Monday, November 21, 2016

කවි සිතුවම් පුබුදනා රාත්‍රිය











සුමුදු මුදු වළා අතරින්

පුන්සද එබෙනා
බැබිල මල් සදිසි 
තරු පොඩිති අහසෙ දිලෙනා
කැකුළු මල් ඕවිල්ලෙ
සිගිති පිනි බිදු නිදන රාත්‍රිය
නෙක නාද රටාවෙන්
රැහැයි පළගැටි ගායනා
සුමුදු සේපාලිකා කඩුපුල්ද
මුදු සුවද මුදා සුළගට
නෙත් හරින 
තුරුලතා නැලවෙමින් මද පවනෙ
කවි සිතුවම් පුබුදනා රාත්‍රිය
බලන්න නිමේශයකට
කොතරම් සුන්ද




Monday, November 14, 2016

ජීවිත ගමන





ආ මඟ කෙටිය තව යායුතු මඟ        දුරය
බැළු බැළු සියළු තැන ඇත්තේ අවහිරය
අප යන මේ ගමන මරණින් කෙළ   වරය
එය තව උපතකට සසරෙහි බිහි දොරය


දුක සැප ජය පරාජය උණු කඳුළු           සිනා
හමුවී නතර වූවත් ලොව බොහොම  දෙනා
සමබර ගතිය හඳුනන වෙර තිබෙන කෙනා
නියමිත ගමන යන්නට හුරු පුරුදු       වුණා


හිසමත තබාගෙන ඉසිලිය නොහැකි බරක්
යන්නට තිබෙන්නේ නොසිතුව තරම   දුරක්
කවදා දකිනු හැකිදැයි නොම දකිමු තෙරක්
එනමුදු ගමන යායුතුවෙයි රැගෙන    වෙරක්


තණඅග රැඳුනු පිනිබිඳු හිරු එළිය                     දැක
නැතිවන අයුරු දිවියට සම කෙරිය                  හැක
නොසිතුව නොම පැතුම සුළු මොහොතකදි එක
ජීවිත ගමන කෙළවරවෙයි ගෙනෙන                  දුක




Wednesday, November 9, 2016

ලොව අපබ්‍ර0ශම ජනාධිපතිවරනයේ ජය Donal trump ට - ජනාධිපතිවරණය ගැන විස්තර ටිකක්






මෙම සටහන ඉදිරි පැය කීපය තුල යාවත්කාල කරමි. )



ඡන්ද කොට්ඨාස 270 සම්පුර්ණ කරමින් ඇමෙරිකා ජනාධිපතිවරණය ජයගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වෙයි.
දැනට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ආසන 290ක් ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.

ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට ජයග්‍රහණය කිරීමට හැකී වී ඇත්තේ ඡන්ද කොට්ඨාස 218ක් පමණි.තවත් ඡන්ද කොට්ඨාස 30ක පමණ ප්‍රතිඵල නිකුත් වීමට නියමිතය.මැතිවරණය ජයග්‍රහණය සඳහා ඡන්ද කොට්ඨාස 538කින් 270ක් ජය ගත යුතුව තිබිණි .

රිපබ්ලිකන් පක්ෂය සෙනෙට් සභාවේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ජය හිමි කරගත්තේය.




