Wednesday, February 15, 2017

මවු ගුණ ඔප කළ බුදු බණ




මිනිස් හෝ තිරිසන් හෝ කුමන ආත්මයක උපන්නත් මෑණියකගේ කුසයෙන් බිහිවීම ස්වාභාවික උපතක් වශයෙන් සැලකිය හැකිය. වත්මන් දියුණු යැ’යි සම්මත ලෝකයෙහි විද්‍යාත්මක මෙවලම් මගින් දරු උපත් සිදු කැරෙන බව ද අසන්නට ලැබේ. කෙසේ වුව, මවකගෙන් ලැබෙන සෙනෙහස, ආදරය, කරුණාව, වෙනත් කිසිවකුගෙන් ලැබේවි’යි සිතිය නොහැකිය. කවුරුත් අපට එරෙහි වුවද ප්‍රතික්ෂේප කළද, අප අතහැර නොගොස් , අප සුරකින එකම කාන්තාව මව පමණි. අංගුලිමාලට රටක් විරුද්ධව සිටියද මෑණියන්ට ඔහු තම ආදරණීය පුතාම විය. දරු සෙනහස නිසා, ලේන අම්මා තම වල්ගයෙන් මුහුදු ජලය හිස් කිරීමට ගත් ප්‍රයත්නයක් ගැන පුවතක් බෞද්ධ සාහිත්‍යයේ එයි. බළල් මව තම දරු පැටවුන් ආරක්‍ෂක ස්ථාන හතකට ඔසවාගෙන යන්නේ දරුවන්ගේ ආරක්ෂාව සැලසීම පිණිසයි. කකුළු මව දරුවන් බිහිවීමෙන් පසු මරණයට පත් වන්නේ දරුවන්ගේ පැවැත්ම උදෙසාය. මියගිය මවගේ සිරුර අනුභව කැරෙමින් කකුළු දරුවෝ වර්ධනය වෙති. මිනිස් හෝ තිරිසන් හෝ හැම මවක්ම දරුවන් උදෙසා තම ජීවිතය කැප කරති. අපමණ දුක් විඳිති. ‘උනහපුලුවාට උගේ දරුවා මැණිකක් වගේය’ කීවද කුමන සතකුට වුවද තම දරුවා මැණිකටත් වඩා අගනේය.

අම්මා කියන වචනය දෙසවනට අමාවක් බඳුය. එතරම් මිහිරි වදනක් තවත් නැති තරම්ය. එම වචනය තුළ සෙනහස, ආදරය, කරුණාව දයාව මේ සියල්ලක්ම අන්තර්ගතව ඇත. ආදර යේ උල්පත වූ අම්මා...’ වැනි ගී පදවැල් ලියැවෙන්නේ ඒ නිසායි. ‘මව‘ යන්නෙන් ‘මවන්නි’ යන අදහස ගම්‍ය වේ. මව,, මවන්නේ දරුවන්ය. මෙත්, මුදිතා, කරුණා, උපේක්ෂා යන සතර බඹ විහරණ ඇත්තේ මහා බ්‍රහ්මයා හැරුණ විට, මවුපියන් තුළ පමණකි. අම්මා කියන විට ඇගේ සිත දරු සෙනහසින් ඉපිල යයි. දරු සෙනෙහස නිසාම ඇගේ ලෙය කිරට හැරවේ. ඇය දරුවකු පිළිසිඳ ගත් දින සිට කලලයට අහිතකර කිසිවක් ආහාරයට නොගන්නී දරු සෙනෙහස නිසාමය. එසේම අංග විකල නොවූ රූමත් ගුණවත් නැණවත් දරුවකු ලැබේ වා’යි නිබඳවම ප්‍රාර්ථනා කරයි. දරුවන් නිසා ඇතිවන ශාරීරික වේදනා ඉවසා ගනියි. තම සිරුරෙහි පෝෂ්‍ය පදාර්ථ සියල්ලක්ම පිළිසිඳ ගත් දරුවා වෙනුවෙන් කැප කරන්නීය.

