Sunday, February 28, 2016

“සන්තුස්ස කෝච සුභරෝච අප්ප කිච්චෝච සල්ලවුක වුත්තී”






විශ්වයේ අතිශය චමත්කාර ජනක නිර්මාණයක් වන මිනිසා සත්ත්ව ලෝකය තුළ ඉතා උසස් මනසකින් යුතු සත්වයා ද වේ. විසල් විශ්වයේ ක්‍රියාකාරීත්වය මනුෂ්‍යයාගේ පැවැත්ම විෂයෙහි බොහෝ බලපෑම් එල්ල කරයි. මෙලෙස විශ්ව ශක්තියේ ක්‍ෂුද්‍ර අංශුවක් වන මිනිසා අද්‍යතයේදී විශ්ව න්‍යායන් හා සංකල්පයන් අභිබවා යෑමට සෑම විටම උත්සාහ කරයි. සැබවින්ම මිනිසා සතු ශක්‍යතාවන් බොහෝ ය. එසේ වීද ඔහු ස්වභාව ධර්මයට කරන අභියෝගයන් පිළිබඳ වරක් දෙවරක් නොව සිය දහස් වාරයක් සිතා බැලිය යුතු ය.

දඩයම් යුගයේ දී මිනිසාගේ අවශ්‍යතා අතිශය සරලය සුළු ය. කුසට අහරක් මිස හිසට සෙවනක් හෝ ගතට වස්ත්‍රයක් හෝ පිළිබඳව එ දවස ඔහු පැතුවේ නැත. සේද වලාවන් පිරුණු අහස් වියන යටදීම ඔහු ස්වභාව ධර්මයේ ගැතියකු විය. කාලයේ වේග ප්‍රවාහයට නතු වූ මිනිසාගේ ඒ සරල අවශ්‍යතාවන් දිනෙන් දිනම සංකීර්ණ වූ අතර එඬේර යුගය පසු කළ ඔහු ගොවි යුගයේ දී වඩා ශිෂ්ට සම්පන්න වී අවශ්‍යතාවන් නිසි පරිදි ක්‍රමානුකූලව ඉටු කර ගැනීමට යුහුසුළු විය. එතෙක් මිනිසා හුරුව සිටි අපිස් දිවි පෙවෙත විසල් විපරිණාමයකට භාජනය වූයේ මෙතැන් පටන් ය. කාලය වේගයෙන් ගලා යද්දී මිනිසා කාර්මීකරණයට නැඹුරු වූ අතර මෙතෙක් වූ සරල සුගම සුළු අවශ්‍යතා ද සංකීර්ණ විය. මිනිසාගේ ලෞකික අවශ්‍යතා සීමා රහිත වෙද්දී කාලයට අනුරූපව තම සකල ක්‍රියා කලාපයන් ක්‍ෂණිකව ඉටු කර ගැනීමට ඔහුට අවශ්‍ය විය. එහිදී ඔහු නවීන තාක්‍ෂණය කෙරෙහි වඩ වඩා නැඹුරු වී නව සොයා ගැනීම්, අත්හදා බැලීම් තුළින් කාලය හා අවකාශය ජයගන්නට අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කි‍්‍රයාත්මක වූයේ ය. විවිධ යන්ත්‍ර සූත්‍ර නිපදවා එවැනි දේ තුළින් තම එදිනෙදා කටයුතු පහසු කර ගැනීමට ඔහු උත්සාහ කළේ ය. මුද්‍රණ යන්ත්‍රයේ සිට මිසයිලය දක්වා කළ සෑම නිර්මාණයක්ම එකී උත්සාහයේ ප්‍රතිඵල ලෙස දක්වාලිය හැකි ය.

මෙලෙස මිනිසා තාක්‍ෂණය හරහා සැහැල්ලු ගති පැවතුම්වලින් මිදී බහුකිච්ඡතාවයට නැඹුරු විය. විවෘත ආර්ථිකය, ගෝලීයකරණය හරහා කාර්ය බහුල තත්ත්වයට පත් වූ ඔහුගේ නිදහස සීමා විය. ජීවිතය අවිවේකී විය. කටුක විය. නීරස විය. කායික වශයෙන් පමණක් නොව මානසික වශයෙන් ද අසහනයට පත් වූ අයෙකු විය. නූතනයේ දී අද්‍යතනය වන විට අන්තර්ජාලය හරහා සෑම කටයුත්තක්ම ඉටු කර ගැනීමට මිනිසා උත්සුක වේ. ලොවම විශ්ව ගම්මානයක් වන මෙම ක්‍රියාවලිය මනුෂ්‍ය සංහතියටම යහපතක් කළ හැකි අතර විශාල අපරාධයන්ට ද මෙයම හේතු වේ. අද ලොව පුරා පැතිරෙන කාම රැල්ලටත්, අපරාධ රැල්ලටත් අන්තර්ජාලය තුළින් ලැබෙන පිටුවහල අතිමහත් ය. මිනිසාගේ අපරිමිත ආශාවන් නිසා බිහිවන මෙබඳු නිර්මාණ සමාජ පිළිලයක් වීමට ඉඩ ඇති බවද මෙයින් පැහැදිලි වේ. එසේම නූතනයේ අවි ගනුදෙනු පවා සිදු කර ගනුයේ මෙම අන්තර්ජාලය හරහා ය. නමුදු විශේෂයෙන් කිව යුතු වනුයේ වරද ඇත්තේ මෙම නවීන තාක්‍ෂණය තුළ නොව එය පරිශීලනය කරන පුද්ගලයා ගේ මනස තුළ බව ය. ගසක අරටුව ඉවතට දමා පොත්ත රැක ගැනීමට මෙන් වෙර දරන ඇතැම් පුද්ගලයන් වෙතින් මෙවැනි සමාජ හිතකාමී නොවන සංසිද්ධීන් සිදුවේ. මෙකී සියලු හේතූන්ට මුල් වනුයේ මිනිසා අල්පේච්ඡතාවෙන් මිදීමම නොවේද?

නූතන තාක්‍ෂණයේ දියුණුව සමඟ මිනිසාගේ සැහැල්ලු ගති පැවතුම් ක්‍රම ක්‍රමයෙන් හීන වී යාම අප සමාජයෙහි පවුල් සංස්ථාව කෙරෙහි ද විශාල ලෙස බලපෑම් එල්ල කර තිබේ. පවුලක සමගිය, පැවැත්ම රඳා පවතිනුයේ එහි සාමාජිකයන්ගේ ක්‍රියාකලාප අනුවය. විවෘත ආර්ථිකය ජයගයනු වස් පියා සමඟ මවද රැකියාවක නිරත වී සිටියි. එබැවින් දරුවන් හා මව්පියන් මුණ ගැසෙනුයේ රාත්‍රී කාලයේ පමණි. කෙසේ වතුදු සතියකට දෙතුන් වරක්වත් පවුලෙහ් සියලු සාමාජිකයන් සතුටු සාමිචියේ යෙදෙමින් අන්‍යෙන්‍ය සහයෝගය පෙරදැරි කර ගනිමින් තම තමන්ගේ ගැටලු ආදිය නිරාකරණය කර ගන්නේ නම්, එකී නිවසෙහි අභිවෘද්ධියට සහ යහපැවැත්මට කටයුතු සලසා ගත හැකි වේ. නමුදු අද බෞද්ධ නිවෙසක සියලු සාමාජිකයන් එක් වී බුදුන් වඳින දර්ශනයක් පවා දැක බලා ගැනීම අතිශයින් දුලබ බව පෙනේ. දහවල රැකියාවල නියුතු බොහෝ මව්වරු රාත්‍රියේ දී රූපවාහිනී තිරය මතින් දිග හැරෙන ටෙලිනාට්‍යවල නළු නිළියන් හා එක්ව සිනාසෙති. හඬති, වැළපෙති, මන්ත්‍රී බිසව් සේ සැමියාගේ සෙවනැල්ල වීමටවත්, යශෝධරාවක සේ සැමියාට ආශිර්වාද කරන්නටවත්, අංගුලිමාල, තෙරණුන්ගේ මව් මෙන් තම දුවා දරුවන් රැකගන්නටවත් ඇයට නිනව්වක් හෝ අවකාශයක් නම් නැත. බිරිඳ මෙසේ වූ විට නකුල පිතෘවරුන් නිවෙස තුළ රැඳෙන කාලසීමාවද සීමාසහිත ය. සුරාසැල්වල මධුවිත පුරන්නේත්, කැසිනෝ ඈ සමාජ ශාලාවල රැය පහන් කරන්නේත් එවැනි පියවරුන්මය. සම්බුදු අම්මාවරුන්, බෝසත් පියවරුන් මෙසේ වෙද්දී සුජාත දරුවෝ පරිගණකය තුළින් අන්තර්ජාලය හරහා ලොව පුරා සැරිසරති. ඔවුනට ලෝකය තනි යායකි. එමඟින් විවිධ දුරාචාර විෂයෙහි දරුවන් යොමු වීම දැකිය හැකි ය. එසේ ද වූවත් දෙමව්පියන් මෙලොව දී ලද වටිනාම සම්පත දරු සම්පත ය. නැණවත් සේම ගුණවත් දරු පරපුරක් බිහිකර රටට දැයට වැඩදායි ලෙස ඔවුන් හැසිරවිය යුතු ය. දෙමව්පියෝ වඩා සරල ජීවිතයකට හුරු වූ පසු දරුවෝ ද එයම අනුගමනය කරති. එවිට අසත් පථයෙහි යෑමට ඔහුනට අවසර නැත.

අතීතයේ දී මිනිසා තම පණිවුඩ හුවමාරු කර ගන්නට විවිධ සරල ක්‍රම අනුගමනය කර ඇත. තිරශ්චීන සත්වයන් පවා එ විෂයෙහි යොදා ගෙන ඇති බව අපි දනිමු. ලේඛන කටයුතුවලට යොමු වූ මිනිසා අද්‍යතනයේදීත් ලිපිලේඛන වලින් තම පණිවුඩ හුවමාරු කර ගනිති. ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල් දුරකථනය හඳුන්වා දීමෙන් සමාජයට සිදු වූ සේවාව අතිමහත් ය. සැබවින්ම විය යුත්තේ කාලය ඉතිරි කර ගැනීම තුළින් එදිනෙදා කටයුතු ඉටුකර ගැනීමයි. නවීන තාක්‍ෂණය සමඟ ආ ජංගම දුරකථනය මඟින් මිනිසාගේ එදිනෙදා කටයුතු වඩා පහසු කර ගැනීමට හැකි විය. සැබවින් ම විද්‍යාවේ දියුණුව සමඟ සාර්ථකත්වයේ හිණි පෙත්තටම පා නගන මිනිසාගේ කටයුතුවලට එය භාවිත කිරීම වඩා පහසු ය. අද වනවිට සමාජයේ සෑම ස්ථරයකම මෙය ජනපි‍්‍රය වී ඇත.

