Wednesday, February 3, 2016

පළමුවැනි නිදහස් උත්සවය ආවර්ජනය කරයි ( 1815 -1948 )

ගමැතිවරුන් නවදෙනකු සඳහා නිදහස් දින කතා සැකසූ බ්‍රැඩ්මන් වීරකෝන්



























නිදහස ඉතාමත් උත්කර්ෂවත් ලෙස සැමරීම අගමැති ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රමුඛත්වයෙන් එවකට පැවැති රජයට අවශ්‍ය විය.

උත්සවය පැවැත්වීමට තීරණය වූයේ දැනට නිදහස් මන්දිරය පිහිටි ස්ථානයේය. එවකට එය හිස් භූමියක් විය. තුරඟ තරග සමාජයට අයත්ව තිබූ එම බිම් කොටස රුපියල් පන් ලක්ෂයක මුදලට රජය මිලදී ගෙන තිබුණේ ඊට ඉතාමත් සමීප කාලයකදීය.
පිට්ටනියක් වූ එම භූමියෙහි උත්සව සභාව පැවැත්වීම සඳහා තාවකාලික ගොඩනැඟිල්ලක් ඉඳිකිරීම අවශ්‍ය විය. එහි බාහිර සැරසිලි අපේ පුරාණ චිත්‍ර හා මූර්ති සම්ප්‍රදාය අනුව නිර්මාණය කළ යුතු විය.
ඉඳිකිරීම් කටයුතු බාර වූයේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවටය. තාවකාලිකව ඉඳිකළ නිදහස් මන්දිරයේ සැරසිලි හා බාහිර අලංකරණ කටයුතු බාර වූයේ එකල ටෙක්නිකල් කොලිජිය යනුවෙන් හැඳින්වූ රජයේ කලායතනයේ චිත්‍ර උපදේශක ජේ.ඩී.ඒ. පෙරේරා මහතාටය.
එකල ඔහුගේ ගෝලයකු වූ කලාසූරී එස්.පී. චාර්ල්ස් මහතා ඇතුළු කීපදෙනෙක් ම අලංකරණ කටයුතුවලට සහායවීම සඳහා පැමිණ සිටියහ. එම අවස්ථාවේ ලද අත්දැකීමක් පිළිබඳව ඔහු 1999 සැප්තැම්බර් මස 20 වැනි දින දිවයින පුවත්පතට මෙසේ පවසා තිබුණි.

“මුල්ම නිදහස් සමරු උත්සවය තිබ්බේ අද ඔය නිදහස් චතුරශ්‍රයේ තියෙන තැනට ඉස්සරහ පිට්ටනියේ. නිදහස් උත්සවය තියන්න නිදහස් මන්දිරයක් එහෙමත් හැදුවා. නිදහස් මන්දිරයට ඉස්සරහ දෙපැත්තේ මකර තොරණ දෙකකුත් හරි ගැස්සුවා. ඔය නිදහස් මන්දිරයේ වැඩ කටයුතු බාරව හිටිය ප්‍රධාන ඉංජිනේරුවරයා දෙමළ කෙනෙක්.
එච්.ආර්. ප්‍රේමරත්න තමයි දෙවැනියා විදියට හිටියෙ. ඉතින් අර මකර තොරණ ගෙනැල්ලා නිදහස් මන්දිරයේ හයි කළොත් ඒකෙ බරට නිදහස් මන්දිරය කඩන් වැටිලා රාජ්‍ය නායකයන්ටත් අනතුරු සිද්ධවෙයි කියලා ප්‍රධාන ඉංජිනේරුවා කිව්වා. ඒ නිසා එයා කිව්වා ඔය මකර තොරණ එතැන හයි කරන්න එපාය කියලා.
ඔතැන ඔය වෙලාවෙ සෝලියස් මැන්දිස් එහෙමත් හිටියා. “ආ... ඕක ඉතින් මම පිදුරුවලින් හරි ගස්සලා දෙන්නම්කො” කියලා. මම නම් හිතන්නෙ එදා සෝලියස් මැන්දිස් කළේ ලොකුම උපහාසයක් කියලයි.

