Monday, April 18, 2016

සමුගත් බක්මහ උළෙල





දැන්වත් ඉතිං කොවුලෝ
නවතන්න ඔය සවුදම්
සොයා ගන්නට කාලයයි
කුලියට කාක කැදැල්ලක්

පුපුරයි අසනි නුබගැබ
හෙළන්නට මොර ගෙඩි වැසි
සේදිය යුතුය මේ බිම
කූට වෙළඳුන් දුලි කුණු

බහලනු සොඳා රබාන
කෝඳුරු පිරුණු අටු මත
ගයලා සුරල් නව පද
එෆ්. එම්. කෙවිළියෝ සුකුමොළ

රත් පැහැ එරබදුව විළිවැද
මියගිය බඳු ය කටු මත
මැයි මල් පිපේ නිසැක ව
වෙසඟෙහි වෙළෙඳ සිරි ගෙන

කනකර දුලන අබරණ
කරගල ගගා ක්ෂය වුණ
නෙක නෙක තිළිණ වරදන
පුද දෙති බැංකු සුජනන

තුන් කුදුව නැග බස් මත
දිව යනු යෙහෙකි වැඩ බිම
දින දසුන පිරි කොටු මත
දින සති දුකින් වැලපෙන





Monday, April 11, 2016

අවුරුදු දින මංගල දිනයක් කොට සම්මත කිරීම ( අප්‍රියල් 13 දා )




දොළොස් මසක් ගිය තැන පැමිණෙන අපේ‍්‍රල් 13 දා මෙරට වැසි බහුතර ජනකායකට උත්සව දිනයකි. ඔවුන් අතර කුඩා දරුවාගේ සිට සැරමිටි වාරුවෙන් යන මහල්ලා දක්වා වෙසෙන හැම තරාතිරමක කෙනෙක්ම මේ දිනය ගැන සලකන්නේ තමන්ගේ අවුරුද්ද හැටියටය.
අවුරුදු හැඟීමෙන් ප්‍රමෝදය හා ප්‍රබෝධය ගෙන දෙන අපේ‍්‍රල් 13 දා හා සම්බන්ධව ඇති ඉතිහාසය කුමක් ද? මා මෙහිදී ඔබ ඒ පුරාවෘත්තය කරා ගෙන යන්නේ අපේ‍්‍රල් 13 දා ගැන ඔබේ බුද්ධිය පොදුවේ පළල් කරන්නටය.

අවුරුද්ද යනු සංවත්සර ශබ්දය මුල්කොට හැදුනු සිහල වචනයකි. ඉන් අදහස් කරන්නේ එක්තරා කාලසීමාවකි. ඡ්‍යොතිශ් ශාස්ත්‍රයෙන් හෙළිවන පරිදි අවුරුද්දකට දින 365 ක් ඇති බවත් ඒ දින ගණනම මාස වශයෙන් දොළහක් බවත් ප්‍රසිද්ධය.
 ඡ්‍යොතිශය අනුව මේ දොළොස් මාස ක්‍රමය සංග්‍රහව ඇත්තේ සූර්යයා අනුක්‍රමයෙන් මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන දොළොස් රාශියෙහි ඇවිදීමෙන් නැවත මේෂ රාශියට පැමිණෙන දිනය සීමා කොටය. මේ සීමිත කාල පරිච්ඡේදයට අපි දොළොස් මසක් ගිය දවස යයි හෝ අවුරුද්ද යයි නම් කරමු. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණෙන දිනය නිමිතිකොට ජාතියක් විසින් එය අවුරුදු දිනය කොට සලකා පී‍්‍රතිවන්නේ ඇයි?

අවුරුදු දින මංගල දිනයක් කොට සම්මත කිරීම
මේ දිනය මංගල දිනයක් කොට සම්මත කොට මුලින්ම පී‍්‍රති වූවෝ ඡ්‍යොතිෂය ලොවට දුන් භාරතීයයෝය. ඔවුහු කරුණු කීපයක් සලකා අපේ‍්‍රල් 13 දා උතුම් දිනයක් කොට සම්මත කර ගත්හ. ඔවුනතර ලෝක නිර්මාණය මහ බඹු වෙත පැවරුවෝ මෙකී දිනය සූර්යයාගේ උත්පත්ති දිනය හැටියට ද සැලකූහ. ඡ්‍යොතිශය ගැන විශ්වාසය ඇතියවුන් කොයි හැටි වුවත්, එකල විසූ ‘ඇතැම් නිර්මාණවාදිකයන්ගේ සැලකීම වූයේ අපේ‍්‍රල් 13 දා ඔවුන්ගේ ආගමික උත්සව දිනයක් හැටියටය.

