Monday, December 25, 2017

ඉතිහාසය මකා ජාතිය යකාට ආගම අහකට දමන යහපාලනය


2017.12.10 වන ඉරුදින දිවයින පුවත්පතේ "විෂය නිර්දේශයෙන් ඉතිහාසය ඉවතට" යන මැය යටතේ කීර්ති වර්ණකුලසූරිය විසින් පළකර තිබූ පුවත දැක මම මවිතයට පත් වූයෙමි. මෙලෙස ඉතිහාසය මෙරටින් ඉවත් කිරීමට එක්‌තරා මහාචාර්ය වරයෙක්‌ සාකච්ඡා වට කිහිපයක්‌ම පැවැත්වූ බව එම පුවතෙහි සඳහන් කර තිබුණි. ඔහු සඳහන් කරන ආකාරයට පින්ලන්තයේ ඉතිහාස විෂයක්‌ නැති බවට ලැබී ඇති උපදෙස්‌ මත ලංකාවේ ඉතිහාසය ද අකාමකා දැමීමට සාකච්ඡා කරන බවයි හැඟී යන්නේ.

දැන් දැන් මේ රටේ සිදු වන්නේ, අදහාගත නොහැකි සිදුවීම්ය. රටේ ප්‍රශ්න නැතිවට රට අවුල් කරන ප්‍රශ්න හදන අය නිදැල්ලේ කුමන්ත්‍රණ කරමින් සිටී. ජාතික සම්පත් වැය කරමින් මහාචාර්ය පදවි ලබා ගත් මේ අය රටේ ආර්ථිකය ගොඩනඟන්න උපදෙස්‌ නොදී නැති ප්‍රශ්න ඇති කරන්න දරන වෑයම පිළිකුල් සහගතය. සමහරුන්ට මේ රට අනාගමික රටක්‌ කරන්න, පෙඩරල් රටක්‌ කරන්න, සම ලිංගික රටක්‌ කරන්න අවශ්‍ය වී තිබේ. භඨධ කාරයෝ දේශීය විදේශීය කුමන්ත්‍රණකරුවෝ අධිරාජ්‍යවාදී පාලන සමයේදී පවා ඉටුකරගත නොහැකිව තිබූ උරුමයන් වනසන්න සුදුසුම යුගය හැටියට මේ පාලන සමය යොදාගෙන රටේ පිනුම් ගහන්න සූදානම් වීම කණගාටුවට කරුණකි.

රටකට ඉතිහාසයක්‌ අවශ්‍ය නැතැයි කියන භෞතිකවාදී නරුමයන් කිහිප දෙනෙක්‌ රහසිගත ලෙස දරන උත්සාහයන් ගැන මවිසින් ඉතිහාස විෂය අධ්‍යාපන විෂය මාලාවෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්‌ ඇති බවට මේ වසරේ මුල් භාගයේ දී දෙරණ රූපවාහිනි මාධ්‍ය ඔස්‌සේ සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්‌වමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරා- මැතිතුමා එදිනම එවැන්නක්‌ කිසිසේත් සිදු නොකරන බවත්, තමන් එවැන්නකට ඉඩ නොතබන බවත් ප්‍රසිද්ධ රැස්‌වීමකදී ප්‍රකාශ කර තිබුණි. එසේ නම් මේ දිවයින පුවත කාගේ උවමනාවකට අනුව සිදු වන්නක්‌ ද? නැති නම් අප කාටත් කොලේ වහලා මෙම අමන ද්‍රෝහී ක්‍රියාව සිදු කරන්න සූදානම් වෙනවාද? මේ සිදුවීම් දෙස බලන විට මේ රටේ පාලකයන් සියලු දෙනාම දැනුවත්වම විශාල විනාශයක්‌ මේ රටට කරන්න සූදානම් වෙලාදැයි සැක සිතෙයි. මහා පරිමාණයෙන් නටබුන් විනාශ කිරීම, විල්පත්තු වැනි මහා ජාතික වනෝද්‍යාන අක්‌කර දහස්‌ ගණනින් විනාශ කිරීම, විග්නේශ්වරම් මේ රට දමිළ රටක්‌ ය, දේවානම් පියතිස්‌ස රජතුමා ද දමිළයෙකි. යනුවෙන් කරන ප්‍රකාශ ද සලකා බලන විට මේවාද ඉතිහාසය නැති කිරීමේ කුමන්ත්‍රණයක ප්‍රතිඵල දැයි සිතීම සාධාරණය. 

ඉතිහාසය දැනගැනීමෙන් දරුවන් ඈත් කිරීමට දරන උත්සාහය හෙළා දැකිය යුතුය. මෙමගින් සිදු වන්නේ තමන්ගේ පාරම්පරික උරුමයන් නැති කිරීමය. ජාතික සිරිත් විරිත් අහිමි කිරීමකි. දෙමාපියන්ට වැඩිහිටියන්ට ගරු නොකරන, ආචාර ධර්ම නැති සමාජයක්‌ බිහි වීමකි. අවසානයේ අපට ඉතිරි වන්නේ, කුඩුකාරයන්, සල්ලාලයන් සහ සදාචාර විරෝධී අක්‌මුල් නැති වල්මත් වූ සමාජයක්‌ පමණි. වර්තමානය ගොඩනැඟෙන්නේ, ඉතිහාසයේ පාඩම් ඉගෙනීමෙන්ය. එසේ නොමැති තැන රටකට ජාතියකට අනාගතයක්‌ ඉතිරි නොවනු ඇත.
බුදු දහම, කිතුනු දහම, ඉස්‌ලාම් දහම, ඉතිහාසයට අයත්ය. ලෝකයේ ඕනෑම ජාතියකට තමන්ට උරුම කෙටි හෝ දිගු ඉතිහාසයක්‌ ඇති බව කිව යුතුය. ඔවුහු තම අනන්‍යතාවන් දේවත්වයෙන් සලකති. වෙනත් අය තමන්ට නැති උරුමයන් පෙන්වා දෙමින් අයිතිවාසිකම් කියද්දී අවුරුදු දහස්‌ ගණනක අප සතු උරුමයන් නැති කිරීමට කැස කවන අය ගැන මේ රටේ වගකිව යුත්තන් නිහඬව සිටීම මහා අපරාධයකි.