කොහොම වුණත් අන්තිමට සෝලියස් මැන්දිස් පිදුරුවලින් හරිම අපූරුවට මකර තොරණ දෙකක් හැදුවා නෙවැ. පිදුරුවලින් හැදුවට ඕන කෙනෙකුට ඒ තොරනේ සියුම් වැඩ දැක්කම පේන්නේ සිමෙන්ති බදාමවලින් හදලා කියලයි. ඔන්න ඔහොමයි සෝලියස් මැන්දිස්ගෙ වැඩ. ඔය මකර තොරණ යට මුරගල් දෙකකුත් තිබුණා. අපි ඔය මුරගල්වල අච්චු ඒ විදියට ම ගන්න, අනුරාධපුරයට ගිහිල්ලා සතියක් විතර නැවතිලා හිටියා.”
පාර්ලිමේන්තුවේ සෙංකෝලය, සෙනෙට් මංඩල ලාංඡනය, 1974 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ නිල මුද්‍රාව ආදි ඓතිහාසික නිර්මාණ රාශියක් බිහිකර ඇති කලාසූරී එස්.පී. චාර්ල්ස් මහතා වැඩිදුරටත් පවසා තිබුණේ, අනුරාධපුරය ථූපාරාමයේ මුරගල්වල අනුරූ එසේ පළමු නිදහස් දින උත්සවයේ ප්‍රෞඩත්වය වැඩි කර ගැනීම සඳහා එසේ එක්කරගත් බවය.
එක්දහස් නවසිය පනස් හතරේ සිවිල් සේවයට එකතු වී 2004 අප්‍රියෙල් මාසයේ විශ්‍රාම යන විට ශ්‍රී ලංකාවේ අගමැතිවරුන් නව දෙනෙකුගේ ලේකම්වරයා වශයෙන් ඔවුන්ගේ ප්‍රධාන උපදේශකයා වශයෙන් කටයුතු කළ බ්‍රැඩ්මන් වීර‍කෝන් මහතා ලංකාවට නිදහස ලබන කාලයේ දහ අට හැවිරිදි තරුණයෙකි.

“මට හොඳට මතකයි අපේ පළමු නිදහස් දින උත්සවය. ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ විශ්ව විද්‍යාල ප්‍රවේශ පන්තියෙයි මම එතකොට ඉගෙන ගනිමින් හිටියෙ. මගෙ පියා පොලිස් පරීක්ෂකවරයෙක්. ඒ කාලෙ අපි හිටියෙ ගල්කිස්සෙ හෝටලය පාරේ නිවසක” බ්‍රැඩ්මන් වීරකෝන් මහතා ප්‍රථම නිදහස් දින උත්සවයට සහභාගිවීම පිළිබඳව පැවසීමට වට පිටාව සකස්කර ගත්තේ එසේය.
එකල ඔහු ඉගෙනුම ලැබූ විෂයන් අතරට දේශපාලන විද්‍යාව ද එක් විෂයක් විය.
“දේශපාලන විද්‍යාව විෂයක් විදියට විශ්ව විද්‍යාල ප්‍රවේශයට ඉගන ගන්න ශිෂ්‍යයකුට තමන්ගෙ රටට නිදහස ලැබීම පිළිබඳ ප්‍රථම නිල උත්සවයේ වටිනාකම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ” බ්‍රැඩ්මන්ගේ එම සිතුවිල්ල නිසා තවත් යහළුවන් තිදෙනෙකු සමඟ ගල්කිස්සේ සිට ටොරින්ටන් චතුරස්‍රයට උදෑසන හතයි තිහට පමණ පැමිණියේය.
උත්සවය සඳහා තාවකාලික ශාලාවක් ඉඳිකර තිබුණි.



“එම ගොඩනැඟිල්ලෙ ඉස්සරහම තරමක උස වේදිකාවක් ඉඳිකරලා තිබුණා. වේදිකාවෙ කැපී පෙනෙන ස්ථාන දෙකක දැවැන්ත ඇත් දත් ජෝඩු තුනක් රඳවලා තිබුණා. මට මතක විදියට වේදිකාව සුදු පැහැති පලසක් අතුරලා තිබුණා. අමුත්තන් වේදිකාවට ගොඩවෙන පඩි පෙළට රතු පලසක් එළා තිබුණා” වසර හැටහයකට පෙර අතීත තොරතුරු බ්‍රැඩ්මන් වීරකෝන් මහතා එකින් එක මතකයට නඟා ගැනීමට උත්සහයක යෙදෙයි.
ශ්‍රී ලංකාවට නිදහස ප්‍රදානය කිරීමේ උත්සවයට බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කිරීම සදහා පැමිණ සිටියේ ග්ලෝස්ටර්හි ආදිපාද හෙන්රි කුමරු සහ එම ආර්යාවය.





