Wednesday, November 30, 2016

කඩදහි ඔරු - ( සාර භූමියේ අතීතය සුන්දරය )










අපේ අතීතයෙ පුංචි දවස්වල වැහි කාලෙට එන පොඩි දිය පාරේ නුඹයි මායි බැස වතුර කඩිත්තේ මතකයි කඩදහි ඔරු පා කෙරුවා යන්නෙ ටික දුරයි ඔරුවෙ දිය පිරෙයි කොළයත් දියවෙයි වතුරට බිලි වෙයි නුඹේ පුංචි නිල් නෙත් යුග අතරින් දුටුවොත් ගිලිහෙන කඳුළක් දිය මත යළිත් හැදුවොතින් කඩදහි ඔරුවක් සිනා මල් පිපෙයි නුෙඕ ලවන් මැද පති කුලයට ගිය නුඹ අද ගම නැත දොළ පාරෙද දිය වියළී ගොස් ඇත මගෙ කඳුළු කැට කොපමණ හැලුණත් වියළී ගිය දොළ ඉපදීමක් නැත ගිලුන ඔරු හැමත් දිරාපත්ව ගොස් මා පමණක් මෙහි දැන් ඉතිරිව ඇත





Tuesday, November 29, 2016

පිං කැටේ පිරෙනවා සුදු අශ්වය අනුහසින් තනිවැල්ලෙ බණ්ඩාර දෙවියෝ


( මෙම ලිපිය දුටු විගස ඔබට සිහියට එන්නෙ අපෝ ආයෙත් එකෙක් ලියල කියල.මොකද මේ සම්බ්න්ධව කිහිප දෙනෙක් ලියා තිබුනා මමද කියෙව්වෙමි. මමද කලින් ලියෙව්වෙමි.  ( නිවාඩු දින වල ) නමුත් මෙ ලිපිය හා සම්බන්ධව රජු ජීවත් වූ ප්‍රදේශයේ සැරි සරා සහ අතීතයෙ ජීවත්ව ලබා ගත් සහ පොත පතට එක් එක කල අයගේ සත්‍ය විස්තර ඇසුරෙන් ලියා තැබුවෙමි.)

කොළඹ හලාවත මහාමාර්ගය අසබඩ පිහිටි තිනිිපිටි වැව ඉස්මත්තෙහි තනා තිබෙන විශාල සුදු අස්රුව දෙස එමගෙහි යනෙන ඕනෑම අයෙකු දෙතුන් වතාවක්වත් හැරි හැරී නොබලන්නේ නම් පුදුමයකි. තනිවැල්ලේ දේවාලය නම් වූ මෙය සුවිශේෂී වන්නේ මේ විශාල අශ්වරුව නිසාමය.

‘මාදම්පෙ තනිවැල්ලේ දේවාලයේ පුදසුන කරන්නේ මෙයින් වසර පන්සීයකට පමණ ඉහතදී මාදම්පා පටුන පාලනය කළ තනියවල්ලභ කුමාරයා වෙනුවෙන්. ඔහු ප‍්‍රාදේශීය පාලකයකු හෝ යුවරජෙකු වුණත් තම ප‍්‍රදේශයේ යටත්වැසියන්ගේ දුක සැප නිතරම සොයා බැලූ කෙනෙක්්. ඒ විතරක් නොවෙයි බොහෝ සවස් යාමයන්හි ගම් දනව්හි ඇවිදිමින් නිවෙස්වලට ගොස් බුලත්විටක් එහෙම හපලා ආ ගිය තොරතුරු කතා කරමින් හිටපු ජනහිතකාමී පාලකයෙක් විදිහටයි ප‍්‍රදේශය පුරා පැතිර තිබෙන ජනශ‍්‍රැතිවලින් පවා දැනගන්නට තිබෙන්නේ. රාජාවලියට අනුව තනිියවල්ලභ කුමාරයා යනු ධර්ම පරාක‍්‍රමබාහු රජුගේ දෙවන බිසවකගේ පුත‍්‍රයෙක්.’

සකලකලා වල්ලභ නමින් යුත් සොහොයුරෙක්ද ඔහුට විය. අටවන පරාක‍්‍රමබාහු රජුගේ උපදෙස් මත තතියවල්ලභ කුමරු මාදම්පා පටුනත් සකලකලා වල්ලභ කුමරු උඩුගම්පළත් පාලනය කළෝය. මාදම්පා පටුනට කොස්වාඩිය මාදම්පෙ, මහවැව, කුඩාවැව, අඩප්පරගම, පුරුදුවැල්ල, කෝලිමඩුව, ගල්අමුණ, මට්ටාකොටුව, තොඩුවා, , හේනපොළ, ගල්මුරුව යන ගම්දොළස අයත් බැව් රෝහණ මද්දුමරාල සිය ‘තනියවල්ලභ රජු/දෙවිඳු සොයා යෑම’ නම් කෘතියෙහි සඳහන් කරයි.

‘එහෙත් තනියවල්ලභ කුමාරයාගේ පාලන බල ප‍්‍රදේශයට මාදම්පා පටුනට අයිති ගම් දොළහට අමතරව තවත් විශාල ප‍්‍රදේශයක් අයිතිව තිබූ බව ඉතිහාසය පරීක්ෂා කරන විට පෙනෙනවා. ඔහු මේ ප‍්‍රදේශය කෘෂිකාර්මික කටයුතුවලින් සරුසාර භූමියක් බවට පත්කරන්න වෙහෙස මහන්සි ගෙන ක‍්‍රියා කරපු බවකුත් පේනවා. කුමාරයා මේ ප‍්‍රදේශය පුරා සැරිසරන්නේ සුදු අශ්වයකු පිට නැගිලා ගොහින්. ඒ නිසා තමයි දේවාල භූමියේ සුදු අස්සයෙකුගේ අනුරුවක් හදලා තියෙන්නේ’.


 'පින්කැට' කතාව දිගේ හොයාගෙන ගියේ තනිවැල්ලෙ දේවාලයට. සාමාන්‍යයෙන් මේ ලියන කතාවලට දින වකවානු ලිඛිත සාක්‍ෂි අවශ්‍ය නෑ. ඒ වගේම මේ විදියට යනෙන මඟ දෙපස ඉදිවෙන ජනතාවගේ පූජා ස්ථානවලට ඒ විදියෙ නිශ්චිත තොරතුරු නෑ. එහෙම දෙයක් තියෙනවා කියලා කෙනෙක් කිව්වත් අපිට ඒක වැඩකුත් නෑ. අපිට වුවමනා වෙලා තියෙන්නෙ මිනිස්සුන්ගේ හදගැස්ම කියවා ගන්න. මිනිස්සු තම තමන්ගෙ වැඳුම් පිදුම්, ඇදහිලි විශ්වාස මත හදාගත්ත මේ වගේ තැන්වල ඇත්තම කතා තියෙන්නෙ මිනිස්සු ළඟ. ඒවා කටින් කට අරගෙන ආපු මතකයන්. ජනප්‍රවාද කියලා කියන්නෙ ඒවට. ජනප්‍රවාද ඉතාම විසිතුරුයි. ඒ වගේම ජනප්‍රවාද ඉතාම රසවත්. අපි නතර වෙන්නෙ ඒ රසවත් බව ළඟ. මේ මිනිස්සු වසර සිය ගාණක් පුරා පරිස්සම් කරගත්ත ඇත්ත.