මව පිළිබ¼ඳ බුදුරජාණන් වහන්සේ නොයෙකුත් අවස්ථාවන්හී දේශනා කළහ. සිදුහත් කුමරු ඉපැදී සතියකින් මව මහාමායා දේවිය කලුරිය කළාය. දෙව් ලොව උපන් මාතෘ දිව්‍ය පුත්‍රයා හමුවට වැඩම කළ බුදු හිමියෝ දහම් දෙසූ බව ප්‍රකට කරුණකි. උන් වහන්සේ තමන් හදාවඩා ගත් සුළු මෑණියන්ට ද , මාතෘත්වයෙන් සලකා කටයුතු කළ බව සඳහන් වෙයි. මෙහෙණි සසුන පිහිටුවීමට එක් හේතුවක් කැර ගත්තේ සුළු මෑණියන්ගේ ආයාචනයයි. සුළු මෑණියන් රහත් මෙහෙණින් වශයෙන් පිරිනිවන් පෑමට යන අවස්ථාවේ ඇය සමග දෙව්රම් වෙහෙර ඉම දක්වා පසු ගමන් කළෝ, මවට දක්වන සැලකිල්ල නිසාමය.

බුදු රජාණන් වහන්සේ තරම් මවු ගුණ දේශනා කළ වෙනත් ශාස්තෘවරයකු මෙතෙක් පහළ වී නැත. ‘ජගන්මාතා’ හෙවත් මව් දෙවඟන පිදීම ඈත අතීතයේ සිට ඇතැම් ජන සමාජ වල තිබුණ ද , මාතෘත්වය පිළිබඳ මිනිස් හදවත් විනිවිද යන සේ දේශනා කළෝ බුදු හිමියන්මැ පමණකි. ‘බුද්ධෝ ඉව මාතා ..’ ‘ මව බුදුරදුන් හා සමාන වේ’ , ‘ මාතා පිතා දිසා පුබ්බා ‘ මවුපියන් පූර්ව දිසාව වේ’. මාතාපෙත්ති භරං ජන්තු ‘ ‘මවට සැලකීම සත් පුරුෂ ධර්මයකි. ‘ , ‘ මාතා පිතූ® උපට්ඨානං ‘ , මව්ට පියාට උපස්ථාන කිරීම මංගල කරුණකි. , ‘වෝ මාතරංවා පිතරංවා ..’ මවුපියන්ට නොසැලකීම පිරිහීමට කරුණකි’ , එසේම හැකියාව තිබියදී මවුපියන්ට නොසැලකීම වසල කරුකි. ‘, ‘බ්‍රහ්මාති මාතා පිතරෝ ..”” මවුපියන් මහා බ්‍රහ්මයාට සමානය’ , ‘ මාතා මිත්තං සකේ සරේ” “ අම්මා ගෙදර සිටින උසස්ම මිතුරිය වෙයි’, මෙසේ විවිධ අවස්ථාවන්හිදී මවුගුණ පෙන්වා වදාළහ. ‘ නසන්ති පුත්ත තානාය නජනා නපී බන්ධවා’ ආදි වශයෙන් මවත් දරුවන් වෙනුවෙන් හෙළන කඳුළු සාගර ජලය ද පරදවන බව පෙන්වූහ.
මව් සෙනෙහස උදාහරණයට ගනිමින් බුදු හිමියන් දම් දෙසූහ. මෙත් වැඩීම කෙලෙස කළ යුතුදැ’ යි පැහැදිල ි කැරෙන උන්වහන්සේ,

‘මාතා යථා නියං පුත්තං
ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ
ඒවම්පි සබ්බ භූතේසු
මානසම්භාව යේ අපරිමාණං ‘


