Thursday, February 13, 2020

ඔක්සිජන්.රු: බිලියන එක හමාරක් පමණ අපි පරිසරයට ණයගැති



සොබාදහමට ණය ගෙවන්නයි.
මිනිසාගේ ප්‍රධානතම අවශ්යතා විදිහට සලකන්නේ ජලය නිවාස සහ ඇඳුම් වේ. ඇත්තටම මේ තුනද අපේ ප්‍රධාන අවශ්යතාවයන් ජලය නැතිව දින දෙක තුනක් ඉන්න පුලූවන්. නිවාස නැතිව මුළු දිවියම ගෙවන අය ඉන්නවා. ඇඳුම් නැතිව ජීවත් වන කොටස්ද ඉන්නවා. හුස්ම ගන්නේ නැතිව කාටද ඉන්න පුලූවන්. එහෙනම් මෙතන අංක එක විය යුත්තේ ඔක්ෂිජන් වායුව කියලයි මම හිතන්නේ.
අපිට ඔක්ෂිජන් ලැබෙන්නේ ගස් වැල් වල සිදු වන ප්‍රරභාසංස්ලේෂන කයාවලියෙන්. ප්‍රරභාසංස්ලේෂනය සිදු කරන්නට ගහකොල තිබිය යුතු වෙනවා. යම් හේතුවක් නිසා ගහ කොළ අපේ ලෝකයෙන් තුරන් වේ නම් අපිට ඔක්ෂිජන් සපයන්නට ඇති එකම මාර්ගය වැසී යනවා. මේ අනුව අපිට හුස්ම ගන්නට ඇති වාතය නැතිවී යනවා. දැන් තවත් ව්යසනයකට අපිට මුහුණ දෙන්නට වෙනවා. ඒ තමයි ජලය. අපි මුළින් කිව්වා වාගේ ජලය අපේ මූලික අවශ්යතාවයක්. මොකද හුස්ම ගත්තට මදි දැන් ජලය අවශ්ය වෙනවා. ජලය අපිට ලැබෙන්නේ ගොඩබිම පිරිසිදු ජලය තියෙනකම් විතරයි. මේ ජලය පවතින්නේත් ගස් කොලන් මිහිපිට තියෙන තුරාවට පමණයි. ගහකොළ නැති තැන දියසීරා නොමැත. මේ අනුව දෙවැනි අවශයතාවයත් සපුරාලිය හැකි වන්නේ ගහකොළ ඇති තාක් පමණයි.
අපි මේ අවශ්යතාවලට යම් මිළක් නියම කලොත් අපිට ගහකොළ අපිට ලබා දෙන ජලය සහ ඔක්ෂිජන් ගැන මීට වඩා සිත්නට හැකි වන බව අපි සිතනවා. මුළින්ම බලමු ජලය ගැන.
සාමාන්ය එක් පුද්ගලයෙක් දවසකට බීමට සහ වෙනත් ඕනෑ එපාකම් සදහා දවසකට ලීටර් 10ක් භාවිතා කලහොත්. ඒ සදහා ලීටරයකට රුපියල් 100 බැගින් දවසකට රුපියල් 1000 විතර වෙනවා. මේ අනුව වසර 60ක් ජීවත් වන කෙනෙක් තම ජීවත කාලයේදී ජලය සදහා රුපියල් 21900000 ක මුදලක් වැය කරනවා. ඒත් තවමත් අපි මේ තරම් මුදලක් වැය කරන බව අපිට නොතේරෙන්නේ ජලය අවශ්ය තරම් ඇති නිසාය. යම් දවසක ඉල්ලූමට වඩා සැපයුම අඩු වන විට මේ මිළ ගනණ් ඔබට ගෙවීමට වනු ඇත.
ජලය සේම ඔක්ෂිජන් වායුවටද මිළක් නියම කල හැකිය. ඒ දැනටමත් සමහර අවස්ථා වලදී ඔක්ෂිජන් මිළට ගන්නට සිදු වන නිසාය. අපි ඔක්ෂිජන් වල දැනට පවත්නා මිළට අනුව අපි ආශ්වාස කරන ඔක්ෂිජන් වලටත් මිළ ගණන් සොයා බලමු. ටිකක් විහිළුවක් වගේ වුනත් මේ සංඛ්යාව ඔබගේ දෙනෙත් විවර කරන්නට සමත් බව නම් කිව යුතුය.
දිනකට අපිට අවශ්ය වෙනවා ඔක්සිජන් ලීටර් 550 ක්.
ඔක්සිජන් ලීටර් 10 ටැංකියක් රුපියල් 1300/= වෙනවා.
එතකොට දවසකට එක් පුද්ගලයෙකුට අවශ්යයි රුපියල් 71,500/=ක් වටිනා ඔක්සිජන් ප්රමාණයක්.
අවුරුද්දක් සඳහා වියදම බැලුවොත් රු. 71,500 ඞ 365 = රු. 26ල097ල500/= ඔබ අවුරුදු 60ක් ජීවත් වෙනව කියල හිතමුකො.
71,500 x 365 x 60 = රු. 1,565,850,000
රුපියල් බිලියන 1 හමාරක්. හිතා ගන්න පුලූවන්ද අපි පරිසරයට කොපමණ ණය ගැතිද කියලා වතුරට වගේ කී ගුණයක් අපි ඔක්ෂිජන් වලට ගෙවන්නට වෙනවාද? මේ ගණනයන් යතාර්ථයක් නොවන්නට පුලූවන්. ඒත් අපි මේ නොමිළයේ හුස්ම ගන්නේ අපේ මුතුන් මිත්තන් විසින් රෝපනය කල ගස්වැල් වලින් නිදහස් කරන ඔක්ෂිජන් නිසා බව හිතන්නට දැන් කාලය එළඹ ඇත. අපි මේ ජීව්තය තුල ආශ්වාසකරන ඔක්ෂිජන් ප්රමාණය වාතයට නැවත මුදා හරින්නට නම් අපි ජීවිත කාලය තුන හොඳීන් වැඩුණු ගස් 8 ක්වත් රැුක බලා ගත යුතුය. ඔබ එසේ කලහොත් ඔබ ඔබේ මව්බිමට ණය බේරුවා වැනිය. ගස් කැපීම ගැන මෙහිදී කතා කිරීම අවශ්ය නැත. ඔබ දැන් එහි ඇති ආදීනව දන්නා නිසාය.

