Sunday, October 30, 2016

ගැහැනිය






විරුවන්, කලා කරුවන්, විදුවන්                රැසට
ජීවය ලබා දී, නැති අයුරින්                           නිවට
ලේ කිරි කර පොවන සවිබල              වඩනුවට
ගැහැනිය සදාතන සඳ මඬලයි              ලොවට

සෙනෙහස සදාතනිකව හද කුටිය           තුළ
උතුරන, ඒ මඟින් සිත් මල් පුබුදු                කළ
ඇති මහ බලය ‘අම්මා’ යන අකුරු            වල
කිසිදා කිසිවකුට නොම කළ හැකි ය      මිල

ගැහැනිය දෙවැනි තැනකට ලා         සලකන්න
නොහැකි ය කිසිවෙකුට මේ ලොව තුළ ඉන්න
ඒ මහ සවිය රැකගෙන පෙරටම              යන්න
අදිටන් කරමු එකතුව ලෙස                සුපසන්න









Tuesday, October 25, 2016

වෙනස








ගමට කලින් හිරු වැඩියට
මොළවන්නට ලිපක් කොහිද.....
ළඳු දෙණිවල ඇවිද ගිහින්
මිටි බඳින්න දර කොයින්ද.....
රටා තියල අමදින්නට
වැලි මිදුලක් මෙහෙ කොයින්ද
නිල් තණකොළ හැඩට වවපු
සිමෙන්ති බිම හතර වටේ
වෙරළු දං හිඹුටු මෙහෙ නෑ
බෙහෙතකටත් හොයා ගන්න
ගෙදර යන ගමන් ගන්නට
ගහෙන් කැඩුව නැවුම් ඒවා
දිය පාරේ තිත්ත පැටවු
උඩ පැන පැන නටන්නෙ නෑ
ගේ ඇතුළෙ ම මහා පොකුණු
ගෝල්ඩ් ෆිෂ්ලා, සින්දු කියන
දෙ ඇස් පොවන හැම මානෙම
විසල් පවුරු අහස උසට
පීදෙන නිල් කෙත්වතු නැහැ
නිල් අහසට සිනා සලන
හමන සුළඟ සිහිලක් නෑ
ගිනි ගත් හිත් නිවාලන්ට
ගමේ පැලට වැඩිය සැපක්
මෙහි තියේද සොයා ගන්න





Monday, October 24, 2016

කව් ලොව මුදුන් මල්කඩ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණෝ

තොගමුවේ ශ්‍ර
රාහුල හිමිපාණෝ
 ඉඳුරුලෙන ගල්ලෙනෙහිදී
“සුරදෝතා... මෙහාට ආවා නම්...”

වෙනදා මෙන් අලුයම පිබිදුණු තොටගමුව වෙහෙරේ නායක හිමියෝ සුදෝසුදු වැලිමළුවේ සක්මනෙහි යෙදෙමින් සිටියදී පන්සල වැට පැන ගොන් නාම්බකු ගොම තලියක් හලා ගොස් තිබෙනු දැක තමන් වහන්සේට ම මොනවාදෝ මුමුණමින් අනතුරුව උස් හඬින් එසේ අඬ ගසන්නට වූහ. සුරදෝතා ඇබිත්ත කොලුවා ය. කොහේදෝ සිට දිව ආ සුරදෝතා මඳක් දුරින් සිට ඇසපිය නොහෙළා බලා සිටින්නට වූයේ ය. හිමි කොලුවා දෙස බලා ගොම තලියට ඇඟිල්ලක් දිගු කර මෙසේ කියන්නට වූහ.

‘සුරදෝතා - වර මෑතා
ගොම දෝතා - දම ඈතා’

සුරදෝතා වහා ගොම තලිය දෑතින් ගෙන ඈත හෙළුවේ ය.
කෝට්ටේ යුගයේ මහා පඬිවරයකු කිවියකු මෙන් ම භාෂා ගණනාවක ප්‍රවීණත්වයෙන් යුතු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකමට උපන් හපන්කමින් යකුන් ගෙන් ද වැඩ ගත් ඒ උන් වහන්සේ අන් කවරකුවත් නොව දෙස් විදෙස් පතළ ව තොටගමුවේ විජයබා පිරිවෙනේ පිරිවෙන්පති ව වැඩ විසූ වාචීස්සර, ෂඩ්භාෂා පරමේශ්වර ත්‍රිපිටකාචාර්ය, මහා කිවි තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේ ය.

නොඑසේ නම් තුන් සිංහලය එක්සේසත් කළ හය වැනි සිරි පැරකුම් නිරිඳුන් ගේ පුත්‍ර ස්නේහයට පාත්‍රව කුඩා වියේ සිට ම එතුමාගේ ඇසුර ලබමින් හැදී වැඩුණු කඳවුරු කුලයෙහි උපන් දෙමටානේ කුමරුන් ය. තවත් අයුරකින් කියන්නේ නම් සිංහල සාහිත්‍යයේ අඳුරුතම යුගයක ඉපිද අඳුරු යුගයක් ඒකාලෝක කරමින් සාහිත්‍යයේ පෝෂණයෙහිලා ස්වර්ණම කාල පරිච්ඡේදයක් බිහි කළ කීර්තිධර යතිවරයාණන් වහන්සේ ය.

