Sunday, December 10, 2017

දෙසම්බරයේ අමතක නොවන1974, ලක්ශපාන අසල සප්ත කන්‍යා කදුවැටියේ හැපී 198 ක් මිය ගිය ගුවන් අනතුර






පුද්ගලයන් එකසිය අනූ එක්‌ දෙනකුට මරු කැඳවූ මෙරට බිහිසුණුම ගුවන් අනතුර සිදුව ඊට වසර හතළිස්‌ තුනක්‌ පිරුණ ද , නොර්ටන් බ්‍රිඡ් ටෙබර්ටන් වතුයායට අද පා තබමින් එදවස සිහිගන්වද්දී මේ මොහොතකට පෙර එම අනතුර සිදු වූ සෙයක්‌ අපට හැඟෙන්නේය. සමනල අඩවියේ ලක්‌ෂපාන ඉස්‌මත්තේ පිහිටි සප්ත කන්‍යා කඳුවැටිය හි මනරම් සුන්දරත්වය වෙලා ගත් ගුප්ත භයංකර පෙනුමක්‌ දැන් දැන් ඊට නතුව ඇත්තේ නොසිතුව මොහොතක හිස්‌ අවකාශයට එක්‌වූ පණනල නිසා විය හැකිය. සීත සෘතුව ඇරඹී තිබුණු දෙසැම්බරය නුවරඑළිය ආසන්නයේ වූ නෝර්ටන් බ්‍රිඡ් ටෙබර්ටන් ඉහළ මායිමටද මීදුම සහිත කාලගුණයක්‌ පවතින්නට ඇත. සීතලෙන් වෙලී ගත් කඳුකරය මුළු රටම උණුසුම් කරවමින් සප්ත කන්‍යා කඳුවැටියේ ගුවන් යානයක්‌ ගැටී සුණුවිසුණු වීම අද ඉතිහාසයට එක්‌ව තිබේ.
ඉන්දුනීසියාවේ සුර්වෙයාර් සිට මක්‌කම බලා ගමන් ගනිමින් සිටි වන්දනාකරුවන් එකසිය අසූදෙදෙනකු හා කාර්ය මණ්‌ඩලයේ නවදෙනකු මෙම ගුවන් අනතුරින් මිය ගියහ.
නෙදර්ලන්ත ජාතික හෙන්රික්‌ ලැම්රේ ගුවන් නියමු වශයෙන් කටයුතු කළ මාර්ටින් එයාර් ඩී-සී-8 ගුවන් යානය 1974- දෙසැම්බර් මස 04 දින නෝර්ටන් බ්‍රිඡ් ටෙබර්ටන් වතුයායට ඉහළින් ගමන් ගනිමින් තිබියදී රාත්‍රී 10.10 ට පමණ සප්ත කන්‍යා කඳු වැටියේ ගැටී විනාශයට පත්වූයේ ජාත්‍යන්තරයේම අවධානය ඊට යොමු කරවාලමිනි.
කාර්මික දෝෂයක්‌ හේතුවෙන් මෙම ගුවන් අනතුර සිදුව තිබෙන බව පසුව කළ පරීක්‌ෂණ මගින් හෙළිවී තිබිණි.
කඩාවැටුණු ගුවන් යානයේ එක්‌ රෝදයක්‌ නෝර්ටන් බ්‍රිඡ් පොලීසිය ඉදිරිපිට සිහිවටනයක්‌ ලෙස අද ද දක්‌නට ලැබෙන්නේය.
මේ සම්බන්ධයෙන් අදටත් අදහස්‌ දක්‌වන්නේ එකල කුඩා දරුවන්ව සිටි මෙදා වැඩිහිටියන්ව සිටින පිරිසකි.
"අපි අනතුර බලන්න යද්දී සල්ලි කොළ කන්ද පාමුලත් වැටිලා තිබුණා. ඇඳුම් පැළඳුම් පවා තැන තැන විසිරිලා. ගස්‌ උඩ යානාවේ කෑලී රැඳී තිබුණා. මළ සිරුරු කොටස්‌ තමයි හම්බ වුණේ. දැන් මේ අනතුර වෙලා අවුරුදු 41 ක්‌ ගතවුණත් තාමත් කන්ද දකිනකොට ඒක මැවිලා පේනවා."