Sunday, February 2, 2020

කොරෝනා වෛරසය ආසාදිත බවට සැක මතුකර සතියක් ඇතුළත රෝගීන් 71ක් IDH රෝහලට


කොරෝනා වෛරසය ආසාදිත බවට සැක මතුකර ජාතික බෝවන රෝග විද්‍යායතනයට සතියක් ඇතුලත රෝගීන් 71 ක් ඇතුළත් කර ඇති අතර, ප්‍රතිකාර සේවාවන් සදහා අවශ්‍ය ඖෂධ ඇතුලු සියලු අවශ්‍යතා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී තිබේ.
රෝහලේ බාහිර රෝගී අංශය ඇතුලු සියළු අංශවලින් ප්‍රතිකාර සේවාවන් සාමාන්‍ය පරිදි සිදුවන බවත්, සියළු සෞඛ්‍ය කර්ය මණ්ඩල කැපවීමෙන් සේවා සපයන බවත්, ජනතාව නොමග යවන සුළු අසත්‍ය ප්‍රචාර පළ නොකරන ලෙස මාධ්‍යයෙන් ඉල්ලා සිටින බවත් රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.
නව කොරෝනා වෛසරය ආසාදිත සහ ආසාදිත බවට සැකකරන රෝගීන් වැඩිම ප්‍රමාණයක් දැනට ප්‍රතිකාර ගනු ලබන්නේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙනි. වසර 200 පමණ ඉතිහාසයක් ඇති එම රෝහල වාට්ටු 10 කින් සමන්විත වේ. හදිසි ප්‍රතිකාර ඒකකයක්, වෛද්‍ය සායන, එක්ස් රේ ඒකක වලින් ද යුක්ත මෙම රෝහල මගින් සිදුකරන කොරෝනා රෝගී ප්‍රතිකාර සේවාවන් හි වර්තමාන තත්ත්වය පිළිබද එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා කරුණු දක්වමින් මෙම අදහස් පළ කරන ලදි.
එම කරුණු දැක්වීම පහත පරිදි වේ.
“නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කර මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයට මේ සතිය ඇතුලත රෝගීන් 71 ක් පමණ ඇතුලත් කර තිබෙනවා. එම පිරිසෙන් වෛරසය සැබැවින්ම ආසාදනය වී ඇති බවට කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය විසින් එක් අයෙකු පමණයි සහතික කර තිබෙන්නේ. එම කාන්තාවගේ රෝගී තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව විශේෂඥ වෛද්‍යවරු පවසනවා. දෙපාර්තමේන්තුවක් විදිහට එය අප ලබපු ජයග්‍රහණයක්. මෙම සැකකටයුතු රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සිදු කරන “A” කළණ ඒකකයේ රෝගීන් 09 ක් ප්‍රතිකාර ලබනවා. වෛරසය වැළැදී ඇති බවට තහවුරු කළ චීන ජාතික කාන්තාවත් සමග ශ්‍රි ලාංකිකයින් 05 ක් සහ අනෙක් අය විදෙස් ජාතිකයින් වනවා.”
“රෝහලේ බාහිර රෝගී අංශය ඇතුලු අනෙක් සියලු අංශ සායන, නේවාසික වාට්ටු ඇතුලුව සාමාන්‍ය ආකාරයට ක්‍රියාත්මක වනවා. විවිධ තොරතුරු මාධ්‍ය මගින් ප්‍රචාරය වීම නිසා බාහිර රෝගී අංශයේ රෝගීන්ගේ සහ නේවාසික රෝගීන්ගේ ඇතුලත්වීමේ යම් අඩුවක් දක්නට ලැබෙනවා. එසේ වුවත්, වාට්ටු නේවාසික රෝගීන්ට, බාහිර රෝගීන්ට, සායන සදහා විවෘතව තිබෙනවා. අද දවසෙත් බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර සේවාවන් සදහා රෝගීන් සහභාගි වෙලා තිබෙනවා. විශේෂඥ වෛද්‍ය කාර්ය මණ්ඩල ඇතුලු වෛද්‍ය, හෙද, පරිපුරක හා අතුරු වෛද්‍ය, කණිෂ්ඨ කාර්ය මණ්ඩල, ගිවිසුම්ගත සේවා සපයන ආරක්ෂක සේවය ඇතුළත්ව සියළු කාර්ය මණ්ඩල වෙනදාටත් වඩා උනන්දුවෙන් සහ කැපවීමෙන් යුතුව මේ අවස්ථාවේ රට වෙනුවෙන් සේවය කරනවා. කණිෂ්ඨ කාර්ය මණ්ඩල විසින් සිදු කරනු ලබන සේවාව ද අප ඇගයීමට ලක් කළ යුතුයි. කිසිදු දීමනාවක් බලාපොරොත්තු නොවී ඔවුන් වෙනදාටත් වඩා කැපවීමෙන් හා උනන්දුවෙන් සිය රාජකාරී කටයුතු සිදු කරනු ලබනවා.”
“මාධ්‍ය ඇතුලු සියළු දෙනාගෙන් මම ඉල්ලීමක් කරනවා පසුගිය දිනවල නොයෙක් අසත්‍ය ප්‍රචාර පතුරුවා තිබුනා. මෙවැනි රොගීන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල රැකබලා ගත්තේ අද ඊයේ සිට නොවෙයි. මෙම රෝහල වසර 200 ක පමණ ඉතිහාසයක් තිබෙන රෝහලක්. ඉතිහාසය පුරාම මෙවැනි උවදුරු රටට පැමිණියාම මෙවැනි සෞඛ්‍ය පහසුකම් නොතිබුන කාලයකත් ඉතාම කැපවීමෙන් රොගීන් රැකබලා ගත්තා. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට රෝගීන් ප්‍රතිකාර සේවාවන් සදහා අවශ්‍ය සියලු දේ ඖෂධ, ආරක්ෂිත ඇදුම්, උපකරණ, අපට ලබාදී තිබෙනවා. කිසිම අඩුපාඩුවක් නැහැ. කාර්ය මණ්ඩලයේ කැපවීමේ කිසිම අඩුපාඩුවක් නැහැ. ජනතාව නොමග යවන සුළු අසත්‍ය ප්‍රචාර සිදු නොකරන ලෙස අප ඉල්ලා සිටිනවා. රජයේ තොරතුරු ලබාගත හැකි ප්‍රභවයන් වලින් පමණක් තොරතුරු ලබාගන්න. මෙම කාර්ය මණ්ඩල මේ වෙලාවේ ධෛර්යමත් කළේ නැත්නම් මේ සේවාවල් පවත්වාගෙන යෑමට අසීරු වෙන්න පුළුවන්. කාර්ය මණ්ඩලවල විවිධ ගැටළු මධ්‍යයේ මෙම සේවාවන් කරනවා. ඔවුන්ගේ දරුවන්ට පාසල්වලට යනකොට විවිධාකාරයේ ප්‍රතිචාරයන් සමාජය දක්වනවා. මේ සියලු උපේක්ෂා සහගතව දරා ගනිමින් මෙම සේවා අප විසින් සිදු කරනු ලබනවා