සැබවින්ම එය සුබවාදී ය. නමුදු එහි අසුබවාදී අංශයක් ද ඇත. වර්තමාන සමාජයේ පාසල් සිසුන් මෙම ජංගම දුරකථනය විෂයෙහි අතිශයින් ආසක්ත වී ඇති බව පෙනේ. බොහෝ විට දෙමව්පියන් තම දරුවන්ට ජංගම දුරකථනයක් ලබා දෙනුයේ ඉතා ඉක්මණින් හා විශ්වාසදායකව පණිවුඩ හුවමාරු කර ගැනීමට ය. පාසලෙන් පසු අතිරේක පන්තියකට සහභාගී වී නිවෙසට පැමිණෙනතුරු දරුවන් හා සම්බන්ධතා ඇතිකර ගැනීමට දෙමාපියන් යොදා ගනුයේ ජංගම දුරකථනයයි. නමුත් ඇතැම් දරුවන් එය තම සකල අවශ්‍යතා සඳහා යොදා ගනී. ජංගම දුරකථනය තුළින්ද අන්තර්ජාලය හා සම්බන්ධ වී විවිධ අයහපත් ක්‍රියාකලාපයන්ට යොමුවන ඔවුන්ගේ අධ්‍යාපනය පවා කඩාකප්පල් වීමට ඉන් ඉඩ සැලසේ. විශේෂයෙන් ගැහුණු දරුවන් විෂයෙහි මෙය ඉතා අහිතකර ලෙස බලපායි. සමාජය තුළ අයථා සම්බන්ධතා හා සාවද්‍ය ක්‍රියා රැසක් සිදු වීමට අද ජංගම දුරකථනය හේතු වී තිබේ. එසේනම් නවීන තාක්‍ෂණය වූවද ඉතා සංයමයෙන් යුතුවම පරිහරණය කළ යුතු බව මෙයින් මොනවට පැහැදිලි වේ.

එසේම යහපත් භෞතික සදාචාරාත්මක සමතුළිතතාවයකින් සමන්විත ජීවන රටාවක් අප සතුව ඇත. එවිෂයෙහි සෘජුවම බල පා ඇත්තේ සැහැල්ලු දිවි පෙවෙතමය. එය ඉවතලන මිනිසුන් නවීන තාක්‍ෂණය සමඟ එන සියලුම දේ ඉතසිතින් වැළඳ ගනුයේ ඉමහත් ආඩම්බරයෙනි. එහි යහපත් අයහපත් දෙ අංශයේම ලක්‍ෂණ ඇත. මිනිසා හා ස්වභාවධර්මයා අතර මනා වූ අන්තර් සම්බන්ධයක් ඇත. තාක්‍ෂණයේ හිණිපෙත්තට ගමන් කරන මිනිසා සොබා දහම පිළිබඳ එතරම් තැකීමක් නොකරයි. මිනිසාගේ දියුණුව හෝ ආත්ම තෘප්තිය සඳහා හෝ අනෙක් දෙයක් උදෙසා හෝ ස්වභාව ධර්මය විනාශ කරමින්, එහි පැවැත්මට හානි කර ගනිමින් තම ප්‍රගතිය ළඟා කර ගැනීමට උත්සාහ කිරීමේ දී සිදුවනුයේ මිනිසා තුළ පැවැති මනුෂ්‍යත්වය පිරිහීම යි. සැහැල්ලු දිවිපෙවෙත අර්බුධකාරී තත්ත්වයකට පත්වීමයි. ගෝලීය කරණය සමඟ මිනිසා බහුභාණ්ඩික තත්ත්වයකට පත්ව සිටියි. එසේම ලද අවසරයෙන් තම ඉන්ද්‍රියන් පිනවනු වස් විවිධාකාර වූ භෞතික ශ්‍රව්‍ය දෘෂ්‍ය දෑ යොදා ගනී. සඳ කැල්මක පවිත්‍රත්වය, පීදෙන මල් කැකුළක අසිරි සිරිය, දෙසවන නින්නාද වන කුරුළු කුජනයක මිහිරියාව ගලා යන දොළ පහරක සිසිලස විඳිමින් ස්වභාවධර්මය හා ස්වාත්මීය ගත වී සිත පිනවාගන්නට අපට තවමත් අවකාශය ඇත. තාරුකා පිරුණ අහසක් දෙස බලන කල දැනෙන මානසික සුවය හෝ ඒකග්‍රතාව රූපවාහිනී තිරයක් මත දිග හැරෙන මාලා නාටකයක් තුළින් හෝ පොප් ගීතයක් සමඟ එන නර්තනයක් තුළින් හෝ ලද හැකි ද යන්න පැනයකි. මෙසේ මානවීය සදාචාරය පිරිහීම හා පාරිසරික අර්බුදය තුළ ඉතා සමීප සබඳතාවක් ඇත. තමා විසින්ම සිදු කරන කුමන ක්‍රියාවකින්වත් සෑහීමකට පත් නොවෙන මිනිසා විශ්වයේ නිමි වළලු සොයා දිවයනුයේ මිරිඟු දියට ලොබ බැඳ හැල්මේ දිවයන මුව පොව්වකු ලෙසය. සරලත්වයෙන් හා සහජීවනයෙන් කල් යවනවා වෙනුවට එකිනෙකා පරයා නැගෙමින් ස්වභාව ධර්මය ඉදිරියෙහි පරාජය වීමට සිදුවේ. වසර කිහිපයකට ඉහතදී සිදු වූ සුනාමි ව්‍යසනයම ඒ විෂයෙහි උදාහරණ සේ දැක්විය හැකි ය.
අප ලොව්තුරා බුදුරජාණන්වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ දී සැහැල්ලු දිවි පැවැත්ම පිළිබඳ කරුණු දක්වා ඇත. තාක්‍ෂණයෙන් කෙතරම් ඉදිරියට ගියද පුද්ගලයෙකු අතිශය චාම් විය යුතු ය. පුද්ගලයෙකුගේ චාම්බව තුළින් අනවශ්‍ය කරදර දුක් පීඩා වළක්වා ගත හැකි ය. සැහැල්ලු දිවි පෙවෙතින් මිදුනු විට සමාජය තුළ නේක වූ අපරාධ සිදුවෙයි.

අතීතයේ දී සිව්සැට බරණින් සැරසී රුවැති ළඳකට ඉතා වටිනා මාණික්‍ය රත්නයක් සමඟ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා අපහසුතාවකින් තොරව ගමන් කිරීමට හැකියාව තිබූ බව පැවසේ. නමුදු වත්මනෙහි ඇතැම් තරුණියකට නොව කුඩා දැරියකට, මිත්තණියකටවත් තනිව ගමනක් යෑමෙහි හැකියාවක් නැත. මනුෂ්‍ය සමාජය සාරධර්ම හා ගුණධර්ම අතින් එතරම් ම පිරිහී ඇත. මිල මුදල් ධර්මය කර ගත් මිනිසා නොතිත් ආශාවන් සංතෘප්ත කර ගනු වස් ආත්ම සංයමය පාවා දී ක්‍රියාකරයි. ධර්මය කෙරෙහි වැඩි වැඩියෙන් නැඹුරු වීම තුළින් ගිනිගෙන, දැවෙන මානවීය චින්තනය නිවාසනසා ගත හැකි ය.

ඉතිහාසය තුළ සුරුවිරුකම් දැක් වූ අප රජ දරුවෝ කුමන රාජකාරියක නිරත වූවත් සතර පොහොයට සිල් සමාදන් වීමට ධර්මය ශ්‍රවණය කිරීමට හුරුව සිටියහ. සද්ධාතිස්ස රජු රෑ මුළුල්ලේ තුන්යම අරියවංශ සූත්‍රය ශ්‍රවණය කළේ ධර්මය කෙරෙහි අතිශයින් ශ්‍රද්ධාවෙහි යුතුවමය. එසේම බොහෝ රජවරු දිනපතා විහාරස්ථානවලට ගොස් භික්‍ෂූන් වහන්සේලා, සමඟ එක්ව ධර්ම සාකච්ඡා පැවැත් වූ බව වංශ කථාවල සඳහන් වේ. එසේ නමුදු අප සමාජයේ බොදුණුවන්ට මසකට වරක් යෙදෙන පොහෝ දිනයේදීවත් විහාරස්ථානයට ගොස් ආමිස පූජාවක නිරත වීමට තරම්වත් කාලයක් නොමැත. නේක විධ රාජකාරියක් නිසා සිතා හෝ නොසිතා හෝ එකී කටයුතු මඟ හැරෙන බව කිව යුතු ය. මෙය සාධනීය ලක්‍ෂණයක් නම් නොවේ. පුද්ගල අධ්‍යාත්මය සංවර්ධනය කරගනු වස් ධර්මයෙහි හැසිරිය යුතු ය.

නූතන තාක්‍ෂණය සුබය, ධනාත්මකය, සිහියෙන් යුතුව එය පරිභෝජනයට ගත යුතු ය. ඒ සමඟම චාම් බව හා සැහැල්ලු බව පුද්ගල සිත තුළ ඇති කර ගනිමින් ආත්ම සංයමයක් ඇති කර ගත යුතු ය. එහිදී ස්වභාවයෙන්ම සරල ගති පැවතුම් හා අල්පේච්ඡ ජීවිතයක් ඇති මිනිසාට ගුණධර්මයත් තුළින්ම නූතනත්වයට හා තාක්‍ෂණයට මුහුණ දී ජීවිතය සාර්ථක කර ගත හැකි ය.
හැම දෙනාටම තෙරුවන් සරණයි!











