දොළොස් මසක් ගිය තැන පැමිණෙන අපේ‍්‍රල් 13 දා මෙරට වැසි බහුතර ජනකායකට උත්සව දිනයකි. ඔවුන් අතර කුඩා දරුවාගේ සිට සැරමිටි වාරුවෙන් යන මහල්ලා දක්වා වෙසෙන හැම තරාතිරමක කෙනෙක්ම මේ දිනය ගැන සලකන්නේ තමන්ගේ අවුරුද්ද හැටියටය.
අවුරුදු හැඟීමෙන් ප්‍රමෝදය හා ප්‍රබෝධය ගෙන දෙන අපේ‍්‍රල් 13 දා හා සම්බන්ධව ඇති ඉතිහාසය කුමක් ද? මා මෙහිදී ඔබ ඒ පුරාවෘත්තය කරා ගෙන යන්නේ අපේ‍්‍රල් 13 දා ගැන ඔබේ බුද්ධිය පොදුවේ පළල් කරන්නටය.
අවුරුද්ද යනු සංවත්සර ශබ්දය මුල්කොට හැදුනු සිහල වචනයකි. ඉන් අදහස් කරන්නේ එක්තරා කාලසීමාවකි. ඡ්‍යොතිශ් ශාස්ත්‍රයෙන් හෙළිවන පරිදි අවුරුද්දකට දින 365 ක් ඇති බවත් ඒ දින ගණනම මාස වශයෙන් දොළහක් බවත් ප්‍රසිද්ධය.
ඡ්‍යොතිශය අනුව මේ දොළොස් මාස ක්‍රමය සංග්‍රහව ඇත්තේ සූර්යයා අනුක්‍රමයෙන් මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන දොළොස් රාශියෙහි ඇවිදීමෙන් නැවත මේෂ රාශියට පැමිණෙන දිනය සීමා කොටය. මේ සීමිත කාල පරිච්ඡේදයට අපි දොළොස් මසක් ගිය දවස යයි හෝ අවුරුද්ද යයි නම් කරමු. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණෙන දිනය නිමිතිකොට ජාතියක් විසින් එය අවුරුදු දිනය කොට සලකා පී‍්‍රතිවන්නේ ඇයි?
අවුරුදු දින මංගල දිනයක් කොට සම්මත කිරීම
මේ දිනය මංගල දිනයක් කොට සම්මත කොට මුලින්ම පී‍්‍රති වූවෝ ඡ්‍යොතිෂය ලොවට දුන් භාරතීයයෝය. ඔවුහු කරුණු කීපයක් සලකා අපේ‍්‍රල් 13 දා උතුම් දිනයක් කොට සම්මත කර ගත්හ. ඔවුනතර ලෝක නිර්මාණය මහ බඹු වෙත පැවරුවෝ මෙකී දිනය සූර්යයාගේ උත්පත්ති දිනය හැටියට ද සැලකූහ. ඡ්‍යොතිශය ගැන විශ්වාසය ඇතියවුන් කොයි හැටි වුවත්, එකල විසූ ‘ඇතැම් නිර්මාණවාදිකයන්ගේ සැලකීම වූයේ අපේ‍්‍රල් 13 දා ඔවුන්ගේ ආගමික උත්සව දිනයක් හැටියටය.
ආදි නිර්මාණවාදීන්ගේ භක්තිය පැවරී තිබුණේ පඤ්ච මහා භූතාධිපති දෙවතාවන් කෙරෙහි හා ඉන්ද්‍ර, වරුණ, යම සූර්ය ගෘහදෙවි ආදි දේව විශේෂයන් කෙරෙහිය. විශේෂයෙන් මහා බ්‍රහ්මයාට ලෝකය මැවීමත් විෂ්ණුට ලොක වර්ධනයත්, ඊශ්වර හට ලොක ප්‍රලය (විනාශය) ත් ඔවුහු පැවරූහ.
බ්‍රහ්ම, විෂ්ණු, මහේශ්වර යන ‘ඕං’ නාමයෙන් හැඳිනවූ මේ ත්‍රී මූර්තිය සිය මස්තකයෙහි තබා පිදූ ඒ භාරතීය විද්වතුන් ගෙන් පැවත ආ ඒ ඒ පිරිස් ඒ ඒ දෙවතාවන් කෙරෙහි වෙන් වෙන් භක්තිය පිහිටුවා ගත්හ.