අරුණ පුවත්පත

ලංගමට දිනකට රු/කෝටියක පාඩුවක් ටිකට් නිකුත් නොකිරීමෙන්

ශ්‍රී ලංගම බස් රථයක ටිකට්පත් ලබා නොදීමේ සිද්ධියක් ඇත්නම් වහා 0117555555 අංකයට කෝල් කරන්න


ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථවල ප‍්‍රවේශපත් නිකුත් නොකර මුදල් අය කිරීම නිසා දිනකට රුපියල් කෝටියකට ආසන්න මුදලක් මණ්ඩලයට අහිමි වෙතැයි එහි සභාපති නීතිඥ කිස්ංලි රණවක මහතා අද (2) පැවසීය.
සාමාන්‍යයෙන් දිනකට රුපියල් ලක්ෂයකට වඩා මුදලක් මෙසේ වංචා වෙතැයි ගණන්  බලා ඇති බවත් ඒ අනුව ඩිපෝ 109 ක් කෝටියකට ආසන්න මුදලක් අහිමි වන මණ්ඩලයට අහිමි වන බවත් රණවක මහතා කීය.
ටිකට් පත් ලබා නොදීමෙන් සිදුකරන මෙම වංචාවට තවත් නිලධාරින් පිරිසකගේ සහය ලැබී ඇතැයි පැවසූ සභාපතිවරයා මෙම වංචාව වළක්වාලීමේ ඉක්මන් ක‍්‍රියාමාර්ග සැකසූ බව ද කියා සිටියේය.
ටිකට් පරික්ෂකවරුන්ගේ සේවාවට අමතරව තම අධීක්ෂණය යටතේ විශේෂ වැටලීම් ඒකකයක් ආරම්භ කරන බවත් මෙම වංචාව මැඩලීමට මගී ජනතාවගේ සහය බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.
ඉදිරියේ දී මෙම ඒකකය විසින් තැන තැන වැටලීම් සිදුකිරීමට නියමිත යැයි ද ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංගම බස් රථයක ටිකට්පත් ලබා නොදීමේ සිද්ධියක් ඇත්නම් වහා 0117555555 අංකය අමතා ඒ බව දැනුම් දෙන්නැයි හෙතෙම මගී ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.

ප්ලාස්ටික් වෙනුවට පුවක් පට්ටෙන් කෑම පිගන්,පෙට්ටි


ඔන්න තවත් contact එකක්
පුවක් කොලපතේ බත් කන්න කැමති ක😃වුද

පිටරට ප්ලාස්ටික් වලින් ලංකාව පුරවනවට විසඳුමක් දුන්නු වීර ලාංකිකයෝ....
👇👇👇
"මම #Nadeeka_Karannammunige. අපේ රටේ පුවක් ඕනතරං තියෙනව. අපි පුවක් කොළ වලින් නැවත පාවිච්චි කරන්න පුලුවන් කෑම පෙට්ටියකුයි Plates වර්ග 5කුයි හදනව.
මේව වියලි කෑමත් එක්ක මාස 6ක් වුනත් හොඳට තියෙනව. තෙත කෑමත් එක්ක සෝද සෝද පාවිච්චි කලොත් මාස 2ක් නැවුම් විදියට තියෙනව.

මේ වැඩෙන් මිනිස්සුන්ට රස්සා ලැබෙනව. නව වෙළඳපලක් නිර්මාණය වෙනව.
වැදගත්ම දේ පිළිකාකාරී ප්ලාස්ටික් පොලිතින් වලින් පරිසරේ රැකෙනව. අනාගත පරපුරේ සෞඛ්‍ය රැකෙනව."

