Sunday, April 8, 2018

මහළු වියේ පාළු මකන්න ස්ව කැමැත්තෙන්ම සිරගෙට යන ජපන් මහල්ලන්


මිනිසා වනාහි සමාජශීලී සත්වයෙකි. වියපත්වීමත් සමගම සිඳී යන ජවය හා වෙනත් බොහෝ කරුණු කාරණා හේතුවෙන් මෙම සමාජශීලී සත්වයා හුදකලා බවට පත්වේ. සමාජශීලී සත්වයා හුදකලා වූ විට එය විඳදරා ගැනීම අපහසුය. අනුන්ගේ අවධානයෙන් ගිලිහී යාම හුදකලා සත්වයා වේදනාවට පත්කරයි. මේ නිසාම වෙනත් පාර්ශ්වයන්ගේ අවධානයට ලක්වීම සඳහා හුදකලා සත්වයා කිරීමට පසුබට නොවෙන දෙයක් නැති තරම් ය. 

සංවාදය සඳහා අසල සිටින්නෙකු බලයෙන් හෝ ඇඳාගැනීමට උත්සහ කිරීම, රෝගී තත්ත්වයක් නැති වුවද රෝගී තත්ත්වයක් ඇති බව පෙන්වීම වැනි දේ මෙවැනි අවස්ථාවල අනුන්ගේ අවධානයට යොමුවීම සඳහා කරනු ලබන උප්පරවැට්ටි ය. ස්වාභාවිකව ම හුදකලාවීම හෝ හුදකලා කරනු ලැබීම දඬුවමකි. නීතිය හමුවේ වැරදිකරුවන් දඬුවමක් ලෙස සිරගත කිරීමෙන් කරනු ලබන්නේ ද, හුදකලා කර පසුතැවිල්ලට පත්කිරීම ය. ස්වභාවිකව හුදකලාවීමට වඩා නීතිය මගින් හුදකලා වීම නොහොත් සිරගත වීම යහපතැයි කිසිවකු කියන්නේ නම්, ස්වභාවිකව හුදකලා වීම කෙතරම් කටුකදැයි සිතාගැනීමට එයම ප‍්‍රමාණවත් ය. 

ජපානයේ වියපත් පරපුර අනුන්ගේ අවධානයට යොමුවී වැඩි සත්කාර ලබාගැනීම සඳහා අලුත්ම ක‍්‍රමවේදයක් දැන් අනුගමනය කරනු ලබන බව ඒ පිළිබඳව කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇති බව ජපාන ප‍්‍රවෘත්ති වාර්තා කරයි. 
ලොව වියපත් වූවන් වැඩිම රට ජපානය ලෙස සැලකේ. ජපාන ජනගහණයෙන් සියයට විස්සක් වයස අවුරුදු හැටපහ ඉක්මවූවෝ ය. ජපාන සංස්කෘතියට අනුව වියපත් දෙමාපියන් දරුවන්ගේ රැකවරණය ලැබිය යුතු වුවද, අද ජපානයේ වයස අවුරුදු හැටපහ ඉක්මවූ ලක්ෂ හැටක පිරිසක් ජීවත් වෙන්නේ හුදකලාව ය. 1980 සිට 2015 දක්වා කාලය තුළ ජපානයේ වයස අවුරුදු හැටපහ ඉක්මවූ සංඛ්‍යාව හයගුණයකින් වැඩිවී ඇත. 

ජපානයේ වයස අවුරුදු හැටපහ ඉක්මවා හුදකලාව ජීවත්වෙන පිරිසෙන් ඇතැමෙකු තම මහලු විය සැනසිල්ලේ ගතකිරීම සඳහා තෝරාගෙන ඇත්තේ හිරේ යාම ය. ජීවිතයේ මෙතෙක් නොකරන ලද නීති විරෝධී ක‍්‍රියාවන්ට යොමුවී ජපාන සිපිරිගෙවල් තුළ සිටින වයස අවුරුදු හැටපහ ඉක්මවූ රැඳවියන්ගේ සංඛ්‍යාව තිස්හය දහසකි. මෙයින් බහුතරය කාන්තාවෝ ය. 

හුදකලා බවින් මිදී, මහලු විය වෙනත් අයෙකුගේ රැකවරණය මැද ජීවත්වීම 

සඳහා සිරගත වීමට මාර්ගය ලෙස ජපාන වියපත්වූවෝ තෝරාගෙන ඇත්තේ වෙළෙඳසල්වලින් ආහාරපාන සොරාගැනීම ය. සිපිරිගෙහි තැපීමට සිදුවෙන කාලය දිගුකරගැනීම සඳහා ඇතැමෙකු වඩාත් බරපතළ නීතිවිරෝධී ක‍්‍රියාවන්ට යොමුවෙන බව ද උක්ත සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. 

විවිධ නීති විරෝධී ක‍්‍රියාවන් සම්බන්ධයෙන් සිරගතව සිටින වයස අවුරුදු හැටපහ ඉක්මවූ ජපාන පුරවැසියන්ගෙන් බහුතරය තුළ, දඬුවම ගෙවා නිදහස ලබා ආපසු යාමේ බලාපොරොත්තුවක් ද නැත. ඔවුන් සමග කරන ලද සාකච්ඡාවලදී සියයට හතළිහක ප‍්‍රතිශතයක් පවසා ඇත්තේ යාමට ඒමට තැනක් හෝ රැකවරණය සඳහා කිසිවෙකු හෝ නැති බැවින්, සිපිරිගතව සිටීම වඩාත් සුරක්ෂිත බව ය. 

වියපත් රැඳිවියන්ට ගැළපෙන අයුරින් ජපාන සිපිරිගෙවල් ප‍්‍රතිසංවිධානය දැන් රජය විසින් අරඹා ඇත. මේ අනුව සනීපාරක්ෂක පහසුකම්, වෛද්‍ය ඒකක, සක්මන් මළු පහසුකම් සිපිරිගෙවල් තුළ සැපයීම සඳහා ජපාන රජය ඩොලර් මිලියන සියයක මුදලක් වෙන්කර ඇත. සිපිරිගෙවල සේවයේ යෙදෙන සම්ප‍්‍රදායික ජේලර්වරුන් වෙනුවට සාත්තුසේවක පිරිස් වැඩි කිරීම ද රජයේ නව ව්‍යාපෘතිය යටතේ සිදුවෙනු ඇත. වියපත් ජපාන රැඳිවියන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගාසිටුවීම සඳහා දෛනික ව්‍යායාම ලෙස දිනකට පැය හය බැගින් ඔවුන් ඉතා සැහැල්ලු සේවාවන්හි යෙදවේ. ලොව අපරාධ අඩුම රට ලෙස ගැනෙන්නේ ද ජපානයයි. 

 

 

 

කල්ප ගුරුගේ 
මිලානෝ, ඉතාලිය.

1 comment:

  1. හම්මේ හිරගෙවල් සුරලොවවල් වාගේ ඇති

    ReplyDelete