අකිල විරා- ඇමැතිතුමනි, මේ ගැන විශේෂයෙන් සොයා බලා කවුරුන් හෝ ඉතිහාසය ඉවත්කිරීමේ වැඩපිළිවෙළක නිරත වී සිටිනවානම් ඔවුන්ගේ ඒ ක්‍රියාව රටට හෙළි කළ යුතුයි. මේ කියන මහාචාර්යවරයා කවරෙක්‌ද? ඔහුට රටක ඉතිහාසයක්‌ නැති කළ හැකිද? මෙය කාගේ හෝ ඩොලර් ලබා ගන්නා ක්‍රමවේදයකට ඔහු ගිජුවෙලාද? ජාතියේ උරුමය පිළිබඳ පුරාවස්‌තු පිළිබඳ පරිසරය පිළිබඳ, ඉතිහාසය පිළිබඳ, සංවේදී පිරිස්‌ හා බලධාරීන්ගේ අවධානය මේ කෙරෙහි යොමු වේවා. ලෝකයේ බලවත් රටවල් තම ඉතිහාසය අගේ කරද්දී, අපේ නරුමයන් එය අකා මකා දැමීමට පෙළගැසීම පුදුමයට කරුණකි.

ජනාධිපතිතුමනි, ඉහත කී කරුණු දෙස බලන විට ඔබතුමා ද නොදැනුවත්ව ඇතැම් බලවේග විශේෂයෙන් ජාතිවාදි බලවේග තමන්ගේ පටු අභිමතාර්ථයන් ඉටු කර ගැනීම සඳහා ඉතා සියුම් ලෙස ක්‍රියාත්මක වී ඇති බව පෙනී යන කරුණකි. එබැවින් අවසානය ඔබතුමාගේ චරිතයට ද්‍රෝහී ලේබලයක්‌ ඇලවෙනතුරු මෙම බලවේග රටට හානිකර ක්‍රියා සිදුකිරීමට තිබේ. එබැවින් අවදියෙන් සිටින මෙන් සිහිපත් කිරීමට කැමැත්තෙමි. පසුගිය මාසයේ දී මැතිවරණ සීමා නිර්ණය කිරීමේ දී මනෝ ගනේෂන්, දිගම්බරන්, රවුෆ් හකීම්, ෆයිසර් මුස්‌තාපා යන දේශපාලකයන් දැඩි ජාතිවාදී පදනමක සිට ශ්‍රීපාද පාලනය බෞද්ධයන්ගෙන් ඉවත්වන පරිදි අඹගමුව ප්‍රාදේශීය සභාව කොටස්‌ 3 කට කඩන ගැසට්‌ටුවක්‌ නිකුත් කිරීමෙන් පසු ශ්‍රීපාද ස්‌ථානය අනාගතයේ ජාතිවාදීන්ගේ ගොදුරක්‌ බවට පත් කර ඇති බව පෙනේ. එදා ඉංග්‍රීසි පාලන සමයේ පවා සෙල්ලිපි මගින් පැරණි රජදරුවන් ශ්‍රී පාදයට ලබා දී තිබුණු ගම්වර වෙනස්‌ කිරීමට, අන්සතු කිරීමට ඉදිරිපත් නොවීය. එහෙත් පලාත් පාලන ඇමැතිවරයා ශ්‍රීපාදය ජනාධිපතිවරයා යටතේ තිබෙන්නේ යෑයි කියමින් ජාතිවාදී ලෙස බලය බෙදීමක්‌ සිදුවෙන පරිදි හා අනාගතයේ මෙම ස්‌ථානය ඔවුන් සතු යෑයි යන මිථ්‍යාවාදය සැබෑකර ගැනීමේ අපේක්‌ෂාවෙන් වංචනික ලෙස මෙම බෙදීම සිදු කරන්නට ඇතැයි අපගේ හැඟීමයි. එබැවින් ඔබතුමන් මැදිහත් වී මේ අදිසි හස්‌තයෙන් මෙම පූජා භූමිය නිදහස්‌ කිරීමටත් දැනට වේගයෙන් සිදුවන විල්පත්තු වන විනාශය නතර කිරීමටත් නීතිමය පියවර ගැනීමට නිර්භයව කටයුතු කරන මෙන් දන්වා සිටීමට කැමැත්තෙමි. රටේ වගකිව යුතු ප්‍රධානියා ලෙස ඔබතුමා සතු බලතල අනුව සෘජු තීරණයක්‌ ගතයුතු අතර එය ඔබතුමාටත් අපගේත් රටේත් යහපතට හේතුවනු ඇතැයි දන්වා සිටීමට කැමැත්තෙමි. එමෙන්ම වගකිවයුතු මහා සංඝයාගේත් දේශ හිතෛෂී සියලු දෙනාගේමත් විශේෂ අවධානය මේ සඳහා යොමු වනු ඇතැයි උදක්‌ම අපේක්‌ෂා කරමි.

පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති චන්ද්‍රකීර්ති ශ්‍රී අමරවංශ සද්ධර්මවාගීශ්වර 
කැප්පිටියාගොඩ සිරිවිමල ස්‌ථවිර