ආදි නිර්මාණවාදීන්ගේ භක්තිය පැවරී තිබුණේ පඤ්ච මහා භූතාධිපති දෙවතාවන් කෙරෙහි හා ඉන්ද්‍ර, වරුණ, යම සූර්ය ගෘහදෙවි ආදි දේව විශේෂයන් කෙරෙහිය. විශේෂයෙන් මහා බ්‍රහ්මයාට ලෝකය මැවීමත් විෂ්ණුට ලොක වර්ධනයත්, ඊශ්වර හට ලොක ප්‍රලය (විනාශය) ත් ඔවුහු පැවරූහ.
බ්‍රහ්ම, විෂ්ණු, මහේශ්වර යන ‘ඕං’ නාමයෙන් හැඳිනවූ මේ ත්‍රී මූර්තිය සිය මස්තකයෙහි තබා පිදූ ඒ භාරතීය විද්වතුන් ගෙන් පැවත ආ ඒ ඒ පිරිස් ඒ ඒ දෙවතාවන් කෙරෙහි වෙන් වෙන් භක්තිය පිහිටුවා ගත්හ.
මෙසේ ඔවුනතර සමහරු වෛෂ්ණවයන් හැටියට ද, සමහරු මාහෙශ්වරයන් හැටියට ද, තවත් සමහරු සූර්යයා, අග්නි ආදි අනික් දෛව භක්තිකයන් හැටියට ද ප්‍රසිද්ධ වූහ. මේ පිළිබඳව දැනුදු භාරතය දෙස නෙත් යොමු කරන විට මෙකී නොයෙක් දෙවතාවන් පරම භක්තියෙහි පිහිටුවා සිටින නොයෙක් සාමයිකයන් දකින්නට පුළුවන.

ඛවාර්ගක භෙදයෙහි ලා සින්ධුහුද ඇතුළත් වෙති. සින්ධු දේශය ජන්ම භූමි කොට වසන හෙයින් ඔවුහු එනමින් ප්‍රසිද්ධියට පත්ව ඇත. ඔවුන්ගේ පරම භක්තිය වැඩියක් පැවතුණේ මෙහෙසුරු කෙරෙහිය. හින්දු නමින් හා හින්දු භක්තිකයන් වශයෙන් මේ දක්වා ප්‍රසිද්ධව සිටින ඔවුන්ගේ ඉතිහාසය ඉපැරණි වූවකි.
ශිෂ්ටාචාර්කයන් වශයෙනුත්, ශාස්ත්‍රවතුන් හැටියටත් පුරාණ ලෝකයෙහි ඔවුහු විශ්ව කීර්තියක් ඉසුලූහ. ඡ්‍යොතිශයෙහි විශිෂ්ට ප්‍රතිඵලය මුල් කොට ලැබූවෝ ඔවුහු හැටියට ද සලකනු ලැබෙති.

මීන රාශියෙන් මේෂ රාශියට සූර්යයාගේ පැමිණීම් දිනය මංගල දිනයක් හැටියට මුලින් සම්මත කළ භාරතියයෝ නම් ඔවුහුය. ඔවුහු එකී දිනය නක්ෂස්ත්‍ර හෙවත් නැකත් කෙළි දිනයක් කොට ද සැලකූහ. ඒ නැකත් කෙළිය අප රටේ භාවිත වුණේ ‘සින්ධු අලුත් අවුරුද්ද’ නමිනි.
සිංහල අලුත් අවුරුද්ද දක්වන ලිත් පත්‍රාදියෙහි කලක් යනතුරුම මෙදින ‘සින්ධු අලුත් අවුරුද්ද හෙවත් සිංහල අලුත් අවුරුද්ද’ යනුවෙන් සඳහන් වූයේ එහෙයිනි. අපේ අනික් චාරිත්‍ර, කලා ශිල්ප හා ආගම් ආදිය මෙන් මේ අවුරුදු සිරිත ද භාරතයෙන් ලංකාවට සංක්‍රමණය වූ හැටි මෙහිදී දකින්නට පුළුවන.

