ඓතිහාසික කැලණිය රාජමහා විහාරයේ බිතු සිතුවම් නිර්මාණය කරමින් ලෝක ප්‍රකට චිත්‍ර කලා ශිල්පියකු වශයෙන් ප්‍රකට වූ වලිමුනි සෝලියස් මැන්දිස් මහා කලා ඇදුරුතුමා ගුණානුස්‌මරණය සිහි ගන්වමින් ඔහුට උපහාරයක් වශයෙන් මෙම ලිපිය පළ කෙරේ.
සෝලියස් පුංචි දරුවාගේ උපන් දිනය වන්නේ 1896 ජුනි 17 වැනිදාය. සෝලියස් මැන්දිස්‌ට සහෝදර සහෝදරියන් අට දෙනකු වූහ.
ඔහු ගේ සම්පූර්ණ නම වලිමුණි සෝලියස් මැන්දිස් ය. පියා ඩබ්.සිරිනෝරිස් මැන්දිස් සහ මව කරෝලින් හාමි ලෙසත් සඳහන්ය. පියා දේශීය වෛද්‍යවරයෙකි. .සෝලියස් මැන්දිස්ට පිළිගත් ඉහළ අධ්‍යාපනක් නොතිබුණ ද විශ්ව කීර්තියට පත් සිත්තර නාමයක් ලබා ගැනීමේ භාග්‍ය සතු වී ඇත.
තම ගමට ආසන්න නාත්තන්ඩියට සමීප මාවිල පන්සලේ හත්වැනි පංතිය දක්‌වා ඉගෙන ගත් පුංචි සෝලියස් මැන්දිස් පසුව මාදම්පේ කතෝලික පාසලකත්, නාත්තන්ඩිය වීරහේන මහා පිරිවෙනේත් ශිල්ප හැදෑරීය. ඔහුගේ දෙමාපියන්ට උවමනාව තිබුණේ තම පුතු ආයුර්වේද වෛද්‍යවරයකු කිරිමටයි. ඒත් පුංචි කාලයේ සිටම ගමේ පන්සලටත්, පරිසරයටත් ඉතාම ඇලුම් කරමින් තම ස්‌වෝත්අසාහයෙන්ම චිත්‍ර නිර්මාණය කිරීමේ උනන්දුව සෝලියස්‌ට තිබුණි. ඉතාම සන්සුන්, නිහතමානී, නිදහස්‌ව සිතීමට ප්‍රිය කළ ඔහු සෑම චිත්‍රයක්‌ම තමන්ට ආවේණික ශෛලියකින් නිර්මාණය කළේය.
සෝලියස් මැන්දිස් කුඩා කාලයේදී ම මෙමෝනියස් ද සිල්වා නම් වූ සිය මාමා සමඟ බිතු සිතුවම් කලාවේ නිරත වූ බවට සාධක ඇත. මහවැවට නුදුරු මාවිල කුසුමාරාමයේ දක්නට ඇති සිතුවම් ඔහුගේ චිත්‍ර ඇඳීමේ මූලාරම්භය දක්වන සිතුවම් වේ.කලාත්මක වටිනානමටත් වඩා මානව විද්‍යාත්මක වටිනාකමක් ගැබ්වන පරිදි සිය සිතුවම් නිර්මාණ තමාට නිතර දක්නට ලැබෙන භෞතික සාධක ඔස්සේ නිරූපණය කිරීමක් ඇරම්භයේ දී දැකිය හැකිය. සෝලියස් මැන්දිස් ආරම්භක සිතුවම් නිරීක්ෂණය කරන විට එකල ඔහු එම්.සාර්ලිස්ගේ සිතුවම් අනුකරණය කළ බව පෙනේ. සාර්ලිස් චිත්‍ර ශිල්පියාගේ සිතුවම් එකල ජනප්‍රිය වී තිබීම එයට හේතු වන්නට ඇත.
