පොත පත කියවන සොයන අය සදහා සොයා ගන්න link

Thursday, October 4, 2018

තාල වර්ගයට අයත් මල ගෙවල්


මළ ගෙයක් ගැන කොල්ලෙක් කියපු ආතල් කතාව

මල ගෙවල් යනු ඝර්ම කලාපීය රටවල් වල හැදෙන තාල වර්ගයේ ගෙවල් විශේෂයකි.. ඒවා තාල වර්ගයට අයත් වන්නේ එම ගෙවල් වල වැඩ එක එක තාලයට සිදු වන බැවිනි...

මල ගෙයි බිත්ති අතර ඇති වර්ග අඩි ගණන අනුව සහ ගෙදර එකාගේ රස්සාව අනුව ගේ ඇතුලේ එකාට සිදු වී ඇති දෙයද එකිනෙකට ඉඳුරාම වෙනස්ය... ගෙදර එකා මැති ඇමති මට්ටමේ නම් ඇතුලේ එකා අභාවප්ප්‍රාප්ත වී ඇත... ගෙදර එකා ප්‍රින්සිපල් වගේ සීන් එකක් නං සිදු වී ඇත්තේ කාල යාත්‍රා කිරීමක් හෙවත් කලුරිය කිරීමකි.. ගෙදර එකා ක්ලාක් කෙනෙක් නං ඌ මියගොස් ඇති අතර ගෙදර එකා ඩ්‍රයිවර් කෙනෙක් නං එහෙම මැරිලාය.. ගෙදර එකා හංදියේ බීගෙන නටන රස්තියාදු කාරයෙක් නං ඌ කූරියා ගහලාය..

කෙසේ වුවද මලගෙවල් අතරින් වඩාත්ම චමත්කාර ජනකම මල ගෙවල් විශේෂය වන්නේ වයස අවුරුදු අසූව පැනපු ආච්චී කෙනෙකු හෝ සීයා කෙනෙකු මිය ගිය අවස්තාවක් වටා ගොඩනැගී ඇති මල ගෙවල්ය.. මල් ශාලා කරුවාගේ සිට කුරා කුහුඹුවා දක්වා සකල ජනවාසීන්ම ප්‍රීතියෙන් ඇලලී යාම මෙම මල් ගෙවල් වලදී සිදුවේ... අසූව පැනපු ආච්චි කෙනෙකුගේ මරනයෙන් වේදනාවක් ලබන පාර්ශවයන් ද සොයාගැනීම උගහට වුවද කලාතුරකින් එබඳු අයවලුන්ද හමු වේ... එබඳු උන් කවරෙක්හුදැයි පවසන්නේ නම් අත්තම්මාගේ හෝ සීයාගේ පෙන්ශන් එකෙන් ගානක් කොටාගෙන ජීවත් වූ මුණුබුරු මිණිබිරියන් හෝ එම මවගේ පෙන්ශන් එකෙන් සූරාගෙන කමින් අනිත් සහෝදරයන්ගේ විරුද්දතා මැද දිවි ගෙවූ අතිජාත පුත්‍ර රත්නයන් සහ දුහිතෲ වරුන්ය.. මෙබඳු කඩප්පුලියන් කීප වර්ගයකට හැරෙන්නට අන් අයට අතිශය මහලු අය මියගිය විට එය ලොකු වේදනාවක් නොවේ...

ආච්චී මියගිය එකේ වැඩිම ප්‍රතිලාබ භුක්ති විඳින්නේ මුනුබුරු මිනිබිරියන්ය... මුනුබුරාට 18 පැනලා නං ආයෙ ඉතිං කතා කරලා වැඩක් නැත.. අඩෝ සජියගේ ආච්චි මැරිලා යන මැසේජ් එක අප්‍රිකාවේ මහා වනාන්තර වල පැතිරී යන ලැවුගින්නටත් වඩා වේගයෙන් කොල්ලන් සෙට් එක අතර පැතිරී ගොස් ඒකලා උඩින් ගොඩ බිමින් මුහුදෙන් ආදී සෑම මාර්ගයකින්ම මඩ් ගාඩ් ගලවපු පුට් සයිකලයේ සිට හොනට් එක දක්වා පරාසයක විහිදී යන බයිසිකල් වලින් මලගෙදරට සම්ප්‍රාප්ත වේ.. සජියාට නංගි කෙනෙකු සිටී නම් තත්වය මීට වඩා වෙනස්ය.. එසේ වූ කල්හි මලගේ ආරංචි උන ගමන් එකෙක් සැලුන් එකට දුවයි.. අනිකා බයිසිකලේ හෝදාගෙන එන්නට යයි.. නාලා කියලා කට්ටිය පැය හය හතකින් මලගේ පැත්තට සේන්දු වෙනකොට සෙට් එකක් මිදුලේ කොනක අන්තර්ජාතික ඔලිම්පික් කැරම් සූරතාවයට පුහුනු වීම් කටයුතු වල නියැලෙන අතර තවත් පිරිසක් බුලත් නිසා සවුක්යයට සිදු වන හානිය වැලැක්වීමේ පරම පිවිතුරු චේතනාවෙන් නොමිලේ ලැබෙන බුලත් වට්ටිය ඉක්මනින් ඉවර කරනු වස් වඳුරන් කොල කන්නා සේ කාගෙන කාගෙන යනු දැකිය හැක..

ගේ ඇතුලේ සජියාගේ අම්මා සහ පුංචි අම්මා හරි හරියට අඬති... ඒ සජියගේ ආච්චී මල දුකට නොවේ... සජියාගේ පුංචි අම්මා ඉගෙනගත්තේ නැති හිංදා සජියාගේ සීයා තමන්ගේ පෙන්ශන් එකෙන් කොටසක් පුංචි අම්මාට හරවා තිබූ අතර සීයා මියගිය පසුද එය ආච්චී හරහා සජියාගේ පුංචිඅම්මාට මාස් පතා ලැබීම ඇයගේ බියුටි සැලුන් ගාස්තුවට රුකුලක් වීමත් හෙට සිට එම පෙන්ශන් එක නැති වීම පුංචි අම්මාගේ ලය පැලී යන්නට තරං ශෝකයක් වූ නිසා පුංචි අම්මා අඬන අතර ඇය එම වේදනාව දරාගත නොහී සජියාගේ අම්මා අමතා 
" අම්ම මගේ ලඟ හිටියා නං මෙහෙම වෙන්නේ නෑ "
කියපු එකට සජියාගේ අම්මා පොලවෙ හැපී වැලපෙයි...
ඒ මේ වැලපුම් අතර සජියාගේ නංගි ඇහි බැම දෙකත් පොල් අතු දෙකක් වගේ වෙන්නට හනි හනිකට සකසාගෙන නේචර් සීක්‍රට් පේසල් වොස් එකෙං මූන එහෙම හෝදලා රෝස් පවුඩර් තට්ටුවක් මූනේ උලාගෙන සුදු ඇඳුමකුත් ඇඳගෙන විජ විජහට ලෑස්ති වෙයි.. ඒ වෙන මොකවත් නිසා නොව මලගෙදරට එන එවුංගේ අවදානය මිනියට යොමු උනහොත් ඔවුන්ට දුක හිතී වැලපෙන නිසා ඔවුන්ගේ අවදානය තමන් වෙතට යොමු කරගෙන එම දුක තුනී කරන්නටය... සජියාගේ අම්මාගේ ඔපිස් එකෙන් එවලා මිදුලේ අඹ ගස් දෙකේ ගැටගසා ඇති තඩි පෑස් ලයිට් දෙකේ එලියට සජියාගේ නංගි නිකං චතුරිකා පීරිස් වගේ කොල්ලන් සෙට් එකට පෙනේ.. සජියාගේ අම්මාගේ වැලපීම ටික වේලාවකින් නතර වුවද පුංචි අම්මාගේ වැලපිල්ල දිගටම පවතින අතර මල ගෙදරට එන කවුරු හරි ලොකු බිස්කට් පෙට්ටියක් හෝ සන්ක්වික් බෝතල් දෙකක් විතර ගෙනත් සජියාගේ අම්මාට දෙන විට පුංචම්මගේ වැලපිල්ල මර ලතෝනියක් බවට පත් වේ.. එ වැනි අවස්තා වලදී

" අනේ අම්ම මගෙ ලඟ හිටියානං මේවා මෙහෙම වෙන්නේ නෑනේ " 
කියා වැලපෙන පුංචම්මා දකින ජනතාව හිතන්නේ අනේ අම්මට වැඩියෙන්ම ආදරේ පොඩි දුව වෙන්න ඇති නේද කියාය...

එක වරම මිදුලට හැරෙන පාරේ තඩි ඩබල් කැබ් එකක් නවත්තනු දකින සජියා මල් වැටට මුවා වී යාලුවන් සමග උරමින් සිටි පිල්ටර් කොටය විසි කර ගෙට දුව ගොස් අම්මාට කනට කර කියන දෙය කුමක් වුවත් අම්මාගේ ස්වරූපය සම්පූර්නයෙන් වෙනස් කරන්නට එම කියන දෙය සමත්ය... විජ විජහට කාමරයට පනින ඇය ලිප්ස්ටික් පාරක් උලාගෙන නැවත මිනිය අසලට පැන දොරකඩට කුරුමානං අල්ලාගෙන සිටී... බඩ තඩි බොසා විස්කෝතු පෙට්ටියත් රැගෙන ගෙට එනවාත් සමගම සජියාගේ තාත්තා ආයිබොවන් පාරක් දාන අතරම සජියාගේ අම්මා මංත්‍රී දේවියගේ වැලපිල්ල අරඹයි..

" අනේ අම්මේ සාමාන්යාදීකාරිතුමා ආවා නැගිටින්ඩකෝ.... කාගේවත් මලගෙවල් වල යන්නේ නැති මෙතුමා අම්මව බලන්ඩ ඇවිල්ලා නැගිටින්ඩකෝ අනේ " කියා පොඩි සීන් එකක් දෙයි..
සජියාගේ තාත්තාගේ කොම්පැනියේ යාලුවන් මල ගෙදරට එන්න කලින් දුක තුනී කරගනු වස් තුන් හතර දෙනා ගේට්ටුවට නුදුරේ වාහන වල ඩිකිය ඇරගෙන අඩියක් ගහන අතර උංගේ ඇමතුමෙන් එතෙන්ට පැන පිනට ශොට් එකක් ගහගැනීමේ බාග්යය සජියාගේ තත්තාට හිමි වේ... රෑ එකොලහ දොලහ පමන වන විට මෙබඳු මිතුරන් පස් හය ගොල්ලක් පැමිනීම කරන කොට ගෙන සජියාගේ පියා සහ මියගිය අත්තම්මා අතර දරුනු තරගයක් ඇති වේ... ඒ මල ගෙදර මිනිය වීමේ තරගයයි ... එන එවුංට සජියාගේ පියා මිනිය නොවන බව තේරුම් ගැනීමට හැකි එකම සාදකය පොර වැනි වැනී හෝ හිටගෙන සිටීමයි... මේ සීන් අතරේ සමනල් හැඟුමන් අතරේ සින්දුවට නටන කෙල්ලෝ රෑන සිහිපත් කරවන සජියාගේ නංගි සහ ඒ ලෙවල් පංතියේ කෙල්ලන් හෙවත් මැරුන ආච්චීට අනුව නම් කෙල්ලගේ යාලු තේඋඩිච්චි ටික නෙස් කැපේ බාර නිලදාරීනී තනතුරු හොබවයි.. ඔවුන් ට්‍රේ එකේ නෙස්කැපේ කෝප්ප ටිකක් තියාගෙන තමන් ශ්‍රීලංකන් ගුවන් සේවිකාවකැයි යන මානසිකත්වයක් උද්දීපනය කරගෙන ගැම්මට යනු දකින කැරම් ක්‍රීඩකයන් අමන්දානන්දයට පත් වේ...