භාරතයෙන් ලංකාවට සංක්‍රමණය වූ අවුරුදු සිරිත
භාරතයේ ඇතැම් අය මේ දිනය සූර්යයාගේ උත්පත්ති දිනය වශයෙන් සැලකූ බව එහි මුලින් සඳහන් විය. ඒ අනුව භාරතයේ සූර්ය භක්තිකයන්ගේ ඉතිහාසය මින් අවුරුදු 6000 කට ඈත බව පෙන්වන්නට පුළුවන. භාරතීය ආර්ය වර්ගයාගේ ආදිම යුගය වශයෙන් සලකන සෘග් වෙද සමයේ ඔවුන් ගැන ලියැවී තිබෙන එක් තැනක් මෙබඳුය.
ඉන්ද්‍රං යමං වරණමග්නි මාහු
රථො දිව්‍යඞස සුපර්ණො ගරු මාන්
එකං සදවිප්‍රා බහුදා වදන්ති අග්නිං
යමං මාතරිශ්වා නමාහුඞ
(සෘග්වේද)
ඉන්ද්‍රයයා, ද්විත්‍රයයා, වරුණයාය, ගිනි දෙවියාය, ගරුත්මන්ය ආදි වශයෙන් දෙවියන් ඇති බව කියතත්, ඇත්තේ එකම දෙවියකු බවද, ඉන් කියැවේ. එනම් සූර්යයා පොළොවෙහිදී ඔහුට ගන දෙවියා යයිද අහස් පොළෝ අතරේදී වාත වලාහක දෙවියා යයිද, අහසේදී සූර්යයා යයි ද ව්‍යවහාර විය.
උදාවන හිරුට ඔවුන් කීයේ සවිතෘ කියාය. ලොවට ප්‍රාණය දෙන්නා යනු එහි තේරුමයි. අහස් මධ්‍යයට පැමිණි විට සූර්යයා කියන ඔහු, බැස යන විට වරුණයයි කියනු ලැබේ. සූර්යයා ලොකයට හිතකර බැවින් මිත්‍ර කියා ද සොරුන්ගෙන් හා වන මෘගයන් ගෙන් ගවයන් රැක දෙන්නා යන අර්ථයෙන් ඔහුට පූෂන් යයිද ඔවුහු නම් දුන්හ. මෙසේ ඔවුහු සූර්යයාට නොයෙක් විරුද පටබඳිමින් සූර්ය ස්තොත්‍ර බැඳ නමස්කාර කරමින් සූර්ය පූජා පැවැත්වූ හැටි භාරතයේ වෙද සාහිත්‍යය ඔස්සේ ගිය විට පහසුවෙන් දකින්නට පුළුවන් දේය.

පොදුවේ සැලකිය හැකි මහා උත්සවයක්
සූර්යයා ලෝකයේ එකම බලවත් දෙවියා හැටියට තැකුම් ගත්, ඔවුන්ගේ ඇතැම් අදහස් බෞද්ධ සාහිත්‍යයට පවා කා වැදී තිබෙන හැටි අපේ ‘මෝර පිරිතෙන්’ නොපෙනේ ද? මහානුභාව සම්පන්න කොට සලකන පිරිත් සූත්‍ර පහෙන් ද එකක් වූ මෝර පිරිතේ මුල් ගාථාව ලියැවී තිබෙන්නේ උදාවන සූර්යයාට තුති කිරීමටය.
පොත පතේ ඇති මේ කරුණු හාරා අවුස්සන විට අපේ‍්‍රල් 13 දා සූර්ය භක්තිකයන්ගේ ආගමික උත්සව දිනයක් වී තිබෙන හැටි දක්නට පුළුවන. මේ කරුණු සැලකීමෙන් අපට මෙහිදී සිතා ගන්නට පුළුවන්, අපේ‍්‍රල් 13 දාට එන සිංහල අවුරුද්දේ පරමාර්ථය හා ගැටී ඇති ඉතිහාසය කෙතරම් පැරණි ද යන්නය.

බෞද්ධ පතපොතෙහිද, එයින් ආලෝක වූ සිංහල පැරණි පොත පතෙහි ද සඳහන්ව ඇති ‘නැකත් කෙළි’ මොනවාදැයි සෙවූ විට එහි දී ද ඔබට මේ අවුරුද්දත් නැකැත් කෙළියක් වී ඇති සැටි දක්නට පුළුවන් වෙනවා ඇත.

ඡ්‍යොතිෂය නිසා වේවා සූර්ය භක්තිකයන් නිසා වේවා, ආදියෙහි ඇරැඹුණු අපේ‍්‍රල් 13 වන දිනය අද අපට අවුරුදු උත්සවය වී තිබේ. ජ්‍යෝතිශය හෝ සූර්ය භක්තිකයන් ගැන හෝ කරන සැලකිල්ල පසෙක තිබියදී, ඉර සේවය ගැන සිතන කවරකුට වුවත්, අපේ‍්‍රල් 13 දාට එන උත්සව දිනය එක් පිරිසකට පමණක් වෙන්කර වන්නට පුළුවන් කමක් නැති බව වැටහී යා යුත්තකි. වෙසක්, නත්තල් වැනි උත්සව වලට වඩා, පැතුරුණු පොදු පරමාර්ථයක් අපේ‍්‍රල් 13 දා උත්සවයේ පවතී. ඒ බව අපේ රටේ කවුරුනුත් තේරුම් ගතහොත් නිදහස් ලංකාවේ හැම ජාතිකයන්ටත් හැම ආගමිකයන්ටත් පොදුවේ සැලකිය හැකි ලාංකිකයන්ගේ මහා උත්සව දවසක් කොට අපේ‍්‍රල් 13 දා තබාගන්නට පුළුවන.
1953 සිළුමිණ පත්‍රයේ පළ වූ ලිපියකි

