Monday, November 14, 2016

ජීවිත ගමන





ආ මඟ කෙටිය තව යායුතු මඟ        දුරය
බැළු බැළු සියළු තැන ඇත්තේ අවහිරය
අප යන මේ ගමන මරණින් කෙළ   වරය
එය තව උපතකට සසරෙහි බිහි දොරය


දුක සැප ජය පරාජය උණු කඳුළු           සිනා
හමුවී නතර වූවත් ලොව බොහොම  දෙනා
සමබර ගතිය හඳුනන වෙර තිබෙන කෙනා
නියමිත ගමන යන්නට හුරු පුරුදු       වුණා


හිසමත තබාගෙන ඉසිලිය නොහැකි බරක්
යන්නට තිබෙන්නේ නොසිතුව තරම   දුරක්
කවදා දකිනු හැකිදැයි නොම දකිමු තෙරක්
එනමුදු ගමන යායුතුවෙයි රැගෙන    වෙරක්


තණඅග රැඳුනු පිනිබිඳු හිරු එළිය                     දැක
නැතිවන අයුරු දිවියට සම කෙරිය                  හැක
නොසිතුව නොම පැතුම සුළු මොහොතකදි එක
ජීවිත ගමන කෙළවරවෙයි ගෙනෙන                  දුක