පරිසර හිතකාමී විදියට කෑම කන්න කැමති අය මේව ගන්න ඕනනං කෝල් කරන්න  0777 724072
අපේ ව්‍යාපාරයේ නම eco product company. තියෙන්නෙ ඇඹිලිපිටියෙ.

We make biodegradable lunch boxes, lunch plates and dishes from arecanut leaf. This is original “made in Sri Lanka” product.
If you appreciate eco friendly dining please call us for orders at 0094 777 724072
This will stay fresh up to 6months with dry food.
With wet food will stay fresh for two months.

Thursday, October 4, 2018

තාල වර්ගයට අයත් මල ගෙවල්


මළ ගෙයක් ගැන කොල්ලෙක් කියපු ආතල් කතාව

මල ගෙවල් යනු ඝර්ම කලාපීය රටවල් වල හැදෙන තාල වර්ගයේ ගෙවල් විශේෂයකි.. ඒවා තාල වර්ගයට අයත් වන්නේ එම ගෙවල් වල වැඩ එක එක තාලයට සිදු වන බැවිනි...

මල ගෙයි බිත්ති අතර ඇති වර්ග අඩි ගණන අනුව සහ ගෙදර එකාගේ රස්සාව අනුව ගේ ඇතුලේ එකාට සිදු වී ඇති දෙයද එකිනෙකට ඉඳුරාම වෙනස්ය... ගෙදර එකා මැති ඇමති මට්ටමේ නම් ඇතුලේ එකා අභාවප්ප්‍රාප්ත වී ඇත... ගෙදර එකා ප්‍රින්සිපල් වගේ සීන් එකක් නං සිදු වී ඇත්තේ කාල යාත්‍රා කිරීමක් හෙවත් කලුරිය කිරීමකි.. ගෙදර එකා ක්ලාක් කෙනෙක් නං ඌ මියගොස් ඇති අතර ගෙදර එකා ඩ්‍රයිවර් කෙනෙක් නං එහෙම මැරිලාය.. ගෙදර එකා හංදියේ බීගෙන නටන රස්තියාදු කාරයෙක් නං ඌ කූරියා ගහලාය..

කෙසේ වුවද මලගෙවල් අතරින් වඩාත්ම චමත්කාර ජනකම මල ගෙවල් විශේෂය වන්නේ වයස අවුරුදු අසූව පැනපු ආච්චී කෙනෙකු හෝ සීයා කෙනෙකු මිය ගිය අවස්තාවක් වටා ගොඩනැගී ඇති මල ගෙවල්ය.. මල් ශාලා කරුවාගේ සිට කුරා කුහුඹුවා දක්වා සකල ජනවාසීන්ම ප්‍රීතියෙන් ඇලලී යාම මෙම මල් ගෙවල් වලදී සිදුවේ... අසූව පැනපු ආච්චි කෙනෙකුගේ මරනයෙන් වේදනාවක් ලබන පාර්ශවයන් ද සොයාගැනීම උගහට වුවද කලාතුරකින් එබඳු අයවලුන්ද හමු වේ... එබඳු උන් කවරෙක්හුදැයි පවසන්නේ නම් අත්තම්මාගේ හෝ සීයාගේ පෙන්ශන් එකෙන් ගානක් කොටාගෙන ජීවත් වූ මුණුබුරු මිණිබිරියන් හෝ එම මවගේ පෙන්ශන් එකෙන් සූරාගෙන කමින් අනිත් සහෝදරයන්ගේ විරුද්දතා මැද දිවි ගෙවූ අතිජාත පුත්‍ර රත්නයන් සහ දුහිතෲ වරුන්ය.. මෙබඳු කඩප්පුලියන් කීප වර්ගයකට හැරෙන්නට අන් අයට අතිශය මහලු අය මියගිය විට එය ලොකු වේදනාවක් නොවේ...

ආච්චී මියගිය එකේ වැඩිම ප්‍රතිලාබ භුක්ති විඳින්නේ මුනුබුරු මිනිබිරියන්ය... මුනුබුරාට 18 පැනලා නං ආයෙ ඉතිං කතා කරලා වැඩක් නැත.. අඩෝ සජියගේ ආච්චි මැරිලා යන මැසේජ් එක අප්‍රිකාවේ මහා වනාන්තර වල පැතිරී යන ලැවුගින්නටත් වඩා වේගයෙන් කොල්ලන් සෙට් එක අතර පැතිරී ගොස් ඒකලා උඩින් ගොඩ බිමින් මුහුදෙන් ආදී සෑම මාර්ගයකින්ම මඩ් ගාඩ් ගලවපු පුට් සයිකලයේ සිට හොනට් එක දක්වා පරාසයක විහිදී යන බයිසිකල් වලින් මලගෙදරට සම්ප්‍රාප්ත වේ.. සජියාට නංගි කෙනෙකු සිටී නම් තත්වය මීට වඩා වෙනස්ය.. එසේ වූ කල්හි මලගේ ආරංචි උන ගමන් එකෙක් සැලුන් එකට දුවයි.. අනිකා බයිසිකලේ හෝදාගෙන එන්නට යයි.. නාලා කියලා කට්ටිය පැය හය හතකින් මලගේ පැත්තට සේන්දු වෙනකොට සෙට් එකක් මිදුලේ කොනක අන්තර්ජාතික ඔලිම්පික් කැරම් සූරතාවයට පුහුනු වීම් කටයුතු වල නියැලෙන අතර තවත් පිරිසක් බුලත් නිසා සවුක්යයට සිදු වන හානිය වැලැක්වීමේ පරම පිවිතුරු චේතනාවෙන් නොමිලේ ලැබෙන බුලත් වට්ටිය ඉක්මනින් ඉවර කරනු වස් වඳුරන් කොල කන්නා සේ කාගෙන කාගෙන යනු දැකිය හැක..

