාවෙන් හමුවන්නේ එබැවිනි.
CRYSTEL, METH, TINA, CHRISSY, SPEED ආදී බොහෝමයක්‌ වීදි නම් රැසක්‌ ඇති CRYSTAL METH වල ලෝක ප්‍රසිද්ධ වීදි නම ICE හා GLASS ය. මේ රටේ බොහෝ දෙනෙක්‌ භාවිත කරන්නේ ICE කියාය. CRYSTAL METH යනු CRYSTAL METHAMPHETAMINE යන්නේ කෙටි නාමයයි. කැට හෝ කුඩු ලෙස ඇති. මේවා දුඹුරු, කහ දුඹුරු, තැඹිලි, නිල් හා රෝස වැනි පැහැයන්ගෙන් ලබාගත හැකිය. ලංකාවේ ප්‍රසිද්ධ කැට නොව කුඩුය. අලුත්කඩේ උසාවිය අසල පැල්පත් වතුවලින්, දෙමටගොඩ, කැලණිය පැත්තෙ වතුවලින් මාලිගාවත්ත, මාදම්පෙ, පෑලියගොඩ, මට්‌ටක්‌කුලිය, මෝදර, වත්තල, ඇලකන්ද, වැල්ලවත්ත, බම්බලපිටිය, බොරැල්ල, මැගසින් පාරෙන්, ගාල්ල, හික්‌කඩුව, රත්නපුර, පැල්මඩුල්ල වැනි ප්‍රදේශවලින් ICE ලබාගත හැකිය.
ICE වල මිල පළාතෙන් පළාතට වෙනස්‌ වේ. කැටයක (යම් ප්‍රමාණයක මත්ද්‍රව්‍ය දැමූ පැකට්‌ටුවක්‌) මිල 1000, 2000 සිට 15,000 20,000 දක්‌වා දොaලනය විය හැකිය. ලෝකයේ ICE වල මිල ගණන් දුටු විට මෙම මිල ගණන් තීරණය වන්නේ කෙසේ දැයි පුදුම සිතේ. උදාහරණයක්‌ ලෙස ඔස්‌ටේ්‍රලියාවේ ICE ග්‍රෑම් 1 ක්‌ ඇමරිකන් ඩොලර් 64.1 කි. චීනයේ ඇමරිකන් ඩොලර් 72 කි. එංගලන්තයේ එය ඇමරිකන් ඩොලර් 500 කි. ඇමරිකන් ඩොලර් එකක්‌ ලංකාවේ මුදලින් අවමය රුපියල් 120 ලෙස ගත්තත් ලංකාවේදී ICE මේ තරම් ලාභ වීම ඇත්තෙන්ම අරුමයකි.
ICE එක්‌ එක්‌ ලෙසින් භාවිත කළ හැකිය. ඇඟට එන්නත් කිරීම, දුම් ලෙස ආඝ්‍රාණය කිරීම සහ ලංකාවේ එතරම් ප්‍රචලිත නැතත් බ්ලේඩ් එකකින් ශරීරය තුවාල කර ඊට ICE කුඩු දමා වැසීම හෝ තුවාලය වටා ලයිටරයකින් රත් කිරීම දක්‌වා මේ ක්‍රම ව්‍යාප්ත වී ඇත. ලංකාවේ ප්‍රචලිතව ඇත්තේ දුම් ලෙස ආඝ්‍රාණය කිරීමය. ඇමරිකාවේ මෙන් ඊට සුදුසු උපකරණ මෙරට අවම වුවද තැනේ හැටියට ඇණේ ගහන්න අපේ අය සමත්ය. ඇමරිකාවේ මේවා භාවිත කිරීම පිණිසම විවිධ උපකරණ තිබේ.
ICE භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වුවහොත් අවුරුදු තුනක්‌ ඇතුළත කනත්තට නොමිලේම ටිකට්‌ එකක්‌ ලැබෙන බව සහතිකය. නොමැරුණත් ජීවත් වන්නේ පිල්ලියක්‌ නැති නම් (ZOMBIE) ලෙසය. ICE භාවිතයෙන් මත් වූ ස්‌වභාවය පැය 6 සිට පැය 24 දක්‌වා පවතියි. එහි කෙටි කාලීන විපාක ලෙස ඔක්‌කාරය, නුරුස්‌සනා බව, ආක්‍රමණශීලීත්වය, ආහාර අරුචිය, සාංකාව, ව්‍යාජ දර්ශන මැවී පෙනීම වැනි බලපෑම් ඇති වේ. හෘද රෝග, පිළිකා තත්ත්ව, වකුගඩුව, අක්‌මාව වැනි විවිධ ඉන්ද්‍රියයන්ට හානි වීම හෝ අක්‍රිය වීම ICE වලට දැඩිව ඇබ්බැහිවූවෙකුට වන දීර්ඝ කාලීන විපාකය.
ICE නිපදවන්නේ සුපුරුදු පරිදි අනෙක්‌ හැම රෝගයක්‌ම ලෝකයට බෙදා හරින ඇමරිකාවේය. ඇමරිකාව ICE නිපදවන අතර, ඔවුන්ගේ ප්‍රධාන බෙදා හැරීම් මධ්‍යස්‌ථානය මෙක්‌සිකෝවය. ඔවුන් ඒවා මුහුදු මාර්ග හරහා ප්‍රවාහනය කරයි. ලංකාව ගැන කතා කිරීමේදී අනෙක්‌ හැම කුණු ගොඩක්‌ මෙන් ලංකාවට ICE ගෙන්වන්නේ ඉන්දියාවෙන් හා පකිස්‌තානයෙන්ය. ඒ වැඩේ ගානට කරන්නට ඉන්දියාවේ තූත්තුකුඩියෙන් මුහුදු යන බෝට්‌ටුවල සිට අපේ උතුරුකර වෙරළ තීරයෙන් මුහුදු යන අයියලා සමත්ය. සමහරක්‌ බෝට්‌ටුවල පිට පතුලේ රහස්‌ කුටීර ඇත. ඊට අත පෙවිය හැක්‌කේ වතුර යටින් පමණි. ආදම්ගේ පාලම මුහුදු තීරයද ඔවුන්ට මහත් සම්පතකි. ඒ සුදු වන් වැලිතලා අතර, මත්ද්‍රව්‍ය හොයා කාල්ගාන්න සිතන්නේ කවුද? උතුරුකර දූපත් අතර කිලෝමීටර් එකක දෙකක වපරිසයක්‌ ඇති දූපත් බොහෝමයකි. කණ්‌ඩායම් කිහිපයකට එකිනෙකා නොදැක මත්ද්‍රව්‍ය ජාවාරම ගජරාමෙට කරගෙන යැමට ඒවා පාරාදීසයකි. ඉන්දියාවෙන්ම සමහර විට මාළුන්ගේ බඩට මත්ද්‍රව්‍ය දමා පැක්‌ කර මෙරටට එවයි. 
ජාවාරම්කරුවන්ට මුහුදු තීරය පසු කළ පසු කරන්නට ඇත්තේ භාරදූර කාර්යයකි. ඒත් එයද අපේ රටේ අයියලාට ඒ හැටි දෙයක්‌ නොවේ. නමුත් රටපුරා බෙදා හැරීමේ කාර්යය අයිති කාන්තා හා ළමා පක්‌ෂයටය. ගුලි කර බැන්ද කොණ්‌ඩයේ සඟවා ගැනීම, කොණ්‌ඩයට අමතරව යෙදූ බොරු කොණ්‌ඩයේ සඟවා ගැනීම, බැටරිය ඉවත් කළ ෆොaන් එකේ, අඩි උස සපත්තුවේ, මාල පෙන්ඩන, කරාබු, බෑන්ගල්, මදය ඉවත් කළ අත් ඔරලෝසුව, පාසල් ටයි පටියේ, බෑගයේ රහස්‌ පොකට්‌වල, පෑන්වල, පොත් කවර තුළ, සපත්තු අඩි, ඇඳුමේ වාටිවල එකී මෙකී නොකී බොහෝ තැන් ඒ සඳහා සුදුසු බව ඔවුහු අත්දැකීමෙන් දනිති. සැකය අවම නිසා අවුරුදු හතරෙ පහේ දරුවන් වුව මීට යොදා ගන්නට ඔවුන් පසුබට වන්නේ නැත. සමහර විට ළමයින්ට මෙම පැකට්‌ ගිල්වා විරේක කරවීමද ඔවුන් අතර ප්‍රචලිතය. අවුරුදු දහයේ දොළහේ ළමුන්ගේ ගුද මාර්ගයේද මේවා සැඟවීමට තරම් තත්ත්වය දරුණු වී ඇත. එවැනිම ළාබාල වයස්‌ සීමාවල ගැහැනු ළමුන්ගේ රහස්‌ තැන්හි හා ගුද මාර්ගද මීට භාවිත වන අවස්‌ථාද නැත්තේම නැත. මෙවැනි අවස්‌ථාවන්ට බොහෝ විට මුහුණ දෙන්නේ වීදි දරුවන් හා පැල්පත් දරුවන්ය.









