පොත පත කියවන සොයන අය සදහා සොයා ගන්න link

Tuesday, February 16, 2016

පිළිම නෙළා නැති විරුවන් පිරිසක්

විශාරද නන්දා මාලිනිය                                           මහාචාර්ය සුනිල් ආරියරත්න


සර සිය දහස් ගණනක් මුළුල්ලේ සියලු පාලක පංතීහු ශ්‍රමය වගුරා ජනතාව නිර්දය පීඩනයකට භාජන කළ හ. එබැවින් වහලුන්, ගොවීන්, කාර්මික කම්කරුවන් ආදි සමස්ත ශ්‍රමික ජනයා නිදහස් හා පී‍්‍රති සහගත ජීවිතයක් සඳහා පංති සහිත සමාජයේ ඉතිහාසය පුරා සටන් වැදුණා හ.

”සතුරු පංති සහිත සමාජයේ ඉතිහාසය පංති සටන්වල ඉතිහාසය වන්නේ යැ’යි මාක්ස් හා එංගල්ස් විසින් පෙන්වා දෙන ලදි. පාගන්නා හා ඊට ගොදුරු වන්නා වරෙක සැඟැවී, තවත් වරෙක විවෘත ව කැරෙන අනවරත සටනක නියැලුණා හ. ‘හැම වාරයක දී ම මේ සටන එක්කෝ සමාජය විශාල වශයෙන් වෙනස් කරන විප්ලවයෙකින් හෝ, සටන් කරන පංතිවල පොදු විනාශයෙකින් කෙළවර වූ හ’ යි මාක්ස් හා එංගල්ස් පැවැසූ හ.

එබඳු දේශපාලන අරගලයකට බට ජන පිරිසක ගේ ඛේදාන්තයෙන් ඉක්බිති ඔවුන් ගේ එ හැම සිරුරු සිය ළෙහි මිහිදන් කොට මිහිකත කම්පා වෙමින් ගුගුරා ශපථ කරන්නේ කවරක් ද? පස් කඳු යට රහසේ වැළැලුණ ද මොවුහු ද විරුවෝ වෙති.
ඔවුන් වෙනුවෙන් ප්‍රතිමා ඉදි වී නැත. සැමැරුම් දින ද මේ විරුවන්හට නො වේ. ඉතිහාසයේ නිර්මාපකයන් ලෙස මොවුන් හට සිදු වූයේ සිය කාර්ය භාරය අවසනැ පස් කඳු යට සැතැපීමට ය.

ගීතයේ දෙවැනි භාගයෙහි අපට හමුවන්නේ සමාජීය වශයෙන් ජනතාව මඬින පීඩිත භාවය හමුවේ සිත එකඟ කළ නොහැකි ය යන්න යි.
ආගම ධනවාදයේ විනාශකාරී ප්‍රතිඵල (දිළිඳුකම වැනි) හේතු කොට ගෙන ම පවතින බව මාක්ස්වාදය මඟින් තේරුම් ගත් ඔව්හු, ආගමේ ආධ්‍යාත්මික බන්ධන පුපුරුවා හැර, එකී යුතුකම කියා දෙමින් සටන් වැද මිය ගිය හ. ඔව්හු සිය රුව පවා අප හමුවේ ඉතිරි කොට නොගිය විරුවෝ වෙත්.

සභ්‍යත්වය ඇති වූ දවසේ සිට මේ දක්වා එහි ගාමක බලවේගය වූයේ කෑදරකම හා ධනය යි. එංගල්ස් පැවැසූ පරිදි අශෝභන පෞද්ගලික ධනය සභ්‍යත්වයේ ජංගමශීලි ආධ්‍යාත්මික බලවේගයේ එක ම හා නියත සාධකය යි. පස් කඳු යට සැතැපෙන විරුවෝ මෙකී පෞද්ගලික ධනයට හා ඉසුරට ලෝභයෙන් සටන් වැදුණෝ නො වෙත්. සමාජ සංවර්ධනයේ අවශ්‍යතාව දකිමින් සමාජ ජීවිතය යහපත් කිරීම සඳහා එළැඹුණු සටනෙහි දී මේ විරුවෝ සිය ජීවිතවලින් වන්දි ගෙවූ හ.
මොවුහු ජනතාව අතරින් ම පැන නැඟුණෝ වෙති. ඔවුන් ප්‍රගතියට එරෙහි, දුෂ්ට සැහැසි රැළක් නොවන බව නිර්භය ව පැවැසීම කෘතහස්ත ගීත ප්‍රබන්ධක මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ වෑයම වී ය. ඔව්හූ ප්‍රතිමා මඟින් නිරූපණය නො වූවෝ වෙති.
සිය මළ සිරුරු පවා පොදු ජනයා හමුවේ දර්ශනය වීමට ඉඩ තැබූවෝ නො වෙති. අප හමුවේ නැගී සිටින විරු ප්‍රතිරූප සැබැවින් ම ප්‍රතිගාමී පන්තිවල