ගේ ඇතුලේ සජියාගේ අම්මා සහ පුංචි අම්මා හරි හරියට අඬති... ඒ සජියගේ ආච්චී මල දුකට නොවේ... සජියාගේ පුංචි අම්මා ඉගෙනගත්තේ නැති හිංදා සජියාගේ සීයා තමන්ගේ පෙන්ශන් එකෙන් කොටසක් පුංචි අම්මාට හරවා තිබූ අතර සීයා මියගිය පසුද එය ආච්චී හරහා සජියාගේ පුංචිඅම්මාට මාස් පතා ලැබීම ඇයගේ බියුටි සැලුන් ගාස්තුවට රුකුලක් වීමත් හෙට සිට එම පෙන්ශන් එක නැති වීම පුංචි අම්මාගේ ලය පැලී යන්නට තරං ශෝකයක් වූ නිසා පුංචි අම්මා අඬන අතර ඇය එම වේදනාව දරාගත නොහී සජියාගේ අම්මා අමතා 
" අම්ම මගේ ලඟ හිටියා නං මෙහෙම වෙන්නේ නෑ "
කියපු එකට සජියාගේ අම්මා පොලවෙ හැපී වැලපෙයි...
ඒ මේ වැලපුම් අතර සජියාගේ නංගි ඇහි බැම දෙකත් පොල් අතු දෙකක් වගේ වෙන්නට හනි හනිකට සකසාගෙන නේචර් සීක්‍රට් පේසල් වොස් එකෙං මූන එහෙම හෝදලා රෝස් පවුඩර් තට්ටුවක් මූනේ උලාගෙන සුදු ඇඳුමකුත් ඇඳගෙන විජ විජහට ලෑස්ති වෙයි.. ඒ වෙන මොකවත් නිසා නොව මලගෙදරට එන එවුංගේ අවදානය මිනියට යොමු උනහොත් ඔවුන්ට දුක හිතී වැලපෙන නිසා ඔවුන්ගේ අවදානය තමන් වෙතට යොමු කරගෙන එම දුක තුනී කරන්නටය... සජියාගේ අම්මාගේ ඔපිස් එකෙන් එවලා මිදුලේ අඹ ගස් දෙකේ ගැටගසා ඇති තඩි පෑස් ලයිට් දෙකේ එලියට සජියාගේ නංගි නිකං චතුරිකා පීරිස් වගේ කොල්ලන් සෙට් එකට පෙනේ.. සජියාගේ අම්මාගේ වැලපීම ටික වේලාවකින් නතර වුවද පුංචි අම්මාගේ වැලපිල්ල දිගටම පවතින අතර මල ගෙදරට එන කවුරු හරි ලොකු බිස්කට් පෙට්ටියක් හෝ සන්ක්වික් බෝතල් දෙකක් විතර ගෙනත් සජියාගේ අම්මාට දෙන විට පුංචම්මගේ වැලපිල්ල මර ලතෝනියක් බවට පත් වේ.. එ වැනි අවස්තා වලදී

" අනේ අම්ම මගෙ ලඟ හිටියානං මේවා මෙහෙම වෙන්නේ නෑනේ " 
කියා වැලපෙන පුංචම්මා දකින ජනතාව හිතන්නේ අනේ අම්මට වැඩියෙන්ම ආදරේ පොඩි දුව වෙන්න ඇති නේද කියාය...

එක වරම මිදුලට හැරෙන පාරේ තඩි ඩබල් කැබ් එකක් නවත්තනු දකින සජියා මල් වැටට මුවා වී යාලුවන් සමග උරමින් සිටි පිල්ටර් කොටය විසි කර ගෙට දුව ගොස් අම්මාට කනට කර කියන දෙය කුමක් වුවත් අම්මාගේ ස්වරූපය සම්පූර්නයෙන් වෙනස් කරන්නට එම කියන දෙය සමත්ය... විජ විජහට කාමරයට පනින ඇය ලිප්ස්ටික් පාරක් උලාගෙන නැවත මිනිය අසලට පැන දොරකඩට කුරුමානං අල්ලාගෙන සිටී... බඩ තඩි බොසා විස්කෝතු පෙට්ටියත් රැගෙන ගෙට එනවාත් සමගම සජියාගේ තාත්තා ආයිබොවන් පාරක් දාන අතරම සජියාගේ අම්මා මංත්‍රී දේවියගේ වැලපිල්ල අරඹයි..

" අනේ අම්මේ සාමාන්යාදීකාරිතුමා ආවා නැගිටින්ඩකෝ.... කාගේවත් මලගෙවල් වල යන්නේ නැති මෙතුමා අම්මව බලන්ඩ ඇවිල්ලා නැගිටින්ඩකෝ අනේ " කියා පොඩි සීන් එකක් දෙයි..
සජියාගේ තාත්තාගේ කොම්පැනියේ යාලුවන් මල ගෙදරට එන්න කලින් දුක තුනී කරගනු වස් තුන් හතර දෙනා ගේට්ටුවට නුදුරේ වාහන වල ඩිකිය ඇරගෙන අඩියක් ගහන අතර උංගේ ඇමතුමෙන් එතෙන්ට පැන පිනට ශොට් එකක් ගහගැනීමේ බාග්යය සජියාගේ තත්තාට හිමි වේ... රෑ එකොලහ දොලහ පමන වන විට මෙබඳු මිතුරන් පස් හය ගොල්ලක් පැමිනීම කරන කොට ගෙන සජියාගේ පියා සහ මියගිය අත්තම්මා අතර දරුනු තරගයක් ඇති වේ... ඒ මල ගෙදර මිනිය වීමේ තරගයයි ... එන එවුංට සජියාගේ පියා මිනිය නොවන බව තේරුම් ගැනීමට හැකි එකම සාදකය පොර වැනි වැනී හෝ හිටගෙන සිටීමයි... මේ සීන් අතරේ සමනල් හැඟුමන් අතරේ සින්දුවට නටන කෙල්ලෝ රෑන සිහිපත් කරවන සජියාගේ නංගි සහ ඒ ලෙවල් පංතියේ කෙල්ලන් හෙවත් මැරුන ආච්චීට අනුව නම් කෙල්ලගේ යාලු තේඋඩිච්චි ටික නෙස් කැපේ බාර නිලදාරීනී තනතුරු හොබවයි.. ඔවුන් ට්‍රේ එකේ නෙස්කැපේ කෝප්ප ටිකක් තියාගෙන තමන් ශ්‍රීලංකන් ගුවන් සේවිකාවකැයි යන මානසිකත්වයක් උද්දීපනය කරගෙන ගැම්මට යනු දකින කැරම් ක්‍රීඩකයන් අමන්දානන්දයට පත් වේ...