ICE මේ තරම් ජනප්‍රිය 3 වැනි පංතියේ මිනිසුන් අතර පමණක්‌ නොවන බව අප මතක තබා ගත යුතුය. ඒවා සුපිරි පැළැන්තියේ BEACH PARTY වලට DINNER DANCE වලට NIGHT CLUB ජීවිතයට අත්‍යවශ්‍යය. ඒත් ඔවුන්ට නම් ICE ප්‍රවාහනයට 3 වන පංතියේ මිනිසුන්ට මෙන් මහන්සි විය යුතු නැත. ICE දුර පළාත්වලට ප්‍රවාහනයට දුම්රිය භාවිත වේ. ඔවුන් දුම්රිය වැසිකිළියේ වළ ඇතුළට අත දමා එහි පිට පැත්තේ ICE කැට තදින් අලවයි. ඒත් මේ ක්‍රමය භාවිතා කරන්නේ 3 වන පංතියේ මිනිසුන්ය. සුපිරි පැළැන්තියේ අයට එවැනි පිළිකුල් සහගත ක්‍රියාවල නිරත වීම අනවශ්‍යය. එමෙන්ම තැපැල් කන්තෝරුවක්‌ සේ මත්ද්‍රව්‍ය බෙදා හරින පොදු වැසිකිළි භාරකරුවන්ට, ප්‍රවාහනයට උදවු කරන ත්‍රිරෝද රථ රියෑදුරන්ට, ප්‍රයිවට්‌ බස්‌රථ රියෑදුරන්ට කොමිස්‌ දීමට වන්නේ පහළ පංතියේ මිනිසුන්ට මිස සුපිරි පැළැන්තියේ අයට නොවේ. රෙදි බෝනික්‌කන්, මැටි පිළිම, ළමා සෙල්ලම් බඩු, හඳුන්කූරු පෙට්‌ටි, සුවඳ දුම් කුඩු පෙට්‌ටි, පරණ යකඩ බඩු, වට්‌ටක්‌කා ලොරි, හාල් ගෝනිවල ICE හංගන්නට සුපිරි පැළැන්තියේ අයට අවශ්‍ය වන්නේ නැත. ඔවුන්ට එය හයිබ්‍රිඩ් වාහනයක COOL එකේ කරගත හැකිය. ඔවුන්ට TINA නැතිනම් SPEED යනු පාතාල ලෝකයේ ගෝඩ් ෆාදර්ලාගේ වචනෙන්ම කියනවා නම් සල්ලිකාර පිස්‌සන්ට තවත් එක්‌ ලල් එකක්‌" පමණකි.
ICE වලට 19 වන සියවස තරම් ඈතට දිවෙන දිගු ඉතිහාසයක්‌ ඇත. CRISTAL METH මුලින්ම නිපදවන්නේ 1887 දී ජර්මනියේදීය. 1919 දී CRISTAL METH ජපානය විසින් වැඩි දියුණු කර ඇත. CRISTAL METH ඊළඟට කරළියට එන්නේ II ලෝක යුද සමයේදීය. ඒ නාසි ජර්මනියේ සොල්දාදුවන්ට ඒවා ලබාදීම නිසාය. (මෙසේ ලබා දී ඇත්තේ නූතනයේ භාවිතා වන CRISTAL METH නොවේ) එය ලබාගත් සොල්දාදුවන් ආහාර ජලය හෝ විවේකයක අවශ්‍යතාවක්‌ නැතිව සටන් කර ඇත. (ICE නැති නම් SPEED ශරීරයේ ඇඩි්‍රනලින් ප්‍රතිශතය වැඩි කරයි. ශරීරය විසින් සටනකට සූදානම් වීමට අනතුරකින් ආරක්‌ෂා වීමට අවශ්‍ය ශක්‌තියත් වේගයත් ලබා ගන්නේ ඇඩි්‍රනලින්වලිනි. ICE වලට SPEED කියා කියන්නේද ඒ නිසාය) කෙසේ වුවත් 1939 දී දෙවන ලෝක යුද්ධය ඇරඹී වසර 2 ක්‌ තුනක්‌ ගතවන විට නාසි හමුදාවල යම් පසුබැසීමක්‌ ඇති විය. ඊට හේතුව වූයේ හිට්‌ලර්ගේ SPEEDවල අතුරු ආබාධ ඇතිවීම නිසාය. SPEED ඇති කළ ආක්‍රමණශීලීත්වය නිසා ජර්මන් සොල්දාදුවන් තමාගේ අයම මරා දැමීමටත්, සියදිවිනසා ගැනීමටත්, පෙළඹී ඇත. ඉන්පසු හිට්‌ලර් SPEED භාවිතය තහනම් කර ඇත. එමෙන්ම ජපානයේ KAMIKZE නමැති මරාගෙන මැරෙන ගුවන් හමුදා කණ්‌ඩායම්ද සිය මෙහෙයුම්වලට පෙර SPEED පාවිච්චි කර ඇත. 1950 දී SPEED සාමාන්‍ය ජනතාව අතට පත් වී ඇති අතර, 60 හා 70 දශකය වන විට ලොව පුරා ව්‍යDප්ත වී ඇත.
CRISTAL METH පළමු වරට ලංකාවේදී හමුවන්නේ සති කීපයකට පෙරය. ඒ නිසා කෙනෙකුට සිතෙන්නේ ICE ලංකාවට ආගන්තුක දෙයක්‌ ලෙසය. ඒත් සත්‍යය, ප්‍රබන්ධයට වඩා බොහෝ ඈතය. "මම මේ µSල්ඩ් එකට බැහැලා අවුරුදු 20 ක්‌ විතර වෙනවා. ඒ වෙන කොටත් ලංකාවට ICE ඇවිත්. ඊටත් අවුරුදු කීයකට කලින් ආවාද කියන්න මම දන්නේ නෑ. ඒත් දැන් අවුරුදු 15, 16, ඉඳන් කොල්ලෝ 24, 25 ඉඳන්a කෙල්ලෝ මේවට ඇබ්බැහි වෙලා. ගැහුවොත් ගැහුවම තමයි. ICE නැත්නම් TABLAT එකක්‌වත් ඊළඟට හොයනවා." ඒ ත්‍රිරෝද රථ රියෑදුරකුගේ හඬය. බොහෝ දෙනෙකුගේ මතයට අනුව ලංකාවට ICE ඇවිත් ඇත්තේ 77 විවෘත ආර්ථිකයෙන් පසු පළමුවැනි දශකයේදීය. එනම් 80 ගණන්වලය. එදා මෙදා තුර ලංකාවේ මත්ද්‍රව්‍ය වැටලීම් බොහෝමයක්‌ කර ඇත. ගැටලුව ඇත්තේ ලෝකයේ අති භයානක මත්ද්‍රව්‍ය වූ CRISTAL METH වලට මේ තරම් අඩු අවධානයක්‌ යොමු කළේ ඇයිද යන්නය.ු


අන්තර්ජාලයෙනි




Wednesday, June 14, 2017

100 නිමවූ නිවුන් ආච්චිලාගේ උපන් දිනය .





වසර සියයක කාලයක් ජීවත් වන්නට වරම් ලැබීම පුද්ගලයකු ලබන භාග්‍යකි. තම සිය වන උපන්දිනය පෙර නොවූ පරිදි අමතක නොවන දිනයක් කර ගැනීමට හැකි වීම සැබවින්ම ආශ්චර්යකි. ඒත් එම අවස්ථාව හිමි වන්නේ කීයෙන් කී දෙනාටද? එවැනි නිවුන් සහෝදරියන් දෙදෙනෙක් තම සියවන උපන්දිනය චමත්කාරජනක ඡායාරූප ගනිමින් සැමරූ පුවතක් පසුගිය දිනක අසන්නට ලැබිණි.
බ්‍රසීලයේ ජීවත්වන මාරියා පිග්නටොන් පොන්ටින් සහ පවුලිනා පිග්නටොන් පැන්ඩොල්ෆි නිවුන් සහෝදරියන් දෙදෙනෙකි. පවුලිනා පිග්නටොන්ට දරුවන් හය දෙනෙක්, මුනුපුරු මිනිපිරියන් දහනම දෙනෙක් සහ මුනුපුරු මිනිපිරියන්ගේ දරුවන් දහසය දෙනෙක් ද සිටිති. මාරියා පිග්නටොන්ට දරුවන් පස් දෙනෙක් , මුනුපුරු මිනිපිරියන් දොළොස් දෙනෙක් සහ මුනුපුරු මිනිපිරියන්ගේ දරුවන් හය දෙනෙක් ද සිටිති. මීට වසර ගණනාවක සිට පවුලිනා උදර පිළිකාවකින් සහ හෘද රෝගී තත්ත්වයකින් පීඩා විඳින්නී ය. එහෙත් ඇයගේ සිත ශක්තිමත් ය. මාරියා සෙනෙහස කරුණාව අන්‍යන්ගෙන් බලාපොරොත්තුවන, වැඩි කතාබහක් නොමැති කාන්තාවකි.
පුද්ගල ඡායාරූප ශිල්පිනී කමිලා ලීමා හට පවුලිනා සහ මාරියා යුවළ පිළිබඳ දැන ගන්නට ලැබුණේ අහම්බෙනි. තරුණ පුද්ගලයින්ගේ කලාත්මක ඡායාරූපවලට ප්‍රමුඛස්ථානය දුන්නද ඇය මහලු පුද්ගලයන්ගේ ඡායාරූප ගෑනීමට ද ඇල්මක් දැක්වූවාය. එහෙත් මහලු වියෙහි සිටින පුද්ගලයන්ගේ මානසික මට්ටම සහ රෝගාබාධ හේතුවෙන් කමිලා හට මහලු පුද්ගලයින්ගේ ඡායාරූප ගැනීමට නොහැකි විය.
තම සිතෙහි මහලු කාන්තාවන්ට තිබෙන සෙනෙහසත් තම ඡායාරූපකරණයේ වෙනස්කමක් කීරීමට ඇති කැමැත්තත් හේතුවෙන් ඇය නිවුන් සහෝදරියන්ගේ සියවන උපන්දිනයෙහි ඡායාරූප ගැනීමට තීරණය කළා ය. මැයි මස පහළොස් වන දිනයේ මාරියා සහ පවුලිනා යුවළ රෝස සහ නිල් පැහැති ගවුම්වලින් සැරසී සිටියහ. එම ගවුම්වලට ගැලපෙන කොණ්ඩා මෝස්තර සහ පාවහන්වලින් ඔවුන් හැඩගැන්වීමට ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ද කමිලා හට උපකාර කළේ ය. තව ද මෙම ඡායාරූපවලට මෝටර් රථයක්, මල් සහ බැලුන් ද උපයෝගී කර ගත්හ. ඔවුන් එදා හැඩ ගැන්වුණේ විවාහ උත්සවයකට සහභාගී වන තරුණියන් දෙදෙනකු පරිදි ය. මෙම ඡායාරූප ගන්නා අවස්ථාවේ දී කමිලා නිවුන් සහෝදරියන් දෙදෙනාට ආමන්ත්‍රණය කර ඇත්තේ “ මගේ කෙල්ලනේ” යනු‍වෙනි. කොපමණ වයසට ගිය ද ඔවුන් දෙදෙනාගේ ආදරණීය බව ඔවුන්ගේ සිනහවෙන් නිරූපණය වන බව ඡායාරූපවල පැහැදිලි ය.
“ ඔවුන් එදා උපරිම විනෝද‍යෙන් මා සමඟ කාලය ගත කළා. ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ලබා දුන් සහයෝගය පිළිබඳ මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා “ යනුවෙන් කමිලා ලීමා ඒ.බී.සී මාධ්‍යට ප්‍රකාශ කළා ය.
“ මෙම ඡායාරූප හරිම සරළයි. ඒ වාගේම වර්ණවත්. ඔවුන් එකිනෙකාට දක්වන සෙනෙහස මම මුලින් ම දුටුවේ පෙර පුහුණුවීම් කරන අතරතුරයි. ඔවුන් එදා ගොඩක් පුදුම වෙලයි හිටියේ” යනුවෙන් කමිලා තම මුහුණු පොතෙහි සඳහන් කර තිබිණි






