Sunday, November 29, 2020

ඩොලර් කදු මතින් පිය නගන T 20

 


ටෙස්ට් ක්‍රිකට් වෙනුවට ප්‍රේක්ෂකයන් ආකර්ශනය කරගන්න ආරම්භ කළ කෙටි කාලීන ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු අදියර පටන් ගත්තේ තනිදින ක්‍රිකට් තරග වලින්. ක්‍රිකට් ඉපදුණේ එංගලන්තයේ වුවත් ක්‍රිකට් වානිජ්‍යකරණය ගැන මුලින්ම ගැඹුරින් කල්පනා කළේ ඔස්ට්‍රේලියානුවෙක්. ඒ එරට ධන කුවේරයෙක් වුණු කවුරුත් දන්න කෙරී පැකර්. ක්‍රිකට් ක්‍රීඩාව එකතැන පල්වෙන එක නවත්වන්න මුදල් ඉදිරියෙන් තියලා පැකර් ගහපු ගැටේ නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශාල පෙරළියක් සිද්ධවුණා. පන්දුවාර හැටක් විධිහට ආරම්භ වුණු එක්දින ක්‍රිකට් ක්‍රීඩාව පසුව අනුක්‍රමයෙන් පන්දුවාර පනහේ තරගයක් බවට පෙරළුණා. දශක කීපයක් යද්දී එක්දින ගමනත් ප්‍රේක්ෂකයන්ගේ උද්වේගය අඩුකරන බවක් දැනෙන්න පටන් ගත්ත නිසා පන්දුවාර විස්ස එහෙමත් නැත්නම් සෝඩා බෝතල් ක්‍රිකට් ක්‍රීඩාව ලෝකය තුළ උප්පත්තිය ලබනවා. ඒ එංගලන්තයේ ක්‍රිකට් මූලෝපායික වෙළෙඳ ඒජනත්වරයකු වන ස්ටුවර්ට් රොබර්ට්සන් නිසයි. (එකම එක පැන්සයක්වත් එමගින් ඔහු අතිරේකව උපයාගත්තේ නෑ. ඒ ගැන වෙනම කතාකළයුතුයි.)

එම තරගාවලිය හැඳින්වෙන්නේ ටී 20 බ්ලාස්ට් කියායි. වේ විධිහට 2003 වසරේදී එංගලන්තයේදී මෙම 20-20 තරගාවලි සැකැස්ම ආරම්භ වුවත් එය ලෝකය තුළ මුල්බැස ගත්තේ ඉන්දියාවෙදියි. කිසිකෙනෙක් විස්සයි විස්ස ඉපැදුණේ එංගලන්තයේ කියලා හිතන්නෙ නැති තරමට අද වනවිට එය ඉන්දියානු වෙලා. හරියට බොලිවුඩ් සිනමාව වගේ. ඒ නිසා දැන් ටී. 20 අධිරාජ්‍යය පවතින්නේ ඉන්දියාව තුළ කිව්වොත් හරි. ලෝකයේ සියලු රටවල ක්‍රීඩකයන් මිල්ල සොයාගෙන දැන් එන්නේ ඉතාලියට නොවෙයි, ඉන්දියාවට. එය කොතරම් මුදල් නිර්මාණය කරනවාද කියනවා නම් මාස දෙකකින් ශ්‍රී ලංකා රුපියල් කෝටි පහක්, හයක් සාක්කුවේ දාගන්න ඊට සම්බන්ධවන ක්‍රීඩකයන්ට හැකියි. ඒ වගේම ලෝකයේ ඉන්න ධන කුවේරයන් තමයි ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම් මිලදී ගෙන තිබෙන්නේ. මෙහෙම හැකියාවක් නිර්මාණය වෙලා තිබෙන්නෙ එමගින් උපයන ලාභාංශවල විශාලත්වයයි.

