විශ්වයේ අතිශය චමත්කාර ජනක නිර්මාණයක් වන මිනිසා සත්ත්ව ලෝකය තුළ ඉතා උසස් මනසකින් යුතු සත්වයා ද වේ. විසල් විශ්වයේ ක්‍රියාකාරීත්වය මනුෂ්‍යයාගේ පැවැත්ම විෂයෙහි බොහෝ බලපෑම් එල්ල කරයි. මෙලෙස විශ්ව ශක්තියේ ක්‍ෂුද්‍ර අංශුවක් වන මිනිසා අද්‍යතයේදී විශ්ව න්‍යායන් හා සංකල්පයන් අභිබවා යෑමට සෑම විටම උත්සාහ කරයි. සැබවින්ම මිනිසා සතු ශක්‍යතාවන් බොහෝ ය. එසේ වීද ඔහු ස්වභාව ධර්මයට කරන අභියෝගයන් පිළිබඳ වරක් දෙවරක් නොව සිය දහස් වාරයක් සිතා බැලිය යුතු ය.
දඩයම් යුගයේ දී මිනිසාගේ අවශ්‍යතා අතිශය සරලය සුළු ය. කුසට අහරක් මිස හිසට සෙවනක් හෝ ගතට වස්ත්‍රයක් හෝ පිළිබඳව එ දවස ඔහු පැතුවේ නැත. සේද වලාවන් පිරුණු අහස් වියන යටදීම ඔහු ස්වභාව ධර්මයේ ගැතියකු විය. කාලයේ වේග ප්‍රවාහයට නතු වූ මිනිසාගේ ඒ සරල අවශ්‍යතාවන් දිනෙන් දිනම සංකීර්ණ වූ අතර එඬේර යුගය පසු කළ ඔහු ගොවි යුගයේ දී වඩා ශිෂ්ට සම්පන්න වී අවශ්‍යතාවන් නිසි පරිදි ක්‍රමානුකූලව ඉටු කර ගැනීමට යුහුසුළු විය. එතෙක් මිනිසා හුරුව සිටි අපිස් දිවි පෙවෙත විසල් විපරිණාමයකට භාජනය වූයේ මෙතැන් පටන් ය. කාලය වේගයෙන් ගලා යද්දී මිනිසා කාර්මීකරණයට නැඹුරු වූ අතර මෙතෙක් වූ සරල සුගම සුළු අවශ්‍යතා ද සංකීර්ණ විය. මිනිසාගේ ලෞකික අවශ්‍යතා සීමා රහිත වෙද්දී කාලයට අනුරූපව තම සකල ක්‍රියා කලාපයන් ක්‍ෂණිකව ඉටු කර ගැනීමට ඔහුට අවශ්‍ය විය. එහිදී ඔහු නවීන තාක්‍ෂණය කෙරෙහි වඩ වඩා නැඹුරු වී නව සොයා ගැනීම්, අත්හදා බැලීම් තුළින් කාලය හා අවකාශය ජයගන්නට අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කි‍්‍රයාත්මක වූයේ ය. විවිධ යන්ත්‍ර සූත්‍ර නිපදවා එවැනි දේ තුළින් තම එදිනෙදා කටයුතු පහසු කර ගැනීමට ඔහු උත්සාහ කළේ ය. මුද්‍රණ යන්ත්‍රයේ සිට මිසයිලය දක්වා කළ සෑම නිර්මාණයක්ම එකී උත්සාහයේ ප්‍රතිඵල ලෙස දක්වාලිය හැකි ය.