"නංගි අපටත් දෙන්නකෝ " යැයි පවසා නංගිව ලඟට ගෙන්නා ගන්නා ඔවුහු හෙට උදේට මලබද්දය හැදී මියගියත් කමක් නෑ මේ නංගිගෙ අතින් කෝපි බීලා... යන චේතනාව පෙරදැරි කරගෙන සිය දොලොස් වැනි හෝ පහලොස් වැනි කෝපි කෝප්ප හිස් කරයි... මල ගෙවල් වල බිස්කට් අල්ලන එකියන් කැරම් ක්‍රීඩකයන් සිටින ඉසවුව මගහැර යන්නේ එම ක්‍රීඩකයන් සිය ජයග්‍රහනයට අවශ්ය බලය ජවය ශක්තිය ආදී සියල්ල බිස්කට් වලින්ම ලබා ගැනීමට උත්සහ කරන නිසාය.. මහපටැඟිල්ලේ තුඩේ සහ දබරැඟිල්ලේ තුඩත් අතර දුරට අසු වන තරමක් බිස්කට් එක උඩ එක ගැසූ කනුවක් අරං කන ගමං නංගි වේපස් නැත්ද කියලා අහන ක්‍රීඩකයන් දකින යමෙකුට හිතෙන්නේ වේපස් කෙසේ වෙතට් මුන් තව දවසක් දෙකක් මෙහේ හිටියොත් එහෙම ගෙදර එවුන්ට පොලවේපස් කෑමට සිදු වන බවකි... මෙම අකටයුත්ත දරාගත හැකි සීමාව ඉක්මවා යන අවස්තාවේදී සජියාගේ මාමා කෙනෙකු පැමින...

"පුතාලා බඩ්ඩිංගක් කමුද " අසත්ම තරුණයන් කැරම් බෝඩ් එකත් උඩ විසි වෙලා පොට් වෙලා හිටපු රෙඩාවත් ආපහු වලෙන් එලියට විසි වෙන තරම් වේගයකින් නැගිටින්නේ, " පුතාලා ඕං ඩයිනෝසරයෙක් එනවා පන බේරං දුවන්ඩලා" කියලා පනිවිඩයක් ලැබුන කලෙක මෙනි...

කන්ඩ තියෙන්නේ එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයටත් වඩා වියවස්තා සම්මත කරගෙන මහා සබා වාර පිහිටුවාගෙන ගමේ ප්‍රිසිපල් විසින් මුලසුන හොබවබ මරණාධාර හෙවත් හැමදාම හෙන ගාස්තු එකතු කරමින් මිනිස්සුන්ට මරණයට ආදාර කරන සී ඩ්‍රැගන්ස්... ඩෙඩ් මොන්ස්ටර්ස්... බෝන් බ්‍රේකර්ස්.. වැනි මනරම් නමකින් යුතු මරණාධාර සමිතියේ පූර්ණ දායකත්වය ඇතිව සාමාජික අංකල් ලා විසින් පොලට ගොස් වෙලඳ මහතුන් හමු වී කතිකා කර එම වෙලඳ මහතුන් විසින් එදින උදයේ හෝ පෙර දින රාත්‍රියේ විශේශ ඉල්ක්ට්‍රොනික පරීක්ශන වලට ලක් කර දැල් ගෝනි නම් වූ බහලුම් වල බහා ඌරු කොටු සඳහා යැවීමට තෝරාගත්, පෙනේර සිහිගන්වන ගෝවා කොල රැගෙන විත් ඒවා වලින් සාදාගත් ගෝවා කොල මැල්ලුම... සති පොලේ ඉතා මිල අදික එලවලු වන කැකිරි .. වට්ටක්කා මාලුවය.....ඒවා සමග කන්නට එවා ඇති බත් ද එයිට දෙවෙනි නැත.... සාමන්යයෙන් මෙම බත් සමිතියෙන් උයපුවා බව නොදන්නා කෙනෙක් සජියගේ ආච්චී විරුද්ද පක්ශයේ ඇමති කෙනක් වී ගමට හිරිහැර කරමින් සිටි අයෙක් බවත් ඇය මියගිය සතුටට ගම්මුන් විසින් කිරිබත් උයා එවා ඇතැයි සිතයි... ඒ තරම් බෙරි වෙලාය... එහෙත් වැලේ වැල් නැතුව මාරි වලින් පලි ගනිමින් සිටින සජියාගේ යාලුවන්ට ඒවා ප්‍රශ්න නොවේ.... මෙසේ ඇරඹෙන කෑම නතර වෙන්නේ ඒ ගෙදර කෙනෙක් පැමින... .

"කන්ඩ කන්ඩ පුතාලා අපි ඔය පාන් රාත්තල් ටිකක් ගෙන්නන්නම්කො අනිත් අයට කන්ඩ "

කී විටය....

මල් වඩම් වලින් ශෝකය පල කිරීම නිශ්පල ක්‍රියාවක් බවත් ශෝකය පලකිරීමේ නිවැරදිම ක්‍රමය වන්නේ මල ගෙදරින් බඩ පැලෙන්නට කෑම බව ගම්යමාන කරමින් තියෙන ඒවා කාබී සබාතොමෝ සතුටින් විසිර යන අතර රෑ දොලහ පමණ පහු වන විට මලගෙදර ඉතිරි වෙන්නේ හෙටක් කියා දිනක් නොහඳුනන සජියාගේ පාප මිත්‍ර කැරම් ක්‍රීඩකයන් සහ මල ගේ කාගේදැයි වත් නොදැන යන්තං සුදු කොඩි රැලි පාලං දැක කාඩ් පැක් රැගෙන ස්වකීය බූරු කවුශල්යය ඔප්නංවාගනු වස් පැමිනෙන සිය කීර්ති කදම්බයෙන් අහල ගම් හතක බූරු මැන්ඩි ආලෝකවත් කළ වුර්තියමය බූරු ක්‍රීඩකයන්ය...

මුලින්ම හට් එකේ හරි මැද ඉතා අහිංසක ලීලාවෙන් ජෝඩු බලන .. ඕමි ගහන... පොඩි එවුනට කාඩ් කුට්ට්මෙන් මැජික් පෙන්නන ඔවුහු මද්යම රාත්‍රිය එලඹීමත් සමගම පෘතුවියේ අංසක විසිතුනහමාරේ ඇලය නිසා ටික ටික හට් එකේ කෙලවරට තල්ලු වී යයි.. සජියාගේ ආච්චී මියගිය දුකට පෘතුවිය වෙනදාටත් වඩා වේගයෙන් කරකැවී තවත් ටිකකින් ඔවුන් අල්ලපු වත්ත කෙල්වරටම විසිවී එහි සිට ජයටම කෑකොස්සන් ගසමින් බූරු චැම්පියන් ලීග් කුසලානයට සටන් වදී...

සජියාගේ ආච්චිගේ මරනයෙන් වාසි ගන්නට බලා සිටින්නේ මල් ශාලා කාරයා පමණක් යැයි සිතීම වැරදි බව පසක් කරමින් රාත්‍රි දොලහ පසු වන විට තවත් සංවිදානාත්මක කල්ලියක් ක්‍රියාත්මක වේ... එම කල්ලිය නම් සජියාගේ නංගි සහ නංගී යාලු වී සිටින කොල්ලා ප්‍රමුක මිතුරන් තිදෙනෙකුගෙන් සමන්විත පිරිසකි...
නිවසට මෙතෙක් රහසක්ව පවතින පෙම් පලහිලවුවේ මූල බීජය සජියාගේ අම්මාට කාන්දු කරවීමේ නියම අවස්තාව මෙය බව වටහාගන්නා මහ මොලකාරිය වන සජියාගේ නංගී දෙන පණිවිඩය අනුව උදේ ඉඳං ලෑස්ති කරගෙන සිටින සුදු කමිසයත් ඇඳගෙන කොන්ඩේ ජෙල් ගා කූරු හදලා රැවුල කපලා ලස්සන වී ම්තුරන් සමග මලගෙදරට සේන්දු වන පෙම්වතා ගෙට ගොඩ වන විටම සජියාගේ නංගි විසින්..

" අම්මේ මේ අපේ ක්ලාස් එකේ අයියා කෙනෙක්"

කියා කියත්ම මුලින් කපා හෙලන ලද නාඹ තල් කඳක් පරිද්දෙන ස්වකීය අනාගත නැන්දම්මාගේ දෙපා මුල පතබෑවී පාද යුග්මය වන්දනාමානයේ යෙදෙන මේ යවුවනයා නිකන්ම නිකන් අයියා කෙනෙකු නොවන වග සිය තරුණ කාලයේ දහ අට පාලි නටා පෝරක හතෙන් වැටී පොල්පිති හත පහු කර සිටින සජියාගේ අම්මාට වැටහුනද මේ මලගෙවල් අස්සේ ඔවාට ඔට්ටු වීම නොහොබිනා බැවින්

මේ පුතා කොහෙද...

මොනවද ඉගෙන ගන්නේ...

අම්ම තාත්තා මොකද කරන්නේ...

ආදී කොට ඇති සරල පැනයන් කීපයකින් සහ අරූ ඒකට දෙන පම්පොරි සහිත තාර බර සමග දෙන පිලිතුරු වලින් සෑහීමකට පත් වන්නට සිදු වේ... පැය බාගයක් පමණ නිවසේ රැඳෙන එම යවුවනයන් තිදෙන පිටත් වී යන විට උන් සමග පසු ගමන් යන සජියාගේ නංගිගේ දසුන හට් එකේ කැරම් ගහන භද්‍ර යවුවනයන්ගේ නේත්‍රා යුග්ම වල අනින ලද කටු පොකුරු බඳු වූ නිසා දැදුරු වන ලදුව ලෝහිත දාරා ගලන හදවත් ඇතිව ස්වකීය කැරම් ක්‍රීඩාව අතරමග නිම කර ඔවුහුද නිවෙස් වලට පිටව යති... පහුවදා සතියේ දවසක් වන නිසා මල ගෙදර හෙවත් පුෂ්ප ගෘහය පාලු ස්වරූපයක් උසුලන බැවින් නිවැසියෝද දොරවල් වසා තන්හි තන්හි වැටී නිදි දෙවු දුව වැලඳගනිති....

හොඳම ජෝගිය එන්නේ පහුවදාටය... ගමේ සුපිරිම බේබද්දන් ටික කනත්තේ වල කපන වැඩ වලට සිය රන් දෑතේ සවිය ලබාදෙන්නේ මිනී වලවල් කපන එක දිවිය සැප ලබා දෙන පුන්ය කර්මයක් වන නිසා මිසක වල කපන එවුන්ට අසීමිතව ලබාදෙන අරක්කු වලට ඇති ගිජු බව නිසා නොවේය... එහේ වැඩ එසේ යන අතර පාංසකූලයට එන හාමුදුරුවන් දෙන වර්ණනාව අනුව නම් මියගොස් ඇත්තේ සජියාගේ ආච්චී නොව සජියාගේ අම්මායැයි සිතන බොහෝ දෙනෙක් නැවත පෙට්ටිය විවුර්ත කර මිනිය බැලීමට අවශ්ය බව පවසා සිටින්නේ හරියටම ඉස්තීරවම එය දැනගැනීමටය..

" අද මේ මියගොස් සිටින උපාසිකා මාතාව ඉතාම පින්වත් දරුවන් රැසක් සමාජයට දායක කර තිබෙන බව අපි හොඳින්ම දන්නවා.. ඉන් එක දියනියක් වන මේ නිවැසි අපේ කුමාරි නෝනා මහත්මිය නිතරම අපේ පංසලට එන අපට උදවු කරන පින්වත් දායිකාවක් කියා පටන්ගන්නා උන්වහන්සේගේ පැයක දේශනාව පුරා විසිරී පැතිරී ඇත්තේ සජියාගේ අම්මා විසින් පංසලේ මකර තොරනට පනස් දාහක් දුන්න එකයි රන් වැටක් හදලා දුන්න එකයි පහන් පූජාවට දායක උන එකයි කොහෙදි දැක්කත් කාර් එකේ දාගෙන එන එකයි මෙකී නොකී කතන්දරය...උන්වහන්සේගේ දේශනයෙන් අනතුරුව සජියාගේ අම්මාගේ ඔපිස් එක වෙනුවෙන් කරන කතාවෙන් පටන්ගන්නා කතා මාලාව අවසන් වන්නේ හන්දියේ මස් කඩයේ මුදලාලි ගේ කතාව ඇතුලු කතා හතලිස් පහක් පමන අවසන් කිරීමෙන් පසුවය.. 
වල කපන තැන එවුන්ගෙන් බාගෙට බාගයක් මේ වන විටත් වල සරසන්නට ගෙනා ලී කුඩු ගොඩවල් උඩ සහ පරණ මිනී වලවල් වල පස් කඳු උඩ වැටී සිටින්නේ මිනී වලවල් කපන විට මතුවූ භූතාත්මයක පහරදීමක් නිසා මිසක පිනට ලැබුන අරක්කු බී වෙරි වෙලා නොවේය... පෙරහැර කනත්ත ලඟට එන විට ඔවුන් උස්සාගෙන ගොස් කනත්ත කෙලවරේ තැන්පත් කර වල සූදානම් කිරීමෙන් අනතුරුව ඉතිරි පිරිස එකත්පස්ව බිම බලාගෙන සිටින්නේ සජියාගේ ආච්චී මියගිය ශෝකයට මිසක් වෙරි නියාව සමාජයෙන් වසන් කිරීම සඳහා නොවේ... මුරුත කලේබරය බහාලූ පෙට්ටිය වලට බැස්ස්වීමෙන් අනතුරුව එලඹෙන්නේ පස් ගුලි වලින් පෙට්ට්යට රබන් පද ගහන්නාක් මෙන් දමා ගැසීමේ චාරිත්‍රයයි..
මේ අහු අස්සේ සජියාගේ පුංචි අම්මාගේ පොඩි සීන් එකක් වල අසබඩ තිරගත වේ....