මේ වන විට මාරවිල සුමන කුසුමාරාමයේ සිතුවම් අඳින අයුරු දුටු සෝලියස් ඒ පිළිබඳව බොහෝ උනන්දුවෙන් සොයා බැලීය. එම විහාරයේ විහාරාධිපති හිමියන් සෝලියස් මැන්දිස්‌ගේ උනන්දුව පිළිබඳව අවබෝධ කරගෙන විහාරයේ සිතුවම් නිර්මාණය කරන සිත්තරාහට බාරදී ඇත. මැන්දිස් සිත්තරාගේ සිතුවම් කලා ලොවේ ආරම්භය එය බව වාර්තා වේ. ඉන් පසුව මැන්දිස් සිත්තරා විහාරාරාමවල චිත්‍ර ඇඳීමේ වැඩ භාර ගෙන කරගෙන ගියේ ඉතාම සතුටින් හා කැමැත්තෙන්ය. ඒ අනුව 1912 වසර වන විට මාරවිල සුමන කුසුමාරාම විහාරය, 1915 රණස්‌ගල්ල විහාරයත්, 1920 වන විට ගිරිඋල්ලේ මැද්දෙපොල විහාරයේත්, පොළොන්නරුවේ ශ්‍රී ජයබා විහාරයේත්, උඩුබද්දාව ටැම්පිට විහාරයේත්, මල්වාන ලෙනගම්පල විහාරය ඇතුළු විහාර රැසකට සිතුවම් නිර්මාණය කළේ අනෙකුත් විහාරවල සිතුවම්වලට වෙනස් වූ මඟක් ගනිමින්ය.
මෙම වකවානුව වන විට විදේශ ආක්‍රමණ නිසා විනාශ වී ගිය කැලණිය පූජා භූමියේ නව ප්‍රතිසංස්‌කරණ කටයුතු හෙලේනා විජයවර්ධන ළමා තැනිය අතින් සිදු වෙමින් පැවතුණි. විජයවර්ධන පරම්පරාවේ අයට උවමනා වූයේ කැලණිය විහාරයේ නව බිතු සිතුවම් නිර්මාණය කිරීම සඳහා ඉතාම දක්‌ෂ ශිලපියෙකුගේ සහයෝගය ලබාගැනීමටයි. ඒ අනුව ඒ වන විට රටේ විවිධ පළාත්වල සිතුවම් කරමින් සිටි තරුණ සෝලියස් මැන්දිස්‌ගේ නව ආරක චිත්‍ර ශෛලිය දැක කැලණි විහාරයේ නව විහාර මන්දිරය සහ සිතුවම් නිර්මාණය කිරීමේ භාරදූර අභියෝගය සෝලියස් මැන්දිස් මහතාට පැවරීය. හෙලේනා විජයවර්ධන ළමාතැනිය විසින් මැන්දිස් මහතාව ඉන්දියාවේ අජන්තාව, එල්ලෝරා වැනි ලෝක පූජිත සිතුවම් නැරැඹීමටත්, ඒවායේ ලක්‌ෂණ හඳුනා ගැනීමටත් ඉන්දියාවට යෑවූ බව සඳහන් වේ.
හෙලේනා විජයවර්ධන ළමාතැනියගේ උපදෙස් අනුව 1930 දී කැලණි විහාරයේ සිතුවම් හා මූර්ති නිර්මාණය ආරම්භ කළ මැන්දිස් මහතා 1948 පමණ තෙක් බිතු සිතුවම් නිර්මාණය කළේය. මේ සිතුවම් සඳහා දේශීය අමුද්‍රව්‍ය යොදා ගන්නට මැන්දිස් කලාකරුවා අමතක කළේ නැත. ඇසට ඉතාම සුවය ගෙන දෙන වර්ණ උපයෝගී කර ගත්තේය. මකුළු මැටි, පස් වර්ග, ශාකවල පත්‍ර, පොතු, බිත්තර සුදු මදය, තැඹිලි වතුර ආදිය ප්‍රධාන වශයෙන් බදාමයට සහ වර්ණ සඳහා යොදා ගත්තේය. බිත්තර සුදු මද ලබා ගත්තේ බිඳුණු බිත්තරවලින් පමණක් බවද සඳහන් වේ. කැලණි විහාරයේ බිතු සිතුවම් අතර නව විහාර ගෙයි සියලුම සිතුවම් ඇතුළු