ඇමරිකානු ජනාධිපතිවරණ සටන ජයටම කෙරීගෙන යන මේ මොහොතේ ලෝකයේ ඇති අපභ්‍රංස ම මැතිවරණය වන ඇමරිකානු ජනාධිපතිවරණය ගැන විස්තර ටිකක්. 1. ඇමරිකානු ජනාධිපතිවරයා තේරෙන්නේ ලංකාවේ වගේ සෘජු මහජන ඡන්දයෙන් නෙවෙයි. මහජන ඡන්දයෙන් තේරී පත් වන නියෝජිතයන් ගේ ඡන්දයකින්. 2. ඇමරිකාවේ ජනපද 50ක් තියෙනවා. ඒ ඒ ජනපදය මගින් ඇමරිකානු පාර්ලිමේන්තුවේ කොටස් දෙක වන සෙනේට් සභාව සහ කොංග්‍රසය වෙත මහජන නියෝජිතයන් (මන්ත්‍රීවරු) පත් කර යවනවා. ඒ ඒ ජනපදයෙන් තේරී පත්වන මහජන නියෝජිතයන් ගණන තීරණය වෙන්නේ ඒ ඒ ජනපදයේ ජනගහණය අනුව​. 3. ඇමරිකානු ජනාධිපති වරයා තෝරන්න බලය තියෙන්නෙ මහජනයාට නෙවෙයි. ඒ සඳහා මහජන ඡන්දයෙන් තේරීපත්වන විශේෂ නියෝජිතයන් පිරිසකට​. 4. යම්කිසි ජනපදයකින් තෝරා පත්වන විශේෂ නියෝජිතයන් ගනන ඒ ජනපදයේ මන්ත්‍රීවරු ගණනට සමානයි. උදාහරණයකට ටෙක්සාස් ප්‍රාන්තයේ මන්ත්‍රීවරු 38 දෙනෙක් ඉන්නවා. ඒ නිසා ටෙක්සාස් ප්‍රාන්තයෙන් විශේෂ නියෝජිතයන් 38ක් තේරී පත්වෙනවා. 5. යම්කිසි ජනපදයකින් විශේෂ නියෝජිතයන් තේරී පත්වෙන ආකාරය ඇමරිකානු ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ නෑ. ඒ ක්‍රමය තෝරා ගැනෙන්නේ ඒ ජනපදයේ ව්‍යවස්ථාව අනුව​. නමුත් සියළුම ජනපද තම නියෝජිතයන් එකම දවසක තෝරා ගතයුතු බව ඇමරිකානු ව්‍යවස්ථාවේ දැක්වෙනවා. ඒ නොවැම්බර් මාසයේ පළවෙනි සඳුදාට පස්සෙ එන අඟහරුවාදා. මේ අවුරුද්දෙ නම් නොවැම්බර් 8 වෙනිදා. 6. වර්තමානයේ සියළුම ජනපද තම විශේෂ නියෝජිතයන් තෝරා ගන්නේ මහජන ඡන්දයෙන්. නමුත් එසේ විය යුතුම නෑ. අතීතයේ දී සමහර ජනපද විශේෂ නියෝජිතයන් තෝරාගත්තේ ජනපදයේ පාර්ලිමේන්තුව මගින්. උදාහරණ ලෙස දකුණු කැරොලිනා, නිව් යෝක්, ඩෙලවෙයාර් දක්වන්න පුළුවන්. ඒ ජනපද වල මහජනතාවට තම ජනාධිපතිවරයා තෝරා ගැනීමට කෙලින්ම සහභාගී වෙන්න බෑ. 7. මේ එක් එක් ජනපදය තම විශේෂ නියෝජිතයන් තෝරා ගන්නේ එකිනෙකට ස්වාධීන වූ මැතිවරණයකින්. උදාහරණකට කැලිෆෝනියා ජනපදයේ මැතිවරණය ෆ්ලොරිඩා ජනපදයේ මැතිවරණය එක්ක කිසිම සම්බන්ධතාවයක් නෑ. 8. එක් එක් ජනපද වල මැතිවරණ වලට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් පවා වෙනස් වෙන්න පුළුවන්. ඩිමොක්‍රැටික් සහ රිපබ්ලිකන් පක්‍ෂවල අපේක්‍ෂකයන් සාමාන්‍යයෙන් ජනපද 50 ටම තරග කරනවා. නමුත් සුළු අපේක්‍ෂකයන් තරග කරන්නේ සමහර ජනපද වලට පමණයි. 9. සියළුම විශේෂ නියෝජිතයන් එකම දිනයේ තෝරා ගත යුතු නිසා හැම ජනපදයේම මේ මැතිවරණය පවත්වන්නේ එකම දවසේ. ඒ අර ව්‍යවස්ථාවෙන් නියම කරලා තියෙන දවසෙ​. අපි "ඇමරිකානු ජනාධිපතිවරණය​" කියල හඳුන්වන්නේ මේ එකිනෙකට වෙනස් වූ මැතිවරණ 50. 10. ඒ ඒ ජනපදය සඳහා ඉදිරිවන පක්‍ෂ තමාගේ විශේෂ නියෝජිතයන් ලැයිස්තුව මැතිවරණ දිනයට මාසයකට කලින් ඉදිරිපත් කළ යුතුයි. 11. ප්‍රාන්ත 48 ක් තමාගේ නියෝජිතයන් තෝරා ගන්නේ "winner takes all" ක්‍රමයට​. ඒ කියන්නෙ ඒ ප්‍රාන්තයේ මහජන ඡන්දයෙන් ජය ගන්න පක්‍ෂයට ඒ ප්‍රාන්තයේ සියළුම විශේෂ නියෝජිතයන් ගණන හිමි වෙනවා. උදාහරණයකට ඩිමොක්‍රැටික් පක්‍ෂය පෙන්සිල්වේනියා ජනපදය ජයගත්තොත්, ඒ ජනපදයෙන් තේරී පත්වෙන විශේෂ නියෝජිතයන් 20 දෙනාම ඩිමොක්‍රැටික් පක්‍ෂයේ අය​. 