ත්
සෞදි - ඉරාන ගැටුම දුර දිග යන ලකුණු
මැද පෙරදිග යනු අප රටටද ඉතා අදාළ කලාපයක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ලාංකිකයින් විශාල පිරිසක් මැද පෙරදිග කලාපයේ රැකියාවල නිරත වෙති. මේ නිසාම මැද පෙරදිග මේ වනවිට උණුසුම් වෙමින් ඇති තත්ත්වය ගැන අවධානය යොමු කිරීම ලංකාවාසීන්ටද වැදගත් වන කාරණාවකි.
පසුගිය කාලය පුරාම මැද පෙරදිග කලාපයේ පැවතියේ එතරම් ස්ථාවර තත්ත්වයක් නොවේ. විශේෂයෙන්ම සිරියාව කේන්ද්‍ර කරගෙන වර්ධනය වෙමින් පැවති යුදමය තත්ත්වයත්, අයි. එස් සංවිධානයේ නැග ඒම සමග ඇති වූ ගැටලුත් නිසා මෑත කාලයේ එම කලාපය පැවතියේ දැඩි අස්ථාවරත්වයකත්, ව්‍යාකූලත්වයකත් ගිලෙමිනි.
මේ වනවිට මැද පෙරදිග සම්බන්ධයෙන් ලොව පුරා කතාබහට ලක්වන අලුත්ම කාරණාව බවට පත්ව ඇත්තේ සෞදි අරාබිය සහ ඉරානය අතර උණුසුම් වෙමින් ඇති ගැටුම සහ ඒ හේතුවෙන් කලාපය පුරා පැතිරෙමින් ඇති නොසන්සුන්තාවයි.
මෙම තත්ත්වයට මුල පිරුණේ සෞදි අරාබිය තුළ කලක් තිස්සේ සිරගත කරගෙන හුන් රාජ්‍ය විරෝධී පූජකවරයෙකු ලෙස සැලකෙන ෂෙයික් නිමර් අල් නිමර් පසුගියදා සෞදි රජය විසින් මරණ දණ්ඩනයට යටත් කරනු ලැබිමත් සමගයි. සෞදි පාලනයට එරෙහිව කටයුතු කිරීමේ චෝදනාව මත සිරගත කර සිට මරණයට පත් කෙරුණු ෂෙයික් නිමර් යනු ෂියා නම් නිකායට අයත් වූවෙකි. මුස්ලිම් ලෝකයේ එකිනෙකට පසමිතුරු ප්‍රධාන නිකාය දෙකක් වන ෂියා සහ සුන්නි මුස්ලිම්වරුන් අතර කාලයක් තිස්සේ ගැටුම් පවතින අතර සෞදියේ පාලන බලය හොබවන්නේ සුන්නි මුස්ලිම් නිකායයි. සෞදිය තුළ සුන්නිවරුන්ගේ පාලනය පෙරළා දමා ෂියා පාලනයක් ඇති කරන්නට ෂියා මුස්ලිම් සටන්කාමීන් සැලසුම් කරමින් සිටිනවාය යන්න සෞදි පාලකයින්ගේ චෝදනාවයි. (මෙම ෂියා මුස්ලිම් කණ්ඩායම්වලට ඉරානය සහය දෙන බවත්, ඒ හරහා සෞදියේ පාලනය අවුල් කිරීමට කටයුතු කරමින් සිටින බවත් සෞදියේ විශ්වාසයයි.)
සෞදියේ සිටින ෂියා සුළුතරයේ අයිතිවාසිකම් දිනා දීම සඳහා ඉරානය එරටට මැදිහත් වුවද කම් නැතැයි යන අදහසක ෂෙයික් නිමර් සිටීමද සෞදි පාලකයින්ගේ උදහසට හේතු වූවක් බව පැවසේ.
ෂෙයික් නිමර්ගේ ඝාතනයත් සමගම, බලාපොරොත්තු විය හැකි පරිද්දෙන්ම ඉරානය තුළ විශාල උද්ඝෝෂණයක් සහ මහජන කැළඹීමක් මතු විය. ඉරානය යනු, නිමර්ද අයත් නිකාය වන ෂියා මුස්ලිම්වරුන්ගේ පාලනයක් සහිත රටකි. සුන්නි රාජ්‍යයක් විසින් ෂියා පූජකවරයෙකු මරා දැමීම ඉරානයේ ෂියා වැසියන්ට දරා ගැනීමට අපහසු වූ අතර ඔවුහු ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි සෞදි තානාපති කාර්යාලයට පහර දී එය ගිනිබත් කරන්නට පියවර ගත්හ. මේ සිද්ධියත් සමග සෞදිය ඉතා දැඩි ආකල්පයක් වෙත අවතීර්ණ වූ බව පෙනී ගියේය. වහාම ඉරානය සමග තානාපති සබඳතා අත් හැරීමට තීරණය කළේය. නමුත් තත්ත්වය නරක අතට හැරීම පාලනය කිරීම සඳහා ඉරාන රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කළහකාරීන් සෞදි තානාපති කාර්යාලයට පහර දීම ඉරාන රජය කිසිසේත් අනුමත නොකරන බවයි. මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමටද ඉරාන ජනාධිපති හසන් රොහානි නියෝග කළ නමුත් සෞදි පාලකයින් ඒ ගැන වැඩි තැකීමක් කළ බවක් පෙනුණේ නැත.