උන් වහන්සේ මෙලොව එළිය දුටුවේ ක්‍රි.ව. 1411 අප්‍රේල් මස 04 වෙනි ගුරු දින දහවල් 11.36 ට ය. උපන්නේ දෙමටාන නම් ග්‍රාමයේ ය. දෙමටාන ග්‍රාමයේ අධිපති ව වැඩ විසූ මෞර්ය වංශික ප්‍රභේදයක් වන කඳවුරු කුලයෙහි වික්‍රමබාහු නම් කුමරකුට දාව සීලවතී නම් කුල කුමරිය මේ පින්වත් කුමරු බිහි කළා ය. කුඩා වියේ දී ‘දෙමටාන කුමරු’ ලෙසින් හඳුන්වනු ලැබූ කුමරු බිලිඳු අවධියේ දී ම සිය පියාණන් හදිසියේ මිය පරලොව ගියේ ය.


බිලිඳු සමඟ තනි වූ සීලවතී වැන්දඹුව සිරි පැරකුම් රජු තම බිසෝ තනතුරෙහි තබා ගත්තේ ය. පුත්‍රයකු නොමැති දියණියන් දෙදෙනකුට පමණක් පියකු වූ රජු දෙමටාන බිලිදු කුමරා හදා වඩා ගන්නට වූයේ තමන්ගේ පුත්‍රයකු ලෙසිනි. රජුගේ නොමඳ ස්නේහයෙන් උස් මහත් ව වැඩුණු දෙමටාන කුමරු පසුකලෙක ද රජු සමඟ පැවැති සමීප සබඳතා ගසට පොත්ත මෙන් බිඳකුදු අඩුවක් නොවී පැවැත්තේ ය.

වීදාගම තෙරුන්ගේ ශිෂ්‍යයකු ව ද තොටගමුවේ උත්තරමුල රාහුල තෙරුන්ගේ මුනුපුරකු ද වන දෙමටානේ කුමරුන් ලමා වියෙහි දී ම පැවිදි බිමට පත් වූහ. දෙමටානේ කුමරු එතැන් පටන් තොටගමුවේ සිරි රහල් හිමි වූහ. උන් වහන්සේ මයුර - වාහනා රූඪ කඳ සුරිඳුන්ගෙන් වරයන් ලත් බව ද පොතපතෙහි සඳහන් වේ.
ළා බාලතම වියෙහි පටන් සිය ඥාන ප්‍රතිභාව මොනවට විදහා දැක්වූ ශ්‍රී රහල් හිමියෝ තොටගමුව වෙහෙරේ වැඩි වශයෙන් කල් ගෙවූහ. සිය දිවියෙහි වැඩි කලක් එහි කල් ගෙවූව ද උන් වහන්සේ සවන සිරි පැරකුම්බා නිරිඳුන් හා රජ පවුල සමඟ පැවැති සබඳතා කොතෙක් ද යත් නිතර රජ මාළිගයට වැඩම කිරීම ද සිරිතක් ව පැවතියහ.

ශ්‍රී රහල් හිමියනට තමන්ගේ රාජ්‍යයේ උපදේශක තනතුර ද ප්‍රදානය කළ පැරකුම් නිරිඳාණෝ තම රජ මාලිගය අසල ම ආරාමයක් තනවා දී පූජා කළේ ය. එය පැරණි මාලිගාවත්තේ ම කොටසක් වන ඇතුලු කෝට්ටේ ය. මෙකල සුසාන භූ®මිය පිහිටි ස්ථානයේ එය ඉදිකර තිබූ බව අසිරිමත් කෝට්ටේ ග්‍රන්ථය කියාදෙයි.

සිරි රහල් හිමියන්ගේ නායක හිමියන් වූ උතුරු මූල මාහිමිපාණන් වහන්සේ ය. උන් වහන්සේ පිළිබඳ කියැවෙන රසවත් කතා පුවතක් ද සිහිනැඟෙයි. පන්සලෙන් බැහැර වැඩම කරන්නට සූදානම් වන ලොකු හාමුදුරුවෝ තම පොත් කාමරයේ තබා ඇති අල්මාරියක් වෙත යති. එහි දොරක් ඇර කුඩා බෝතලයක මූඩිය විවර කරති. සිහින් කෙන්දක් වැනි දෙයක් එහි බහා එළියට ගෙන තම දිවෙහි තෙල් බිඳුවක් තබා ගනිති.

පෙර සේ ම බෝතලය එහි සුරැකිව තබා නික්ම යති. කිහිප දිනකදීම සිදු කැරුණු මෙම සිදුවීම දෙස කුතුහලයකින් යුතුව සැඟවී බලා හුන් අපේ පොඩි රාහුල හිමියෝ එක් දිනෙක ඒ පිළිබඳ ව තම ලොකු හාමුදුරුවන් ගෙන් විමසා සිටියහ.

