Tuesday, June 28, 2016

අහිමි ළමා වයස







පුවක් පට්ටෙ ඉන්දාගෙන
පුංචි මාව බිම දිගේ ම
අස්ව කරත්තේ යනවයි
ඔයා ඇද්ද හැටි මතකද

කොස් කොළයෙන් ඔටුනු හදා
මගේ හිසේ ඒක දමා
ඕලු මලේ දිග නැට්ටෙන්
හදපු මාලෙ ගෙලේ දමා
මං රජ බිසවයි කී හැටි
ඔයාට දැන් මතක නැද්ද

හරි අපූරු පුංචි කාලෙ
කරපු අහිංසක සෙල්ලම්
දැන් කොහොමත් කරන්න බෑ
අප හිරවී තහංචි මැද
ලොකු උණාද මොන එහෙකට

Saturday, June 25, 2016

මෙගා පවුල







කලින් කා පිහා
පෙරැත්තකොට නින්දට යවා දූ දරු
හරි බරි ගැසී
එක ම සැටියේ දෙපස හිඳගෙන
පෙර දිනෙක බුදින ලද
ඇඹුලක රසට දත් හිරිවැටුණු සේ
උණුන් මූණු සඟවා
රස රසෙහි ගිලී
පෙමාතුර කතා... පවුල් හුටපට
බිඳෙන බැඳෙන
බැඳී බිඳෙන
ලට පට අනුන්ගේ...
මොහොතින් මොහොත
චැනලයෙන් චැනලය මාරු කරමින
අඩුවක් නැතිව හැම
නරඹා රෑ මැදියම ද වනතුරු
එක ම යහනේ
දෙපසට හැරී වැටේ නින්දට
නොඑයි නින්ද...
හෙට කුමක්වේද?

Wednesday, June 22, 2016

අරුණ සෙඳිරිය




විහඟ තුඩකින් ගිලිහෙණ
මිහිරි කූජන අහුලන
ගීයකට නංවා
මල්වල ලියති බිඟුකැළ

බඹර මියැසිය කොපිකොට
හෙමි හෙමින් එන මදනල
තුරු ගොමුවලට මුමුණයි
අමයුරු මියුරු කවියක්

රෑ සඳවතිය දුටු
බිලිඳුන්ගෙ මුව හසරැලි
අසිරිය මල් කැකුළු වෙත
පවරා ගිහින් හෙමිහිට

පැළපත ගොයමෙ දැඟලිලි
සුළඟ ඇවිදින් සිදුකළ
ඇළ දොළ කදුර ගං හෝ
අනුකරණයට ගෙන
නංවයි සිනා රැලි සර

නිශාකත බිම හෙළු
මිණි මුතු අහුරු තණ අග
අහුලයි කඩිනමින්
ළා හිරු කිරණ පැමිණි

විල් පියුම් කැකුළියො
හිරුගෙ කිති කැවුමෙන්
ඇඹරෙයි දඟල දඟලා
අවට සිරි දැක්මට

කඩුපුල් මල්ලියෝ
අඳුර හා කෙළි පෙම් කෙළි
වසන් කරගෙන විළියෙන්
නොපා දිනිසුරු හට වත
විඳිති දිගට ම නිදි සුව

අරුණත් සමඟ මතු වෙන
මේ සෙඳිරියේ සාරය
කවි පද සමඟ කලතා
රසික කැළ වෙත දෙන්නට
ගනිමි පන්හිඳ සුරතට