මෙසේ ඔවුනතර සමහරු වෛෂ්ණවයන් හැටියට ද, සමහරු මාහෙශ්වරයන් හැටියට ද, තවත් සමහරු සූර්යයා, අග්නි ආදි අනික් දෛව භක්තිකයන් හැටියට ද ප්‍රසිද්ධ වූහ. මේ පිළිබඳව දැනුදු භාරතය දෙස නෙත් යොමු කරන විට මෙකී නොයෙක් දෙවතාවන් පරම භක්තියෙහි පිහිටුවා සිටින නොයෙක් සාමයිකයන් දකින්නට පුළුවන.
ඛවාර්ගක භෙදයෙහි ලා සින්ධුහුද ඇතුළත් වෙති. සින්ධු දේශය ජන්ම භූමි කොට වසන හෙයින් ඔවුහු එනමින් ප්‍රසිද්ධියට පත්ව ඇත. ඔවුන්ගේ පරම භක්තිය වැඩියක් පැවතුණේ මෙහෙසුරු කෙරෙහිය. හින්දු නමින් හා හින්දු භක්තිකයන් වශයෙන් මේ දක්වා ප්‍රසිද්ධව සිටින ඔවුන්ගේ ඉතිහාසය ඉපැරණි වූවකි.
ශිෂ්ටාචාර්කයන් වශයෙනුත්, ශාස්ත්‍රවතුන් හැටියටත් පුරාණ ලෝකයෙහි ඔවුහු විශ්ව කීර්තියක් ඉසුලූහ. ඡ්‍යොතිශයෙහි විශිෂ්ට ප්‍රතිඵලය මුල් කොට ලැබූවෝ ඔවුහු හැටියට ද සලකනු ලැබෙති.
මීන රාශියෙන් මේෂ රාශියට සූර්යයාගේ පැමිණීම් දිනය මංගල දිනයක් හැටියට මුලින් සම්මත කළ භාරතියයෝ නම් ඔවුහුය. ඔවුහු එකී දිනය නක්ෂස්ත්‍ර හෙවත් නැකත් කෙළි දිනයක් කොට ද සැලකූහ. ඒ නැකත් කෙළිය අප රටේ භාවිත වුණේ ‘සින්ධු අලුත් අවුරුද්ද’ නමිනි.
සිංහල අලුත් අවුරුද්ද දක්වන ලිත් පත්‍රාදියෙහි කලක් යනතුරුම මෙදින ‘සින්ධු අලුත් අවුරුද්ද හෙවත් සිංහල අලුත් අවුරුද්ද’ යනුවෙන් සඳහන් වූයේ එහෙයිනි. අපේ අනික් චාරිත්‍ර, කලා ශිල්ප හා ආගම් ආදිය මෙන් මේ අවුරුදු සිරිත ද භාරතයෙන් ලංකාවට සංක්‍රමණය වූ හැටි මෙහිදී දකින්නට පුළුවන.
භාරතයෙන් ලංකාවට සංක්‍රමණය වූ අවුරුදු සිරිත
භාරතයේ ඇතැම් අය මේ දිනය සූර්යයාගේ උත්පත්ති දිනය වශයෙන් සැලකූ බව එහි මුලින් සඳහන් විය. ඒ අනුව භාරතයේ සූර්ය භක්තිකයන්ගේ ඉතිහාසය මින් අවුරුදු 6000 කට ඈත බව පෙන්වන්නට පුළුවන. භාරතීය ආර්ය වර්ගයාගේ ආදිම යුගය වශයෙන් සලකන සෘග් වෙද සමයේ ඔවුන් ගැන ලියැවී තිබෙන එක් තැනක් මෙබඳුය.
ඉන්ද්‍රං යමං වරණමග්නි මාහු
රථො දිව්‍යඞස සුපර්ණො ගරු මාන්
එකං සදවිප්‍රා බහුදා වදන්ති අග්නිං
යමං මාතරිශ්වා නමාහුඞ
(සෘග්වේද)
ඉන්ද්‍රයයා, ද්විත්‍රයයා, වරුණයාය, ගිනි දෙවියාය, ගරුත්මන්ය ආදි වශයෙන් දෙවියන් ඇති බව කියතත්, ඇත්තේ එකම දෙවියකු බවද, ඉන් කියැවේ. එනම් සූර්යයා පොළොවෙහිදී ඔහුට ගන දෙවියා යයිද අහස් පොළෝ අතරේදී වාත වලාහක දෙවියා යයිද, අහසේදී සූර්යයා යයි ද ව්‍යවහාර විය.
