Sunday, November 19, 2017

" ආසයි බයයි ඒ බෝට්ටුවෙ නමයි අතීත කතාව "



.

 

 නිල්වලා නදී කොමළිය මාන්තොටින් තොටමුණට පැමිණ සයුර බලා නිසලව ගලා ගෙන යයි.මාතර අසිරිය විචිත්‍රවත් කරන්නට මෙසේ ගලා බස්නා නිල් නදිය එදා මෙදා තුර සමත් වූ බවට විවාදයක් නැත.එසේ වූ හෙයින් ම මේ නිල්වලා ගංදිය පිළිබඳව පදවලට නැගුණු ගීත ගණනාවක් නිර්මාණය වී ඇත.නිල්වලා නදීය හා ගොඩැනැගුණු සංස්කෘතියක් ද නිර්මාණය වී ඇත.අද මෙන්ම එදාද වෙසක් අසිරිය නැරඹිමට විශාල ජනතාවක් වෙසක් පො‍හොය දිනවල මාතර නගරයට එක් වෙති.එසේ පැමිණෙන ජනතාව නිල්වලා ග‍ඟේ බෝට්ටු චාරිකාවකට එක්වෙන්නටද අමතක නොකරති.මේ බෝට්ටු චාරිකාවට තිත තබමින් ආසයි බයයි ගීතය නිර්මාණය වුයේ ශ්‍රී ලාංකීය ජනතාව පමණක් නොව ලොවම කම්පාවට පත්කළ සිදුවීමක් ඇසුරිනි.හරියටම මීට දසක හතරකට පෙර එනම් 1977 වර්ෂයේ මැයි මස 3 වැනි දින ආසයි බෝට්ටුව පෙරළි අහිමි කළ ජිවිත 36 කි.කාලයාගේ ඇවෑමෙන් එය අඳූරු අතීතයක සැගව ගියද “ආසයි බයයි” බෝට්ටුවේ බිහිසුණු මතකය අවදිකරන්නට සිද්ධිය සියසින් දුටුවන් කිහිපදෙනෙකු මෙන්ම බෝට්ටුවේ කපිතාන්වරයාද තවමත් මාතර ප්‍රදේශයේ ජිවත් වෙති.එදා ආසයි බයයි බෝට්ටුව අනතුරට පාදකවූ කඩාවැටි තිබූ කෝන් ගහේ බෝ පැලයක්ද මේ දිනවල දැක ගත හැකිය.

වසර 40 කට පසුව අතීතය ආවර්ජනය කරන්නට මුලින්ම අප ගියේ තොටමුණ ප්‍රදේශයටයි.තොරතුරු විපරම් කිරීමේදී 58 හැවිරිදි වියේ පසුවන නිහාල් නැමැත්තෙකු හමුවිය. ඔහු අපට සිය අමිහිරි අත්දැකීම මෙසේ ආවර්ජනය කළේය. සිද්ධිය වෙන විට මට අවුරුදු 18 යි.මාතර දැන් බස් නැවතුම් පොළ තිබෙන ස්ථානයේ තමයි ක්‍රීඩාංගණය තිබුණේ.බස්නැවතුම් පොළ තිබුණේ ක්‍රීඩාංගණය තිබුණු තැනයි.අප කිහිපදෙනෙකු එදා එහි ක්‍රිකට් ක්‍රීඩා කරමින් හිටියේ.මිනිසුන් කෑගහසන හඩ ඇසී මා එම ස්ථානයට දිවගෙන ගියා. ආසයි බයයි බෝට්ටුව පෙරළි ඇති බව ආරංචි වුණා. අප හත්අට දෙනෙක් බේර ගන්නට හැකිවූ බව නිහාල් පැවසීය‍.