මදාරා මුදලිගේ






Tuesday, June 13, 2017

ඔන්න කඩනවනම් පොල්.පෝසත් වෙන්න මාර්ගයක්




සමාජයෙන් කොන්කර තිබූ පොල්කැඩීමේ රැකියාව අද හොදම හා වැඩිම ආදායම් ලබන රැකියාව වෙලා.එහි නිරතවූවන් පැය 04 ක කාලයක්තුල උපයන මුදල රුපියල් 2000/.ඉක්මවති.අනතුරුදායක බවනම් සත්‍යයක්ලු
වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාශය තුල වෙසෙන ජනතාවගෙන් වැඩිදෙනා සමාජයේ ඇති පහත්ම රැකියාව පොල් කැඩීමේ රැකියාව ලෙස නම්කළ වකවානුව දැන් නිමාවට පත්ව ඇති අතර අද එම රැකියාව සමාජයේ ඉහළම රැකියාවක් බවට පත්ව ඇති බවත් තමන් පැය 04 ක කාලයක් තුල එනම් වරුවකදී පොල්ගස් 20 කට ගොඩවී ලබාගන්නා මුදල රුපියල් 2000/.කට වැඩි බවත් එම පිරිස් පෙන්වා දෙති.
පොල් කැඩීමේ රැකියාවට එදා යොමුව තිබූ පිරිස් කෙකිවලින් එම කටයුතු සිදුකළද අද එම කටයුතු සිදු නොවේ.ඒ සදහා වැඩිම පිරිසක් යොමුවී තිබුනේ ඉන්දියාවේ සිට දිවයිනට පැමිණ සිටි ද්‍රවිඩ ජාතිකයන්ය.ඔවුන් එම කටයුතු ඉතාමත්ම කාර්යක්ෂම කළ අතර පොල් කැඩීමට අයකලේද ඉතාම සුලු මුදලකි.
අදවනවිට එම පිරිස් නැති අතර කෙකිවලින් පොල් කැඩීම ද්‍රවිඩයින් හා සමානව සිදුකිරීමට අපේ අයට නොහැකිවූයේ එම ප්‍රායෝගික දැනුම උපයෝගිකර ගත නොහැකිවීමත් එම කෙකි නිසි ලෙස පිළියෙල කර ගැන්මට අපේ අයට හැකියාවක් නොමැතිකමත් හේතුවෙනි.පොල් වගාකිරීමේ මණ්ඩලය පවා පොල්කැඩීමට නානා උපකරණ භාවිතා කළත් සාර්ථක ප්‍රතිඵල ලබාගත නොහැකිවූ අතර කෙකිවලින් පොල් කැඩීම පුහුණු කලද එයද අඩාලවී ගියේ එම කෙකි සොයා ගැනීමේ දුෂ්කරතා සහ ඒවා පදම් කර ගැන්මට හැකියාවක් නොමැතිකම හේතුවෙනි.
කෙකිවලින් පොල් කැඩීම වෙනුවට වෙන්නප්පුව ආසනයට අයත් කිරිමැටියාන ලුණුවිල හා අවට පිරිස් ගස්නැග පොල් කැඩීමට හුරුපුරුදුවූ අතර අද ඔවුනට උණු කැවුම් ලෙස ඉල්ලුමක් තිබේ.එක ගසකට ඔවුන් රුපියල් 50.60 ත් අතර මුදලක් අයකලද ඒ මුදලටවත් පොල් කඩාගන්නට ඔවුන් සොයාගැන්ම දුෂ්කරය.ඔවුන් සාමාන්‍යයෙන් උදය වරුවේ පමණක් එම කටයුතු සිදුකර සවස විශ්‍රාමසුවයෙන් පසුවන අතර උදයවරුවේ ගස් 40 කට පමණ ගොඩවී රුපියල් 2000/. ක මුදලක් සොයා ගනිති.
ගස්නැග පොල්කැඩීමේදී ඉඩම්හිමියාට විශාල මුදලක් වැයවන නමුත් පොල්ගසේ වියළි අතු කඩා ගස පිරිසිදු කිරීම හා නියමිත පොල්ගෙඩිය පහසුවෙන් තෝරාබේරා කැඩීමට ඇති හැකියාව නිසා ගස්වල පලදාව ඉහලයන නමුත් කෙකිවලින් කැඩීමේදී ඔවුන් අයකරන ගාස්තුව අඩුවුවද ගසට ලැබෙන ඉහත සාත්තු කිසිවක් නොලැබෙනු ඇත.
කෙසේ වෙතත් ඔවුනට ඇති විශාල ඉල්ලුමත් ඔවුන්ගෙන් වන උපරිම සේවාවත් හා රැකියා විරහිතවසිටින තරුණ පිරිස්වල ප්‍රමාණය ඉහළ යමින් ඇති නිසා රජය මැදිහත්ව මෙම රැකියාව ගැන ජනතාව දැනුවත් කර පුහුණුවක් ලබාදී මෙය පහත් රැකියාවක් යයි සමාජය තුල ඇති වැරදි මතයට තිත තැබීම අගනා පියවරක් බවද ජනතාව පෙන්වා දෙති.
සටහන සහ ඡායාරූපය
වෙන්නප්පුව විශේෂ සුනිල් ප්‍රනාන්දුපුල්ලේ

Saturday, May 27, 2017

දරුවන් විස්සක් දැයට පිදූ මව්පිය යුවළක්


දරු ප්‍රසූතියකට හෝ රෝහලකට නොගිය, දරුවන් විසි දෙනකු බිහිකළ, අදටත් හොඳ ශරීර සෞඛ්‍ය සම්පන්නව ආදරයෙන් ජීවත්වන ආදර්ශමත් යුවළක් පිළිබඳ පුවතක් ගලේවෙල බඹරගස්වැව කටුපොත ගම්මානයෙන් වාර්තා විය. 

පසුගිය 14 වැනි ඉරිදාට යෙදී තිබූ අම්මාවරුන්ගේ දිනයදා මේ වාසනාවන්ත යුවළ පිළිබඳව අපට තොරතුරු ලැබුණේ පට්ටිවෙල ග්‍රාම නිලධාරී නිමල්සිරි රෝහණ මහතා මගින් ගලේවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වූ දුමින්ද බණ්ඩාරනායක මහතාගෙනි.
ඒ අනුව අප මේ අපූරු යුවළ හා දරුවන් සොයා කටුපොත ගම්මානය බලා ගියෙමු. අප එම නිවසට යනවිට ඈතින්ම දර්ශනය වූයේ බුලත් තට්ටුවක් ළඟ තබාගෙන විටක් හපන්නට සූදානම් වෙන යුවළයි. ග්‍රාම නිලධාරී නිමල්සිරි මහතා ඈත සිටම අපව දැනුම්වත් කළේ “මේ ඉන්නේ ඔය ජෝඩුව. හරියට කුරුල්ලයි කිරිල්ලියි වගේ” එකට ඉන්නේ යැයි කියමිණි.

බුලත් තට්ටුව පසෙකින් තැබූ මව අප ඉදිරියට පැමිණ වඩාත් සමීප වී “කව්දෑ මේ හරියට ඇහැ පේන්නේ නෑ. අඳුරාගන්ඩ අමාරුයි” මඳක් ග්‍රාම නිලධාරීවරයාට කිට්ටු වෙමින් ඇසුවාය. “හප්පේ දෙයියෝ ඇඳින ගත්තා මොකද අප්පේ මේ හදිස්සියේ” මෙම මව සිනහවී ඉතාම  ස්නෙහයෙන් ග්‍රාම නිලධාරීවරයා පිළිගෙන රෝද පුටුව මත ඉන්න සැමියා දෙසට හැරී “ඒයි මේ ග්‍රාමසේවක මහත්තයා” යැයි කීවාය. 

සැමියාද “ආයුබෝවන්ඩ ඕං අප්පේ මේ ගොං නාම්බෙක් ඇනලා දැන් එකතැන්වුණානේ මොකෑ ඉතින් කොරන්නේ” යැයි පියා ග්‍රාම නිලධාරී මහතාට කීවේ හැඳුණුම්කම වර්ධනය වෙන ආකාරයටයි.

අප මේ නිවසට ගොඩවී විනාඩි කීපයක් ගතවෙද්දී සිහින් වර්ෂාවක් ඇද වැටෙන්නට විය. මේ ආදරණීය අම්මා එළියට පැමිණ ඇයගේ නිවස වටේ සිටින දරු මුණුබුරන් තෙමෙනවාදැයි බලන්නැයි සිය සැමියාට කියන්නට වූවාය.