“පොඩි නමට ඒවායින් කාරි නෑ - ඔන්න ඔහෙ වැඩක් බලන් ඉන්ට - එව්ව මහ බලගතු තෙලක්...” ලොකු හාමුදුරුවෝ දුන් පිළිතුරින් සැහීමකට පත් නුවූ රාහුල හිමියෝ තව තවත් ඒ ගැන අසමින් ඇවිටිලි කරන්නට වූහ.
“පොඩි නමටත් ඕන් නැති දෙයක් නෑ වගේ. ඒක තමයි සිද්ධාලෝක රසය - හරිම බලගතුයි. ධාරණ ශක්තිය තෙගුණ වෙනවා. මළත් නරක් වෙන්නෙ නැහැ.”
පොඩි රාහුල හිමිගේ ඇස් උඩ ගියේ ය. එතැනින් කතාව නැවතිණි. දිනක් ලොකු හාමුදුරුවෝ නැති වේලාවක් බලා ඒ අල්මාරියේ තිබූ තෙල් කුප්පිය අතට ගෙන එක හුස්මට මුවට හලාගත් රාහුල හිමියෝ වහා එහි දොර වසා දමා මෙසේ ප්‍රාර්ථනයක යෙදුණේ ලු. තමන් වහන්සේ වැළඳූ බලගතු සිද්ධාලෝක රසය හේතුවෙන් තම සිරුර මරණයෙන් පසු ද දින දස ලක්ෂයක් පවතින්නට සැලසෙත්වා යන්න ඒ ප්‍රාර්ථනාවයි.

කෝට්ටේ යුගයෙහි බිහි වූ සන්දේශ කාව්‍යයන්හි ශ්‍රී රාහුල මාහිමියන්ගේ අද්විතීය ප්‍රතිභාව අසමාන ය. උන්වහන්සේ ගේ ශ්‍රේෂ්ඨ බව දුටු වියත් කවීන් එතුමන් පිළිබඳ කළ අගැයීම් අතර ගිරා සංදේශයෙහි සඳහන් වනුයේ මෙලෙසිනි.

ගැඹුරු විජම් පෙළ කිරි සයුර ඇම විට

සොඳුරු නුවණ මෙර පහරින් සකොබ කොට

මියුරු පද අරුත් අම ගෙන දෙන ලොවට

කවුරු සදිසි වෙති මෙකලට එයනි ඳුට







කොවුල් සඳෙස් කතුවර ඉරුගල් කුලතිලක පිරුවන් හිමියෝ ද සිය කොවුල් සන්දේශයෙහි ශ්‍රී රහල් මාහිමියන්ගේ ශ්‍රේෂ්ඨ බව ද සාහිත කලාවෙහි ප්‍රතිභාපූර්ණ බව ද ඉහළින් වර්ණනා කළහ.

නායක මාහිමියන් අපත්වීමෙන් පසු තොටගමුවේ විජයබා පිරිවෙනෙහි පිරිවෙන්පති ධූරයට පත් උන්වහන්සේ මිහිඳු හිමියන් ආරම්භ කළ මෙරට සංඝ ශාසනය දීප්තිමත් බවින් වැඩි දියුණු කරලන්නට තම නිසඟ භාෂා ඥානයෙන්, පාණ්ඩිත්‍යභාවයෙන් සහ කවීත්වයෙන් දෙස, බස පෝෂණය කිරීමෙහිලා මහත් සේ කැපවී ක්‍රියා කළහ.

විදේශයන්හි වියතුන් ද ශිෂ්‍යයන් ද මෙහි පැමිණ උන්වහන්සේ ගුරු තන්හි තබා ශාස්ත්‍රෝද්ග්‍රහණය කිරීමට පෙළගැසුණාහ. ඉන්දීය සාහිත ලෝකය බැබැළ වූ කාලිදාස, වසුබන්ධු, තාගෝර් ආදී මහා වියත් පඩිදනන් ගේ කෘතීන් පිළිබඳ නිබන්ධයන් ලිවීමට ද එතුමා සමත් වූහ. ලක්දිව මෙතෙක් විසූ කවීන් අතර මුල්තැනෙහිලා අවිවාදයෙන් සැලකෙනුයේ ශ්‍රී රාහුල සංඝරාජ හිමියන්ය. පැපිලියානේ මංගල තෙරුන්ගෙන් පසුව හිස් වූ සංඝරාජ පදවිය උරුම වූයේ උන්වහන්සේට ය.

කෝට්ටේ සාහිත යුගය ප්‍රභාශ්වර කළ උන්වහන්සේගේ බහුශ්‍රැතභාවය හා විචක්ෂණශීලී භාවය පන්සිය පනස් ජාතකයේ සත්තුභත්ත ජාතකය ඇසුරින් ලියූ කාව්‍යශේඛරය නම් ග්‍රන්ථයෙන් හෙළිවන බව විද්වතුන්ගේ පිළිගැනීමයි.
සංස්කෘත ප්‍රාකෘත ශෞරසෙනී, මාගධී, පෛශාඩී හා අප්‍රබංස භාෂා ප්‍රවීණයකු වන උන්වහන්සේ අතින් ලියැවුණු මා හැඟි ග්‍රන්ථයන්ගෙන් කෝට්ටේ යුගයේ සාහිත්‍ය උසස් අන්දමින් පෝෂණය වූහ. උන්වහන්සේ අතින් පරවි සන්දේශය මුල්වරට ලියැවුණි. දෙවනුව කාව්‍යශේඛරය, සැලලිහිණි සන්දේශය, පංචිකාප්‍රදීපය, බුද්ධිප්පසාදනී යන ග්‍රන්ථ ද එළිදැක්වුණේ මුද්‍රිත පොත් නුවූ යුගයකදී ය.