" අනේ මට නං බැරියෝ මටත් අම්ම යන ලෝකෙටම යන්න ඕනේ .. අනේ මාවත් ඔය වලටම දාලා වහපියෝ... මට මැරෙන්න ඉඩ දීපියෝ "

කියමින් ස්විමිං පූල් එකේ උඩ සවි කරන ලද ලැල්ලේ කෙලවරේ හිටගෙන පූල් එකට පනින්නට සැරසෙන ක්‍රීඩිකාවක් මෙන් මිනී වලේ ගැට්ටේ පස් ගොඩක් මත සිටගෙන වල දෙසට බර වී පනින්න දඟලන සජියාගේ පුංචි අම්මාගේ දසුන කාගේත් නෙත් කඳුලින් තෙත් කරන අතර ඇය වලට පැන සිය ජීවිතය නැතිකරගැනීම වැලකිවීම සඳහා සැමියා ඇතුලු හැඩිදැඩි පිරිමි දෙතුන් දෙනෙකු ඇයව තරයේ අල්ලාගෙන සිටිති.. වලට පස් මිටක් දමන්නට ආ පොඩි එකෙක් ලිස්සා ගොස් සජියාගේ පුංචි අම්මාගේ ඇඟේ හැපීම නිසා පුංචි අම්මා වලට නොවැටී අනූනමයෙන් බේරුන අතර මෙතෙක් වේලා වලට පැන දිවි පුදන්නට පොර කෑ ඇය පොඩි එකාගේ කන මිරිකමින් පැවසුවේ.

"මොකද යකෝ වෙලා තියෙන්නේ .. මරන්ඩද හදන්නේ ..තව ඩිංගෙන් මං වලට වැටෙනවා හොඳ වෙලාවට දෙයියෝ බලලා බේරුනේ "

කියාය...

ධනුෂ්ක කාංචන ජයවීර..(උපුටා ගත්තකි.)



Monday, September 3, 2018

Asian Men's Volleyball Challange Cup


Volleyball: AVC Men’s Challenge Cup from September 15 to 22


Eight Asian countries will take part in the AVC Men’s Volleyball Challenge Cup Tournament which would take place from September 15 to 22 at the Sugathadasa Indoor Stadium in Colombo.

This inaugural event would be conducted by the Asian Volleyball Confederation (AVC) and organised by the Sri Lanka Volleyball Federation (SLVB) and sponsored by Dialog. 

The teams participating in the tournament are Sri Lanka, Malaysia, Hong Kong and Saudi Arabia (Group ‘A’) and Iraq, UAE, Mongolia and Bangladesh (Group ‘B’). 

President Maithripala Sirisena will be the Chief Guest for the opening ceremony of the tournament while Prime Minister Ranil Wickremesinghe will be the Chief Guest for the closing ceremony. 

The official launching ceremony for the event took place on Wednesday (15) at the Kingsbury Hotel, Colombo under the patronage of Sports Minister Faiszer Musthapha and Amali Nanayakkara, Group Chief Marketing Officer, Dialog. 

Minister Musthapha said that volleyball has developed well in Sri Lanka and that Sri Lanka could gain a lot of skill by competing in international tournaments of this nature. 

Sri Lanka are currently placed 14th in the Asian Rankings and the Minister hoped that Sri Lanka would advance into the eighth position. 

There are 63 Sports Associations currently registered with the Sports Ministry and the Minister said he has no hesitation in naming volleyball as the most committed sport in the island.


Daily News Paper


Saturday, May 5, 2018

70/80 දශකයේ පෙර්ළිකාරයෝ ABBA අවතාරෙන් එයි

හැත්තෑව හා අසූව දශකවලදී ලොව කලඹා නික්මගිය අසහාය පොප් සංගීත කණ්ඩායමට ආදරය කළ සුවහසක් රසිකයින් එවක් පටන් ගෙවුණු වසර ගණනාවක් පුරා ජීවත්වූයේ සිහිනයක ය. 1983 දී ඔවුන් සීසීකඩව විසුරුවා දැමූ, වෙන්වීම්, දික්කසාද හා නොගැලපීම් පසෙකලා අග්නීතා, බෙනී, (බ)ජෝන්, හා ඇනී-ෆ්‍රීඩ් යළි එකතුවී ලොව කුල්මත් කරනු ඇත යන සිහිනය ඇබා රසිකයින් තුළ තිබිණ. නමුත් එය කිසිදා සැබෑ නොවන බැව් ඇබා ස්ථීර වශයෙන් කියා තිබුණේ වරක් දෙවරක් නොවේ.

“ඇබා ආපහු කවදාවත් එකතු වෙන්නේ නැහැ. එවැන්නක් සිදුවන තුරු බලාපොරොත්තු දල්වාගෙන සිටින රසිකයින් වේදනාවට පත්කරන්න සිද්ධවෙන එක අපිටත් වේදනාවක්“ ඇබා සාමාජික (බ)ජෝන් උල්වියුස් එසේ කියා තිබුණේ 2013 වසරේදි ස්ටොක්හෝම් නුවරදී ‘ඇබා‘ කෞතුකාගාරය විවෘත කිරීමට එක් වෙමිනි. නමුත් සැබෑ නොවන බැව් කී ඒ සිහිනය දැන් හැබෑවී තිබේ. එය ඇබා ගීත ලෝලීන්ද පස්වනක් ප්‍රීතියෙන් ඉපිලවන සුබආරංචියකි. නමුත් එම ප්‍රීතිය දියාරු කරවන පොඩි පරහක්ද නැත්තේම නැත. එක් අතකට එය ඇබාලා දුන් දිවුරුම මුලුමනින්ම වෙනස්ව නැති බවටද ඉඟියකි. වසර තිස්පහකට පසු ඇබා සිය ගීත ලෝලීන්ට නවතම ගීත දෙකක් දායාද කොට තිබේ. ගායනය ඇබාලාගේ වුවද, එම ගීත වේදිකාවේ ඉදිරිපත් කරනු ඇත්තේ ‘ඇබා අවතාර‘ විසිනි.

ඇබාගේ උත්පත්තිය සිදුවූයේ 1972දී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදීය. එහි සාමාජිකයින් වූයේ විවාහක යුවළ දෙකකි. ගීත කෝකිලාවියන් දෙදෙනා වූ ‘අග්නීතා ෆෝල්ට්ස්කෝග්‘, හා ‘ඇනිෆ්‍රීඩ් ලින්ග්ස්ටැඩ්‘ සිය මධුර ගායනයෙන් ලොව සනහද්දී ඔවුන්ට ගීත පබඳමින් පසුබිම් සංගීතය සැපයුවේ ඔවුන්ගේ පිය සැමියන් වූ (බ)ජෝන් උල්වියුස් හා බෙනී ඇන්ඩර්සන් ය. කණ්ඩායම ඇබා ලෙස නම් කෙරුනේද ඔවුන් සිව්දෙනාගේ නම්ල මුලකුරු ( ABBA) එක් කිරීමෙනි. පොප් ගායන ලොවේ ඇබා උච්චස්ථානයට පත්වූයේ 1974දි ඔවුන් ‘යුරෝවිෂන්‘ ගීත තරගාවලිය ජයග්‍රහණය කිරීමත් සමඟය. ඒ සිය ‘වෝටර්ලූ‘ ගීතය හරහාය. 1974 – 1980 අතර කාලයේදී බිල්බෝඩ් ගීත දර්ශකවල අංක එකට පැමිණි ‘Knowing me’, ‘Knowing You’, Take a chance on me’, Dancing Queen’, ‘Name of the Game’, වැනි ගීත ගණනාවක සාඩම්බර හිමිකරුවන් වූයේ ඇබාය. ඔවුන් 1983දී විසිර යාමෙන් පසුව වුවද ඒ ජනප්‍රියත්වය අඩුවක් වූයේ නැත. එදා සිට අද දක්වා අලෙවි වී ඇති මිලියන ගණනක්වූ ඇබා ගීත තැටි ඒ බව ඔප්පු කරන එක් සාක්ෂියක් පමණි.

ඇබා විසිර ගිය පසුවත් ඇබාට පෙම් බිහිවූහ. 1999දී ඇබාගේ කතාව රැගත් ‘මමා මියා‘ සංගීතමය වේදිකා නාට්‍යය වෙස්ට් එන්ඩ්හි ප්‍රදර්ශනය ඇරඹුවේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. අදටද ලොව පුරා ප්‍රදර්ශනය කෙරෙන මෙය නරඹා ඇති රසික පිරිස මිලියන හැට ඉක්මවයි. එය පාදක කර ගනිමින් මෙරිල් ස්ට්‍රීප්, කොලින් ෆර්ත්, ඇමැන්ඩා සෙෆ්‍රීඩ් වැනි සුප්‍රකට හොලිවුඩ් රංගධරයන්ගේ රංගනයෙන් හැඩවී 2008දී තිරගත වූ ‘මමා මියා‘ චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තා තැබුවේද ඒ ජනප්‍රියත්වය නිසාමය. ලබන ජුලි මාසයේදී එහි දෙවන කොටස ‘මමා මියා - හියර් වී ගෝ අගේන්‘ ලෙස තිරයට ප්‍රවිශ්ට වන තෙක් රසිකයෝ නොඉවසිලිමත්ව සිටිති. යළිත් ප්‍රසංග වේදිකාවට එන ලෙසට ඇබාට ඉදිරිපත්වූ ඉල්ලීම් බැහැර කෙරුණේ වරක් දෙවරක් නොවේ. 2000 වසරේදී සජීවි ප්‍රසංගයක් පවත්වන ලෙසට කළ ඇමරික් ඩොලර් බිලියනයක ඇරයුම උල්වියුස් විසින් ප්‍රතික්ෂේප කර තිබුණේ , “ඔයාලට අපි කවදාවත් ප්‍රසංග වේදිකාවේ දකින්න ලැබෙන්නේ නැහැ. එක දෙයක්, අපිට කොහෙත්ම මුදල් අවශ්‍ය නැහැ“ කියමිනි.

නමුත් ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ රසිකයින් සතුටු සාගරයක ගිල්වමින් පසුගියදා හෙළිකළේ නවතම ඇබා ව්‍යාපෘතිය වෙනුවෙන් නැවුම් ගීත දෙකක් පටිගත කළ බවයි. ඉන් එක් ගීතයක් වන “I still have faith in you” ලබන දෙසැම්බරයේදී රූපවාහිනී විශේෂ වැඩසටහනකින් දොරට වඩිනු ඇත. බී.බී.සී. හා එන්. බී.සී. නාලිකා දෙක ඒකාබද්ධව නිර්මාණය කෙරෙන මෙම වැඩසටහන සුවිශේෂී වනු ඇත්‍තේ ඒ. ඒ වසර තිස්පහකට පසු පළමුවරට ඇබා අලුත්ම ගීත දෙකක් සමඟ ප්‍රසංග වේදිකාවක දක්නට ලැබෙන නිසාම පමණක් නොවේ. ගීත ගායනය කරන්නේ ඇබා සාමාජිකයින්ගේ අවතාර නොහොත් ‘හොලෝග්‍රෑම්‘ ප්‍රතිබිම්බ විසින් වන නිසාය. ඩිජිටල් පරිඝණක තාක්ෂණය මඟින් පරිලෝකනය කෙරුණු ඇබා සාමාජිකයින් සිව්දෙනාගේ වත්මන් ස්වරූපය ඔවුන් 1979දී සිටි ස්වරූපය දැක්වෙන ආකාරයට ‘තරුණ‘ කරවා මෙම හොලෝග්‍රෑම් ප්‍රතිබිම්බ නිර්මාණය කොට තිබේ. ඒ අනුව ගීතය ගයන්නේ ඇබාය. නමුත් එය ඉදිරිපත් කරන්නේ ඇත්තම ඇබා නොවේ.

