පොත පත කියවන සොයන අය සදහා සොයා ගන්න link

Monday, July 18, 2016

සැදැහැ පුද ( පින්බර ඇසල පුන් පොහොය දිනයක් වේවා )







බැති පුද සැදැහැ සිත් ඉපැදෙන ඇහැළ මහේ
පැහැවැද බුදුරැසින් පුන්සඳ කිරණ ඉහේ
විනිවිද වලා පිනි තැවරෙන සුදන ඇහේ
පිනිපොද වැටී මල් හිනැහේ ඇහැළ ගහේ

තුන් ලොව දිනුම දැන ගිහිගෙය හැරයාම
දැන් වුව පිය පදවි රාහුල පුතු ඊම
පෙන් නුව සත්වගට නිසි මං වැටහීම
පින් බර ඇසළ සිරි ගැනුමෙකි නොදැනීම

පන්සල තනන වඩු අවිපොදි පැතුම් රොද
වංචල සිත් නිවන සනසන ගිගුම් හද
මංගල දෙසුම මිගදායේ දහම් පද
පිංපල පිරිමකි ලොවුතුරු හැඟුම් මැද   

කිසිදා මතක දිය නොසිඳෙන සිතැඟි ළිඳේ
විහිදා මෙත් සිසිල සිතුවම් ළයෙහි ඇඳේ
පලඳා සතුට දද සේසත් අඹර බැඳේ
දළදා හිමි සඳුන් ජනතා සිරස රැදේ






කොළඹ මහ ඉස්පිරිතාලේ ආ ගිය තොරතුරු



අද දාස් ගණන් ජනී ජනයා සිය සෞඛ්‍ය සුවය පතමින් ඇදෙන කොළඹ රජයේ ආරෝග්‍යශාලාවට ද ළදරු අවස්ථාවක් විය. බිළිඳා බිහි වූයේ කොළඹ කොටුවේ නිවසක ය. එය ලන්දේසි ජාතික රැන්සව් නමැත්තාගේ නිවසයි.
මේ වන විට ලන්දේසීන් පලවා හැර ඉංගී‍්‍රසීන් රට අල්ලා ගෙන සිටි බැවින් කොටුවේ පදිංචි ඇතැම් ලන්දේසීන් සිය රට බලා ගොසිනි. ඔවුන් කොටුවේ තැනූ මහා මන්දිර හිස් ය.

1810 දශකය වන විට මහජන සෞඛ්‍යය පිළිබඳ ප්‍රශ්න රාශියක් මතු වූ අතර පැරල් නමැති ඉංගී‍්‍රසි ජාතිකයාගේ යෝජනාවක් මත රැන්සව්ගේ විශාල නිවස රජයේ ආරෝග්‍යශාලාවකට පෙරළිණි. එහෙත් ක්‍රමයෙන් වඩා විශාල ඉස්පිරිතාලයක අවශ්‍යතාව කෑ මොර දිනි. එයට විශාල ඉඩමක් ද අවශ්‍ය ය. කොළඹට ආසන්න පිටිසර ගම්මානයක් මේ සඳහා වඩා සුදුසු බව තීරණය විය.
අන්තිමට තෝරා ගත්තේ මරදාන නම් වූ පිටිසර ගමයි. හද්දා පිටිසර ද නැත. මරන්දාන් වශයෙන්ද මෙය හැඳින්වුණු බව ඇතැම් කෘති අනුව පෙනේ. සුදුවැල්ල පාරද එහි කොටසක් විය. කුරුඳු රුප්පාවෙන් එම පෙදෙස ම වැසී තිබිණි.
අද කොළඹ හත හෙවත් කුරුඳු වත්ත වශයෙන් හැඳින්වෙන ඉසව්වේ සිට යුනියන් ප්ලේස් හරහා අද පුංචි බොරැල්ල හා මරදාන වශයෙන් හැඳින්වෙන ස්ථාන තෙක් මේ කුරුඳු වත්ත පැතිරිණි. කොළඹ නගරයේ කුරුඳු වත්තක් වගා කළේ සිංහල රජවරු නොවේ. ලන්දේසීන් ය.