12. මේන් සහ නෙබ්‍රස්කා ජනපද දෙක පමණක් තමාගේ නියෝජිතයන් තෝරා ගන්නේ ඒ ඒ මන්ත්‍රී ආසන ගණන අනුව​. උදාහරණයකට මේන් ජනපදයේ මන්ත්‍රී ආසන 4ක් තියෙනවා. මහජන ඡන්දය අනුව ඒ ඒ ආසනය දිනන පක්‍ෂයට ඊට සමාන නියෝජිතයන් ගණනක් හිමිවෙනවා. ඒ කියන්නෙ රිපබ්ලිකන් පක්‍ෂය ආසන 3 ක් සහ ඩිමොක්‍රැටික් පක්‍ෂය ආසන 1ක් දිනුවොත්, විශේස නියෝජිතයන් පත්වෙන්නේ රිපබ්ලිකන් 3ක් සහ ඩිමොක්‍රැටික් 1ක් වශයෙන්. 13. මේ විදිහට හැම ජනපදයක්ම තමාගේ විශේෂ නියෝජිතයන් තෝර ගත්තට පස්සෙ, ඒ නියෝජිතයන් 538 දෙනා ජනාධිපති අපේක්‍ෂකයන් වෙනුවෙන් තමාගේ ඡන්දය පාවිච්චි කරන්න ඕනෙ. යම් කිසි අපේක්‍ෂකයෙක් ඡන්ද 270 ක් හෝ වැඩි ගණනක් ගත්තොත් ඔහු (හෝ ඇය​) ජනාධිපති ලෙස තේරී පත්වෙනවා. 14. කාටවත් 270 ගන්න බැරි වුනොත් ජනාධිපතිවරයා තේරීමේ වගකීම කොංග්‍රස් එකට පැවරෙනවා. එතකොට කොංග්‍රස් නියෝජිතයෝ 538 දෙනා ඡන්දය පාවිච්චි කරල ජනාධිපතිවරයාව තෝරනවා. 15. සාමාන්‍යයෙන් යම්කිසි පක්‍ෂයකින් තේරී පත්වන විශේෂ නියෝජිතයන් ඡන්දය දෙන්නේ ඒ පක්‍ෂයේ අපේක්‍ෂකයාට​. නමුත් එහෙම දෙන්නම ඕනෙ කියල ව්‍යවස්ථාවේ නෑ. නියෝජිතයාට ඕනෙ නම් වෙන කෙනෙක්ට දෙන්නත් පුළුවන්. උදාහරණයකට රිපබ්ලිකන් පක්‍ෂයෙන් තෝරල එවන නොයෝජිතයෙක්ට ඩිමොක්‍රැටික් අපේක්‍ෂකයට ඡන්දෙ දෙන්නත් පුළුවන්. එහෙම වුන අවස්ථා අතීතයේ තියෙනවා. උදාහරණයකට 2000 වසරේ ඩිමොක්‍රැටික් පක්‍ෂයේ නියෝජිතයෙක් වුන බාබරා සිමන්ස් ඡන්දය දීමෙන් වැලකී සිටියා. 16. මේ නිසා ප්‍රධාන පක්‍ෂ තමාගේ ලැයිස්තුවේ ඉන්න නියෝජිතයන් ගෙන් මැතිවරණයට කලින් ප්‍රතිඥාවක් ලබා ගන්නවා තමාගේ පක්‍ෂයේ අපේක්‍ෂකයටම ඡන්දය දෙන බවට​. ඒ වගේම මේ වැඩේ සඳහා තෝරා ගන්නෙ පට්ටම ෂුවර් සෙට් එකක්. 17. ජනපද 29ක් මේ වැඩේට එරෙහිව නීති පනවලා තියෙනවා. අනිත් ජනපද 21 ඊට එරෙහිව කිසිම නීතිමය තහනමක් දාල නෑ. නීති පණවපු ජනපද 29 දිත්, අදාල නියෝජිතයට දඬුවමක් දීම ඇරුනම​, ඔහු ඡන්දය දෙන ආකාරය වලක්වන්න බෑ. 18. මේ ක්‍රමය නිසා සමහර වෙලාවට ජනාධිපති ලෙස තේරී පත්වෙන කෙනාට වඩා පරාජිතයට මහජන ඡන්ද වැඩිපුර ලැබී තියෙනව වෙන්න පුළුවන්. උදාහරණයකට 2000 ජනාධිපති වරණයේදී ජයග්‍රාහක ජෝජ් බුෂ්ට වඩා පරාජිත ඇල් ගෝර් මහජන ඡන්ද 543,895 ක් ගත්තා. නමුත් බුෂ් නියෝජිත ඡන්ද 271 ගද්දි ගෝර් ගත්තෙ 266. ඒ නිසා ජනාධිපති වුනේ බුෂ්. ෆ්ලොරිඩා ප්‍රාන්තය බුෂ් දිනන්නෙ වැඩි ඡන්ද 537 වගේ සුළු ගානකින් (ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සම්පූර්න ඡන්ද ගාන ලක්‍ෂ 6 කට අධිකයි). නමුත් "winner takes all" ක්‍රමය නිසා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විශේෂ නියෝජිතයන් 25 දෙනාම පත්වෙන්නෙ බුෂ් ගෙ අය​. ඒ නිසා බුෂ් ජනාධිපති වෙනවා. 19. ඉතිහාසයේ වැඩිම මහජන ඡන්ද ප්‍රතිශතයක් ගත්ත අපේක්‍ෂකයා ඩිමොක්‍රැටික් පක්‍ෂයේ ලින්ඩන් බී. ජොන්සන්. ඒ 61.05% ක්. 1964 දි. 20. ඉතිහාසයේ වැඩිම විශේෂ නියෝජිත ඡන්ද ප්‍රතිශතයක් ගත්ත අපේක්‍ෂකයා ඩිමොක්‍රැටික් පක්‍ෂයේ ෆ්‍රෑන්ක්ලින් ඩී. රූසවෙල්ට්. ඔහු 1936 දී නියෝජිත ඡන්ද 531 කින් 523 ක් ම ලබා ගත්ත​. ඔහුට අහිමි වුනේ මේන් සහ වර්මොන්ට් ප්‍රාන්ත දෙක පමණයි