රූපවාහිනී වැඩසටහනෙන් පසු ලබන වසරේ සිට මෙම හොලෝග්‍රෑම් ඇබා කණ්ඩායම ලෝක සවාරියකද නිරතවීමට නියමිතය. එය සැබවින්ම අතතථ්‍ය යථාර්ථය ( Virtual reality ) නමැති තාක්ෂණික විප්ලවයේ පෙරළිකාර කඩඉමක් වනවාට සැක නැත. නමුත් ඇබාට පෙම් බැඳි රසිකයින් මෙබඳු අත්දැකීමක් කෙසේ වැලඳගනු ඇත්ද යන්නට ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.

“අවුරුදු තිස්පහකට පස්සේ ආයෙත් එකට එකතු වෙලා ගීතයක් පටිගත කරන්න ශබ්දාගාරයකට යන්නට ලැබෙන එක විනෝදයක් කියලයි අපිට දැනුණේ. ඉතිං අපි එහෙම කළා. ඇත්තටම ඒක හරිම විනෝදජනක අත්දැකීමක්. අපි වෙන්වෙලා මෙතරම් කාලයක් ගතවෙලා කියලා අපිට නිකමටවත් හිතුණේ නැහැ. අපි වයසට ගිහිල්ලා වෙන්න පුළුවන්. හැබැයි අපේ ගීතය අලුත්. ඒක අලුත්ම අත්දැකීමක්.“

මෙම අරුම පුදුම ව්‍යාපෘතිය ගැන ඇබාලා අදහස් දක්වා තිබුණේ එලෙසය. ඇබාලා කවදත් සිය රසිකයින්ට තිළිණ කළේ පුදුමයන් ය. මමා මියා වේදිකා නාට්‍යයත්, ඊළඟට එහි චිත්‍රපටයත් ජාත්‍යන්තරය කලඹන උන්මාදයක් බවට පත්වත්දී හෝ ඒ වෙනුවෙන් වචනයක් කියන්නට හෝ ඇබාලා ඉදිරිපත්වූයේ නැත. ඒවායේ ආරාධිත රංගනයකටවත් ඉදිරිපත් වූයේ නැත. නමුත් ඇබා ගීතවල වටිනාකම හෝ ජනප්‍රියත්වය බාල්දු වූයේ නැත. ඒවායේ මිහිර සදාකාලිකය.

ඇබා පුනරාගමනය ‘පොප් ජස්ටිස්‘ වෙබ් අඩවියේ කතෘ ‘පීටර් රොබින්සන්‘ හඳුන්වා දුන්නේ විසිඑක්වන සියවසේ දැවැන්තම පොප් ප්‍රවෘත්තිය ලෙසයි. “අලුත් ගීතයක් පටිගත කරන්න ඇබාලා දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම එක ගැන ගොඩක් රසිකයින් ආඩම්බර වුණේ හිතේ කැමැත්තකින් නොවෙයි. අපි හැමෝම දවල් හීන දැක්කා අනාගතයේ දවසක, නිවැරදි කාලයේදී, නිවැරදි තත්ත්ව යටතේ, නිවැරදි හේතු නිසා එයාලා ඒ තීරණය වෙනස් කරාවි කියලා.

දැන් සිද්ධවෙලා තියෙන්නේ ඒකයි. ඒක ඇත්තටම පොප් කලාවේ ප්‍රාතිහාර්යයක්!“

රුක්ලන්ති පෙරේරා




Tuesday, May 1, 2018

මැයි දිනේ අනේ සමරමු පනේ



අව්වට වැස්සට
හුරු මිනිසුන්ගෙන්
ඩා බිදු එකිනෙක
එක් කර ගොඩ නැගු
රට 
සීත කාමරෙන් 
සීත වාහනෙන්
අව්වට වැස්සට 
බය මිනිසුන්විත්
උඹලගෙ දවසයි
උඹලා දෙවියන්
යයි
කෑම එකක් දී
පාට කොඩියකුත් දී
බෝතලයකුත් දී
යන්න ගියා උන්
හෙට සිට නැවතත්
අපි වහලුන් කර



Saturday, April 28, 2018

අඩබෙර ගහලා කැන්දන් ආ මනමාලිගෙ සුදු රෙද්දේ පැල්ලම් බලන අපේ අම්මණ්ඩිල






අපේ පුරුෂ පාර්ශ්වය ඉතිං හත්අවලමේ ගිහිං දඩාවතේ ගෙවන ජීවිතයට තිත තියලා, එක්තැන් වෙන්න හොයන්නේ නිය තුඩකින්වත් හානියක් නොවිච්චි පරම පවිත්‍ර ස්ත්‍රී පරාණ බව ඉතිං අමුතුවෙන් කියන්නත් ඕනෙ නෑ.

පුරුෂාධිපත්‍යය පරමාධිපත්‍යය වුණු අපේ රටේ පිරිමින්ට දඩාවතේ ගියාම ඒක මහා ගාම්භීර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයක එක් පුරුකක් ලෙස හඟින අපූරු සංස්කෘතියක් තමයි තියෙන්නෙ.

ඒ දඩාවතේ ගියපු සුනඛ පුත්තු පිරිසිඳු කරන්න එක ම එක කහවතුර බේසමක් පමණක් ඇති බව මහා උජාරුවට කියන අම්මණ්ඩිලාත් නොදෝකිං කියලා ඕන තරම් අපේ රටේ ඉන්න බවත් අපි දන්නවා.

ඒ දඩාවතේ යන එකෙක්ට අහුවෙලා කන්‍යාභාවය කියන කෙහෙල්මල්, අජූත පටලේ සුන්නද්දූලි වෙලා ගියාම ඒ අසරණී වනචරියක් කියලා හංවඩු ගහන්නෙත්, බඳින්න තියා ගෙදරකට පය තියනවටවත් අකමැති වෙන්නෙත් අන්න අර කියන අම්මණ්ඩිලා ම තමයි.

කිරි දියරෙන් නාවලා නෙළුම් මලේ සතපලා හදන අර දඩාවතේ ගිය පාඩද පුත්තුන්ට සත්ගුණවත්, සුපිරිසිඳු, පිරිමි දිහා ඇහැක් ඇරලා නොබලපු ලමිස්සියෝ හොයන විකාරරූපී සමාජයක ගැහැනියට ඉන්න වෙලා තියෙන්නේ යකඩින් හදපු යට ඇඳුමක් හැඳන් බවයි මගේ විශ්වාසය. ඒ විතරක් මදි.

ඒ යකඩ යට ඇඳුමට ඉබ්බෙක් දාලා යතුරු ඉබි කටේ ම තියෙද්දි කඩලා දාලා තියන්නත් වෙනවා. අන්න එතකොට අර සල්ලාලයන්ගේ කෙළිබඩුවක් නොවී සුපිරිසිඳු භාවයත් රැකගෙන අපූරුවට දීගෙක යන්න අපේ රටේ ළමිස්සියන්ට පුළුවන් වේවි. තාරුණ්‍යයේ හැඟීම්වලට නොවී ඉන්න තරුණියන් අපේ රටේ නෑ කියලා කියන්නේ නෑ.

ඒත් පිරිමියෙක් එක්ක ආදරයෙන් වෙලෙන ඕන ම ගැහැනු ළමයෙක් හිතන්නෙ නෑ මට මේ මිනිහා බඳින්න නම් බෑ කියලා. ජීවිතයේ අපූරු සිහින මාළිඟාවක් අහස උසට ගෑවෙන්න හදන මේ ගෑනු ළමයි ඒ තරුණයා තමාගේ එක ම සහකරුවා, ප්‍රේමවන්තයා ලෙස හිතලයි ආදරය කරන්නේ.

ඒත් මේ විදිහට නොහිතන පිරිමින් ගෑනු කියන්නේ සුරාන්තය ලබන ලිංගික කෙළිබඩුවක් විදිහට හිතලා, පාවිච්චි කරලා, විසිකරලා දාන්න දෙවතාවක් හිතන්නේ නෑ. හැමෝම මේ මිම්මෙන් මනින්න බැරි වුණත් ගොඩක් පුරුෂලිංගධාරීන්ගේ පැටිකිරියෙ ඔයිට වඩා වෙනසක් නෑ.

ඉතිං ඒ වගේ මහ හයියෙන් අඬබෙර ගහලා, කසාද බැඳලා, සුදු රෙද්දේ ලප හොයන මව්වරු සිටින රටක ලපේ නොතිබුණොත් හපේ වෙන්නත් වැඩි වෙලාවක් යන්නේ නෑ. ඉන්පස්සේ එක්කෝ සදාකල් ම අර ගෑනු ළමයට වෙන්නේ නින්දා විඳින්නයි. නැත්නම් දීගෙට තිත තියලා ආයෙමත් තමන්ගේ ගෙදරට ම යන්නයි.

"ඒ වනචර ගෑනි මගේ පුතාගේ ජීවිතේ කෑවා." මෙහෙම කියන අම්මලා හිතන්නෙ නෑ ඒ වනචරී කියන එකීගේ ජීවිතේ කෑවෙත් තමාගේ ම පුතා වගේ පරමශුද්ධ පුත්‍රරත්නයක් ම බව.

මේ මංඤ්ඤං සමාජය ගැහැනිය පෙළද්දී ඒකේ පෙරමුණ ගන්නෙත් ගැහැනියක් ම තමයි. නැන්දම්මා, නැන්දා, නෑනා ඔය එක එක වේෂවලින් ඇවිත් තවත් ගැහැනියකගේ ජීවිතය ම අපායක් කරන ඒ ගැහැනිය හිතන්නේ නෑ තමන්ටත් ඒ වගේ දෙයක් සිදු වුණොත් අත්වෙන ඉරණම ගැන.

නැන්දම්මලාට නම් විශේෂයෙන් එයාලගේ තරුණ කාලේ අමතක ම වෙලා යන එක ස්වාභාවික සංසිද්ධියක් වෙලා. කොල්ලෝ හතඅටක් එක්ක යාළු වෙච්ච, ළිඳ ළඟදි සල්ලං වෙච්චි අන්දම, මාමණ්ඩිට හොරා ඇස් නටවලා, කොල්ලෝ පිස්සු වට්ටපු ඒ අතීතය අමතක වෙච්චි නැන්දම්මලා හිතන්නේ තමන් පිරිමි සනුහරේ පිටසක්වල ජීවීන් ලෙස කිසිදා නොදැකපු ජීවිතයක් ගෙව්ව බවයි තරුණ කාලෙදී.

අනේ ඉතිං කතා කරන්න පුළුවන් කටට අමතර ව අනිත් අංගෝපාංගයන්ටත් ඒ හැකියාව තිබ්බනං දැනගන්න තිබ්බා ඒවගේ රඟ.

බැඳලා මාස නමයෙන් ලේලිට දරුවෙක් නොලැබුණොත් එතන ඉඳන් ආඬපාලි කියන්න පටන් ගන්න නැන්දම්මලා කරුමෙටවත් බැඳලා හයහත් මාසෙකින් බඩ ගෙඩිය ඉස්සරහට ආවොත් ඉතිං ඒ ගෑනු කෙනාට අබ සරණ ම තමයි.

ඉතිං පිරිමි එක්ක ආදරය කිරිල්ලයි කසාද බැඳිල්ලයි කියන්නේ දැලි පිහියෙන් කිරි කනවටත් වඩා අවදානම් වැඩක්. මොකද නැන්දම්මලාට එහා ගිය පිරිමි ටිකක් ඉන්න මේ රටේ උනුත් බලාපොරොත්තු වෙන්නේ මලින් උපන් කුමාරියක් තමන්ගේ බාරි කරගන්න.