පී. බී. සන්නස්ගල විසිනි


Saturday, April 9, 2016

ගෙවුනු සෙරෙප්පුව






ඔහු නුඹ රැගෙන යන විට
නුඹ් පැහැපත්ය පිරිපුන්ය
නොඉදුල්ය
ඔහු පහස් අලද අද නුඹ
වැරහැලිය කඩමාළුය
ආලින්දයෙහි නිතර උන් නුඹ
ඔහු පා පහරකින් 
අගුවටම විසි විය
නුඹෙන් වියෝ වූ ඔහු
නුඹ වැන්නියක් සොය සොයා
නගරයේ සලිපිලක්
සල්පිලක් පාසා
ඇවිද යන හැටි 
ඊයෙ සවසත් 
මම දුටුවෙමි




Wednesday, March 16, 2016

මම නුඹේ පියා ය ( නිසදැස් )



 



මහලු වුව ජීවිතය
අය කොටස පරදවා
වැය කොටස හිස ඔසවා
දූගේ ටියුෂන්වලට
පුතුගේ පාසල් වියදමට...
 
යහමින් කුස පුරවා ද?
කසී සළු ඇඟ දවටා ද?
 
ණයකරුගේ ගිණුම් පොතට
පඩි පත ම යට වෙලා...
කුලී වැඩ කොටස
ට්‍රැක්ටරයට යන්ත්‍රයට පවරලා...
පුතුනි, මම නුඹේ පියා ය
දැන් ඉතින් මහලු වී
අතපයට වාරුවක් නොමැති ව
තව ම හරි හරියට
මහා පොළවට ඔට්ටු වෙමි...
 
නුඹලා;
වැඩි වැඩිහිටියන් ව
ජීවිතය ගැටගසන තුරු


Sunday, February 28, 2016

“සන්තුස්ස කෝච සුභරෝච අප්ප කිච්චෝච සල්ලවුක වුත්තී”






විශ්වයේ අතිශය චමත්කාර ජනක නිර්මාණයක් වන මිනිසා සත්ත්ව ලෝකය තුළ ඉතා උසස් මනසකින් යුතු සත්වයා ද වේ. විසල් විශ්වයේ ක්‍රියාකාරීත්වය මනුෂ්‍යයාගේ පැවැත්ම විෂයෙහි බොහෝ බලපෑම් එල්ල කරයි. මෙලෙස විශ්ව ශක්තියේ ක්‍ෂුද්‍ර අංශුවක් වන මිනිසා අද්‍යතයේදී විශ්ව න්‍යායන් හා සංකල්පයන් අභිබවා යෑමට සෑම විටම උත්සාහ කරයි. සැබවින්ම මිනිසා සතු ශක්‍යතාවන් බොහෝ ය. එසේ වීද ඔහු ස්වභාව ධර්මයට කරන අභියෝගයන් පිළිබඳ වරක් දෙවරක් නොව සිය දහස් වාරයක් සිතා බැලිය යුතු ය.