අපි ආපහු කතාවේ මුලට ගියොත් පෙර කීවාක් මෙන් 2003 එංගලන්තයේ ආරම්භවුණු පන්දුවාර විස්ස තරග රටාව ඉක්මනින්ම නැව් නැග්තේ නවසීලන්තයටයි. ඔවුන් 2005 වසරේ ටී 20 තරග ආරම්භ කළා. ඒත් නවසීලන්තය තුළ එතරම් ප්‍රචලිත පන්දුවාර විස්සයි විස්ස තරගාවලියක් තවමත් පැවැත්වෙන්නෙ නෑ. නමුත් ඉස්සෙල්ලා කිව්වා වගේ විස්සයි විස්ස ගැන පුළුල්ව කතාවෙන්න ගන්නේ ඉන්දියාව වැඩේ බාරගත්තාට පසුවයි. ඉන්දියානු උප මහාද්වීපය වගේම සමකය ආශ්‍රිත කලාපය තුළ ඉන්න ජනගහනයත් සමඟ ලෝකයේ විශාල වෙළෙඳපොළක් ඉදිවෙලා තිබෙනවා. ඒ නිසා 2008 අවුරුද්දෙදි මේ සෙල්ලම හඳුන්වා දුන්නාට පසුව මේ දක්වා කිසිදු රටකට පන්දුවාර විස්සෙන් ලබාගත නොහැකිවූ සාර්ථකත්වයක් ඔවුන් නෙළා ගත්තා කියන්න හැකියි. ප්‍රිමියර් ලීග් 20-20 තරගාවලියක වැඩිම කණ්ඩායම් ගණනක් ක්‍රීඩා කරන්නෙත්, වැඩිම කාලයක් දියත් වෙන්නෙත් ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියයි. වැඩිම ප්‍රේක්ෂකයන් සහභාගිවන ලෝකයේ වෙනත් වෙනත් තැන්වල සංවිධානය කරන තරගාවලිය බවට නමක් දිනාගන්නත් අයි.පී.එල්. තරගාවලියට හැකිවෙලා තිබෙනවා. පළමුව දකුණු අප්‍රිකාවටත් පසුව ඩුබායි ප්‍රමුඛ ක්‍රීඩාංගණ වෙතත් එය රැගෙන යන්නට ඉන්දීය තරග සංවිධායකයින් කටයුතු කළේ ඉන්දියාවේ පැවැත්වීමට නොහැකිවූ වාතාවරණයන්ට විකල්පයක් වශයෙනුයි. පසුගියදා කෝවිඩ් වසංගතයෙන් ආරක්ෂා වෙන්න පිටිය තුළ සජීවී ප්‍රේක්ෂකයන් නොමැතිව තරගාවලියක් වානිජමය වශයෙන් සාර්ථක කරගන්න ඉන්දීය බලධාරීන්ට හැකිවුණා. මේ වැඩේ එක්ක මෙම තරගාවලියේ ඇති ශක්තිමත් ව්‍යූහය කුමක්ද යන්න මනාව තේරුම් ගන්න අපට පුළුවන් වෙනවා.

දැන් ලෝකය තුළ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර අයි.පී.එල් (ඉන්දියාව), බිග් බෑෂ් (ඔස්ට්‍රේලියාව), පී.එස්.එල්. (පාකිස්තානය), සී.පී.එල්.(බටහිර ඉන්දීය කොදෙව්), සුපර් ස්මෑෂ් (නවසීලන්තය), ටී 20 බ්ලාස්ට් (එංගලන්තය), මාන්සි සුපර් ලීග් (දකුණු අප්‍රිකාව), ඒ.පී.එල්. (ඈෆ්ගනිස්ථානය), එල්.පී.එල්. (මීට පෙර එස්.එල්.පී.එල් ලෙස 2012 ඇරඹිණි.) - (ශ්‍රී ලංකාව), යුරෝ ටී.20 ස්ලෑම් (අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තය- යෝජනාවී ඇත) තරගාවලි සංවිධානය කෙරෙන හෝ කිරීමට යෝජිත තරගාවලි වශයෙන් දක්වන්න හැකියි.