මෙම නිවසට ඇතුළුවන බිත්තිය ඉදිරිපිට විශාල බැනරයක කුඩා දරුවකු මුහුණේ හොවාගෙන සිටින මවකගේ චිත්‍රයක් සහිත “ආදරයේ උල්පත අම්මා” යනුවෙන් සටහන් කැර එල්ලා තිබෙනු දැක ගැනීමට හැකිවිය.

ඒ අප සොයා ගිය මවයි. ඇය නමින් එච්.ඒ. රොසලින් නෝනායි. ඇය දැනට 78 වැනි වියේ පසුවන්නීය. ඇයගේ ආදරණීය සැමියා, ජී. ජිනදාස අසූඅට වියෙහි පසුවෙයි. ඔවුන් දෙදෙනා එක්ව මෙළොවට දරුවන් 20 දෙනෙකු දායාද කළ අපූරු ආදර්ශමත් යුවළකි.
අප මේ ආදරණීය මවගෙන් අතීතය පිළිබඳවත් වර්තමානය පිළිබඳවත් විමසීමක් කළෙමු. එච්.ඒ. රොසලින් නෝනා (78) මෙසේ පැවසුවාය.

“මම කසාද බැන්දෙ 1956 දෙසැම්බර් 13 වැනිදා. 58 අවුරුද්දෙ තමයි මගේ ලොකුදුව ලැබුණේ. ඊට පස්සේ ඉතින් අවුරුදු පතා දරුවෝ ලැබුණා. විසි වැනි පුතා ලැබුණේ 1982 ජනවාරි 27 වැනිදා. ළමයි ඔක්කොමලාගේ උපන්දින දැන් මට මතක නෑ. හැබැයි මුල අග හොඳට මතකයි.”

“මේ දරුවන්ට මාස 10 ක් 11 ක් වෙනකල් කිරි දුන්නා. එතකොට අනෙක් දරුවා ලැබෙන්ඩ එනවා. එතකොට කැඳවලට බත්වලට දරුවන් හුරු කරනවා. ඒ කාලේ කන්ඩ බොන්ඩ හරි හිඟයි” හරි අමාරුවෙන් තමයි තාත්තා මේ දරුවෝ ජීවත් කෙරෙව්වේ. 

තාත්තා මොළගොඩ පොල් වත්තෙ මුරකරනවා. පොල් කඩනවා, පොල්ලෙලි ගහනවා, කුලී වැඩ කරනවා “ගොවිතැන් කරනවා, කුරහන් වපුරලා ගෝනි ගණන් ගෙදර අදිනවා. මම ඉතින් ඒවා කොට කොටා දරුවන්ට කන්ඩ දුන්නා. කොහොම හරි එයාලා ටික ටික ලොකු වෙනකොට ඉතින් නංගිලා මල්ලිලා බලාගන්වා හැබැයි මගේ දරුවෝ ඔක්කොම පුදුමාකාර බැඳීමකින් ඉන්නේ. අපි දෙන්නටත් ඒ වගේම ආදරෙයි. මම කියන්නේ මගේ දරුවෝ බුදුන් දැක නිවන් දැකපන් කියලා”

මගේ මෙයාට සතියට වත්තෙන් ලැබෙන්නේ රුපියල් අටයි. ඒ කාලේ ඉතින් ඒකෙන් තමයි අපි මේ දරුවෝ හැදුවේ. එදා අපි දෙන්නා දුකක් සතුටක් කරගෙන තමයි ජීවත් උණේ.

“අපි ඉස්පිරිතාලයක නැවතුණු කාලයක්වත් මතක නෑ. මේ දරුවෝ ඔක්කොම බිම තිබ්බේ. “නෝනි උන්දෑ” ඒ කියන්නේ ගමේ හිටපු වින්නඹු අම්මා. උන්දෑ මැරුණා. නිවන් දැකපන් අප්පා උන්දෑ. තාත්තාත් මමත් පැරසිටමෝල් පෙත්තක් බීපු කාලයක් මතක නෑ. දැන් ඉතින් ඩිංගක් මට ඇස්දෙක පේනවා අඩුයි. ඒත් ඉතින් වැඩ ටික කරගෙන අපි සතුටින් ඉන්නවා.


මම දරුවන්ට වගේම අදටත් තාත්තට හරිම ආදරෙයි. මේ ළගදි අපේ ළමයි ගණන් හදලා බැලුවා. දරු මුණුබුරන් කීයක් ඉන්නවද කියලා. 78 ක් ඉන්නවා කියලා තමයි කිව්වේ. මම මේ හැමෝටම ආදරෙයි. ඒ අයත් ඒ වගේම තමයි. දරු සම්පතට ගහන්ඩ සම්පතක් නැහැනේ?


“ඔය මේ කාලයේ ප්‍රවෘත්තිවලට පෙන්වන අම්මලා ගැන නම් මතක් කරන්ඩවත් එපා. දැන් මේ ඇහැක් නොපෙනී සිටියත් දරුවෙක් ගෙනත් දුන්නොත් මම හදනවා. ඔය දරුවන්ට කරන අපරාධ සිද්දි ඇහෙනකොටත් මට විඳින්ඩ බෑ ඕං”

“අපේ අම්මට දරුවෝ හත් දෙනයි. අපේ පුංචි අම්මට දරුවෝ 13 දෙනයි. මම තමයි විස්සක් හැදුවේ. මම හිතාගෙන හිටියේ විසි හතරක් හදන්ඩ. එක දවසක් දොස්තර මහත්තයෙක් කිව්වා දැන් ශරීරය හොඳ නෑ. 20 න් තවත්වමු නේද කියලා.

මට පුතාලා දහතුන්දෙනයි දුවලා හත් දෙනයි තමයි ලැබුණේ. අපේ පවුලේ පිරිමි වැඩියි. මට ලොකුම සතුට එක දරුවෙක්වත් අපිට උඹ කියලවත් කතා කරලා නෑ. මොනවා උනත් අපිහරි වාසනාවන්තයි කියලා හිතෙනවා අප්පා”

පසුව අප මේ ආඩම්බර තාත්තා වූ ජී. ජිනදාස මහතා දෙසට හැරී ඔහුගේ අදහස් විමසුවෙමු. මීට මාස කීපයකට පෙර ගෙදර ඇති කරන ගොන් වස්සකු බඳින්නට ගොස් ලණුව පැටැලැවී වැටී ගොනාගේ අඟ වැදී පාදයේ ආබාධයකට ලක්ව රෝද පුටුවටවී සිටින 88 හැවිරිදි මෙම පියා ගැන අපටද ආඩම්බරයක් ඇතිවූයේ තවත් තරුණයකුගේ පෙනුමෙන් සිටින නිසාවෙති.




“මම ඒකාලේ එකක් නෙමෙයි කළේ. කුලී කෙරුවා, පොල් කැඩුවා, පොල්ලෙලි ගැහුවා, ගොවිතැන් කෙරුවා, කැත්තෙ උදැල්ලේ වැඩ කෙරුවා. පඩියත් අඩුයි. හැබැයි දැන්වගේ නෙවෙයි ඒ කාලේ ලේසියි ජීවත් වෙන්ඩ. දරුවො ගොඩක් හිටියා කියලා මට කරදරයක් උණේ නැහැ.

මම ජීවිතයේ එක දවසක්වත් ඉස්පිරිතාලයක නැවතිලා බෙහෙතක් අරගෙන නැහැ.

අපේ පරම්පරාවේ ගොඩක් අය වයසට ගියත් හොඳට ශක්තිමත්ව ඉඳලා තමයි මැරෙන්නේ. මට දැන් අවුරුදු 88 ක් වෙනවා. තවම හරියට කොණ්ඬේ රැවුල පැහිලා නෑ. දත් වැටිලා නෑ. තවමත් හොඳට පුවක් හපලා කනවා. මට මේ හරකා ඇන්නේ නැත්නම් තවමත් හොඳට වැඩ කරනවා. දැන් මේ මාස 06 ක් තමයි එක තැන්වෙලා. ඒකත් ඉක්මනට සනීප වෙයි.

මට මෙයාව හොයලා දුන්නේ මගේ දෙමාපියෝ. එතකොට මට අවුරුදු විසි තුනයි. අපි හොඳට මඟුල් කාලා ගෙනාවේ. මෙයා කාර් එකක එක්ක ඇවිල්ලා පාර නැති නිසා පයින් තමයි ආවේ. අපි දෙන්නා කසාද බැඳපු දවසේ ඉඳලා හොඳට ඉන්නවා. අදටත් අපි දෙන්නා බැන්ද දවස වගේ සතුටින් තමයි ඉන්නේ. දරුවෝ ඔක්කොම එකට එකතුවෙනවා හරි අඩුයි. කොහොමහරි මම ළගදි ඔක්කොමලා එකතු කරන්න හිතාගෙන ඉන්නේ දරු පැටවුන් එක්ක.