මූර්ති විහාර මන්දිරයේ නිර්මාණය ද සෝලියස් මැන්දිස් කලාකරුවා අතින් සිදුවීම විශේෂ සිද්ධියකි. ඔහුගේ සෑම රේඛාවක්‌ම, හැඩතලයක්‌ම වර්ණයක්‌ම සිතුවමට උචිතවම යොදා ගත්තේය. හේමමාලා දන්ත කුමරු දළදාව වැඩමවීම, බුදුන් වහන්සේගේ ලංකා ගමන, කැලණිතිස්‌ස කතා පුවත, ලංකා ඉතිහාසය ඇතුළු සිතුවම් රැසක් කදිමට නිර්මාණය කර ඇත. නෙළුම් මල්, පලාපෙති, ලියවැල් මෝස්‌තර නිර්මාණාත්මක ලෙස උචිත තැන්වල යොදා ඇත. චිත්‍ර කලාව හදාරන සිසු සිසුවියන්ටත්, ගුරුවරුන්ටත් සිතුවම් කලාව පිළිබඳව උනන්දුවක් දක්‌වන සෑම දෙනාටත් කැලණි විහාර සිතුවම් සෞන්දර්ය විශ්වවද්‍යාලයක් වැනිය. එහි එක් පැතිකඩක් වන්නේ නුවර යුගයේ චිත්‍රත්, නූතන යුගයේ චිත්‍රත් දැකිය හැකි එකම ස්‌ථානය කැලණිය විහාරයයි.
කැලණි විහාරයේ බිතුසිතුවම්
බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශය ලද පූජනීය ස්ථානයක් ලෙස කැලණි විහාරය බෞද්ධයන්ට සුවිශේෂී වේ. කැලණි විහාරයේ පූජනීය වස්තූන් හැරුණු විට විහාරය තුළ දක්නට ලැබෙන සිතුවම් වැඩි වැදගත් කමකින් යුක්තය. මෙම සිතුවම් නිර්මාණය කරන ලද්දේ සෝලියස් මෙන්ඩිස් නම් වූ සිත්තරාණන් විසිනි. ඉතිහාසය පුරාවට ම කැලණි විහාරය විදේශීය බලපෑම්වලට නතු විය. ඉංග්‍රීසි පාලනයට යටත්ව පැවති යුගයක සෝලියස් මෙන්ඩිස් මහතා විසින් මෙම ඓතිහාසික බෞද්ධ සිද්ධි සිතුවමට නැගීම සංස්කෘතික අතින් ද වැදගත් ය. බුදුන්වහන්සේ මෙරට වැඩමකිරීමේ සිට වැදගත් බෞද්ධාගමික ඓතිහාසික සිද්ධීන් රැසක් මෙතුමන් විසින් සිතුවමට නගා ඇත. ඒ අතර චූලෝදර මහෝදර යුද්ධය, සංඝමිත්තා තෙරණින්වහන්සේ විසින් ශ්‍රී මහා බෝධිය මෙරට වැඩමවීම , හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් දන්ත ධාතූන් වහන්සේ මෙරට වැඩමවීම, මහින්දාගමනය, කාලිංග මාඝ කැලණි විහාරය විනාශ කිරීම හා විජය කුමරා ලක්දිවට පැමිණීම ආදී සිතුවම් වේ. මෙම සිතුවම් කෙතරම් මිනිස් සිත ඇද බැඳ ගත්තේද යත් මෙම අවස්ථාවන් සම්බන්ධයෙන් අපට චිත්‍රරූප මැවෙන්නේ ද මෙන්ඩිස් මහතා විසින් ඒ සඳහා නිර්මාණය කර ඇති සිතුවම් ඇසුරිනි. කැලණි විහාර සිතුවම්හි කැලණි ඉතිහාසය දැක්වෙන සිතුවම් ද අන්තර්ගත වේ. මෙතුමාගේ සිතුවම් තුළ ඔහුට ම ආවේනික තාක්ෂණයක් වේ. සෝලියස් මෙන්ඩිස් මහතාගේ සිතුවම් වස්තු විෂය, රිද්මය හා ශෛලිය අතින් විශිෂ්ටත්වයෙන් යුතුය. කැලණි