Saturday, May 27, 2017

දරුවන් විස්සක් දැයට පිදූ මව්පිය යුවළක්


දරු ප්‍රසූතියකට හෝ රෝහලකට නොගිය, දරුවන් විසි දෙනකු බිහිකළ, අදටත් හොඳ ශරීර සෞඛ්‍ය සම්පන්නව ආදරයෙන් ජීවත්වන ආදර්ශමත් යුවළක් පිළිබඳ පුවතක් ගලේවෙල බඹරගස්වැව කටුපොත ගම්මානයෙන් වාර්තා විය. 

පසුගිය 14 වැනි ඉරිදාට යෙදී තිබූ අම්මාවරුන්ගේ දිනයදා මේ වාසනාවන්ත යුවළ පිළිබඳව අපට තොරතුරු ලැබුණේ පට්ටිවෙල ග්‍රාම නිලධාරී නිමල්සිරි රෝහණ මහතා මගින් ගලේවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වූ දුමින්ද බණ්ඩාරනායක මහතාගෙනි.
ඒ අනුව අප මේ අපූරු යුවළ හා දරුවන් සොයා කටුපොත ගම්මානය බලා ගියෙමු. අප එම නිවසට යනවිට ඈතින්ම දර්ශනය වූයේ බුලත් තට්ටුවක් ළඟ තබාගෙන විටක් හපන්නට සූදානම් වෙන යුවළයි. ග්‍රාම නිලධාරී නිමල්සිරි මහතා ඈත සිටම අපව දැනුම්වත් කළේ “මේ ඉන්නේ ඔය ජෝඩුව. හරියට කුරුල්ලයි කිරිල්ලියි වගේ” එකට ඉන්නේ යැයි කියමිණි.

බුලත් තට්ටුව පසෙකින් තැබූ මව අප ඉදිරියට පැමිණ වඩාත් සමීප වී “කව්දෑ මේ හරියට ඇහැ පේන්නේ නෑ. අඳුරාගන්ඩ අමාරුයි” මඳක් ග්‍රාම නිලධාරීවරයාට කිට්ටු වෙමින් ඇසුවාය. “හප්පේ දෙයියෝ ඇඳින ගත්තා මොකද අප්පේ මේ හදිස්සියේ” මෙම මව සිනහවී ඉතාම  ස්නෙහයෙන් ග්‍රාම නිලධාරීවරයා පිළිගෙන රෝද පුටුව මත ඉන්න සැමියා දෙසට හැරී “ඒයි මේ ග්‍රාමසේවක මහත්තයා” යැයි කීවාය. 

සැමියාද “ආයුබෝවන්ඩ ඕං අප්පේ මේ ගොං නාම්බෙක් ඇනලා දැන් එකතැන්වුණානේ මොකෑ ඉතින් කොරන්නේ” යැයි පියා ග්‍රාම නිලධාරී මහතාට කීවේ හැඳුණුම්කම වර්ධනය වෙන ආකාරයටයි.

අප මේ නිවසට ගොඩවී විනාඩි කීපයක් ගතවෙද්දී සිහින් වර්ෂාවක් ඇද වැටෙන්නට විය. මේ ආදරණීය අම්මා එළියට පැමිණ ඇයගේ නිවස වටේ සිටින දරු මුණුබුරන් තෙමෙනවාදැයි බලන්නැයි සිය සැමියාට කියන්නට වූවාය.

මෙම නිවසට ඇතුළුවන බිත්තිය ඉදිරිපිට විශාල බැනරයක කුඩා දරුවකු මුහුණේ හොවාගෙන සිටින මවකගේ චිත්‍රයක් සහිත “ආදරයේ උල්පත අම්මා” යනුවෙන් සටහන් කැර එල්ලා තිබෙනු දැක ගැනීමට හැකිවිය.

ඒ අප සොයා ගිය මවයි. ඇය නමින් එච්.ඒ. රොසලින් නෝනායි. ඇය දැනට 78 වැනි වියේ පසුවන්නීය. ඇයගේ ආදරණීය සැමියා, ජී. ජිනදාස අසූඅට වියෙහි පසුවෙයි. ඔවුන් දෙදෙනා එක්ව මෙළොවට දරුවන් 20 දෙනෙකු දායාද කළ අපූරු ආදර්ශමත් යුවළකි.
අප මේ ආදරණීය මවගෙන් අතීතය පිළිබඳවත් වර්තමානය පිළිබඳවත් විමසීමක් කළෙමු. එච්.ඒ. රොසලින් නෝනා (78) මෙසේ පැවසුවාය.

“මම කසාද බැන්දෙ 1956 දෙසැම්බර් 13 වැනිදා. 58 අවුරුද්දෙ තමයි මගේ ලොකුදුව ලැබුණේ. ඊට පස්සේ ඉතින් අවුරුදු පතා දරුවෝ ලැබුණා. විසි වැනි පුතා ලැබුණේ 1982 ජනවාරි 27 වැනිදා. ළමයි ඔක්කොමලාගේ උපන්දින දැන් මට මතක නෑ. හැබැයි මුල අග හොඳට මතකයි.”

