Friday, July 1, 2016

1940 ශ්‍රී ල0කාවේ ග්‍රැමපෝන් තාක්ශණය භාවිතයත් සමග ජනයා අතර ශ්‍රවණයට මග පැදූ බොදු ගීතයේ ඉතිහාසය








1956 දී උදා වූ බුද්ධ වර්ෂ 2500 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ප්‍රථම වරට අපට බෞද්ධ ගීතයක් ගැන අසන්නට ලැබෙන්නේ එදා අසන්නන් අතර ඉතාම ජනපි‍්‍රයව තිබූ ජාතික ගුවන් විදුලි සේවය ඔස්සේ ය. නැතහොත් ලංකා ගුවන් විදුලි සේවය හරහා ය. ශ්‍රී ගෞතම බුදුන් වහන්සේගේ ඒ අනභිබවනීය වූ ලෝක සේවාව සිහියට නන්වමින් උදා වූ වර්ෂ 2500 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් මේ බෞද්ධ ගීතය ගායනා කළේ එවකට ප්‍රධාන පෙළේ සිංහල ගීත කෝකිලාවියක වූ විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මිය විසින් ය.

කොතරම් දේශීය විදේශීය පර සතුරු උවදුරු පැමිණිය ද මේ දක්වාම බුද්ධ ශාසනය ලංකාවේ නිරුපද්‍රිතව පිහිටා ඇත. ව්‍යවහාර වර්ෂ 1956 දී ලංකාවේ ප්‍රථම වරට බුද්ධ ජයන්ති මහෝත්සවයක් පැවැත් වූ බව ඉතිහාසයේ සඳහන්ව ඇත. එම බෞද්ධ මහෝත්සවය පැවැත් වූයේ ගෞතම බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සියයක් ඉක්මගිය අවස්ථාව සිහිපත් කිරීම උදෙසා ය. රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත් වූ බුද්ධ ජයන්ති සැමරුම් උත්සවය (1956) ලංකාවාසී බෞද්ධයන්ගේ අනභිබවනීය බෞද්ධ උත්සවයක් විය. වර්ෂ 1956 දී ලාංකීය සමාජය තුළ ඇති වූ දේශපාලන සහ සමාජ වෙනස්කම් ඇතුළත 2500 සම්බුද්ධ ජයන්ති උත්සවය බෞද්ධ ආගමික පුනරුදයක අපූරු සිහිවටනයක් වූ බව පෙන්වා දිය හැකි ය.

ව්‍යවහාර වර්ෂ 1888 දී පමණ ලෝකයට බිහි වූ ග්‍රැමපෝන් තාක්‍ෂණය අප රටට ළඟා වූයේ 1906 පමණ කාලයේ දී ය. එතෙක් කට වචනයෙන් සහ කණ්ඩායම් වශයෙන් පවත්වාගෙන පැමිණි අපගේ නූර්ති සහ නාඩගම් ගීත වර්ෂ 1908 දී පමණ ග්‍රැමපෝන් තැටිවලට නැගුණු ආකාරය ගීත කලා ඉතිහාසයේ සඳහන් වේ. මුල් යුගයේ දී ශ්‍රී ලාංකිකයන්ට ප්‍රථම වරට අසන්නට ලැබුණ ග්‍රැමපෝන් ගීත තැටි ලේබල් කිහිපයකින්ම නිෂ්පාදනය විය. පාලර් පෝන්, කලා පෝන්, එච්.එම්.වී. (H. M. V) කොලොම්බියා, පිලිප්ස්, ලෝටස් ආදිය එවැනි වෙළඳ නම් කිහිපයකි. නූර්ති සහ නාඩගම් ගීතයෙන් ආරම්භ වුන ලාංකීය ග්‍රැමපෝන් ගීත කලාවේ උන්නතිය උදෙසා පසු කාලීනව සිංහල ගුවන් විදුලි ගීත ද සිංහල චිත්‍රපට ගීත ද දායක වූ බව පැහැදිලි වේ.