එතකොට මොකක්ද මේ තනිවැල්ලෙ දේවාලය සම්බන්ධ කතාව?









දේවාලය 



තනිවැල්ල දේවාලයේ අදහන්නෙ, වඳින්නෙ පුදන්නෙ තනිවැල්ලෙ බණ්ඩාර දෙවියන්ව. මේ දෙවියන් සැලකෙන්නෙ ප්‍රාදේශීය දෙවි කෙනෙක් විදියට. සාමාන්‍යයෙන් මින්නේරි දෙවියො, ගලේ බණ්ඩාර දෙවියො, කැලේ බණ්ඩාර දෙවියො, රංවල දෙවියො වගේ ප්‍රාදේශීය දෙවිවරුන්ව අපි අදහන අවස්ථා තියෙනවා. එතකොට කවුද මේ තනිවැල්ලෙ බණ්ඩාර දෙවියො කියන්නෙ?

ඒ කතාව ඉතාම අපූරු එකක්. සකලකලාවල්ලභ සහ තනියවල්ලභ කියන්නෙ සහෝදරවරු. ඒ වගේම මේ දෙන්නම ප්‍රාදේශීයව රජකම් කරපු, යුව රජවරු. නැත්නම් ප්‍රාදේශීය රජවරු කියලයි ඉතිහාසය කියන්නෙ. මේ අය අතරින් තනියවල්ලභ යුව රජතුමා මේ මාදම්පෙ ප්‍රදේශය මුල්කරගෙන රජකම් කරලා තියෙනවා. සකලකලාවල්ලභ රජ්ජුරුවො උඩුගම්පළ ආශි්‍රතව රාජධානි පිහිටුවාගෙන ඉඳලා තියෙනවා.

පුත්තලම - කොළඹ පාරේ වෙන්නප්පුව එහෙම පහු කරගෙන පුත්තලම පැත්තට යනකොට ඔබට මුණ ගැසෙන අපූරු පූජා ස්ථානයක් තියෙනවා. සිත්කලු වෙල් යායක පසුබිමේ වෑකන්දක සීමාවෙ ඉදිවෙච්ච මේ තැන පහුකරගෙන යන ඕනෑම කෙනෙක් එතැන නතර වෙනවා. නතර වෙලා පඬුරක් එහෙම දාලයි ගමනෙ ඊළඟ කොටස යන්නෙ.


සාමාන්‍යයෙන් මෙතැන හඳුන්වන නම තමයි තනිවැල්ලෙ දේවාලය. වෙන කිසිම තැනක නැති විදියට තනිවැල්ලෙ දේවාලෙ ඉදිරියෙ ඉදිවෙලා තියෙන්නෙ දේවරූපයක් නෙවෙයි. එතැන තියෙන්නෙ අස්ස රූපයක්. මේ අස්ස රූපය හදලා තියෙන්නෙත් ප්‍රධාන පාරට පිටුපාලා. දේවාලය පැත්තට ආචාර කරන විදියට ඉදිරි ගාත් දෙක උස්සගෙන.



කොලඹ  පුත්තලම පාර අසබඩ මාදම්පෙ නගරය


ඔහුගේ පාලන සමයේදී ඉන්දියාවේ කාල පට්ටම්ගම් ප‍්‍රදේශයෙන් පැමිණි කාරයාන් නමැත්තෙකු හලාවත මුතුපර බලහත්කාරයෙන් කොල්ල කන්නටත්, අලි ඇතුන් අල්ලාගෙන විකුණන්නටත් පටන්ගත් බැවින් උඩුගම්පොළ පාලනය කළ සිය සොහොයුරා වන සකලකලා වල්ලභ සමග සේනාව රැුගෙන ගොස් කාරයාන් මරා දමා තවත් අසූදෙනෙකු ගලග‍්‍රහයෙන් ගෙන කෝට්ටේ රජතුමා ඉදිරියට පැමිණ වූ බවත් රාජාවලියේ සඳහන් වෙනවා.’ 

. මේ යුද ගැටුම්වලදී තනිවැල්ලෙ බණ්ඩාර කියන්නෙ ඉතාම දක්‍ෂ රණශූරයෙක්. ඔහු සාමාන්‍යයෙන් සටනකට ගියොත් නොපරදින බවයි හැමෝම වගේ දැනගෙන ඉඳලා තියෙන්නෙ. නමුත් සටනක් කියලා කියන්නෙ මොකකින් මොකක් වෙයිද කියලවත් හිතන්න පුළුවන් එකක් නෙවෙයිනෙ. ඕනෑම විදියක ජගතෙක් පුංචි අතපසු වීමකින් පරදින්න පුළුවන්.

ඒ නිසා සාමාන්‍යයෙන් රජවරු යුද්ධවලට යනකොට සිරිතක් කරගෙන තියෙනවා කොඩි එසවිල්ලක්. ඒ සඳහා එක් අයෙක්ව විශේෂයෙන් පත් කරනවා. එයාගෙ රාජකාරිය වෙන්නෙ රජ්ජුරුවො යුද්ධයෙන් පැරැදුණොත් කළු කොඩි එසවීම, දිනුවොත් උස්සන්නෙ සුදු පාට කොඩියක්. මේ පණිවුඩයත් සමඟ රජ මාලිගාවේ බිසෝවරු ඇතුළු පිරිසයි, මාලිගාව වටේ ඉන්න පුරවැසියොයි තමන්ගෙ ගැන තීරණ ගන්නවා. රජ්ජුරුවො දිනලා නම්, පී්‍රති ප්‍රමෝදයට පත්වෙලා පී්‍රති උත්සව පවත්වනවා. පැරැදිලා නම් තම තමන්ගෙ ආරක්‍ෂාව හදාගන්නවා. සමහරු පලා යනවා. බිසෝවරු සිය දිවි නසා ගන්නා අවස්ථා පවා තියෙනවා. ඒ නිසා මේ කටයුත්ත ඉතාම කල්පනාවෙන් කළ යුතු දෙයක්.තනියවල්ලභ රජ්ජුරුවෝ මේ කාර්යය පවරලා තියෙන්නෙ 'අඩප්පරයා' කියලා කෙනෙක්ට. 
මේ රජ්ජුරුවන්ගෙ අග බිසව වෙලා හිටපු සමුද්‍රා දේවිය ඉතාම රූමත් කෙනෙක්ලු. රජ්ජුරුවෝ යුද්ධයට ගිය අතරෙ අඩප්පරයා රජ්ජුරුවන්ගෙ බිසවට අයුතු යෝජනාවක් කරලා තියෙනවා. "අඩප්පරය" කීප වතාවක්ම උත්සාහ කළත් ඒක හරි ගිහිල්ලා නෑ.