තත්ත්වය උණුසුම් වෙද්දී සෞදියේ රියාද් නුවර පිහිටි ඉරාන තානාපති කාර්යාලය වසා දමා එහි සිටි නිලධාරීන්ට නැවත ඉරානය බලා යන ලෙස සෞදි රජය දැනුම් දුන්නේය.
තත්ත්වය වඩාත් අර්බුදකාරී මාවතට හැරුණේ කලාපයේ සුන්නි බලය සහිත රටවල් රැසක් සෞදි අරාබිය සමග පෙළට සිට ගනිමින් ඉරානය සමග ඇති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත් හැරීමට පියවර ගැනීමත් සමගය. මුලින්ම සෞදි අරාබිය සමග පෙළ ගැසුණේ සූඩානය සහ බහරේනයයි. එක්සත් අරාබි එමිර් රාජ්‍යයද ඉරානය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවම කිරීමට පියවර ගත් අතර කුවේටයද ඉරානයේ සිටි සිය තානාපතිවරයා නැවත කැඳවා ගත්තේය. කටාර් සහ ජෝර්දාන් යන රාජ්‍යයන්ද මේ ආකාරයෙන්ම ක්‍රියා කර ඇති බව වාර්තා විය.
කෙසේ වෙතත් මෙම පසුබිම තුළ ඉරානය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් කොන් කෙරෙමින් තිබිම කිසිසේත් ඉරානයේ සතුටට හේතු වූයේ නැත. එනිසා ඔවුන්ද සෞදි අරාබියට කිසියම් අනතුරු ඇඟවීමක් කරමින් තම රටට එරෙහිව කටයුතු කිරීමෙන් වළකින ලෙස දැනුම් දුන්නේය. මෙම සටහන ලියන මොහොත වනවිටත් තත්ත්වය සමනය වන පාටක් පෙනෙන්නට නොතිබුණු අතර මැද පෙරදිග කලාපයේ අවිනිශ්චිතතාව සහ අස්ථාවර ගතිය කමෛන් ඉහළ යමින් ඇති බවකි දැකගන්නට තිබුණේ.
මේ අතර මෙම කලාපයේ විශාල අර්බුදයක් නිර්මාණය කර ඇති සිරියානු ප්‍රශ්නය පසුගිය දිනවල සාමකාමී මාවතකට පිවිසෙන්නට පටන් ගෙන තිබුණද දැන් යළිත් ඉහළ යන්නට පටන් ගෙන ඇති සුන්නි- ෂියා ආතතිය නිසා එම ප්‍රශ්නයද නැවත අවුල් වනු ඇති බවට බොහෝ දේශපාලන නිරීක්ෂකයෝ බිය පළකරති. සිරියාවේ ද පවතින්නේ ඉරානයේ මෙන්ම ෂියා පාලනයක් වන අතර එරට සුන්නි කැරළිකරුවෝ බසාර් අල් අසාද් ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමට සටන් කරමින් සිටිති. සිරියානු ප්‍රශ්නයද නැවත උත්සන්න වුවහොත් මැද පෙරදිග තත්ත්වය විශාල අවුල් ජාලාවක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එමෙන්ම එවැනි තත්ත්වයක් තුළ අයි එස් සංවිධානය මර්දනය කිරීමද තවදුරටත් අසීරු වනු ඇතැයි යන්න නිරීක්ෂකයින්ගේ විශ්වාසයයි.
නිකායික ගැටුම් ඇති විය හැකි බව දැන දැනත් සෞදි අරාබිය ෂෙයික් නිමර් ට මරණ දඬුවම ලබා දුන්නේ මන්ද යන්න මේ වනවිට දේශපාලන නිරීක්ෂකයින් අතර සාකච්ඡාවට ලක් වෙමින් ඇති කාරණාවකි. සෞදි රජය ගත් එම මතභේදකාරී තීරණය මේ වනවිට බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන් වී ඇති බවක්ද පෙනී යයි.
මෙවැනි ඉක්මන් තීරණයක් ගන්නට සෞදි අරාබිය පෙළඹෙන්නට ඇත්තේ බාහිර වශයෙන්ද, අභ්‍යන්තර වශයෙන්ද සෞදිය මේ වනවිට කිසියම් අනාරක්ෂිත තත්ත්වයක පසුවීමත්, ප්‍රශ්න රැසක පැටලී සිටීමත් නිසා ඇති වූ ආතතිය හා නොඉවසිල්ල නිසා විය හැකි යයිද ඇතැම්හු පෙන්වා දෙති. විශේෂයෙන්ම තමුන්ගේ සම්ප්‍රදායික සතුරෙකු ලෙස සැලකෙන ඉරානය පෙරට වඩා බලවත්ව නැගිටිමින් ඇතැයි යන්න සෞදිය මේ වනවිට නිතර බියෙන් පසුවන කාරණාවකි. ඊට එක් ප්‍රධාන හේතුවක් වූයේ කාලයක් පුරා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන්ගේ උදහසට පාත්‍රව සිටි ඉරානය දැන් කමෛන් එම බලවත් රටවල අවධානය සහ සහයෝගය දිනාගන්නට පටන්ගෙන තිබිමයි.