"මම නිදාගන්න ගියා විතරයි. මහා පිපිරුම් හඬක්‌ ඇහුණා. කවදාවත් එච්චර ලොකු පිපුරුම් හඬක්‌ අහලා නොතිබුණු නිසා මම ඇඳෙන් පැනලා එළියට දිව්වා. කන්ද පැත්තේ ගින්දර පත්තුවෙනවා පේනවා. මහත්තයා ඒ පැත්තට ගිහින් ටික වෙලාවකින් ඇවිත් ප්ලේන් එකක්‌ සප්ත කන්‍යා කන්දේ හැප්පිලා ගිනි අරන් කිව්වා. කළුවරේ අපිට යන්න විදිහක්‌ තිබුණේ නැහැ. මහත්තයා කට්‌ටිය එක්‌ක කන්ද පැත්තට ගියා." එවකට විසි වැනි වියේ පසුවූ නෝර්ටන් බ්‍රිඡ් කිරිවන්එළිය පදිංචි මල්ලිකා හෙන්නායක අද හැට දෙහැවිරිදි වියේ පසුවෙයි. බිහිසුණු ගුවන් අනතුරේ මතක ආවර්ජනය කරන අතරතුර ඇය ගුවන් යානයේ සුන්බුන් අතර තිබී තම සැමියා ගෙනවිත් දුන් හොන්කොං රාජ්‍යයට අයත් ඩොලර් දහයක නෝට්‌ටුවක්‌ අපට පෙන්වූවාය. ඇය සිහිවටනයක්‌ ලෙස එය සුරැකිව ළඟ තබාගෙන සිටී.
"එදා රෑම අපි ඇහැරිලා හිටියේ. අදටත් දෙසැම්බර් මාසේ ළංවෙන කොට මට මේ අනතුර මතක්‌ වෙනවා.... දැන් අවුරුදු අටකට විතර කළින් ගුවන් යානයේ එදා ප්‍රධාන නියමුවා ලෙස හිටපු ලෑම් මහත්තයාගේ පුතා ලංකාවට ඇවිත් වාර්තා චිත්‍රපටියක්‌ කළා. අනතුර ගැන මතකක්‌ තිබෙන හැමෝම ඒ මහත්තයා මුණ ගැහිලා තොරතුරු ලබා ගත්තා... එදා මේ අනතුරින් මියගිය 190 දෙනකුගේ සිරුරු සප්ත කන්‍යා කඳු පාමුල මිහිදන් කළා. එක්‌ ගුවන් සේවිකාවකගේ සිරුර හඳුනා ගන්න පුළුවන් මට්‌ටමේ තිබුණ නිසා එයාගේ පෙම්වතා මළ සිරුර මෙහි මිහිදන් නොකර ඉන්දුනීසියාවට රැගෙන ගිය බවද ඇය කීය.
අනතුරින් මියගිය ගුවන් යානයේ කාර්ය මණ්‌ඩලයේ නවදෙනාගේ නම් සටහන් කළ සිහිවටන ඵලකයක්‌ සප්ත කන්‍යා කන්ද පාමුල මළ සිරුරු මිහිදන් කළ ස්‌ථානයේ අද ද දක්‌නට ලැබේ. එම ස්‌ථානයේ සිහිවටනයක්‌ ලෙස තබා තිබූ මාර්ටින් එයාර් ගුවන් සමාගමේ ගුරුලකුගේ රැව සහිත නිල ලාංඡනය පසුකාලීනව කිසිවකු විසින් රැගෙන ගොස්‌ තිබේ.