සසර සැරි සරන පාදඩයාගේ මුහුනු පොතෙන් මෙම කොටස උපුටා ගන්න ලදි ප්‍රාන්ත බෙදී ගිය අයුරු




තොටිල්ල පදවන අත අමෙරිකාව පාලනය කරන්නට තිබුණු ස්වර්ණමය අවස්ථාවක් ඉතා අවාසනාවන්ත ලෙස ගිලිහී ඇත. එසේ වතුදු ජීවන මංතලේ සත් වන දශකයේ පසු වන ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් ව්‍යාපාරික සිටාණෝ අතට අමෙරිකා පාලන යෝධ සුක්කානම ලැබීම වෙනුවෙන් අප ද මෙසේ සුභාසිංසන පළ කරමි.

to be continued...................



Friday, November 4, 2016

බිනර මහට පැල් ගැහෙමුද අපි නෑනෙ











නිකිණි’ ඉඩෝරෙන් ‘හේබාවී ගිය’ (මැලවී ගිය) ගහ වැල පරළු වී ඇති පොළෝතලයට ‘වට’, වැහිකේඳිල්ලෙන් ඉසිරී යන නැවුම් පුසුඹේ දැවටී, යළි නව දළු-කොළ-මල් ලා නව ප්‍රාණයක් ලබනුයේ, ‘බිණර’ මහේදීය.

බිණර, බිඞර හෝ බිනර මහ වූ කලී, චන්ද්‍ර මාස් රටාවේ සයවැනි මාසය වන අතර, වත්මන් මාස් වියමනේ නවවැන්නට යෙදෙන ‘සැප්තැම්බර්’ මාසය වන්නේමැයි.
අපේ ගොවි ඇත්තන්ගේ සිත් සතන් ප්‍රබුද්ධ කැරෙන “මාස්කන්න” හෙවත් ඊසානදිග මෝසම් වර්ෂාව සමාරම්භ වෙන, “පිඩදඩහස” නමින් වූ මෝසම් සමයට මුලපුරන්නේ මෙම ‘බිනර’ මාසයේදීයි. බිණර මසින් පටන් ගන්නා ඊසාන මෝසම් වර්ෂාව වියළි කලාපයට මාස හතරක් පුරාවට පලදරනු ඇති. එනිසා ම ගැමියෝ ඊට ‘වැහි හාරමාසය’ යැයි නම් කරති.

’බිනර’ මහ තිඹිරිගෙයිනි, ‘සරත් සමය’ බිහිවනුයේ. ගොවි ගෙත්තමට අනුගත ව බිනර, බිණර හෙවත් බිඞර’ යැයි මේ මාසයට නම පටබැඳී ඇත්තේ, ගොවීන් ‘මහකන්නට’ නමෝවිත්තියෙන්ම සිය වගා කුඹුරුවල ‘බිංනැඟුම’ (පළමු සී සෑම) හෝ බිංඇරවීම හෙවත් ‘මඟුල් හීය’ ආරම්භ කරන නිසාවෙනි. ‘බිංඇර – ‘බිනර වූ සේ ය.

එතැන් පටන් කොට, කුඹුරු පුරාවට සවන් වැකෙණුයේ, උද්දාමයෙන් ඉපිලෙන ගොවීන්ගේ ‘ඕසේ’ නැතහොත්, අඬහැරයේ ගීදැහැනයි. එම ගී අලංකාරී කිරීම වෙනුවෙන් වෙල් මැඩියන් තනු රටාවට සත්සර ගෙත්තම සපයන අතර තුර, ඊට මුහුකරනු වස්, නඟුලේ හී වැල ඉපණැල්ල පෙරළාහඬ ජලතරංග වාදනයක් සේය.
එම වාද්‍ය භ්‍රංදයට අවනතව ගොවියෝ උදාන අඬහැරය අපූරුවට ගයති. ඒ සියලු ම වාදන – ගායනයනට අනුරූප ව අම්බරුවන් අඩි මාරුකරනුයේ, සිව්පා රංගනයෙනි.

මේ අසිරිය වරුපෙතට (වගාබිමට) කැන්දන් ඒමට ‘බිනර මහ’ පෙරගමන් කරු වෙයි. එසේ ම මේ මාසය, භාරහාර අස්වනු උත්පාදනයේ මූලික අඩිතාලම ද වනු ඇති. මෙසේ වූ ‘බිනර මහ’ ගහවැල ද ආයිත්තම් කැරුමට සමති. ඇරත් සතාසීපාවාගේ ආහාර පාන නිෂ්පාදනයට බිනර වැසි ඉවහලි.
එපමණක් ද නැත. උක්ත මාසයට මල්වරවන සුපුෂ්පිතයෝද බෙහෙවි. ‘බිඞර මල්’ හෙවත් ගින්නේරිය මල් ලන්ද කසාවතින් කළඑළි කරයි. ඇරත් ‘බිඞර’නමින් වූ දියබෙරලිය දියනිල්ලේ යාන්වෙමින් වැව් අමුණු මල්යහන් බවට පත් කරනුයේ ද මේ බිණර – මහේදීය.

සරත් සෘතුවේ මුවදොර ලෙස සැලැකිය හැකි ‘බිනර මහ’ යෞවන, යෞවනියන්ගේ ‘ලීල ගෙඩි’ (ප්‍රේමාන්විත හදවත්) හංකිති කවන සරාගික සමය කැයි ද පැවසේ. එහෙයින්ම දෝ මේ මාසයේ නාඹර පදමේ රහමිහිරට ඔවුන් ආසක්ත වනුයේ.