දඩයම් යුගයේ දී මිනිසාගේ අවශ්‍යතා අතිශය සරලය සුළු ය. කුසට අහරක් මිස හිසට සෙවනක් හෝ ගතට වස්ත්‍රයක් හෝ පිළිබඳව එ දවස ඔහු පැතුවේ නැත. සේද වලාවන් පිරුණු අහස් වියන යටදීම ඔහු ස්වභාව ධර්මයේ ගැතියකු විය. කාලයේ වේග ප්‍රවාහයට නතු වූ මිනිසාගේ ඒ සරල අවශ්‍යතාවන් දිනෙන් දිනම සංකීර්ණ වූ අතර එඬේර යුගය පසු කළ ඔහු ගොවි යුගයේ දී වඩා ශිෂ්ට සම්පන්න වී අවශ්‍යතාවන් නිසි පරිදි ක්‍රමානුකූලව ඉටු කර ගැනීමට යුහුසුළු විය. එතෙක් මිනිසා හුරුව සිටි අපිස් දිවි පෙවෙත විසල් විපරිණාමයකට භාජනය වූයේ මෙතැන් පටන් ය. කාලය වේගයෙන් ගලා යද්දී මිනිසා කාර්මීකරණයට නැඹුරු වූ අතර මෙතෙක් වූ සරල සුගම සුළු අවශ්‍යතා ද සංකීර්ණ විය. මිනිසාගේ ලෞකික අවශ්‍යතා සීමා රහිත වෙද්දී කාලයට අනුරූපව තම සකල ක්‍රියා කලාපයන් ක්‍ෂණිකව ඉටු කර ගැනීමට ඔහුට අවශ්‍ය විය. එහිදී ඔහු නවීන තාක්‍ෂණය කෙරෙහි වඩ වඩා නැඹුරු වී නව සොයා ගැනීම්, අත්හදා බැලීම් තුළින් කාලය හා අවකාශය ජයගන්නට අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කි‍්‍රයාත්මක වූයේ ය. විවිධ යන්ත්‍ර සූත්‍ර නිපදවා එවැනි දේ තුළින් තම එදිනෙදා කටයුතු පහසු කර ගැනීමට ඔහු උත්සාහ කළේ ය. මුද්‍රණ යන්ත්‍රයේ සිට මිසයිලය දක්වා කළ සෑම නිර්මාණයක්ම එකී උත්සාහයේ ප්‍රතිඵල ලෙස දක්වාලිය හැකි ය.

මෙලෙස මිනිසා තාක්‍ෂණය හරහා සැහැල්ලු ගති පැවතුම්වලින් මිදී බහුකිච්ඡතාවයට නැඹුරු විය. විවෘත ආර්ථිකය, ගෝලීයකරණය හරහා කාර්ය බහුල තත්ත්වයට පත් වූ ඔහුගේ නිදහස සීමා විය. ජීවිතය අවිවේකී විය. කටුක විය. නීරස විය. කායික වශයෙන් පමණක් නොව මානසික වශයෙන් ද අසහනයට පත් වූ අයෙකු විය. නූතනයේ දී අද්‍යතනය වන විට අන්තර්ජාලය හරහා සෑම කටයුත්තක්ම ඉටු කර ගැනීමට මිනිසා උත්සුක වේ. ලොවම විශ්ව ගම්මානයක් වන මෙම ක්‍රියාවලිය මනුෂ්‍ය සංහතියටම යහපතක් කළ හැකි අතර විශාල අපරාධයන්ට ද මෙයම හේතු වේ. අද ලොව පුරා පැතිරෙන කාම රැල්ලටත්, අපරාධ රැල්ලටත් අන්තර්ජාලය තුළින් ලැබෙන පිටුවහල අතිමහත් ය. මිනිසාගේ අපරිමිත ආශාවන් නිසා බිහිවන මෙබඳු නිර්මාණ සමාජ පිළිලයක් වීමට ඉඩ ඇති බවද මෙයින් පැහැදිලි වේ. එසේම නූතනයේ අවි ගනුදෙනු පවා සිදු කර ගනුයේ මෙම අන්තර්ජාලය හරහා ය. නමුදු විශේෂයෙන් කිව යුතු වනුයේ වරද ඇත්තේ මෙම නවීන තාක්‍ෂණය තුළ නොව එය පරිශීලනය කරන පුද්ගලයා ගේ මනස තුළ බව ය. ගසක අරටුව ඉවතට දමා පොත්ත රැක ගැනීමට මෙන් වෙර දරන ඇතැම් පුද්ගලයන් වෙතින් මෙවැනි සමාජ හිතකාමී නොවන සංසිද්ධීන් සිදුවේ. මෙකී සියලු හේතූන්ට මුල් වනුයේ මිනිසා අල්පේච්ඡතාවෙන් මිදීමම නොවේද?