අපේ කථාබහට තවත් පුද්ගලයෙකු එහිදී එකතු විය. මා ඟගට ආසන්නෙම තියෙන දර මඩුවක වැඩ කරමින් හිටියේ.අඳුර වැටීගෙන එන වේලාව.පස්වරු 6.00 ට පමණ මා දැක්කා පුද්ගලයෙක් පාවෙනවා .‍ඔහු බෝට්ටු ලෑල්ලක් අල්ලගෙන පාවෙනවා.ටික වේලාවකින් ඒක අත්හැරුණා .මේ මනුස්සය ග‍ඟේ ගිලෙනවා මා දුටුවා.ඒක ම‍ගේ ජිවිතේ අමිහිරි අත්දැකීමක් බව “මේ වන විට තිහගොඩ,කපුගොඩ පදිංචි සේපාල හේට්ටිආරච්චි පැවැසීය.

අඩි 36 එක් දින යාත්‍රාවක් වන ආසයි බයයි බෝට්ටුව අයිති සමිතියේ සභාපතිවරයා වන්නේද ලීලයියා නමින් හඳුන්වන ලබන පුද්ගලයෙකි.අප ඔහුගේ නිවසට ගියේය.ඔහු නමින් පී.බී ලීලාරත්නය

72 හැවිරිදි වියේ පසුවන ලීලයියාට බොහෝ දේ මතකයේ ඇත.සිය හඩ මෙසේ ඔහු අවධි කළේය.

“අපේ කොටුවේ ධීවර සමිතියට බෝට්ටු තුනක් තිබුණා.මේ බෝට්ටු පැදෙව්වේ සමිතියේ සාමාජිකයන්මයි.එදා වෙසක් පොහෝයදා.විශාල සෙනගක් මාතරට ඇවිත් තිබුණා.මාතර නගරයේ අසිරිය බලන්න අප සාමාන්‍යයෙන් එක ගමනකට 30 ක් පමණ රැගෙන යනවා.මේ අය පටවගෙන මැද්දවත්ත හන්දියට ගිහින් නැවත එනවා.එක් අයෙකුගෙන් අය කරන්නේ ශත විසි පහයි.මේ ආපු පිරිස මේ බෝට්ටුවට 50 -60 ක් අතර පිරිසක් පැටෙව්වා. මම ඒ අයට කිව්වා.මේච්චර ගණනක් ගෙනියන්න බැහැ කියලා.ඒ අය ඇහුවේ නැහැ.මා දන්නවා සෙනග වැඩිවුණහම හරවන කොට අපහසු වන බව දැනගෙන හිටිය.

පිට ගම්මානවල අය තමයි වැඩියෙන්ම ඇවිත් හිටියේ. එන්න එන්නම සෙනග වැඩි වුණා. එහෙම පටවාගෙන ගිහින් මැද්දවත්තෙන් බෝට්ටුව හරවල නැවත එනවා.මේ බෝට්ටුව පැදෙව්වේ ටී.එච් සිරිපාල යි.මම සිරි ට කිව්වා බලාගෙන සිරි යන්නේ කියලා.මට මතකයි බෝට්ටුවේ සල්ලි එකතු කළේ පීටර් කියලා කෙනෙක්.. පසුව මම පිට්ටනියට ගියා සෙල්ලම් කරන්න.ටික වේලාවකින් අපේ බෝට්ටුව පෙරලී ඇති බව ආරංචි වුණා. මා එහෙමම දිව්වා.

කෝංගහ නැමිලා තිබුණේ.මෙම ගසේ ගෙඩි කැඩීමට බෝට්ටුවේ ගියපු අය උත්සාහ කරලා තියෙනවා.ඒත් එක්කම සමබර බව නැතිවෙලා කෝංගහේ බදින්නට හරවද්දී බෝට්ටුව පෙරළිලා තියෙන්නේ. ”

අනතුරුව මෙම බෝට්ටුව පැදවූ ටී.එච් සිරිපාල ගේ නිවැසට ගිය අතර රෝගාතුරව ඇඳ මත සිටිනු දක්නට ලැබුණි.කාලයක සිට ඔහු මෙසේ රෝගාතුරව සිටින බව ඔහුගේ බිරිය අප සමග පැවසුවාය.මේ පිළිබඳ අතීතය අවධිකරන්න සිරිපාල එතරම් කැමැත්ක් දැක්වූයේ නැත.එහෙත් බිරියගේ ඉල්ලීමත් සමඟ මෙසේ තම හඩ අවධි කළේය.