Wednesday, February 17, 2016

The Happiest Countries in the World 2015 ගිහි ජීවිතය සාර්ථක කර ගැනීමට නම්





ගිහි ජීවිතය සාර්ථක කර ගැනීමට නම් භෞතික සහ අධ්‍යාත්මික යන උභය අංශයන් ගේ ම දියුණුවක් ලැබීම අත්‍යවශ්‍ය බව බුදු සමයේ පිළිගැනීම ය. බටහිර ලොව සංවර්ධනය හෝ දියුණුව මනින්නේ විවිධ ආර්ථික න්‍යායන්වලට අනුව ය.
ඒක පුද්ගල ආදායම කොපමණ වේ ද?, දළ ජාතික නිෂ්පාදනය කවර ප්‍රමාණයකින් වේ ද යන මිණුම් දඬු ප්‍රමාණයක්, නිර්නායක කිහිපයක් සැලකිල්ලට ගැනීමෙනි. එහෙත් මීට සති කිහිපයකට පෙර භූතානය පිළිබඳ වැදගත් තොරතුරක් හෙළිදරව් විණි. එනම් වඩාත් සතුටින් ජීවත්වන ජනතාව වෙසෙන්නේ භූතානයේ වන බව ය.
ඉතාමත් දියුණු මාර්ගවලින් ද සමන්විත ගමනාගමන පද්ධතියක්, සුඛෝපභෝගී නිවාස, යාන වාහන ආදි සියල්ල පවතින බටහිර යුරෝපයේ හෝ එක්සත් ජනපදයෙන් අපට තෘප්තිමත් ජන සමාජයක් හමු වන්නේ නැත.
සතුටින් වෙසෙන ජනතාව හඳුනා ගැනෙන්නේ ආර්ථිකමය වශයෙන් ඉතා දිළිඳු, තුන්වැනි ලෝකයේ රටක් වන භූතානයෙනි. මිනිසා ගේ දියුණුව යනු භෞතිකමය සංවර්ධනය නොවන බව මේ අනුව පැහැදිලිය.
ගොඩනැඟිලි, යාන වාහන, ඉඩ කඩම්, මුදල් තැන්පතු ආදිය මත පදනම් ව පුද්ගලයකු ගේ දියුණුව තීරණය කළ නො හැකි ය.
පුද්ගලයකු ගේ භෞතික දියුණුවට සාපේක්ෂ ව අධ්‍යාත්මික දියුණුවක් ද පැවතිය යුතු බව බුදු සමයේ පිළි ගැනෙන මූලික සිද්ධාන්තයකි. ගෘහස්ථ ජීවිතයක් ගෙවන ගිහියා වෙත බුදු දහමේ ගැඹුරු අවධානයක් යොමු කර තිබේ. එහිදී
“දාලිද්‍යං භික්ඛවේ දුක්ඛං
ගිහීනං කාම භෝගිනෝ”
කාම භෝගි ගිහියාට, දිළිඳු බව දුකට හේතුවක් වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තාහ. මේ නිසා ධාර්මික වූ ක්‍රමවේදයක් ඇසුරින් දැහැමි ධනයක් සම්පාදනය කර ගැනීමට ගිහියා ඇප කැප විය යුතු බව අවධාරණය කර තිබේ. උට්ඨාන වීර්යෙන්, බාහු බලය යෙදවීමෙන්, දහදිය වැගිරීමෙන් තමන්ට අවැසි ධනය සම්පාදනය කරගත යුතුය.
“ධම්මිකේ හි ධම්ම ලද්දෙහී” යන්නෙන් පැහැදිලි කර දුන්නේ ඒ කරුණයි.
“සබ්බේ සත්තා ආහාරට්ඨටිකා” සියලු සතුන් ගේ පැවැත්මට ආහාර අත්‍යවශ්‍යය. ඒ සඳහා ධාර්මික උත්සාහයක නියැළීමෙන්, කිසිවකුටත් කරදරයක් හිංසාවක් නොවන ලෙස, සම්මා ආජීවයෙන්, සම්මා කම්මන්තයෙන් ස්වකීය ආර්ථිකය ගොඩනඟා ගත යුතු බව ගිහියා ගේ යහපත වෙනුවෙන් පෙන්වා දී ඇති වැදගත් සංකල්පයකි.
යහපත් කර්මාන්තයක නියැළීම පිළිබඳ කරන විග්‍රහයේ දී ගිහියා ගේ පමණක් නොව සතා සීපාවන් ඇතුළු සමස්ත ජීව පද්ධතියේ ම ආරක්ෂාව කෙරෙහි බුදුරජාණන් වහන්සේ අවධානය යොමු කොට ඇත්තා හ.
එහි දී නොකළ යුතු වෙළෙඳාම් පහක් පිළිබඳ අවධාරණය කර තිබේ. එනම් අවි ආයුධ වෙළෙඳාම, වස විස වෙළඳාම, මස් මාංශ වෙළඳාම, වහල් වෙළඳාම සහ මත් වතුර වෙළඳාම ය. ඉතා කෙටි කලක දී මේ ක්‍රමෝපායයන්ගෙන් පුද්ගලයාට ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂා කළ හැකි ය.
කෙටි කලකදී එසේ ධනය ලැබුවත්, තවත් කෙටි කලක දී දුක්ඛිත විපාක අත්දැකීම් විඳීමට සිදුවන බව, සමස්ත සමාජයේ ම පැවැත්මට බරපතළ හානියක් සිදුවන බව උන්වහන්සේ පෙන්වා දුන් සේක.
මේ නිසා පුද්ගලයා භෞතික දියුණුව සොයා යන ගමනේ දී අධ්‍යාත්මික පරිහානියට හේතු වන, රාගය, ද්වේශය, මෝහය මත පදනම් වූ ධනෝපායන ක්‍රම අනුගමනය නොකළ යුතු බව පෙන්වා දුන්හ. බුදු දහම අනුව යමින් දියුණුව සොයා යන ගිහියකු ලෙස ඔබ ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුය.
ගිහියා ගේ දියුණුව, ගෘහස්ථ ජීවිතයෙහි රැකවරණය ස්ථාපිත වීමට නම් සමස්ත ගිහි සමාජය ම ශීලයෙහි පිහිටා සිටිය යුතු ය. ජීවිතයේ ඇතිවන්නා වූ අනේක විධ ගැටලු ශීලයෙහි පිහිටා ම විසඳා ගත යුතු ය.
“ශීලෙ පටිද්දාය නරෝ සපඤ්ඤෝ” ප්‍රඥාවන්තයා සිය ජීවිතය ගෙන යාමේ දී ශීලය එහි පදනම බවට පත්කර ගත යුතු ය. යම් ගිහියකු ප්‍රාණ ඝාතයෙන්, සොරකමින්, කාම මිථ්‍යාචාරයෙන්, මුසාවෙන් තොර වූ ජීවිතයක් තම ගෘහයේ දීත්, රැකී රක්ෂා කටයුතුවල දී ත්, සමාජයීය ජීවිතයේ දී ත් පවත්වා ගත යුතුය. එවන් පුද්ගලයාට නීතියට බියවීමට හෝ දඬුවමට බිය වීමට අවශ්‍ය වන්නේ නැත.
සිල්වත් බවින් යුතුව මෙකී විනය පද්ධතියෙහි පිහිටා සිටින ගිහියාට අපරිමිත වූ නිදහස් සිතිවිලි සහිත මනසක් පවත්වාගෙන යා හැකි ය. එපමණක් ද නොවේ. ඉහත දුෂ්චරිත පහෙන් වියුක්ත වී ජීවිතයේ ගැටලු විසඳනවා නම් එය ඉතා දිගු කාලීන, නිවැරැදි ව ගැටලු විසඳීමේ ක්‍රමවේදයක් වන බව බුදු සමයේ පිළිගැනීමයි. දුසිල්වත්කමින් යම් ප්‍රශ්නයක් නිරාකරණය කරන්නට යන්නේ යැයි සිතමු. එමඟින්, ගැටලුව යටපත් කිරීමක් විනා නිවැරැදි විසඳුමක් ලබා දෙන්නේ නැත.
ගිහි ජීවිතයේ ඇතිවන ගැටලු හෝ ගැටුම් කළමනාකරණයේ දී නම් දුසිරිතෙහි යෙදෙන කෙනකුට වුවද දුසිරිතෙහි පිහිටි යම් ක්‍රමෝපායයන් අනුගමනයෙන් යම් යම් පිළිතුරු ලබා ගත හැකි වීමට පුළුවන.
එහෙත් නිවැරැදි හා සම්පූර්ණයෙන් ම ගැටලු විසඳා ගැනීමට නම් ගිහියා විසින්, ගැටලුව වෙත එළඹීමත්, එය නිරාකරණය කර ගැනීමත් ශීලය මත පිහිටා සිදු කිරීම අනිවාර්ය ය.
ගෘහස්ථ ජීවිතයක් ගෙවන ඕනෑම කෙනකු ස්වකීය ආර්ථිකය සම්පාදනයේ දී මෙන් ම කළමනාකරණයේදී ත් අනුගමනය කළ යුතු ක්‍රමෝපායයන් පිළිබඳ ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තා හ.
විශේෂයෙන් ම දුම්බර කාදික උපමාව භාවිත කරමින් උන්වහන්සේ අවධාරණය කර තිබෙන්නේ දිවුල් අනුභව කරන පුද්ගලයකු විසින් ඒ ගස සියලු අතු ඉති බිඳ දමා දිවුල් කඩා ගත්තේ නම් විනාශ වී යන බව ය. ඒ නිසා ඊළඟ අවස්ථාවේ දිවුල් කඩා ගැනීමට නොහැකි වන බවත් ය. මෙසේ හෙයින් ඉතා සූක්ෂම ව, අවශ්‍ය ප්‍රමාණයට පමණක් ධනය භුක්ති විඳිය යුතු බවට බුදු සමය අවධාරණය කොට ඇත.
එය කිනම් ආකාරයක පරිභෝජනයක් ද?
“බඹරද්දේව ඉරියතෝ”
මලෙහි පෙතිවලට, පැහැයට හානියක් නොකර එයින් රොන් ගන්නා බඹරකු සේ ධන පරිභෝජනයේ දී ස්වකීය හැසිරීම පාලනය කර ගත යුතු ය.
“ඒතේන භෝගේ භුජ්‍යෙය
ද්වීහි කම්මං පයෝජයේ
චතුත්තංච නිධා ප්‍යෙය
ආපදාසු භවිස්සතී”
යන බුදු වදන දෙස අවධානය යොමු කරන්න. තමන් උපයා ගන්නා මුදලින් ප්‍රමාණවත් මුදලක් පරිභෝජනය සඳහා වෙන් කළ යුතු ය. ඊට සාපේක්ෂ ව දෙගුණයක ප්‍රමාණයක්වත් නැවත ආයෝජනය කළ යුතුය.
තවත් එක් කොටසක්, යම් ප්‍රමාණයක් හෝ නිධන් කරමින්, තැන්පත් කරමින් යම් ඉතිරි කිරීමේ ක්‍රම වේදයකට ද ගිහියා පුරුදු පුහුණු විය යුතු ය. ආර්ථික ජීවිතය සකසා ගැනීම බුදු දහමේ පෙන්වා දී ඇති ආකාරය මේ අනුව නිරවුල් ව අවබෝධ කර ගත හැකිය.
බුදු සමය මෙසේ මඟ පෙන්වන්නේ ආර්ථිකය, ගෘහස්ථ ජීවිතයේ සාර්ථකත්වය සහ පරිහානිය තීරණය කරනු ලබන ප්‍රධාන සාධකයක් වන බැවිනි. මහා මංගල සූත්‍රය, වසල සූත්‍රය, පරාභව සූත්‍රය මෙන් ම සිඟාලෝවාද සූත්‍රයේ දී ද ගිහියකු ගේ ජීවිතය ආර්ථික, සමාජයීය හා අධ්‍යාත්මික වශයෙන්, අධ්‍යාපනික වශයෙන් දියුණුව කරා ගෙන යන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව මනා විග්‍රහයක් වේ.
එකී දියුණුව සොයා යන ගමනේ දී තමන් වටා කවරාකාරයේ පරිසරයක් නිර්මාණය කර ගත යුතු ද යන්න පිළිබඳවත්, තමා ගේ සිත, කය, වචනය යම් අරමුණක් කරා ගමන් කිරීමේ දී කවර ලෙසින් පවත්වා ගත යුතු ද යන්න පිළිබඳවත්, ඉතා නිරවුල් මඟ පෙන්වීම් සිදු කර තිබේ.
සාමාජයීය සම්බන්ධතා පිළිබඳ ගැඹුරු අවධානයක් යොමු කරන බුදු සමය ගෘහස්ථ ජීවිතයක් ගත කරන අයකු ගේ සමාජ සම්බන්ධතා වඩාත් යහපත් ලෙස පවත්වා ගත යුතු බවත්, එකිනෙකා වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් ප්‍රමාණයක් ගිහි ජීවිතයෙහි පවතින බවත්, ඒවා මැනවින් හඳුනාගෙන ඒවා පැහැර නොහැර ඉටු කළේ නම් ගෘහස්ථ ජීවිතය වඩාත් සාර්ථක වන ආකාරයත් සිඟාලෝවාද සූත්‍රයේදී විග්‍රහ කර ඇත. එය සිඟාලක නම් වූ ගෘහපති පුත්‍රයාට කරුණු ඉදිරිපත් කරමින් සදිසා නමස්කාරයේ දී පෙන්වා දී තිබේ.
“මාතා පිතා දිශා පුබ්බා
ආචරියා දක්ඛිණා දිශා
පුත්ත දාරා දිශා පච්චා
මිත්ථා මත්තාච උත්තරා
දාස කම්ම කර සෙට්ඨා
උද්ධං ශමණ බ්‍රාහ්මණෝතී” 
යනුවෙන් සමස්ත සමාජය ම කොටස් හයකට බෙදා දක්වමින් එක් එක් කොටස ඊට අදාළ අනෙක් පිරිස වෙත ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් කවරේ ද යන්න පිළිබඳ ව ඉතා පැහැදිලි ව බෙදා දක්වා ඇති ආකාරය සිඟාලෝවාද සූත්‍රයේ දී අවබෝධ කර ගත හැකි ය. එය ගිහි ජීවිතයට අත්‍යවශ්‍ය මඟ පෙන්වීමකි.
ගෘහ ජීවිතය ගෙවීමේ දී පිරිහීම කරා යා හැකි හේතු මොනවාද යන්න පිළිබඳ නිවැරැදි මඟ පෙන්වීමක් පරාභව සූත්‍රයේ දී දැකගත හැකි ය. ගෘහස්ථයා ගේ ජීවිතය සෑම දිනක ම උතුම් මංගල්‍යයක් තරම් සතුටු දායක, පී‍්‍රතිමත් එකක් බවට පත් කර ගැනීම උදෙසා වූ මංගල කරුණු තිස් අටක් පිළිබඳ ව මහා මංගල සූත්‍රයේ දී පෙන්වා දී ඇත. එය අධ්‍යයනය කිරීමේ දී තම ජීවිතය ගෙන යා හැකි අපූරු දැක්මක් ලබා ගැනීමට ගිහියාට හැකියාව ලැබේ.
ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දී ගිහියකුගේ මෙලොව දියුණුවට හේතු වන කරුණු හතරක් හඳුන්වා දී තිබේ.
“උට්ඨාන සම්පදා”
උත්සාහ සම්පත්තිය,
ආරක්ඛ සම්පදා”
අර පිරිමැස්ම,
“කළ්‍යාණ මිත්ථතා”
කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය,
“සමජීවිකතා සම්පදා”
ලෙස පෙන්වා දී ඇත.
ඒ සූත්‍රයේ දී ම පුද්ගලයා ගේ අධ්‍යාත්මික දියුණුව ගොඩනඟා ගැනීම උදෙසා
“ශ්‍රද්ධා සම්පදා”
ශ්‍රද්ධා සම්පත්තිය,
“ශීල සම්පදා”
ශීල සම්පත්තිය,
“ත්‍යාග සම්පදා”
පරිත්‍යාග සම්පත්තිය සහ
“ප්‍රඥා සම්පදා”
ප්‍රඥා සම්පත්තිය ඇති කර ගත යුතු බව අවධාරණය කොට ඇත.
ගෘහ ජීවිතයේ දී කෙනකු වසලයකු වන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව ද හඳුන්වා දී තිබේ. උපතින් කිසිවකු වසලයකු නොවන බවත්, ඔහු හැසිරෙන ආකාරය අනුව වසලයකු වන බවත් පෙන්වා දෙමින් වසල සූත්‍රයේ ගෙන හැර දක්වා ඇති කරුණුවලට අවධානය යොමු කළ යුතු ය.
එවිට ඔබට වඩාත් යහපත් ගිහි ජීවිතයකට ඇවැසි පූර්ණ අවබෝධයක් ලබාගත හැකි වනු ඇත.
මේ ආකාරයට ත්‍රිපිටකගත සූත්‍ර දේශනාවලින් මෙන් ම, ජාතක කතා වැනි අප ගේ ධර්ම සාහිත්‍ය ග්‍රන්ථවලින් ද ගිහි ජීවිතය සාර්ථක කරගත හැකි ඉතා වටිනා සදුපදේශයන් ලබාගත හැකි ය.
පන්සිය පනස් ජාතක පොත, සද්ධර්ම රත්නාවලිය, අමාවතුර, බුත්සරණ වැනි ග්‍රන්ථයක් පරිශීලනය කරන්නා වූ ගිහියාට ස්වකීය ගෘහ ජීවිතය සාදා ගැනීම සඳහා අවශ්‍ය කරන ධාර්මික උපදේශකයන් ලබා ගත හැකි ය. ඒවා මනෝ විද්‍යාත්මකව, ජීව විද්‍යාත්මකව, සමාජ විද්‍යාත්මකව ඉදිරිපත් වී ඇති ආකාරය දැකගත හැකිය.
පොදුවේ විමසා බලන විට බුදු සමය, ගිහි ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා පංච ශීල ප්‍රතිපත්තිය, සතර සංග්‍රහ වස්තු, ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්, සප්ත අපරිහානීය ධර්ම වැනි ශ්‍රේෂ්ඨ මඟ පෙන්වීම් රැසක් පිළිබඳ ව ද විවිධ ස්ථානයන් හි දී අවධාරණය කර ඇත.
බෞද්ධයකු ලෙස ඔබ මෙහි දී අවබෝධ කර ගත යුතු වන්නේ කුමක් ද? බෞද්ධයකු වන මාගේ ගෘහ ජීවිතයේ සාර්ථකත්වය යනු ආර්ථික දියුණුව ම පමණක් නොවන බව ය. ඊට සාපේක්ෂ ව අධ්‍යාත්මික දියුණුවක් ද පැවැතිය යුතු බව ය. එය ඔබ කෙරෙහි පැවැතිය යුතු ශ්‍රේෂ්ඨතම සිතිවිල්ල වන්නේ ය.




