Saturday, January 30, 2016

ලොව සීතලම ගම්මානය ඔයිමියාකොන්






දෙසැම්බර්, ජනවාරි කියන්නෙ තරමක් සීතල මාස 2 ක්. අපේ රට තරමක් උණුසුම් රටක් නිසා නත්තල් කාලයට පැමිණෙන මේ සීතලට අපි කවුරුත් කැමැතියි. ඒත් සෙන්‍ටිග්‍රේඩ් අංශක ඍණ 50 ක් (- 500c) වගේ සීත උෂ්ණත්වයක ජීවත් වෙන්න සිදුවුණොත් ඒක මොන වගේ අත්දැකීමක් වේවිද? එය දැනගන්න Oymyakon ගම්මානයට ගිහින් බලන්නට ඕනෙ.

ඔයිමියාකොන් (Oymyakon) කියන්නෙ ලෝක‍ෙය සීතලම ගම්මානය. එසේත් නැත්නම් ලොව උෂ්ණත්වය අඩුම ස්ථිර මනුෂ්‍ය වාසයක් ඇති ස්ථානය. මෙම ගම්මානයෙහි ජනගහනය 500 ක් පමණ වන අතර වාර්තා වී ඇති අඩුම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 67.7 ක් (- 67.70c) ලෙස 1993 පෙබරවාරි 6 වැනිදා සටහන් වී තිබෙනවා.
ජනවාරි මාසයේත් සාමාන්‍ය උෂ්ණත්වය - 500c පමණ සටහන් වෙනවා.



ඉන්ධන පිරවුම්හල
















ඔයිමියාකොන් වෙත ගමන් කරනවා නම්Yakutsk නගරයේ සිට දින 2 ක් පුරා ගමන් කළ යුතුයි. 300000 ක පමණ ජනගහනයක් වෙසෙන මෙම නගරය ලෝකයේ උෂ්ණත්වය අඩුම නගරයයි. (- 340c).
උතුරු සයිබීරියාවේ එනම් රුසියාවේ තමයි මෙම ඔයිමියාකොන් ගම්මානය පිහිටා තිබෙන්නේ. මුහුදු මට්ටමේ සිට මීටර් 750 ක (750m) පමණ ‍උසකින් පිහිටා තිබෙන මෙම ගම්මානයේ දිවා කාලය දෙසැම්බර් මසදී පැය 3 ක් වන අතර ජූනි මසදී පැය 21 වෙනවා.
මේ නිසා ජූනි, ජූලි හා අගෝස්තු මාස වලදී 300c ට වඩා ඉහළ උෂ්ණත්වයන් වාර්තා වූ අවස්ථා ද තිබෙනවා. ඒ කෙසේ වූවත් ඔක්තෝම්බර් මස අවසානයේ සිට මාර්තු මස වන තෙක් සෑම දිනකම උෂ්ණත්වය 00c ට අඩුයි.


ගම්වැසියෙක්...



















ශාක වර්ග වගා කිරීම ඉතා අපහසු නිසා මාංශමය ආහාර තමයි මෙම ගම්වාසීන් වැඩිපුර භාවිතා කරන්නේ. මාළු හා සත්ත්වයන්ගෙන් ලබාගත් කිරි ආහාර ලෙස භාවිතා කරනවා.
බැටරි සහිත උපාංග භාවිතා කිරීමත් ඉතා අපහසුයි. ඒ ඉතා අධික සීතල නිසා‍. ඒ නිසා සංඥා (සිග්නල්) තිබුණත් මෙම ගම්වාසීන්ට ජංගම දුරකථනය භාවිතා කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.



වැසිකිළියක්...



























ගමේ වෙසෙන සියලුම දෙනාට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාගන්න තිබෙන්නේ එ‍කම එක වෙළෙඳ සලක් පමණයි. මෙම ගම්මානයේ දක්නට ලැබෙන තවත් විශේෂත්වයක් තමයි රථවාහන නවතා තැබීම. බොහෝ දෙනා වාහනයේ එන්ජිම ක්‍රියා විරහිත නොකර වාහනය ගාල් කර තබනවා.
එසේ කර‍න්නේ පසුදින උදයේ නැවත පණ ගන්වන්න නොහැකි වේවි යන බිය නිසා. එසේ නොමැති නම් හීට‍ර් සවි කරන ලද ගරාජයක් තුළ වාහනය නවතා තබනවා. ගෘහස්ථ වැසිකිළි කිසිවක් දක්නට නොලැබීමත් විශේෂත්වයක්.
කඳු වළල්ලකින් වටවූ නිම්නයක පිහිටා ඇති මෙම ගම්මානය එම පිහිටීම නිසාම තද සුළං වලින් ආරක්ෂා වී තිබෙන අතර, ඒ නිසා ම තව තවත් උෂ්ණත්වය පහළ යාම වැළකී තිබෙනවා. ඔයිමියාකොන් නගරයේ නමෙහි අරුත තමයි (නොමිදෙන ජලය) (non freezing water). ලෝකයේ ශීතම ගම්මානයට මෙම නාමය ලැබී ඇත්තේ අසල පිහිටා ඇති උණු දිය උල්පතක් නිසායි.



උණුදිය උල්පත...



















ලියන පෑනෙහි තීන්ත මිදීම, තමා පළඳින උපැස් යුවළ මූණටම ඇලී තිබීම හා බැටරිවල ආයු කාලය ඉතා අඩු වීම මෙම ගම්වැසියන් මුහුණ දෙන දෛනික ප්‍රශ්නයි.
හදිසියේවත් මරණයක් සිදු වුවහොත් එම මළ සිරුර වළ දැමීම තමයි ඔවුන්ට ඇති ලොකුම ප්‍රශ්නය. ඉතා අධික ලෙස මිදී ඇති හිම සහ පස් හාරා වළක් සෑදීම දින 3 ක් පමණ ගතවන ඉතා සංකීර්ණ වැඩක් බවයි වාර්තා වෙන්නේ.