මෙහිදී විශේෂයෙන්ම දැකිය හැකි කරුණක් වූයේ ග්‍රැමපෝන් තැටි ගීත ජනපි‍්‍රය වීමේ දී පසු කාලීනව සිංහල චිත්‍රපටගීත සහ ගුවන් විදුලි ගීත ද වඩ වඩා ශීඝ්‍රයෙන් නිකුත් වීමය. මේ නිසා ලංකා ගුවන් විදුලි සේවය තුළ ලංකාවේ ඉතාමත් ජනපි‍්‍රය වූ බෞද්ධ ගීත සහ වෙනත් ගුවන් විදුලි ගීතද රචනාවන්ට විය. 1950 දශකය වන විට ලංකාවේ ග්‍රැමපෝන් තැටි ගීත නිෂ්පාදනය බොහෝ දියුණුවට පත්ව තිබිණි. ගායක ගායිකාවන් මෙන්ම ගීත රචනයේ දක්‍ෂ නිබන්දකයින්ද දක්‍ෂ සංගීතකරුවන් ද මේ යුගයේ දී ඉදිරියට පැමිණ සිටියහ. 1947 දී ආරම්භ වූ සිංහල චිත්‍රපට නිෂ්පාදනය නිසා ද ග්‍රැමපෝන් ගීතයට නවයුගයක් උදා වූයේ ය. මෙසේ ප්‍රචාරයට පත්ව පැමිණි සිංහල ග්‍රැමෆෝන් තැටි ගීතය පසුකාලීනව නව වෙනස් වෙනස් තේමාවන්ට අයත් ගීත රචනා වලින් සමලංකෘත වන්නට වූයේ ය. බුදුගුණ වැනුම් ගීත සිද්ධස්ථාන වන්දනා ගීත, පූජෝත්සව වර්ණනා ගීත, දේශාභිමාන ගීත, චරිතාපදාන වර්ණනා ගීත විනෝද ගීත, ළමා ගීත, ප්‍රේම ගීත, බයිලා ගීත, චිත්‍රපට ගීත ආදිය ඉන් වර්ග කිහිපයකි.

එසේ නම් සිංහල බෞද්ධ ගීතයට පණපෙවූ අපගේ ග්‍රැමපෝන් ගීත සරණිය තුළ ඇති වර්ෂ 2500 බුද්ධ ජයන්තිය පිළිබඳව ලියැවුණ ගීත කිහිපයක් ගැන සොයා බැලීම මෙහිදී ඉතාම සුදුසු බව කල්පනා කරමි. 1956 දී උදා වූ බුද්ධ වර්ෂ 2500 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ප්‍රථම වරට අපට බෞද්ධ ගීතයක් ගැන අසන්නට ලැබෙන්නේ එදා අසන්නන් අතර ඉතාම ජනපි‍්‍රයව තිබූ ජාතික ගුවන් විදුලි සේවය ඔස්සේ ය. නැතහොත් ලංකා ගුවන් විදුලි සේවය හරහා ය. ශ්‍රී ගෞතම බුදුන් වහන්සේගේ ඒ අනභිබවනීය වූ ලෝක සේවාව සිහියට නන්වමින් උදා වූ වර්ෂ 2500 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් මේ බෞද්ධ ගීතය ගායනා කළේ එවකට ප්‍රධාන පෙළේ සිංහල ගීත කෝකිලාවියක වූ විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මිය විසින් ය.


