Friday, January 5, 2018

ජාත්‍යන්තරයට ශ්‍රී ලංකා හමුදාව පාව දුන් එකම රට ශ්‍රී ලංකාවයි




කෘමියකු සිටි බව පවසමින් ශ්‍රී ලංකාවේ තේ තහනම් කළ රුසියාව එම තහනම ඉවත් කළේ 2018 වසරේ සිට ශ්‍රී ලංකාව ඔවුන්ගේ ඇස්‌බැස්‌ටස්‌වලට පැනවීමට සූදානම් වූ තහනම ඉවත් කරන බවට ප්‍රතිඥා දුන් පසුවය. ජාත්‍යන්තරය දැන් අපේ මිතුරන් යෑයි මේ ආණ්‌ඩුව පැවසුවද ඇතැමුන් පවසන්නේ ඒ මිතුරු දම කුඩා කෘමියකුට වුවද බිඳහෙළිය හැකි දුර්වල එකක්‌ බවයි. ජාත්‍යන්තර ප්‍රජාව සමග වත්මන් ආණ්‌ඩුව සිදුකළ තෙවසරක ගනුදෙනුවේ ස්‌වභාවය ගැන අන්තර්ජාතික සබඳතා කළමනාකරණය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු මෙන්ම ප්‍රවීණ දේශපාලන විචාරකයකු ද වන මොහාන් සමරනායකයන් සමඟ "දිවයින ඉරිදා සංග්‍රහය" පැවැත්වූ සාකච්ඡාවකි මේ.
 
 මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව තරහ කරගත් ජාත්‍යන්තරය අපි දිනාගත්තා යන්න මේ ආණ්‌ඩුව නිතර ප්‍රකාශ කරන දෙයක්‌. එහෙත් පසුගියදා රුසියානු ආණ්‌ඩුව අපේ රටට පැනවූ තේ තහනම ඔවුන් ඉවත් කළේ ඔවුන්ගේ ඇස්‌බැස්‌ටස්‌වලට අපේ රට පැනවූ තහනම ඉවත් කරන බවට අපි පොරොන්දු වුණාට පස්‌සෙයි. අපි ජාත්‍යන්තර ප්‍රජාව දිනාගත්තා යෑයි මේ ආණ්‌ඩුව නිතර කරන ප්‍රකාශය ගැන ඔබේ අදහස කුමක්‌ද?
 
 මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයාගේ සමයේදී ඇමරිකාව ප්‍රමුඛ ලෝකයේ බලවත් රටවල් එක්‌සත් ජාතීන් සහ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය වැනි ආයතන ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ගේ ආධාර මත යෑපෙන ජාතික සහ අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඇතිව ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනාවක්‌ ගොනු කළා. එය තමයි, ශ්‍රී ලංකාවේ ආරක්‌ෂක හමුදා එල්ටීටීඊය සමග කළ සටනේ අවසාන භාගයේදී යුද අපරාධ කළ බව. එනම් ශ්‍රී ලංකාව අන්තර්ජාතික මානව හිමිකම් නීතිය සහ අන්තර්ජාතික මානුෂවාදී නීතිය කඩ කර ඇති බව. එයින් කියෑවෙන්නේ ශ්‍රී ලංකා හමුදා සිවිල් වැසියන් ඝාතනය කරමින්, අත්අඩංගුවට ගත් අය නඩු විභාගයකින් තොරව මරණයට පත්කරමින්, වධහිංසාවලට පත් කරමින්, ස්‌ත්‍රීන් දූෂණය කරමින් හා ලිංගික ප්‍රචණ්‌ඩත්වය භාවිත කරමින්, රෝහල් සැපයුම් නවත්වමින් සහ රෝහල්වලට පහර දෙමින් කටයුතු කරන බව.
 