මෙලෙස මිනිසා තාක්‍ෂණය හරහා සැහැල්ලු ගති පැවතුම්වලින් මිදී බහුකිච්ඡතාවයට නැඹුරු විය. විවෘත ආර්ථිකය, ගෝලීයකරණය හරහා කාර්ය බහුල තත්ත්වයට පත් වූ ඔහුගේ නිදහස සීමා විය. ජීවිතය අවිවේකී විය. කටුක විය. නීරස විය. කායික වශයෙන් පමණක් නොව මානසික වශයෙන් ද අසහනයට පත් වූ අයෙකු විය. නූතනයේ දී අද්‍යතනය වන විට අන්තර්ජාලය හරහා සෑම කටයුත්තක්ම ඉටු කර ගැනීමට මිනිසා උත්සුක වේ. ලොවම විශ්ව ගම්මානයක් වන මෙම ක්‍රියාවලිය මනුෂ්‍ය සංහතියටම යහපතක් කළ හැකි අතර විශාල අපරාධයන්ට ද මෙයම හේතු වේ. අද ලොව පුරා පැතිරෙන කාම රැල්ලටත්, අපරාධ රැල්ලටත් අන්තර්ජාලය තුළින් ලැබෙන පිටුවහල අතිමහත් ය. මිනිසාගේ අපරිමිත ආශාවන් නිසා බිහිවන මෙබඳු නිර්මාණ සමාජ පිළිලයක් වීමට ඉඩ ඇති බවද මෙයින් පැහැදිලි වේ. එසේම නූතනයේ අවි ගනුදෙනු පවා සිදු කර ගනුයේ මෙම අන්තර්ජාලය හරහා ය. නමුදු විශේෂයෙන් කිව යුතු වනුයේ වරද ඇත්තේ මෙම නවීන තාක්‍ෂණය තුළ නොව එය පරිශීලනය කරන පුද්ගලයා ගේ මනස තුළ බව ය. ගසක අරටුව ඉවතට දමා පොත්ත රැක ගැනීමට මෙන් වෙර දරන ඇතැම් පුද්ගලයන් වෙතින් මෙවැනි සමාජ හිතකාමී නොවන සංසිද්ධීන් සිදුවේ. මෙකී සියලු හේතූන්ට මුල් වනුයේ මිනිසා අල්පේච්ඡතාවෙන් මිදීමම නොවේද?
නූතන තාක්‍ෂණයේ දියුණුව සමඟ මිනිසාගේ සැහැල්ලු ගති පැවතුම් ක්‍රම ක්‍රමයෙන් හීන වී යාම අප සමාජයෙහි පවුල් සංස්ථාව කෙරෙහි ද විශාල ලෙස බලපෑම් එල්ල කර තිබේ. පවුලක සමගිය, පැවැත්ම රඳා පවතිනුයේ එහි සාමාජිකයන්ගේ ක්‍රියාකලාප අනුවය. විවෘත ආර්ථිකය ජයගයනු වස් පියා සමඟ මවද රැකියාවක නිරත වී සිටියි. එබැවින් දරුවන් හා මව්පියන් මුණ ගැසෙනුයේ රාත්‍රී කාලයේ පමණි. කෙසේ වතුදු සතියකට දෙතුන් වරක්වත් පවුලෙහ් සියලු සාමාජිකයන් සතුටු සාමිචියේ යෙදෙමින් අන්‍යෙන්‍ය සහයෝගය පෙරදැරි කර ගනිමින් තම තමන්ගේ ගැටලු ආදිය නිරාකරණය කර ගන්නේ නම්, එකී නිවසෙහි අභිවෘද්ධියට සහ යහපැවැත්මට කටයුතු සලසා ගත හැකි වේ. නමුදු අද බෞද්ධ නිවෙසක සියලු සාමාජිකයන් එක් වී බුදුන් වඳින දර්ශනයක් පවා දැක බලා ගැනීම අතිශයින් දුලබ බව පෙනේ. දහවල රැකියාවල නියුතු බොහෝ මව්වරු රාත්‍රියේ දී රූපවාහිනී තිරය මතින් දිග හැරෙන ටෙලිනාට්‍යවල නළු නිළියන් හා එක්ව සිනාසෙති. හඬති, වැළපෙති, මන්ත්‍රී බිසව් සේ සැමියාගේ සෙවනැල්ල වීමටවත්, යශෝධරාවක සේ සැමියාට ආශිර්වාද කරන්නටවත්, අංගුලිමාල, තෙරණුන්ගේ මව් මෙන් තම දුවා දරුවන් රැකගන්නටවත් ඇයට නිනව්වක් හෝ අවකාශයක් නම් නැත. බිරිඳ මෙසේ වූ විට නකුල