“ ආලෝකය මේ යැයි – පවසන දිනයයි
සම්බුදු මංගල්ලේ
ජය ජය ශ්‍රී නාදෙනි තුටුවෙමු සැම දෙන
සම්බුදු මංගල්ලේ
ළඟම එන සම්බුදු මංගල්ලේ
සාමෙනී පේවී පේමෙන් - සංගීතවත් වී සැමා
සිල් සුවඳ දසතේ විහිදා – පාප ජලාසේ සෝදා
බුදු සිරිය මවා පාමින්
දම් සිලිලේ ඔප නෑවී
සැරසෙමු මඟුලට බුදු හිමිගේ
ආලෝකය මේ යැයි....
සැනසීම සොයා ඒ දිනයේ
රසයේ රසේ මවලා
පේවී ප්‍රබෝදෙනී පේවී
පිං බලයෙන් සැරසීලා
හෝ.... සන්සුන්ව විවේකිනි බුදු මඟුලට
සැරසෙමු කෝ
විනෝදේ නිවනව සිත ඈඳා
ආලෝකය මේ යැයි....”

(ගායනය, විවියන්ද සිල්වා බොරලැස්ස) (1956 H.M.V තැටිය)

එදා සිද්ධාර්ථ කුමාරයාණන් ශ්‍රී සම්බුද්ධත්වයට පත් වූ වෙසක් මස පුර පසළොස්වක් පෝය දිනයෙහි මුළු මහත් ලෝකයටම ආලෝකය පැතිර ගිය අයුරු ධර්මයේ සඳහන් වේ. එදා සිද්ධාර්ථ බෝධි සත්ත්වයන් ලෝභ, දෝෂ, මෝහ ආදී වූ සියලුම කෙලෙසුන් නසා අවිද්‍යාව දුරු කොට සම්මා සම්බුද්ධත්ත්වයට පැමිණ ලෝකයාට විද්‍යාවේ මහා ආලෝකය උදා කළේ ඇසළ මස පුර පසළොස්වක් පොහෝ දිනයේදී ය. එදා පටන් උදා වූ මේ නව ආලේකය උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව තවත් වසර දෙදහස් පන්සියයක් (2500) අවසානයේ දී ද ලෝකයේ පවත්නා බව වර්ෂ 2500 උදා වූ සම්බුද්ධ ජයන්තියේ දී බෞද්ධයෝ සමරනු ලැබූහ.

“සාමේනි පේවී පේමෙන් - සංගීතවත් වී සැමා
සිල් සුවඳ දසතේ විහිදා – පාප ජලාසේ සෝදා
සැරසෙමු බුදු මගුලට – බුදු හිමිගේ
ආලෝකය මේ යැයි...”

බුදුන් වහන්සේ අවිහිංසාවාදී උත්තමයන් වහන්සේ නමකි. උන්වහන්සේගේ ධර්මය සකල ලෝකවාසී සත්ත්වයන්ටම එකසේම සාධාරණ වීය. තම පුත්‍රයා වූ රාහුල කුමාරයාටත් සුනීත වැනි සැඩොල් කුලයේ දරුවන්ටත් අංගුලිමාල වැනි දරුණු මිනීමරුවන්ටත් ආලවක වැනි දමනය කිරීමට අපහසු යක්‍ෂයන්ටත් උන්වහන්සේගේ කරුණාව, දයාව එක හා සමාන විය. එනිසා බුදු දහමේ සාමයේ සහ පණිවිඩය නොඅඩුව ඇතුළත් විය. ගෞතම බුදුන් වහන්සේ කිඹුල්වත් පුර නුවරදී ගංගාවේ ජලය බෙදාගැනීමට නොහැකිව සටන් කරන්නට සැරසුන ස්වකීය ඥාති සමූහයා සාමයේ බලය පහදා දී සංසිඳ වූයේ ය. උන්වහන්සේගේ ධර්මයේ සඳහන් වූයේ අවෛරයෙන් වෛරය සංසිඳෙන බව ය.