.ඒ අතර 'අඩප්පරය' මේ වැඩේට වෙනත් උපක්‍රමයක් කල්පනා කරනවා. ඔහු කරන්නෙ රජ්ජුරුවො යුද්ධය පැරැදුණු බව දනවන්න කළු කොඩි ඔසවන එක. රජ්ජුරුවෝ මිය ගියා කියලා දැනගත්තට පස්සෙ මුද්‍රා දේවිය තමන්ගෙ අවශ්‍යතාවට එකඟ වෙයි කියලයි අඩප්පරයා හිතන්නෙ. නමුත් රජු මියගිය බවක් දැනගත්ත වහාම මුද්‍රා දේවිය සිය දිවි හානිකර ගන්න තීරණය කරනවා...
ඒ අතර යුද්ධය අවසන් කරපු තනියවල්ලභ රජජුරුවො රජ මාලිගාවට එනවා. ඒ එන්නෙ ජය අරගෙන. නමුත් ඔහු එනකොට රජ මාලිගාවේ කළු කොඩි දාලා. ඒ ඇයි කියලා විමසන කොටයි දැනගන්න ලැබෙන්නෙ ඒකට හේතුව බිසවගේ මරණය කියලා. ඒ ගැනත් දැනගෙන, අඩප්පරයා කරපු සිද්ධියත් දැනගෙන රජ්ජුරුවෝ සිය දිවි හානි කරගත්තය කියලයි සමහර තැනක නම් කිය වෙන්නෙ

මෙම ප‍්‍රවාදයට අනුව තනියවල්ලභගේ දේවිය අතිශය සුරූපිනියකි. ජනවහරේ එන කවකින් ඇගේ රුව වර්ණනා කරනුයේ මෙලෙසය.

‘සන් සැර සුතන කෙළියට හුදු රනින් සැදූ
පන්දුවකට බඳුය ඇගෙ පියයුරු සුමුදු
රන්රිය සකක බඳු පුළුලූකුල පිරිසිදු 
පුන් වැලිතලාවකි සළෙලූන් කළ පුබුදු’

රූප සම්පත්තියෙන් අනූන වුවද තොමෝ පතිවත සුරැුකි ගුණවත් කාන්තාවකි. ඇයගේ රුවින් මත්ව තනියවල්ලභගේ අගමැතිවරයා ඇයට ලොබ බැඳ සිටියේය. කාරයාන් හා පැවති යුද්ධයේදී රජු මිය ගිය බව පවසා නොයෙක් චාටු බස් පවසමින් අගමැතිවරයා ඇයගේ සිත ගන්නට උත්සාහ කළත්, එය ව්‍යර්ථ වූවා පමණක් නොව සිය සැමියා මියගියායැ’යි විශ්වාස කොට දේවියද සියදිවි නසාගත්තාය. යුද්ධය දිනා පැමිණි තනියවල්ලභ මේ සිද්ධියෙන් කම්පාවට පත්ව කඩුව පොළවෙහි සිටවා ඒ මතට පැන තමාද සියදිවි නසාගත්තේය.

මෙයින් පසුව මාදම්පා ප‍්‍රදේශයට පැමිණියේ දුර්භාග්‍ය කාලයකි. වසංගත රෝග, ආහාර අහේනිය ප‍්‍රදේශය තුළ බලවත් විය. ප‍්‍රදේශවාසීහු තනියවල්ලභ කුමරු දේවත්වයෙන් සලකා දුක් උවදුරුවලින් තමන් බේරා දෙන්නැයි ඉල්ලා තිනිපිටි වැව ඉස්මත්තේ වූ මහා නුගරුකෙහි අතු එල්ලා භාරහාර වන්නට පුරුදු වූහ.

පසුකලෙක එබිමෙහිම කුඩා දෙවොලක්ද තනා ගත්හ.


දේවාලය ඉදිරිපිට සුදු අස් රුව ඉදිවීම පිළිබඳව ඇත්තේද අපූරු වෘත්තාන්තයකි. මේ දෙවොල ආශ‍්‍රිත ප‍්‍රදේශයෙහි ඉතා ධනවත් හෙට්ටි කුලයේ අයකු සිට ඇත. ඔහු දිනපතා දෙවොල ඉදිරිපසින් තම අසුන් බැඳි කරත්තයෙන් යනු එනුයේ දෙවොල කෙරෙහි කිසිදු ගරුසරුවක් නැතිවය. එක්තරා දිනෙක ඔහු අශ්ව කරත්තයේ නැගී දේවාලය ඉදිරිපිටින් යත්දී එක්වරම අසුන් දෙදෙනා කරත්තයද ඇදගෙන තිනිපිටි වැවට පැන්නෝය. හෙට්ටියාගේ පාදයක් බිඳිණි. පාදයේ තුවාලය සුව වෙන බවක් නොපෙනුණේය. එක්තරා දිනෙක රාත‍්‍රියේදී ඔහුට සිහිනෙන් කෙනෙකු පවසා ඇත්තේ, දේවාල බිමෙහි අශ්ව රුවක් සාදන බවට භාරයක් වන ලෙසටය. ඒ අනුව ඔහු අදාළ භාරය සිදුකර ඇති අතර, කකුලේ තුවාලයද සුව වී ඇත. ඉන් පසු ඔහු ලීවලින් සුදු අශ්ව රුවක් දේවාලය ඉදිරිපිට තැනවීය. පසුකලෙක ලී රුවට පිටින් බදාමින් පුරවා දැන් තිබෙන අශ්ව රුව සකසා ඇත.



වෙනත් ජන්ප්‍රවාද
නමුත් මේ අතර තනියවල්ලභ රජ්ජුරුවෝ සියල්ල අතහැරලා දාලා භාවනා කරන්න ගියා කියලයි කිය වෙන්නෙ. එහෙම ගියාම මේ ප්‍රදේශයේ ජනතාව 'අපේ අප්පච්චි නෑ' කියලා මේ කියන තැන හැමදාම පහනක් පත්තු කරන්න පටන් අරගෙන තියෙනවා. එහෙම කාලයක් ගත වෙලා යන අතරේ රජ්ජුරුවෝ වන වැදිලා භාවනා කරනවා.
එක දවසක මේ පහන පත්තු කරන තැනට මිනිස්සු එනකොට රජ්ජුරුවෝ ඇවිල්ලා ඉඳලා තියෙනවා.
"අපේ අප්පච්චි ඇවිල්ලා" කියපු මිනිස්සු තනියවල්ලභ රජ්ජුරුවන්ට වැඳුම් පිදුම් කරලා තියෙනවා.
එදා ඒ තනියවල්ලභ රජ්ජුරුවො හිටපු තැන තමයි මේ 'තනිවැල්ලේ දේවාලය' ඉදිවෙන්නෙ.




දේවාලයේ කපු මහතා






සාමාන්‍යයෙන් ඕනෑම දේවාලයක් සම්බන්ධව කපුමහත්වරුන්ගේ පරම්පරාවක්ද, තේවාකරුවන්ගේ පරම්පරාවක්ද පවතින මුත් තනිවැල්ලේ දේවාලය හා බද්ධව එබඳු පරම්පරා නොමැතිවීමද විශේෂත්වයකි. එනිසා මේ දෙවොලෙහි තේවා කටයුතු කරනුයේ මාසික වැටුප් හා දීමනා ලබන්නන් පිරිසකි. දේවාලයේ පාලනයද පවතින්නේ භාරකාර මණ්ඩලයක් යටතේය. වත්මන් භාරකාර මණ්ඩලයේ සභාපතිත්වය දරන්නේ දේවාලය තරමටම පැරණි මාදම්පේ ප‍්‍රභූ පරම්පරාවක් වන සේනානායක පරපුරේ අයෙකි.