එසේ ම නිකිණි මාසය පුරා, අහස මත සක්මන් කළේ පුළුන් පොදක් බඳුවූ සැහැල්ලු වළාවන් ය. එහෙත් බිණර මාසය ලබත් ම “බිනර කළු” වලින් (වැසිවළාවන්ගෙන්) අහස් කුස ආවරණය වන්නේම ය.
ගෝණ, මුව හා සා දෙනුන් ගැබ්ගන්නා සමය ද මෙය වෙයි. ඇරත්, දූවිල්ලට වපුරන ලද කුරහන් ඇට ‘ඇස්පෙන්නේද’ (පැලවීමට මුල් ඇතිවන්නේද) ඉරිතළා තිබූ වැව් තාවලු නිල්ලඹනුයේ ද බිනර මහේ වැස්සෙනි.

මේ අයුරින් සිරිදුව කැන්දන ‘බිනර මහේ’, අපේ ගමේ බිමේ නාඹර පදමින් ඔපවැටුණු තරුණයෙකු ගේ මුව‘ගින් මෙවන් ඇරියුම් සීපදයක් මිමිණෙන බව අපූරුවක් නොවෙයිනෙ.

’බිනර’ ‘ඕසයෙන්’ සලිතව වැටමාණේ
’බිඞර’ මලක් පිපුණද නුඹගේ මූණේ
’බිනර කළු’ කපා පායන හඳපානේ
’බිණර’ මහට පැල් ගැහෙමුද අපි නෑනේ


මේ සීපදයෙන් දිගෙලිවෙන ආලවන්ත ආරාධනයෙන් ගම්‍යමාන වෙනුයේ ‘බිනර මහ’ තාරුණ්‍ය හදවත් පෙම්පවසින් මෝදුවන බව ය.
එනයින් ම අපේ ගැමි නාඹරියන් බහුතරයක් ම සැදීපැහැදී සිටින්නේ, තම ‘නළලේ කෙටූ’ ඉරණම් ගමනට අතවනමින් නාඹරයාගේ කැදැල්ලට යාවෙන්නට ය.

ඇරත් නාඹරයෝ ද ‘බිනර’ මලක් බඳු කෝමළ වූ නාඹරියන් සිය පපු කැමැත්ත සොරාගත් නිසාවෙන් ම, නවදැලි හේනේ ඉදිකළ පැල්පත නමැති සුරවිමනට කැන්දන් ඒමට ‘බිනර’ මහම තෝරා ගත්හ. බිනර කළු අහස පුරා වියන් බැඳෙද්දී, දෙවැටේ පීදෙන ‘බිඞරමලින්’ (කහපාට වූ ගිනිහිරියමලින්) නැගෙන කාන්තියේ රන්වනින් සැරසුණු සුකුමාල ‘බිනරියෝ’ (කන්‍යාවෝ) බිණර සමයට (සරත් සෘතුවට) ‘හාති’ දෙමින් (චුම්බන පුදමින්) තම හඳුන්පතේ සඳුන් රුකක්වන් ආලවන්ත තරුණයාගේ සුරවිමනට වැඩම කරති.

මේ අනුව බිඞර, බිණර හෙවත් බිනර මහ ගැමි ගොවි සිත්සතන් පුබුදු කරන අතර, ගැමි නාඹු, නෑඹියන් ගේ ස්වාර්ථයන් ද සාධනය කැරෙන, එමෙන් ම සොබා සොඳුරු බවින් පූරීත මාසයක් ම වන්නේ ය.


Thursday, November 3, 2016

අමරදේව ශූරින් වෙනුවෙන් අතීත මතකයක් = තුන් සරණේ නාදාවලියෙන් බිහිවුණු සුභාවිත ගීතය සිරිපා පියුමේ









මිනිස් කටහඬත් මධුර නාද ආකෘතියත් වඩාත් සාහිත්යික ගුණයෙන් පෝෂිත ගීත ප‍්‍රබන්ධයක් සමඟ එක් වීමෙන් “මෙලඩි” යනුවෙන් හැඳින්වෙන ජනකාන්ත සංගීත අංශය බිහි වෙයි.

එය සාහිත්‍ය සංගීත සංයෝගයේ අග‍්‍ර ඵලය බවට පත් වන බවත් හුදෙක් එය ජනපි‍්‍රය ගීතය නොව සුභාවිත හෙවත් සම්භාව්‍ය ගීතය බවත්මේ නිමැවුම පිළිබඳ ව පෙර කී සංලාපයෙහි දී අමරදේවයන් පැවැසූ බවත් සඳහන් කළ මනා ය.

”කඳු බෑවුමේ ගල් තලාවක අපි දෙදෙනා තනි වීමු. මම ගීතය ලියූ කරදාසිය අමරදේවට දුනිමි. ඔහු නිශ්ශබ්ද ව එය කියවන්නට විය. ඔහු එය කියවා අවසන් කරන තුරු මම ද ඉදිරියෙන් ඇති වෙල් යාය දෙසත් ඊට එපිටින් ඇති නිල්වන් කඳුවැටිය දෙසත් නිහඬ ව බලා සිටියෙමි.
මද වේලාවකට පසු අමරදේව සර්පිනාව වාදනය කරමින් ගීතයට තනුව යෙදීමට පටන් ගත්තේ ය. ඔහුගේ අදහස අනුව ඇතැම් ගීත පදයක දිග අඩු වැඩි කිරීමට මම කැමැති වීමි. මගේ අදහස අනුව ඇතැම් ගීත පදයක තනුව වෙනස් කිරීමට ඔහු ද කැමැති විය.