ඇසළ මස පසළොස්වක් පෝය දිනයෙහි බුද්ධත්වයෙන් මාස දෙකකට පසුව ගෞතම බුදුන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව බරණැස ඉසිපතනාරාමයේ දී දේශනා කළහ. එහිදී උන්වහන්සේ රාග, දෝෂ, මෝහ ආදී අන්ධකාරයෙන් අඳුරුව තිබූ ලෝකයට ධර්මය දේශනා කරමින් ආලෝකය ලබා දුන්නේ ය. බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වූ දම්සක් පැවැතුම් සූත්‍රයෙන් (ධම්ම චක්ක සූත්‍රය) ලෝකයට ආලෝකය උදා වූයේ ය. ගෞතම බුදුන්ගේ පරිනිර්වාණයෙන් අනතුරුව අවුරුදු දෙදහස් පන්සියයක් (2500) ඉක්ම ගිය අවස්ථාවේ දී ද උන්වහන්සේගේ ධර්මයේ ආලෝකය අප රටේ තවමත් පවතින බව මෙම ගීතයෙන් ප්‍රකාශ වේ. දාන ශීල භාවනා ආදී දස පුණ්‍යක්‍රියාවන් නිසා ජන සමාජය දැහැමි වේ. පංචශීලය රැකීමෙන් බොහෝ සමාජ ගැටලු නිරාකරණය වේ. බොරුකීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, ප්‍රාණඝාතය සහ සුරාපානය ආදී පස්පව් කිරීමෙන් සමාජය දූෂණය වන්නේ නම් එය ලෝකයේ පරිහානියට හේතුවේ. පාපය ජීවිතයෙන් තුරන් කොට ශිලාදී ගුණධර්ම වලින් යුක්තව සමාජය යහපතට නැඹුරු වන්නේ නම් එය පුද්ගලයාගේ සහ සමාජයේ ද දියුණුවට හේතු වේ.

1940 වර්ෂයේ දී පමණ ලංකාගුවන් විදුලි සේවයෙන් (ර්‍ඇඪෛO – CE‍ය්ළ්Oණ්) සරල ගී වැඩසටහනකට විවියන්ද සිල්වා බොරලැස්ස මහත්මිය විසින් ප්‍රථමයෙන්ම ගායනා කරන ලද මෙම ගීතය පසුව 1956 දී 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් H.M.V තැටියකට නැවත ගායනා කරවන ලද බව සඳහන් වේ. එකල ජාතික ගුවන් විදුලි සේවය වූ ලංකා ගුවන් විදුලි සේවය මගින් නිෂ්පාදනය කළ මෙම ගීතයෙන් ප්‍රකාශ වන්නේ 2500 බුද්ධ ජයන්තියේ ආලෝකයයි. එදා මෙදා තුර වසර පනස්තුනකට (53) පෙර ගායනා කළ මේ අමතක නොවන සමරුගීතය රචනා කළේ සරත් විමලවීර ශූරීන් විසින් ය. 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් විවියන්ද සිල්වා බොරලැස්ස මහත්මිය විසින් ගායනා කරන ලද තවත් අපූරු ගීතයක් අපේ බෞද්ධ ගීත සාහිත්‍යයේ ඇත. 1950 දශකයේ දී ගැයුන ඒ බොදු ගීතයද සම්බුද්ධ ජයන්තිය පිළිබඳ අගනා සිහිවටනයක් බඳු ය.


බුදු මගුල ළඟම ඒ වී

අල්හජ් මොහාදින් බෙග්

බුදු ගීත වේ උදා
බුදු දහම සාමයේ - දස අත දීප්ති වී නැගේ
බැබලෙන්න ලෝකයේ
මල් මිහිර සමග එකසේ
සිල් සුවඳ විහිදයේ
සනසන්න බුදුනි ජනතා
බුදු මගුල යෙදෙනදා
කලු මෝහ අඳුරු සේයා - සෝදන්න ලෝකයේ
ආලෝකය දී සිරිමත් – බුදුමගුල ළඟම ඒ
මල් මිහිර සමග එක සේ
සිල් සුවඳ විහිද යේ
යුද ගින්න සාම ජලයේ
නිසි සේ නිසසල වේ
එක මවගෙ දරුවො වාගේ – මුළු ලොවම අවදිවේ.
බුදු මගුල ළඟම ඒවී
බුදු ගීත වේ උදා.....