එකල පහළොස්‌ හැවිරිදි පාසල් සිසුවකුවූ වීරප්පන් රායි සිද්ධිය මෙසේ විස්‌තර කළේය. එදා හොඳටම සීතල දවසක්‌. මීදුම හවස්‌ කාලයේ ඉඳලම තිබුණා. මහ ලොකු හඬකින් පිපුරුමක්‌ ඇතිවුණා. ජනේලය තුළින් ගේ ඇතුළට විදුලියක්‌ කොටනවා වගේ එළියක්‌ ආවා. මොකක්‌ද කියලා හිතාගන්න බැරිවුණා. එළියට ගිහින් බලනකොට කන්ද පැත්තේ ගිනිබෝල පත්තු වෙනවා. කැලේ තැනින් තැනත් ගින්දර එළි පේන්න තිබුණා. වත්තේ තේ ෆeක්‌ටරියේ නළාව වත්තේ මහත්තයා නාද කරලා හැමෝම කැඳෙව්වා. තාත්තත් එක්‌ක මාත් ගියා. ප්ලේන් එකක්‌ කන්දේ හැප්පිලා කඩාගෙන වැටිලා කියලා වත්තේ මහත්තයා තමයි කිව්වේ. පන්දම් එළි අරගෙන ලොකු කන්ද නගින්න කැලේට ගියා. රෑ එළිවෙනකම් මහන්සි වුණත් අඳුර නිසා මොනවත් කරගන්න පුළුවන්කමක්‌ තිබුණේ නැහැ කියලා තාත්තා කිව්වා. ඒ කලේ දැන් වගේ දුරකථන පහසුකම්, මාධ්‍ය නැති නිසා සිද්ධිය ප්‍රචාරය වුණේ පහුවදායි. මිනිස්‌සු වැල නොකැඩී අනතුර බලන්න එන්න පටන් ගත්තා. දිනමිණ පත්තරේ අනතුර ගැන ලොකු විස්‌තරයක්‌ දාලා තිබුණා. පත්තර විකිණුනේ උණු කැවුම් වගේ.... කළු පෙට්‌ටිය හොයන්න තමයි හමුදාව වගේම පිටරටින් ආපු මහත්තුරු මහන්සි වුණේ. පත්තරවලත් ඒ විස්‌තර දාලා තිබුණා. කළු පෙට්‌ටිය ගොඩක්‌ වටිනවා කියලා මම හිතුවා. දවස්‌ ගාණකට පස්‌සේ ඒක කන්දේ දෙබොක්‌කාවක තිබිලා හම්බවුණා කියලා දැනගන්නට ලැබුණා.
වර්ෂ 1966 මුල්ම ගුවන් ගමන ගිය මාර්ටින් එයාර් ගුවන් යානය සුන්දර නුවරඑළියේ සප්ත කන්‍යා කඳුවැටියේ ගැටී සුණුවිසුණුව යද්දී වසර අටක ආයුකාලයක්‌ ගෙවා තිබිණි. අනතුර සිදුවූ අවස්‌ථාවේ එය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව නිවැරදි තක්‌සේරුවක්‌ කළ නොහැකි වූයෙන් නොයෙක්‌ කටකතා සමාජයේ පැතිර ගියේය. ලක්‌ෂපාන විදුලි බලාගාරයේ ආලෝක කුලුනු කටුනායක ගුවන් තොටුපළේ ආලෝක කුලුනු ලෙස ගුවන් නියමුවා වැරදියට වටහාගෙන ගුවන් යානය පහතට ගැනීමට ගිය අවස්‌ථාවේ එය කන්දේ ගැටුණු බව එවැනි එක්‌ කතාවකි. කටුනායක සිට ගුවන් යානයේ මැදිරිය අතර පැවති අදහස්‌ හුවමාරුව නිවැරදි ලෙස සිදු නොවීම අනතුරට හේතුව බව තවත් මතයකි. එම අවස්‌ථාවේ ගුවන් යානය තිබූ නාවික සැතපුම් 40 ක දුර ප්‍රමාණය ඉංග්‍රීසි භාෂා උච්ඡාරණයේදී ෆොaර්ටි යන්න ෆොaර්ටීන් ලෙස වැරැදියට වටහා ගැනීම නිසා ගුවන් නියමු යානය පාත්කිරීමේදී එය කන්දේ ගැටී තිබෙන බවට පැතිර ගිය මතයට සමාජයේ ප්‍රභූ පිරිස්‌ද එකල යම් එකඟතාවක්‌ පළ කැර තිබිණි. තවත් පිරිසක්‌ මෙම මත දෙකටම වෙනස්‌වූ මතයක්‌ දැරිය. ඒ බුදුන්ගේ පා පහස ලද සමනොල කඳු මුදුනට ඉහළින් යානය ගමන් ගැනීම අනතුරට හේතුව බව එම මතයයි. මේ සියල්ල බොරු කරමින් පසුකාලීනව මේ පිළිබඳ පරීක්‌ෂණ පැවැත්වූ විදේශීය නියෝජිත පිරිස යානයේ කාර්මික දෝෂයක්‌ අනතුරට හේතුව බව ප්‍රකාශයට පත්කරනු ලැබීය. ජීවිත 191 සමඟ විනාශ වූ යානය පිළිබඳ දැන් ඇත්තේ මතකයක්‌ පමණි. සිහිවටන ඵලක හැරෙන්නට අනතුරේ මතක අවදි කෙරෙන ගුවන් යානයේ කොටසක්‌ අදත් නෝර්ටන් බ්‍රිඡ් පොලිස්‌ ස්‌ථානයට ගියවිට දැකගත හැකිය. ඒ යානයේ ඉදිරිපස ටයරයයි.
