Friday, October 14, 2016

අයං වස්සාන කාලෝ






හිරිකඩ පොදැලි නළ රැළි සුව සිසිල         ගෙන
දිරි බල වඩද්දි’ මිහිලිය දෙසට                      පැන
කිරිවැද පලබරින් තුරුලිය                     පුබුදුවන
සිරිබර “වස්සමයෙ” දිනු පින බලනු            මැන

දින දින බෝධි පූජා පන්සලෙහි                   ගමේ
බණ පිරිතෙහි බෙළෙන් හද දොස අඳුර    නිමේ
පින මහිමය “කටිනයෙහි” ‘වස්’ එළඹි      සමේ
ගෙන දී සසර කෙළවර මොක් සුවඳ         හැමේ

සීතල සුළං රැල් පැන එන                 අරුණෝදේ
හේවිසි, දවුල්, හොරණෑ, රාවය                    වීදේ
සාමෙන් පිබිද හැර දා සැම මත                බේදේ
චීවර වඩම්මන පෙර හැරටම                     ඈඳේ

මොක් සුව දෙන “කඨින” දා ගම හතර දෙසින්
එක්වෙති සහය දී සැම, පන්සලට        ගොසින්
නික්මී සක්දෙවින් බණ දම් අසනු             රිසින්
සක්මන් කරයි පැන බොදු උවසුවකු     වෙසින්




මහල්ලා සහ සැඳෑව






ගේ පුරා රජයයි
නිහඬතාවය පාළුව
දුබල එළියකි කුප්පිය
සක්මන් කරයි තනිකම
ගියේ ඈ කොතැන ද
ආයෙත් එයිද කිසි දින
ගෙවී ගිය ඈ සමගින්
අතීතය විසිතුරු ද කොතරම්
බත් ඉදෙන සුවඳකි ගෙතුලේ
මිදුලේ වැලේ රෙදි කඩ
පොල් අතු හැඩේ සුදු වැලි
සවස් යාමය සුවයකි
පවුල් වී දුරබැහැරට
නික්ම ගිය දූ දරුවන්
දෙදෙනා පැලේ එක්වී
ගෙවූ දිවි සුවපත් ද කොතරම්
ඇය නැත ඇගේ සුවඳයි
සැඳෑ සුළඟේ එන්නේ
වැල් ඇඳ තනි රකී මට
කඳුළ පාළුව සමඟින්