(ගායනය – විවියන්ද සිල්වා බොරලැස්ස)

(1956 - H.M.V තැටිය)

සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේගේ පහළවීම ලෝකයට උතුම්ම මංගල්‍යයකි. එමෙන්ම සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වීමද උතුම්ම මංගල්‍යයකි. පුරා වසර හතළිස් පහක් (45) ලෝකයාගේ හිත සුව පිණිස ධර්මය දේශනා කරමින් ද, සංචාරය කරමින්ද, ලාභාපේක්‍ෂාවෙන් තොරව සමාජ මෙහෙවරක් කළ ගෞතමයන් වහන්සේ පරිනිර්වාණයට පත් වූයේ ද වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනකය. උන්වහන්සේගේ එම ලෝක ශාසන සේවාව නිමවී වසර දෙදහස් පන්සියයක් (2500) ගෙවී ගියද ලෝකය තුළ උන්වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය තවමත් නොනැසී පවත්නේ ය. 1956 දී ශ්‍රී සම්බුද්ධ ජයන්තිය ඉතා උසස් ලෙස සිහිපත් කළේ ය. එදා ලංකාවාසී බෞද්ධයෝ එම අවස්ථාව බුදු මඟුලක් ලෙස හැඳින් වූයේ එය බෞද්ධාගමට කරනු ලබන ගෞරවයක් ලෙස හඳුන්වමින් ය.


“.... බුදු දහම සමයේ
දස අත දීප්ති වී නැගේ
බැබළෙන්න ලෝකයේ
මල් මිහිර සමග එක සේ
සිල් සුවඳ විහිද යේ.....”

සාමය නැත්නම් ලෝකය විනාශ වී යන්නේ ය. පුද්ගලයන්, අසල් වැසියන්, ජාතීන්, දේශ දේශාන්තර වශයෙන්ද ලෝකයට පළමුවෙන්ම අවශ්‍ය වන්නේ සාමයයි. බුදු දහමද එකසේම ලෝකයාට ප්‍රකාශ කරන්නේ සාමයේ පණිවිඩයයි. ගෞතම බුදුන් වහන්සේ ප්‍රථම වරට ලක්දිවට වැඩියේ ද සාමයේ පණිවිඩය රැගෙන ය. උන්වහන්සේ දෙවෙනිවර ලක්දිවට වැඩම කළේ ද මැණික් පුටුවක් නිසා ඇති වූ සටනක් සමථයකට පත් කිරීමට ය. එනිසා මෙහිදී උන්වහන්සේගේ අපරිමිත ගුණය සිහි කිරීම සඳහා ලංකාවාසීන් වශයෙන් අපගේ කෘතඥතාවය දැක්වීම අගය කළ යුතු ගුණාංගයක් බව මෙහිදී කිව හැකි ය.

“....සනසන්න බුදුනි ජනතා
බුදු මඟුල යෙදෙන දා?
කලු මෝහ අඳුරු සේයා
සෝදන්න ලෝකයේ....”

බුදුන් වහන්සේ ආදර්ශයෙනුත්, අනුශාසනාවෙනුත්, පැවැත්මෙනුත්, ලෝකයට දැක් වූයේ ඉමහත් කරුණාවකි. ලෝක ජනතාව බුදුන් වහන්සේගේ ධර්මයෙන් සැනසුනහ. එතෙක් ලෝකය පුරා පැතිර තිබූ මෝහ අන්ධකාරය උන්වහන්සේ විසින් දුරුකරන ලද්දේ විය. ඒ අයුරු යළිත් ලෝකයට පිවිස කලු මෝහ අන්ධකාරය දුරු කරන ලෙස මෙහිදී ඉල්ලා සිටිනු ලැබේ.