The study bases its rankings on data from the Gallup World Poll and takes into account variables such as real GDP per capita, healthy life expectancy, corruption levels and social freedoms.
landmark survey of the state of global happiness. Originating out of a project from Bhutan, a Buddhist kingdom of 700,000 people in the eastern Himalayas whose prime minister, Jigmi Y. Thinley, set out to measure Gross National Happiness.
 Thinley got the United Nations to adopt a 2011 resolution inviting member nations to measure their happiness as a guide to improving public policies.
"Increasingly happiness is considered a proper measure of social progress and goal of public policy," the report says. Adding: "A rapidly increasing number of national and local governments are using happiness data and research in their search for policies that could enable people to live better lives".
According to the SDSN the challenge is to ensure that policies are designed and delivered in ways that enrich the social fabric, and teach the pleasure and power of empathy to current and future generations. “Under the pressures of putting right what is obviously wrong, there is often too little attention paid to building the vital social fabric. Paying greater attention to the levels and sources of subjective wellbeing has helped us to reach these conclusions, and to recommend making and keeping happiness as a central focus for research and practice.”
The report states that at both individual and national levels, all measures of wellbeing, including emotions and life evaluations, are strongly influenced by the quality of the surrounding social norms and institutions. “When these social factors are well-rooted and readily available, communities and nations are more resilient, and even natural disasters can add strength to the community as it comes together in response.”












Tuesday, February 16, 2016

පිළිම නෙළා නැති විරුවන් පිරිසක්

විශාරද නන්දා මාලිනිය                                           මහාචාර්ය සුනිල් ආරියරත්න


සර සිය දහස් ගණනක් මුළුල්ලේ සියලු පාලක පංතීහු ශ්‍රමය වගුරා ජනතාව නිර්දය පීඩනයකට භාජන කළ හ. එබැවින් වහලුන්, ගොවීන්, කාර්මික කම්කරුවන් ආදි සමස්ත ශ්‍රමික ජනයා නිදහස් හා පී‍්‍රති සහගත ජීවිතයක් සඳහා පංති සහිත සමාජයේ ඉතිහාසය පුරා සටන් වැදුණා හ.

”සතුරු පංති සහිත සමාජයේ ඉතිහාසය පංති සටන්වල ඉතිහාසය වන්නේ යැ’යි මාක්ස් හා එංගල්ස් විසින් පෙන්වා දෙන ලදි. පාගන්නා හා ඊට ගොදුරු වන්නා වරෙක සැඟැවී, තවත් වරෙක විවෘත ව කැරෙන අනවරත සටනක නියැලුණා හ. ‘හැම වාරයක දී ම මේ සටන එක්කෝ සමාජය විශාල වශයෙන් වෙනස් කරන විප්ලවයෙකින් හෝ, සටන් කරන පංතිවල පොදු විනාශයෙකින් කෙළවර වූ හ’ යි මාක්ස් හා එංගල්ස් පැවැසූ හ.

එබඳු දේශපාලන අරගලයකට බට ජන පිරිසක ගේ ඛේදාන්තයෙන් ඉක්බිති ඔවුන් ගේ එ හැම සිරුරු සිය ළෙහි මිහිදන් කොට මිහිකත කම්පා වෙමින් ගුගුරා ශපථ කරන්නේ කවරක් ද? පස් කඳු යට රහසේ වැළැලුණ ද මොවුහු ද විරුවෝ වෙති.
ඔවුන් වෙනුවෙන් ප්‍රතිමා ඉදි වී නැත. සැමැරුම් දින ද මේ විරුවන්හට නො වේ. ඉතිහාසයේ නිර්මාපකයන් ලෙස මොවුන් හට සිදු වූයේ සිය කාර්ය භාරය අවසනැ පස් කඳු යට සැතැපීමට ය.

ගීතයේ දෙවැනි භාගයෙහි අපට හමුවන්නේ සමාජීය වශයෙන් ජනතාව මඬින පීඩිත භාවය හමුවේ සිත එකඟ කළ නොහැකි ය යන්න යි.
ආගම ධනවාදයේ විනාශකාරී ප්‍රතිඵල (දිළිඳුකම වැනි) හේතු කොට ගෙන ම පවතින බව මාක්ස්වාදය මඟින් තේරුම් ගත් ඔව්හු, ආගමේ ආධ්‍යාත්මික බන්ධන පුපුරුවා හැර, එකී යුතුකම කියා දෙමින් සටන් වැද මිය ගිය හ. ඔව්හු සිය රුව පවා අප හමුවේ ඉතිරි කොට නොගිය විරුවෝ වෙත්.