ඉතිං ඒ මල මීට කලින් තැලිච්ච එකක් කියලා ඉව වැටුණොත් මළ පූදගන්න ඒ උත්තමයන් ඒ ගෑනි නොමරා මර මරා ආයෙමත් මරණ බව අපි නොදන්න දෙයක් නෙවෙයි. තමන්ගේ ගෑනිට හොරා අල්ලපු ගෙදර ගෑනිට ඉඟි කරන මේ මිනිස්සු ම තමන්ගේ ගෑනි වැරදිලාවත් අල්ලපු ගෙදර මිනිහා දිහා බැලුවොත් මගේ අම්මේ එතනින් ම දීගෙත් ඉවරයි. ඉතිං මේ වගේ අඳබාල සමාජයක් වෙනස් කරන එක ලේසි නෑ.

ඒ නිසා බඩගෙඩි පුරවන්න කලියෙන් ඔළුගෙඩි පුරවන්න ඕනෙ. අමාරුම කර්තව්‍යය තමයි අපේ සමාජයට උරුම වෙලා තියෙන්නෙ. ඒක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි.

ගැහැනිය කෙළිබඩුවක් නෙවෙයි කියලා දරුවන්ට ඒත්තු ගන්නන එක බහතෝරන වයසේ අකුරු සාත්තරේටත් වඩා වටින සාත්තරයක් කියලයි මට හැඟෙන්නේ. උණහපුළුවාගේ පැටවුන් උණහපුළුවොමයි කිව්වා වගේ මුලින් ම දරුවන් හදන්න කලියෙන් තමන් හැදිලා ඉඳීම තමයි වඩාත් ම වැදගත්.

මොකද ඉස්සගේ ඔළුවෙ තියෙන අසූචි වගේ අපේ ඔළුගෙඩි ඇතුළෙත් තියෙන අසූචි කන්ද මුලින් හෝදලා, පිරිසිඳු කරන්න ඕනෙ. අභිසාරිකාවකගේ ඉදිරියේ හඳ පෑව්වම දණින් වැටෙන පිරිමි, ඉර පෑව්වම කෙළ ගහන රටක ඒ ගැහැනිය ඇටමස්, ලේ, නහරවලින් හැදිච්ච අපි වගේ ම හැඟීම් දැනීම් ඇති එකියක් බව හිතන්න එකෙකුට හරි පුළුවන්නම්...

එහෙම හිතන්න පුරුදු කරන්න පුළුවන්නම්... අන්න ඒක පන්සල්,කෝවිල්, පල්ලි සීයකට ගිහින් වැන්දටත් වඩා වටිනා කියන කුසල කර්මයක් බවයි මට හැඟෙන්නේ. ඉතිං ඒ නිසා ගැහැනියට නිසි ගෞරවය දෙන සමාජයක් හදන්න, හිතේ බයක් නැතිව දීගෙක යන්න පුළුවන් රටක් බවට අපේ මේ බෙලහීන සමාජය කණපිට පෙරළන්න ඔයාලට පුළුවන් වුණොත් ඒක මහා විශාල ජයග්‍රහණයක්.

අපි නොදකින් කියලා කෙළගහන බටහිරි සංස්කෘතිය අපේ මේ අඳබාල සංස්කෘතියට වඩා ගව්ගාණක් ඉස්සරහින් තියෙන්නේ අන්න ඒ වෙනස නිසා බව ඔයාලට තේරුම් ගියොත් ඒකත් හරි අපූරු දෙයක්.


දිණමින

(ප්‍රබුද්ධි රණසිංහ සංස්කාරක)



Thursday, April 19, 2018

වගාවෙන් ජයගත් උපාදිධාරියා


 රජයේ රැකියා සොයමින් කල් ගත නොකර තමාගේම කියා ගොවිපළක් ආරම්භ කරමින් ජීවිතය ජය ගැනුමට වෙර වීරිය දරන අපේ කාලයේ උපාධිධාරියා උපන්නේ තංගල්ල පළතුඩුව ගමේය. ඔහුගේ මුල්ම පාසල වූයේ තංගල්ල පළතුඩුව විද්‍යාලයය. එම පාසලෙන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් ඔහු ඉන්පසුව උසස් පෙළ දක්වා ඉගෙන ගැනීමට වීරකැටිය රාජපක්ෂ මැදි විදුහලට ඇතුළත් වන ලදී. එහිදී උසස් පෙළ කෘෂි විද්‍යා විෂය ධාරාව හදාරා එහිදී පළමුවරම එම විභාගය සමත් වීමට හැකියාව ලැබූ මොහු ඉන්පසුව රුහුණු විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨයට වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඇතුළත් විය. පසුව 2002 වර්ෂයේදී කෘෂිකර්ම විශේෂවේදී උපාධියක් ලබාගෙන විශ්වවිද්‍යාල ජීවිතයෙන් සමුගත් මේ උපාධිධාරියා රජයේ රැකියාවක් ලැබෙන තුරු නිවෙසට වී නිකරුණේ කාලය ගත කළේ නැත. වැඩ වර්ජන කරන්නට පාරට බැස්සේද නැත. රජයේ රැකියාවක් ලබා ගැනීම සඳහා දේශපාලකයින් සොයා ඔවුන් පසුපස ගියේ ද නැත.

ඔහු උගත් දැනුම උපයෝගී කර ගනිමින් ස්වයං රැකියාවක් ආරම්භ කරමින් තම ජීවන ගමන්මග සැපවත් කර ගන්නට අදිටන් කර ගත්තේය. අද වන විට ඔහුගේ අධිටන මල්ඵල ගැන්වී ඇත. දැනට හතළිස් පස්වන වියේ පසුවන තංගල්ල පළතුඩුවේ පදිංචි ඔහු කේ.එච්.මහින්දය.

රජයේ රැකියා සොයමින් නිකරුණේ කාලය ගත කරමින් සිටින සියලුමදෙනාට මේ උපාධිධාරියාගේ කතාව තුළ සිතන්නට යමක් ඉතිරිව තිබේ. ඒ ඔහුගේ නොපසුබට උත්සාහය තුළ කරන ලද කැප කිරීම තුළින් ඔහු ලබා ගත් ජයග්‍රහණයයි. මේ ඔහුගේ කතාවයි.

''උපාධියක් ගත්ත නිසා රජයේ රැකියාවකටම යන්න ඕන කියලා මම කල්පනා කෙරුවෙ නැහැ. ඇත්තටම මම රජයේ රැකියා ලැබෙනතුරු බල බලා හිටියේ නෑ. විශ්වවිද්‍යාල ජීවිතයෙන් සමුගත් ගමන්ම මම මුලින්ම රැකියාවක් විදියට කළේ කුකුල් මස් තොග වශයෙන් අරගෙන ගිහිල්ලා වෙළෙඳසල්වලට බෙදා හැරීම. එහෙම ඒ කටයුතු කරගෙන යන අතරතුරේ මම විවාහ වුණා. ඉන්පස්සේ මගේ බිරිය මේ ව්‍යාපාරය කරගෙන යෑමට අකැමැති වුණා.

මගේ බිරියට පත්වීම ලැබුණේ බණ්ඩාරවෙල ප්‍රදේශයට. ඒ නිසා මටත් එයත් එක්ක ඒ පළාතේ පදිංචියට යන්න වුණා. මම බණ්ඩාර‍වෙල බෙරගල ප්‍රදේශයේ වර්ග අඩි 6000ක පමණ පොලිතීන් ගෘහ දෙකක බෙල්පෙපර් කියන මිරිස් වර්ගය හා සලාද, පිපිඤ්ඤාා වගාව සාර්ථකව අවුරුද්දක් පමණ කර ගෙන යාමට හැකිවුණා. දැඩි සුළං තත්වයක් හේතුවෙන් එක් අවස්ථාවක මට ලක්ෂ 50 කට අධික පාඩුවක් සිදුවුණා. වගා ගෘහ දෙකම සම්පූර්ණයෙන්ම විනාශයට පත්වුණා. මේ මුදල් හොයා ගත්තෙත් ඉතාමත් ම අමාරුවෙන්. ඒත් එක පාරටම මේ ඇති වූ විනාශය නිසා මම ඉතා අසරණ තත්වයකට පත්වුණා. මේ නිසා මම මාස හයක් විතර කරන්න දෙයක් නැතිව මොනවා කරනවද කියලා කල්පනා කරමින් හිටියා.

පත්තරේක දැන්වීමක් දාලා තියෙනවා දැක්කා දඹුල්ල පැත්තේ තැනක පේර පැළ විකුණන්න තියෙනවා කියලා. ඒකත් එක්කම මට හොඳ අදහසක් ආවා මම ඉගෙන ගත්ත දේත් එක්ක පේර වගාවක් තංගල්ල පැත්තෙත් කරන්න පුළුවන් කියලා. පේර වගාවෙන් අස්වැන්න මුළු අවුරුද්ද පුරාම ලබාගන්න පුළුවන්කමක් තියෙන බවත් මම දැන ගෙන හිටියා.

මගේ මවුපියන්ගේ උරුමයෙන් ලැබිච්ච අක්කරයක පමණ ඉඩමෙ තියෙන කොහොඹ ගස් ටික මගෙ අක්කගෙ පුතාට විකුණලා මට රුපියල් දෙලක්ෂ පනස් දාහක් ගන්න පුළුවන්කම ලැබුණා. ඒ කොහොඹ ගස් ටික කපපු අක්කරයෙම තමයි මම පේර පැළ ගෙනල්ලා හිටෙව්වෙ. පැළ හිටවලා මාස දෙකක් තුනක් යනකොට මල් පිපෙන්න පටන් ගත්තා. ඒක දැකලා මට ඇති වුණේ පුදුම සතුටක්. මට ඒ තුළින් ලොකු ශක්තියක් ආවා මේ වගාව ඉදිරියටම කරගෙන යන්න ඕන කියලා.

මගේ උත්සාහය නිසා නැවතත් මගේ අතමිට සරු කර ගන්න පුළුවන්කම ලැබුණා. පැළ හිටවලා මාස 5කට පමණ පසුව පේර වගාවෙන් පළමු අස්වැන්න ගන්න හැකි වුණා. ඒ අස්වැන්න කොළඹ මැනිං මාකට් එකට මුලින්ම අරන් ගියේ. පස්සෙ මම මෙහෙම අවුරුදු එකහමාරක් විතර කරගෙන යනකොට මේ පේර ගස්වල හොඳ වර්ධනයක් දුටුවා. ඊට පස්සේ මට හිතුණා මගේ ආදායම තවත් වැඩි කරගන්න මේ පේරගස් මවු ශාක විදියට තියාගෙන පැළ තවානක් ආරම්භ කරන්න ඕන කියලා.

දැන් මම මාස හයකට විතර ඉස්සෙල්ලා ඒ පැළ තවානත් ආරම්භ කෙරුවා. දැන් ඒකේ මේ වෙන කොට මව් ශාකවලින් මුල් අද්දවා සකස්කර ගත් පේර පැළ දහ දාහක විතර පැළ තවානක් තියෙනවා. දැනටමත් පැළ දාහක් විතර මම අලෙවි කරලා තියෙනවා. මේ වෙන කොට අඹ ඇට විසිපන්දාහක් පමණ පැළ තවානක් දාලා ඒ පැළ පැකට්වලට ගනිමින් පවතිනවා.

නමුත් ඊට පස්සෙ මට ආපු ලොකුම ගැටලුව තමයි මේ ගේන අඹ ඇට වල වටේ තියන පොතු සුද්ද කරන්න දන්න කියන අය මේ පළාතේ හිටියේ නැති එක. පස්සේ ගෙන ආපු අඹ ඇට ආපහු ගෙනියන්න සිද්ධ වුණා වැල්ලවාය ප්‍රදේශයට. ඒ ගෙනිහිල්ලා අඹ ඇටයක් රුපියලක මුදලකට සුද්ද කරල තමයි ආපහු මෙහාට ගෙන ආවේ. මේවා ප්‍රවාහනය කරන්න මට මගේ කියලා වාහනයක් තිබුණේ නෑ. මග යන බස් වල දමාගෙන ගිහිල්ලා තමයි මං වැඩ කෙරුවේ. දැන් මගේ මේ ගොවිපළේ කාන්තාවන් පස් දෙනකුටද රැකියා අවස්ථා ලබා දී තිබෙනවා.