යනුවෙන් යම් කිසි මවක් තම එකම පුතු ජීවිතයම නොදෙවෙනි කොටැ සුරකින්නේ කෙලෙසකටද , ඒ අයුරින් සකල සත්ත්වයාට අපමණ මෙත් සිතිවිලි පැතිර විය යුතුය. යනු එහි අරුතයි.
‘කිකීච අණ්ඩං චමරීව වාලධිං
පියංච පුත්තං නයනංව ඒකනං ‘ ජීවිත පරිත්‍යාගයෙන් බිජු රක්නා කිරල් දෙනක් මෙන්ද ජීවිත පරිත්‍යාගයෙන් වල්ගය රක්නා සෙමර මුවා මෙන්ද, ජීවිත පරිත්‍යාගයෙන් එකම පුතු රක්නා මවක් මෙන් ද සීලය රැකිය යුතු බව බුදු හිමියෝ දේශනා කළහ. සිහිය පිහිටුවා ගැනීමේ පිළිවෙත පිළිබඳ දේශනා කැරෙන බුදුරජාණන් වහන්සේ, ඒත කුම්හේ භික්ඛවේ මාතුමත්තිසු මාතු චිත්තං උපට්ඨපේථ භගිනි මත්තීසු භගිනි චිත්තං උපට්ඨපේථ...” මහණෙනි , ඔබ මව් තරමේ ස්ත්‍රියක් සමග කථා කරන්නෙහි නම් ඇය තමන්ගේ මවය’යි සිත්හි තබා ගත යුතුය. යනුවෙන් දේශනා කළහ. සසර බියකරු බව දක්වන බුදු හිමියන් ‘දිඝරත්තං වෝ භික්‍ඛවේ මාතු මරණං පච්චනුභූතං තේසංවෝ මාතුමරණං පච්චනුහොන්තානං’ (අනවතග්ග සංයුතිය) මහණෙනි, තොප විසින් දීර්ඝ කාලයක් මාතෘ මරණයෙන් වන දුක විඳින ලද්දේ ය. මාතෘ මරණ දුක විඳින තොප මනාප විප්‍රයෝගයෙන් හඬා වගුරවන ලද කඳුළු බොහෝ ය.

සතර මහා සාගරයේ ජලය ඒ කඳුළට මඳය’ යනුවෙන් දේශනා කළහ. තවද ‘අනුජානාම් භික්‍ඛවේ මාතා පිතුන්නං දාතුං’ මහණෙනි, මවුපියන්ට යමක් දීම අනුදනිමි. මවිපියෝ රජ වූවද පුත්‍ර භික්‍ෂුවගෙන් යමක් බලාපොරොත්තු වෙත්නම් දිය යුතු ය.
උපස්ථාන බලාපොරොත්තු වෙත් නම් කළ යුතු ය. දුබල මව්පියන්ට උපස්ථායකයකු නැතිනම් පන්සලෙහි නතර කැර ගෙන එය කළ යුතු ය. ස්ත්‍රී ශරීරය ස්පර්ශ කිරීම නොසුදුසු බැවින්, එසේ නොකරමින් උපස්ථාන කළ යුතු ය.