‘සාමාන්‍යයෙන් දේවාලය විවෘත කරන්නේ බදාදා හා සෙනසුරාදා දිනවලදී පමණයි. මේ දින දෙකේ පෙරවරු හයට දේවාලය විවෘත කරනවා. ඊට පෙර කපු මහත්වරු නා පිරිසිදු වී බුදුන් වැඳ පන්සිල් සමාදන් වී මල් පහන් පූජා කරනවා. ඒ අතරෙම දේව මාලිගය, කඩවර දේවාලය, බුදු මැදුර, බෝධි වෘක්ෂය, ඉපැරණි නුග ගස හා බහිරව රූපය ආදියට සුවඳ දුම් ඇල්ලීමත් සිදු කරනවා. ඊට පස්සේ තමයි දේවමාලිගයේ දොර විවෘත කරන්නේ. බැතිමතුන්ගේ භාරහාර වීම් වතාවත් අවසන් කිරීමෙන් පසුව සිරිතක් ලෙස දේව මාලිගයේ බිම සෝදා පිරිසිදු කර සුවඳ දුම් අල්ලා කිසියම් අයෙකුගෙන් වරදක් සිදුවී ඇත්නම් දෙවියන්ගෙන් සමාව ඉල්ලා යාතිකා කරනවා. ඊට පස්සේ තමයි දොර වහන්නේ.’

තනිවැල්ලේ දේවාලයේ වාර්ෂික මංගල්‍යය පවත්වනුයේ හැම වසරකම අගෝස්තු මාසයේදීය. මංගල්‍යය පවත්වන්නේ සෙනසුරාදා දිනකය. ඊට පෙර එන බදාදා දින උදෑසන හතට දේවාල භූමිය තුළ කෙසෙල් කැනක් බිම් කිරීම පළමු චාරිත‍්‍රයයි. ඉන් පසුව කැවුම් පිසීම සිදුවන අතර, එහිදී පිසින මුල්ම කැවුම සහ තවත් කැවුම් විසිපහක් මංගල්‍ය පූජාවට වෙන් කරයි. මුල්ම කැවුම පිසූ පසුව එයට ඉරටුවක් ගසා තබන්නේ කැවුම හඳුනා ගැනීම පිණිසය.
කප තොරණ සිටුවන්නේ සිකුරාදා දින දහවල දොළහට දේව මාලිගාව ඉදිරිපිටය. 
දැකුම් වට්ටිය සකසන්නේ ඒ සඳහා සකසාගත් පිරිසිදු වට්ටියක පිරුවට එලා ඒ මත පුවක් මල් කිණිති තබාය. නානුවලින් සෝදා දේවාභරණ පිරිසිදු කර ගැනෙයි.

මහ දේවාලය, බෝධිය, කඩවර දේවාලය කප තොරණ හා නුග ගස යන ස්ථානයන්වලට දේවාභරණ වැඩමවා පිරුවටයක් එලා ඒ මත බුලත් කොළ දෙකක් හා පඬුරු දෙකක් තබා ආභරණ තැන්පත් කර ගස පේ කිරීමේ චාරිත‍්‍රය සිදුවේ. මේ ආකාරයෙන් දැකුම් වට්ටි පිරිනැමීම, කිරිමුට්ටි කිරි මඩුවට කිරිමුට්ටි හත වැඩම්මවීම, ඉතිරි වූ කිිරි මුට්ටි දේවාලයට වැඩමවීම, පන්දම් ගස දැල්වීම යන අනෙකුත් දේව චාරිත‍්‍ර සිදුකර බැතිමතුන්ට දේව දානය පිරිනැමීම සිදුවෙයි. අවසන සියලූ චාරිත‍්‍ර සිදුකර අවසන් බව දෙවියන්ට සැලකර පොල් ගසා දෙවියන්ට පින් අනුමෝදන් කර ඉදිරි වසර සඳහා දේවාශිර්වාදය ප‍්‍රාර්ථනා කිරීම කර සිකුරාදා දින සිට විවෘතව තැබූ දේව මාලිගාවේ ප‍්‍රධාන දොරටුව වසා තැබීමෙන් දේවාලයේ වාර්ෂික මංගල්‍යයේ අභිචාර විධීන් අහවර වෙයි.







පින් පෙට්ටි


මේ පින් පෙට්ටි හැදුවේ කවුද කින්ද මන්ද කියලා නිශ්චිත තොරතුරක් නෑ. නමුත් දැන ගන්න තියෙන විදියට තනියවල්ලභ රජ්ජුරුවෝ වන වැදිලා ඉඳලා මතු වුණු දවසෙ ඉඳලාම මෙතැනින් යනෙන මිනිස්සු පඬුරු පාක්කුඩම් වෙන් කරලා තියෙනවා. අදත් ඒ විදියටම මිනිස්සු මෙතෙන්ට වඳිනවා, පුදනවා, පඬුරු දානවා, තමන්ගෙ දුක කියනවා කියලයි දකින්න අහන්න ලැබෙන්නෙ.
මේ පින් කැටේට එකතු වෙන මුදලින් මේ බිම ඉතාම සුන්දර තැනක් කරලා තියෙනවා.
ඒ වගේම නිතර සමාජ සත්කාර කටයුතුත් සිදුවෙනවා. අදත් මේ දෙවොල් බිමේ තනිවැල්ලෙ බණ්ඩාර දෙව් අනුහස නොඅඩුව තියෙනවා කියලයි බැතිමතුන්ගේ විශ්වාසය.


මෙම උතුම් මිනිසා දේවත්වයෙන් ලබන්නේ එකල  ගම් දනව්වල මිනිසුන්ට දෙවි කෙනෙක් සලකන්නා ආකාරයට අවශ්‍ය ශස්‍රීකත්වයෙන් අඩුවක් නොකල නිසාය.
මෙය ලියන මම මේ ගම් ප්‍රදේශවල පියමන් කරන විට දුටු සුන්දරත්වය ඉතාම මනරම්ව දකින අතර ඒ ලෙසින් අපිට දායද කර දුන් අයුරු සිහිවන විට දැනෙන්නෙ ඉතාම ආඩම්බරයකි.
එයින් අප අවට ඇති කුඩා ගම්වල එක් එක් වැසියන් විසින් පුද පූජා   කිරීමට ප්‍රාදේශීයව ගොඩ නගාගත් ගත් දේවල දෙකක් පහත රූප වලින් දක්වමි






මහවැව තනිවැල්ල දේවලය





කොස්වාඩිය ( මා ජීවත්වන ගමේ ) තනියවල්ලභ දේවාලය
(සෙනරත් මාරසි0හ නම් ගමට විශාල සේවයක් කල දානපතියකුගේ පරිත්‍යාගයෙන් අපිට උරුම වූ සහ වත්මන් භාරකාරත්වයද එම පරම්පරාව සතුය)

ප්‍රදාන දේවාලය මාදම්පේ ප්‍රදේශයේ සහ මහවැව ,කොස්වාඩියෙ ඇතුළු අනිත් ගම්බිම් වලද මෙලෙස දැකිය හැක.
මහවැව තිනිපිටිය වැව අසල තනියවල්ලභ රජුන් විසින් අද අපිට දායද කල වැව සහ ඒ අවට ඇති තවමත් ජීවමාන් නුග ගස මාද0 ගස සහ ප්‍රදේශවාසින්ට පුද සත්කාර කිරීමට ඉදි කරන ලද දේවාල භූමිය.