විහාරයේ සිතුවම් සඳහා ඔහු තෝරාගත් ශිල්ප ක්‍රමය ස්වභාවික මෙන්ම පුරාණ වන්නකි. ඒ සඳහා ස්වභාවික අමුද්‍රව්‍ය අනුසාරයෙන් සිතුවම් සඳහා වර්ණ පිළියෙල කරගත් බව පැවසේ. ඔහු සායම් නිපදවා ගැනීමට කිකිළි බිත්තර යොදා ගත් බවත් ඒ සඳහා බිඳුණු බිත්තර භාවිත කළ බවත් ප්‍රකට ය. සෝලියස් මෙන්ඩිස් සිය බිතුසිතුවම් සඳහා තෝරාගත් වර්ණ සිත නිවන, ශාන්ත ස්වභාවයක් ඇතිකරයි. නිල්, රතු, කහ යන මූලික වර්ණ එකිනෙක මිශ්‍ර කිරීමෙන් ලැබෙන වර්ණයන්ට සුදු වර්ණය මිශ්‍ර කිරීමෙන් ඔහු තම බොහෝමයක් සිතුවම් වර්ණ ගන්වා ඇත. වර්ණ ගැන්වීමේ දී ත්‍රිමාන ලක්ෂණ මතුවන පරිදි පින්සලෙන් ඇඳ තිබීමත්, කලු මිශ්‍ර වර්ණයකින් සිතුවම් චරිත මතුකර පෙන්වීමත් විශේෂ ලක්ෂණයකි.
කැලණි විහාරයේ චිත්‍ර ඇඳීම සඳහා ඉන්දියාවේ සුප්‍රකට චිත්‍ර ශිල්පියෙක් වන නන්දලාල් බෝස් මහතා එක් අවදියක දී මෙරට කැඳවීය. නමුත් සෝලියස් මෙන්ඩිස් අඳිමින් සිටි සිතුවම් දුටු නන්දලාල් බෝස් පවසා ඇත්තේ ඒ සඳහා යෝග්‍යත ම පුද්ගලයා සෝලියස් මෙන්ඩිස් බවයි.
ප්‍රතිභාපූර්ණ කලාකරූවෙකු වශයෙන් කලා කටයුතු සඳහා ම තම දිවිය කැපකළ මෙතුමා අවිවාහකයෙකි. සෝලියස් මෙන්ඩිස් මහතා තම අවසාන කාලයේ දී තමා සතු වූ සියලු දේපොළ අඳ, ගොළු, බිහිරි දරුවන්ගේ ප්‍රයෝජනයට පරිත්‍යාග කළ බව කියවේ. එයට සිවිරාජ ලෙස නම් තබා ඇත. මෙය බෞද්ධ සාහිත්‍යයේ එන නමකි. ඒ අනුව ද ඔහු විසින් නිර්මිත කලා නිර්මාණ වලින් පමණක් නොව සිතුම් පැතුම්වලින් පවා උසස් පුද්ගලයෙකු බව ක්‍රියාවෙන් ම සනාථ කොට ඇති බව පැහැදිලිය.
කැළණි විහාරයේ ඇදි සිතුවම්
1.බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කිරීම 2.නාගදීපයට වැඩම කිරීම 3.විජය කුමරුගේ ලංකා ගමනය 4.දළදාව වැඩම කිරීම 5.ශ්‍රී මහා බෝධිය වැඩම කරවීම 6.මහින්දාගමනය 7.සංඝරාජ හිමිට පදවි පිරිනැමීම
සෝලියස් මැන්දිස් මහා කලාකරුවා මියයන තෙක්‌ම තනිකඩව ජීවත් විය. ඔහු සතුව තිබූ දේපළ මාදම්පේ මහවැව ඉඩම සිවිරාජ නමින් අඳ ගොළු බිහිස්රි පාසලක් පවත්වාගෙන යැම සඳහා පරිත්‍යාග කිරීම ඔහුගේ පරිත්‍යාගශීලි බව මොනවට පැහැදිලි වේ. එම කලාකරුවා 1975 සැප්තැම්බර් 01 දින අපට අහිමි විය. ඔහුට මෙම ලිපිය උපහාරයක්‌ම වේවා·
.
( අන්තර්ජාලයෙන් සොය ගත් ලිපි වල එකතුවක්)
( අන්තර්ජාලයෙන් සොය ගත් ලිපි වල එකතුවක්)