ළමයි කීප දෙනෙක් අපේ මේ මහ ගෙදර වටේට ගෙවල් හදාගෙන ඔය ගොවිතැනක් බතක් කොරාගෙන පාඩුවේ ජීවත් වෙනවා. තවත් කීප දෙනෙක් ඔය එක එක පළාත්වලට දීග දීලා දරු මල්ලො හදාගෙන ඒ අය ජීවත් වෙනවා. අපි දෙන්නයි බැඳපු නැති එක දුවක් ඉන්නවා එයයි මහගෙදර ඉන්නවා. මේ හැමෝම එයාලට පුළුවන් විදියට අපිට බලනවා” 

අප මේ නිවසට එද්දී මේ දෙමාපියන්ගේ දරුවන් කීප දෙනකු හමු වූ අතර බාලම දරුවා එනම් බඩ පිස්සා විසිවැනි දරුවා සමඟ කතා කළෙමු. ඔහු නමින් ජී.නිහාල් (32)

“ඇත්තටම මම හරිම ආඩම්බරයෙන් ඉන්නේ. මොකද අපේ පවුලේ බාලයා මම. හැමෝම මට ගොඩක් ආදරෙයි. අදටත් ඒ ආදරය මම බුක්ති විඳිනවා. ඊට වඩා සතුටක් මට නෑ. අම්මයි තාත්තයි හැමෝටම ආදරෙයි. ඉතින් ඒ හැමෝම එකතුවෙලා මට ආදරෙයි. මොකද මම පවුලේ බාලයා නිසා”


“අපි කවදාවත් අපේ දෙමාපියන්ට දුකක් දෙන්නේ නැහැ. නිතර නිතර අපි සොයා බලනවා. අම්මලා වගේ විශාල දරු පිරිසක් නම් අපිට හදන්න ආසාවක් තිබුණත් දැන් පවතින ආර්ථිකයත් එක්ක අපිට ඒක කරන්න බෑ. අපි පුංචි කාලේ කුරක්කන් රොටි, හැලප කාලා ඉස්කොලේ ගියාට දැන් බැහැ. සපත්තු, හරි හැටි ඇඳුම් නැතිව එදා පාසල් ගියාට දැන් එහෙම අමාරුයි. මොකද අපි හැමෝම ඉන්නේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ”

මේ ආදරණීය දෙමාපියන් දැකබලා ගන්නට උනන්දුවක් දක්වන අය වෙතොත් ඔවුන්ගේ ලිපිනය මෙයයි. ජී. ජිනදාස, කටුපොත, බඹරගස්වැව, ගලේවෙල. 
සටහන / ඡායාරූප : දඹුල්ල කාංචන කුමාර ආරියදාස




Friday, March 31, 2017

ශිෂ්‍යත්වය










පටවා කළුගලක් සමනලයකුගෙ පිටේ
දෙයි පුහුණුවක් ඉගිලෙන්නට හැටට හැටේ
බසයක් තුළම බත් අහුරක් ඔබා කටේ
ටියුෂන් යද්දි මල් පරවී බිමට වැටේ!

ලොකු පාසලක් ලොකුකම පෙන්වනු පිණිස
හිමි වී ජයෙන් ජය වෙන්නට හෙට දවස
සංසිඳුවන්න මවුපිය සිප්නැණ පවස
පොඩි දරුවන්ගෙ පොර පිටියක් වෙයි නිවෙස!

හැකිනම් දෙසීයම අරගන්නට ලකුණු
දිව රෑ දෙකේ මල්පොඩි හඬවයි පිපුණු
වනපෙත තුරුඋයන් දැක මල්පල පිරුණු
පිට පාරෙන් දුවයි විලසින් වෙඩි වැදුණු

කැල නැත මතකයේවත් නෑ හිත මිතුරු
අරගෙන සරුංගල් නොහදයි උණ පතුරු
අස්වනු විභාගෙන් නෙළුවොත් ලෙස සොඳුරු
පාරක දෙපා නවතිනවද මල් ඇතිරු




Wednesday, February 15, 2017

මවු ගුණ ඔප කළ බුදු බණ




මිනිස් හෝ තිරිසන් හෝ කුමන ආත්මයක උපන්නත් මෑණියකගේ කුසයෙන් බිහිවීම ස්වාභාවික උපතක් වශයෙන් සැලකිය හැකිය. වත්මන් දියුණු යැ’යි සම්මත ලෝකයෙහි විද්‍යාත්මක මෙවලම් මගින් දරු උපත් සිදු කැරෙන බව ද අසන්නට ලැබේ. කෙසේ වුව, මවකගෙන් ලැබෙන සෙනෙහස, ආදරය, කරුණාව, වෙනත් කිසිවකුගෙන් ලැබේවි’යි සිතිය නොහැකිය. කවුරුත් අපට එරෙහි වුවද ප්‍රතික්ෂේප කළද, අප අතහැර නොගොස් , අප සුරකින එකම කාන්තාව මව පමණි. අංගුලිමාලට රටක් විරුද්ධව සිටියද මෑණියන්ට ඔහු තම ආදරණීය පුතාම විය. දරු සෙනහස නිසා, ලේන අම්මා තම වල්ගයෙන් මුහුදු ජලය හිස් කිරීමට ගත් ප්‍රයත්නයක් ගැන පුවතක් බෞද්ධ සාහිත්‍යයේ එයි. බළල් මව තම දරු පැටවුන් ආරක්‍ෂක ස්ථාන හතකට ඔසවාගෙන යන්නේ දරුවන්ගේ ආරක්ෂාව සැලසීම පිණිසයි. කකුළු මව දරුවන් බිහිවීමෙන් පසු මරණයට පත් වන්නේ දරුවන්ගේ පැවැත්ම උදෙසාය. මියගිය මවගේ සිරුර අනුභව කැරෙමින් කකුළු දරුවෝ වර්ධනය වෙති. මිනිස් හෝ තිරිසන් හෝ හැම මවක්ම දරුවන් උදෙසා තම ජීවිතය කැප කරති. අපමණ දුක් විඳිති. ‘උනහපුලුවාට උගේ දරුවා මැණිකක් වගේය’ කීවද කුමන සතකුට වුවද තම දරුවා මැණිකටත් වඩා අගනේය.

අම්මා කියන වචනය දෙසවනට අමාවක් බඳුය. එතරම් මිහිරි වදනක් තවත් නැති තරම්ය. එම වචනය තුළ සෙනහස, ආදරය, කරුණාව දයාව මේ සියල්ලක්ම අන්තර්ගතව ඇත. ආදර යේ උල්පත වූ අම්මා...’ වැනි ගී පදවැල් ලියැවෙන්නේ ඒ නිසායි. ‘මව‘ යන්නෙන් ‘මවන්නි’ යන අදහස ගම්‍ය වේ. මව,, මවන්නේ දරුවන්ය. මෙත්, මුදිතා, කරුණා, උපේක්ෂා යන සතර බඹ විහරණ ඇත්තේ මහා බ්‍රහ්මයා හැරුණ විට, මවුපියන් තුළ පමණකි. අම්මා කියන විට ඇගේ සිත දරු සෙනහසින් ඉපිල යයි. දරු සෙනෙහස නිසාම ඇගේ ලෙය කිරට හැරවේ. ඇය දරුවකු පිළිසිඳ ගත් දින සිට කලලයට අහිතකර කිසිවක් ආහාරයට නොගන්නී දරු සෙනෙහස නිසාමය. එසේම අංග විකල නොවූ රූමත් ගුණවත් නැණවත් දරුවකු ලැබේ වා’යි නිබඳවම ප්‍රාර්ථනා කරයි. දරුවන් නිසා ඇතිවන ශාරීරික වේදනා ඉවසා ගනියි. තම සිරුරෙහි පෝෂ්‍ය පදාර්ථ සියල්ලක්ම පිළිසිඳ ගත් දරුවා වෙනුවෙන් කැප කරන්නීය.

මව පිළිබ¼ඳ බුදුරජාණන් වහන්සේ නොයෙකුත් අවස්ථාවන්හී දේශනා කළහ. සිදුහත් කුමරු ඉපැදී සතියකින් මව මහාමායා දේවිය කලුරිය කළාය. දෙව් ලොව උපන් මාතෘ දිව්‍ය පුත්‍රයා හමුවට වැඩම කළ බුදු හිමියෝ දහම් දෙසූ බව ප්‍රකට කරුණකි. උන් වහන්සේ තමන් හදාවඩා ගත් සුළු මෑණියන්ට ද , මාතෘත්වයෙන් සලකා කටයුතු කළ බව සඳහන් වෙයි. මෙහෙණි සසුන පිහිටුවීමට එක් හේතුවක් කැර ගත්තේ සුළු මෑණියන්ගේ ආයාචනයයි. සුළු මෑණියන් රහත් මෙහෙණින් වශයෙන් පිරිනිවන් පෑමට යන අවස්ථාවේ ඇය සමග දෙව්රම් වෙහෙර ඉම දක්වා පසු ගමන් කළෝ, මවට දක්වන සැලකිල්ල නිසාමය.

බුදු රජාණන් වහන්සේ තරම් මවු ගුණ දේශනා කළ වෙනත් ශාස්තෘවරයකු මෙතෙක් පහළ වී නැත. ‘ජගන්මාතා’ හෙවත් මව් දෙවඟන පිදීම ඈත අතීතයේ සිට ඇතැම් ජන සමාජ වල තිබුණ ද , මාතෘත්වය පිළිබඳ මිනිස් හදවත් විනිවිද යන සේ දේශනා කළෝ බුදු හිමියන්මැ පමණකි. ‘බුද්ධෝ ඉව මාතා ..’ ‘ මව බුදුරදුන් හා සමාන වේ’ , ‘ මාතා පිතා දිසා පුබ්බා ‘ මවුපියන් පූර්ව දිසාව වේ’. මාතාපෙත්ති භරං ජන්තු ‘ ‘මවට සැලකීම සත් පුරුෂ ධර්මයකි. ‘ , ‘ මාතා පිතූ® උපට්ඨානං ‘ , මව්ට පියාට උපස්ථාන කිරීම මංගල කරුණකි. , ‘වෝ මාතරංවා පිතරංවා ..’ මවුපියන්ට නොසැලකීම පිරිහීමට කරුණකි’ , එසේම හැකියාව තිබියදී මවුපියන්ට නොසැලකීම වසල කරුකි. ‘, ‘බ්‍රහ්මාති මාතා පිතරෝ ..”” මවුපියන් මහා බ්‍රහ්මයාට සමානය’ , ‘ මාතා මිත්තං සකේ සරේ” “ අම්මා ගෙදර සිටින උසස්ම මිතුරිය වෙයි’, මෙසේ විවිධ අවස්ථාවන්හිදී මවුගුණ පෙන්වා වදාළහ. ‘ නසන්ති පුත්ත තානාය නජනා නපී බන්ධවා’ ආදි වශයෙන් මවත් දරුවන් වෙනුවෙන් හෙළන කඳුළු සාගර ජලය ද පරදවන බව පෙන්වූහ.
මව් සෙනෙහස උදාහරණයට ගනිමින් බුදු හිමියන් දම් දෙසූහ. මෙත් වැඩීම කෙලෙස කළ යුතුදැ’ යි පැහැදිල ි කැරෙන උන්වහන්සේ,