"නංගි අපටත් දෙන්නකෝ " යැයි පවසා නංගිව ලඟට ගෙන්නා ගන්නා ඔවුහු හෙට උදේට මලබද්දය හැදී මියගියත් කමක් නෑ මේ නංගිගෙ අතින් කෝපි බීලා... යන චේතනාව පෙරදැරි කරගෙන සිය දොලොස් වැනි හෝ පහලොස් වැනි කෝපි කෝප්ප හිස් කරයි... මල ගෙවල් වල බිස්කට් අල්ලන එකියන් කැරම් ක්‍රීඩකයන් සිටින ඉසවුව මගහැර යන්නේ එම ක්‍රීඩකයන් සිය ජයග්‍රහනයට අවශ්ය බලය ජවය ශක්තිය ආදී සියල්ල බිස්කට් වලින්ම ලබා ගැනීමට උත්සහ කරන නිසාය.. මහපටැඟිල්ලේ තුඩේ සහ දබරැඟිල්ලේ තුඩත් අතර දුරට අසු වන තරමක් බිස්කට් එක උඩ එක ගැසූ කනුවක් අරං කන ගමං නංගි වේපස් නැත්ද කියලා අහන ක්‍රීඩකයන් දකින යමෙකුට හිතෙන්නේ වේපස් කෙසේ වෙතට් මුන් තව දවසක් දෙකක් මෙහේ හිටියොත් එහෙම ගෙදර එවුන්ට පොලවේපස් කෑමට සිදු වන බවකි... මෙම අකටයුත්ත දරාගත හැකි සීමාව ඉක්මවා යන අවස්තාවේදී සජියාගේ මාමා කෙනෙකු පැමින...

"පුතාලා බඩ්ඩිංගක් කමුද " අසත්ම තරුණයන් කැරම් බෝඩ් එකත් උඩ විසි වෙලා පොට් වෙලා හිටපු රෙඩාවත් ආපහු වලෙන් එලියට විසි වෙන තරම් වේගයකින් නැගිටින්නේ, " පුතාලා ඕං ඩයිනෝසරයෙක් එනවා පන බේරං දුවන්ඩලා" කියලා පනිවිඩයක් ලැබුන කලෙක මෙනි...

කන්ඩ තියෙන්නේ එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයටත් වඩා වියවස්තා සම්මත කරගෙන මහා සබා වාර පිහිටුවාගෙන ගමේ ප්‍රිසිපල් විසින් මුලසුන හොබවබ මරණාධාර හෙවත් හැමදාම හෙන ගාස්තු එකතු කරමින් මිනිස්සුන්ට මරණයට ආදාර කරන සී ඩ්‍රැගන්ස්... ඩෙඩ් මොන්ස්ටර්ස්... බෝන් බ්‍රේකර්ස්.. වැනි මනරම් නමකින් යුතු මරණාධාර සමිතියේ පූර්ණ දායකත්වය ඇතිව සාමාජික අංකල් ලා විසින් පොලට ගොස් වෙලඳ මහතුන් හමු වී කතිකා කර එම වෙලඳ මහතුන් විසින් එදින උදයේ හෝ පෙර දින රාත්‍රියේ විශේශ ඉල්ක්ට්‍රොනික පරීක්ශන වලට ලක් කර දැල් ගෝනි නම් වූ බහලුම් වල බහා ඌරු කොටු සඳහා යැවීමට තෝරාගත්, පෙනේර සිහිගන්වන ගෝවා කොල රැගෙන විත් ඒවා වලින් සාදාගත් ගෝවා කොල මැල්ලුම... සති පොලේ ඉතා මිල අදික එලවලු වන කැකිරි .. වට්ටක්කා මාලුවය.....ඒවා සමග කන්නට එවා ඇති බත් ද එයිට දෙවෙනි නැත.... සාමන්යයෙන් මෙම බත් සමිතියෙන් උයපුවා බව නොදන්නා කෙනෙක් සජියගේ ආච්චී විරුද්ද පක්ශයේ ඇමති කෙනක් වී ගමට හිරිහැර කරමින් සිටි අයෙක් බවත් ඇය මියගිය සතුටට ගම්මුන් විසින් කිරිබත් උයා එවා ඇතැයි සිතයි... ඒ තරම් බෙරි වෙලාය... එහෙත් වැලේ වැල් නැතුව මාරි වලින් පලි ගනිමින් සිටින සජියාගේ යාලුවන්ට ඒවා ප්‍රශ්න නොවේ.... මෙසේ ඇරඹෙන කෑම නතර වෙන්නේ ඒ ගෙදර කෙනෙක් පැමින... .

"කන්ඩ කන්ඩ පුතාලා අපි ඔය පාන් රාත්තල් ටිකක් ගෙන්නන්නම්කො අනිත් අයට කන්ඩ "

කී විටය....