මෙම වෙනස ඇති වූයේ ප්‍රධාන වශයෙන්ම ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ කේන්ද්‍ර කරගනිමිනි. කාලයක් පුරා ඉරානය සිය රට තුළ න්‍යෂ්ටික
වැඩපිළිවෙළක් ක්‍රියාවට නගමින් සිටි අතර ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් මේ ගැන නිතරම සිටියේ සැකයෙනි. න්‍යෂ්ටික වැඩපිළිවෙළ ක්‍රීයාත්මක කරන්නේ බල ශක්තිය වැනි සිවිල් අවශ්‍යතා සඳහා බව ඉරානය කීවද බටහිර ජාතීන් සිතුවේ මෙම සිවිල් අරමුණුවලට මුවා වී ඉරානය
න්‍යෂ්ටික අවි නිශ්පාදනය සඳහාද කැස කවමින් සිටිනවා විය හැකියයි කියාය. ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කළහොත් එය මැද පෙරදිග කලාපයේ බලතුලනය තමුන්ට අවාසිදායක ආකාරයෙන් හැඩගස්වනු ඇතැයි බිය වූ ඇමෙරිකාව ඇතුළු පාර්ශ්ව අවසානයේ නතර වූයේ ඉරානයට එරෙහිව සම්බාධක රැසක් පනවමිනි.
නමුත් මෑතකදී මෙම බටහිර රාජ්‍යයන් සහ ඉරානය කිසියම් ගිවිසුමකට එළඹෙන්නට සමත් වූ අතර ඉරානය සිය න්‍යෂ්ටික වැඩපිළිවෙලේ යම් යම් සංශෝධන කරන්නටත්, බටහිර රටවල් සිය සම්බාධක ආදිය ලිහිල් කරන්නටත් පියවර ගන්නා යම් එකඟතාවකට එළඹුණෝය. බටහිර සහ ඉරානය අතර ඇති වූ මෙම සම්බන්ධය සෞදි අරාබිය වැනි රටවල් දකින්නේ තමුන්ට තර්ජනයක් වශයෙනි. විශේෂයෙන්ම ඉරානයට එරෙහි සම්බාධක ලිහිල් වුවහොත් ඉරානය කලාපයේ ආර්ථික බලවතෙකු ලෙස නැගිටිනු ඇතැයි යන බිය සෞදිය වැනි රටවලට පවතී. කලින් ඇමෙරිකාව සෞදි අරාබියේ ප්‍රබල හිතවතෙකු ලෙස සිටි රටක් වූ අතර එම බැඳීම කමෛන් ලිහිල්වන්නට පටන්ගෙන ඇතැයි යන අදහසක්ද සෞදිය තුළ පවතියි. ඉරානය දෙස නිතර සැකෙන් බැලීමේ ආතතිය වැඩි දියුණු වීමට මෙයද බලපෑ සාධකයකි.
එසේම සිරියාවේ පවතින, බසාර් අල් අසාද්ගේ ෂියා පාලනයට ද ඉරානය සහයෝගය දැක්වීමද, රුසියාව වැනි බලවතුන් පවා එහිදී ඉරානය සමග සිටීමද සෞදියට තවත් හිසරදයකි.
මේ තත්ත්වය තුළ, සෞදියේ පාලනයට එරෙහිව කටයුතු කළ බව පැවසුණු ෂියා මුස්ලිම් පූජක නිමර්ට ඔවුන් මරණ දඬුවම දුන්නේ එමගින් ඉරානයට කිසියම් තර්ජනාත්මක පණිවුඩයක් දීමට විය හැකිය යන්න ඇතැම් විචාරකයින්ගේ අදහසයි. නමුත් මෙම රටවල් අතර පවතින සංකීර්ණ යථාර්ථයන් හමුවේ මේ පිළිබඳ පැහැදිලි විග්‍රහයක් කිරීම එතරම් සරල, පහසු කටයුත්තක් නොවන බවද රහසක් නොවේ.
මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ඇමෙරිකාව, රුසියාව වැනි රටවල්ද මැද පෙරදිග උත්සන්න වෙමින් ඇති උණුසුම් තත්ත්වය පිළිබඳ සිටින්නේ දැඩි අවධානයෙනි. ගැටුම්කාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා වහා පියවර ගන්නා ලෙස ඔවුහු සෞදි අරාබියෙන් මෙන්ම ඉරානයෙන්ද ඉල්ලා තිබේ. නමුත් ඔවුන් සිතන තරම් ලෙහෙසියෙන් තත්ත්වය සමනය වනු ඇතැයි සිතිය නොහැක්කේ මෙම ගැටුම්කාරී පසුබිමට හේතු සාධක වූ කාරණා තවමත් ඒ ආකාරයෙන්ම වලංගුව පවතින බැවිනි.
නිහාල් පීරිස්