“..... යුද ගින්න සාම ජලයේ
නිසිසේ නිසසල වේ
එක මවගෙ දරුවො වාගේ
මුළු ලොවම අවදි වේ....”

සාමය ඇති තැන ලෝකයට ශාන්තිය උදාවන්නේ ය. බුදු දහමේ පණිවිඩය ලෝකයට සාමය උදා කිරීමය. 1956 දී දෙදහස් පන්සියයේ (2500) බුද්ධ ජයන්තිය වෙනුවෙන් ගැයුන මෙම ගීතයද අසන්නන් අතර ඉතාම ජනපි‍්‍රය වූ ගීතයක් වීය. එදා ග්‍රැමපෝන් තැටි මගින් ගුවන් විදුලියෙන් සහ ශබ්දවාහිනී යන්ත්‍ර (ලවුඩ්ස්පිකර්ස්) මගින් අසන්නට ලැබුණ මෙම ගීත දෙදහස් පන්සියයේ සම්බුද්ධ ජයන්තියේ අමරණීය ගීත වූයේ ය.

ප්‍රථම වරට වර්ෂ දෙදහස් පන්සියයේ (2500 ) සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් චිත්‍රපට ගීතයක් ගැන අපට අසන්නට ලැබෙන්නේ 1956 මැයි මාසයේදී පළමු වරට ප්‍රදර්ශන වූ දෛව විපාකය චිත්‍රපටයෙන් ය. දෛව විපාකය චිත්‍රපටය නිෂ්පාදනය කරමින් අධ්‍යක්‍ෂණය කළේ බී.එල්.ඩබ්ලිව්. ජයමාන්න මහතා ය. මෙහි කතා පිටපත සකස් කරන ලද්දේ සිසිර කුමාර මානික්ක ආරච්චි මහතාගේ කෙටි කතා ප්‍රබන්ධයක් ඇසුරෙන් ය.

1956 ලේක් හවුස් ප්‍රකාශනයක් වූ ජනතා පත්‍රය මගින් දීප ව්‍යාප්තව පවත්වන ලද කෙටිකතා තරගයකින් තෝරා ගන්නා ලද දෛව විපාකය නම් වූ කෙටිකතාව එම නමින් ම චිත්‍රපටයට යොදා ගන්නා ලද බව සිංහල සිනමා වංශ කතාවේ සඳහන් වේ. 1956 යුගයේ දී ඇති වු දේශපාලන සමාජ වාතාවරණය සහ රටේ පැවැති බෞද්ධාගමික ප්‍රබෝධයද නිසා ඇති වූ බොහෝ වෙනස්කම් සිංහල චිත්‍රපටයට ද බලපෑ ආකාරය කෙසේද යන්න එම කාල වකවානුව ගැන විමසීමේ දී අපට දැකගත හැකි ය. දෛව විපාකය චිත්‍ර පටයේ තේමා ගීතය ලෙස සැලකිය හැකි එම ප්‍රබන්ධයෙන් සිංහල ජාතිකයන්ගේ කලා නිර්මාණ ගැන අදහසක් පල කොට තිබිණ.

ජාතික කලා රසේ - නංවමු සිංහලයේ
ඒ. එම්. යු. රාජ්

සම්බුදු ජයන්තියේ
ලංකා කලාකාමීන්ගේ මහා
වීර ජනතා පතින් පෑව කතික රජා
බී.ඒ.ඩබ්ලිව්. සමාගමේ කලා ප්‍රේමීන්ගේ
ආධාරේද නිසි සේ යොදා
සිනමාවට නැගුවේ - දෛව විපාකය මේ
සම්බුදු ජයන්තියේ - දෙදහස් පන්සියයේ
ජාතික කලා රසේ - නංවමු සිංහලයේ
ලංකා මාතාව ගේ දරුවෝ අපි
ඇගේ හෙල බාසේ හා දේසේ නොමකා නීති
ශිෂ්ටාචාරේ සදා සිහලුන් ලෙසේ
අපේ සිනමාවෙහි රසේ බොමු නිති
සිංහල පරිසරයේ - සුන්දර පුවතකි මේ.