සමනොළ වන අඩවියෙහි ගිරි ගුහාවෙක වෙසෙමින් වලා ඇතුරුණු අපමණ අහස ද, වන ගිරි නදී සහිත ස්වභාව ලෝකය ද දුටු නූතන තෙරවරයකු පහළ කළ විරාග උදානයක් බඳු ගීතයෙකි මේ. අප ගේ රසික ජීවිතය ඇරැඹුණු ඒ නව යෞවනයෙහි සිට මේ මොහොත දක්වා ම, අපූර්ව ශ‍්‍රවණ රමණීය අත්දැකීමක් වී, නිබඳ හද තුළ රාව අනුරාව පවත්වන ගී නිමැවුමෙකි මේ.
භක්ති ශාන්ත රස සමායුත ස්වරයෙන් අමරදේවයන් ගයන මේ ගීතය, ගන තුරු පිරිවරින් හෙබි උස් කඳු මඬුලු ඇසුරෙහි රැවු දෙනු මට ඇසෙයි. සැඳෑ මන්දාලෝකයෙහි, මීදුම් දුහුලු ඇතුරුණු කඳු කොපුල් ඇසුරෙහි නදී, තැනි බිම්, වෙල් එළි මුළුල්ලේ පැතිරි නිශ්ශබ්දතාවෙහි එහි ම ස්වර වරප‍්‍රසාදයක් සේ මේ ගීතය පිළිරැවු නැඟෙනු වරෙක හැඟෙයි.

ලුණුවරණ ගස් පෙළින් රම්‍ය වූ වනයෙහි ඇතුන් ගේ නාදයෙන් මිහිරි වූ පර්වත ඇසුරු කොට විසූ මහා කාශ්‍යප උතුමාණන් ගේ ස්වරය මහගම සේකර කිවිඳුන් ගේ මේ ගී නිමැවුමෙහි මට ඇසෙයි. “බුද්ධාදි මහර්ෂීන් ගමන් කළ මඟෙහි යන, සිවුර සහිත මම, වැසි කල අලුත් වැසි දියෙන් කවර දා තෙමෙම් දැ”යි ඇසූ තාලපුට තෙරුන් ගේ උදානය මේ ගීතය කෙරෙන් සිහියට නැඟේ.
මෙලොව පිළිබඳ සියලු බැඳීම් කෙරෙන් වෙන් ව මහ වනගතෙහි ද, පර්වත ගුහාවන්හි ද වෙසෙමින් ස්වකීය උදානය පහළ කළ මහ තෙරවරුන් ගේ විරාගික කවි මඟ මනා කොට දැන හැදිනි ප‍්‍රමුඛ කිවිවරයා මේ පැබැදුම කෙරෙන් අපට හමු වෙයි.

තනු නිර්මාණ කාර්යයේ දී සංගීතඥයාට අවනත වූ, ඔහු නිමවන ස්වර රචනයේ අධිකාරයට නතු වූ ප‍්‍රබන්ධකයා මෙමඟින් අපට හමු නො වේ. සංගීතඥයා ද, ගායකයා ද, ප‍්‍රබන්ධකයා ද මෙහි දී එක ම භාව ගීතයක කොටස්කරුවෝ වෙති. රන්සළු චිත‍්‍රපටයේ තේමා ගීතය ලෙස මෙන් ම, ශාන්ත රස පූරිත සෞන්දර්ය ප‍්‍රකාශනයක් ලෙස ද නම් කළ හැකි මේ ගීතය සේකර – අමරදේව දෙදෙන ගේ අනුකූලතා පූර්වක සංයෝගයෙන් බිහි විණි.
ගල් කුළින් හා නිල් තුරුලියෙන්සැදි අඹේපුස්සට නුදුරු ගමෙක, එක් කඳු බෑවුමෙක, සියල්ල මහත් නිශ්චලත්වයෙක පැවැතුණු මොහොතක මේ ගීතයට තනුව නිමැවීමේ කාර්යය ඇරැඹිණි. සේකර කිවිඳු ඒ අවස්ථාව මෙසේ සටහන් කෙළේ ය.

”කඳු බෑවුමේ ගල් තලාවක අපි දෙදෙනා තනි වීමු. මම ගීතය ලියූ කරදාසිය අමරදේවට දුනිමි. ඔහු නිශ්ශබ්ද ව එය කියවන්නට විය. ඔහු එය කියවා

ගීතයට තනුව යොදා අවසන් කොට සර්පිනාව වාදනය කරමින් අමරදේව එය ගායනා කරන්නට විය. එය ගීත රචකයා, සංගීතඥයා හා ගායකයා යන තිදෙන ඒකාත්මික වන දුර්ලභ අවස්ථාවක් විය. අවසන් කරන තුරු මම ද ඉදිරියෙන් ඇති වෙල් යාය දෙසත්, ඊට එපිටින් ඇති නිල්වන් කඳුවැටිය දෙසත් නිහඬ ව බලා සිටියෙමි. මද වේලාවකට පසු අමරදේව සර්පිනාව වාදනය කරමින් ගීතයට තනුව යෙදීමට පටන් ගත්තේ ය. ඔහුගේ අදහස අනුව ඇතැම් ගීත පදයක දිග අඩු වැඩි කිරීමට මම කැමැති වීමි. මගේ අදහස අනුව ඇතැම් ගීත පදයක තනුව වෙනස් කිරීමට ඔහු ද කැමැති විය.