මෙම දේවාලය ඉදිරිපිටින් මා සිය දහස්වාරයක් ගමන් කොට ඇත.























තනියවල්ලභ රජු විසින් සිටවන ලද බවට සාක්ශි දරන අදටත් සුරක්ශිතව පවතින විශාල මාදන් ගස





ඒ වගේම ශ්‍රී ල0කාවේ දැනට පවතින විශාලත වෙල්යායට හිමිකම් කියන්නේද තනියවල්ලභ රජු විසින් අදටත් ගොවිතැන් කටයුතු කරන විශාල වෙල්යායයි.එහි වත්මන් තත්වයනම් එදා පැවති තත්වයට වඩා හාහ්පසින්ම වෙනය.අනවසර ඉදි කිරීම්,කුනු කසල බැහර කිරීම,ගොවිතැන් කටයුතු කරන ගොවීන්ට අවශ්‍ය ජල පහසුකම් පවා නොලැබීම වැනි කරුනු දැක්විය හැක.මාද නිවාඩු කල මෙම කුඹුරු වල වැඩ කර ඉතාම සතුටක් ලැබුවෙමි.


වැවට ආසන්නව ඉදිකල බුදු පිලිම වහන්සේ...



සිරිලක දෙවෙනි විශාලතම වෙලයාය




                          
නි කළු ගලින් නිමවූ බුදුන් වහන්සේගේ කේශ                                                          ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති දාගැබ් වහන්සේ









Saturday, November 26, 2016

ටෙලිවිෂණී!





දිනෙන් දින
තරුණවනටෙලිවිෂණී
අදහාගන්න බැරි සුන්දරී පුංචි ම සන්දියේ ගලිවරුත් මට පෙන්නුවා හා හා හරි හාව - වාගෙ මමත් උඩ පැන්නා නිරාහාරව ව සිටි රෑක එබී අල්ලපු ගෙදරට උඹ දෙස බැලූ මගෙ පොඩි දවස සුන්දර ම හිරු මඬල වී මට රැගෙන ආ මල්ගුඩි දවස මට තාම මතකය කල් ගෙවී නයිට්‍රයිඩර් ප්‍රේමයක් මට පෙන්නුවා එදා සිට මගේ හිත හැම රෑම පැන්නුවා කළු සුදු අතරමැද අලුපාට අතීතය දෙබෑවුණු එක රෑක වර්ණවත් නුඹෙ මුහුණ දැක ගන්න වැසූවෙමි පාඩම් පොත මහ රෑ එකොළහට
ඇවිදින් මැද සාලයට උණා දැමුවෙමි නුඹේ සළුපට අනුරාග ගිනි සිළුව වෛවර්ණ රූ සපුව නාභියත් වටකරන් නාගයෙක් පච්චයක පයෝධර වට පවා
සර්පයන් ඔතාගෙන බැලුවා ය මා දෙස ගොදුරක් දුටු කලෙක ළංවන හැපිනියක ලෙස සුරතින් ගිලිහුණාදුරස්ථ පාලකය බිම වැටි කුඩු වුණා
යෞවනයෙ ඉදිරිපිට...

Tuesday, November 22, 2016

වියපත් සිතුවිලි








ලොල ලොල ගාන විට දත්ටික නොමැති කට
සෙලවෙයි වාරු නැති අතපය තරගය ට
වල එක පයයි ගොඩ එකකුයි තියෙන මට
කළ යුතු දෙයක් නැත මලගම ළඟය හෙට

ආ මග හරි දිගය යා යුතු මග කෙටිය
ඒ මේ ජීවිතේ නැව පැදවෙන හැටිය
වදිනා තැන හබල විසිරෙන පෙණ කැටිය
තව ටික දුරක් වත් පැදගෙන යනු තොටිය

ගොඩ කරගත් සියලු දේ මහමෙර උසට
වැඩකට ගත නොහැක පය දූවිලි ලෙසට
බිහිරිය දෙකණ නොපෙනෙයි කිසිවක් ඇසට
මේ කුණු කය රැගෙන තව දුර යනු කුමට

මේ මහගෙදර ඇති අන්තිම කුටිය කොනේ
ලණු ඇඳ තමයි අවසානෙට ඉතුරු වුණේ
සෙනෙහස දිනූ අය සිටියත් සතර කොනේ
යා යුතු ගමන තනිවම යා යුතුය අනේ

නොතිර සැප සොයා ඉඳුරන් හට රැවටී
නිතර දුකට පත්වෙන කුණුකය නොවටී
සතර ඇත්ත දැනගෙන දුක කරන කෙටී
අජර අමර නිවනින් සැනසීම වටී





Monday, November 21, 2016

කවි සිතුවම් පුබුදනා රාත්‍රිය











සුමුදු මුදු වළා අතරින්

පුන්සද එබෙනා
බැබිල මල් සදිසි 
තරු පොඩිති අහසෙ දිලෙනා
කැකුළු මල් ඕවිල්ලෙ
සිගිති පිනි බිදු නිදන රාත්‍රිය
නෙක නාද රටාවෙන්
රැහැයි පළගැටි ගායනා
සුමුදු සේපාලිකා කඩුපුල්ද
මුදු සුවද මුදා සුළගට
නෙත් හරින 
තුරුලතා නැලවෙමින් මද පවනෙ
කවි සිතුවම් පුබුදනා රාත්‍රිය
බලන්න නිමේශයකට
කොතරම් සුන්ද




Monday, November 14, 2016

ජීවිත ගමන





ආ මඟ කෙටිය තව යායුතු මඟ        දුරය
බැළු බැළු සියළු තැන ඇත්තේ අවහිරය
අප යන මේ ගමන මරණින් කෙළ   වරය
එය තව උපතකට සසරෙහි බිහි දොරය


දුක සැප ජය පරාජය උණු කඳුළු           සිනා
හමුවී නතර වූවත් ලොව බොහොම  දෙනා
සමබර ගතිය හඳුනන වෙර තිබෙන කෙනා
නියමිත ගමන යන්නට හුරු පුරුදු       වුණා


හිසමත තබාගෙන ඉසිලිය නොහැකි බරක්
යන්නට තිබෙන්නේ නොසිතුව තරම   දුරක්
කවදා දකිනු හැකිදැයි නොම දකිමු තෙරක්
එනමුදු ගමන යායුතුවෙයි රැගෙන    වෙරක්


තණඅග රැඳුනු පිනිබිඳු හිරු එළිය                     දැක
නැතිවන අයුරු දිවියට සම කෙරිය                  හැක
නොසිතුව නොම පැතුම සුළු මොහොතකදි එක
ජීවිත ගමන කෙළවරවෙයි ගෙනෙන                  දුක




Wednesday, November 9, 2016

ලොව අපබ්‍ර0ශම ජනාධිපතිවරනයේ ජය Donal trump ට - ජනාධිපතිවරණය ගැන විස්තර ටිකක්






මෙම සටහන ඉදිරි පැය කීපය තුල යාවත්කාල කරමි. )



ඡන්ද කොට්ඨාස 270 සම්පුර්ණ කරමින් ඇමෙරිකා ජනාධිපතිවරණය ජයගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වෙයි.
දැනට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ආසන 290ක් ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.

ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට ජයග්‍රහණය කිරීමට හැකී වී ඇත්තේ ඡන්ද කොට්ඨාස 218ක් පමණි.තවත් ඡන්ද කොට්ඨාස 30ක පමණ ප්‍රතිඵල නිකුත් වීමට නියමිතය.මැතිවරණය ජයග්‍රහණය සඳහා ඡන්ද කොට්ඨාස 538කින් 270ක් ජය ගත යුතුව තිබිණි .

රිපබ්ලිකන් පක්ෂය සෙනෙට් සභාවේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ජය හිමි කරගත්තේය.




ඇමරිකානු ජනාධිපතිවරණ සටන ජයටම කෙරීගෙන යන මේ මොහොතේ ලෝකයේ ඇති අපභ්‍රංස ම මැතිවරණය වන ඇමරිකානු ජනාධිපතිවරණය ගැන විස්තර ටිකක්. 1. ඇමරිකානු ජනාධිපතිවරයා තේරෙන්නේ ලංකාවේ වගේ සෘජු මහජන ඡන්දයෙන් නෙවෙයි. මහජන ඡන්දයෙන් තේරී පත් වන නියෝජිතයන් ගේ ඡන්දයකින්. 2. ඇමරිකාවේ ජනපද 50ක් තියෙනවා. ඒ ඒ ජනපදය මගින් ඇමරිකානු පාර්ලිමේන්තුවේ කොටස් දෙක වන සෙනේට් සභාව සහ කොංග්‍රසය වෙත මහජන නියෝජිතයන් (මන්ත්‍රීවරු) පත් කර යවනවා. ඒ ඒ ජනපදයෙන් තේරී පත්වන මහජන නියෝජිතයන් ගණන තීරණය වෙන්නේ ඒ ඒ ජනපදයේ ජනගහණය අනුව​. 3. ඇමරිකානු ජනාධිපති වරයා තෝරන්න බලය තියෙන්නෙ මහජනයාට නෙවෙයි. ඒ සඳහා මහජන ඡන්දයෙන් තේරීපත්වන විශේෂ නියෝජිතයන් පිරිසකට​. 4. යම්කිසි ජනපදයකින් තෝරා පත්වන විශේෂ නියෝජිතයන් ගනන ඒ ජනපදයේ මන්ත්‍රීවරු ගණනට සමානයි. උදාහරණයකට ටෙක්සාස් ප්‍රාන්තයේ මන්ත්‍රීවරු 38 දෙනෙක් ඉන්නවා. ඒ නිසා ටෙක්සාස් ප්‍රාන්තයෙන් විශේෂ නියෝජිතයන් 38ක් තේරී පත්වෙනවා. 5. යම්කිසි ජනපදයකින් විශේෂ නියෝජිතයන් තේරී පත්වෙන ආකාරය ඇමරිකානු ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ නෑ. ඒ ක්‍රමය තෝරා ගැනෙන්නේ ඒ ජනපදයේ ව්‍යවස්ථාව අනුව​. නමුත් සියළුම ජනපද තම නියෝජිතයන් එකම දවසක තෝරා ගතයුතු බව ඇමරිකානු ව්‍යවස්ථාවේ දැක්වෙනවා. ඒ නොවැම්බර් මාසයේ පළවෙනි සඳුදාට පස්සෙ එන අඟහරුවාදා. මේ අවුරුද්දෙ නම් නොවැම්බර් 8 වෙනිදා. 6. වර්තමානයේ සියළුම ජනපද තම විශේෂ නියෝජිතයන් තෝරා ගන්නේ මහජන ඡන්දයෙන්. නමුත් එසේ විය යුතුම නෑ. අතීතයේ දී සමහර ජනපද විශේෂ නියෝජිතයන් තෝරාගත්තේ ජනපදයේ පාර්ලිමේන්තුව මගින්. උදාහරණ ලෙස දකුණු කැරොලිනා, නිව් යෝක්, ඩෙලවෙයාර් දක්වන්න පුළුවන්. ඒ ජනපද වල මහජනතාවට තම ජනාධිපතිවරයා තෝරා ගැනීමට කෙලින්ම සහභාගී වෙන්න බෑ. 7. මේ එක් එක් ජනපදය තම විශේෂ නියෝජිතයන් තෝරා ගන්නේ එකිනෙකට ස්වාධීන වූ මැතිවරණයකින්. උදාහරණකට කැලිෆෝනියා ජනපදයේ මැතිවරණය ෆ්ලොරිඩා ජනපදයේ මැතිවරණය එක්ක කිසිම සම්බන්ධතාවයක් නෑ. 8. එක් එක් ජනපද වල මැතිවරණ වලට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් පවා වෙනස් වෙන්න පුළුවන්. ඩිමොක්‍රැටික් සහ රිපබ්ලිකන් පක්‍ෂවල අපේක්‍ෂකයන් සාමාන්‍යයෙන් ජනපද 50 ටම තරග කරනවා. නමුත් සුළු අපේක්‍ෂකයන් තරග කරන්නේ සමහර ජනපද වලට පමණයි. 9. සියළුම විශේෂ නියෝජිතයන් එකම දිනයේ තෝරා ගත යුතු නිසා හැම ජනපදයේම මේ මැතිවරණය පවත්වන්නේ එකම දවසේ. ඒ අර ව්‍යවස්ථාවෙන් නියම කරලා තියෙන දවසෙ​. අපි "ඇමරිකානු ජනාධිපතිවරණය​" කියල හඳුන්වන්නේ මේ එකිනෙකට වෙනස් වූ මැතිවරණ 50. 10. ඒ ඒ ජනපදය සඳහා ඉදිරිවන පක්‍ෂ තමාගේ විශේෂ නියෝජිතයන් ලැයිස්තුව මැතිවරණ දිනයට මාසයකට කලින් ඉදිරිපත් කළ යුතුයි. 11. ප්‍රාන්ත 48 ක් තමාගේ නියෝජිතයන් තෝරා ගන්නේ "winner takes all" ක්‍රමයට​. ඒ කියන්නෙ ඒ ප්‍රාන්තයේ මහජන ඡන්දයෙන් ජය ගන්න පක්‍ෂයට ඒ ප්‍රාන්තයේ සියළුම විශේෂ නියෝජිතයන් ගණන හිමි වෙනවා. උදාහරණයකට ඩිමොක්‍රැටික් පක්‍ෂය පෙන්සිල්වේනියා ජනපදය ජයගත්තොත්, ඒ ජනපදයෙන් තේරී පත්වෙන විශේෂ නියෝජිතයන් 20 දෙනාම ඩිමොක්‍රැටික් පක්‍ෂයේ අය​. 12. මේන් සහ නෙබ්‍රස්කා ජනපද දෙක පමණක් තමාගේ නියෝජිතයන් තෝරා ගන්නේ ඒ ඒ මන්ත්‍රී ආසන ගණන අනුව​. උදාහරණයකට මේන් ජනපදයේ මන්ත්‍රී ආසන 4ක් තියෙනවා. මහජන ඡන්දය අනුව ඒ ඒ ආසනය දිනන පක්‍ෂයට ඊට සමාන නියෝජිතයන් ගණනක් හිමිවෙනවා. ඒ කියන්නෙ රිපබ්ලිකන් පක්‍ෂය ආසන 3 ක් සහ ඩිමොක්‍රැටික් පක්‍ෂය ආසන 1ක් දිනුවොත්, විශේස නියෝජිතයන් පත්වෙන්නේ රිපබ්ලිකන් 3ක් සහ ඩිමොක්‍රැටික් 1ක් වශයෙන්. 13. මේ විදිහට හැම ජනපදයක්ම තමාගේ විශේෂ නියෝජිතයන් තෝර ගත්තට පස්සෙ, ඒ නියෝජිතයන් 538 දෙනා ජනාධිපති අපේක්‍ෂකයන් වෙනුවෙන් තමාගේ ඡන්දය පාවිච්චි කරන්න ඕනෙ. යම් කිසි අපේක්‍ෂකයෙක් ඡන්ද 270 ක් හෝ වැඩි ගණනක් ගත්තොත් ඔහු (හෝ ඇය​) ජනාධිපති ලෙස තේරී පත්වෙනවා. 14. කාටවත් 270 ගන්න බැරි වුනොත් ජනාධිපතිවරයා තේරීමේ වගකීම කොංග්‍රස් එකට පැවරෙනවා. එතකොට කොංග්‍රස් නියෝජිතයෝ 538 දෙනා ඡන්දය පාවිච්චි කරල ජනාධිපතිවරයාව තෝරනවා. 15. සාමාන්‍යයෙන් යම්කිසි පක්‍ෂයකින් තේරී පත්වන විශේෂ නියෝජිතයන් ඡන්දය දෙන්නේ ඒ පක්‍ෂයේ අපේක්‍ෂකයාට​. නමුත් එහෙම දෙන්නම ඕනෙ කියල ව්‍යවස්ථාවේ නෑ. නියෝජිතයාට ඕනෙ නම් වෙන කෙනෙක්ට දෙන්නත් පුළුවන්. උදාහරණයකට රිපබ්ලිකන් පක්‍ෂයෙන් තෝරල එවන නොයෝජිතයෙක්ට ඩිමොක්‍රැටික් අපේක්‍ෂකයට ඡන්දෙ දෙන්නත් පුළුවන්. එහෙම වුන අවස්ථා අතීතයේ තියෙනවා. උදාහරණයකට 2000 වසරේ ඩිමොක්‍රැටික් පක්‍ෂයේ නියෝජිතයෙක් වුන බාබරා සිමන්ස් ඡන්දය දීමෙන් වැලකී සිටියා. 16. මේ නිසා ප්‍රධාන පක්‍ෂ තමාගේ ලැයිස්තුවේ ඉන්න නියෝජිතයන් ගෙන් මැතිවරණයට කලින් ප්‍රතිඥාවක් ලබා ගන්නවා තමාගේ පක්‍ෂයේ අපේක්‍ෂකයටම ඡන්දය දෙන බවට​. ඒ වගේම මේ වැඩේ සඳහා තෝරා ගන්නෙ පට්ටම ෂුවර් සෙට් එකක්. 17. ජනපද 29ක් මේ වැඩේට එරෙහිව නීති පනවලා තියෙනවා. අනිත් ජනපද 21 ඊට එරෙහිව කිසිම නීතිමය තහනමක් දාල නෑ. නීති පණවපු ජනපද 29 දිත්, අදාල නියෝජිතයට දඬුවමක් දීම ඇරුනම​, ඔහු ඡන්දය දෙන ආකාරය වලක්වන්න බෑ. 18. මේ ක්‍රමය නිසා සමහර වෙලාවට ජනාධිපති ලෙස තේරී පත්වෙන කෙනාට වඩා පරාජිතයට මහජන ඡන්ද වැඩිපුර ලැබී තියෙනව වෙන්න පුළුවන්. උදාහරණයකට 2000 ජනාධිපති වරණයේදී ජයග්‍රාහක ජෝජ් බුෂ්ට වඩා පරාජිත ඇල් ගෝර් මහජන ඡන්ද 543,895 ක් ගත්තා. නමුත් බුෂ් නියෝජිත ඡන්ද 271 ගද්දි ගෝර් ගත්තෙ 266. ඒ නිසා ජනාධිපති වුනේ බුෂ්. ෆ්ලොරිඩා ප්‍රාන්තය බුෂ් දිනන්නෙ වැඩි ඡන්ද 537 වගේ සුළු ගානකින් (ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සම්පූර්න ඡන්ද ගාන ලක්‍ෂ 6 කට අධිකයි). නමුත් "winner takes all" ක්‍රමය නිසා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විශේෂ නියෝජිතයන් 25 දෙනාම පත්වෙන්නෙ බුෂ් ගෙ අය​. ඒ නිසා බුෂ් ජනාධිපති වෙනවා. 19. ඉතිහාසයේ වැඩිම මහජන ඡන්ද ප්‍රතිශතයක් ගත්ත අපේක්‍ෂකයා ඩිමොක්‍රැටික් පක්‍ෂයේ ලින්ඩන් බී. ජොන්සන්. ඒ 61.05% ක්. 1964 දි. 20. ඉතිහාසයේ වැඩිම විශේෂ නියෝජිත ඡන්ද ප්‍රතිශතයක් ගත්ත අපේක්‍ෂකයා ඩිමොක්‍රැටික් පක්‍ෂයේ ෆ්‍රෑන්ක්ලින් ඩී. රූසවෙල්ට්. ඔහු 1936 දී නියෝජිත ඡන්ද 531 කින් 523 ක් ම ලබා ගත්ත​. ඔහුට අහිමි වුනේ මේන් සහ වර්මොන්ට් ප්‍රාන්ත දෙක පමණයි

