කුස්සියෙ වැල් පොටේ දුම් කෑ සුදු ගවුම
ඉකිබිඳ හඩයි දැනිලා ඔබ නැති අරුම
තනිවුණ පොත් මිටිය මුල්ලක ඇත තවම
හීනෙන් පෙනෙනවාද? නංගියෙ මේ සැවොම
බෝ වසරක් පිරෙයි නුඹ ගොස් බංගලාව ට
කුස්සියෙ වලං ගොඩ හිනැහෙයි ඔච්චම ට
දැලිකුණු ගත දරන් නුඹ වැඩ කරන විට
සුදු මුදු දෑත රිදුණි ද? කරගැටවල ට
සියොතුන් ගී ගයයි දොරකඩ ඇටඹ ගසේ
වනමල් හිනැහුනා අවිහිංසකව මෙසේ
මෙහෙකාරියක් විලසින් දිවි ගෙවන මෙසේ
නුඹ නැති ළමා දින අපි සමරමුද? කෙසේ
මුකුලිත වේය අකලට මේ මල් කැකුළු
නැත වියැකුණේ ලක් මවගේ දුක් කඳුළු
මුදවා ඔවුන් බැඳ ඇති යදමින් එකළු
එළඹුන ළමා දින වගුරමු තුටු කඳුළු