පිතෘවරුන් නිවෙස තුළ රැඳෙන කාලසීමාවද සීමාසහිත ය. සුරාසැල්වල මධුවිත පුරන්නේත්, කැසිනෝ ඈ සමාජ ශාලාවල රැය පහන් කරන්නේත් එවැනි පියවරුන්මය. සම්බුදු අම්මාවරුන්, බෝසත් පියවරුන් මෙසේ වෙද්දී සුජාත දරුවෝ පරිගණකය තුළින් අන්තර්ජාලය හරහා ලොව පුරා සැරිසරති. ඔවුනට ලෝකය තනි යායකි. එමඟින් විවිධ දුරාචාර විෂයෙහි දරුවන් යොමු වීම දැකිය හැකි ය. එසේ ද වූවත් දෙමව්පියන් මෙලොව දී ලද වටිනාම සම්පත දරු සම්පත ය. නැණවත් සේම ගුණවත් දරු පරපුරක් බිහිකර රටට දැයට වැඩදායි ලෙස ඔවුන් හැසිරවිය යුතු ය. දෙමව්පියෝ වඩා සරල ජීවිතයකට හුරු වූ පසු දරුවෝ ද එයම අනුගමනය කරති. එවිට අසත් පථයෙහි යෑමට ඔහුනට අවසර නැත.
අතීතයේ දී මිනිසා තම පණිවුඩ හුවමාරු කර ගන්නට විවිධ සරල ක්‍රම අනුගමනය කර ඇත. තිරශ්චීන සත්වයන් පවා එ විෂයෙහි යොදා ගෙන ඇති බව අපි දනිමු. ලේඛන කටයුතුවලට යොමු වූ මිනිසා අද්‍යතනයේදීත් ලිපිලේඛන වලින් තම පණිවුඩ හුවමාරු කර ගනිති. ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල් දුරකථනය හඳුන්වා දීමෙන් සමාජයට සිදු වූ සේවාව අතිමහත් ය. සැබවින්ම විය යුත්තේ කාලය ඉතිරි කර ගැනීම තුළින් එදිනෙදා කටයුතු ඉටුකර ගැනීමයි. නවීන තාක්‍ෂණය සමඟ ආ ජංගම දුරකථනය මඟින් මිනිසාගේ එදිනෙදා කටයුතු වඩා පහසු කර ගැනීමට හැකි විය. සැබවින් ම විද්‍යාවේ දියුණුව සමඟ සාර්ථකත්වයේ හිණි පෙත්තටම පා නගන මිනිසාගේ කටයුතුවලට එය භාවිත කිරීම වඩා පහසු ය. අද වනවිට සමාජයේ සෑම ස්ථරයකම මෙය ජනපි‍්‍රය වී ඇත.
සැබවින්ම එය සුබවාදී ය. නමුදු එහි අසුබවාදී අංශයක් ද ඇත. වර්තමාන සමාජයේ පාසල් සිසුන් මෙම ජංගම දුරකථනය විෂයෙහි අතිශයින් ආසක්ත වී ඇති බව පෙනේ. බොහෝ විට දෙමව්පියන් තම දරුවන්ට ජංගම දුරකථනයක් ලබා දෙනුයේ ඉතා ඉක්මණින් හා විශ්වාසදායකව පණිවුඩ හුවමාරු කර ගැනීමට ය. පාසලෙන් පසු අතිරේක පන්තියකට සහභාගී වී නිවෙසට පැමිණෙනතුරු දරුවන් හා සම්බන්ධතා ඇතිකර ගැනීමට දෙමාපියන් යොදා ගනුයේ ජංගම දුරකථනයයි. නමුත් ඇතැම් දරුවන් එය තම සකල අවශ්‍යතා සඳහා යොදා ගනී. ජංගම දුරකථනය තුළින්ද අන්තර්ජාලය හා සම්බන්ධ වී විවිධ අයහපත් ක්‍රියාකලාපයන්ට යොමුවන ඔවුන්ගේ අධ්‍යාපනය පවා කඩාකප්පල් වීමට ඉන් ඉඩ සැලසේ. විශේෂයෙන් ගැහුණු දරුවන් විෂයෙහි මෙය ඉතා අහිතකර ලෙස බලපායි. සමාජය තුළ අයථා සම්බන්ධතා හා සාවද්‍ය ක්‍රියා රැසක් සිදු වීමට අද ජංගම දුරකථනය හේතු වී තිබේ. එසේනම් නවීන තාක්‍ෂණය වූවද ඉතා සංයමයෙන් යුතුවම පරිහරණය කළ යුතු බව මෙයින් මොනවට පැහැදිලි වේ.