මල් වඩම් වලින් ශෝකය පල කිරීම නිශ්පල ක්‍රියාවක් බවත් ශෝකය පලකිරීමේ නිවැරදිම ක්‍රමය වන්නේ මල ගෙදරින් බඩ පැලෙන්නට කෑම බව ගම්යමාන කරමින් තියෙන ඒවා කාබී සබාතොමෝ සතුටින් විසිර යන අතර රෑ දොලහ පමණ පහු වන විට මලගෙදර ඉතිරි වෙන්නේ හෙටක් කියා දිනක් නොහඳුනන සජියාගේ පාප මිත්‍ර කැරම් ක්‍රීඩකයන් සහ මල ගේ කාගේදැයි වත් නොදැන යන්තං සුදු කොඩි රැලි පාලං දැක කාඩ් පැක් රැගෙන ස්වකීය බූරු කවුශල්යය ඔප්නංවාගනු වස් පැමිනෙන සිය කීර්ති කදම්බයෙන් අහල ගම් හතක බූරු මැන්ඩි ආලෝකවත් කළ වුර්තියමය බූරු ක්‍රීඩකයන්ය...

මුලින්ම හට් එකේ හරි මැද ඉතා අහිංසක ලීලාවෙන් ජෝඩු බලන .. ඕමි ගහන... පොඩි එවුනට කාඩ් කුට්ට්මෙන් මැජික් පෙන්නන ඔවුහු මද්යම රාත්‍රිය එලඹීමත් සමගම පෘතුවියේ අංසක විසිතුනහමාරේ ඇලය නිසා ටික ටික හට් එකේ කෙලවරට තල්ලු වී යයි.. සජියාගේ ආච්චී මියගිය දුකට පෘතුවිය වෙනදාටත් වඩා වේගයෙන් කරකැවී තවත් ටිකකින් ඔවුන් අල්ලපු වත්ත කෙල්වරටම විසිවී එහි සිට ජයටම කෑකොස්සන් ගසමින් බූරු චැම්පියන් ලීග් කුසලානයට සටන් වදී...

සජියාගේ ආච්චිගේ මරනයෙන් වාසි ගන්නට බලා සිටින්නේ මල් ශාලා කාරයා පමණක් යැයි සිතීම වැරදි බව පසක් කරමින් රාත්‍රි දොලහ පසු වන විට තවත් සංවිදානාත්මක කල්ලියක් ක්‍රියාත්මක වේ... එම කල්ලිය නම් සජියාගේ නංගි සහ නංගී යාලු වී සිටින කොල්ලා ප්‍රමුක මිතුරන් තිදෙනෙකුගෙන් සමන්විත පිරිසකි...
නිවසට මෙතෙක් රහසක්ව පවතින පෙම් පලහිලවුවේ මූල බීජය සජියාගේ අම්මාට කාන්දු කරවීමේ නියම අවස්තාව මෙය බව වටහාගන්නා මහ මොලකාරිය වන සජියාගේ නංගී දෙන පණිවිඩය අනුව උදේ ඉඳං ලෑස්ති කරගෙන සිටින සුදු කමිසයත් ඇඳගෙන කොන්ඩේ ජෙල් ගා කූරු හදලා රැවුල කපලා ලස්සන වී ම්තුරන් සමග මලගෙදරට සේන්දු වන පෙම්වතා ගෙට ගොඩ වන විටම සජියාගේ නංගි විසින්..

" අම්මේ මේ අපේ ක්ලාස් එකේ අයියා කෙනෙක්"

කියා කියත්ම මුලින් කපා හෙලන ලද නාඹ තල් කඳක් පරිද්දෙන ස්වකීය අනාගත නැන්දම්මාගේ දෙපා මුල පතබෑවී පාද යුග්මය වන්දනාමානයේ යෙදෙන මේ යවුවනයා නිකන්ම නිකන් අයියා කෙනෙකු නොවන වග සිය තරුණ කාලයේ දහ අට පාලි නටා පෝරක හතෙන් වැටී පොල්පිති හත පහු කර සිටින සජියාගේ අම්මාට වැටහුනද මේ මලගෙවල් අස්සේ ඔවාට ඔට්ටු වීම නොහොබිනා බැවින්

මේ පුතා කොහෙද...

මොනවද ඉගෙන ගන්නේ...

අම්ම තාත්තා මොකද කරන්නේ...

ආදී කොට ඇති සරල පැනයන් කීපයකින් සහ අරූ ඒකට දෙන පම්පොරි සහිත තාර බර සමග දෙන පිලිතුරු වලින් සෑහීමකට පත් වන්නට සිදු වේ... පැය බාගයක් පමණ නිවසේ රැඳෙන එම යවුවනයන් තිදෙන පිටත් වී යන විට උන් සමග පසු ගමන් යන සජියාගේ නංගිගේ දසුන හට් එකේ කැරම් ගහන භද්‍ර යවුවනයන්ගේ නේත්‍රා යුග්ම වල අනින ලද කටු පොකුරු බඳු වූ නිසා දැදුරු වන ලදුව ලෝහිත දාරා ගලන හදවත් ඇතිව ස්වකීය කැරම් ක්‍රීඩාව අතරමග නිම කර ඔවුහුද නිවෙස් වලට පිටව යති... පහුවදා සතියේ දවසක් වන නිසා මල ගෙදර හෙවත් පුෂ්ප ගෘහය පාලු ස්වරූපයක් උසුලන බැවින් නිවැසියෝද දොරවල් වසා තන්හි තන්හි වැටී නිදි දෙවු දුව වැලඳගනිති....