මේ සඳහා රජයේ අවධානය යොමු වෙනවා නම් හොඳයි. දැනට මට තිබෙන ලොකුම ගැටලුව තමයි අඹ බද්ධය සඳහා අවශ්‍ය වන ටොම්ජේසි ප්‍රභේදයේ අනුජ (අතු රිකිලි ) ලබා ගැනීමට තැනක් නොමැති වීම. ඒ වගේම කියන්න ඕන මම මේ මුල් අද්දවා පැළ කර ඇති පේර පැළ මිලදී ගැනීම සඳහා රජය මැදිහත් වීමක් සිදුකර හෝ ක්‍රමවේදයක් සකස්කර දෙනවානම් එය අපට ලොකු ශක්තියක් වෙනවා. මගේ ඉදිරි බලාපොරොත්තුව තමයි මේ ගොවිපළ තවදුරටත් දියුණු කරගෙන ඉදිරියටම ගෙනයෑම.

අවසාන වශයෙන් මෙම කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා මට උදව් උපකාර කළ අය ගැන මතක් කරන්න ඕන. හුංගම බටඅත ගොවිපළේ බීජ සහතික කිරීමේ ස්ථාන භාර නිලධාරී ටී.පී.වීරසේකර එම ගොවිපළේ කෘෂිකර්ම උපදේශක කේ.ඒ.චමින්ද යන මහත්වරුනුත් තංගල්ල කෘෂිකර්ම උපදේශක උදේශ් මහත්මාත් ආදරෙන් සිහිපත් කරන්න ඕන.''

සටහන සහ ඡායාරූප
රෝහණ ආරියරත්න හම්බන්තොට විශේෂ



Sunday, April 8, 2018

මහළු වියේ පාළු මකන්න ස්ව කැමැත්තෙන්ම සිරගෙට යන ජපන් මහල්ලන්


මිනිසා වනාහි සමාජශීලී සත්වයෙකි. වියපත්වීමත් සමගම සිඳී යන ජවය හා වෙනත් බොහෝ කරුණු කාරණා හේතුවෙන් මෙම සමාජශීලී සත්වයා හුදකලා බවට පත්වේ. සමාජශීලී සත්වයා හුදකලා වූ විට එය විඳදරා ගැනීම අපහසුය. අනුන්ගේ අවධානයෙන් ගිලිහී යාම හුදකලා සත්වයා වේදනාවට පත්කරයි. මේ නිසාම වෙනත් පාර්ශ්වයන්ගේ අවධානයට ලක්වීම සඳහා හුදකලා සත්වයා කිරීමට පසුබට නොවෙන දෙයක් නැති තරම් ය. 

සංවාදය සඳහා අසල සිටින්නෙකු බලයෙන් හෝ ඇඳාගැනීමට උත්සහ කිරීම, රෝගී තත්ත්වයක් නැති වුවද රෝගී තත්ත්වයක් ඇති බව පෙන්වීම වැනි දේ මෙවැනි අවස්ථාවල අනුන්ගේ අවධානයට යොමුවීම සඳහා කරනු ලබන උප්පරවැට්ටි ය. ස්වාභාවිකව ම හුදකලාවීම හෝ හුදකලා කරනු ලැබීම දඬුවමකි. නීතිය හමුවේ වැරදිකරුවන් දඬුවමක් ලෙස සිරගත කිරීමෙන් කරනු ලබන්නේ ද, හුදකලා කර පසුතැවිල්ලට පත්කිරීම ය. ස්වභාවිකව හුදකලාවීමට වඩා නීතිය මගින් හුදකලා වීම නොහොත් සිරගත වීම යහපතැයි කිසිවකු කියන්නේ නම්, ස්වභාවිකව හුදකලා වීම කෙතරම් කටුකදැයි සිතාගැනීමට එයම ප‍්‍රමාණවත් ය. 

ජපානයේ වියපත් පරපුර අනුන්ගේ අවධානයට යොමුවී වැඩි සත්කාර ලබාගැනීම සඳහා අලුත්ම ක‍්‍රමවේදයක් දැන් අනුගමනය කරනු ලබන බව ඒ පිළිබඳව කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇති බව ජපාන ප‍්‍රවෘත්ති වාර්තා කරයි. 
ලොව වියපත් වූවන් වැඩිම රට ජපානය ලෙස සැලකේ. ජපාන ජනගහණයෙන් සියයට විස්සක් වයස අවුරුදු හැටපහ ඉක්මවූවෝ ය. ජපාන සංස්කෘතියට අනුව වියපත් දෙමාපියන් දරුවන්ගේ රැකවරණය ලැබිය යුතු වුවද, අද ජපානයේ වයස අවුරුදු හැටපහ ඉක්මවූ ලක්ෂ හැටක පිරිසක් ජීවත් වෙන්නේ හුදකලාව ය. 1980 සිට 2015 දක්වා කාලය තුළ ජපානයේ වයස අවුරුදු හැටපහ ඉක්මවූ සංඛ්‍යාව හයගුණයකින් වැඩිවී ඇත. 

ජපානයේ වයස අවුරුදු හැටපහ ඉක්මවා හුදකලාව ජීවත්වෙන පිරිසෙන් ඇතැමෙකු තම මහලු විය සැනසිල්ලේ ගතකිරීම සඳහා තෝරාගෙන ඇත්තේ හිරේ යාම ය. ජීවිතයේ මෙතෙක් නොකරන ලද නීති විරෝධී ක‍්‍රියාවන්ට යොමුවී ජපාන සිපිරිගෙවල් තුළ සිටින වයස අවුරුදු හැටපහ ඉක්මවූ රැඳවියන්ගේ සංඛ්‍යාව තිස්හය දහසකි. මෙයින් බහුතරය කාන්තාවෝ ය. 

හුදකලා බවින් මිදී, මහලු විය වෙනත් අයෙකුගේ රැකවරණය මැද ජීවත්වීම 

සඳහා සිරගත වීමට මාර්ගය ලෙස ජපාන වියපත්වූවෝ තෝරාගෙන ඇත්තේ වෙළෙඳසල්වලින් ආහාරපාන සොරාගැනීම ය. සිපිරිගෙහි තැපීමට සිදුවෙන කාලය දිගුකරගැනීම සඳහා ඇතැමෙකු වඩාත් බරපතළ නීතිවිරෝධී ක‍්‍රියාවන්ට යොමුවෙන බව ද උක්ත සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. 

විවිධ නීති විරෝධී ක‍්‍රියාවන් සම්බන්ධයෙන් සිරගතව සිටින වයස අවුරුදු හැටපහ ඉක්මවූ ජපාන පුරවැසියන්ගෙන් බහුතරය තුළ, දඬුවම ගෙවා නිදහස ලබා ආපසු යාමේ බලාපොරොත්තුවක් ද නැත. ඔවුන් සමග කරන ලද සාකච්ඡාවලදී සියයට හතළිහක ප‍්‍රතිශතයක් පවසා ඇත්තේ යාමට ඒමට තැනක් හෝ රැකවරණය සඳහා කිසිවෙකු හෝ නැති බැවින්, සිපිරිගතව සිටීම වඩාත් සුරක්ෂිත බව ය. 

වියපත් රැඳිවියන්ට ගැළපෙන අයුරින් ජපාන සිපිරිගෙවල් ප‍්‍රතිසංවිධානය දැන් රජය විසින් අරඹා ඇත. මේ අනුව සනීපාරක්ෂක පහසුකම්, වෛද්‍ය ඒකක, සක්මන් මළු පහසුකම් සිපිරිගෙවල් තුළ සැපයීම සඳහා ජපාන රජය ඩොලර් මිලියන සියයක මුදලක් වෙන්කර ඇත. සිපිරිගෙවල සේවයේ යෙදෙන සම්ප‍්‍රදායික ජේලර්වරුන් වෙනුවට සාත්තුසේවක පිරිස් වැඩි කිරීම ද රජයේ නව ව්‍යාපෘතිය යටතේ සිදුවෙනු ඇත. වියපත් ජපාන රැඳිවියන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගාසිටුවීම සඳහා දෛනික ව්‍යායාම ලෙස දිනකට පැය හය බැගින් ඔවුන් ඉතා සැහැල්ලු සේවාවන්හි යෙදවේ. ලොව අපරාධ අඩුම රට ලෙස ගැනෙන්නේ ද ජපානයයි. 

 

 

 

කල්ප ගුරුගේ 
මිලානෝ, ඉතාලිය.

Saturday, March 3, 2018

Tuesday, February 13, 2018

වැලන්ටයින්








වැල(න්ටයින්) සැමරීම .. !!  *****************
වැල(න්ටයින්) කියන්නේ ඇත්තටම එක විදිහක love ගිවිසුමක්. මොකද මේ වරහන් දාලා. ඔව් අද මේ යන විදියට වරහ‍නින් එලියේ තියෙන දේවල් තමා වෙන්නේ.අම්මේ සමහරුන්ට දැනෙන සතුට අවුරුද්දටම මේ වගේ ආතල් එකක් ගන්න එන දවසනේ නේද? තමන්ගේ උපන්දිනේවත් සමහරු මේ විදියට ආසාවෙන් එනකන් බලාන ඉන්නේ නෑ.සමහරු අවුරුද්ද පුරාම එකතු කරපු සල්ලි වලින් තමන්ගේ වැලන්ටයින්ට මොනවා හරි අරන් දෙනවා. අයියෝ සල්ලි. මොකක් හරි ලොකු තෑග්ගක් දුන්නාම වැලන්ටයින්ගේ ඇඩ්රස් හොයන්නත් නෑ.  සමහර කෙල්ලෝ ඉන්නවා කොල්ලගෙන් හොද තෑග්ගක් ලැබුණ ගමන් කොල්ලට බූට් දෙනවා . අනේ කොල්ලොත් ඉතින් තියන සබ්බ සකලමනාවම එකතු කරලා කෙල්ලට තෑගී අරන් දෙනවා ..හැම කෙල්ලම එහෙම නෑ. ඒ වගේම කෙල්ලෝ විතරක් ඔය වැඩේ කරන්නේ නෑ .. කොල්ලෝ කරන්නේ ඊට වඩා කුප්ප වැඩ, උන් යාළු වෙලා ඉන්න කෙල්ලගේ යාළුවාගෙනුත් යාළු වෙන්න අහන එවුන්.. හැබැයි මෙහෙම එකකුත් තියනවා .අද කාලේ ගැණු ළමයි ආරක්ෂා වෙන්නේ ගෑණු ළමයිගේ තියෙන හොඳකම නිසා නෙමෙයි. කොල්ලොන්ට තාමත් ලැජ්ජාවක් තියෙන නිසා. ඇත්තටම කියනවානම් දැන් අපේ තරුණ කොල්ලෝ කෙල්ලෝ මේ කරන්නේ ආදරයක් නෙමෙයි කෑදරයක්. 90%ක් දෙනාම කරන්නේ කෑදරයක්.
වෙලාවට අපිට අනුන්ගේ සිත් කියවීමේ හැකියාව නැත්තේ. නැතිනම් ගෙවල් ලඟ ඉන්න අයගේ හිත් කියෙව්වොත්, ඒ අයට තමන් ගැන හිතෙන‍ දේවල් කියෙව්වොත් ගම රට දාලා මුහුදට පනින්න හිතෙනවා. ඒක නිසා ඒකත් එපා.ජීවීතේට තමන්ගේ කෙල්ලව බලන්න නොයන කොල්ලා, 14 උදේම හොදට ඇදගෙන රෝස මලයි,චොක්ලට් එකයි,කාඩ් එකයි අරගෙන ගිහිල්ලා කෙල්ලට දීම ඇත්තටම ආදරයද ? ආදරය කියන්නේ මේක නම් මේ රටේ මෙච්චර බූට් කතා ඇහෙන්නේ නෑ. ඒත් ආදරය කියන්නේ අයිති කරගන්න  දෙයක් නොව පරිත්‍යාගයක් කියන දේත් මතක තියා ගන්න ඕනි.තමාගේ ආදරය පෙන්වීමට අනුන්ගේ දවසක් එනකම් ඉන්න ඕනිද . දවස් තුන්සිය හැට පහේදීම ආදරයෙන් ඉන්නවා නම් හැමදාම වැලන්ටයින්.. ඕනෑම පෙම්වතුන් යුවලකට පෞද්ගලිකව වැදගත්වන දිනය තමයි   සංවත්සර දිනය. ඉතින් ඒ දවස සමරුවොත් හොද නැද්ද ? වැලන්ටයින් වගේ  අහසින් වැටුන දිනයක් සැමරීමට වඩා ඒක හොද නැද්ද . මොකද ඒක තමන්ගේම දිනයක් නිසා ..