සභ්‍යත්වය ඇති වූ දවසේ සිට මේ දක්වා එහි ගාමක බලවේගය වූයේ කෑදරකම හා ධනය යි. එංගල්ස් පැවැසූ පරිදි අශෝභන පෞද්ගලික ධනය සභ්‍යත්වයේ ජංගමශීලි ආධ්‍යාත්මික බලවේගයේ එක ම හා නියත සාධකය යි. පස් කඳු යට සැතැපෙන විරුවෝ මෙකී පෞද්ගලික ධනයට හා ඉසුරට ලෝභයෙන් සටන් වැදුණෝ නො වෙත්. සමාජ සංවර්ධනයේ අවශ්‍යතාව දකිමින් සමාජ ජීවිතය යහපත් කිරීම සඳහා එළැඹුණු සටනෙහි දී මේ විරුවෝ සිය ජීවිතවලින් වන්දි ගෙවූ හ.
මොවුහු ජනතාව අතරින් ම පැන නැඟුණෝ වෙති. ඔවුන් ප්‍රගතියට එරෙහි, දුෂ්ට සැහැසි රැළක් නොවන බව නිර්භය ව පැවැසීම කෘතහස්ත ගීත ප්‍රබන්ධක මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ වෑයම වී ය. ඔව්හූ ප්‍රතිමා මඟින් නිරූපණය නො වූවෝ වෙති.
සිය මළ සිරුරු පවා පොදු ජනයා හමුවේ දර්ශනය වීමට ඉඩ තැබූවෝ නො වෙති. අප හමුවේ නැගී සිටින විරු ප්‍රතිරූප සැබැවින් ම ප්‍රතිගාමී පන්තිවල


අයිතිවාසිකම් වෙනුවෙන් මෙහෙ කළ නායක චරිත සිහි ගන්වයි. ඔවුන් යුගකාරක පුරුෂයන් ලෙස ඇතැම්හු හඳුන්වති. ඊ.එම්. ෆෝස්ටර් නම් ඉංගී‍්‍රසි නවකතාකරුවා පවසන්නේ ‘මම කිසි සේත් මහා පුරුෂයන්, යුගකාරක පුරුෂයන් කෙරෙහි විශ්වාසය නො තබමි’ යි යනුවෙනි. ‘තමා වටා ඒකමතික භාවය නමැති කාන්තාරය ඉදිකරගන්නා ඔව්හු එපමණකින් නොනැවැතී ලේ විලක් ද මවා ගනිති’ යි හේ කියයි.
එහෙත් මේ ගීතයෙන් පැවැසෙන විරුවෝ පුද්ගලාභිවාදනයට ඉඩක් නොතබා සමාජ ජීවිතයේ යහපත සඳහා ම දිවි පිදුවෝ වෙති.

ඔව්හු පස් කඳු යට රහසේ සම සේ අප ගේ පොදු ස්මරණයට යටත් ව හොවින විරු පිරිසක් වෙති. ඔව්හු කිසිදු අභිවාදනයක් අපේක්‍ෂා කරන්නෝ නො වෙති.
මහා ඛේදවාචකයෙකින් අවසන් වූ මේ සටන් වැදීම ත්‍රස්තවාදී හා විනාශකාරී යැ යි ඇඟැවීමට ප්‍රයත්න දරන බහුතරයෙන් අප ගීත ප්‍රබන්ධකයා නිදහස් කෙනෙකි.
තව ද විරුවන් ගේ අගය ගීතයෙහි දැනැවෙන්නේ පිළිම මඟින් ගෞරවයට ලක් නොවන්නන් වීම මඟිනි. සැමැරුම් දින පවා නොමැත්තන් වීම මඟිනි.
සිදු වූ ජනතා අරගල ඇසුරෙහි ජීවිතයෙන් වන්දි ගෙවූවෝ මෙසේ නැඟී සිටි විරුවන් බව සිය පැබැඳුමෙන් එක හෙළා ප්‍රකාශ කිරීමට තරම් නිර්භය රචකයෙක් මේ ගීතය ඇසුරෙහි පෙනී සිටියි.

ජනතාව සිය ප්‍රත්‍යක්‍ෂපූර්ණ අසරණ භාවය හමුවේ නැඟී සිටීම ද ධනය හා යසිසුරු ලැබීම යනාදි අරමුණු කෙරෙන් තොර ඔවුන් ගේ උතුම් ප්‍රතිපත්ති ද පිළිබඳ සංක්‍ෂිප්ත පෙරවදනක් වැන්න මේ ගීතය.
ප්‍රජා පීඩක ධනගැති ක්‍රමය පෙරළා දැමීමට තැත් කරන හැම වාරයක දී ම සභ්‍යත්වය අභාවයට යන බව කී ‘ආනෝල්ඩ් ටොයින්බි’ වැනි දෘෂ්ටිවාදීන්ට එරෙහි රාවයකි සුනිල් ආරියරත්නයන් මෙමඟින් නංවා ඇත්තේ.
මෙබඳු වස්තු විෂයයක් ගීතයෙහි ලා මීට වැඩි සෞන්දර්යාත්මක වාංමාලාවකින් පළ කිරීම අපහසු යැ යි සිතමි. පැබැඳුම වඩාත් හෘදය ගෝචර වන්නේ එහි ගායනය හා සංගීතය ද සමඟ මනාව විඳින කල ය.

මෙරට අග්‍රතම ගායනවේදිනියක වන නන්දා මාලිනිය ගේ ශාන්ත, කරුණ රස සමායුත ගැයුමෙහි ම තිරසර, අකම්පිත විරෝධකල්පී ස්වරයක් අපට හඳුනා ගත හැකි බවයි.
සමස්ත නාදාකෘතියෙන් තීව්‍ර කැරෙන ශෝකාවහ බව කෙරෙන් ම සියුම් ව නැඟෙන ප්‍රගල්භ හඬගා කීමක ප්‍රකම්පනය මේ ගීතය මනා කොට ශ්‍රවණය කරන්නකුට හැඟී යනු නිසැක ය. මෙහි සංගීත නිර්මාපක එච්.එම්. ජයවර්ධනයන් ද ගීතයේ වස්තු විෂයයට සරිලන නාදාත්මක පරිසරයක් නිමවා තිබීම පෙර කී ප්‍රකම්පනය වැඩිකර අනුවේදනයක් දක්වා පුළුල් කිරීමට හේතු වෙයි.


Tuesday, February 9, 2016

ජාතික ක්‍රීඩාවේ ජය කෙළි න0වන අපේම ප්‍රදේශයෙන් බිහි වූ ජාතික පුහුණු කරුවන් සමන් සහ චාලි WITH SARF FINAL




පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් අවසන් සටනට








දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම ශ්‍රී ලංකාවෙන් පිටතදී අවසාන තරඟයට පිවිසෙමින් ප්‍රබල පකිස්තාන කණ්ඩායම වට 3- 1 න් පරාජය කරන්නට සමත් විය.
ප්‍රථම වටය ලකුණු 25 – 17 ක් ලෙස පරාජයට පත් වුව ද ඉන් අනතුරුව තරඟයට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වොලිබෝල් ප්‍රේක්ෂකාගාරයේ දැවැන්ත උද්යෝග කිරීමත් සමඟ ප්‍රදර්ශනාත්මක සටනක නිරත වෙමින් ලකුණු 25 – 23,25 – 22 සහ 25 – 20 ලෙස තරගයේ ජයග්‍රහණය එන්න එන්නම පහසු කර ගත්තේය.

තරඟයෙන් තරඟයට ජයග්‍රහණය සැළසුම් කිරීමත්,තරඟයේදී වටයෙන් වටයට ජයග්‍රහනය සැළසුම් කිරීමත් සිය රටාව බව පැහැදිළි කළ ශ්‍රී ලංකා පුහුණුකරු චාල්ස් කොන්රඩ් තිලකරත්න අවසාන තරඟයේදී ශ්‍රී ලංකා ජයග්‍රහනය වෙනුවෙන් කළ හැකි සියල්ල සැළසුම් කරන බව පැවසීය.පළමු වටයේ පරාජය අමතක කර අවසාන තරඟයේදී ඉන්දියාව පරාජය කිරීම සඳහා පළමු තරඟයේදී සිදු වූ අතපසුවීම් පිලීබදව හොද අධ්‍යයනයකින් සිටින බව පැවසූ කණ්ඩායමේ නායක ජනිත් සුරත් හෙට ඉන්දියාවට එරෙහිව ජයග්‍රහනය සඳහා අත්දැකීම් මෙන්ම තරුණ ජවයෙන් යුත් මිශ්‍ර කණ්ඩායමක් සිටින බව පැවසීය.
හෙට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම මෙන්ම කාන්තා කණ්ඩායම ද රන් පදක්කම සඳහා ඉන්දියානු කණ්ඩායම් වලට එරෙහිව තරඟ වදින අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව දිනේෂා ප්‍රසාදිනී ද ප්‍රකාශ කළේ 1991 න් පසු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දකුණු ආසියාතික රන් පදක්කමක් සඳහා හොඳ සූදානමකින් සිටින බව ප්‍රකාශ කළාය.
සමන් සහ චාලි කිව්වොත් ඉතින් වොලිබෝල් තමා කියනා සේ කලකට පෙර සුදුස්සන්ට සුදුසු ලෙස ලැබුනු තනතුරු කල එළි දක්වමින් දකුනු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජය කෙළි න0වමින් පිරිමි සහ කාන්තා අවසාන මහ තරගයට සුදුසුකම් ලබා ගත්තෝය
මෙම ජාතික පුහුණුකරුවන් අතදැකීම් බහුල,පෘථුල  වොලිබෝල් ක්‍රීඩාවට යමක් කලහැකි දෙදෙන්ක් වන අතර ක්‍රීඩාවක ජයග්‍රහනය සදා නිසැකවම තම දැනුම,තාක්ශනය යොදා ගන්නා බව මාද අත්දැකීමෙන් දනිමි.
එම නිසා ඔවුන් දෙදෙනා ඇගයීම අපට මහත් ආඩම්බරයකි.
තවද මොවුන් දෙදෙනා අප ප්‍රදේශයෙන්ම බිහිවී අපේම පාසලෙ ජයකෙළි නැන්වූ දෙදෙනෙකි
සාෆ් රන් පදක්කමින් ජය න0වන්නට සුබ පතමු










Saturday, February 6, 2016

රියසක සතර මත දිවි ගමන ඉදිරියට ( අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඒකක වග්ගයට ඇතුළත් චක්ක සූත්‍රය ඇසුරින්