‘මාතා යථා නියං පුත්තං
ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ
ඒවම්පි සබ්බ භූතේසු
මානසම්භාව යේ අපරිමාණං ‘


යනුවෙන් යම් කිසි මවක් තම එකම පුතු ජීවිතයම නොදෙවෙනි කොටැ සුරකින්නේ කෙලෙසකටද , ඒ අයුරින් සකල සත්ත්වයාට අපමණ මෙත් සිතිවිලි පැතිර විය යුතුය. යනු එහි අරුතයි.
‘කිකීච අණ්ඩං චමරීව වාලධිං
පියංච පුත්තං නයනංව ඒකනං ‘ ජීවිත පරිත්‍යාගයෙන් බිජු රක්නා කිරල් දෙනක් මෙන්ද ජීවිත පරිත්‍යාගයෙන් වල්ගය රක්නා සෙමර මුවා මෙන්ද, ජීවිත පරිත්‍යාගයෙන් එකම පුතු රක්නා මවක් මෙන් ද සීලය රැකිය යුතු බව බුදු හිමියෝ දේශනා කළහ. සිහිය පිහිටුවා ගැනීමේ පිළිවෙත පිළිබඳ දේශනා කැරෙන බුදුරජාණන් වහන්සේ, ඒත කුම්හේ භික්ඛවේ මාතුමත්තිසු මාතු චිත්තං උපට්ඨපේථ භගිනි මත්තීසු භගිනි චිත්තං උපට්ඨපේථ...” මහණෙනි , ඔබ මව් තරමේ ස්ත්‍රියක් සමග කථා කරන්නෙහි නම් ඇය තමන්ගේ මවය’යි සිත්හි තබා ගත යුතුය. යනුවෙන් දේශනා කළහ. සසර බියකරු බව දක්වන බුදු හිමියන් ‘දිඝරත්තං වෝ භික්‍ඛවේ මාතු මරණං පච්චනුභූතං තේසංවෝ මාතුමරණං පච්චනුහොන්තානං’ (අනවතග්ග සංයුතිය) මහණෙනි, තොප විසින් දීර්ඝ කාලයක් මාතෘ මරණයෙන් වන දුක විඳින ලද්දේ ය. මාතෘ මරණ දුක විඳින තොප මනාප විප්‍රයෝගයෙන් හඬා වගුරවන ලද කඳුළු බොහෝ ය.

සතර මහා සාගරයේ ජලය ඒ කඳුළට මඳය’ යනුවෙන් දේශනා කළහ. තවද ‘අනුජානාම් භික්‍ඛවේ මාතා පිතුන්නං දාතුං’ මහණෙනි, මවුපියන්ට යමක් දීම අනුදනිමි. මවිපියෝ රජ වූවද පුත්‍ර භික්‍ෂුවගෙන් යමක් බලාපොරොත්තු වෙත්නම් දිය යුතු ය.
උපස්ථාන බලාපොරොත්තු වෙත් නම් කළ යුතු ය. දුබල මව්පියන්ට උපස්ථායකයකු නැතිනම් පන්සලෙහි නතර කැර ගෙන එය කළ යුතු ය. ස්ත්‍රී ශරීරය ස්පර්ශ කිරීම නොසුදුසු බැවින්, එසේ නොකරමින් උපස්ථාන කළ යුතු ය.

පිණ්ඩපාතය කැර හෝ මවුපියන් පෝෂණය කළ යුතු බව අනුදැන වදාළ බුදුරදුන්, එසේ නොකරන මහණහුට ඇවැත් සිදුවන බව දේශනා කළහ. කෙසේ වෙතත් මවගේ වුවද ස්ත්‍රී ශරීරය බ්‍රහ්ම චරියාවට අනතුරුදායක බව සැලකූ බුදුහිමියන්, විපතකදී වුවද ස්ත්‍රියක ස්පර්ශ කිරීම නොසුදුසු බව දැක්වූහ. ගඟකට වැටී සැඩ පහරට අසුව පාවෙනු දකින ශික්‍ෂාකාමී භික්‍ෂූව ඇගේ ශරීරය නොඅල්වයි. ඇය බේරා ගැනීමට ඔරුවක් හෝ ලී කොටයක් හෝ වෙනත් දෙයක් ළං කළ යුතු ය. එබන්දක් නැති විටක සිවුරු කොණක් හෝ ළං යුතු ය. මව සිවුරෙහි එල්ලුණු විට සිවුර අදිමියි යන හැඟීමෙන් ඇද මව බේරා ගත යුතු ය. (පාරාජිකාපාලිය) මෙවැනි ශික්‍ෂා බුදුහිමියන් පැනවූවේ කාමය, අනුරාගය මව් පදවියේ ගෞරවය වුවද වනසා දැමීමට හේතුකාරක වන බව සැලකීමෙනි. ‘අසාතමන්න ජාතකය’ වැනි කථා පුවත් අනුවැ මේ බව පැහැදිලි වෙයි. එවැනි නොමිනිස්කම් අනුවැ වර්තමානයෙහි ද ඇතැම් මව්වරු දරුවන් වනසන අයුරු ඇතැම් පුවත් අනුවැ අසන්නට ලැබේ. තමාගේ කුස තමන් විසින්ම තියුණු අවියකින් පලා, කළලය එළියට ගෙන විනාශ කැරෙන මව්වරුන් පිළිබඳව මෙකල අසන්නට ලැබෙයි. ප්‍රේතවස්තු වර්ණනාවේ එන ‘පංචපුත්තකාදක’ කථා වස්තුව මෙහිදී අපට සිහිපත් වෙයි. අද මෙන් එදාද කසළ ගොඩවලට දැමීමෙන් දරුවන් වනසන මව්වරුන් පිළිබඳ සිදුවීම් අසන්නට ලැබෙයි. බුදු හිමියන්ට පවා වෙදකම් කළ ‘ජීවක’ වෛද්‍ය වරයාගේ කථා පුවත නිදසුනකි. එසේ වුව, බුදු පදවිය වැනි උත්තරීතර පදවියක් ලැබුවේ මෑණියන්ගෙන් ලද ආශිර්වාදය නිසා බව ‘මාතුපෝසක’ කථාව මගින් බුදු හිමියෝ පෙන්වා දුන්හ.

‘මාතරී පිතරී චාපී - යෝ මිච්ඡා පටිපප්ජතී...’ යනුවෙන් ‘කථ’ සූත්‍රයේ බුදුහිමියන් වදාළේ මව සහ පියා කෙරෙහි යම් දරුවකු වැරැදි ලෙස පිළිපැද්දහොත් ඔහු හෝ ඇය කිසිම ගුණධර්මයක් නැති අයකු වන බවයි.

දරුවකු මව්පියනට උපස්ථාන කරමියි හැඟීමෙන් මව එක උරහිසකද පියා අනෙක් උරහිසෙහි ද තබා වසර සියයක කාලයක් ආහාර පාන දෙමින් උපස්ථාන කැරෙයි ද ඔහුට මවුපියන්ට ගෙවිය යුතු ණය ගෙවා නිම කළ නොහැකි බව දේශනා කැර ඇත. (අං.නිකාය) එහෙත් මවුපියන් ගුණධර්ම වලින් හීනවැ, මිථ්‍යා දෘෂ්ටි ගෙනැ සිටිත් නම්, ඔවුන් සම්‍යක්දෘෂ්ටි ගත කළහොත් පමණක් එම ණය ගෙවා නිමැ කළ හැකි බව පෙන්වූහ. අද ඇතැම් දරුවන් රාජකාරී කටයුතු නිසා මවුපියන්ට සැලකීමට වෙලාවක් නැති බවට මැසිවිලි නගති. එහෙත් ලංකා රාජ්‍යය විචාල 8 වැනි අග්බෝ රජතුමා මෑණියන්ට උවැටන් කළ අයුරු ‘මහාවංසයෙහි’ සඳහන් වෙයි. එතුමා උදෑසන මෑණියන් වැඳැ, සුවඳ පැන්වලින් නහවා, කිළිටි ඇඳුම් සියතින්මැ සෝදා, පිරිසුදු කරයි. මලින්, සුවඳින් මෑණියන්ට පූජා කරයි. චෛත්‍යයක් වටා මෙන් තුන් වරක් මෑණියන් වටා ප්‍රදක්‍ෂිණා කරයි. තමන් අතින්මැ මෑණියන්ට ආහාර කවා, ඉතිරිය තමන් අනුභව කරයි. උපස්ථාන කැරෙන සේවක සේවිකාවන්ට ද රාජ භෝජන පිරිනමයි. මෑණියන් නිදන කුටියෙහි සුවඳ ගල්වා, සුව පහසු යහනාවෙහි සතපවා, ඇගේ යටි පතුල්වල සුවඳ තෙල් ගල්වයි. ඇයට නින්ද ගිය පසු, සියලු ආරක්‍ෂාව සලසා, ඇයට පිටුපා නොගොස්, දර්ශන පථයෙන් ඈත් වන මොහොතෙහි යළිත් වතාවක් මහත් බැතියෙන් වන්දනා කැර නික්ම යයි.