පිණ්ඩපාතය කැර හෝ මවුපියන් පෝෂණය කළ යුතු බව අනුදැන වදාළ බුදුරදුන්, එසේ නොකරන මහණහුට ඇවැත් සිදුවන බව දේශනා කළහ. කෙසේ වෙතත් මවගේ වුවද ස්ත්‍රී ශරීරය බ්‍රහ්ම චරියාවට අනතුරුදායක බව සැලකූ බුදුහිමියන්, විපතකදී වුවද ස්ත්‍රියක ස්පර්ශ කිරීම නොසුදුසු බව දැක්වූහ. ගඟකට වැටී සැඩ පහරට අසුව පාවෙනු දකින ශික්‍ෂාකාමී භික්‍ෂූව ඇගේ ශරීරය නොඅල්වයි. ඇය බේරා ගැනීමට ඔරුවක් හෝ ලී කොටයක් හෝ වෙනත් දෙයක් ළං කළ යුතු ය. එබන්දක් නැති විටක සිවුරු කොණක් හෝ ළං යුතු ය. මව සිවුරෙහි එල්ලුණු විට සිවුර අදිමියි යන හැඟීමෙන් ඇද මව බේරා ගත යුතු ය. (පාරාජිකාපාලිය) මෙවැනි ශික්‍ෂා බුදුහිමියන් පැනවූවේ කාමය, අනුරාගය මව් පදවියේ ගෞරවය වුවද වනසා දැමීමට හේතුකාරක වන බව සැලකීමෙනි. ‘අසාතමන්න ජාතකය’ වැනි කථා පුවත් අනුවැ මේ බව පැහැදිලි වෙයි. එවැනි නොමිනිස්කම් අනුවැ වර්තමානයෙහි ද ඇතැම් මව්වරු දරුවන් වනසන අයුරු ඇතැම් පුවත් අනුවැ අසන්නට ලැබේ. තමාගේ කුස තමන් විසින්ම තියුණු අවියකින් පලා, කළලය එළියට ගෙන විනාශ කැරෙන මව්වරුන් පිළිබඳව මෙකල අසන්නට ලැබෙයි. ප්‍රේතවස්තු වර්ණනාවේ එන ‘පංචපුත්තකාදක’ කථා වස්තුව මෙහිදී අපට සිහිපත් වෙයි. අද මෙන් එදාද කසළ ගොඩවලට දැමීමෙන් දරුවන් වනසන මව්වරුන් පිළිබඳ සිදුවීම් අසන්නට ලැබෙයි. බුදු හිමියන්ට පවා වෙදකම් කළ ‘ජීවක’ වෛද්‍ය වරයාගේ කථා පුවත නිදසුනකි. එසේ වුව, බුදු පදවිය වැනි උත්තරීතර පදවියක් ලැබුවේ මෑණියන්ගෙන් ලද ආශිර්වාදය නිසා බව ‘මාතුපෝසක’ කථාව මගින් බුදු හිමියෝ පෙන්වා දුන්හ.

‘මාතරී පිතරී චාපී - යෝ මිච්ඡා පටිපප්ජතී...’ යනුවෙන් ‘කථ’ සූත්‍රයේ බුදුහිමියන් වදාළේ මව සහ පියා කෙරෙහි යම් දරුවකු වැරැදි ලෙස පිළිපැද්දහොත් ඔහු හෝ ඇය කිසිම ගුණධර්මයක් නැති අයකු වන බවයි.

දරුවකු මව්පියනට උපස්ථාන කරමියි හැඟීමෙන් මව එක උරහිසකද පියා අනෙක් උරහිසෙහි ද තබා වසර සියයක කාලයක් ආහාර පාන දෙමින් උපස්ථාන කැරෙයි ද ඔහුට මවුපියන්ට ගෙවිය යුතු ණය ගෙවා නිම කළ නොහැකි බව දේශනා කැර ඇත. (අං.නිකාය) එහෙත් මවුපියන් ගුණධර්ම වලින් හීනවැ, මිථ්‍යා දෘෂ්ටි ගෙනැ සිටිත් නම්, ඔවුන් සම්‍යක්දෘෂ්ටි ගත කළහොත් පමණක් එම ණය ගෙවා නිමැ කළ හැකි බව පෙන්වූහ. අද ඇතැම් දරුවන් රාජකාරී කටයුතු නිසා මවුපියන්ට සැලකීමට වෙලාවක් නැති බවට මැසිවිලි නගති. එහෙත් ලංකා රාජ්‍යය විචාල 8 වැනි අග්බෝ රජතුමා මෑණියන්ට උවැටන් කළ අයුරු ‘මහාවංසයෙහි’ සඳහන් වෙයි. එතුමා උදෑසන මෑණියන් වැඳැ, සුවඳ පැන්වලින් නහවා, කිළිටි ඇඳුම් සියතින්මැ සෝදා, පිරිසුදු කරයි. මලින්, සුවඳින් මෑණියන්ට පූජා කරයි. චෛත්‍යයක් වටා මෙන් තුන් වරක් මෑණියන් වටා ප්‍රදක්‍ෂිණා කරයි. තමන් අතින්මැ මෑණියන්ට ආහාර කවා, ඉතිරිය තමන් අනුභව කරයි. උපස්ථාන කැරෙන සේවක සේවිකාවන්ට ද රාජ භෝජන පිරිනමයි. මෑණියන් නිදන කුටියෙහි සුවඳ ගල්වා, සුව පහසු යහනාවෙහි සතපවා, ඇගේ යටි පතුල්වල සුවඳ තෙල් ගල්වයි. ඇයට නින්ද ගිය පසු, සියලු ආරක්‍ෂාව සලසා, ඇයට පිටුපා නොගොස්, දර්ශන පථයෙන් ඈත් වන මොහොතෙහි යළිත් වතාවක් මහත් බැතියෙන් වන්දනා කැර නික්ම යයි.