(මහගම සේකර ගේ ගීත, 6 – 7 පිටු)
අමරදේවයන් මේ ගීතය පිළිබඳ ව වරක් අප හා කළ හෙළිදරව්වෙක දී ගෙන හැර දැක්වූ කරුණුවලින් බිඳක්මෙහි උපුටා දැක්වීම මැනැවැ යි හැඟේ.
”සේකර ගෙ ගී පැබැඳුම මැනැවින් ඇසුරු කොට අවසන මගේ අතැඟිලි සර්පිනාවේ සර පුවරු මත දිව යන්නට වුණා. ක්‍ෂණයෙන් ගීතයේ වස්තු විෂයයට අනුව සිතට නැඟුණා ‘බුද්ධං සරණේ සිරස දරාගෙන...’ යනුවෙන් කියැවෙන තුන්සරණේ නාද ආකෘතිය. තමන් ඇසූ පිරූ දේ ආකස්මික ව සුදුසු අවස්ථාවේ සිතට ප‍්‍රවේශ වීම ජන්මාන්තර කෘත පුණ්‍ය වාසනා යනුවෙන් හඳුන්වනව. ඒ මොහොතේ තුන්සරණේ නාද ආකෘතිය සිතට පිවිසීම, ‘සිරිපා පියුමේ’ ගීතයේ තනුවේ උපතට බලපෑවා.”



සිරිපා පියුමේ
රොන් සුනු තැවරී
ගිමන් නිවන පවන් හමා ඒ
නිවී පහන් වී ළය සැනැහේනිවන් පුරට මඟ පානා
සමනොළ රන් කොත මුදුනේ
බැන්ද වියන් සේ
අරුණු වලා රන් සළු පැටලේ
සිත කිමිදේ ලොව්තුරු සුවදේ
කෙලෙස් මලින් මිද
සිත සුවපත් වී
පාවී යයි නිසංසලේ
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ
වලා අතුළ කඳු වැටි අතරේ





මෙබඳු අවස්ථාවක සිදු වූයේ එතෙක් තමා ඇසූ පිරූ යම්තාක් දේ අනුකූල ලෙස නිමැවුමට එක්වීම යැයි අමරදේවයෝ කීහ. නිසර්ග සිද්ධ ප‍්‍රතිභා යනුවෙන් හැඳින්වෙන්නේ මේ ශක්තිය ය. අමරදේවයන් කළ පැහැදිලි කිරීමට අනුව මෙයින් වසර තුන් සිය ගණනකටත් පෙරාතුව තුන් සරණය පැබැඳූ තාඹුගල කවියාට මේ නිසර්ග සිද්ධ ප‍්‍රතිභාව (නිසග සිදු පිළිබන්) තිබිණි.
එහි නාද ආකෘතිය කවුරුන් විසින් කරන ලද ද? අවුකන පිළිමය, සමාධි පිළිමය කළෝ කවරහු ද? අපි නො දනිමු. එසේ වුව ජාතියේ අධ්‍යාත්ම ලක්‍ෂණ ඒවා කෙරෙන් ප‍්‍රකට වන බව අමරදේවයෝ කියති.

තුන් සරණේ නාද ආකෘතිය ඉක්මවා, එහි ඒකාකාර ස්වර සංගති ඉක්මවා මේ ගීතය කෙරෙන් පෙහොසත් සංගීත සම්ප‍්‍රදායයෙක ඇසුර ප‍්‍රකට වෙයි. ඒ වූ කලි නිරායාසයෙන් ගීතයට බලපෑ කාෆි රාගයේ ලක්‍ෂණ යි.
”කාෆි හෙවත් කරහරපි‍්‍රය රාගයෙන්, උත්තර භාරතීය සංගීතයට ලැබුණු පර්සියන් ආභාසය හෙළිවෙනව. ඒ නිසා ම මේ රාගයේ රසය අධික යි. එහි ස්වර සංගත උචිත ලෙස මේ ගී තනුවට ප‍්‍රවේශ වුණා.” යි පැවසූ අමරදේවයන් සිය ගැඹුරු මියුරු පිරිසුදු ස්වරයෙන් සිරිපා පියුමේ ගීතයේ වන කාෆි රාගයේ ලක්‍ෂණ වටහා දුන් අයුරු මෙහි දී සිහිපත් වෙයි.