අයිතිවාසිකම් වෙනුවෙන් මෙහෙ කළ නායක චරිත සිහි ගන්වයි. ඔවුන් යුගකාරක පුරුෂයන් ලෙස ඇතැම්හු හඳුන්වති. ඊ.එම්. ෆෝස්ටර් නම් ඉංගී‍්‍රසි නවකතාකරුවා පවසන්නේ ‘මම කිසි සේත් මහා පුරුෂයන්, යුගකාරක පුරුෂයන් කෙරෙහි විශ්වාසය නො තබමි’ යි යනුවෙනි. ‘තමා වටා ඒකමතික භාවය නමැති කාන්තාරය ඉදිකරගන්නා ඔව්හු එපමණකින් නොනැවැතී ලේ විලක් ද මවා ගනිති’ යි හේ කියයි.
එහෙත් මේ ගීතයෙන් පැවැසෙන විරුවෝ පුද්ගලාභිවාදනයට ඉඩක් නොතබා සමාජ ජීවිතයේ යහපත සඳහා ම දිවි පිදුවෝ වෙති.

ඔව්හු පස් කඳු යට රහසේ සම සේ අප ගේ පොදු ස්මරණයට යටත් ව හොවින විරු පිරිසක් වෙති. ඔව්හු කිසිදු අභිවාදනයක් අපේක්‍ෂා කරන්නෝ නො වෙති.
මහා ඛේදවාචකයෙකින් අවසන් වූ මේ සටන් වැදීම ත්‍රස්තවාදී හා විනාශකාරී යැ යි ඇඟැවීමට ප්‍රයත්න දරන බහුතරයෙන් අප ගීත ප්‍රබන්ධකයා නිදහස් කෙනෙකි.
තව ද විරුවන් ගේ අගය ගීතයෙහි දැනැවෙන්නේ පිළිම මඟින් ගෞරවයට ලක් නොවන්නන් වීම මඟිනි. සැමැරුම් දින පවා නොමැත්තන් වීම මඟිනි.
සිදු වූ ජනතා අරගල ඇසුරෙහි ජීවිතයෙන් වන්දි ගෙවූවෝ මෙසේ නැඟී සිටි විරුවන් බව සිය පැබැඳුමෙන් එක හෙළා ප්‍රකාශ කිරීමට තරම් නිර්භය රචකයෙක් මේ ගීතය ඇසුරෙහි පෙනී සිටියි.

ජනතාව සිය ප්‍රත්‍යක්‍ෂපූර්ණ අසරණ භාවය හමුවේ නැඟී සිටීම ද ධනය හා යසිසුරු ලැබීම යනාදි අරමුණු කෙරෙන් තොර ඔවුන් ගේ උතුම් ප්‍රතිපත්ති ද පිළිබඳ සංක්‍ෂිප්ත පෙරවදනක් වැන්න මේ ගීතය.
ප්‍රජා පීඩක ධනගැති ක්‍රමය පෙරළා දැමීමට තැත් කරන හැම වාරයක දී ම සභ්‍යත්වය අභාවයට යන බව කී ‘ආනෝල්ඩ් ටොයින්බි’ වැනි දෘෂ්ටිවාදීන්ට එරෙහි රාවයකි සුනිල් ආරියරත්නයන් මෙමඟින් නංවා ඇත්තේ.
මෙබඳු වස්තු විෂයයක් ගීතයෙහි ලා මීට වැඩි සෞන්දර්යාත්මක වාංමාලාවකින් පළ කිරීම අපහසු යැ යි සිතමි. පැබැඳුම වඩාත් හෘදය ගෝචර වන්නේ එහි ගායනය හා සංගීතය ද සමඟ මනාව විඳින කල ය.

මෙරට අග්‍රතම ගායනවේදිනියක වන නන්දා මාලිනිය ගේ ශාන්ත, කරුණ රස සමායුත ගැයුමෙහි ම තිරසර, අකම්පිත විරෝධකල්පී ස්වරයක් අපට හඳුනා ගත හැකි බවයි.
සමස්ත නාදාකෘතියෙන් තීව්‍ර කැරෙන ශෝකාවහ බව කෙරෙන් ම සියුම් ව නැඟෙන ප්‍රගල්භ හඬගා කීමක ප්‍රකම්පනය මේ ගීතය මනා කොට ශ්‍රවණය කරන්නකුට හැඟී යනු නිසැක ය. මෙහි සංගීත නිර්මාපක එච්.එම්. ජයවර්ධනයන් ද ගීතයේ වස්තු විෂයයට සරිලන නාදාත්මක පරිසරයක් නිමවා තිබීම පෙර කී ප්‍රකම්පනය වැඩිකර අනුවේදනයක් දක්වා පුළුල් කිරීමට හේතු වෙයි.