පංචිකාප්‍රදීපයට පාලි, සිංහල, සංස්කෘත පොත් අසූවකින් ගත් කරුණු අඩංගු වී තිබීමෙන් 15 වන ශතවර්ෂයේ භාෂා රැසකින් පොත්පත් ලියූ ශ්‍රී රාහුල හිමියන් හැර අන් කිසිවකු නුවූ බව ද හෙළිවේ. උන්වහන්සේගේ අනෙක් කෘතීන් ලෙස සීමා සංඛර ඡේදනී, තොටගමු නිමිත්ත හා චතුරාර්ය සත්‍ය කාව්‍යය යන ග්‍රන්ථ යැයි සැලකුවද ඒවා නිශ්චය නැත.

උන්වහන්සේ විසින් රචනා කරන ලද පරවි සන්දේශයට පාදක වූයේ පැරකුම් රජුගේ දියණියන් දෙදෙනා යැයි කියති. රජුගේ චන්ද්‍රවතී නමැති වැඩිමහල් දියණියට සුදුසු සැමියකු ලැබදෙන ලෙසටත් රජු ආරක්ෂා කරදෙන ලෙසටත් ආයාචනා කරමින් දෙවිනුවර උපුල්වන් දෙවිඳුන් වෙතට පරවි සන්දේශය ලියූ බව ද රජුගේ අනෙක් දියණිය ලෝකනාථ හෙවත් උලකුඩය දේවියට සුදුසු පුත්‍රයකු ලබා දෙන ලෙසට ආයාචනා කරමින් කැලණියේ විභීෂණ දෙවියන් වෙතට ලියූ බවද පොත පතෙහි සඳහන් වේ. එතුමා විසින් කාව්‍යශේඛරය නම් මහා කාව්‍යය රචනා කළේ ද උලකුඩය දේවිය කළ ඇරියුමකින් බව ද එකී ග්‍රන්ථයෙහි ආරම්භයෙහි දී ම සඳහන් වේ.

හයවැනි සිරි පැරකුම් රජිඳුන් පිළිබඳ ලියන ලද පැරකුම්බා සිරිත ද ශ්‍රී රාහුල මාහිමියන්ගේ බවට විද්වතුන් පිළිගැනේ.


අමුතුම ශෛලියකට අනුගතව ලියූ ශ්‍රේෂ්ඨ කාව්‍ය ග්‍රන්ථයක් වූ ගුත්තිලය වෑත්තෑවේ හිමියන්ගේ ප්‍රතිභාව කියාපාන්නකි. වෑත්තෑවේ හිමි අමනාපයෙන් පිටමං ව ගිය සිදුවීම් පෙළට අනුව ගුත්තිල ජාතකය තෝරාගෙන ගුරු ද්‍රෝහී බවේ ආදීන ව උපමා කොට ලියූවක් බව ද සඳහන් වේ. පසුකලෙක වෑත්තෑවේ හිමියන් වෙත රාජ්‍ය ගෞරව සහිත බොහෝ තෑගි බෝග ප්‍රදානය කැරුණු බවද පැවසේ.

රාහුල හිමියන් තොටගමුවේ විජයබා පිරිවෙණේ විහාරාධිපති ධූරය දරන සමය වනවිට , සියලු සාස්ත්‍ර වල කෙල පැමිණි යතිවරයෙක් විය.උන්වහන්සේ ගූප්ත විද්‍යවෙන් නොයෙකුත් හාස්කම් කලබවට ප්‍රකටය. වරක් දේව රූපයක් දකිනු රිසියේන් සෙත් කවියක් කියු විගස දේවියන් දර්ශණය වූ බව ප්‍රකටය.රාහුල හිමියන්ට යොදුනක් මානයේ කතාබහට සවන්දිය හැකි ධ්වනිවාහිනි නම් යන්ත්‍රයක් තිබිනු බවත් ගුප්ත
විද්‍යා බලයෙන් හිමාලයට ගොස් එහි විස්තර දැනගෙන “හිමාල වර්ණනා” නම් පොතක් ලිවූ බවටත් කතාවක් ඇත. ගූප්ත ශාස්ත්‍ර මගින් යකුන් ඇතුළු අමනුෂ්‍යන්ගෙන් වැඩ ගත් බවද ප්‍රකටය. තොටගමුවේ විහාරය වැඩ පවා යකුන් ලවා කරගත් බව කියැවේ එම විහාර කොටුවේ මේ භුත පිරිස විසූ අතර එම ප්‍රදේශය අද යක්කටුව නමින් හැදින්වේ. තවත් අවස්තාවක විහාරයේ මල් පූජාවට යන විට මලසුනේ යමෙක් නිදා සිටිනවා දුටු රහල් හිමියෝ අමුත්තාගේ සැරැටිය සහ ඔලගුව හංගා අවවාද කළේය. දේවතාවකු වූ අමුත්තා රාහුල හිමියන්ට සිද්ධාලෝක රසය හා දඹ රන් කෑල්ලක් පිදු බව කියැවේ.
රාහුල හිමියන්ගේ ප්‍රධාන ගෝලයවුයේ වෑත්තෑවේ හිමියන්ය.යම් සිදුවීමක් නිසා ගුරු ගෝල දෙදේනා අතර අමනාපයක් ගොඩ නැගුණි. ගුරු හිමියො ගෝලයා කෙරෙහි අසතුට පළකරනුවස් වෑත්තෑවේ හිමියන්ගේ අහාර බඳුන තුන්පලකට පළා බෙදා ඉඟියක් කල බව පැවසේ. වෑත්තෑවේ හිමියන්ට මේ බව තේරුණි. නමුත් තමා කිසිවිටෙකත් ගුරුවු රාහුල හිමියන්ට ද්‍රොහි නොවන බවත් එසේ ද්‍රොහි වීමේන් ලැබේන ප්‍රතිඵල තම දන්නා බවත් පැවසිමට ගූත්තිල කාව්‍ය කල බවත් පැවසේ.එසේම මේ කාව්‍යය “සිය පින් සරින් සරු , දේතිස් ලකුනේන් විසිතුරු” යනුවෙන් කාව්‍ය ශාත්‍රයට අනුව වායුගණයෙන් ඇරඹිණ. ඒ අනුව රහල් හිමියන් අමතා “වෑත්තෑවේ මේ පැත්තේ නැව් නගී දැයි” කිවේලු. එලෙසින් වස් වැදුනු වෑත්තෑවේ හිමියන් නැව් නැග විදේශ ගත වූයේලු.
දෙනම වහන්සේ අතර හටගත් කිසියම් අමනාපයක් හේතුවෙන් එතුමා අත්හැර ගිය වෑත්තෑවේ හිමියෝ සිවුරෙන් ද පිටමංව සිටි බවත් යළිත් රහල් හිමි වෙතට සිවුරෙන් වැඩම කළ වෑත්තෑවේ හිමි බොහෝ කොට ගුරු වර්ණනා කරමින් සමීප ව හුන් බවත් කියැවේ.