සසර සැරි සරන පාදඩයාගේ මුහුනු පොතෙන් මෙම කොටස උපුටා ගන්න ලදි ප්‍රාන්ත බෙදී ගිය අයුරු




තොටිල්ල පදවන අත අමෙරිකාව පාලනය කරන්නට තිබුණු ස්වර්ණමය අවස්ථාවක් ඉතා අවාසනාවන්ත ලෙස ගිලිහී ඇත. එසේ වතුදු ජීවන මංතලේ සත් වන දශකයේ පසු වන ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් ව්‍යාපාරික සිටාණෝ අතට අමෙරිකා පාලන යෝධ සුක්කානම ලැබීම වෙනුවෙන් අප ද මෙසේ සුභාසිංසන පළ කරමි.

to be continued...................



Friday, November 4, 2016

බිනර මහට පැල් ගැහෙමුද අපි නෑනෙ











නිකිණි’ ඉඩෝරෙන් ‘හේබාවී ගිය’ (මැලවී ගිය) ගහ වැල පරළු වී ඇති පොළෝතලයට ‘වට’, වැහිකේඳිල්ලෙන් ඉසිරී යන නැවුම් පුසුඹේ දැවටී, යළි නව දළු-කොළ-මල් ලා නව ප්‍රාණයක් ලබනුයේ, ‘බිණර’ මහේදීය.

