Wednesday, June 14, 2017

100 නිමවූ නිවුන් ආච්චිලාගේ උපන් දිනය .





වසර සියයක කාලයක් ජීවත් වන්නට වරම් ලැබීම පුද්ගලයකු ලබන භාග්‍යකි. තම සිය වන උපන්දිනය පෙර නොවූ පරිදි අමතක නොවන දිනයක් කර ගැනීමට හැකි වීම සැබවින්ම ආශ්චර්යකි. ඒත් එම අවස්ථාව හිමි වන්නේ කීයෙන් කී දෙනාටද? එවැනි නිවුන් සහෝදරියන් දෙදෙනෙක් තම සියවන උපන්දිනය චමත්කාරජනක ඡායාරූප ගනිමින් සැමරූ පුවතක් පසුගිය දිනක අසන්නට ලැබිණි.
බ්‍රසීලයේ ජීවත්වන මාරියා පිග්නටොන් පොන්ටින් සහ පවුලිනා පිග්නටොන් පැන්ඩොල්ෆි නිවුන් සහෝදරියන් දෙදෙනෙකි. පවුලිනා පිග්නටොන්ට දරුවන් හය දෙනෙක්, මුනුපුරු මිනිපිරියන් දහනම දෙනෙක් සහ මුනුපුරු මිනිපිරියන්ගේ දරුවන් දහසය දෙනෙක් ද සිටිති. මාරියා පිග්නටොන්ට දරුවන් පස් දෙනෙක් , මුනුපුරු මිනිපිරියන් දොළොස් දෙනෙක් සහ මුනුපුරු මිනිපිරියන්ගේ දරුවන් හය දෙනෙක් ද සිටිති. මීට වසර ගණනාවක සිට පවුලිනා උදර පිළිකාවකින් සහ හෘද රෝගී තත්ත්වයකින් පීඩා විඳින්නී ය. එහෙත් ඇයගේ සිත ශක්තිමත් ය. මාරියා සෙනෙහස කරුණාව අන්‍යන්ගෙන් බලාපොරොත්තුවන, වැඩි කතාබහක් නොමැති කාන්තාවකි.
පුද්ගල ඡායාරූප ශිල්පිනී කමිලා ලීමා හට පවුලිනා සහ මාරියා යුවළ පිළිබඳ දැන ගන්නට ලැබුණේ අහම්බෙනි. තරුණ පුද්ගලයින්ගේ කලාත්මක ඡායාරූපවලට ප්‍රමුඛස්ථානය දුන්නද ඇය මහලු පුද්ගලයන්ගේ ඡායාරූප ගෑනීමට ද ඇල්මක් දැක්වූවාය. එහෙත් මහලු වියෙහි සිටින පුද්ගලයන්ගේ මානසික මට්ටම සහ රෝගාබාධ හේතුවෙන් කමිලා හට මහලු පුද්ගලයින්ගේ ඡායාරූප ගැනීමට නොහැකි විය.
තම සිතෙහි මහලු කාන්තාවන්ට තිබෙන සෙනෙහසත් තම ඡායාරූපකරණයේ වෙනස්කමක් කීරීමට ඇති කැමැත්තත් හේතුවෙන් ඇය නිවුන් සහෝදරියන්ගේ සියවන උපන්දිනයෙහි ඡායාරූප ගැනීමට තීරණය කළා ය. මැයි මස පහළොස් වන දිනයේ මාරියා සහ පවුලිනා යුවළ රෝස සහ නිල් පැහැති ගවුම්වලින් සැරසී සිටියහ. එම ගවුම්වලට ගැලපෙන කොණ්ඩා මෝස්තර සහ පාවහන්වලින් ඔවුන් හැඩගැන්වීමට ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ද කමිලා හට උපකාර කළේ ය. තව ද මෙම ඡායාරූපවලට මෝටර් රථයක්, මල් සහ බැලුන් ද උපයෝගී කර ගත්හ. ඔවුන් එදා හැඩ ගැන්වුණේ විවාහ උත්සවයකට සහභාගී වන තරුණියන් දෙදෙනකු පරිදි ය. මෙම ඡායාරූප ගන්නා අවස්ථාවේ දී කමිලා නිවුන් සහෝදරියන් දෙදෙනාට ආමන්ත්‍රණය කර ඇත්තේ “ මගේ කෙල්ලනේ” යනු‍වෙනි. කොපමණ වයසට ගිය ද ඔවුන් දෙදෙනාගේ ආදරණීය බව ඔවුන්ගේ සිනහවෙන් නිරූපණය වන බව ඡායාරූපවල පැහැදිලි ය.
“ ඔවුන් එදා උපරිම විනෝද‍යෙන් මා සමඟ කාලය ගත කළා. ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ලබා දුන් සහයෝගය පිළිබඳ මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා “ යනුවෙන් කමිලා ලීමා ඒ.බී.සී මාධ්‍යට ප්‍රකාශ කළා ය.
“ මෙම ඡායාරූප හරිම සරළයි. ඒ වාගේම වර්ණවත්. ඔවුන් එකිනෙකාට දක්වන සෙනෙහස මම මුලින් ම දුටුවේ පෙර පුහුණුවීම් කරන අතරතුරයි. ඔවුන් එදා ගොඩක් පුදුම වෙලයි හිටියේ” යනුවෙන් කමිලා තම මුහුණු පොතෙහි සඳහන් කර තිබිණි






මදාරා මුදලිගේ






1 comment:

  1. ලස්සන ආච්චිලා දෙම්න
    තව තවත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු :-)

    ReplyDelete