සිරිපැරකුම් රජුගේ දෙවන දියණිය උලකුඩය දේවිය පුතකු ප්‍රසූත කළා ය. ඕ විවාහ වී සිටියේ ඉන්දියාවේ නන්නූර්තුනයා නම් ධනයෙන් ද බලයෙන් ද උගත්කමින් ද පිරිපුන් තැනත්තකු සමඟ ය. බෑණනුවන් රජුගේ සිත් දිනා සිටියේ ය. ඔවුනට උපන් පුතුට දෙවන ජයබාහු නම තැබිණි. සිරි පැරකුම් නිරිඳුන් ගේ මුනුපුරා වූ ඒ පුතු කෙරෙහි මහත් ස්නේහයෙන් තමන්ගේ ඇවෑමෙන් රාජ්‍යත්වය දෙවන ජයබාහු කුමරුට හිමිවිය යුතු බවට සලකා තිබූ අතර තම පියරජුගෙන් පසු රජ කිරුළ තම එක ම පුතුට හිමිවිය යුතු බවට උලකුඩය දේවිය ද ශපථ කොට තිබුණා ය.

පුතුනට ඇලුම් කළ ද පුතුන් නොලබා දියණියන් පමණක් ලද රජු සිරි රහල් මාහිමි කුඩා වියේ දී දරු කමට ගෙන හදා වඩා ගත් අයුරින් තවත් කුමාරවරුන් දෙදෙනකු ද කුඩා වියේදී ම තමන් වෙත ගෙන පුත්‍ර තනතුරේ තබා ඇති දැඩි කළේ ය.

ඒ සපුමල් කුමරු සහ අම්බුළුගල කුමාරයා ය. උතුරු පළාත සපුමල් කුමරුට ද උඩරට පළාත අම්බුළුගල කුමරුට ද පැවරූ රජු කුඩා මුනුපුරු දෙවන ජයබාහු පැවිද්දට කැමැත්තක් දක්වන බවද අවබෝධ කොට සිටියේ ය. දැහැමින් කෝට්ටේ යුගය සාහිත රසින් පුබුදුවාලීමට සාහිත්‍යධරයනට කැපවීමෙන් ඉඩහසර ලැබ දුන්නා වූ හයවැනි සිරි පැරකුම් රජු 71 වියෙහිදී සදහට ම දෑස පියාගත්තේ ය. ඉක්බිති එහි රාජ්‍යත්වයට පත් වූයේ දෙවන ජයබාහු කුමරා ය.
රජුගේ මුනුපුරා ය. මේ බව දැනගත් සැනින් නාගයකු සේ කිපී ගිය සපුමල් කුමරු දෙවන ජයබාහු රජු කෙරෙහි වෛරයෙන් දැවී ගියේ ය. සිහසුන හොඳින් හෝ නරකින් තමන්ට ලබාගන්නට තීරණය කළ හෙතෙම සේනා සහිත ව පැමිණ දෙවන ජයබාහු හා සටනට එළැඹියේ ය. තෙවරක් ම සිදුවූ සටනින් පැරද ගිය සපුමල් කුමරු බද්ධ වෛරයෙන් යළිත් සටනට වැද දෙවන ජයබාහු මරාදමා සිහසුන් ගතවූයේ, 6 වන බුවනෙකබාහු නමිනි. මියගිය පැරකුම් රජුට ද රජ මාළිගයේ සියල්ලනට ද කරුණා මෛත්‍රියෙන් ළැදි ව පසු වූ අපේ රහල් මාහිමියන් සපුමල් කුමරු දෙවන ජයබාහු මරාදැමීම පිළිබඳ ව නොසන්සුන් වූහ.