දකුණේ රාජපක්ෂ පවුලක් මෙහි අධිකාරි ධුරය හෙබවූ අතර ඉසුරුමත් ඔවුහුද මහා මන්දිර තනා මරදාන පෙදෙස් පදිංචි වූහ. ඉංගි‍්‍රසින්ට මේ කුරුඳු කැලය ඉවත් කිරීමට ද අවශ්‍ය වූයේ කුරුඳු වෙළඳාම ගැන ඔවුන් ගිජු නොවූ නිසාත් නගරය විශාල කිරීමත් සඳහා ය. මේ අතර වඩා ආදායම් සහිත පෙරදිග භාණ්ඩ වලට ඔවුන් ඇස් ගසා හමාර ය.
නැගී එන කර්මාන්ත වලට අවශ්‍ය රබර් මින් එකකි. මෙසේ ක්‍රමයෙන් මේ ඉඩම් රජයේ ඉඩම් හෝ මරදානේ රාජපක්ෂ පවුලේ පෞද්ගලික ඉඩම් බවට පත් විය.
1860 දශකය දක්වා ම මහ ඉස්පිරිතාලය පැවැතියේ පී‍්‍රන්ස් වීදිය මායිම් කර ගත් රැන්සව් නිවසේ බව පෙනේ. මෙය ප්‍රීන්ස් වීදිය වශයෙන් නම් කළේ ලන්දේසීන් ය. ඒ දෙවෙනි රාසිං රජුගේ පුත් කුමරුට ගෞරව පිණිස ය. සිංහල රජු රවටමින් නොයෙක් වෙළඳ වාසි ලබා ගැනීම ඔවුන්ගේ පුරුද්ද විය. මෙය එවන් එක් මායමක් විය හැකි ය.

කෙසේ හෝ මේ වීදිය ප්‍රකටත්වයට පත් විය. ප්‍රථම අශ්ව කරත්තය මහනුවර දක්වා ගමන් ඇරැඹුවේ මේ පාරෙන් ය. අද ලන්දේසි කෞතුකාගාරය ඇත්තේ ද මෙහි ය. ආපසු මහ ඉස්පිරිතාල කතාවට එමු. රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවෙත් ම වඩා පුළුල් තැනක් අවශ්‍ය විය.
එකල වෛද්‍ය අධිකාරි ධුරය දැරූ ශ්‍රීමත් කින්සිගේ කාලය ඉස්පිරිතාලේ අද පිහිටි තැනට සේන්දු වූ කාලය වශයෙන් දළ වශයෙන් හැඳින්විය හැකි ය. මහ ආරෝග්‍යශාලා ඉසව්ව හරහා එහෙන් මෙහෙන් දුවන කින්සි පාරට ඒ නම තබා ඇත්තේ ඔහු ස්මරණය කිරීම පිණිස ය.

1864 වර්ෂයේදී නව ආරෝග්‍යශාලාව විවෘත විය. ඒ වර්ෂයේදී 

උපන් ලේඛක අන්ද්‍රීයෙස් නෙල් නම් බර්ගර් ජාතික ලේඛකයා පසුව ලියූ ග්‍රන්ථයක මේ ආරෝග්‍යශාලාවේ මුල් පරිසරය මෙසේ විස්තර කරයි.
”කොළඹ මහ ඉස්පිරිතාලය 1864 දී තැනුණේ ජන ශුන්‍ය පෙදෙසක ය. එහි පිටිසර ස්වභාවයක් ද විය. මරදානේ ප්‍රධාන ගොඩනැඟිලි දෙක වන ටිච්බෝන් ශාලාව හා ගතාරියම් යන නිවස ඒ අසල විය. ගතාරියම් යනු රාජපක්ෂ පවුල පදිංචි ව සිටි තවත් නිවසකි.