එසේම යහපත් භෞතික සදාචාරාත්මක සමතුළිතතාවයකින් සමන්විත ජීවන රටාවක් අප සතුව ඇත. එවිෂයෙහි සෘජුවම බල පා ඇත්තේ සැහැල්ලු දිවි පෙවෙතමය. එය ඉවතලන මිනිසුන් නවීන තාක්‍ෂණය සමඟ එන සියලුම දේ ඉතසිතින් වැළඳ ගනුයේ ඉමහත් ආඩම්බරයෙනි. එහි යහපත් අයහපත් දෙ අංශයේම ලක්‍ෂණ ඇත. මිනිසා හා ස්වභාවධර්මයා අතර මනා වූ අන්තර් සම්බන්ධයක් ඇත. තාක්‍ෂණයේ හිණිපෙත්තට ගමන් කරන මිනිසා සොබා දහම පිළිබඳ එතරම් තැකීමක් නොකරයි. මිනිසාගේ දියුණුව හෝ ආත්ම තෘප්තිය සඳහා හෝ අනෙක් දෙයක් උදෙසා හෝ ස්වභාව ධර්මය විනාශ කරමින්, එහි පැවැත්මට හානි කර ගනිමින් තම ප්‍රගතිය ළඟා කර ගැනීමට උත්සාහ කිරීමේ දී සිදුවනුයේ මිනිසා තුළ පැවැති මනුෂ්‍යත්වය පිරිහීම යි. සැහැල්ලු දිවිපෙවෙත අර්බුධකාරී තත්ත්වයකට පත්වීමයි. ගෝලීය කරණය සමඟ මිනිසා බහුභාණ්ඩික තත්ත්වයකට පත්ව සිටියි. එසේම ලද අවසරයෙන් තම ඉන්ද්‍රියන් පිනවනු වස් විවිධාකාර වූ භෞතික ශ්‍රව්‍ය දෘෂ්‍ය දෑ යොදා ගනී. සඳ කැල්මක පවිත්‍රත්වය, පීදෙන මල් කැකුළක අසිරි සිරිය, දෙසවන නින්නාද වන කුරුළු කුජනයක මිහිරියාව ගලා යන දොළ පහරක සිසිලස විඳිමින් ස්වභාවධර්මය හා ස්වාත්මීය ගත වී සිත පිනවාගන්නට අපට තවමත් අවකාශය ඇත. තාරුකා පිරුණ අහසක් දෙස බලන කල දැනෙන මානසික සුවය හෝ ඒකග්‍රතාව රූපවාහිනී තිරයක් මත දිග හැරෙන මාලා නාටකයක් තුළින් හෝ පොප් ගීතයක් සමඟ එන නර්තනයක් තුළින් හෝ ලද හැකි ද යන්න පැනයකි. මෙසේ මානවීය සදාචාරය පිරිහීම හා පාරිසරික අර්බුදය තුළ ඉතා සමීප සබඳතාවක් ඇත. තමා විසින්ම සිදු කරන කුමන ක්‍රියාවකින්වත් සෑහීමකට පත් නොවෙන මිනිසා විශ්වයේ නිමි වළලු සොයා දිවයනුයේ මිරිඟු දියට ලොබ බැඳ හැල්මේ දිවයන මුව පොව්වකු ලෙසය. සරලත්වයෙන් හා සහජීවනයෙන් කල් යවනවා වෙනුවට එකිනෙකා පරයා නැගෙමින් ස්වභාව ධර්මය ඉදිරියෙහි පරාජය වීමට සිදුවේ. වසර කිහිපයකට ඉහතදී සිදු වූ සුනාමි ව්‍යසනයම ඒ විෂයෙහි උදාහරණ සේ දැක්විය හැකි ය.