උන්වහන්සේ ගේ දොම්නසට ම මේ සිදුවීම් හේතුපාදක වූහ. පැරකුම් රජු ද අනුමත කළ ජයබාහු ගේ රාජ්‍යත්වය සැහැසි උදුරාගැනීම පිළිබඳ සපුමල් කුමරුට එරෙහි ව රහල් හිමි එළිපිට ම විරෝධතා පෑහ. ඉන් රහල් හිමියන් කෙරෙහි ද සපුමල් කුමරු වෛර බැඳගත්තේ ය. මහත් කලකිරීමකට පත් උන්වහන්සේ කිසිවකුට හෝ නොදන්වා රහසේ නික්ම ගියහ.
සපුමල් කුමරු තමන් මරා දමනු නියත බව ද දැන සිටි උන්වහන්සේ ඇල්පිටිය පිටුවල පාරේ අම්බන පෙදෙසේ මහා ගණ වනරොදක උස් කඳු බිමක පිහිටි ඉඳුරුලෙන ගල් ගුහාවෙහි වාසයට වැඩම කළහ. එහි මියගිය ගිහියකුට සිවුරු අන්දවා රාහුල හිමි අපවත්වූ බවට සමීප දායක පිරිස ලවා සපුමල් කුමරුට දැනගන්නට සැලැස්වූහ.

කෙසේවතුදු ඒ මහ ගණ කැලෑවේ ගල්ලෙනෙහි හුදකලාවේ සිය දිවියේ අවසන් කාලය නිහඬව ම ගත කළ උන්වහන්සේ ඒ ගල්ලෙනෙහි ම අපවත් වී වදාළහ. ඒ වන විට උන්වහන්සේට වයස අවුරුදු 80ක් පමණ වුහ. පෘතුගීසීහු ලක්දිව ආක්‍රමණය කිරීමේදී ගල්ලෙනක සුරැකිව පවතින මෘත දේහයක් අහඹුව දුටු පූජකවරයකු මාතර පුංචිත්තා නමැත්තකු ගේ ද සහාය ඇතිව දේහය පෘතුගාලයේ ගෝවේට රැගෙන ගිය බවක් ද කියැවේ.

ක්‍රි.ව. 1505 දී ගෝවේට ගෙන ගිය දේහය එහි බොම්ජේසු දෙව්මැදුරක තබා ආගමික පූජකවරයකු වූ සෙන් ප්‍රැන්සිස් ෂාවියර් නමැත්තා ගේ මළසිරුර එය බවට සාක්ෂිවලින් තොර වූ විශ්වාසයකින් ආරක්ෂා කරති. ප්‍රාණය නිරුද්ධ දේහයේ නිය හා කෙස් තවමත් වැඩෙන බව ද කියති.
උන්වහන්සේගේ එක් අතෙක ඉතිපිසෝ ගාථාව පච්චා කොටා තිබූ බවද ඒ අත කපා වෙන්කොට ඇති බව ද කියැවෙයි. එහෙත් මේ කතාවේ බොහෝ තැන් විවාදයට ද බඳුන් වෙමින් ජන තුඩ තුඩ රැඳී පැවතුණ ද සාහිත රසින් ලක්දිව පොබ කළ මහා වියත් සිරි රහල් මාහිමියන්ගේ් නාමය ද රූපය ද නොදිරා තවත් බෝ කල් පවතිනු නිසැක ය. උන්වහන්සේ අමරණීයය.


Saturday, October 22, 2016

රැවුළට ගෙතූ කවි






නෑඹුල් රැවුළ එන කඩිසර මදි හන්දා
ගෙන ගිනිකූරු දැළි රැවුළේ උඩ ඇන්දා
ගැටවර වියේ ලැදි රැවුළට ඇයි මන්දා
ඇතිදා වහ කදුරු වගෙ නැති දා ඇන්දා

අබරණයක් වෙලා අද මුහුණට රැවුළ
ගාමිණි අබා වළගම්බා වැනි රැවුළ
ඉසිවර තවුස් වෙස් ගත් තව උන් රැවුළ
ජූතක බමුණු ලෙස නිකටේ දිගු රැවුළ

සිහිනිව ගිනිකූරු කට් නම් තැබු රැවුළ
දෙපසේ මුව සපත්තුවෙ හැඩ ගත් රැවුළ
තොළ මැද මදක් තැබු සමනල් කට් රැවුළ
තේජස් ලෙසට කරකැවු අංකුටු රැවුළ

බෑවත් නොබෑවත් හැමදා එන රැවුළ
මූසල බවක් කියවෙයි නැති උන් රැවුළ
කළු කෙස් පැහෙන තුරු හැඩ ගන්වන රැවුළ
කිසිදා යළි නොඑන බෙහෙතක් නැති රැවුළ







      

Friday, October 21, 2016

සාමා අමර නයනා සමග එක් වූ සල් ගස







මග තොටදී අද සාමා හමු විය
ඇය ගුරුතුමියක් ඉස්කෝලේ
අමරත් බැදලලු පුතෙක් ඉන්නවලු
ඇය කී පසුවයි දැන ගත්තේ