නූතන තාක්‍ෂණයේ දියුණුව සමඟ මිනිසාගේ සැහැල්ලු ගති පැවතුම් ක්‍රම ක්‍රමයෙන් හීන වී යාම අප සමාජයෙහි පවුල් සංස්ථාව කෙරෙහි ද විශාල ලෙස බලපෑම් එල්ල කර තිබේ. පවුලක සමගිය, පැවැත්ම රඳා පවතිනුයේ එහි සාමාජිකයන්ගේ ක්‍රියාකලාප අනුවය. විවෘත ආර්ථිකය ජයගයනු වස් පියා සමඟ මවද රැකියාවක නිරත වී සිටියි. එබැවින් දරුවන් හා මව්පියන් මුණ ගැසෙනුයේ රාත්‍රී කාලයේ පමණි. කෙසේ වතුදු සතියකට දෙතුන් වරක්වත් පවුලෙහ් සියලු සාමාජිකයන් සතුටු සාමිචියේ යෙදෙමින් අන්‍යෙන්‍ය සහයෝගය පෙරදැරි කර ගනිමින් තම තමන්ගේ ගැටලු ආදිය නිරාකරණය කර ගන්නේ නම්, එකී නිවසෙහි අභිවෘද්ධියට සහ යහපැවැත්මට කටයුතු සලසා ගත හැකි වේ. නමුදු අද බෞද්ධ නිවෙසක සියලු සාමාජිකයන් එක් වී බුදුන් වඳින දර්ශනයක් පවා දැක බලා ගැනීම අතිශයින් දුලබ බව පෙනේ. දහවල රැකියාවල නියුතු බොහෝ මව්වරු රාත්‍රියේ දී රූපවාහිනී තිරය මතින් දිග හැරෙන ටෙලිනාට්‍යවල නළු නිළියන් හා එක්ව සිනාසෙති. හඬති, වැළපෙති, මන්ත්‍රී බිසව් සේ සැමියාගේ සෙවනැල්ල වීමටවත්, යශෝධරාවක සේ සැමියාට ආශිර්වාද කරන්නටවත්, අංගුලිමාල, තෙරණුන්ගේ මව් මෙන් තම දුවා දරුවන් රැකගන්නටවත් ඇයට නිනව්වක් හෝ අවකාශයක් නම් නැත. බිරිඳ මෙසේ වූ විට නකුල පිතෘවරුන් නිවෙස තුළ රැඳෙන කාලසීමාවද සීමාසහිත ය. සුරාසැල්වල මධුවිත පුරන්නේත්, කැසිනෝ ඈ සමාජ ශාලාවල රැය පහන් කරන්නේත් එවැනි පියවරුන්මය. සම්බුදු අම්මාවරුන්, බෝසත් පියවරුන් මෙසේ වෙද්දී සුජාත දරුවෝ පරිගණකය තුළින් අන්තර්ජාලය හරහා ලොව පුරා සැරිසරති. ඔවුනට ලෝකය තනි යායකි. එමඟින් විවිධ දුරාචාර විෂයෙහි දරුවන් යොමු වීම දැකිය හැකි ය. එසේ ද වූවත් දෙමව්පියන් මෙලොව දී ලද වටිනාම සම්පත දරු සම්පත ය. නැණවත් සේම ගුණවත් දරු පරපුරක් බිහිකර රටට දැයට වැඩදායි ලෙස ඔවුන් හැසිරවිය යුතු ය. දෙමව්පියෝ වඩා සරල ජීවිතයකට හුරු වූ පසු දරුවෝ ද එයම අනුගමනය කරති. එවිට අසත් පථයෙහි යෑමට ඔහුනට අවසර නැත.

අතීතයේ දී මිනිසා තම පණිවුඩ හුවමාරු කර ගන්නට විවිධ සරල ක්‍රම අනුගමනය කර ඇත. තිරශ්චීන සත්වයන් පවා එ විෂයෙහි යොදා ගෙන ඇති බව අපි දනිමු. ලේඛන කටයුතුවලට යොමු වූ මිනිසා අද්‍යතනයේදීත් ලිපිලේඛන වලින් තම පණිවුඩ හුවමාරු කර ගනිති. ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල් දුරකථනය හඳුන්වා දීමෙන් සමාජයට සිදු වූ සේවාව අතිමහත් ය. සැබවින්ම විය යුත්තේ කාලය ඉතිරි කර ගැනීම තුළින් එදිනෙදා කටයුතු ඉටුකර ගැනීමයි. නවීන තාක්‍ෂණය සමඟ ආ ජංගම දුරකථනය මඟින් මිනිසාගේ එදිනෙදා කටයුතු වඩා පහසු කර ගැනීමට හැකි විය. සැබවින් ම විද්‍යාවේ දියුණුව සමඟ සාර්ථකත්වයේ හිණි පෙත්තටම පා නගන මිනිසාගේ කටයුතුවලට එය භාවිත කිරීම වඩා පහසු ය. අද වනවිට සමාජයේ සෑම ස්ථරයකම මෙය ජනපි‍්‍රය වී ඇත.