Friday, January 5, 2018

ජාත්‍යන්තරයට ශ්‍රී ලංකා හමුදාව පාව දුන් එකම රට ශ්‍රී ලංකාවයි




කෘමියකු සිටි බව පවසමින් ශ්‍රී ලංකාවේ තේ තහනම් කළ රුසියාව එම තහනම ඉවත් කළේ 2018 වසරේ සිට ශ්‍රී ලංකාව ඔවුන්ගේ ඇස්‌බැස්‌ටස්‌වලට පැනවීමට සූදානම් වූ තහනම ඉවත් කරන බවට ප්‍රතිඥා දුන් පසුවය. ජාත්‍යන්තරය දැන් අපේ මිතුරන් යෑයි මේ ආණ්‌ඩුව පැවසුවද ඇතැමුන් පවසන්නේ ඒ මිතුරු දම කුඩා කෘමියකුට වුවද බිඳහෙළිය හැකි දුර්වල එකක්‌ බවයි. ජාත්‍යන්තර ප්‍රජාව සමග වත්මන් ආණ්‌ඩුව සිදුකළ තෙවසරක ගනුදෙනුවේ ස්‌වභාවය ගැන අන්තර්ජාතික සබඳතා කළමනාකරණය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු මෙන්ම ප්‍රවීණ දේශපාලන විචාරකයකු ද වන මොහාන් සමරනායකයන් සමඟ "දිවයින ඉරිදා සංග්‍රහය" පැවැත්වූ සාකච්ඡාවකි මේ.
 
 මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව තරහ කරගත් ජාත්‍යන්තරය අපි දිනාගත්තා යන්න මේ ආණ්‌ඩුව නිතර ප්‍රකාශ කරන දෙයක්‌. එහෙත් පසුගියදා රුසියානු ආණ්‌ඩුව අපේ රටට පැනවූ තේ තහනම ඔවුන් ඉවත් කළේ ඔවුන්ගේ ඇස්‌බැස්‌ටස්‌වලට අපේ රට පැනවූ තහනම ඉවත් කරන බවට අපි පොරොන්දු වුණාට පස්‌සෙයි. අපි ජාත්‍යන්තර ප්‍රජාව දිනාගත්තා යෑයි මේ ආණ්‌ඩුව නිතර කරන ප්‍රකාශය ගැන ඔබේ අදහස කුමක්‌ද?
 
 මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයාගේ සමයේදී ඇමරිකාව ප්‍රමුඛ ලෝකයේ බලවත් රටවල් එක්‌සත් ජාතීන් සහ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය වැනි ආයතන ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ගේ ආධාර මත යෑපෙන ජාතික සහ අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඇතිව ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනාවක්‌ ගොනු කළා. එය තමයි, ශ්‍රී ලංකාවේ ආරක්‌ෂක හමුදා එල්ටීටීඊය සමග කළ සටනේ අවසාන භාගයේදී යුද අපරාධ කළ බව. එනම් ශ්‍රී ලංකාව අන්තර්ජාතික මානව හිමිකම් නීතිය සහ අන්තර්ජාතික මානුෂවාදී නීතිය කඩ කර ඇති බව. එයින් කියෑවෙන්නේ ශ්‍රී ලංකා හමුදා සිවිල් වැසියන් ඝාතනය කරමින්, අත්අඩංගුවට ගත් අය නඩු විභාගයකින් තොරව මරණයට පත්කරමින්, වධහිංසාවලට පත් කරමින්, ස්‌ත්‍රීන් දූෂණය කරමින් හා ලිංගික ප්‍රචණ්‌ඩත්වය භාවිත කරමින්, රෝහල් සැපයුම් නවත්වමින් සහ රෝහල්වලට පහර දෙමින් කටයුතු කරන බව.
 
 පසුගිය පාලන සමයේදී මේ චෝදනාව එල්ල වූවිට එම ආණ්‌ඩුව ඊට විරුද්ධ වුණා. මා එයින් අදහස්‌ කරන්නේ මේ චෝදනාව සම්බන්ධයෙන් ඒ ආණ්‌ඩුව ඥානාන්විතව ක්‍රියා කළා කියන එක නෙමෙයි. ඒ ආණ්‌ඩුවත් ඉතාමත් අනුවණ, බොළඳ වැඩ කළා. මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයාගේ ආණ්‌ඩුවේ විදේශ සබඳතා කළමනාකරණයේ විශාල දුර්වලකම් තිබුණා. ඔවුන් කොතරම් බොළඳ වැඩ කළාද කිවතොත් මහජන සම්බන්ධතා ආයතනවලට කෝටි ගණනින් මුදල් දීල අමෙරිකාව නමැති ලෝකයේ බලවත්ම රාජ්‍යයේ විදේශ ප්‍රතිපත්තිය වෙනස්‌ කරන්න පුළුවන් කියල ඒ ආණ්‌ඩුවේ ඉහළම පෙළේ නිලධාරීනුත් විශ්වාස කළා. එවැනි ළාමක, බොළඳ ළමා සිතිවිලි තිබෙන උසස්‌ නිලධාරීන් ඒ ආණ්‌ඩුවෙත් හිටියා. හැබැයි ඒ අඩුපාඩු මොනව තිබුණත් පසුගිය ආණ්‌ඩුව මේ යුද අපරාධ චෝදනාව පිළිගත්තෙ නෑ. ඇමරිකාව ප්‍රමුඛ රටවල් ගෙනආ ඒ යෝජනාව පළමු අවස්‌ථාවේදී හැර 2012, 2013 සහ 2014 වර්ෂවලදී මානව හිමිකම් කවුන්සලයේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. එම කවුන්සලේ සිටින සාමාජිකයන් 47 දෙනාගෙන් රටවල් 12 ක්‌ පමණ ශ්‍රී ලංකාව සමග එක්‌ව ඡන්දය ප්‍රකාශ කළා. ඊට සමාන රටවල් සංඛ්‍යාවක්‌ ඡන්දය දීමෙන් වැළකී සිටියා. අපේ රට ජාත්‍යන්තරය තරහ කරගත්තා කියල වත්මන් ආණ්‌ඩුවේ යහපාලන බලවේගය හඳුන්වන්නේ මෙන්න මේ කාරණයයි.
 
 මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව ජාත්‍යන්තරය තරහ කරගත්තා කියන වත්මන් ආණ්‌ඩුව ඇමරිකාව ප්‍රමුඛ අධිපතිවාදී රටවල් අපේ රටට එරෙහිව නඟපු චෝදනාව කිසිදු ප්‍රශ්න කිරීමකින් හෝ විරෝධතාවකින් තොරව පිළිගත්තා. ඔවුන් ජාත්‍යන්තරය දිනාගත්තා කියල කියන්නෙ ඒකයි. ආණ්‌ඩුව කියන මේ ජාත්‍යන්තරය ජයගැනීම හරියට තමන්ගෙ ගෙදරට හොරෙක්‌ පැන්නම ඌත් එක්‌ක සටන් කරනවා වෙනුවට ඌට ගෙදර දොර ඇරල බඩුමුට්‌ටු ටික අරන් යන්න ඉඩදීල ඔන්න අපි හොරා මර්දනය කළා කියනව වගේ වැඩක්‌.
 
 ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ගෙනා මේ චෝදනාව ඔප්පු කරන ලද ඒවා නෙමෙයි. ඒවා සාවද්‍ය බවට ඕනතරම් සාක්‌ෂි තිබෙනව. අලුත්ම සාක්‌ෂිය තමයි එංගලන්තයේ නේස්‌බි සාමිවරයා සාමිමන්ත්‍රී මණ්‌ඩලයේදී කළ ප්‍රකාශය. ශ්‍රී ලංකා ආරක්‌ෂක හමුදා යුද්ධයේ අවසන් සමයේ සිවිල් ජනතාව 40,000 ක්‌ ඝාතනය කළ බවට එල්ල වන චෝදනාව ප්‍රතික්‌ෂේප කරන නේස්‌බි සාමිවරයා කියන්නේ මියගිය සංඛ්‍යාව 7000 කට නොවැඩි බවත් ඒ අතර එල්ටීටීඊ සටන්කාමීනුත් සිටින බවත් ඔහු ප්‍රකාශ කරනවා. ඒ අනුව බටහිර රටවල් ශ්‍රී ලංකාවට මේ එල්ල කරන්නේ සනාථ නොකළ චෝදනා බව පැහැදිලියි.
 
 2015 ඔක්‌තෝබර් මාසෙ 01 දා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ඡන්ද විමසීමකින් තොරව සම්මත කළ 30/1 ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංහිඳියාව සහ වගවීම් ප්‍රවර්ධනය කිරීම නමැති යෝජනාව කිසිදු විරෝධතාවක්‌ නොදක්‌වා මේ ආණ්‌ඩුව එය ආණ්‌ඩුවේ යෝජනාවක්‌ හැටියට එයට සම අනුග්‍රාහකත්වයක්‌ දැක්‌වූවා. මම හිතන්නේ තමන්ගේ රටට එරෙහිව විදේශීය බලවේගයක්‌ ගොනුකළ සැලැස්‌මකට එකඟත්වය පළකළ ලෝකයේ පළමු රට ශ්‍රී ලංකාවයි. ඒ එකඟත්වය තුළින් පාවා දෙනු ලැබුවේ මේ රටේ ස්‌වෛරීභාවය, ස්‌වාධිපත්‍යය සහ මේ රටේ බෙදුම්වාදයට එරෙහිව සටන් කළ මේ රටේ ආරක්‌ෂක හමුදාවයි. කිසිදු විරෝධයක්‌ පළ නොකර ශ්‍රී ලංකාව මේ යෝජනාව පිළිගත් විට බටහිර රටවල් සතුටු වුණා. බටහිර රටවල ඒ සංතෝසය ආණ්‌ඩුව දකින්නෙ තමුන් ජාත්‍යන්තරය දිනාගත්ත විදිහටයි.
 
 රට සාම කඳවුරක්‌ බවට පත් කළාම විදේශ ආයෝජන වැඩිවෙලා රට දියුණු වෙන බව නේද ආණ්‌ඩුව ප්‍රකාශ කළේ?
 
 බටහිර රටවල මතයට හිස නැමුවම අපේ රටට විදේශ ආයෝජන ගලා එයි කියල මේ අය හිතුවා. පසුගිය ඡන්දෙට පෙර මාධ්‍ය සාකච්ඡා පවත්වපු ආණ්‌ඩුවේ බලධාරීන් අපි ආවම චීන වරාය ව්‍යාපෘතිය නතර කරනවා කියල කිව්වෙ එහෙම හිතල. ඔවුන් චීන බිල්ලෙක්‌ මැව්ව. අපට චීනය ණය දෙන්නෙ ගිනි පොලියට යෑයි එක්‌ අවස්‌ථාවකදී හිටපු මුදල් ඇමැති රවි කරුණානායක ප්‍රකාශ කළා. ඒත් අන්තිමට එලිසබෙත් මහ රැජින අත්මේස්‌ ගලවල ජනාධිපතිතුමාට අතට අත දුන්නට වැඩි දෙයක්‌ බටහිරින් මේ ආණ්‌ඩුවට ලැබුණෙ නෑ. අවසානයේ චීනය ළඟටම යන්න වුණා. චීනයෙන් නැවත ණය ඉල්ලන්න සිද්ධ වුණා. අපේ ණයවල පොලිය වැඩිනම් ඇයි අපෙන් ආයෙත් ණය ඉල්ලන්නෙ කියල වර්තමාන චීන තානාපති ප්‍රසිද්ධියේ ඇහුවා. එහෙම බාල්දු වුණු ආණ්‌ඩුව තමයි, අපි ජාත්‍යන්තරය ජය ගත්ත කියල කියන්නෙ.
 