හොඳම ජෝගිය එන්නේ පහුවදාටය... ගමේ සුපිරිම බේබද්දන් ටික කනත්තේ වල කපන වැඩ වලට සිය රන් දෑතේ සවිය ලබාදෙන්නේ මිනී වලවල් කපන එක දිවිය සැප ලබා දෙන පුන්ය කර්මයක් වන නිසා මිසක වල කපන එවුන්ට අසීමිතව ලබාදෙන අරක්කු වලට ඇති ගිජු බව නිසා නොවේය... එහේ වැඩ එසේ යන අතර පාංසකූලයට එන හාමුදුරුවන් දෙන වර්ණනාව අනුව නම් මියගොස් ඇත්තේ සජියාගේ ආච්චී නොව සජියාගේ අම්මායැයි සිතන බොහෝ දෙනෙක් නැවත පෙට්ටිය විවුර්ත කර මිනිය බැලීමට අවශ්ය බව පවසා සිටින්නේ හරියටම ඉස්තීරවම එය දැනගැනීමටය..

" අද මේ මියගොස් සිටින උපාසිකා මාතාව ඉතාම පින්වත් දරුවන් රැසක් සමාජයට දායක කර තිබෙන බව අපි හොඳින්ම දන්නවා.. ඉන් එක දියනියක් වන මේ නිවැසි අපේ කුමාරි නෝනා මහත්මිය නිතරම අපේ පංසලට එන අපට උදවු කරන පින්වත් දායිකාවක් කියා පටන්ගන්නා උන්වහන්සේගේ පැයක දේශනාව පුරා විසිරී පැතිරී ඇත්තේ සජියාගේ අම්මා විසින් පංසලේ මකර තොරනට පනස් දාහක් දුන්න එකයි රන් වැටක් හදලා දුන්න එකයි පහන් පූජාවට දායක උන එකයි කොහෙදි දැක්කත් කාර් එකේ දාගෙන එන එකයි මෙකී නොකී කතන්දරය...උන්වහන්සේගේ දේශනයෙන් අනතුරුව සජියාගේ අම්මාගේ ඔපිස් එක වෙනුවෙන් කරන කතාවෙන් පටන්ගන්නා කතා මාලාව අවසන් වන්නේ හන්දියේ මස් කඩයේ මුදලාලි ගේ කතාව ඇතුලු කතා හතලිස් පහක් පමන අවසන් කිරීමෙන් පසුවය.. 
වල කපන තැන එවුන්ගෙන් බාගෙට බාගයක් මේ වන විටත් වල සරසන්නට ගෙනා ලී කුඩු ගොඩවල් උඩ සහ පරණ මිනී වලවල් වල පස් කඳු උඩ වැටී සිටින්නේ මිනී වලවල් කපන විට මතුවූ භූතාත්මයක පහරදීමක් නිසා මිසක පිනට ලැබුන අරක්කු බී වෙරි වෙලා නොවේය... පෙරහැර කනත්ත ලඟට එන විට ඔවුන් උස්සාගෙන ගොස් කනත්ත කෙලවරේ තැන්පත් කර වල සූදානම් කිරීමෙන් අනතුරුව ඉතිරි පිරිස එකත්පස්ව බිම බලාගෙන සිටින්නේ සජියාගේ ආච්චී මියගිය ශෝකයට මිසක් වෙරි නියාව සමාජයෙන් වසන් කිරීම සඳහා නොවේ... මුරුත කලේබරය බහාලූ පෙට්ටිය වලට බැස්ස්වීමෙන් අනතුරුව එලඹෙන්නේ පස් ගුලි වලින් පෙට්ට්යට රබන් පද ගහන්නාක් මෙන් දමා ගැසීමේ චාරිත්‍රයයි..
මේ අහු අස්සේ සජියාගේ පුංචි අම්මාගේ පොඩි සීන් එකක් වල අසබඩ තිරගත වේ....

" අනේ මට නං බැරියෝ මටත් අම්ම යන ලෝකෙටම යන්න ඕනේ .. අනේ මාවත් ඔය වලටම දාලා වහපියෝ... මට මැරෙන්න ඉඩ දීපියෝ "

කියමින් ස්විමිං පූල් එකේ උඩ සවි කරන ලද ලැල්ලේ කෙලවරේ හිටගෙන පූල් එකට පනින්නට සැරසෙන ක්‍රීඩිකාවක් මෙන් මිනී වලේ ගැට්ටේ පස් ගොඩක් මත සිටගෙන වල දෙසට බර වී පනින්න දඟලන සජියාගේ පුංචි අම්මාගේ දසුන කාගේත් නෙත් කඳුලින් තෙත් කරන අතර ඇය වලට පැන සිය ජීවිතය නැතිකරගැනීම වැලකිවීම සඳහා සැමියා ඇතුලු හැඩිදැඩි පිරිමි දෙතුන් දෙනෙකු ඇයව තරයේ අල්ලාගෙන සිටිති.. වලට පස් මිටක් දමන්නට ආ පොඩි එකෙක් ලිස්සා ගොස් සජියාගේ පුංචි අම්මාගේ ඇඟේ හැපීම නිසා පුංචි අම්මා වලට නොවැටී අනූනමයෙන් බේරුන අතර මෙතෙක් වේලා වලට පැන දිවි පුදන්නට පොර කෑ ඇය පොඩි එකාගේ කන මිරිකමින් පැවසුවේ.

"මොකද යකෝ වෙලා තියෙන්නේ .. මරන්ඩද හදන්නේ ..තව ඩිංගෙන් මං වලට වැටෙනවා හොඳ වෙලාවට දෙයියෝ බලලා බේරුනේ "

කියාය...

ධනුෂ්ක කාංචන ජයවීර..(උපුටා ගත්තකි.)



Top

සාමය උදාවන ගාසා තීරය

  යුද්ධය  යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...

Popular