 පසුගිය පාලන සමයේදී මේ චෝදනාව එල්ල වූවිට එම ආණ්‌ඩුව ඊට විරුද්ධ වුණා. මා එයින් අදහස්‌ කරන්නේ මේ චෝදනාව සම්බන්ධයෙන් ඒ ආණ්‌ඩුව ඥානාන්විතව ක්‍රියා කළා කියන එක නෙමෙයි. ඒ ආණ්‌ඩුවත් ඉතාමත් අනුවණ, බොළඳ වැඩ කළා. මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයාගේ ආණ්‌ඩුවේ විදේශ සබඳතා කළමනාකරණයේ විශාල දුර්වලකම් තිබුණා. ඔවුන් කොතරම් බොළඳ වැඩ කළාද කිවතොත් මහජන සම්බන්ධතා ආයතනවලට කෝටි ගණනින් මුදල් දීල අමෙරිකාව නමැති ලෝකයේ බලවත්ම රාජ්‍යයේ විදේශ ප්‍රතිපත්තිය වෙනස්‌ කරන්න පුළුවන් කියල ඒ ආණ්‌ඩුවේ ඉහළම පෙළේ නිලධාරීනුත් විශ්වාස කළා. එවැනි ළාමක, බොළඳ ළමා සිතිවිලි තිබෙන උසස්‌ නිලධාරීන් ඒ ආණ්‌ඩුවෙත් හිටියා. හැබැයි ඒ අඩුපාඩු මොනව තිබුණත් පසුගිය ආණ්‌ඩුව මේ යුද අපරාධ චෝදනාව පිළිගත්තෙ නෑ. ඇමරිකාව ප්‍රමුඛ රටවල් ගෙනආ ඒ යෝජනාව පළමු අවස්‌ථාවේදී හැර 2012, 2013 සහ 2014 වර්ෂවලදී මානව හිමිකම් කවුන්සලයේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. එම කවුන්සලේ සිටින සාමාජිකයන් 47 දෙනාගෙන් රටවල් 12 ක්‌ පමණ ශ්‍රී ලංකාව සමග එක්‌ව ඡන්දය ප්‍රකාශ කළා. ඊට සමාන රටවල් සංඛ්‍යාවක්‌ ඡන්දය දීමෙන් වැළකී සිටියා. අපේ රට ජාත්‍යන්තරය තරහ කරගත්තා කියල වත්මන් ආණ්‌ඩුවේ යහපාලන බලවේගය හඳුන්වන්නේ මෙන්න මේ කාරණයයි.
 
 මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව ජාත්‍යන්තරය තරහ කරගත්තා කියන වත්මන් ආණ්‌ඩුව ඇමරිකාව ප්‍රමුඛ අධිපතිවාදී රටවල් අපේ රටට එරෙහිව නඟපු චෝදනාව කිසිදු ප්‍රශ්න කිරීමකින් හෝ විරෝධතාවකින් තොරව පිළිගත්තා. ඔවුන් ජාත්‍යන්තරය දිනාගත්තා කියල කියන්නෙ ඒකයි. ආණ්‌ඩුව කියන මේ ජාත්‍යන්තරය ජයගැනීම හරියට තමන්ගෙ ගෙදරට හොරෙක්‌ පැන්නම ඌත් එක්‌ක සටන් කරනවා වෙනුවට ඌට ගෙදර දොර ඇරල බඩුමුට්‌ටු ටික අරන් යන්න ඉඩදීල ඔන්න අපි හොරා මර්දනය කළා කියනව වගේ වැඩක්‌.
 
 ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ගෙනා මේ චෝදනාව ඔප්පු කරන ලද ඒවා නෙමෙයි. ඒවා සාවද්‍ය බවට ඕනතරම් සාක්‌ෂි තිබෙනව. අලුත්ම සාක්‌ෂිය තමයි එංගලන්තයේ නේස්‌බි සාමිවරයා සාමිමන්ත්‍රී මණ්‌ඩලයේදී කළ ප්‍රකාශය. ශ්‍රී ලංකා ආරක්‌ෂක හමුදා යුද්ධයේ අවසන් සමයේ සිවිල් ජනතාව 40,000 ක්‌ ඝාතනය කළ බවට එල්ල වන චෝදනාව ප්‍රතික්‌ෂේප කරන නේස්‌බි සාමිවරයා කියන්නේ මියගිය සංඛ්‍යාව 7000 කට නොවැඩි බවත් ඒ අතර එල්ටීටීඊ සටන්කාමීනුත් සිටින බවත් ඔහු ප්‍රකාශ කරනවා. ඒ අනුව බටහිර රටවල් ශ්‍රී ලංකාවට මේ එල්ල කරන්නේ සනාථ නොකළ චෝදනා බව පැහැදිලියි.
 