මරණින් මතු අවීචියෙහි උපදනා පාප කර්ම පහක් ගැන බුදු සමයෙහි උගන්වයි. එහි පළමු වැන්න නම් මව මැරීමේ අකුසලයයි. බුදු හිමියෝ අඟුල් මල් සොයා වැඩියේ එබඳු බියකරු අකුසලයකින් ඔහු බේරා ගැනීමේ අදහසිනි. එමඟින් ද පෙන්වා වදාළෝ මවකගේ වටිනාකම යැ. මෙවැනි දහසකුත් බුදු බණ පද ඇසූ බොදුනුවන් ‘දසමාසේ උරේ කත්වා...’ වැනි ගාථා ගයමින් මවු පද පිණිපා කළෝ මවුගුණ ඔප කළ බුදු බණ නිසාමැයි. මව් වෙනුවෙන් කියැවුණ ජන කවි මෙන්මැ ජනශ්‍රෘතීන් රැසක් අපට උරුමවැ ඇත.

“වට්ටාරම බෙලිගල වැඳපන් අම්මේ
අලුත් නුවර දළදා වැඳපන් අම්මේ
කිරි වෙහෙරේ රංකොත වැඳපන් අම්මේ
බීපු කිරට පව් ඇරපන් මගෙ අම්මේ”


මෙවැනි ජනකවි දහස් ගණනක් බොදු ජන සමාජයට දායාද වූවේ බුදු දහමෙහි ආභාෂය නිසාමයැ. දරුවකුට මව් තුරුල අමා නිවන් පුරයකි. ‘මාතුපෝෂක’, ‘සෝනනන්ද’ සාමජාතකය වැනි කතා මගින් මවුපිය උපස්ථානය පිළිබඳ ලද පෙරහුරුව සුළුපටු නොවේ. සිංහල ජනකවි වඩාත් සමීප බවක් දැක්වූයේ මව කෙරෙහි ය. පියාට තැනක් නොලැබුණාම නොවේ. අම්මා නිවසට ආලෝකයක් වූවා ය. ඇය නිවසෙහි ආධිපත්‍යය පතුරු වන්නියද වේ. ඒ නිසාම ඇය නිවසෙහි මානව සහ භෞතික සම්පත් කළමනාකාරිණිය බවට පත් වූවා ය. ඒ නිසාම ඇය සමාජයේ වඩාත් කතාබහට ලක් වූවා ය. දරුවන්ගේ ප්‍රාර්ථනාව වූයේ, මගේ අම්මාට බුදු බව ලැබෙන්නට ඕන. යනුවෙනි.

බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට
අම්මා අපේ ජාතිත් මට ලැබීයන්
ගෙදර එළිය අපෙ අම්මා ඉන්න කොට
සතර අපායේ නොවැටී නිවන් දකින් අම්මා
ජාතිත් අපේ මව්පියෝ වාසනාවන්


අම්මා නැති අපට බඩගිනි වෙන්ට එපා මේ එදා ජනකවියාගේ මුවින් ගිලිහුණු කවි පද කිහිපයකි. මේවා මඟින් ගම්‍ය වන්නේ ජනකවියා මවුපිය උපස්ථානයේ උත්තරීතර බව පිළිබඳ අපූර්ව තොරතුරු උකහා ගත්තේ බුදු බණ තුළින් බවයි. දරුවන්ට පින්සිදු කැර ගැනීමට තිබෙන එක් පින් කෙතක් නම් මව්පියන් යැ. එම පින්කෙත අමතක කැර කුමන පින්කම්ද?




Friday, February 10, 2017

අම්මා කෙනෙකු හට කියනා ගුණ වරුණ



දරු සෙනෙහසින් රතු ලේ කිරි බින්දු පෙරා
දෝතට අරන් දෙන රස කිරි මිහිරි පෙරා
දුන් කිරිවලින් ඇග ලේ මස් නහර පුරා
බිහි කළ මවට වඳිනෙමු දිවි තිබෙන තුරා

අම්මා කෙනෙකු හට කියනා ගුණ වරුණ
දරුවන් සැමට සිටිනා ලක් දෙරණ
අම්මා වරුන් ඇත සොද ගුණදම් පුරන
ගෙන් ගෙට බුදුන් ලෙස සිටිනා මිණි පහන

බුදු සසුනටත් තම දරුවන් පූජා කරන
රට ජාතිය රකින්ටත් දරුවන් හරින
සැම නිවසකම අම්මා යන අකුරුව් තුන
නිවසට දෙව් දුවකි අම්මා අග රැජින

ලොව මුදු ගුණය එකතැන කැටිකළ අම්මේ
නිවසට මුනිදුවක් ආදර බර අම්මේ
සසරින් සසර යන විට අපි අම්මේ
නිවන් නිවේවා මතු බුදු වී අම්මා


Thursday, February 2, 2017

සමරමු කුලී නිදහස




කෑම එක Free බෝතලය  Free    
පාට කොඩි දී දිනය ඔබෙ කී
දවසෙ කුලියත් දී
මැති ඇමති එක්ව කා බී
පායපන් හිරු කී
හෙට දිනත් සරු වෙයි  කී
කියා නැටුවත් වෙහෙසී
මුළාවකටම තවත් යට වී
වසර හැට නවයක් ගත වී
සමරමු කො අපි කී
එකෙක් නෑ ගැති වී
නගන්නට යළි රට එක් වී
මඩිය තර කරතී
උනුන් හොද හැට්  කා බී
පිට රටට ගැති වී
සිහල ගැති අමතක  වී
සියලු දේ විකින
රටම උකසට විකිනී
හෙට දිනක දියුණූ
රටක නෑ දකිනූ
සැම කල්හිම අසමූ
උන්ගෙ වැදි බන පමනක්ම ඇසුනූ.





Sunday, January 29, 2017

හිගන්නාගේ තුවාලය වන් ශ්‍රි ල0කා දේශපාලකයො





මිත්‍රයා ඔබව මට සුව කල හැක
නිට්ටාවටම 
ත් නුඹ
හෙට සිට කන්නේ බොන්නේ
කොහොමද කියලා සිතුවාද?
ඔය තුවාලයෙන් ඔබ
සොයනා මුදලින්
කොපමන් උඹ සොයනවාද?

එමෙන්ම,

මහජනතාවෙනි මේ අහන්න
කල හැක අප හට
හොද ස0වර්ධනයක්
ඒත් ඉතින් අනෙ
අපි කොහොමද යළි
කන්නේ බොන්නෙ 
යන්නේ එන්නෙ
අපේ පවුල් වල
කට්ටිය එක් වී
සමුළු එක්ක අපි
ගණුදෙනු කරනේ
මේ රට විකුනා 
ගන්නේ කොහොමද
අපේ බඩට කෙල්වා ගනේ
කොහොමද



Tuesday, January 17, 2017

දුප්පතුන් වෙනුවෙන් තැනුනු මගේ මුහුණු පොත FACE BOOK මිතුරු සමූහයෙන් දිළිදු පවුල් දෙකකට නිවාස දෙකක් විදුලිය සමගින්


FACE BOOK මිතුරු සමූහයෙන් දිළිදු පවුල් දෙකකට නිවාස දෙකක් විදුලිය සමගින් 





වර්තමානය වන විට සමාජ ජාලා වෙබ් අඩවි තුළ විවිධ ආකාරයේ මුහුණු පොත් සහ විවිධ ආකාරයේ මිතුරු හවුල් නිර්මානය වී ඇත.ඒ අතර ( Dushan Jayarathne) මමද 2016/03/02 දින බුදු දහම පිළිබදව තොරතුරු බෙදා ගන්න හවුලක් ( ගෲප් එකක් ) ගොඩ නගා ගත්ත.
දම් පියස බොදු බැති පිටුව නිමින් එය  ආරම්භ කල අතර මේ වන විට 15000 කට අධික  සාමාජික සාමාජිකාවන් පිරිසක් අප හා එක් රොක්ව සිටිති.

මුහුණු පොතේ අපි මේ ආකාරයට බුදු දහම පිලිබදව වටිනා ලිපි ගිහි පැවිදි දෙපාර්ශ්වයම වාගේ ලියන්න එකතු වුන එකේ ප්‍රථිඵලයක් වශයෙන් වර්තමානය වනවිට අප සමග දහම් කරුනු ලියන බෙදා ගන්නා පිරිස දිනෙන් දින වැඩිවෙමින් පවටින එක සතුටින් දන්වන්න පුලුවන්.මොකද බොහෝ අය කරන්නේ රැල්ලකට අසුවෙලා කාලය ගත කරන එකේ මෙවැනි බවුද්ද ස0කල්ප වලින් සමන්විත අය සිදු කරන්නේ රටට විශාල සේවයක කියන එක මෙහිදී කියන්න ඕන කාරනාවක්.
නිතර දකින්න අලැබෙනව භික්ශූන් වහසේල ,ගිහි අය එක්වී දුශකර ගම්මාන වල අයට උපකාර කර ආකාරය.එයත් අප හට ඉවජල් උනා මෙලෙස නව කර්තව්‍යකට මුල පුරන්නට.
ආරම්භයෙන් මාස  4 ක් ගිය කල මට එක්වුන ප්‍රියන්ත ප්‍රේමසිරි අයිය (අබුඩාබි හි සේවය කරන මා හට සොයුරකු මෙන් සැම කටයුත්තකදීම සහ දෙන )
 සමග එක් දවසක් කල සාකඡ්ඡාවකදී මතු කල කාරනාවක් නම් "මල්ලි අපි බුදු බන ලිය ලිය කවි ලිය ලිය ඉන්නවට අමතරව බැරිද අපිට අසරන පවුලකට ගෙයක් හඩ්ජල දෙන්න " කියල කිව්ව
" පසුව මන් කිව්වෙ අයියෙ අපිට ඒ වගේ දෙයක් කරන්න පුලුවන්නම් කොච්චර ලොකු දෙයක්ද ඒත් අපි කොහොමද එච්චර හරියක්  කරන්නේ කියල.