අපි දුට් සල් ගස කපා දමාලූ
මුළු පරිසරයම එහි වෙන්සලු දැන්
දරා ගන්න බැරි ඒ ශෝකෙන් සිටි
නයනා සමුගත්තලු රහසේ

සල් ගස නයනා සාමා සිහි වී
මගේ හදත් සැලුනා රහසේ
කවදත අමතක නොවෙනා කාලෙක
සුන්දර මතක තිබ්බා අප හට

ආයෙත් යන්නට ඇත්නම් පාසල්
හිත මගෙ කියනව මට ඇසුනා
එකේ ප0තියේ ඒ පිටු අතරේ
ආයෙහ්ට් මගෙ හිත ඇදිල ගියා




Thursday, October 20, 2016

කදුළු මිළ කළ හැකි නම්




කඳුළු මිල කළ හැකි නම්
බෝ පෝසත් ය අද මම්
තැවුල් විකිණිය හැකි නම්
සත් මහල් මත හිඳිමි අද මම්

සිනා සල්පිල් ඇති කළ
කවුරු ගොඩවෙද කනස්සලු පිල
සතුටු විදුලිය බල බල
කවුරු තපිතිද තැවුල් ගිනි මැල

ඇතිරිලි මත සුමට
නිදන සිහිනය දකින දනහට
ඇවිටිලි කොට කුමට
අකමැතිය ගොඩවෙන්න පැදුරට

දෑවැදි පහුරු පිට
නැග දන ඇදෙති එගොඩට
මට මිල නැති කලට
කවුරු කරති ද මෙමා එගොඩට

Monday, October 17, 2016

පියවරෙන් පියවර





පෙර දිගින් සිනාසෙන වෙලාවට                  දිනින්දා
මව්-පියන්ගේ හිසේ රන් ඔටුනු                     පලන්දා
මවගෙ කුසතල වකුටුවී සිටිය                     කලින්දා
දස මසක ඇවෑමෙන් ලොව දකී                  බිලින්දා

දෙමව්පිය රැකවලේ ළමාවිය ගෙවෙන              තුරු
මනස මෙහෙයා සොයයි තුරුණු විය නමැති  හිරු
හොඳ නරක දෙකෙන් එක පැත්තකට වෙලා හුරු
පියාපත් ලැබුණ ලෙස ඉගිල්ළෙයි සිතැ’ගි          යුරු

පවුල් දිවියට එළඹ මව් පියන්ගෙන්                        මිදී
සිහින ලෝකය පුරා සොයයි මසුරන්              පොදී
ගෙවල් දොරවල් හදා සුර සැපට පෙම්                 බදී
අවුල් වුණහොත් දිවිය නුදුටු දෙවියන්                  වදී

අතීතය මෙනෙහි කර දෙතුන්වර                හුහුල්ලා
දෝංකාරය නිසා සවන් යුග                            අගුල්ලා
ඇද වැටෙන හැටි දකින තටු සිඳුන            කුරුල්ලා
සුසුම් නල වැල් දිගේ පියමනී                          මහල්ලා






Friday, October 14, 2016

අයං වස්සාන කාලෝ






හිරිකඩ පොදැලි නළ රැළි සුව සිසිල         ගෙන
දිරි බල වඩද්දි’ මිහිලිය දෙසට                      පැන
කිරිවැද පලබරින් තුරුලිය                     පුබුදුවන
සිරිබර “වස්සමයෙ” දිනු පින බලනු            මැන

දින දින බෝධි පූජා පන්සලෙහි                   ගමේ
බණ පිරිතෙහි බෙළෙන් හද දොස අඳුර    නිමේ
පින මහිමය “කටිනයෙහි” ‘වස්’ එළඹි      සමේ
ගෙන දී සසර කෙළවර මොක් සුවඳ         හැමේ

සීතල සුළං රැල් පැන එන                 අරුණෝදේ
හේවිසි, දවුල්, හොරණෑ, රාවය                    වීදේ
සාමෙන් පිබිද හැර දා සැම මත                බේදේ
චීවර වඩම්මන පෙර හැරටම                     ඈඳේ

මොක් සුව දෙන “කඨින” දා ගම හතර දෙසින්
එක්වෙති සහය දී සැම, පන්සලට        ගොසින්
නික්මී සක්දෙවින් බණ දම් අසනු             රිසින්
සක්මන් කරයි පැන බොදු උවසුවකු     වෙසින්




මහල්ලා සහ සැඳෑව






ගේ පුරා රජයයි
නිහඬතාවය පාළුව
දුබල එළියකි කුප්පිය
සක්මන් කරයි තනිකම
ගියේ ඈ කොතැන ද
ආයෙත් එයිද කිසි දින
ගෙවී ගිය ඈ සමගින්
අතීතය විසිතුරු ද කොතරම්
බත් ඉදෙන සුවඳකි ගෙතුලේ
මිදුලේ වැලේ රෙදි කඩ
පොල් අතු හැඩේ සුදු වැලි
සවස් යාමය සුවයකි
පවුල් වී දුරබැහැරට
නික්ම ගිය දූ දරුවන්
දෙදෙනා පැලේ එක්වී
ගෙවූ දිවි සුවපත් ද කොතරම්
ඇය නැත ඇගේ සුවඳයි
සැඳෑ සුළඟේ එන්නේ
වැල් ඇඳ තනි රකී මට
කඳුළ පාළුව සමඟින්


Wednesday, October 12, 2016

නූතන ජීවක වෙදදුරන්








”ඉඳගන්න”.
”හිටගන්න”.
”ප්‍රෙෂර් අද වැඩිවගේ.”
”බෙහෙත් වැඩිකර බලමු.”
”එහා ෆාමසියෙන් ගන්න.”
”එන මාසේ මුල ආයෙ.”
”සුළු ගාණක් මගේ
ගාස්තුව වැඩි වෙලා.”
මේ බෙහෙත් ටික බීල
ඇවිත් මා හමු වන්න
වෙනසක් නෑ වගේනම්
ආයේ වෙනසක් කරමු
”ඊළඟ නොම්මරෙ එන්න.”