වැලිකඩ සිරගෙදර ද යාබද ය. ඒ අසල තරගයට මිනී පෙට්ටි සැපයූ නිවෙස් දෙකක් තිබූ බව මට මතක ය. නයනාරෝග්‍ය ශාලාව තව ම තැනී නැත. ඒ වන විට මැන්ගෝ ලොජ් නම් වූ බංගලාව එහි විය.
අවට පැතිරී තිබූ ඝන වනයේ සතුන් දඩයම සඳහා ලන්දේසි ආණ්ඩුකාරවරු පිටත් වූයේ මේ ස්ථානයෙනි. අද වෝඩ් වීදිය දුව යන්නේ මේ ඝන වනය හරහා ය. තවත් පාරක් කනත්ත වෙත ඇදිණි.

නෙල් මහතාගේ විස්තරයේ සඳහන් ගතාරියම් නිවස ඒ ආනන්ද විදුහල අද පිහිටා ඇති තැන එදා පිහිටි රාජපක්ෂ වලව්වට අමතර ව මේ ඉසව්වේ වැජඹුණු බව පෙනේ. මේ නිවසට සම්මුඛ සාකච්ඡාවක් සඳහා මා ගොස් ඇත.
එවිට එහි ගෘහ මූලිකයා වූයේ මහිලා සමිති සභාපති ධුරය දැරූ වයලට් රාජපක්ෂ මහත්මියයි. රාජපක්ෂ පවුලට අයිති මේ ඉඩම ප්‍රදේශය පුරා එකල පැතිරී තිබූ බව පෙනේ. ඇතැම් ඉඩම් පරිත්‍යාගයට ලක් විය. ඇතැම් ඉඩම් ප්‍රකට ආයතන තැනීමට එක් එක් අය මුදල් දී ලබා ගත්හ.

ආනන්ද විදුහලද ආරෝග්‍යශාලාවේ ඇතැම් ගොඩනැගිලිද තැනුණේ එසේ පරිත්‍යාග වූ හෝ මුදල් දී ලබා ගත් ඉඩම්වලය. දානපති චාල්ස් හෙන්රි ද සොයිසා මෙසේ රාජපක්ෂ පවුලේ කුරුඳු වතු මිලට ගෙන මහජන හිත සුව පිණිස වෛද්‍ය ගොඩනැගිලි ඉදි කළ අයෙකි.
නයනාරෝග්‍යශාලාව ද ප්‍රධාන වශයෙන් තැනුණේ රාජපක්ෂ පවුල පරිත්‍යාග කළ ඉඩම්වල බව පැහැදිලි ය.

ක්‍රමයෙන් විවිධ අංශ මේ ආරෝග්‍යශාලාවට එකතු වී අද එය උද්වහනය කරන දැවැන්ත ස්වරූපය ගති. මරදාන නම් වූ පිටිසර ගම්මානය කෙමෙන් අතුරුදන් විය. කුරුඳු කැලය සම්පූර්ණයෙන් ම අභාවයට ගියේ ය. අන්තිමට ශේෂ වූවේ කුරුඳු වත්තේ ගිල්ඩ්පඩි ක්‍රෙසන්ට් හි ප්‍රදර්ශනයට වෙන් වූ එක් කුරුඳු පැලයක් පමණි. එයද අද නොපෙනේ.
පොදුවේ කුරුඳුවත්ත වශයෙන් එදා හැඳින්වුණු අද කොළඹ 7 හා මරදාන වශයෙන් ව්‍යවහාර වන මේ තැන් කෙතරම් සමාජ වෙනසක් පෙන්නුම් කරන්නේ ද? මහා ආරෝග්‍යශාලාව ආනන්ද විදුහල සංඝමිත්තා බාලිකා විදුහල දිවයිනේ ප්‍රථම ඉංගී‍්‍රසි බෞද්ධ බාලිකා විදුහල ආදිය පිබිදී එන මරදානේ ඉසව්වේ තැනෙද්දී එහි පිටිසර ස්වභාවය අතුරුදහන් විය. පරණ වාඩියද අතුරුදහන් විය.
 පරණ වාඩිය වශයෙන් හඳින්වූයේ කුරුඳු තලන්නන් ගිමන් ගත් වාඩියයි. අද බස් කොන්දොස්තරවරු පරණ වාඩිය ලග බහින්නට කිවහොත් මගීහු අන්දුන් කුන්දුන් වෙති. මරිය කඩේ ලග බහින්නට කීවොත් එසේ ම බිරාන්ත වෙති. අද කියන්නේ ආනන්ද විදුහල ළඟ බහින්නට කියා ය.
ආනන්ද විදුහලද පිටකොටුවේ සිට මරදානට සේන්දු වූ ආයතනයකි. එහි මුල් නම පිටකොටුවේ ඉංගී‍්‍රසි විදුහලයි. මරිය කඩේ සාර්ථක වෙළඳාමක් ගෙන ගිය මරිය නෝනා ද ආගිය අතක් නැත. එහෙත් කුරුඳු තොග පිටින් ගබඩා කළ ස්ටොක් වත්ත තව ම මරදානේ ය.