බ්‍රැඩ්මන් වීරකෝන් මහතා පවසන ලෙස අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා සම්පූර්ණ යුරෝපීය ඇඳුමෙන් සැරසී සිටියේය. “කළුපාට පසු බිමේ රත්තරන් පාට ඉරි තියෙන සූට් එක. ලෝන් ටේල් කෝට් එක ඇඳලා ටොප් හැට් එක දාල දි‍ලිසෙන සපත්තු දාලා සුද්දෙකුටත් වඩා සුද්දෙක්වගේ,’ බ්‍රැඩ්මන් වීරකෝන් මහතාගේ මුවඟට උපහාසාත්මක සිනහවක් නැඟුණාසේ විය.
ලංකාවේ එවකට ආණ්ඩුකාරයාවූ සර් හෙන්රි මුවර් සහ ඔහුගේ බිරිය ද ප්‍රධාන ආරාධිතයෝ අතර වූහ. එතෙක් ආණ්ඩුකාරයා ලෙස හැඳින්වුණ සර් හෙන්රි මුවර් ගේ නිල නාමය නිදහස ලැබීමෙන් පසු අග්‍රාණ්ඩුකාරයා ලෙස වෙනස් විය.
බ්‍රැඩ්මන් වීරකෝන් මහතා පවසන ලෙස එදින උත්සව සභාවේ ප්‍රධාන ආරාධිතයින් ශ්‍රී ලංකාවේ සියලුම ආගම්, ජාතීන්, සංස්කෘතීන් නියෝජනය කරන්නක් විය. උඩරට - පහතරට, සිංහල, ද්‍රවිඩ, බර්ගර්, මැලේ, බෞද්ධ, කතෝලික, හින්දු මහමත් සියලුම ආගමිකයන්ගේ නියෝජනයක් එම ප්‍රභූන් අතර විය. ජී.ජේ. පොන්නම්බලම්, අරුණාචලම් රාමනාදන් සහ ටී.බී. ජයා ඇතුළු විවිධ ජාතීන්ට අයත් ජන නායකයෝ ද එහි වූහ.
“උත්සවය පවත්තපු මන්දිරයෙන් පිටත ස්ටෑන්ඩ් එකක බ්‍රිතාන්‍ය ජාතික කොඩිය ඔසවලා තිබුණා. ඒ අසලම අපේ සිංහ කොඩියත් තිබුණා. ග්ලෝස්ටර් ආදිපාදවරයා බ්‍රිතාන්‍ය ජාතික කොඩිය පහතට දැම්මා. ඩී.එස්. සේනානායක මහතා සිංහ කොඩිය එසෙව්වා.” නිදහස ලැබීම පිළිබඳව සංකේතාත්මක ක්‍රියාදාමය බ්‍රැඩ්මන් වීරකෝන් මහතා එසේ විස්තර කළේය.
ප්‍රථම නිදහස් දින උත්සවයේදි බ්‍රිතාන්‍ය නියෝජනය කරමින් ග්ලෝස්ටර්හි ආදිපාදවරයා කථා කළේය.
න්‍යාය පත්‍රය අනුව ඊළඟ කථාව යෙදී තිබුණේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක වරයාටය. ඔහු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාය. ඔහු එවකට ඩී.එස්. සේනානායක රජයේ නියෝජ්‍ය නායකයා මෙන් ම සෞඛ්‍ය හා පළාත් පාලන ඇමැතිවරයා ද විය.
“ඉංග්‍රීසීන්ගෙන් අප ලබා ගත්තෙ ව්‍යවස්ථාදායක නිදහසක්. මේ අපිට ලැබුණු අලුත් නිදහස සාර්ථක වෙන්නෙ මහජනයාට නිදහස ලැබුණොත් විතරයි. කරුණු හතරක් පිළිබඳව මහජනයාට නිදහස ලැබෙන්න ඕනැ. එහෙම නැතිනම් නිදහස යන්න හුදු දේශපාලන සංකල්පයක් පමණක් වේවි.
මහජනතාව සම්පූර්ණ නිදහස් සුවය ලබන්න නම් අවිද්‍යාවෙන් නිදහස් වෙන්න ඕන. අයහපත් සෞඛ්‍ය තත්වයෙන් නිදහස් වෙන්න ඕනෙ. දරිද්‍රතාවයෙන් නිදහස් වෙන්න ඕනෙ. බයෙන් නිදහස් වෙන්න ඕනෙ.” පළමු නිදහස් දින උත්සවයේ දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බංඩාරනායක මහතාගේ කථාවේ ඇතුළත් වූයේ එම අදහස්ය. එය විනාඩි දොළහක පමණ දීර්ඝ කතාවක් විය.
බ්‍රැඩ්මන් වීරකෝන් මහතා පවසන්නේ බණ්ඩාරනායක මහතාගේ එම කථාව ජීවිත කාලය පුරාම රැව් පිළිරැව් දුන් බවය. රජයේ පරිපාලන සේවයට එකතු වූ පසු එය ඔහුගේ මූලික දර්ශනය බවට පත්කරගත් බවය.







