Thursday, April 19, 2018

වගාවෙන් ජයගත් උපාදිධාරියා


 රජයේ රැකියා සොයමින් කල් ගත නොකර තමාගේම කියා ගොවිපළක් ආරම්භ කරමින් ජීවිතය ජය ගැනුමට වෙර වීරිය දරන අපේ කාලයේ උපාධිධාරියා උපන්නේ තංගල්ල පළතුඩුව ගමේය. ඔහුගේ මුල්ම පාසල වූයේ තංගල්ල පළතුඩුව විද්‍යාලයය. එම පාසලෙන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් ඔහු ඉන්පසුව උසස් පෙළ දක්වා ඉගෙන ගැනීමට වීරකැටිය රාජපක්ෂ මැදි විදුහලට ඇතුළත් වන ලදී. එහිදී උසස් පෙළ කෘෂි විද්‍යා විෂය ධාරාව හදාරා එහිදී පළමුවරම එම විභාගය සමත් වීමට හැකියාව ලැබූ මොහු ඉන්පසුව රුහුණු විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨයට වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඇතුළත් විය. පසුව 2002 වර්ෂයේදී කෘෂිකර්ම විශේෂවේදී උපාධියක් ලබාගෙන විශ්වවිද්‍යාල ජීවිතයෙන් සමුගත් මේ උපාධිධාරියා රජයේ රැකියාවක් ලැබෙන තුරු නිවෙසට වී නිකරුණේ කාලය ගත කළේ නැත. වැඩ වර්ජන කරන්නට පාරට බැස්සේද නැත. රජයේ රැකියාවක් ලබා ගැනීම සඳහා දේශපාලකයින් සොයා ඔවුන් පසුපස ගියේ ද නැත.

ඔහු උගත් දැනුම උපයෝගී කර ගනිමින් ස්වයං රැකියාවක් ආරම්භ කරමින් තම ජීවන ගමන්මග සැපවත් කර ගන්නට අදිටන් කර ගත්තේය. අද වන විට ඔහුගේ අධිටන මල්ඵල ගැන්වී ඇත. දැනට හතළිස් පස්වන වියේ පසුවන තංගල්ල පළතුඩුවේ පදිංචි ඔහු කේ.එච්.මහින්දය.

රජයේ රැකියා සොයමින් නිකරුණේ කාලය ගත කරමින් සිටින සියලුමදෙනාට මේ උපාධිධාරියාගේ කතාව තුළ සිතන්නට යමක් ඉතිරිව තිබේ. ඒ ඔහුගේ නොපසුබට උත්සාහය තුළ කරන ලද කැප කිරීම තුළින් ඔහු ලබා ගත් ජයග්‍රහණයයි. මේ ඔහුගේ කතාවයි.

''උපාධියක් ගත්ත නිසා රජයේ රැකියාවකටම යන්න ඕන කියලා මම කල්පනා කෙරුවෙ නැහැ. ඇත්තටම මම රජයේ රැකියා ලැබෙනතුරු බල බලා හිටියේ නෑ. විශ්වවිද්‍යාල ජීවිතයෙන් සමුගත් ගමන්ම මම මුලින්ම රැකියාවක් විදියට කළේ කුකුල් මස් තොග වශයෙන් අරගෙන ගිහිල්ලා වෙළෙඳසල්වලට බෙදා හැරීම. එහෙම ඒ කටයුතු කරගෙන යන අතරතුරේ මම විවාහ වුණා. ඉන්පස්සේ මගේ බිරිය මේ ව්‍යාපාරය කරගෙන යෑමට අකැමැති වුණා.

මගේ බිරියට පත්වීම ලැබුණේ බණ්ඩාරවෙල ප්‍රදේශයට. ඒ නිසා මටත් එයත් එක්ක ඒ පළාතේ පදිංචියට යන්න වුණා. මම බණ්ඩාර‍වෙල බෙරගල ප්‍රදේශයේ වර්ග අඩි 6000ක පමණ පොලිතීන් ගෘහ දෙකක බෙල්පෙපර් කියන මිරිස් වර්ගය හා සලාද, පිපිඤ්ඤාා වගාව සාර්ථකව අවුරුද්දක් පමණ කර ගෙන යාමට හැකිවුණා. දැඩි සුළං තත්වයක් හේතුවෙන් එක් අවස්ථාවක මට ලක්ෂ 50 කට අධික පාඩුවක් සිදුවුණා. වගා ගෘහ දෙකම සම්පූර්ණයෙන්ම විනාශයට පත්වුණා. මේ මුදල් හොයා ගත්තෙත් ඉතාමත් ම අමාරුවෙන්. ඒත් එක පාරටම මේ ඇති වූ විනාශය නිසා මම ඉතා අසරණ තත්වයකට පත්වුණා. මේ නිසා මම මාස හයක් විතර කරන්න දෙයක් නැතිව මොනවා කරනවද කියලා කල්පනා කරමින් හිටියා.

පත්තරේක දැන්වීමක් දාලා තියෙනවා දැක්කා දඹුල්ල පැත්තේ තැනක පේර පැළ විකුණන්න තියෙනවා කියලා. ඒකත් එක්කම මට හොඳ අදහසක් ආවා මම ඉගෙන ගත්ත දේත් එක්ක පේර වගාවක් තංගල්ල පැත්තෙත් කරන්න පුළුවන් කියලා. පේර වගාවෙන් අස්වැන්න මුළු අවුරුද්ද පුරාම ලබාගන්න පුළුවන්කමක් තියෙන බවත් මම දැන ගෙන හිටියා.