Tuesday, October 11, 2016

ආගම








කෝවිල බිඳදා පන්සල හැදුනට
බුදුරැස් නැත එහි විහිදෙන්නේ
පන්සල බිඳදා කෝවිල හැදුවත්
නැත දෙවියෝ එහි වැඩ ඉන්නේ

ආගම් නාමෙන් රැවටුණු මිනිසුනි
මුලා නොවී ඇස් ඇරපන්නේ
සාමය සමඟිය ඇති තැන පමණයි
දෙවිවරු බුදුවරු වැඩ ඉන්නේ

බුදුන් පුදන්නට මල් සුපිපෙනවා
දෙව් මැදුරේ මිදුලේ මල් පඳුරේ
සත සිත නිවෙනා බණක් ඇසේවා
සිව් සත සනහා මිනිසුන්ගේ





තත්ත්වය




තත්ත්වය රැකිය යුතු බව හැම තැනම කියයි අපමණ වෙහෙස ගෙන රැකුමට කරුණු සොයයි එය රකිනවා නම් කිසිවෙක් නොමඟ නොයයි නැති තත්ත්වයක් ගෙන සමහරු ඉහළ ගියයි යුතුකම ගුණදහම දිවියට වැද ගත්වේ පොදුජන මෙහෙය සලකන වැඩ අග පත්වේ නිවැරදි ගමන් මඟ ගිය හොත් රස වත්වේ රැකෙනව නියති හිත හොඳ පිරිසගෙ තත්ත්වේ





Monday, October 10, 2016

වැස්ස....










මේ කුළු අහසට වඩින්න
 විදුලිය රේඛා ඇදෙන්න 
හීගතු සුළඟක් ඇවිදින් 
හෙමිහිට ගතවට වෙලෙන්න

 රෙදි වේලල අරන් තියා 

අම්මා දර, දිය, වී ටික. 
සේරෝමත් ගෙට අරගන 
අගු පිලේම බල ඉන්නෙ 

 ගොළු වී ගිය විහඟ ගීත 

යළි අපෙ සවනට ඇසෙන්න 
තුරුළිය නව දලු මල් ලා 
පරිසරයම හැඩ කරන්න 

 ඇළ,දොළ ගංගා ගලන්න 

වතුපිටි සරුසාර වෙන්න 
සිවුපා සතුනට දිය බී 
සතුටින් එහෙ මෙහෙ සරන්න 

 මින් රළ සතුටින් දියඹේ 

පීනායන යුරු බලන්න 
වියළී ඉරි තැළුණ බිමෙන් 
ළා නිල් තණපත් නැගෙන්න 

 පෙම්වත් වැස්සක් වසින්න 

හනි හනිකට හනි හනිකට



Friday, October 7, 2016

මම නුඹේ පියා ය


 






මහලු වුව ජීවිතය?
අය කොටස පරදවා
වැය කොටස හිස ඔසවා
දූගේ ටියුෂන්වලට
පුතුගේ පාසල් වියදමට...
 
යහමින් කුස පුරවා ද?
කසී සළු ඇඟ දවටා ද?
 
ණයකරුගේ ගිණුම් පොතට
පඩි පත ම යට වෙලා...
කුලී වැඩ කොටස
අත පයට පවරලා...
පුතුනි, මම නුඹේ පියා ය
දැන් ඉතින් මහලු වී
අතපයට වාරුවක් නොමැති ව
තව ම හරි හරියට
මහා පොළවට ඔට්ටු වෙමි...
 
නුඹලා;
වැඩි වැඩිහිටියන් ව
ජීවිතය ගැටගසන තුරු









Monday, October 3, 2016

කසාවත







පුංචි සන්දියෙ දුවල පැනලා
ලන්ද බඩවැටියේ
ගඩා ගෙඩි කා ඇවිද නැටූ හැටි
ඕවිටක් ගානේ,

කුරුලු ගීයට බටනළා හඬ
මුසුකළා මම ආදරෙන්
ඇරී පාසල් සවස් යාමයෙ
ගත කලා සෙල්ලමෙන් නිතරම,

පුංචි සිවුරෙන් දෙවුර වහගෙන
බෝ සෙවණ යට භාවනාවේ
යෙදී උන්නත් මගේ  අම්මේ
ඒව සිහිවෙන විට දුකයි ,


සෙල්ලමට සිත දුව ගියත් මගෙ
එහෙත් මගෙ දුක තුනී වෙනවා
හතර වරිගෙ ම නිවන් දක්නා
බවක් එදා අම්මා කී නිසා.