අරුණළු ව
ගිනිදළු ව
මළහිරු ව
හැලඹරින් බැස යද්දි දිවයුරු
තුරු මැදින් සෙල වෙමින්
පෑළදොරින් ගෙට ඇදෙයි
ගන අඳුර
දිවි මගේ පියවරක්
නිමා කොට එකළාව
හිත මිතුරු දෑත් මත
දෙන ඇතුළේ උඩුකුරුව
කෙනෙක් අවසන් ගමන්
යන අයුරු මට කියයි
හඬ හඬා දුරින් දුර
මැකී යන මළ බෙරය
දොරකඩින් පටන්ගෙන
පෙනෙන මානයෙ දිවෙන
කොඩි බැඳපු සුදු කෝටු
තැනින් තැන මග දෙපස
විසිර ගිය ගොක් රෑන්
ගේ මිදුල අඳුරු කළ
ආවරණ සුදු රෙද්ද
පිරුවටෙන් වැසී ගිය
පේළි කළ හිස් අසූන්
කාන්සිය පාළු බව
හුදෙකලාවෙන් වෙලුණු
මගේ හද තනි කරන්
කියා දෙන හැටි අගෙයි
තථාගත හිමි දෙසූ
ඒ ගැඹුරු දහම් පද
එළිවේවී රෑ වෙවී
රෑ වෙවී එළි වෙවී
නොනැවතී ගෙවී යන
නිමක් නැති දින අතර
දවසක් ද ජීවිතය