අපි හැමදෙනාම ජීවිතයේ යම් යම් අවස්ථාවන්හිදී බලාපොරොත්තු, ඉලක්ක ඇති කර ගනිමු. එහෙත් ඒ සියල්ලම ඒ අයුරින්ම සපුරා ගත නොහැකිය. ඒ පුද්ගල විවිධත්වය හා එකිනෙකාගේ චින්තනයේ ඇති විසමතාව නිසයි. එහෙත් ඇතැම්විට සපුරාගත හැකි අපේක්‍ෂා වුවද සපුරාගත නොහැකිව පසුතැවෙන, අපේක්‍ෂා භංගත්වයට පැමිණ ජීවිත යාත්‍රාව අතරමඟ කඩා බිඳ දමාගන්නා පිරිසක් ද සිටිති. බෞද්ධයකුගේ ජීවිතය එසේ අතරමඟ කඩා හැලෙන්නක් විය නොහැකි ය. ඒ ඔහු බුද්ධිමත්ව කටයුතු කරන්නකු නිසයි. චක්ක සූත්‍රයට අනුව, ජීවන යාත්‍රාවට අවශ්‍ය රෝද සතර නම්, 
සුදුසු ප්‍රදේශයක වාසය, 
ත්‍පුරුෂ ඇසුර, 
තම සිතෙහි පිරිසුදු බව 
 පෙර කරන ලද පින් ඇති බවයි. (පතිරූප දෙසවාසො සප්පුරිසුපස්සයො අත්තසම්මා පනිධි පුබ්බෙ ච කත පුඤ්ඤතා) බුදුදහම පිළිබඳ කතා කරන ඇතැමුන්ගේ මතය මෙය පාර ලෞකික යහපත සඳහා හෙවත් පරලෝ යහපත පිණිස දෙසන ලද්දක් බවයි. මේ මතය වැරැදි බව චක්ක සූත්‍රය මනාව ඔප්පු කරයි. චක්ක සූත්‍රයට ඇතුළත් ව ඇත්තේ කෙනකුගේ මේ ජීවිතය සාර්ථක කර ගැනීමට වුවමනා කරන කරුණු සතරකි. එහි පරලොවක් ගැන කතා නොකෙරේ.
භෞතික හා සමාජීය සබඳතාවලින් තොරව අප කිසිවකුටත් ජීවත් විය නොහැකි ය. 
උපතටත් පෙර සිටම පරිසරය සමඟ සබඳතා පැවැත්වූවත් සෘජු සබඳතාවක් ගොඩනැඟෙන්නේ උපතින් පසුවයි. මරණය දක්වාම මේ පාරිසරික බැඳීම පවත්නා සේම අවශ්‍ය ද වෙයි.
 සිදුහත් තාපසතුමෝ විමුක්තිය සොයා යන ගමනේ දී නේරංජනා ගඟ චමත්කාර ලෙස ගලායන ආකාරය දුටහ. තවත් පසෙකින් වෘක්‍ෂ ලතාවන්ගෙන් සැදුම් ලත් නිසල පරිසරයත් ඊට නුදුරින් වූ ගොදුරු ගමත් දැක, බවුන් වඩන්නට එම පරිසරය ඉතාම යෝග්‍ය බව වටහා ගත්හ. එහි නැවතුණි. ගයා ශීර්ෂයේ වැඩ සිටිමින් තම අභිමතාර්ථය සපුරා ගත්හ. පුද්ගල අපේක්‍ෂාවන් සපුරා ගැනීමට, පරිසරයෙන් ලැබෙන සහාය පෙන්වාදීමට තවත් උදාහරණ අවශ්‍ය නොවේ. මංගල සූත්‍රයේ, ‘පතිරූප දේසවාසෝ ච’ යනුවෙන් එය මංගල කරුණක් ලෙස දක්වා ඇත්තේ ද එනිසයි. එහෙත් සෑම කෙනකුටම තමන් බලාපොරොත්තු වන පරිසරයක ජීවත් වන්නට නොලැබේ. එසේ වුවත් කැපවීම, උනන්දුව හා බුද්ධිය ඇත්නම් අයෝග්‍ය පරිසරයක් වුවත් යෝග්‍ය කරගත හැකි ය. ඒ බව මන්තානි පුත්ත තිස්ස තෙරුන්ගේ කතාව අපට කියාදෙයි. මන්තානි පුත්ත තිස්ස තෙරුන් බුදුරදුන් හමුවට යන්නේ භාවනාව සඳහා පිටත්ව යෑම පිණිස කමටහන් ලබා ගැනීමටයි. තමන් ඒ සඳහා සුනාපරන්තයට යෑමට අදහස් කරන බව ප්‍රකාශ කරයි. එවිට බුදුරජාණන් වහන්සේ සුනාපරන්තයේ වැසියන් එවැනි දේට අකැමැති, රළු අදහස් ඇති දරුණු පිරිසක් බව පවසා ඔවුන්ගෙන් දොස් පරොස් ඇසීමට සිදුවනු ඇතැයි වදාළ සේක. එහෙම වුණොත් ඔවුන් මට බැණ වැදුනා විතරයි පහර දුන්නේ නැතැයි සිතා තමන් හිත හදා ගන්නා බව තිස්ස හාමුදුරුවන්ගේ පිළිතුර විය. ‘හොඳයි, අතින් පයින් ගැහුවොත්? යැ’යි යළි ප්‍රශ්න කළ විට තිස්ස හිමියන්ගේ පිළිතුර වූයේ, ඔවුන් මට අතින් පයින් තැලුවත්, දඩු මුඟුරු ආදියෙන් පහර දුන්නේ නැතැයි හිත හදා ගන්නා බවයි. තිස්ස හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න රාශියක් විමසීමෙන් පසු උන්වහන්සේ ඊට ලබාදුන් පිළිතුරුවලින් සෑහීමට පත් බුදුරජාණන් වහන්සේ තිස්ස සුනාපරන්තයටම යා යුතුයැයි පිටත් කරන්නේ උන්වහන්සේට රුදුරු පරිසරය වුව ද ජය ගැනීමට හැකියාවක් තිබූ නිසයි. අපට ලැබී ඇති පරිසරයේ ඇති සියලු බාධක හඳුනාගෙන ඒවාට අවශ්‍ය පිළියම් බුද්ධිමත්ව සිතා තමන්ට යොදා ගත හැකි නම්, ඕනෑම පරිසරයක ජීවත් විය හැකියි.
ජීවිත වාහනය පැදවීමට වුවමනා දෙවෙනි රෝදය නම් සද්පුරුෂ ඇසුරයි. මේ ලෝකයේ ජීවත්වන සැවොම සද්පුරුෂ හෝ අසද්පුරුෂ යන දෙකොටසට අයත් වෙති. ගැටලුවකට ඇත්තේ වෙන් වෙන්ව හඳුනා ගැනීමට නොහැකියාවයි. බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල දී සද්පුරුෂ හා අසද්පුරුෂ ලක්‍ෂණ පෙන්වා දී ඇත්තේ ද පුද්ගලයන් හඳුනා ගැනීමේ පහසුවටයි. අංගුත්තර නිකාය සප්පුරිස සූත්‍රයෙහි, සද්පුරුෂ ලක්‍ෂණ පහක් ඉදිරිපත් කෙරේ. ඒ මෙසේයි.’ඉධ භික්ඛවෙ එකව්වො පුරිසො පාණාතිපාතා පටි විරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො, මුසාවාදා පටිවිරතො, සුරාමෙරය මජ්ඣපමා දට්ඨානා පටිවිරතො අයං වුච්චති භික්ඛවෙ සප්පුරිසො’
තමන්ටත් අනුනටත් හිරිහැර වෙන, පව්කාර සිතිවිලි ඇති කරගෙන පස් පව්වල යෙදෙන්නන් අසත්‍පුරුෂයන් බව මෙයින් පෙනෙයි. තමන් දුසිරිතෙහි යෙදෙමින් අන් අයද දුසිරිතයට යොදවා ගැනීම අසත්‍පුරුෂයාගේ ලක්‍ෂණයයි. කෙනකුගේ සත්‍පුරුෂකම හෝ අසත්‍පුරුෂකම වෙනත් කෙනකුට දැනෙන්නේ ඒ තැනැත්තාගේ හැසිරීම තුළින් හෝ කතාවෙනි. අසත්‍පුරුෂ ගති ඇති මව්පියන් ජීවත්වෙන නිවෙසක හැදෙන වැඩෙන දරුවන් තුළ ද බොහෝවිට අසත්‍පුරුෂ ලක්‍ෂණ රෝපණය වෙයි. ළදරු හා ළමා අවධියේ දී දරුවන් ඉගෙන ගන්නේ අනුකරණයෙනි. ඒ සඳහා භාවිත කරන්නේ තම ඇස හා කනයි. ඇසට දකින දේ තුළින් හා කනට ඇසෙන දේ තුළින් ඉගෙන ගනී. කුඩා අවධියේ සිටම අසත්‍පුරුෂ හැසිරීම් දරුවන්ගේ ඇස ගැටීම නිසාම ඔවුන් තුළ ඒවා රෝපණය වෙයි. බාලයන්ගේ ඇසුර අත්හළ යුතු බවත් පණ්ඩිතයන්ගේ ඇසුර ලැබීමට කැමැති විය යුතු බවත් බුදුරදුන් වදාළේ, ජීවිත කාලකණ්ණි තත්ත්වයට ඇද දමා විනාශ කරලීමටත්, උසස් මට්ටමට නංවාලන්නටත් පුද්ගල ඇසුර දැඩි බලපෑමක් සිදු කරන නිසයි. පියවරුන් දුසිරිතට ඇබ්බැහි වීම නිසා ආර්ථික වශයෙන් ප්‍රපාතයට ඇද වැටුණු, නීරෝගීකමෙන් පිරිහුණු, නොයෙකුත් ප්‍රශ්න ගැටලුවලින් පිරුණු පවුල් සංස්ථා වැඩි වෙමින් පවතී. ගැටුම්, ආරවුල් මෙන්ම මිනිස් ඝාතන හා සිය දිවි නසා ගැනීම් ද වැඩි වෙමින් පවතී. සමාජයක මෙවැනි තත්ත්වයක් ගොඩනැඟීමට අසද්පුරුෂ ඇසුර ප්‍රබල බලපෑමක් ඇති කරවයි. අසද්පුරුෂයා තමන් වරදෙහි නිරත වන අතර අනෙක් අයද වරදෙහි යොදවා ගැනීම ඉතා භයානක තත්ත්වයකි.
කායික වාචසික සංවරයෙන් කටයුතු කිරීම ‘අත්ත සම්මා පණිධි’ යනුවෙන් දක්වා තිබේ. ඒ තෙවැනි රෝදයයි. සාමාන්‍යයෙන් පුහුදුන් තැනැත්තන්ගේ ස්වභාව තමනට අහිත පිණිස පවතින දුක් කරදර ගෙන දෙන කටයුතුවල පහසුවෙන් යෙදීමත්, යහපත පිණිස අභිවෘද්ධිය පිණිස හේතුවන වැඩවල අපහසුවෙන් නිරතවීමත් ය.