අපි හවස 1.30 ට පමණ තමයි සෙනග අදින්න පටන් ගත්තේ. මැයි මාසේ දිය හරිම සැරයි.දෙවන සැරේට සෙනග ගෙනියන කොට සෙනග එකසිය ගණනන් නැග්ගා.මට මතකයි යාන්තන් කෝංගහේ වැදුනා.‍බෝට්ටුව හරවා ගන්නා බැරි වුණා. එක සැරේටම කට්ටිය කෝන් ගහේ එල්ලුනා. කෝන්ගහේ අත්ත කැඩුණා. එක පොදියටම ග‍ඟේ ගිලුනා.මාත් දියට වැටුනා. කොහොමහරි පීනලා ගොඩට ආව.මට මතකයි එහිදී පිරිමි ළමයෙක් බේරා ගත්තා.ඒ ළමය මාව බේර ගන්න කියලා කෑ ගැහුවා. ඒ බෝට්ටුවේ ගියේ එක ගෑනු ළමයයි. ඒ ළමයා ඉමදුවේ ප්‍රදේශයේ පුෂ්පරානි කියලා.එයා ගේ මහත්තයා ගඟට වැටුනේ පුෂ්පරානිගේ අතේ සෙරෙප්පුව ඉතිරි කරලාය.

මොවුන් දෙදෙනා අලුත විවාහවු අයෙකි. එතනි න් එහාට මතකයක් නැහැ.මට සිහිය එන විට මා හිටියේ මාතර රෝහලේ.පසුව පොලිසියෙන් ඇවිත් මා අත්අඩංගුවට ගත්තා. ඔහු අපහසුවෙන් මේ කරුණු අනාවරණය කළේය.ඔහුගේ මතකය අලුත් කරමින් අප සමඟ සිරිපාල ගේ බිරිය එච්.ජී සෝමාවති ද කථා බහට මෙසේ එකතු වුවාය.

අප ‍මේ අනතුර සිදුවන විට හිටියේ ගංඟාවේ පහළ කොටසේ මෝයේ ගෙයක් හදා ගෙන.මට දෙවන දරුවා ලැබෙන්න හිටියා.හරියටම දස මසක් වෙනවා. මහත්තයා ධීවර කටයුතු කළේ.අමතර ආදායමක් ගන්න තමයි මේ බෝට්ටු සවාරි ගියේ. එදා මගේ මහත්තයා හොයන්න මා රෝහල පුරාම ඇවිද්දා.මෝචරියේ පවා ‍හෙව්වා.පසුව රෝහලේ ප්‍රතිකාර ලබන බව දැන ගන්න ලැබුණා.මගේ මහත්තයා මේ සිදුවීමෙන් වසර ගණනාවක් මාව බේරගන්න කියලා .හීනෙන් කෑගහන බවත්,මේ සිදුවීම අවදිකරන්න මහත්තයා මැලිකමක් දක්වන බවද ඇය අප සමග කීවාය.

නිල්පාටින් , රතුපාට, ආලේප කර තිබූ මේ බෝට්ටුවේ 'බෝට්‌ටුවේ නිල්පාටයි, රතු පාටයි, සුදු පාටයි ආලේප කරලා තිබුණේ. නිල්පාට පසුබිමේ සුදුපාට අකුරින් තමයි 'ආසයි බයයි' කියලා නම ලියා තිබුණේ.සිද්ධියෙන් පසුව මේ බෝට්ටුව අලුත්වැඩියා කර දෙවිනුවර පියසේන නැමැති අයෙකුට විකුණා තිබෙනවා.එය පසුව එම බෝට්ටුව නම් කරල තිබෙන්නේ 'යළි ඉපදේ 'යන්නයි.

ටී.කේ.මහින්ද
වැලිගම සමූහ