(දෛව විපාකය – 1956 )

මෙම ගීතයෙන් විස්තර වූයේ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න මහතාගේ චිත්‍රපට සමාගම කලාවට ලැදි ජනතාවගේ සහායද ඇතිව දෛව විපාකය නම් වූ මෙම කලා කෘතිය සිනමාවට නැං වූ බව ය. දෙදහස් පන්සියයේ සම්බුද්ධ ජයන්තියට (1956 ) ආශිර්වාද කරමින් සිංහලයන්ගේ ජාතික කලා රසය ඔප් නැංවීම එහි අදහස බව සඳහන් විය.

චිත්‍රපටයේ තේමා ගීතය ලෙස දැක්විය හැකි එම ගීතයෙන් ප්‍රකාශ වූයේ සිංහල දේශයත් සිංහල භාෂාවත් රැක දෙමින් සිංහල සිනමාවට සේවයක් සැලසිය යුතු බවයි. සිංහල දේශයේ අපූරු කතා පුවතක් දෛව විපාකයෙන් සිංහල රිදී තීරයට ගෙන එන බව තවදුරටත් විස්තර වූයේ ය. ලක්මවගේ දරුවන් වූ අපි සිංහල භාෂාවන් සිංහල දේශයත් නොනසා සදාචාරය රකිමින් සිංහල සිනමාවේ රසය වඩමින් දෙදහස් පන්සියයක් වූ ශ්‍රී සම්බුද්ධ ජයන්තිය උදා වූ මේ යුගයේ දී ජාතික කලා රසය නැංවීමට පෙළ ගැසී සිටින බව එම ගීතයෙන් ප්‍රකාශ විය. චිත්‍රපටය සඳහා මෙම ගීතය රචනා කර තිබුණේ ඒ.ජේ.ද සොයිසා ශූරීන් විසින් ය.

එයින් පසුව 1958 දී මුල් වරට ප්‍රදර්ශනය වූ ‘සල්ලි මල්ලි සල්ලි’ නම් වූ චිත්‍රපටයේ එක් ගීතයක සම්බුද්ධ ජයන්තිය පිළිබඳව අදහසක් සඳහන්ව තිබිණ. කාන්ති චිත්‍රපට සමාගම වෙනුවෙන් ලංකා සහ ඉන්දියානු හවුල් නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් කළ සල්ලි මල්ලි සල්ලි චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ ඉන්දීය ජාතික එම්.ආර්. එස්. මානී මහතා ය. බුදුන් වහන්සේට නමස්කාර කරමින් ආරම්භ වන එම ගීතය ද පද මාලාව වශයෙන් ඉතා උසස් ප්‍රබන්ධයක් ලෙස හැඳින්විය හැකි ය.

“සාදු පියේ භගවා බුදු රජුනේ - සාදු පියේ භගවා
සාදු පියේ භගවා බුදු රජුනේ -සාදු පියේ භගවා
ශ්‍රීප පද්මේ වදිම් ප්‍රෙමෙනා - මොහො දුරුකරවා - සාදු පියේ භගවා...

ලෝකෙට තිලක වූ ශ්‍රී සද්ධර්මේ – දසත ව්‍යාප්තී වේවා
ක්‍රෝධය මෝහය ලෝකෙන් දුරලා - සතට සෙත සෑදේවා
භීතිය ගෙන දෙන මේ සංසාරෙන් ගොඩවෙමි කවදා - සාදුපියේ භගවා....

පස් පව් ආදි අකුසල කර්මේ – ධර්මයෙන් යටපත් වේවා
සීල සමාධි පුණ්‍ය ක්‍රියාවේ –මහිමෙන් ලොව සැනසේවා
බුද්ධ ජයන්තියෙ මහිමෙ බලයෙන් – ජීව මානය වී - සාදු පියේ භගවා....