“කොහොම හරි අගමැතිවරුන් නම දෙනෙක් වෙනුවෙන් ඔවුන් නිදහස් දින කළ යුතු කථා සකස් කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ හැම අවස්ථාවකම එදා ප්‍රථම නිදහස් දිනය දා බණ්ඩාරනායක මහතා කළ කථාවේ දර්ශනය ඒ කතාවලට එකතු කළා.” අගමැතිවරුන් නම දෙනෙකුට ලේකම්වරයා පවසන්නේ එක්තරා තෘප්තිමත් වූ ආකාරයකිනි.
හතළිස් අටේ පළමු නිදහස් දින උත්සවයේදී ගායනා වූයේ පී.බී. ඉලංගසිංහ විසින් රචනා කර ලයනල් එදිරිසිංහ සංගීතවත් කළ “ශ්‍රී ලංකා මාතෘ, පාලා යස මහිමා ජය ජය...” යන ජාතික ගීතය විය. නමුත් එම ජාතික ගීතය එදිනට පමණක් සීමා විය.

ජාතික ගීතයක් තෝරා ගැනීම සඳහා පැවැත්වුණු තරගයේ පී.බී. ඉලංගසිංහ සහ ලයනල් එදිරිසිංහ විනිශ්චය මණ්ඩලයේ සිට එම ගීතය පළමු තැනට තේරීම බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් විය.
එනිසා ආනන්ද සමරකෝන් පද රචනා කර සංගීතවත් කර ස්වර්ණ ද සිල්වා ගායනා කර තිබූ දේශාභිමාන ගීතයක් වූ “නමෝ නමෝ මාතා” ජාතික ගීතය වශයෙන් පිළිගෙන 1949 දෙවැනි නිදහස් දින උත්සවයේ ගායනා විය.
ප්‍රථම නිදහස් දින උත්සවයේ තවත් විශේෂාංගයක් වූයේ ඉංග්‍රීසීන්ට වසර 133 ක් යටත්ව සිට නිදහස ලැබීම සංකේතවත් කිරීමට පරවියන් 133 ක් නිදහස් කිරීමය. එසේම ලංකාවේ සතර දිග් භාගයෙන් තරුණයෝ සතර දෙනෙක් නිදහස් ලියවිල්ල ලියැවුණු පුස්කොළ හතරක් රැගෙන විත් උත්සව මන්දිරයේ මැද තිබූ පෙට්ටියක තැන්පත් කළෝය.


මෙසේ පැමිණි එක් අයෙක් පසුකලෙක රටේ විදේශ ඇමැති වූ ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාය. එම පුස්කොළ හතර ඇතුළත් මංජුසාව පසු කාලයක ඉඳිකළ නිදහස් මන්දිරයේ තැන්පත් කරන ලදී. අදත් ඒවා එහි නිරුපද්‍රිතව ඇත.

No comments:

Post a Comment