 ආණ්‌ඩුව ජාත්‍යන්තරය ජය ගැනීම තුළින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්‌තිමත් වූ බව ඇතැමුන් දරන මතයක්‌. පසුගිය කාලයේ බටහිර නොයෙක්‌ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මෙහි පැමිණීමත් එහි ප්‍රතිඵලයක්‌?
 
 ආණ්‌ඩුව ජනතාවට පෙන්වන්නෙ නම් එහෙම තමයි. හැබැයි ආණ්‌ඩුව 30/1 යෝජනාවට අවනත වුණාට පස්‌සෙ අපේ රටට වැලනොකැඩී ආවෙ ඒ යෝජනාව පිටුපස හිටපු බලවත් රටවල නිලධාරි සහ නියෝජිතයො. ඒ ආව හැම දෙනාම පාහේ ආණ්‌ඩුවේ මතයට අවනත නොවී උතුරට ගියා. උතුරට ගිහින් සංහිඳියාව ඇතිකරන්න, යුද අපරාධ කළ අයට දඬුවම් දෙන්න ඔවුන් කතා කළා. එහෙම බලයක්‌ ඒ අයට දීල නෑ. ඔවුන්ට එහෙම අයිතියකුත් නෑ. සමන්තා පවර් කියන්නෙ තානාපතිවරියක්‌. යුද අපරාධ කළ අයට දඬුවම් දෙන්න එයාට බෑ. බෙන් එමර්සන්, ජෙෆ්රි ඩී. ෆෙල්ට්‌මන්, ෆුබ්ලො ඩී ක්‍රීෆ්, මොනිකා පින්ටු වැනි අය විශේෂ විමර්ශකයො. ඒ අය මෙහෙ ඇවිත් කටයුතු කළේ පක්‌ෂග්‍රාහී විදිහටයි. එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය කඩ වෙන විදිහටයි. රටක ආණ්‌ඩුවකට උපදෙස්‌ දෙන්න ඔවුන්ට බලයක්‌ නෑ. ඔවුන්ට පුළුවන් විමර්ශනයක්‌ කරල ඒ වාර්තාව තම රටේ ඉහළ නිලධාරීන්ට ඉදිරිපත් කරන්න විතරයි. ඔවුන් මේ රටට ඇවිත් ජනාධිපතිවරයාට අභියෝග කරන ආකාරයේ ප්‍රකාශ පවා සිදුකළා. ඔවුන් මෙහෙ ඇවිත් අපේ රටට මේ විදිහේ නිවටකම් සිදු කිරීම, ආණ්‌ඩුව ජනතාවට කියන්නේ තමුන් ජාත්‍යන්තරය දිනා ගැනීමක්‌ විදිහටයි. 
 
 පසුගියදා මේ ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක්‌ ප්‍රකාශ කළා පසුගිය කාලේ පැනවූ මත්ස්‍ය තහනම, ජීඑස්‌පී තහනම වගේ මේ රුසියාවෙ තේ තහනම දිගට ඇදුනෙ නෑ ජනාධිපතිතුමාගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තුළින් එය ඉතා කෙටි කාලයකදී විසඳුවා කියල?
 
 ඒ ප්‍රකාශය කළ ඇමැතිවරයා එක්‌කෝ ජාත්‍යන්තර සබඳතා ගැන කිසිදු දැනීමක්‌ නැති මුග්ධයෙක්‌. එහෙම නැත්නම් දේශපාලනික වංචනිකයෙක්‌. මත්ස්‍ය තහනමත්, ජීඑස්‌පී ඉවත් කර ගැනීමත් එන්නෙ වෙනම සන්දර්භයක්‌ යටතේ. තේ තහනම එන්නෙ වෙනත් සන්දර්භයක්‌ යටතේ. ඒ දෙක සමාන කිරීමෙන්ම ඒ ඇමැතිවරයාගේ දැනීමේ තරම සහ වංචනික භාවය පැහැදිලියි.
 
 2015 ජනවාරි 08 වැනිදා පත් වූ වර්තමාන ආණ්‌ඩුව එවකට යුද කඳවුරක්‌ව තිබූ මේ රට සාම කඳවුරක්‌ බවට පත් කර අද ජාත්‍යන්තර ප්‍රජාව සමග එක්‌වී නව ව්‍යවස්‌ථාවක්‌ තුළින් මේ රටේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක්‌ ලබාදෙන බව කියනවා. එහෙත් ඒ පිළිබඳ ජනතාව තුළ බලවත් සැකයක්‌ මතුවී තිබෙනවා. නව ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කිරීම දෙමළ ඩයස්‌පෝරාවේ අවශ්‍යතා ඉටු කිරීමක්‌ බවයි සමහරු හිතන්නෙ?
 
 මහින්ද රාජපක්‌ෂ පාලන සමයේ දී එල්ටීටීඊ. බෙදුම්වාදී යුද්ධය අවසන් කළත් සමහරු එය ජනවාර්ගික ප්‍රශ්නයක්‌ ලෙස හඳුන්වනවා. මම හිතන්නෙ ජනවාර්ගික සාධකය මේ ප්‍රශ්නයේ එක පැතිකඩක්‌ පමණයි. මේ ප්‍රශ්නය පිටුපස ඊට වඩා පළල් පැති මාන ගණනාවක්‌ තිබෙනවා. මේ රට බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබීමටත් පෙර සිටම තමන්ට වෙනම පාලන බලයක්‌ අවශ්‍ය බවට මේ රටේ දෙමළ ප්‍රභූ පන්තිය දැරූ මතය ඉන් එකක්‌. නිදර්ශනයක්‌ විදියට සිංහල මිනිසුන්ට ඉංග්‍රීසීන්ගෙන් වෙනම රාජ්‍යයක්‌ අවශ්‍ය නම් දෙමළ මිනිසුන්ටත් වෙනම රාජ්‍යයක්‌ අවශ්‍ය වීමේ වරද කුමක්‌දැයි යනුවෙන් 1947 දී චෙල්වනායගම් එදා තිබුණු පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර තිබෙනවා. මේ මතය තමයි පසුකාලයේ බෙදුම්වාදී ප්‍රචණ්‌ඩත්වය විදියට මතුවන්නේ. 1951 දී ඊළංකෙයි තමිල් අරසු කොච්චි පක්‌ෂය බිහිවන්නේ දෙමළ ජනයා සඳහා වෙනම රාජ්‍යයක්‌ ගොඩනැඟීමටයි.
 
 පසුකාලයේ යුද්ධයක්‌ විදිහට වර්ධනය වූ එම මතයයි. ඉංග්‍රීසි විචාරකයො, පාලකයො, මාධ්‍යකරුවො එම යුද්ධය හැඳින්වූවේ 'අන්විනබල් වෝ' යනුවෙන්. එනම් දිනන්න බැරි යුද්ධය විදිහට. මහින්ද රාජපක්‌ෂ පාලන සමයේ මේ එල්ටීටීඊ බෙදුම්වාදී යුද්ධය පරාජය කළා. එය පරාජය නොකළා නම් මේ රටට අති විශාල ව්‍යසනයක්‌ සිදුවෙනවා. එයින් මම අදහස්‌ කරන්නේ දෙමළ ජනතාවට ප්‍රශ්න නොමැති බව නොවෙයි. මේ රටේ සියලුම ජන කොටස්‌වලට සමගියෙන්, සමාදනයෙන් හා අභිමානයෙන් සමාන ඉඩ ප්‍රස්‌ථා ඇතිව ජීවත්වීමට හැකි සමාජයක්‌ තිබිය යුතුයි. එහෙත් ඊට විසඳුම මේ රට බෙදී වෙන්වීයැමට අවශ්‍ය පසුබිමක්‌ සකස්‌ කිරීම නොවෙයි.
 
 මේ රට යුද කඳවුරක්‌ව තිබුණා කියන්නේ ඔය තත්ත්වයටයි. මහින්ද රාජපක්‌ෂ පාලන ආණ්‌ඩුව එල්ටීටීඊ බෙදුම්වාදී යුද්ධය අවසන් කර රට සංවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම් ඇතිකිරීමට විශාල වශයෙන් මුදල් වැයකළත් දේශපාලන වශයෙන් මේ රටේ ගැඹුරට මුල්බැස තිබූ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය හඳුනාගෙන එය ආමන්ත්‍රණය කරන වැඩපිළිවෙළක්‌, දෙමළ ජනතාවට ඇත්ත වටහා දෙන වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළේ නෑ. පසුගිය ආණ්‌ඩුව යුද්ධය ජයග්‍රහණය කරල ඉතාමත් අහංකාර මානසිකත්වයකිනුයි රට පාලනය කළේ. ඒ නිසාම ඔවුන්ගේ පදනම ඔවුන්ගේ පා යටින් ඛාදනය වන විට වත් එය තේරුම් ගන්නට පසුගිය පාලනය සමත් වුණේ නෑ.
 
 මේ ආණ්‌ඩුව 2015 ජනවාරි 8 ඒ අය කියන ඔය නිහඬ විප්ලවයෙන් කළේ විවිධ අරමුණු සහිත බලවේග එකතු වෙලා මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව පළවා හැරීමයි. ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරන විදිහේ ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කරන්න නම් මහින්ද රාජපක්‌ෂ පරාද කළ යුතු බව වර්තමාන ආණ්‌ඩුව, සම්පාදනය කරන අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ප්‍රමුඛයෙක්‌ වන ජයම්පති වික්‍රමරත්න ලන්ඩන් නුවරදී අමිර්තලිංගම් සමරු දේශනය පවත්වමින් ප්‍රකාශ කළා. මහින්ද රාජපක්‌ෂ පරාජය කිරීමේ අවශ්‍යතාව එජාපයට තිබුණා. ඒ බලය ලබාගැනීම සඳහා. මහින්ද රාජපක්‌ෂ පරාජය කිරීමේ අවශ්‍යතාව විදේශ බලවතුන්ට තිබුණා. ඒ ඔහු ඔවුන්ට අවනත නොවූ නිසා. මහින්ද රාජපක්‌ෂ පරාජය කිරීමේ අවශ්‍යතාව බෙදුම්වාදීන්ට තිබුණා. ඒ ඔවුන්ගේ අරමුණ සාර්ථක කරගැනීමට අවශ්‍ය දේශපාලන පරිසරය නිර්මාණය කරගැනීම සඳහා. මහින්ද රාජපක්‌ෂ පරාජය කිරීමෙන් මෙන්න මේ තුන්වැනි කාරණය සඳහා අද බෙදුම්වාදීන්ට විශාල අවසරයක්‌ ලැබී තිබෙනවා. අද මේ ආණ්‌ඩුවේම ඇමැති ධුරවල ඉන්න විජයකලා මහේෂ්වරන් වැනි අය කරන ප්‍රකාශ තුළින් එය පැහැදිලියි. ඒ ප්‍රකාශ වර්තමාන ජනාධිපති සහ අගමැති අනුමත කරන්නේ කොයිවිදිහටද? එක ඇමැතිවරයෙක්‌ ජාතික කොඩිය එසවීම ප්‍රතික්‌ෂේප කරනවා. රට තුළ එවැනි තත්ත්වයක්‌ නිර්මාණය වෙන්නේ ජන කොටස්‌ තුළ විරසකභාවය පළල් කරන පරිසරයක්‌ ඇති විටයි. අද මේ රටේ මේ නිර්මාණය වෙමින් පවතින්නේ ජන කොටස්‌ එකතු කරන පරිසරයක්‌ නෙමෙයි. ඒක කොහොමද සංහිඳියාවක්‌ වෙන්නෙ. ඒ තුළින් කොහොමද සාමය ඇතිවෙන්නෙ. මේ ක්‍රියාදාමය ඉදිරියට ගියහොත්, මේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත වෙලා ක්‍රියාත්මක වුවහොත් එය මේ රටේ මින් පෙර නොවූවිරූ විශාල ප්‍රචණ්‌ඩත්වයක ආරම්භය විය හැකියි. බටහිර බලවතුන්ගේ උවමනාවට හදන මේ නව ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක වුවහොත් මේ රට ලිබියාවක්‌, සිරියාවක්‌ ඇෆ්ගනිස්‌ථානයක්‌, ලෙබනනයක්‌ වීම වළක්‌වන්න බෑ.
 
 සාකච්ඡා කළේ 
 පාලිත සේනානායක
 ඡායාරූපය - ගාමිණී මුණසිංහ