සත්ව ලෝකයේ මිනිසාට උසස් තැනක් හිමිවන්නේ සෙසු කිසිදු සත්වයකුටවත් හිමි නොවන අතිශ්‍රේෂ්ඨ සිතක් මිනිසා සතු වීම නිසයි. තිරිසනාගේ ස්වභාව සිතෙන දේ සිතුණු තැනදි කිරීමයි. අප හුරු විය යුත්තේ සිතෙන දේ කිරීමට නොව සිතා මතා කටයුතු කිරීමටයි. එය පහසු කටයුත්තක් නොවේ. කුළු හරකකු මෙල්ල කිරීමටත් වඩා අපහසු බවයි. බුදුවදනෙහි දැක්වෙන්නේ. ආත්ම දමනයෙන් තොර තැනැත්තා අර්ථවත් දේ තෝරා ගත නොහැකි, තමා කළ යුතු හා නොකළ යුතු දේ වෙන් කොට හඳුනා ගැනීමට අසමත් වූවෙකි. එමෙන්ම පිළිවෙළකට යමක් කිරීමට ද ඔහුට නොහැකිය. වත්මන් සමාජයේ බහුතරයකගේ ජීවිත අඳුරු ආගාධයට ඇද වැටී ඇත්තේ ආත්ම දමනය නැතිකම නිසයි. ඇස, කන, දිව, නාසය වැනි ඉඳුරන් අසීමිත ලෙස පිනවීමෙහි නිරත වන බැවින්, මිනිස් තිරිසනුන්, මිනිස් ප්‍රේතයන් ලෙස සමහරු හැසිරෙති. ඔවුහු තම දේහය පමණක් නොව සමාජ දේහය ද විනාශය කරා පමුණුවති.
බුදුන් දවස ජීවිතය අවුල් කරගෙන සිටි බොහෝ දෙනා බුදුරදුන්ගේ මඟ පෙන්වීමෙන් ජීවන යාත්‍රාව නිවැරැදි මාවතට යොමු කරගෙන, සසර ගමන නිමා කළේ ආත්ම දමනයෙනි. ජීවිතය අවුල් කරගත් බාහිය තෙරුනට බුදුරදුන් විසින් දෙන ලද උපදේශය උදාන පාලියේ මෙසේ දැක්වෙයි.
‘බාහිය, ඔබ මෙසේ හික්මිය යුතුය, යමක් දකින්නේ හුදු දක්නා ලද්දක් ලෙස සැලකිය යුතු ය. යමක් අසන ලද්දේ හුදු අසන ලද්දක් ලෙස සැලකිය යුතු ය. යමක් සිතන ලද්දේ හුදු සිතන ලද්දක් සේ සැලකිය යුතු ය.’ ඉන්ද්‍රිය ශික්‍ෂණයක් අපේක්‍ෂා කරන්නා අරමුණ ඉන්ද්‍රිය සමඟ ගැටුණු විගස විඤ්ඤාණය මෙහෙයවා කටයුතු කිරීමට හුරුවක් ලද යුතු බව එයින් පැහැදිලි වෙයි.
සිව්වැනි රෝදය ලෙස දැක්වෙන්නේ, පෙර කරන ලද පින් ඇති බවයි. උපතට මෙන්ම උපතින් පසු ජීවිතය පවත්වාගෙන යාමේදීත් සත්වයාට පෙර කරන ලද කර්ම ශක්තියේ බලපෑම ලැබෙන බව බෞද්ධ ඉගැන්වීමයි. කම්ම දායාදා, කම්ම යෝනි, කම්ම බන්ධු, කම්ම පටිසරණො යන බුදුවදන් තුළින් පැහැදිලි වන්නේ කිසිවකුටත් කර්මයෙන් ගැලවී සිටිය නොහැකි බවයි. උපතේදීම ඇතැමුන් පව් කරගහගෙන පැමිණීම නිසා පවුලේ අනෙක් සාමාජිකයන්ට ද ඉඩ කඩම් විකුණා දැමීම, අනපේක්‍ෂිත ලෙස රැකියා අහිමිවීම, තිබෙන වස්තුව නැතිව යෑම, ලෙඩ රෝගවලට ගොදුරුවීම වැනි කරදරවලට මුහුණ පෑමට සිදුවෙයි. එහෙත් කුසල කර්ම ශක්තීන් ඇතිව උපදින දරුවන් නිසා ඔහුත් පවුලත් ගමත් රටත් බබළයි. මොහොතක් සිහි නුවණින් විමසා බලන්න. මගේ ජීවන යාත්‍රාවේ යථෝක්ත රෝද සතර ශක්ති සම්පන්නද? පිළිසකර කළ යුතු දුර්වලතා නැද්ද? මෙලෙස නුවණින් පිරික්සා බලා ඌණතා ඇත්නම් එය හඳුනා ගෙන ඊට පිළියම් වහ වහා යොදා ගැනීම තුළින් සාර්ථක ගමනක නිමාවක් කරා ජීවන යාත්‍රාව පදවාගෙන යා හැකි ය. එය ජීවන ගමනේ ජයග්‍රහණයයි




Wednesday, February 3, 2016

පළමුවැනි නිදහස් උත්සවය ආවර්ජනය කරයි ( 1815 -1948 )

ගමැතිවරුන් නවදෙනකු සඳහා නිදහස් දින කතා සැකසූ බ්‍රැඩ්මන් වීරකෝන්



























නිදහස ඉතාමත් උත්කර්ෂවත් ලෙස සැමරීම අගමැති ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රමුඛත්වයෙන් එවකට පැවැති රජයට අවශ්‍ය විය.

උත්සවය පැවැත්වීමට තීරණය වූයේ දැනට නිදහස් මන්දිරය පිහිටි ස්ථානයේය. එවකට එය හිස් භූමියක් විය. තුරඟ තරග සමාජයට අයත්ව තිබූ එම බිම් කොටස රුපියල් පන් ලක්ෂයක මුදලට රජය මිලදී ගෙන තිබුණේ ඊට ඉතාමත් සමීප කාලයකදීය.
පිට්ටනියක් වූ එම භූමියෙහි උත්සව සභාව පැවැත්වීම සඳහා තාවකාලික ගොඩනැඟිල්ලක් ඉඳිකිරීම අවශ්‍ය විය. එහි බාහිර සැරසිලි අපේ පුරාණ චිත්‍ර හා මූර්ති සම්ප්‍රදාය අනුව නිර්මාණය කළ යුතු විය.
ඉඳිකිරීම් කටයුතු බාර වූයේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවටය. තාවකාලිකව ඉඳිකළ නිදහස් මන්දිරයේ සැරසිලි හා බාහිර අලංකරණ කටයුතු බාර වූයේ එකල ටෙක්නිකල් කොලිජිය යනුවෙන් හැඳින්වූ රජයේ කලායතනයේ චිත්‍ර උපදේශක ජේ.ඩී.ඒ. පෙරේරා මහතාටය.
එකල ඔහුගේ ගෝලයකු වූ කලාසූරී එස්.පී. චාර්ල්ස් මහතා ඇතුළු කීපදෙනෙක් ම අලංකරණ කටයුතුවලට සහායවීම සඳහා පැමිණ සිටියහ. එම අවස්ථාවේ ලද අත්දැකීමක් පිළිබඳව ඔහු 1999 සැප්තැම්බර් මස 20 වැනි දින දිවයින පුවත්පතට මෙසේ පවසා තිබුණි.

“මුල්ම නිදහස් සමරු උත්සවය තිබ්බේ අද ඔය නිදහස් චතුරශ්‍රයේ තියෙන තැනට ඉස්සරහ පිට්ටනියේ. නිදහස් උත්සවය තියන්න නිදහස් මන්දිරයක් එහෙමත් හැදුවා. නිදහස් මන්දිරයට ඉස්සරහ දෙපැත්තේ මකර තොරණ දෙකකුත් හරි ගැස්සුවා. ඔය නිදහස් මන්දිරයේ වැඩ කටයුතු බාරව හිටිය ප්‍රධාන ඉංජිනේරුවරයා දෙමළ කෙනෙක්.
එච්.ආර්. ප්‍රේමරත්න තමයි දෙවැනියා විදියට හිටියෙ. ඉතින් අර මකර තොරණ ගෙනැල්ලා නිදහස් මන්දිරයේ හයි කළොත් ඒකෙ බරට නිදහස් මන්දිරය කඩන් වැටිලා රාජ්‍ය නායකයන්ටත් අනතුරු සිද්ධවෙයි කියලා ප්‍රධාන ඉංජිනේරුවා කිව්වා. ඒ නිසා එයා කිව්වා ඔය මකර තොරණ එතැන හයි කරන්න එපාය කියලා.
ඔතැන ඔය වෙලාවෙ සෝලියස් මැන්දිස් එහෙමත් හිටියා. “ආ... ඕක ඉතින් මම පිදුරුවලින් හරි ගස්සලා දෙන්නම්කො” කියලා. මම නම් හිතන්නෙ එදා සෝලියස් මැන්දිස් කළේ ලොකුම උපහාසයක් කියලයි.

කොහොම වුණත් අන්තිමට සෝලියස් මැන්දිස් පිදුරුවලින් හරිම අපූරුවට මකර තොරණ දෙකක් හැදුවා නෙවැ. පිදුරුවලින් හැදුවට ඕන කෙනෙකුට ඒ තොරනේ සියුම් වැඩ දැක්කම පේන්නේ සිමෙන්ති බදාමවලින් හදලා කියලයි. ඔන්න ඔහොමයි සෝලියස් මැන්දිස්ගෙ වැඩ. ඔය මකර තොරණ යට මුරගල් දෙකකුත් තිබුණා. අපි ඔය මුරගල්වල අච්චු ඒ විදියට ම ගන්න, අනුරාධපුරයට ගිහිල්ලා සතියක් විතර නැවතිලා හිටියා.”
පාර්ලිමේන්තුවේ සෙංකෝලය, සෙනෙට් මංඩල ලාංඡනය, 1974 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ නිල මුද්‍රාව ආදි ඓතිහාසික නිර්මාණ රාශියක් බිහිකර ඇති කලාසූරී එස්.පී. චාර්ල්ස් මහතා වැඩිදුරටත් පවසා තිබුණේ, අනුරාධපුරය ථූපාරාමයේ මුරගල්වල අනුරූ එසේ පළමු නිදහස් දින උත්සවයේ ප්‍රෞඩත්වය වැඩි කර ගැනීම සඳහා එසේ එක්කරගත් බවය.
එක්දහස් නවසිය පනස් හතරේ සිවිල් සේවයට එකතු වී 2004 අප්‍රියෙල් මාසයේ විශ්‍රාම යන විට ශ්‍රී ලංකාවේ අගමැතිවරුන් නව දෙනෙකුගේ ලේකම්වරයා වශයෙන් ඔවුන්ගේ ප්‍රධාන උපදේශකයා වශයෙන් කටයුතු කළ බ්‍රැඩ්මන් වීර‍කෝන් මහතා ලංකාවට නිදහස ලබන කාලයේ දහ අට හැවිරිදි තරුණයෙකි.

“මට හොඳට මතකයි අපේ පළමු නිදහස් දින උත්සවය. ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ විශ්ව විද්‍යාල ප්‍රවේශ පන්තියෙයි මම එතකොට ඉගෙන ගනිමින් හිටියෙ. මගෙ පියා පොලිස් පරීක්ෂකවරයෙක්. ඒ කාලෙ අපි හිටියෙ ගල්කිස්සෙ හෝටලය පාරේ නිවසක” බ්‍රැඩ්මන් වීරකෝන් මහතා ප්‍රථම නිදහස් දින උත්සවයට සහභාගිවීම පිළිබඳව පැවසීමට වට පිටාව සකස්කර ගත්තේ එසේය.
එකල ඔහු ඉගෙනුම ලැබූ විෂයන් අතරට දේශපාලන විද්‍යාව ද එක් විෂයක් විය.
“දේශපාලන විද්‍යාව විෂයක් විදියට විශ්ව විද්‍යාල ප්‍රවේශයට ඉගන ගන්න ශිෂ්‍යයකුට තමන්ගෙ රටට නිදහස ලැබීම පිළිබඳ ප්‍රථම නිල උත්සවයේ වටිනාකම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ” බ්‍රැඩ්මන්ගේ එම සිතුවිල්ල නිසා තවත් යහළුවන් තිදෙනෙකු සමඟ ගල්කිස්සේ සිට ටොරින්ටන් චතුරස්‍රයට උදෑසන හතයි තිහට පමණ පැමිණියේය.
උත්සවය සඳහා තාවකාලික ශාලාවක් ඉඳිකර තිබුණි.