රයිට්‌ සහෝදරයන් ගුවන් යානය නිර්මාණය කැර ගෙවුණු දශක 11 ක කාලය තුළ ලොව පුරා ගුවන් අනතුරු වලින් දස දහස්‌ ගණනක්‌ මියගොස්‌ ඇත. පළමු ගුවන් අනතුර ගුවන් යානයේ නිර්මාතෘ ලෙස පිළිගැනෙන රයිට්‌ දෙසොහොයුරන්ගෙන් කෙනකු වන ඕවිල් රයිට්‌ (Orville Wright) අතින් සිදුවූයේ 1908 වසරේ සැප්තැම්බර් 17 දිනය. ලුතිනන් තෝමස්‌ සෙල්ෆ්රිඡ් (Thomsa Selfridge) නමැති අයට මරු කැඳවූ එම ගුවන් අනතුරින් පසු තවත් අනතුරු දහස්‌ ගණනකට ගුවන් යානා භාජනය විය. ඒ අතරින් බිහිසුණුම ගුවන් අනතුර ලෙස අදටත් පිළිගැනෙන්නේ ටෙන්රිෆ් (Tenerife) ගුවන් තොටුපළේදී බීජිං 747 වර්ගයේ ගුවන් යානා දෙකක්‌ එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරය. මෙම යානා දෙකේ සිටි හයසිය හතලිස්‌ හතරදෙනකු අතරින් මෙහිදී පන්සියඅසූ තුන්දෙනකු ජීවීතක්‌ෂයට පත්වූ බව සඳහන් වන්නේය. ජපානයේ ටෝකියෝ හයිඩා ගුවන් තොටුපළේ සිට ඔසකා ගුවන්තොට දක්‌වා මගීන් පන්සිය පස්‌ දෙනකු
රැගෙන යමින් තිබූ ගුවන් යානය එහි කාර්ය මණ්‌ඩල සාමාජිකයන් පහළොස්‌ දෙනකුද සමඟ කඩාවැටී විනාශ වූයේ 1985 වසරේ අගෝස්‌තු 12 දායි. තනි ගුවන් යානයක්‌ අනතුරට ලක්‌ව වැඩිම පිරිසක්‌ මියගියේ එම අනතුරිනි.
එදා මෙදාතුර ලොව සිදුවූ බිහිසුණුම ගුවන් අනතුරුවලින් එකක්‌ ලෙස අදටත් සප්ත කන්‍යා ගුවන් අනතුර පිළිගැනෙයි. ඕලන්ද රාජ්‍යයට අයත් මාර්ටින් එයා ඩී.සී 08 ගුවන් යානය ඉන්දුනීසියාවේ සූර්වෙයාර් ගුවන් තොටුපළින් මක්‌කම වන්දනාකරුවන්
රැගෙන ගමන් ආරම්භ කැර තිබුණේ දහවල් 12.00 ට පමණය. එය කටුනායක ගුවන්තොටුපළට (බණ්‌ඩාරනායක ජත්‍යන්තර ගුවන්තොටුපළ) ගොඩබස්‌සවා යළි සෞදි අරාබියේ ජෙඩා ගුවන්තොටුපළ වෙත ගමන් ගැනීම පනස්‌ දෙහැවිරිදි ප්‍රධාන ගුවන් නියමු හෙන්ඩි්‍රක්‌ ලෑම් (Hendrik Lamme)ගේ අවශ්‍යතාව විය. ගුවන් පියාසර පැය විසිහයදහස්‌ හත්සිය හැත්තෑවක්‌ සම්පූර්ණ කර සිටි අති දක්‌ෂ ගුවන් නියමුවකු වූ ඔහු ශීතලට ගුලි ගැසී තිබුණු ඝන මීදුම් තට්‌ටු විදගෙන යානය පියාසර කැර තිබුණේ අඩි 2000 ක්‌ පමණ වූ උසකිනි. සප්ත කන්‍යා කඳුවැටියේ පස්‌වැනි කන්ද අභිමුව ඔවුන්ගේ ගමන නැවතුනේ කටුනායකට යැමට විනාඩි ගණනක්‌ ඉතිරිව තිබියදීය.
ඒ තත්පරයද ඔවුන්ගේ ජීවිත සියල්ල සොබා දහම වෙත යළි ගෙන්වා ඇත්තේ අපට සිහිකරන්නට මතකයක්‌ ඉතිරි කරමිනි
සමන්තී වීරසේකර