සැබවින්ම එය සුබවාදී ය. නමුදු එහි අසුබවාදී අංශයක් ද ඇත. වර්තමාන සමාජයේ පාසල් සිසුන් මෙම ජංගම දුරකථනය විෂයෙහි අතිශයින් ආසක්ත වී ඇති බව පෙනේ. බොහෝ විට දෙමව්පියන් තම දරුවන්ට ජංගම දුරකථනයක් ලබා දෙනුයේ ඉතා ඉක්මණින් හා විශ්වාසදායකව පණිවුඩ හුවමාරු කර ගැනීමට ය. පාසලෙන් පසු අතිරේක පන්තියකට සහභාගී වී නිවෙසට පැමිණෙනතුරු දරුවන් හා සම්බන්ධතා ඇතිකර ගැනීමට දෙමාපියන් යොදා ගනුයේ ජංගම දුරකථනයයි. නමුත් ඇතැම් දරුවන් එය තම සකල අවශ්‍යතා සඳහා යොදා ගනී. ජංගම දුරකථනය තුළින්ද අන්තර්ජාලය හා සම්බන්ධ වී විවිධ අයහපත් ක්‍රියාකලාපයන්ට යොමුවන ඔවුන්ගේ අධ්‍යාපනය පවා කඩාකප්පල් වීමට ඉන් ඉඩ සැලසේ. විශේෂයෙන් ගැහුණු දරුවන් විෂයෙහි මෙය ඉතා අහිතකර ලෙස බලපායි. සමාජය තුළ අයථා සම්බන්ධතා හා සාවද්‍ය ක්‍රියා රැසක් සිදු වීමට අද ජංගම දුරකථනය හේතු වී තිබේ. එසේනම් නවීන තාක්‍ෂණය වූවද ඉතා සංයමයෙන් යුතුවම පරිහරණය කළ යුතු බව මෙයින් මොනවට පැහැදිලි වේ.

එසේම යහපත් භෞතික සදාචාරාත්මක සමතුළිතතාවයකින් සමන්විත ජීවන රටාවක් අප සතුව ඇත. එවිෂයෙහි සෘජුවම බල පා ඇත්තේ සැහැල්ලු දිවි පෙවෙතමය. එය ඉවතලන මිනිසුන් නවීන තාක්‍ෂණය සමඟ එන සියලුම දේ ඉතසිතින් වැළඳ ගනුයේ ඉමහත් ආඩම්බරයෙනි. එහි යහපත් අයහපත් දෙ අංශයේම ලක්‍ෂණ ඇත. මිනිසා හා ස්වභාවධර්මයා අතර මනා වූ අන්තර් සම්බන්ධයක් ඇත. තාක්‍ෂණයේ හිණිපෙත්තට ගමන් කරන මිනිසා සොබා දහම පිළිබඳ එතරම් තැකීමක් නොකරයි. මිනිසාගේ දියුණුව හෝ ආත්ම තෘප්තිය සඳහා හෝ අනෙක් දෙයක් උදෙසා හෝ ස්වභාව ධර්මය විනාශ කරමින්, එහි පැවැත්මට හානි කර ගනිමින් තම ප්‍රගතිය ළඟා කර ගැනීමට උත්සාහ කිරීමේ දී සිදුවනුයේ මිනිසා තුළ පැවැති මනුෂ්‍යත්වය පිරිහීම යි. සැහැල්ලු දිවිපෙවෙත අර්බුධකාරී තත්ත්වයකට පත්වීමයි. ගෝලීය කරණය සමඟ මිනිසා බහුභාණ්ඩික තත්ත්වයකට පත්ව සිටියි. එසේම ලද අවසරයෙන් තම ඉන්ද්‍රියන් පිනවනු වස් විවිධාකාර වූ භෞතික ශ්‍රව්‍ය දෘෂ්‍ය දෑ යොදා ගනී. සඳ කැල්මක පවිත්‍රත්වය, පීදෙන මල් කැකුළක අසිරි සිරිය, දෙසවන නින්නාද වන කුරුළු කුජනයක මිහිරියාව ගලා යන දොළ පහරක සිසිලස විඳිමින් ස්වභාවධර්මය හා ස්වාත්මීය ගත වී සිත පිනවාගන්නට අපට තවමත් අවකාශය ඇත. තාරුකා පිරුණ අහසක් දෙස බලන කල දැනෙන මානසික සුවය හෝ ඒකග්‍රතාව රූපවාහිනී තිරයක් මත දිග හැරෙන මාලා නාටකයක් තුළින් හෝ පොප් ගීතයක් සමඟ එන නර්තනයක් තුළින් හෝ ලද හැකි ද යන්න පැනයකි. මෙසේ මානවීය සදාචාරය පිරිහීම හා පාරිසරික අර්බුදය තුළ ඉතා සමීප සබඳතාවක් ඇත. තමා විසින්ම සිදු කරන කුමන ක්‍රියාවකින්වත් සෑහීමකට පත් නොවෙන මිනිසා විශ්වයේ නිමි වළලු සොයා දිවයනුයේ මිරිඟු දියට ලොබ බැඳ හැල්මේ දිවයන මුව පොව්වකු ලෙසය. සරලත්වයෙන් හා සහජීවනයෙන් කල් යවනවා වෙනුවට එකිනෙකා පරයා නැගෙමින් ස්වභාව ධර්මය ඉදිරියෙහි පරාජය වීමට සිදුවේ. වසර කිහිපයකට ඉහතදී සිදු වූ සුනාමි ව්‍යසනයම ඒ විෂයෙහි උදාහරණ සේ දැක්විය හැකි ය.
අප ලොව්තුරා බුදුරජාණන්වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ දී සැහැල්ලු දිවි පැවැත්ම පිළිබඳ කරුණු දක්වා ඇත. තාක්‍ෂණයෙන් කෙතරම් ඉදිරියට ගියද පුද්ගලයෙකු අතිශය චාම් විය යුතු ය. පුද්ගලයෙකුගේ චාම්බව තුළින් අනවශ්‍ය කරදර දුක් පීඩා වළක්වා ගත හැකි ය. සැහැල්ලු දිවි පෙවෙතින් මිදුනු විට සමාජය තුළ නේක වූ අපරාධ සිදුවෙයි.