බිණර, බිඞර හෝ බිනර මහ වූ කලී, චන්ද්‍ර මාස් රටාවේ සයවැනි මාසය වන අතර, වත්මන් මාස් වියමනේ නවවැන්නට යෙදෙන ‘සැප්තැම්බර්’ මාසය වන්නේමැයි.
අපේ ගොවි ඇත්තන්ගේ සිත් සතන් ප්‍රබුද්ධ කැරෙන “මාස්කන්න” හෙවත් ඊසානදිග මෝසම් වර්ෂාව සමාරම්භ වෙන, “පිඩදඩහස” නමින් වූ මෝසම් සමයට මුලපුරන්නේ මෙම ‘බිනර’ මාසයේදීයි. බිණර මසින් පටන් ගන්නා ඊසාන මෝසම් වර්ෂාව වියළි කලාපයට මාස හතරක් පුරාවට පලදරනු ඇති. එනිසා ම ගැමියෝ ඊට ‘වැහි හාරමාසය’ යැයි නම් කරති.

’බිනර’ මහ තිඹිරිගෙයිනි, ‘සරත් සමය’ බිහිවනුයේ. ගොවි ගෙත්තමට අනුගත ව බිනර, බිණර හෙවත් බිඞර’ යැයි මේ මාසයට නම පටබැඳී ඇත්තේ, ගොවීන් ‘මහකන්නට’ නමෝවිත්තියෙන්ම සිය වගා කුඹුරුවල ‘බිංනැඟුම’ (පළමු සී සෑම) හෝ බිංඇරවීම හෙවත් ‘මඟුල් හීය’ ආරම්භ කරන නිසාවෙනි. ‘බිංඇර – ‘බිනර වූ සේ ය.

එතැන් පටන් කොට, කුඹුරු පුරාවට සවන් වැකෙණුයේ, උද්දාමයෙන් ඉපිලෙන ගොවීන්ගේ ‘ඕසේ’ නැතහොත්, අඬහැරයේ ගීදැහැනයි. එම ගී අලංකාරී කිරීම වෙනුවෙන් වෙල් මැඩියන් තනු රටාවට සත්සර ගෙත්තම සපයන අතර තුර, ඊට මුහුකරනු වස්, නඟුලේ හී වැල ඉපණැල්ල පෙරළාහඬ ජලතරංග වාදනයක් සේය.
එම වාද්‍ය භ්‍රංදයට අවනතව ගොවියෝ උදාන අඬහැරය අපූරුවට ගයති. ඒ සියලු ම වාදන – ගායනයනට අනුරූප ව අම්බරුවන් අඩි මාරුකරනුයේ, සිව්පා රංගනයෙනි.

මේ අසිරිය වරුපෙතට (වගාබිමට) කැන්දන් ඒමට ‘බිනර මහ’ පෙරගමන් කරු වෙයි. එසේ ම මේ මාසය, භාරහාර අස්වනු උත්පාදනයේ මූලික අඩිතාලම ද වනු ඇති. මෙසේ වූ ‘බිනර මහ’ ගහවැල ද ආයිත්තම් කැරුමට සමති. ඇරත් සතාසීපාවාගේ ආහාර පාන නිෂ්පාදනයට බිනර වැසි ඉවහලි.
එපමණක් ද නැත. උක්ත මාසයට මල්වරවන සුපුෂ්පිතයෝද බෙහෙවි. ‘බිඞර මල්’ හෙවත් ගින්නේරිය මල් ලන්ද කසාවතින් කළඑළි කරයි. ඇරත් ‘බිඞර’නමින් වූ දියබෙරලිය දියනිල්ලේ යාන්වෙමින් වැව් අමුණු මල්යහන් බවට පත් කරනුයේ ද මේ බිණර – මහේදීය.

සරත් සෘතුවේ මුවදොර ලෙස සැලැකිය හැකි ‘බිනර මහ’ යෞවන, යෞවනියන්ගේ ‘ලීල ගෙඩි’ (ප්‍රේමාන්විත හදවත්) හංකිති කවන සරාගික සමය කැයි ද පැවසේ. එහෙයින්ම දෝ මේ මාසයේ නාඹර පදමේ රහමිහිරට ඔවුන් ආසක්ත වනුයේ.

එසේ ම නිකිණි මාසය පුරා, අහස මත සක්මන් කළේ පුළුන් පොදක් බඳුවූ සැහැල්ලු වළාවන් ය. එහෙත් බිණර මාසය ලබත් ම “බිනර කළු” වලින් (වැසිවළාවන්ගෙන්) අහස් කුස ආවරණය වන්නේම ය.
ගෝණ, මුව හා සා දෙනුන් ගැබ්ගන්නා සමය ද මෙය වෙයි. ඇරත්, දූවිල්ලට වපුරන ලද කුරහන් ඇට ‘ඇස්පෙන්නේද’ (පැලවීමට මුල් ඇතිවන්නේද) ඉරිතළා තිබූ වැව් තාවලු නිල්ලඹනුයේ ද බිනර මහේ වැස්සෙනි.

මේ අයුරින් සිරිදුව කැන්දන ‘බිනර මහේ’, අපේ ගමේ බිමේ නාඹර පදමින් ඔපවැටුණු තරුණයෙකු ගේ මුව‘ගින් මෙවන් ඇරියුම් සීපදයක් මිමිණෙන බව අපූරුවක් නොවෙයිනෙ.

’බිනර’ ‘ඕසයෙන්’ සලිතව වැටමාණේ
’බිඞර’ මලක් පිපුණද නුඹගේ මූණේ
’බිනර කළු’ කපා පායන හඳපානේ
’බිණර’ මහට පැල් ගැහෙමුද අපි නෑනේ


මේ සීපදයෙන් දිගෙලිවෙන ආලවන්ත ආරාධනයෙන් ගම්‍යමාන වෙනුයේ ‘බිනර මහ’ තාරුණ්‍ය හදවත් පෙම්පවසින් මෝදුවන බව ය.
එනයින් ම අපේ ගැමි නාඹරියන් බහුතරයක් ම සැදීපැහැදී සිටින්නේ, තම ‘නළලේ කෙටූ’ ඉරණම් ගමනට අතවනමින් නාඹරයාගේ කැදැල්ලට යාවෙන්නට ය.

ඇරත් නාඹරයෝ ද ‘බිනර’ මලක් බඳු කෝමළ වූ නාඹරියන් සිය පපු කැමැත්ත සොරාගත් නිසාවෙන් ම, නවදැලි හේනේ ඉදිකළ පැල්පත නමැති සුරවිමනට කැන්දන් ඒමට ‘බිනර’ මහම තෝරා ගත්හ. බිනර කළු අහස පුරා වියන් බැඳෙද්දී, දෙවැටේ පීදෙන ‘බිඞරමලින්’ (කහපාට වූ ගිනිහිරියමලින්) නැගෙන කාන්තියේ රන්වනින් සැරසුණු සුකුමාල ‘බිනරියෝ’ (කන්‍යාවෝ) බිණර සමයට (සරත් සෘතුවට) ‘හාති’ දෙමින් (චුම්බන පුදමින්) තම හඳුන්පතේ සඳුන් රුකක්වන් ආලවන්ත තරුණයාගේ සුරවිමනට වැඩම කරති.

මේ අනුව බිඞර, බිණර හෙවත් බිනර මහ ගැමි ගොවි සිත්සතන් පුබුදු කරන අතර, ගැමි නාඹු, නෑඹියන් ගේ ස්වාර්ථයන් ද සාධනය කැරෙන, එමෙන් ම සොබා සොඳුරු බවින් පූරීත මාසයක් ම වන්නේ ය.