උදාවන හිරුට ඔවුන් කීයේ සවිතෘ කියාය. ලොවට ප්‍රාණය දෙන්නා යනු එහි තේරුමයි. අහස් මධ්‍යයට පැමිණි විට සූර්යයා කියන ඔහු, බැස යන විට වරුණයයි කියනු ලැබේ. සූර්යයා ලොකයට හිතකර බැවින් මිත්‍ර කියා ද සොරුන්ගෙන් හා වන මෘගයන් ගෙන් ගවයන් රැක දෙන්නා යන අර්ථයෙන් ඔහුට පූෂන් යයිද ඔවුහු නම් දුන්හ. මෙසේ ඔවුහු සූර්යයාට නොයෙක් විරුද පටබඳිමින් සූර්ය ස්තොත්‍ර බැඳ නමස්කාර කරමින් සූර්ය පූජා පැවැත්වූ හැටි භාරතයේ වෙද සාහිත්‍යය ඔස්සේ ගිය විට පහසුවෙන් දකින්නට පුළුවන් දේය.
පොදුවේ සැලකිය හැකි මහා උත්සවයක්
සූර්යයා ලෝකයේ එකම බලවත් දෙවියා හැටියට තැකුම් ගත්, ඔවුන්ගේ ඇතැම් අදහස් බෞද්ධ සාහිත්‍යයට පවා කා වැදී තිබෙන හැටි අපේ ‘මෝර පිරිතෙන්’ නොපෙනේ ද? මහානුභාව සම්පන්න කොට සලකන පිරිත් සූත්‍ර පහෙන් ද එකක් වූ මෝර පිරිතේ මුල් ගාථාව ලියැවී තිබෙන්නේ උදාවන සූර්යයාට තුති කිරීමටය.
පොත පතේ ඇති මේ කරුණු හාරා අවුස්සන විට අපේ‍්‍රල් 13 දා සූර්ය භක්තිකයන්ගේ ආගමික උත්සව දිනයක් වී තිබෙන හැටි දක්නට පුළුවන. මේ කරුණු සැලකීමෙන් අපට මෙහිදී සිතා ගන්නට පුළුවන්, අපේ‍්‍රල් 13 දාට එන සිංහල අවුරුද්දේ පරමාර්ථය හා ගැටී ඇති ඉතිහාසය කෙතරම් පැරණි ද යන්නය.
බෞද්ධ පතපොතෙහිද, එයින් ආලෝක වූ සිංහල පැරණි පොත පතෙහි ද සඳහන්ව ඇති ‘නැකත් කෙළි’ මොනවාදැයි සෙවූ විට එහි දී ද ඔබට මේ අවුරුද්දත් නැකැත් කෙළියක් වී ඇති සැටි දක්නට පුළුවන් වෙනවා ඇත.
ඡ්‍යොතිෂය නිසා වේවා සූර්ය භක්තිකයන් නිසා වේවා, ආදියෙහි ඇරැඹුණු අපේ‍්‍රල් 13 වන දිනය අද අපට අවුරුදු උත්සවය වී තිබේ. ජ්‍යෝතිශය හෝ සූර්ය භක්තිකයන් ගැන හෝ කරන සැලකිල්ල පසෙක තිබියදී, ඉර සේවය ගැන සිතන කවරකුට වුවත්, අපේ‍්‍රල් 13 දාට එන උත්සව දිනය එක් පිරිසකට පමණක් වෙන්කර වන්නට පුළුවන් කමක් නැති බව වැටහී යා යුත්තකි. වෙසක්, නත්තල් වැනි උත්සව වලට වඩා, පැතුරුණු පොදු පරමාර්ථයක් අපේ‍්‍රල් 13 දා උත්සවයේ පවතී. ඒ බව අපේ රටේ කවුරුනුත් තේරුම් ගතහොත් නිදහස් ලංකාවේ හැම ජාතිකයන්ටත් හැම ආගමිකයන්ටත් පොදුවේ සැලකිය හැකි ලාංකිකයන්ගේ මහා උත්සව දවසක් කොට අපේ‍්‍රල් 13 දා තබාගන්නට පුළුවන.
1953 සිළුමිණ පත්‍රයේ පළ වූ ලිපියකි
පී. බී. සන්නස්ගල විසිනි
No comments:
Post a Comment