 2015 ඔක්‌තෝබර් මාසෙ 01 දා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ඡන්ද විමසීමකින් තොරව සම්මත කළ 30/1 ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංහිඳියාව සහ වගවීම් ප්‍රවර්ධනය කිරීම නමැති යෝජනාව කිසිදු විරෝධතාවක්‌ නොදක්‌වා මේ ආණ්‌ඩුව එය ආණ්‌ඩුවේ යෝජනාවක්‌ හැටියට එයට සම අනුග්‍රාහකත්වයක්‌ දැක්‌වූවා. මම හිතන්නේ තමන්ගේ රටට එරෙහිව විදේශීය බලවේගයක්‌ ගොනුකළ සැලැස්‌මකට එකඟත්වය පළකළ ලෝකයේ පළමු රට ශ්‍රී ලංකාවයි. ඒ එකඟත්වය තුළින් පාවා දෙනු ලැබුවේ මේ රටේ ස්‌වෛරීභාවය, ස්‌වාධිපත්‍යය සහ මේ රටේ බෙදුම්වාදයට එරෙහිව සටන් කළ මේ රටේ ආරක්‌ෂක හමුදාවයි. කිසිදු විරෝධයක්‌ පළ නොකර ශ්‍රී ලංකාව මේ යෝජනාව පිළිගත් විට බටහිර රටවල් සතුටු වුණා. බටහිර රටවල ඒ සංතෝසය ආණ්‌ඩුව දකින්නෙ තමුන් ජාත්‍යන්තරය දිනාගත්ත විදිහටයි.
 
 රට සාම කඳවුරක්‌ බවට පත් කළාම විදේශ ආයෝජන වැඩිවෙලා රට දියුණු වෙන බව නේද ආණ්‌ඩුව ප්‍රකාශ කළේ?
 
 බටහිර රටවල මතයට හිස නැමුවම අපේ රටට විදේශ ආයෝජන ගලා එයි කියල මේ අය හිතුවා. පසුගිය ඡන්දෙට පෙර මාධ්‍ය සාකච්ඡා පවත්වපු ආණ්‌ඩුවේ බලධාරීන් අපි ආවම චීන වරාය ව්‍යාපෘතිය නතර කරනවා කියල කිව්වෙ එහෙම හිතල. ඔවුන් චීන බිල්ලෙක්‌ මැව්ව. අපට චීනය ණය දෙන්නෙ ගිනි පොලියට යෑයි එක්‌ අවස්‌ථාවකදී හිටපු මුදල් ඇමැති රවි කරුණානායක ප්‍රකාශ කළා. ඒත් අන්තිමට එලිසබෙත් මහ රැජින අත්මේස්‌ ගලවල ජනාධිපතිතුමාට අතට අත දුන්නට වැඩි දෙයක්‌ බටහිරින් මේ ආණ්‌ඩුවට ලැබුණෙ නෑ. අවසානයේ චීනය ළඟටම යන්න වුණා. චීනයෙන් නැවත ණය ඉල්ලන්න සිද්ධ වුණා. අපේ ණයවල පොලිය වැඩිනම් ඇයි අපෙන් ආයෙත් ණය ඉල්ලන්නෙ කියල වර්තමාන චීන තානාපති ප්‍රසිද්ධියේ ඇහුවා. එහෙම බාල්දු වුණු ආණ්‌ඩුව තමයි, අපි ජාත්‍යන්තරය ජය ගත්ත කියල කියන්නෙ.
 
 ආණ්‌ඩුව ජාත්‍යන්තරය ජය ගැනීම තුළින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්‌තිමත් වූ බව ඇතැමුන් දරන මතයක්‌. පසුගිය කාලයේ බටහිර නොයෙක්‌ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මෙහි පැමිණීමත් එහි ප්‍රතිඵලයක්‌?
 