අප ලොව්තුරා බුදුරජාණන්වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ දී සැහැල්ලු දිවි පැවැත්ම පිළිබඳ කරුණු දක්වා ඇත. තාක්‍ෂණයෙන් කෙතරම් ඉදිරියට ගියද පුද්ගලයෙකු අතිශය චාම් විය යුතු ය. පුද්ගලයෙකුගේ චාම්බව තුළින් අනවශ්‍ය කරදර දුක් පීඩා වළක්වා ගත හැකි ය. සැහැල්ලු දිවි පෙවෙතින් මිදුනු විට සමාජය තුළ නේක වූ අපරාධ සිදුවෙයි.
අතීතයේ දී සිව්සැට බරණින් සැරසී රුවැති ළඳකට ඉතා වටිනා මාණික්‍ය රත්නයක් සමඟ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා අපහසුතාවකින් තොරව ගමන් කිරීමට හැකියාව තිබූ බව පැවසේ. නමුදු වත්මනෙහි ඇතැම් තරුණියකට නොව කුඩා දැරියකට, මිත්තණියකටවත් තනිව ගමනක් යෑමෙහි හැකියාවක් නැත. මනුෂ්‍ය සමාජය සාරධර්ම හා ගුණධර්ම අතින් එතරම් ම පිරිහී ඇත. මිල මුදල් ධර්මය කර ගත් මිනිසා නොතිත් ආශාවන් සංතෘප්ත කර ගනු වස් ආත්ම සංයමය පාවා දී ක්‍රියාකරයි. ධර්මය කෙරෙහි වැඩි වැඩියෙන් නැඹුරු වීම තුළින් ගිනිගෙන, දැවෙන මානවීය චින්තනය නිවාසනසා ගත හැකි ය.
ඉතිහාසය තුළ සුරුවිරුකම් දැක් වූ අප රජ දරුවෝ කුමන රාජකාරියක නිරත වූවත් සතර පොහොයට සිල් සමාදන් වීමට ධර්මය ශ්‍රවණය කිරීමට හුරුව සිටියහ. සද්ධාතිස්ස රජු රෑ මුළුල්ලේ තුන්යම අරියවංශ සූත්‍රය ශ්‍රවණය කළේ ධර්මය කෙරෙහි අතිශයින් ශ්‍රද්ධාවෙහි යුතුවමය. එසේම බොහෝ රජවරු දිනපතා විහාරස්ථානවලට ගොස් භික්‍ෂූන් වහන්සේලා, සමඟ එක්ව ධර්ම සාකච්ඡා පැවැත් වූ බව වංශ කථාවල සඳහන් වේ. එසේ නමුදු අප සමාජයේ බොදුණුවන්ට මසකට වරක් යෙදෙන පොහෝ දිනයේදීවත් විහාරස්ථානයට ගොස් ආමිස පූජාවක නිරත වීමට තරම්වත් කාලයක් නොමැත. නේක විධ රාජකාරියක් නිසා සිතා හෝ නොසිතා හෝ එකී කටයුතු මඟ හැරෙන බව කිව යුතු ය. මෙය සාධනීය ලක්‍ෂණයක් නම් නොවේ. පුද්ගල අධ්‍යාත්මය සංවර්ධනය කරගනු වස් ධර්මයෙහි හැසිරිය යුතු ය.
නූතන තාක්‍ෂණය සුබය, ධනාත්මකය, සිහියෙන් යුතුව එය පරිභෝජනයට ගත යුතු ය. ඒ සමඟම චාම් බව හා සැහැල්ලු බව පුද්ගල සිත තුළ ඇති කර ගනිමින් ආත්ම සංයමයක් ඇති කර ගත යුතු ය. එහිදී ස්වභාවයෙන්ම සරල ගති පැවතුම් හා අල්පේච්ඡ ජීවිතයක් ඇති මිනිසාට ගුණධර්මයත් තුළින්ම නූතනත්වයට හා තාක්‍ෂණයට මුහුණ දී ජීවිතය සාර්ථක කර ගත හැකි ය.
හැම දෙනාටම තෙරුවන් සරණයි!