ගීත ප‍්‍රබන්ධය පිණිස තව දුරටත් සාහිත්යික වගකීමකින් යුතු ව ප‍්‍රයත්න දරනු කැමැති යම් නවකයකු මේ රචනයෙහි වන සුකුමාරත්වය හා ප‍්‍රසාද ගුණය ඇල්මෙන් වටහා ගත යුතු ය. සුකුමාරත්වය යනු දීර්ඝ සමාස පදවලින් හා කඨෝර ශබ්දවලින් තොර ව වෙන් වෙන් ව පද යෙදීමෙන් හට ගැනෙන මාධුර්යය යි.
අමරදේවයන් ගේ අසමාන ගායන ලාලිත්‍යය හා සම ව මෙකී මාධුර්ය ගුණය චිත්ත සමාධියක් උපදවයි. බාධා විරහිත ව, පිරිසුදු ව, පැහැදිලි ව වැහැහී යන අර්ථය, එනම් ප‍්‍රසාද ගුණය මධුර ගායන ලීලාව හා සමඟි ව පෙර කී සමාධිය තීව‍්‍ර කරයි.



’සිරිපා පියුමේ

රොන් සුනු තැවරී’

’සමණොල රන් කොත මුදුනේ
බැන්ද වියන් සේ
අරුණු වලා රන් සළු පැටලේ
සිත කිමිදේ...’
’සිත සුවපත් වී
පාවී යයි නිසංසලේ
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ
වලා අතුළ කඳු වැටි අතරේ’


යනාදි අපූර්ව ගීතෝක්ති සේකරයන් ගේ අද්විතීය නිබන්ධන මාධුර්යයට දෙස් දෙයි.
වඩාත් පැහැදිලි කරන්නේ නම් නියමිත කාල සීමාවකට අනුව තාල වාද්‍ය භාණ්ඩයෙකින් නැවත නැවත කැරෙන තාල සලකුණු කිරීමක් නොමැති බව ගීතයේ සංකල්පනය සමඟ අප බඳවා සන්සුන් කිරීමට සමත් වේ. (“සඳකත් පිනි දිය දියවී ගලනා” නම් ගීතය ද මෙහිලා සිහි කළ මනා ය.)තව ද මේ ගීතයෙහි ප‍්‍රමුඛ ලකුණක් සේ පෙනෙන තාලමුක්ත භාවය, තාලනයෙන් හෙවත් ආඝාතයෙන් තොර වීම එහි අනුභූතිය කෙරෙහි වැඩි අවධානය යොමු කර වීමට මහෝපකාරී වී ඇත.

සේකර කවියා බුද්ධාභිවාදනයක් කිරීමට දැරූ ප‍්‍රයත්නයක් මෙහි නැත. දැඩි භක්තිවාදී ආකල්පයක් වෙත අප ඇද ගැනීමක් ද මෙහි නො දැක්ක හැකි ය.
බෞද්ධ සාහිත්‍යයේ දක්නා ලැබෙන සම්මත වර්ණන කෙරෙන් ගත් වාංමාලාවක් ද මෙහි නො වේ. පාණ්ඩිත්‍යයෙන් නිදහස් වූ, කලින් ලත් දැනුම නමැති ක්ෂේත‍්‍රයෙන් බැහැර වූ සිතක් මෙහි හඳුනා ගත හැකි ය. සත්‍යය, යථාර්ථය, ඊශ්වරත්වය වෙත උගත්කමේ වදන් මඟින් ළඟා වනු නො හැකි ය.


‘නිවන් පුරට මඟ පානා...

සමනොළ රන් කොත මුදුනේ...’

’පාවී යයි නිසංසලේ...
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ...’#

වැනි ගීතෝක්ති මඟින් කවියා ‘අචින්ත්‍ය තත්ත්වය’ ස්පර්ශ කිරීම සඳහා දැරූ ප‍්‍රයත්නය ගම්‍ය වේ.

ඇමෙරිකාව බලා යන අහස් යානය උස් කඳු මුදුන් මතින් පියාසර කරන කල එහි සිටි සේකර කවියා පුළුන් සේ ඇතුරුණු වලාකුළු දකී. එයින් ඇති වූ නිකෙලෙස් හැඟුම මේ ගීතයේ ‘කෙලෙස් මලින් මිදී’ යනුවෙන් ගැයෙන වදන්වලට මුල් විය. අනතුරු ව මීදුමින් වැසී ගිය කඳු වැටි අතරින් බදුල්ලට යන අතර දුම්රියේ දීත්, මද අඳුරු සැඳෑවෙහි ඇල්ල තානායමෙහි සිට ඈත මිටියාවත දෙස බලා සිටිය දීත් ‘සිරිපා පියුමේ’ ඉතිරි අඩ ලියා හමාර කිරීමට අප කවියාට හැකි විය.

මිනිස් කටහඬත් මධුර නාද ආකෘතියත් වඩාත් සාහිත්යික ගුණයෙන් පෝෂිත ගීත ප‍්‍රබන්ධයක් සමඟ එක් වීමෙන් “මෙලඩි” යනුවෙන් හැඳින්වෙන ජනකාන්ත සංගීත අංශය බිහි වෙයි. එය සාහිත්‍ය සංගීත සංයෝගයේ අග‍්‍ර ඵලය බවට පත් වන බවත්, හුදෙක් එය ජනපි‍්‍රය ගීතය නොව සුභාවිත හෙවත් සම්භාව්‍ය ගීතය බවත්, මේ නිමැවුම පිළිබඳව පෙර කී සංලාපයෙහි දී අමරදේවයන් පැවැසූ බවත් සඳහන් කළ මනා ය.


නන්දන වීරසිංහ








Top

සාමය උදාවන ගාසා තීරය

  යුද්ධය  යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...

Popular