“මේ දරුවන්ට මාස 10 ක් 11 ක් වෙනකල් කිරි දුන්නා. එතකොට අනෙක් දරුවා ලැබෙන්ඩ එනවා. එතකොට කැඳවලට බත්වලට දරුවන් හුරු කරනවා. ඒ කාලේ කන්ඩ බොන්ඩ හරි හිඟයි” හරි අමාරුවෙන් තමයි තාත්තා මේ දරුවෝ ජීවත් කෙරෙව්වේ. 

තාත්තා මොළගොඩ පොල් වත්තෙ මුරකරනවා. පොල් කඩනවා, පොල්ලෙලි ගහනවා, කුලී වැඩ කරනවා “ගොවිතැන් කරනවා, කුරහන් වපුරලා ගෝනි ගණන් ගෙදර අදිනවා. මම ඉතින් ඒවා කොට කොටා දරුවන්ට කන්ඩ දුන්නා. කොහොම හරි එයාලා ටික ටික ලොකු වෙනකොට ඉතින් නංගිලා මල්ලිලා බලාගන්වා හැබැයි මගේ දරුවෝ ඔක්කොම පුදුමාකාර බැඳීමකින් ඉන්නේ. අපි දෙන්නටත් ඒ වගේම ආදරෙයි. මම කියන්නේ මගේ දරුවෝ බුදුන් දැක නිවන් දැකපන් කියලා”

මගේ මෙයාට සතියට වත්තෙන් ලැබෙන්නේ රුපියල් අටයි. ඒ කාලේ ඉතින් ඒකෙන් තමයි අපි මේ දරුවෝ හැදුවේ. එදා අපි දෙන්නා දුකක් සතුටක් කරගෙන තමයි ජීවත් උණේ.

“අපි ඉස්පිරිතාලයක නැවතුණු කාලයක්වත් මතක නෑ. මේ දරුවෝ ඔක්කොම බිම තිබ්බේ. “නෝනි උන්දෑ” ඒ කියන්නේ ගමේ හිටපු වින්නඹු අම්මා. උන්දෑ මැරුණා. නිවන් දැකපන් අප්පා උන්දෑ. තාත්තාත් මමත් පැරසිටමෝල් පෙත්තක් බීපු කාලයක් මතක නෑ. දැන් ඉතින් ඩිංගක් මට ඇස්දෙක පේනවා අඩුයි. ඒත් ඉතින් වැඩ ටික කරගෙන අපි සතුටින් ඉන්නවා.


මම දරුවන්ට වගේම අදටත් තාත්තට හරිම ආදරෙයි. මේ ළගදි අපේ ළමයි ගණන් හදලා බැලුවා. දරු මුණුබුරන් කීයක් ඉන්නවද කියලා. 78 ක් ඉන්නවා කියලා තමයි කිව්වේ. මම මේ හැමෝටම ආදරෙයි. ඒ අයත් ඒ වගේම තමයි. දරු සම්පතට ගහන්ඩ සම්පතක් නැහැනේ?


“ඔය මේ කාලයේ ප්‍රවෘත්තිවලට පෙන්වන අම්මලා ගැන නම් මතක් කරන්ඩවත් එපා. දැන් මේ ඇහැක් නොපෙනී සිටියත් දරුවෙක් ගෙනත් දුන්නොත් මම හදනවා. ඔය දරුවන්ට කරන අපරාධ සිද්දි ඇහෙනකොටත් මට විඳින්ඩ බෑ ඕං”

“අපේ අම්මට දරුවෝ හත් දෙනයි. අපේ පුංචි අම්මට දරුවෝ 13 දෙනයි. මම තමයි විස්සක් හැදුවේ. මම හිතාගෙන හිටියේ විසි හතරක් හදන්ඩ. එක දවසක් දොස්තර මහත්තයෙක් කිව්වා දැන් ශරීරය හොඳ නෑ. 20 න් තවත්වමු නේද කියලා.

මට පුතාලා දහතුන්දෙනයි දුවලා හත් දෙනයි තමයි ලැබුණේ. අපේ පවුලේ පිරිමි වැඩියි. මට ලොකුම සතුට එක දරුවෙක්වත් අපිට උඹ කියලවත් කතා කරලා නෑ. මොනවා උනත් අපිහරි වාසනාවන්තයි කියලා හිතෙනවා අප්පා”

පසුව අප මේ ආඩම්බර තාත්තා වූ ජී. ජිනදාස මහතා දෙසට හැරී ඔහුගේ අදහස් විමසුවෙමු. මීට මාස කීපයකට පෙර ගෙදර ඇති කරන ගොන් වස්සකු බඳින්නට ගොස් ලණුව පැටැලැවී වැටී ගොනාගේ අඟ වැදී පාදයේ ආබාධයකට ලක්ව රෝද පුටුවටවී සිටින 88 හැවිරිදි මෙම පියා ගැන අපටද ආඩම්බරයක් ඇතිවූයේ තවත් තරුණයකුගේ පෙනුමෙන් සිටින නිසාවෙති.