 ආණ්‌ඩුව ජනතාවට පෙන්වන්නෙ නම් එහෙම තමයි. හැබැයි ආණ්‌ඩුව 30/1 යෝජනාවට අවනත වුණාට පස්‌සෙ අපේ රටට වැලනොකැඩී ආවෙ ඒ යෝජනාව පිටුපස හිටපු බලවත් රටවල නිලධාරි සහ නියෝජිතයො. ඒ ආව හැම දෙනාම පාහේ ආණ්‌ඩුවේ මතයට අවනත නොවී උතුරට ගියා. උතුරට ගිහින් සංහිඳියාව ඇතිකරන්න, යුද අපරාධ කළ අයට දඬුවම් දෙන්න ඔවුන් කතා කළා. එහෙම බලයක්‌ ඒ අයට දීල නෑ. ඔවුන්ට එහෙම අයිතියකුත් නෑ. සමන්තා පවර් කියන්නෙ තානාපතිවරියක්‌. යුද අපරාධ කළ අයට දඬුවම් දෙන්න එයාට බෑ. බෙන් එමර්සන්, ජෙෆ්රි ඩී. ෆෙල්ට්‌මන්, ෆුබ්ලො ඩී ක්‍රීෆ්, මොනිකා පින්ටු වැනි අය විශේෂ විමර්ශකයො. ඒ අය මෙහෙ ඇවිත් කටයුතු කළේ පක්‌ෂග්‍රාහී විදිහටයි. එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය කඩ වෙන විදිහටයි. රටක ආණ්‌ඩුවකට උපදෙස්‌ දෙන්න ඔවුන්ට බලයක්‌ නෑ. ඔවුන්ට පුළුවන් විමර්ශනයක්‌ කරල ඒ වාර්තාව තම රටේ ඉහළ නිලධාරීන්ට ඉදිරිපත් කරන්න විතරයි. ඔවුන් මේ රටට ඇවිත් ජනාධිපතිවරයාට අභියෝග කරන ආකාරයේ ප්‍රකාශ පවා සිදුකළා. ඔවුන් මෙහෙ ඇවිත් අපේ රටට මේ විදිහේ නිවටකම් සිදු කිරීම, ආණ්‌ඩුව ජනතාවට කියන්නේ තමුන් ජාත්‍යන්තරය දිනා ගැනීමක්‌ විදිහටයි. 
 
 පසුගියදා මේ ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක්‌ ප්‍රකාශ කළා පසුගිය කාලේ පැනවූ මත්ස්‍ය තහනම, ජීඑස්‌පී තහනම වගේ මේ රුසියාවෙ තේ තහනම දිගට ඇදුනෙ නෑ ජනාධිපතිතුමාගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තුළින් එය ඉතා කෙටි කාලයකදී විසඳුවා කියල?
 
 ඒ ප්‍රකාශය කළ ඇමැතිවරයා එක්‌කෝ ජාත්‍යන්තර සබඳතා ගැන කිසිදු දැනීමක්‌ නැති මුග්ධයෙක්‌. එහෙම නැත්නම් දේශපාලනික වංචනිකයෙක්‌. මත්ස්‍ය තහනමත්, ජීඑස්‌පී ඉවත් කර ගැනීමත් එන්නෙ වෙනම සන්දර්භයක්‌ යටතේ. තේ තහනම එන්නෙ වෙනත් සන්දර්භයක්‌ යටතේ. ඒ දෙක සමාන කිරීමෙන්ම ඒ ඇමැතිවරයාගේ දැනීමේ තරම සහ වංචනික භාවය පැහැදිලියි.
 
 2015 ජනවාරි 08 වැනිදා පත් වූ වර්තමාන ආණ්‌ඩුව එවකට යුද කඳවුරක්‌ව තිබූ මේ රට සාම කඳවුරක්‌ බවට පත් කර අද ජාත්‍යන්තර ප්‍රජාව සමග එක්‌වී නව ව්‍යවස්‌ථාවක්‌ තුළින් මේ රටේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක්‌ ලබාදෙන බව කියනවා. එහෙත් ඒ පිළිබඳ ජනතාව තුළ බලවත් සැකයක්‌ මතුවී තිබෙනවා. නව ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කිරීම දෙමළ ඩයස්‌පෝරාවේ අවශ්‍යතා ඉටු කිරීමක්‌ බවයි සමහරු හිතන්නෙ?
 