අතීතයේ දී සිව්සැට බරණින් සැරසී රුවැති ළඳකට ඉතා වටිනා මාණික්‍ය රත්නයක් සමඟ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා අපහසුතාවකින් තොරව ගමන් කිරීමට හැකියාව තිබූ බව පැවසේ. නමුදු වත්මනෙහි ඇතැම් තරුණියකට නොව කුඩා දැරියකට, මිත්තණියකටවත් තනිව ගමනක් යෑමෙහි හැකියාවක් නැත. මනුෂ්‍ය සමාජය සාරධර්ම හා ගුණධර්ම අතින් එතරම් ම පිරිහී ඇත. මිල මුදල් ධර්මය කර ගත් මිනිසා නොතිත් ආශාවන් සංතෘප්ත කර ගනු වස් ආත්ම සංයමය පාවා දී ක්‍රියාකරයි. ධර්මය කෙරෙහි වැඩි වැඩියෙන් නැඹුරු වීම තුළින් ගිනිගෙන, දැවෙන මානවීය චින්තනය නිවාසනසා ගත හැකි ය.

ඉතිහාසය තුළ සුරුවිරුකම් දැක් වූ අප රජ දරුවෝ කුමන රාජකාරියක නිරත වූවත් සතර පොහොයට සිල් සමාදන් වීමට ධර්මය ශ්‍රවණය කිරීමට හුරුව සිටියහ. සද්ධාතිස්ස රජු රෑ මුළුල්ලේ තුන්යම අරියවංශ සූත්‍රය ශ්‍රවණය කළේ ධර්මය කෙරෙහි අතිශයින් ශ්‍රද්ධාවෙහි යුතුවමය. එසේම බොහෝ රජවරු දිනපතා විහාරස්ථානවලට ගොස් භික්‍ෂූන් වහන්සේලා, සමඟ එක්ව ධර්ම සාකච්ඡා පැවැත් වූ බව වංශ කථාවල සඳහන් වේ. එසේ නමුදු අප සමාජයේ බොදුණුවන්ට මසකට වරක් යෙදෙන පොහෝ දිනයේදීවත් විහාරස්ථානයට ගොස් ආමිස පූජාවක නිරත වීමට තරම්වත් කාලයක් නොමැත. නේක විධ රාජකාරියක් නිසා සිතා හෝ නොසිතා හෝ එකී කටයුතු මඟ හැරෙන බව කිව යුතු ය. මෙය සාධනීය ලක්‍ෂණයක් නම් නොවේ. පුද්ගල අධ්‍යාත්මය සංවර්ධනය කරගනු වස් ධර්මයෙහි හැසිරිය යුතු ය.

නූතන තාක්‍ෂණය සුබය, ධනාත්මකය, සිහියෙන් යුතුව එය පරිභෝජනයට ගත යුතු ය. ඒ සමඟම චාම් බව හා සැහැල්ලු බව පුද්ගල සිත තුළ ඇති කර ගනිමින් ආත්ම සංයමයක් ඇති කර ගත යුතු ය. එහිදී ස්වභාවයෙන්ම සරල ගති පැවතුම් හා අල්පේච්ඡ ජීවිතයක් ඇති මිනිසාට ගුණධර්මයත් තුළින්ම නූතනත්වයට හා තාක්‍ෂණයට මුහුණ දී ජීවිතය සාර්ථක කර ගත හැකි ය.
හැම දෙනාටම තෙරුවන් සරණයි!











Top

සාමය උදාවන ගාසා තීරය

  යුද්ධය  යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...

Popular