මරණින් මතු අවීචියෙහි උපදනා පාප කර්ම පහක් ගැන බුදු සමයෙහි උගන්වයි. එහි පළමු වැන්න නම් මව මැරීමේ අකුසලයයි. බුදු හිමියෝ අඟුල් මල් සොයා වැඩියේ එබඳු බියකරු අකුසලයකින් ඔහු බේරා ගැනීමේ අදහසිනි. එමඟින් ද පෙන්වා වදාළෝ මවකගේ වටිනාකම යැ. මෙවැනි දහසකුත් බුදු බණ පද ඇසූ බොදුනුවන් ‘දසමාසේ උරේ කත්වා...’ වැනි ගාථා ගයමින් මවු පද පිණිපා කළෝ මවුගුණ ඔප කළ බුදු බණ නිසාමැයි. මව් වෙනුවෙන් කියැවුණ ජන කවි මෙන්මැ ජනශ්‍රෘතීන් රැසක් අපට උරුමවැ ඇත.

“වට්ටාරම බෙලිගල වැඳපන් අම්මේ
අලුත් නුවර දළදා වැඳපන් අම්මේ
කිරි වෙහෙරේ රංකොත වැඳපන් අම්මේ
බීපු කිරට පව් ඇරපන් මගෙ අම්මේ”


මෙවැනි ජනකවි දහස් ගණනක් බොදු ජන සමාජයට දායාද වූවේ බුදු දහමෙහි ආභාෂය නිසාමයැ. දරුවකුට මව් තුරුල අමා නිවන් පුරයකි. ‘මාතුපෝෂක’, ‘සෝනනන්ද’ සාමජාතකය වැනි කතා මගින් මවුපිය උපස්ථානය පිළිබඳ ලද පෙරහුරුව සුළුපටු නොවේ. සිංහල ජනකවි වඩාත් සමීප බවක් දැක්වූයේ මව කෙරෙහි ය. පියාට තැනක් නොලැබුණාම නොවේ. අම්මා නිවසට ආලෝකයක් වූවා ය. ඇය නිවසෙහි ආධිපත්‍යය පතුරු වන්නියද වේ. ඒ නිසාම ඇය නිවසෙහි මානව සහ භෞතික සම්පත් කළමනාකාරිණිය බවට පත් වූවා ය. ඒ නිසාම ඇය සමාජයේ වඩාත් කතාබහට ලක් වූවා ය. දරුවන්ගේ ප්‍රාර්ථනාව වූයේ, මගේ අම්මාට බුදු බව ලැබෙන්නට ඕන. යනුවෙනි.

බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට
අම්මා අපේ ජාතිත් මට ලැබීයන්
ගෙදර එළිය අපෙ අම්මා ඉන්න කොට
සතර අපායේ නොවැටී නිවන් දකින් අම්මා
ජාතිත් අපේ මව්පියෝ වාසනාවන්


අම්මා නැති අපට බඩගිනි වෙන්ට එපා මේ එදා ජනකවියාගේ මුවින් ගිලිහුණු කවි පද කිහිපයකි. මේවා මඟින් ගම්‍ය වන්නේ ජනකවියා මවුපිය උපස්ථානයේ උත්තරීතර බව පිළිබඳ අපූර්ව තොරතුරු උකහා ගත්තේ බුදු බණ තුළින් බවයි. දරුවන්ට පින්සිදු කැර ගැනීමට තිබෙන එක් පින් කෙතක් නම් මව්පියන් යැ. එම පින්කෙත අමතක කැර කුමන පින්කම්ද?




1 comment:

  1. වටිනා ලිපියක් අයියේ.

    ජයවේවා!!!

    ReplyDelete