 මහින්ද රාජපක්‌ෂ පාලන සමයේ දී එල්ටීටීඊ. බෙදුම්වාදී යුද්ධය අවසන් කළත් සමහරු එය ජනවාර්ගික ප්‍රශ්නයක්‌ ලෙස හඳුන්වනවා. මම හිතන්නෙ ජනවාර්ගික සාධකය මේ ප්‍රශ්නයේ එක පැතිකඩක්‌ පමණයි. මේ ප්‍රශ්නය පිටුපස ඊට වඩා පළල් පැති මාන ගණනාවක්‌ තිබෙනවා. මේ රට බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබීමටත් පෙර සිටම තමන්ට වෙනම පාලන බලයක්‌ අවශ්‍ය බවට මේ රටේ දෙමළ ප්‍රභූ පන්තිය දැරූ මතය ඉන් එකක්‌. නිදර්ශනයක්‌ විදියට සිංහල මිනිසුන්ට ඉංග්‍රීසීන්ගෙන් වෙනම රාජ්‍යයක්‌ අවශ්‍ය නම් දෙමළ මිනිසුන්ටත් වෙනම රාජ්‍යයක්‌ අවශ්‍ය වීමේ වරද කුමක්‌දැයි යනුවෙන් 1947 දී චෙල්වනායගම් එදා තිබුණු පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර තිබෙනවා. මේ මතය තමයි පසුකාලයේ බෙදුම්වාදී ප්‍රචණ්‌ඩත්වය විදියට මතුවන්නේ. 1951 දී ඊළංකෙයි තමිල් අරසු කොච්චි පක්‌ෂය බිහිවන්නේ දෙමළ ජනයා සඳහා වෙනම රාජ්‍යයක්‌ ගොඩනැඟීමටයි.
 
 පසුකාලයේ යුද්ධයක්‌ විදිහට වර්ධනය වූ එම මතයයි. ඉංග්‍රීසි විචාරකයො, පාලකයො, මාධ්‍යකරුවො එම යුද්ධය හැඳින්වූවේ 'අන්විනබල් වෝ' යනුවෙන්. එනම් දිනන්න බැරි යුද්ධය විදිහට. මහින්ද රාජපක්‌ෂ පාලන සමයේ මේ එල්ටීටීඊ බෙදුම්වාදී යුද්ධය පරාජය කළා. එය පරාජය නොකළා නම් මේ රටට අති විශාල ව්‍යසනයක්‌ සිදුවෙනවා. එයින් මම අදහස්‌ කරන්නේ දෙමළ ජනතාවට ප්‍රශ්න නොමැති බව නොවෙයි. මේ රටේ සියලුම ජන කොටස්‌වලට සමගියෙන්, සමාදනයෙන් හා අභිමානයෙන් සමාන ඉඩ ප්‍රස්‌ථා ඇතිව ජීවත්වීමට හැකි සමාජයක්‌ තිබිය යුතුයි. එහෙත් ඊට විසඳුම මේ රට බෙදී වෙන්වීයැමට අවශ්‍ය පසුබිමක්‌ සකස්‌ කිරීම නොවෙයි.
 
 මේ රට යුද කඳවුරක්‌ව තිබුණා කියන්නේ ඔය තත්ත්වයටයි. මහින්ද රාජපක්‌ෂ පාලන ආණ්‌ඩුව එල්ටීටීඊ බෙදුම්වාදී යුද්ධය අවසන් කර රට සංවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම් ඇතිකිරීමට විශාල වශයෙන් මුදල් වැයකළත් දේශපාලන වශයෙන් මේ රටේ ගැඹුරට මුල්බැස තිබූ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය හඳුනාගෙන එය ආමන්ත්‍රණය කරන වැඩපිළිවෙළක්‌, දෙමළ ජනතාවට ඇත්ත වටහා දෙන වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළේ නෑ. පසුගිය ආණ්‌ඩුව යුද්ධය ජයග්‍රහණය කරල ඉතාමත් අහංකාර මානසිකත්වයකිනුයි රට පාලනය කළේ. ඒ නිසාම ඔවුන්ගේ පදනම ඔවුන්ගේ පා යටින් ඛාදනය වන විට වත් එය තේරුම් ගන්නට පසුගිය පාලනය සමත් වුණේ නෑ.
 