“එම ගොඩනැඟිල්ලෙ ඉස්සරහම තරමක උස වේදිකාවක් ඉඳිකරලා තිබුණා. වේදිකාවෙ කැපී පෙනෙන ස්ථාන දෙකක දැවැන්ත ඇත් දත් ජෝඩු තුනක් රඳවලා තිබුණා. මට මතක විදියට වේදිකාව සුදු පැහැති පලසක් අතුරලා තිබුණා. අමුත්තන් වේදිකාවට ගොඩවෙන පඩි පෙළට රතු පලසක් එළා තිබුණා” වසර හැටහයකට පෙර අතීත තොරතුරු බ්‍රැඩ්මන් වීරකෝන් මහතා එකින් එක මතකයට නඟා ගැනීමට උත්සහයක යෙදෙයි.
ශ්‍රී ලංකාවට නිදහස ප්‍රදානය කිරීමේ උත්සවයට බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කිරීම සදහා පැමිණ සිටියේ ග්ලෝස්ටර්හි ආදිපාද හෙන්රි කුමරු සහ එම ආර්යාවය.





බ්‍රැඩ්මන් වීරකෝන් මහතා පවසන ලෙස අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා සම්පූර්ණ යුරෝපීය ඇඳුමෙන් සැරසී සිටියේය. “කළුපාට පසු බිමේ රත්තරන් පාට ඉරි තියෙන සූට් එක. ලෝන් ටේල් කෝට් එක ඇඳලා ටොප් හැට් එක දාල දි‍ලිසෙන සපත්තු දාලා සුද්දෙකුටත් වඩා සුද්දෙක්වගේ,’ බ්‍රැඩ්මන් වීරකෝන් මහතාගේ මුවඟට උපහාසාත්මක සිනහවක් නැඟුණාසේ විය.
ලංකාවේ එවකට ආණ්ඩුකාරයාවූ සර් හෙන්රි මුවර් සහ ඔහුගේ බිරිය ද ප්‍රධාන ආරාධිතයෝ අතර වූහ. එතෙක් ආණ්ඩුකාරයා ලෙස හැඳින්වුණ සර් හෙන්රි මුවර් ගේ නිල නාමය නිදහස ලැබීමෙන් පසු අග්‍රාණ්ඩුකාරයා ලෙස වෙනස් විය.
බ්‍රැඩ්මන් වීරකෝන් මහතා පවසන ලෙස එදින උත්සව සභාවේ ප්‍රධාන ආරාධිතයින් ශ්‍රී ලංකාවේ සියලුම ආගම්, ජාතීන්, සංස්කෘතීන් නියෝජනය කරන්නක් විය. උඩරට - පහතරට, සිංහල, ද්‍රවිඩ, බර්ගර්, මැලේ, බෞද්ධ, කතෝලික, හින්දු මහමත් සියලුම ආගමිකයන්ගේ නියෝජනයක් එම ප්‍රභූන් අතර විය. ජී.ජේ. පොන්නම්බලම්, අරුණාචලම් රාමනාදන් සහ ටී.බී. ජයා ඇතුළු විවිධ ජාතීන්ට අයත් ජන නායකයෝ ද එහි වූහ.
“උත්සවය පවත්තපු මන්දිරයෙන් පිටත ස්ටෑන්ඩ් එකක බ්‍රිතාන්‍ය ජාතික කොඩිය ඔසවලා තිබුණා. ඒ අසලම අපේ සිංහ කොඩියත් තිබුණා. ග්ලෝස්ටර් ආදිපාදවරයා බ්‍රිතාන්‍ය ජාතික කොඩිය පහතට දැම්මා. ඩී.එස්. සේනානායක මහතා සිංහ කොඩිය එසෙව්වා.” නිදහස ලැබීම පිළිබඳව සංකේතාත්මක ක්‍රියාදාමය බ්‍රැඩ්මන් වීරකෝන් මහතා එසේ විස්තර කළේය.
ප්‍රථම නිදහස් දින උත්සවයේදි බ්‍රිතාන්‍ය නියෝජනය කරමින් ග්ලෝස්ටර්හි ආදිපාදවරයා කථා කළේය.
න්‍යාය පත්‍රය අනුව ඊළඟ කථාව යෙදී තිබුණේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක වරයාටය. ඔහු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාය. ඔහු එවකට ඩී.එස්. සේනානායක රජයේ නියෝජ්‍ය නායකයා මෙන් ම සෞඛ්‍ය හා පළාත් පාලන ඇමැතිවරයා ද විය.
“ඉංග්‍රීසීන්ගෙන් අප ලබා ගත්තෙ ව්‍යවස්ථාදායක නිදහසක්. මේ අපිට ලැබුණු අලුත් නිදහස සාර්ථක වෙන්නෙ මහජනයාට නිදහස ලැබුණොත් විතරයි. කරුණු හතරක් පිළිබඳව මහජනයාට නිදහස ලැබෙන්න ඕනැ. එහෙම නැතිනම් නිදහස යන්න හුදු දේශපාලන සංකල්පයක් පමණක් වේවි.
මහජනතාව සම්පූර්ණ නිදහස් සුවය ලබන්න නම් අවිද්‍යාවෙන් නිදහස් වෙන්න ඕන. අයහපත් සෞඛ්‍ය තත්වයෙන් නිදහස් වෙන්න ඕනෙ. දරිද්‍රතාවයෙන් නිදහස් වෙන්න ඕනෙ. බයෙන් නිදහස් වෙන්න ඕනෙ.” පළමු නිදහස් දින උත්සවයේ දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බංඩාරනායක මහතාගේ කථාවේ ඇතුළත් වූයේ එම අදහස්ය. එය විනාඩි දොළහක පමණ දීර්ඝ කතාවක් විය.
බ්‍රැඩ්මන් වීරකෝන් මහතා පවසන්නේ බණ්ඩාරනායක මහතාගේ එම කථාව ජීවිත කාලය පුරාම රැව් පිළිරැව් දුන් බවය. රජයේ පරිපාලන සේවයට එකතු වූ පසු එය ඔහුගේ මූලික දර්ශනය බවට පත්කරගත් බවය.







“කොහොම හරි අගමැතිවරුන් නම දෙනෙක් වෙනුවෙන් ඔවුන් නිදහස් දින කළ යුතු කථා සකස් කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ හැම අවස්ථාවකම එදා ප්‍රථම නිදහස් දිනය දා බණ්ඩාරනායක මහතා කළ කථාවේ දර්ශනය ඒ කතාවලට එකතු කළා.” අගමැතිවරුන් නම දෙනෙකුට ලේකම්වරයා පවසන්නේ එක්තරා තෘප්තිමත් වූ ආකාරයකිනි.
හතළිස් අටේ පළමු නිදහස් දින උත්සවයේදී ගායනා වූයේ පී.බී. ඉලංගසිංහ විසින් රචනා කර ලයනල් එදිරිසිංහ සංගීතවත් කළ “ශ්‍රී ලංකා මාතෘ, පාලා යස මහිමා ජය ජය...” යන ජාතික ගීතය විය. නමුත් එම ජාතික ගීතය එදිනට පමණක් සීමා විය.

ජාතික ගීතයක් තෝරා ගැනීම සඳහා පැවැත්වුණු තරගයේ පී.බී. ඉලංගසිංහ සහ ලයනල් එදිරිසිංහ විනිශ්චය මණ්ඩලයේ සිට එම ගීතය පළමු තැනට තේරීම බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් විය.
එනිසා ආනන්ද සමරකෝන් පද රචනා කර සංගීතවත් කර ස්වර්ණ ද සිල්වා ගායනා කර තිබූ දේශාභිමාන ගීතයක් වූ “නමෝ නමෝ මාතා” ජාතික ගීතය වශයෙන් පිළිගෙන 1949 දෙවැනි නිදහස් දින උත්සවයේ ගායනා විය.
ප්‍රථම නිදහස් දින උත්සවයේ තවත් විශේෂාංගයක් වූයේ ඉංග්‍රීසීන්ට වසර 133 ක් යටත්ව සිට නිදහස ලැබීම සංකේතවත් කිරීමට පරවියන් 133 ක් නිදහස් කිරීමය. එසේම ලංකාවේ සතර දිග් භාගයෙන් තරුණයෝ සතර දෙනෙක් නිදහස් ලියවිල්ල ලියැවුණු පුස්කොළ හතරක් රැගෙන විත් උත්සව මන්දිරයේ මැද තිබූ පෙට්ටියක තැන්පත් කළෝය.


මෙසේ පැමිණි එක් අයෙක් පසුකලෙක රටේ විදේශ ඇමැති වූ ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාය. එම පුස්කොළ හතර ඇතුළත් මංජුසාව පසු කාලයක ඉඳිකළ නිදහස් මන්දිරයේ තැන්පත් කරන ලදී. අදත් ඒවා එහි නිරුපද්‍රිතව ඇත.

Tuesday, February 2, 2016

නිදහසක් කියා නැත දෙයක්





මනුසත් දෙරණ මත ඉපදී මිනිස් වෙසින් කවි ගී ගයයි මලවුන් එන තුරා මතින් නිදහසක් ඇතිය කියලා අනබෙර තැලුවාට ඉතින් අපට නැත තවම නිදහස ලැබිල අපෙන්
බටහිරටම ආවඩනා සිංහල පුත්තු අපට රටක් ඇත කියලා කියයි සිතු මාරකයෙන් මිදී නැත තව අප මිතුරු හිතාපන් එගැන මොහොතක් මගෙ මිතුරූ
ජාතියක් නැත තවම සිංහල කීවාට කලවම් වෙලා හැම තැන දෙස බස යසට මලගම අද හෙටම ඒවිය පිය මිතුර හිතපන් ටිකක් අප කෙලෙසද නෙතු පියනු
රකිමින් දෙරණ සිටි මිනිසුන් නිහඩ වෙලා ඒ අය ඇයිද මේ ලෙස අද කලකිරිලා දේශපාලනය අද හැම තැන රජ වීලා කෙදිනද පොත පතට එක තැන දෙන්නෙ අපා
ජාතික ආලේ කියලා තෙලෙබනුවෙන් දෙඩුවාට ජාතික හොරුන් වේ සමහර මැතිලාද රට හැදි ගෑවිලා යන දා ඔවුන් නැත කටක් අරින්නේ මිතුරේ කිසිදාක
රැවටී අප සැවොම අද එක තැනට වෙලා හිටියොත් මතු පරපුරක් නොසදා අලස වෙලා ඒරොප්පෙන් ඇවිත් රට අලු දූවිලි කරලා අපේ රට අරන් යයි නැවතත් තිබු තැනටා
ජාතික ධජය නොඑසෙව්වට කමක් නැත රටට වැඩක් ඇති ලෙස කල් ගෙවනු මැන ආසිරි බලය තුනුරුවනේ ලැබෙනු ඇත මේ කවි ලියන මම ගුරුගොඩ සිරිවිමල