ගෞතම බුදු වී ලෝ සත සැන සූ - බුදු පියේ බලධාරී
නේත්‍ර ප්‍රදීපේ දෙවා වදාළේ - ඔබවද තිලොවග ධාරී
සරණයි සරණයි බුද්ධං සරණයි – පිහිට ඒ සැමදා
සාදු පියේ භගවා”

(චිත්‍ර පටය - සල්ලි මල්ලි සල්ලි - 1958)
(ගායනය, ලතා මොහිදින් බෙග් සහ පිරිස)

මෙතෙක් ලෝකය වසා පැතිර පැවැති මෝහය නමැති අන්ධකාරය බුදුන් වහන්සේ දුරු කරන ලදී. එමෙන්ම ක්‍රෝධය නසා දමා සෙත සෑදූ උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලෝකයට තිලකයක් විය. එනිසා උන්වහන්සේගේ ඒ අගනා ශ්‍රී සද්ධර්මය දස දෙසම පැතිර යා යුතු ය. භයංකාර වූ මේ සංසාරයෙන් එගොවීම අවශ්‍යම වන්නේ ය.

ප්‍රාණඝාත ආදි වූ පස් පව් ඔබගේ ධර්මයෙන් යටපත්වේවා. ශීල සමාධි පුණ්‍ය ක්‍රියාවන්ගෙන් ලෝකයට සෙත සැලසේවා. එනිසාම මෙම බුද්ධ ජයන්තියේ දී නැවත වරක් බුදුන් වහන්සේ ජීවමාන වේවා, යනුවෙන් උසස් ප්‍රාර්ථනාවක් මෙම ගීතයෙන් සිහිපත් කෙරේ. එදා ගෞතම නමින් බුදු වී ලෝකය සැනසුවා වූ ඔබවහන්සේ සියල්ලන්ගේම ඇස් වලට ඥානයේ ප්‍රදීප ආලෝකය දර්ශනය කර වූ සේක. තුන් ලෝකයටම අග්‍ර වූ ඔබගේ පිහිට සැමදා ප්‍රාර්ථනය කරන්නෙමු. දෙදහස් පන්සියයේ බුද්ධ ජයන්තිය සිහිපත් කළ මෙම අපූරු ගීතය චිත්‍රපටය සඳහා රචනා කළේ ඒ.ජේ. ද සොයිසා ශූරීන් ය.

එදා ලංකා ගුවන් විදුලියේ සම්පාදනය වී ග්‍රැමපෝන් තැටියට නැඟුණ මෙම අගනා ගීත මේ යුගයේ දී අපට අසන්නට නොලැබීම කනගාටුවට කරුණකි. තවත් බොහෝ බෞද්ධ ගීත අතර දක්නට ලැබුණ පැරැණි බෞද්ධ ගීතයක් වූ ‘දෙදහස් පන්සියෙ බුද්ධ ජයන්තිය බැබලේවා ලංකා....’ නමැති ගීතයද 1956 වසරේ දී උදා වූ දෙදහස් පන්සියේ (2500 ) සම්බුද්ධ ජයන්තිය පිළිබඳ අපූරු ගීතයක් වූ බව කිව යුතු ය. 50 දශකයේ දී රචනා කළ එම ගීතය ගායනා කළේ මොහිදින් බෙග් සහ, ඇන්ජලින් ද ලැනරෝල් විසින්. 2500 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් එදා අපේ ගුවන් විදුලියෙන් අසන්නට ලැබුණ එම ගීත වර්තමානයේ දී අපේ අසන්නන්ට ශ්‍රවණය කරන්ට ලැබෙන්නේ නම් එය අගනා සේවාවක් වනු නො අනුමාන ය



(  2009 ජුනි මස 29   දින  බුදුසරණ පුවත් පතෙනි)

No comments:

Post a Comment