මීට අමතරව අන්තර් ජාතික ක්‍රිකට් ආයතනයේ අනුමැතියෙන් තොරව ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන කණ්ඩායම් අතර තවත් මෙවැනි සෝඩා බෝතල් ක්‍රිකට් තරගාවලි පැවැත්වෙනවා. කැනඩාවේ, හොංකොං හා නේපාලයේ විස්සයි විස්ස තරග පැවැත්වෙද්දී එක්සත් අරාබි එමීර්, කටාර් යන රාජ්‍යයන් ටී. 10 තරගාවලියක් සංවිධායනය කරනවා. එංගලන්තය තවත් පන්දු 100 තරගාවලියකුත් ක්‍රියාත්මක කරනවා. ඇමරිකාව, මැලේසියාව, නෙදර්ලන්තයත් මේ වැඩේට ඇතුළත්. දේශීය වශයෙන් නම් මෙවැනි විස්සයි විස්ස තරගාවලි කෙන්යාවේ, සිම්බාබ්වේ, නැගෙනහිර අප්‍රිකානු රටවල තරගාවලියක් ලෙස කෙන්යාව තුළත් සංවිධානය වීමෙන් ටී.20 කුණාටුවෙන් ලෝකයේම ක්‍රිකට් ක්‍රීඩාවට ගැලවීමක් නොලැබෙන බව පැහැදිලියි. එය එක අතකින් කාර්ය බහුල මානව සමාජයට අලුත් වීරයන් දකින්න ඒ වීරයන්ගෙන් තමන්ගේ මනස ශක්තිමත් කරගෙන අනාගතයට මුහුණ දෙන්න ඉවහල් කර දීමක්. විස්සයි විස්ස ක්‍රිකට් වසන්තය අද වනවිට ලෝකයේ මානව සංස්කෘතිය තුළ උදේ තේ කෝප්පය නැත්නම් අවදිවූ පසු පානය කරන කිරි කෝප්පය තරමට හුරුපුරුදු අත්දැකීමක් වන්නේ ඒ නිසයි. අපි කවුරු කැමති වුවත් අකමැති වුවත් අනාගත ක්‍රිකට් ක්‍රීඩාවේ පැවැත්මේ ප්‍රධානම යතුර ඇත්තේ විස්සයි විස්ස ක්‍රීඩාව තුළයි. විස්සයි විස්සෙන් උපයන මුදල් පන්දුවාර පනහ, ටෙස්ට් තරග, දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ පැවැත්ම වෙනුවෙන්, ක්‍රීඩකයන්ගේ වැඩිදියුණුව වෙනුවෙන් යොදාගන්න බලධාරීන් කටයුතු කරන්නේ කාටත් හොරෙන් සාක්කුවටත් ටිකක් දාගෙන බව ආයෙ අමුතුවෙන් කිවයුතු නෑ.

ඒ මොකද කියනවා නම් ප්‍රිමියර් ලීග් 20 -20න් ලෝකයේ ක්‍රීඩා පිටි තුළ උපදින මුදල් කඳු ඒ තරම් විශාල නිසයි. ඇතැම් විටෙක ඉන්දියාව තුළ විතරක් ටී.20 ජාත්‍යන්තර ලීගයෙන් උපයන ධනස්කන්ධය එඩ්මන් හිලරි හා ටෙනිසිං ෂර්පා පළමුුවෙන් තරණය කළ එවරස්ට් හිම ගිරටත් වඩා විශාල වන දිනය වැඩි ඈතක නොවෙයි. අපි කවුරු කැමති වුණත් අකමැති වුණත් (අතීත කාමයෙන් පෙළෙන සමාජය නව්‍යකරණයට කොහොමත් ටිකක් අකමැතියි.) ටී. 20 වංශ කථාව ප්‍රබල ක්‍රීඩා ආර්ථික අධිරාජ්‍යයකට වැටී ඇති අධිවේගී මාර්ගයක්. ඒක කිසිවිටෙකත් ප්‍රතික්ෂේප කළ නොහැකි යතාර්ථයක්.