ඉස්පිරිතාලේ යන්න සිංහල වචනයක් නොවේ. පෘතුගීසි වචනයකි. එහෙත් අපේ රටේ පුරාණයේදී ද ආරෝග්‍යශාලා තිබිණි. ඒවාට පාවිච්චි වූ නම පසෙක තිබියදී පරංගි නම පාවිච්චි වූයේ ඇයි? මේ ලිපියට එක් මූලාශ්‍රයක් වූ වෛද්‍ය ඌරාගොඩ ගේ කෘතියේ මෙය පැහැදිලි කරන්නේ මෙසේ ය.
”පොලොන්නරු යුගයෙන් පසු රට ක්‍රමයෙන් පරිහානියට පත් විය. සමාජ සුබ සිද්ධියට අදාළ ව්‍යාපෘති අඩපණ විය. අනුරාධපුර හා පොලොන්නරු යුගවල දියුණු වෛද්‍ය ක්‍රමද අභාවයට ගියේ ය. මහජනයාට ආරෝග්‍යශාලා සංකල්පය පවා අමතක විය.”

පෘතුගීසීන් අද අපෙන් අහන බැණුම්වල කෙළවරක් නැත. එහෙත් ඔවුන්ගේ ජෙසුයිට් නිකායික පියවරු හා මව්වරු සමාජ සේවයට ඇප කැප වූහ. අසරණ මිනිසුන් හා අනාථ දරුවන් වෙනුවෙන් මිසරකෝඩියා යන ආයතන පිහිට වූයේ ඔවුන් ය. රෝගීන් සඳහා ඉස්පිරිතාල ද ඔවුහු ඇරඹූහ. ඔවුන්ගේ ඉස්කෝල යන නම මෙන් ඉස්පිරිතාල යන නමද මෙසේ ජනතා ව්‍යවහාරයට ඇතුල් විය.
ලන්දේසිහු ද පුළුල් ආරෝග්‍යශාලා ව්‍යුහයක් සකස් කළෝ ය. එහෙත් ඒ බොහෝවිට ඔවුන්ගේ හමුදා ප්‍රයෝජනයට ය. සියලු මූදු බඩ නගරවල මේ ගැරිසන් ආරෝග්‍යශාලා තැනිණි. ඔවුන්ගේ ප්‍රධාන ආරෝග්‍යශාලාව පිහිටියේ කොළඹ වරායට ආසන්නව ය. අදද එය පිට්ටු බම්බුව වශයෙන් හැඳින්වෙන කොළඹ ලංකා බැංකුව ඉදිරියේ දැකිය හැකි ය.

කාලයාගේ වැල් මුල් එය වැලැඳ ගෙන ඇත. සතා සිව්පාවා පවා සර්පයා පවා එහි ගැවසෙන්නට පිළිවන. එහෙත් වරෙක එය ආසියාවේ හොඳම රෝහල වශයෙන් විස්තර කර ඇත්තේ ස්වයිට්සර වැනි ලේඛකයින් ය. කොළඹ මහ රෝහලේ ඉතිහාසය ගැන ලියැවුණු පොතක් මා දැක නැත.
අනාගතයේදී හෝ එහි ඉතිහාසය සවිස්තර ව සොයා එක්තැන් කර කවුරු හෝ මේ දැවැන්ත රෝහල ගැන පොතක මතු පරපුර වෙනුවෙන් ලියනු ඇතැයි සිතමි. නැතිනම් ඒ තොරතුරු අභාවයට යනු ඇත.



පද්මා එදිරිසිංහ