“මම ඒකාලේ එකක් නෙමෙයි කළේ. කුලී කෙරුවා, පොල් කැඩුවා, පොල්ලෙලි ගැහුවා, ගොවිතැන් කෙරුවා, කැත්තෙ උදැල්ලේ වැඩ කෙරුවා. පඩියත් අඩුයි. හැබැයි දැන්වගේ නෙවෙයි ඒ කාලේ ලේසියි ජීවත් වෙන්ඩ. දරුවො ගොඩක් හිටියා කියලා මට කරදරයක් උණේ නැහැ.

මම ජීවිතයේ එක දවසක්වත් ඉස්පිරිතාලයක නැවතිලා බෙහෙතක් අරගෙන නැහැ.

අපේ පරම්පරාවේ ගොඩක් අය වයසට ගියත් හොඳට ශක්තිමත්ව ඉඳලා තමයි මැරෙන්නේ. මට දැන් අවුරුදු 88 ක් වෙනවා. තවම හරියට කොණ්ඬේ රැවුල පැහිලා නෑ. දත් වැටිලා නෑ. තවමත් හොඳට පුවක් හපලා කනවා. මට මේ හරකා ඇන්නේ නැත්නම් තවමත් හොඳට වැඩ කරනවා. දැන් මේ මාස 06 ක් තමයි එක තැන්වෙලා. ඒකත් ඉක්මනට සනීප වෙයි.

මට මෙයාව හොයලා දුන්නේ මගේ දෙමාපියෝ. එතකොට මට අවුරුදු විසි තුනයි. අපි හොඳට මඟුල් කාලා ගෙනාවේ. මෙයා කාර් එකක එක්ක ඇවිල්ලා පාර නැති නිසා පයින් තමයි ආවේ. අපි දෙන්නා කසාද බැඳපු දවසේ ඉඳලා හොඳට ඉන්නවා. අදටත් අපි දෙන්නා බැන්ද දවස වගේ සතුටින් තමයි ඉන්නේ. දරුවෝ ඔක්කොම එකට එකතුවෙනවා හරි අඩුයි. කොහොමහරි මම ළගදි ඔක්කොමලා එකතු කරන්න හිතාගෙන ඉන්නේ දරු පැටවුන් එක්ක.

ළමයි කීප දෙනෙක් අපේ මේ මහ ගෙදර වටේට ගෙවල් හදාගෙන ඔය ගොවිතැනක් බතක් කොරාගෙන පාඩුවේ ජීවත් වෙනවා. තවත් කීප දෙනෙක් ඔය එක එක පළාත්වලට දීග දීලා දරු මල්ලො හදාගෙන ඒ අය ජීවත් වෙනවා. අපි දෙන්නයි බැඳපු නැති එක දුවක් ඉන්නවා එයයි මහගෙදර ඉන්නවා. මේ හැමෝම එයාලට පුළුවන් විදියට අපිට බලනවා” 

අප මේ නිවසට එද්දී මේ දෙමාපියන්ගේ දරුවන් කීප දෙනකු හමු වූ අතර බාලම දරුවා එනම් බඩ පිස්සා විසිවැනි දරුවා සමඟ කතා කළෙමු. ඔහු නමින් ජී.නිහාල් (32)

“ඇත්තටම මම හරිම ආඩම්බරයෙන් ඉන්නේ. මොකද අපේ පවුලේ බාලයා මම. හැමෝම මට ගොඩක් ආදරෙයි. අදටත් ඒ ආදරය මම බුක්ති විඳිනවා. ඊට වඩා සතුටක් මට නෑ. අම්මයි තාත්තයි හැමෝටම ආදරෙයි. ඉතින් ඒ හැමෝම එකතුවෙලා මට ආදරෙයි. මොකද මම පවුලේ බාලයා නිසා”


“අපි කවදාවත් අපේ දෙමාපියන්ට දුකක් දෙන්නේ නැහැ. නිතර නිතර අපි සොයා බලනවා. අම්මලා වගේ විශාල දරු පිරිසක් නම් අපිට හදන්න ආසාවක් තිබුණත් දැන් පවතින ආර්ථිකයත් එක්ක අපිට ඒක කරන්න බෑ. අපි පුංචි කාලේ කුරක්කන් රොටි, හැලප කාලා ඉස්කොලේ ගියාට දැන් බැහැ. සපත්තු, හරි හැටි ඇඳුම් නැතිව එදා පාසල් ගියාට දැන් එහෙම අමාරුයි. මොකද අපි හැමෝම ඉන්නේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ”

මේ ආදරණීය දෙමාපියන් දැකබලා ගන්නට උනන්දුවක් දක්වන අය වෙතොත් ඔවුන්ගේ ලිපිනය මෙයයි. ජී. ජිනදාස, කටුපොත, බඹරගස්වැව, ගලේවෙල. 
සටහන / ඡායාරූප : දඹුල්ල කාංචන කුමාර ආරියදාස




1 comment:

  1. අපූරු විස්තරයක් අයියේ.

    ජයවේවා!!!

    ReplyDelete