මෙසේ කතාවුන දෙයෙහි අතුරු ප්‍රථිඵලයක වශයෙන් මුහුණු පොතෙන් හමුවුන අජිත් ප්‍රසන්න මහතා කල යෝජනවකට අනුව දේවහූව කොස්ගහහින්න ප්‍රදේශයේ ඔහු දන්නා අසරන පවුලක් අපිට සොයා දෙන ලදි.
බී එම් ශ්‍රියානි මහත්මිය   ගැහැනු දරුවන් දෙදෙනෙකු  මැටියෙන් තනා ඇති අබලන් නිවසේ තත්වයේ  විස්තර අප වෙත ඉදිරිපත් කල ඔහු එතැන් සිට අපිද ක්‍රියාත්මක වීමට පට ගත්ත.

අපි අජිත් මහතාගෙන් එම ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ අප අහට සම්බන්ධ කරන ලෙස ඉල්ලීමක් කල.මන්ද මෙහිදී භික්ශූන් වහන්සේ නමක් එක් වීමෙන් අපේ සත්ඛාර්‍ය තවත් සාර්ථක වෙන නිසයි.එහිදි ගරු ස්වාමින් වහන්සේ අප හට අනුශාශානාවෙන් ගමේ  ශ්‍රම දායකත්වය ලබා දෙන පිරිස් කඩිනමින් සමබන්ද කර සහය දැක්වූහ.උන් වහසේද මෙහිදී මතක් කල යුතුය.

විහාරාධිපති ස්වාමින් වහන්සේ සහ ගම්වාසින්





මුලින් අප සිතුවේ නිවසක් සාදනවා වෙනුවට ඒ පවුලට අවශ්‍ය කරන නිවසේ අඩු පාඩු දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සහ මූල්‍ය ආධාර ලබා දීමටයි .
එහිදී  අජිත් මහතාගේ ඉල්ලීමක් උනේ විදුලිය ලබා දෙනවනාම් ඔය මහත්තුරුන්ට ගොඩක් ස්තුතියි කියය.
මේ අව්සථාවෙදි මාගෙ මිතුරෙක් වූ ඉන්දික විමලරත්නට මම කතා කර මුදල් අව්ශ්‍යතාව්ය ඉදිරිපත් කලා.ඔහු ඊශ්‍රායලයේ රැකියාවක නියුතු අතර ක්ශනික පිලිතුරකින් මා අමතා කීවේ හරි අයියා මගෙ යාලුවො 4 දෙනෙක් සමග එම මුදල් ලබා දෙන බවයි
පුන්චි දියනියන්ගේ  වාසනාවද  කොහෙද දිනක් ඇතුලත රුපියල් 37,000 ක මුදලක් ඉන්දික  විමලරත්න  ඇතුලු පිරිස මහජන බැන්කුවෙ අපි ආරම්ඹ්හ කල ගිනුමට බැර කරන ලදි.
පසුදාම විදුලිය ලබා ගැනීමට ඕන කරන කටයුතු සියල්ල සූදානම් කර දින දෙකකින් වැඩ කටයුතු අවසන් කලා.( මේ වන විට විදුලි බල මන්ඩලයේ අනුමැතිය  ලැබී ඇති අතර නව නිවස නිසා  ඉදිරියට  සම්බන්ධ කිරීමට තාවකාලිකව නවතා ඇතා
ඉතින් මේ සිද්දිය ක්‍රියාත්මක   කිරීමට  මූලිකවම දායක වූ පිරිසට අපි මුහුනු පොත හරහා ස්තුතියක් ප්‍රකාශ  කිරීමට ලිපියක් සහ ඡායාරූපයක් පල
කලා.කාලයේ  වාසනාව සහ අපගේ පලමු ප්‍රයත්නයම ස්සර්ථක කරමින් එදිනම කුවේට් සේවය කරන  ශ්‍රීමතී පෙරෙරා සහ ඊශ්‍රායාලයේ  සේවය කරන කුමාරි ගම්හේවා මහ්ත්මිය රුපියල් 100,000 බැගින් අප හට නොපැකිලිව මුදල් ආධාර ලබා දුන්හ. ඔවුන් සදහන් කලේ " මල්ලි මේ දරුවන්ට ඉන්න ආරක්ශාකාරි නිවසක් සාදා දෙන්න අපි ඕන වෙලාවක ඔයාලට සහය දෙනව කියන දෙයයි ".මම සහ ප්‍රියන්ත අයිය අජිත් මල්ලි සමග වහ වහා ක්‍රියාත්මක වුනා මේ දරුවන්ටයි අම්මටයි ඉන්න   ඉන්න සුදුසු නිවහනක් සකස් කරන්න.
එහි ප්‍රථිඵලයක් වශයෙන්  තමයි  අද මේ  පවතින නිවස ඔවුන් වෙනුවෙන් අපි
පරිත්‍යාග කලේ
මෙලෙස මුහුනු පොතෙන් ප්‍රචාර වූ අප විස්තරයට තවත් අය එකතු වූහ.නිලන්ති හෙට්ටිආරච්චි( කුවේට්)  මිය.චලිත මධුස0ක මහතා  නිල්මිනි දේවිකා මිය . ප්‍රියා ජයසේකර මිය, දිමුතු  ප්‍රියන්කා ( කුවේට්)
, ද ඒ අතර වූහ

එදා ඔවුන් ජීවත් වූ නිවස




මෙදා ඔවුන්ගේ නිවහන





















මීට අමතර එම දරුවන්ගේ පාසල් උපකරන කට්ටල සහ ඔවුන්ගේ අනාගත අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දිගටම අත දෙන බව තිලින ඩොමිනික් මහතා පාසල් උපකරන කට්ටල දෙකක් ලබා දෙමින් අප හට ප්‍රකාශ කලේය.


පලමු කටයුතු කරගෙන යන අතරතුර  20/12/2016 දින අප වෙත කරන ලද ඉල්ලීමක් තවත් ආවා.කලන යමසි0හ විසින් කිව්ව "අයියෙ හැකිනම් කොස්වාඩිය ගමේ ඉන්නව වයසක ආච්චිල දෙන්නෙක් අසරන වෙලා අබලන් වූ නිවසක එයාලත් පොඩි උදව්වක් කරන්න කියල"
ඉතින් අපි ඒ ගැන ගිහින් සොයා බැලුව.




                                        එදා ඔවුන් ජීවත් වූ නිව







මේ ඇත්තේ එම මහලු  අම්මල ඉන්නා නිවස.කඩිනමින් ක්‍රියාත්මක වුන අප අපගේ සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටියා අපි මෙවන් අය වෙනුවෙන් උපකාර කල යුතුයි කියා.

මෙදා ඔවුන් දිවි ගෙවන නිවස

( මේ අම්මල දෙන්න සිටින්නේ වෙනත් අයකුගේ ඉඩමක බැවින් අප හට සිදු වූවා අයිතිකරුගේ කොන්දේසිවලට යට්ත්ව නිවස සැදීමට.ඉඩමක් ඔවුන් සතුව තිබුනානම් මෙයට වඩා තත්වය සුවදායි වෙන්න කටයුතු කරන්න සිටියෙමූ




මේ සිටිනිනුයේ ඒ අම්මලා දෙන්නාය




ජීවත්වීමට අවශ්‍ය කරන ගේ උපකරන සියල්ලම දම් පියසේ අප ලබා දීමට කටයුතු කරගෙන යන අතර එම මහලු දෙපලගේ අනාගතය වෙනුවෙන් ද තව යම් දෙයක් කිරීමට ඇත්නම් ඒ වෙනුවෙන්ද අප ඉදිරිපත්වන්නෙමු.
ඉතින් මුහුනු පොතෙන් අපි එකතු වෙලා මේ කරන සත් කාර්යය දිගටම පවත්වාගෙන යන්න තමයි බලාපොරොත්තුව .

විශේශයෙන් මතක් කල යුතුයි චමින්ද ශිරාන ජයරත්න මාගේ සහෝදරයා කාලය ශ්‍රමය කැප කර වයසක අම්මලා දෙන්නට නිවස සාදා දෙන්න ලබා දුන්න සහයෝගය පිලිබදවත්.

කෙටි කලක් තුල රටට සේවයක් කරන්න අන්තරජාලය හරහා ලැබීම පිලිබද අප ඉතාමත් සතුටු වන අතර මෙවන් දෙයක් මාධ්‍යට ලියා තැබීමෙන් අසරන පවුල් හදුනාගෙන ඔවුන්ට
උපකාර කිරීමට ලොව පුරා සිටින මානුශීය හදවත් ඇත්තෝ ලැබේවා යන පරම චේතනාවෙන් මෙලෙස ලියන්න සිතුවෙමි.ඉතා ඉක්මනින් ප්‍රචලිත වන වර්තමාන මාද්‍ය තුළ දිළිදු ජනතාවට ගොඩක් ප්‍රයෝජන්යි අන්තර්ජාල සමාජ ජාල වෙබ් අඩවි.දම් පියස බොදු බැති පිටුවෙන් අපි මේ වන විට පාසල් දරුවන් ඉන්නා පවුල් හතරකට අධ්‍යාපන උපකරන ලබා දුන්නෙමු
ඒ අතර
කොස්ගහහින්න
ගඩොල්ගොඩවත්ත ( නාත්තන්ඩිය )
පහල කටුනේරිය
ත0ගල්ල
















































වර්තමානය වන විට කොස්වාඩිය සරස්වති විද්‍යාලයේ ර0ග ශාලාව වෙන්වෙන් අවශ්‍ය කරන තිරක් ලබා දීමට මේ වනවිට අප මිතුරන් ස0විධානය වෙමින්ද සිවිරාජ ආබාදිත ලමා නිවාසයේ සේවය කරන අන්ධ ගුරුවරයෙක්ගේ ඉල්ලීමක් ( නිවසක්) ස්ලකා බලමින්ද දිගින් දිගටම සමාජයට සේවයක කිරීම අපගේ මූලික කරගත් මුහුනු පොත සත්කාර්‍යයන් සාර්ථක වේවා කියා ප්‍රාථනා කරමි.


සියලුම දෙනාට දම් පියස බොදු බැති පිටුවේ හර්ද්‍යා0ගම ස්තුතිය පල කරන්නෙමු.


තෙරුවන් සරනයි.