 මේ ආණ්‌ඩුව 2015 ජනවාරි 8 ඒ අය කියන ඔය නිහඬ විප්ලවයෙන් කළේ විවිධ අරමුණු සහිත බලවේග එකතු වෙලා මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව පළවා හැරීමයි. ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරන විදිහේ ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කරන්න නම් මහින්ද රාජපක්‌ෂ පරාද කළ යුතු බව වර්තමාන ආණ්‌ඩුව, සම්පාදනය කරන අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ප්‍රමුඛයෙක්‌ වන ජයම්පති වික්‍රමරත්න ලන්ඩන් නුවරදී අමිර්තලිංගම් සමරු දේශනය පවත්වමින් ප්‍රකාශ කළා. මහින්ද රාජපක්‌ෂ පරාජය කිරීමේ අවශ්‍යතාව එජාපයට තිබුණා. ඒ බලය ලබාගැනීම සඳහා. මහින්ද රාජපක්‌ෂ පරාජය කිරීමේ අවශ්‍යතාව විදේශ බලවතුන්ට තිබුණා. ඒ ඔහු ඔවුන්ට අවනත නොවූ නිසා. මහින්ද රාජපක්‌ෂ පරාජය කිරීමේ අවශ්‍යතාව බෙදුම්වාදීන්ට තිබුණා. ඒ ඔවුන්ගේ අරමුණ සාර්ථක කරගැනීමට අවශ්‍ය දේශපාලන පරිසරය නිර්මාණය කරගැනීම සඳහා. මහින්ද රාජපක්‌ෂ පරාජය කිරීමෙන් මෙන්න මේ තුන්වැනි කාරණය සඳහා අද බෙදුම්වාදීන්ට විශාල අවසරයක්‌ ලැබී තිබෙනවා. අද මේ ආණ්‌ඩුවේම ඇමැති ධුරවල ඉන්න විජයකලා මහේෂ්වරන් වැනි අය කරන ප්‍රකාශ තුළින් එය පැහැදිලියි. ඒ ප්‍රකාශ වර්තමාන ජනාධිපති සහ අගමැති අනුමත කරන්නේ කොයිවිදිහටද? එක ඇමැතිවරයෙක්‌ ජාතික කොඩිය එසවීම ප්‍රතික්‌ෂේප කරනවා. රට තුළ එවැනි තත්ත්වයක්‌ නිර්මාණය වෙන්නේ ජන කොටස්‌ තුළ විරසකභාවය පළල් කරන පරිසරයක්‌ ඇති විටයි. අද මේ රටේ මේ නිර්මාණය වෙමින් පවතින්නේ ජන කොටස්‌ එකතු කරන පරිසරයක්‌ නෙමෙයි. ඒක කොහොමද සංහිඳියාවක්‌ වෙන්නෙ. ඒ තුළින් කොහොමද සාමය ඇතිවෙන්නෙ. මේ ක්‍රියාදාමය ඉදිරියට ගියහොත්, මේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත වෙලා ක්‍රියාත්මක වුවහොත් එය මේ රටේ මින් පෙර නොවූවිරූ විශාල ප්‍රචණ්‌ඩත්වයක ආරම්භය විය හැකියි. බටහිර බලවතුන්ගේ උවමනාවට හදන මේ නව ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක වුවහොත් මේ රට ලිබියාවක්‌, සිරියාවක්‌ ඇෆ්ගනිස්‌ථානයක්‌, ලෙබනනයක්‌ වීම වළක්‌වන්න බෑ.
 
 සාකච්ඡා කළේ 
 පාලිත සේනානායක
 ඡායාරූපය - ගාමිණී මුණසිංහ





No comments:

Post a Comment