මගේ මවුපියන්ගේ උරුමයෙන් ලැබිච්ච අක්කරයක පමණ ඉඩමෙ තියෙන කොහොඹ ගස් ටික මගෙ අක්කගෙ පුතාට විකුණලා මට රුපියල් දෙලක්ෂ පනස් දාහක් ගන්න පුළුවන්කම ලැබුණා. ඒ කොහොඹ ගස් ටික කපපු අක්කරයෙම තමයි මම පේර පැළ ගෙනල්ලා හිටෙව්වෙ. පැළ හිටවලා මාස දෙකක් තුනක් යනකොට මල් පිපෙන්න පටන් ගත්තා. ඒක දැකලා මට ඇති වුණේ පුදුම සතුටක්. මට ඒ තුළින් ලොකු ශක්තියක් ආවා මේ වගාව ඉදිරියටම කරගෙන යන්න ඕන කියලා.

මගේ උත්සාහය නිසා නැවතත් මගේ අතමිට සරු කර ගන්න පුළුවන්කම ලැබුණා. පැළ හිටවලා මාස 5කට පමණ පසුව පේර වගාවෙන් පළමු අස්වැන්න ගන්න හැකි වුණා. ඒ අස්වැන්න කොළඹ මැනිං මාකට් එකට මුලින්ම අරන් ගියේ. පස්සෙ මම මෙහෙම අවුරුදු එකහමාරක් විතර කරගෙන යනකොට මේ පේර ගස්වල හොඳ වර්ධනයක් දුටුවා. ඊට පස්සේ මට හිතුණා මගේ ආදායම තවත් වැඩි කරගන්න මේ පේරගස් මවු ශාක විදියට තියාගෙන පැළ තවානක් ආරම්භ කරන්න ඕන කියලා.

දැන් මම මාස හයකට විතර ඉස්සෙල්ලා ඒ පැළ තවානත් ආරම්භ කෙරුවා. දැන් ඒකේ මේ වෙන කොට මව් ශාකවලින් මුල් අද්දවා සකස්කර ගත් පේර පැළ දහ දාහක විතර පැළ තවානක් තියෙනවා. දැනටමත් පැළ දාහක් විතර මම අලෙවි කරලා තියෙනවා. මේ වෙන කොට අඹ ඇට විසිපන්දාහක් පමණ පැළ තවානක් දාලා ඒ පැළ පැකට්වලට ගනිමින් පවතිනවා.

නමුත් ඊට පස්සෙ මට ආපු ලොකුම ගැටලුව තමයි මේ ගේන අඹ ඇට වල වටේ තියන පොතු සුද්ද කරන්න දන්න කියන අය මේ පළාතේ හිටියේ නැති එක. පස්සේ ගෙන ආපු අඹ ඇට ආපහු ගෙනියන්න සිද්ධ වුණා වැල්ලවාය ප්‍රදේශයට. ඒ ගෙනිහිල්ලා අඹ ඇටයක් රුපියලක මුදලකට සුද්ද කරල තමයි ආපහු මෙහාට ගෙන ආවේ. මේවා ප්‍රවාහනය කරන්න මට මගේ කියලා වාහනයක් තිබුණේ නෑ. මග යන බස් වල දමාගෙන ගිහිල්ලා තමයි මං වැඩ කෙරුවේ. දැන් මගේ මේ ගොවිපළේ කාන්තාවන් පස් දෙනකුටද රැකියා අවස්ථා ලබා දී තිබෙනවා.

මේ සඳහා රජයේ අවධානය යොමු වෙනවා නම් හොඳයි. දැනට මට තිබෙන ලොකුම ගැටලුව තමයි අඹ බද්ධය සඳහා අවශ්‍ය වන ටොම්ජේසි ප්‍රභේදයේ අනුජ (අතු රිකිලි ) ලබා ගැනීමට තැනක් නොමැති වීම. ඒ වගේම කියන්න ඕන මම මේ මුල් අද්දවා පැළ කර ඇති පේර පැළ මිලදී ගැනීම සඳහා රජය මැදිහත් වීමක් සිදුකර හෝ ක්‍රමවේදයක් සකස්කර දෙනවානම් එය අපට ලොකු ශක්තියක් වෙනවා. මගේ ඉදිරි බලාපොරොත්තුව තමයි මේ ගොවිපළ තවදුරටත් දියුණු කරගෙන ඉදිරියටම ගෙනයෑම.

අවසාන වශයෙන් මෙම කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා මට උදව් උපකාර කළ අය ගැන මතක් කරන්න ඕන. හුංගම බටඅත ගොවිපළේ බීජ සහතික කිරීමේ ස්ථාන භාර නිලධාරී ටී.පී.වීරසේකර එම ගොවිපළේ කෘෂිකර්ම උපදේශක කේ.ඒ.චමින්ද යන මහත්වරුනුත් තංගල්ල කෘෂිකර්ම උපදේශක උදේශ් මහත්මාත් ආදරෙන් සිහිපත් කරන්න ඕන.''

සටහන සහ ඡායාරූප
රෝහණ ආරියරත්න හම්බන්තොට විශේෂ