Wednesday, November 25, 2015

සෝක, වැළපීම්, දුක්දෝමනස් සුසුම් හෙළීම් ඇත්තේ විඳවීමට නොව අවබෝධ කිරිමට ය.


පින්බර ඉල්    පුර පසලොස්වක දිනයක් වේවා






බුදු දහමට අනුව ලෝකය දුක මත පිහිටා ඇති බව ප්‍රකාශ වෙයි. එහෙත් සෑම දහම් පදයකම හරය වන්නේ දුකින් මිදීමේ මාර්ගයයි. කිසි විටෙකත් මිනිසා දුක් විඳිමින් දුක සමඟ වාසය කොට සැපයට පිටුපා කාලය ගත කළ යුතු බවක් අනුමත නොකරයි. ලෞකික සැප හා ලෝකෝත්තර සැප වශයෙන් මානව හිමිකම් දෙකක් බුදු සමයේ නිර්දේශිතයි. කාමභෝගී ලෝකයේ පංචකාම සම්පත් ඇසුරේ ගතකරන ජීවිතය තුළින් ලබන සැප ලෞකික සැපයයි. සසර දුක වටහාගෙන ලෝක යථාර්ථය තේරුම් ගෙන සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ග හතරට හා ඵල හතරට පත්වීමෙන් ලබා ගන්නා සැප ලෝකෝත්තර සැප ලෙස හැඳින්වේ.


සමෘද්ධිමත් ගිහි ජීවිතයකින් ලබාගත හැකි සැප හතරක් පැහැදිලි කර දෙන බුදුරජාණන් වහන්සේ එමඟින් ඵලදායී මිනිසෙකු බව පත්වෙන හැටි අවධාරණය කරයි. අත්ථි සුඛය, භෝග සුඛය, අනණ සුඛය, අනවජ්ජ සුඛය වශයෙන් එම හතර දැක්වේ. තමා විසින් හරි හම්බ කරගත් ධනයක් ඇතැයි යම් පුද්ගලයෙකුට දැනෙන විට එය මානසික සුවයයි. සිතට දැනෙන්නේ පරිපූර්ණ බවකි. තමා සතු ධනය පරිභෝග කිරීමේ වාසනාව පුද්ගලයෙකු සතුව පවතීනම් ඒ සතුට භෝග සුඛයි.


තම ධනය විය පැහැදම් කොට පවත්වාගෙන යන ජීවන ප්‍රතිපදාව ප්‍රබල වූ ආත්ම තෘප්තියක් සලසයි. ලෝකයට ණය නැතිව ජීවත් වීම ද සුවයකි. ණය බරින් පෙළෙන සිත හැමවිටම අසහනයෙන් යුතුව පවතී. වර්තමාන සමාජ ක්‍රමය තුළ ණය නොවූ මිනිසුන් සොයා ගැනීම පවා දුෂ්කරය. නිවාස ණය, වාහන ණය, ඉඩම් ණය ආදී විවිධ තරාතිරම් බැඳීම්වලින් හා වාරික ගෙවීම්වලින් අණන සුඛය අහිමි වී ඇත. වැරැදිවලින් අතමිදී නිවැරැදිව ජීවත් වීම තුළින් දැනෙන සතුට අනවජ්ජ සුඛයයි.


මෙසේ ගත කරන සැපවත් ජීවිතයට වර්තමානයෙහි එල්ලවී ඇති අභියෝගය ජීවන වියදම් අධික වීම බව ප්‍රකාශ වෙයි. තරඟකාරී වාණිජ සමාජය තුළ මුදල කේන්ද්‍රකොට ගත් අර්ථ ක්‍රමයක් ගොඩනැඟී ඇත. අනුකරණවාදී සමාජයක් තුළ අනෙකා පරදවා නැඟී සිටීමේ ආකල්පය ජයගෙන ඇත. අවශ්‍යතාවයන් මැඩගෙන නැඟී සිටින්නේ ආශාවන් ය. සුඛෝපභෝගී යනුවෙන් හඳුන්වන කාමභෝගී ජීවන ක්‍රමයට හුරුවී ඇති සමාජයේ මූලික අවශ්‍යතාවයන් යටපත් කරගෙන අනවශ්‍ය බාහිර ආටෝපයන් ප්‍රමුඛව තිබේ. මඟුල, අවමඟුල ආදී සෑම අවස්ථාවක්ම උත්සව මානසිකත්වයකින් සමරනු ලබයි.
එබැවින් ජීවන වියදම අධික වෙයි. බුදු දහමේ ඉගැන්වෙන මධ්‍යම ප්‍රතිපදාව පසෙකලා කාමභෝගී ජීවන ක්‍රමයට හුරුවීම නිසා අධික වියදම් තත්ත්වයක් පැන නැඟී තිබේ.


මිනිසා දිළිඳු වීමට බෙහෙවින් බලපාන කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරා තිබේ.
“නට්ඨං න ගවේසන්ති, පිණ්ණං න පටිසංකරොන්ති
අපරිමිත පාන භෝජනා හොන්ති, දුස්සීලං ඉත්ථිං වා
පුරිසං වා ආධිපච්චේ ඨපෙන්ති”
නැතිවූ දෙය නොසෙවීම, දිරූ දෙය අලුත් නොකිරීම, ප්‍රමාණයක් නොමැතිව කෑම බීම කෙරෙහි ලොල් වීම, දුශ්ශීල ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු ප්‍රධානත්වයෙහි තැබීම... කරුණුයි.


යම්කිසි භාණ්ඩයක් හෝ ද්‍රව්‍යක් නැතිවූ කල්හි එය සෙවීම පසෙක තබා අලුතෙන් මිලට ගැනීම සමාජයේ සුලභ ලක්‍ෂණයකි. වාණිජ උපක්‍රමයක් වශයෙන් එක් එක් කාලපරිච්ඡේදවල විවිධ වෙළඳ භාණ්ඩවල හැඩරුව, මෝස්තර වෙනස් කරයි. එවිට පැරණි මෝස්තර වෙනුවට අලුත් දෙයක් මිලට ගැනීමේ අවශ්‍යතාවය පැන නඟී. ඒ නිසා නැතිවූ භාණ්ඩය සෙවීම පිණිස කාලය ගත නොකරයි. අතිරේක මුදලක් ඒ වෙනුවෙන් වැය කිරීමෙන් ධනය හානි වෙයි. රස ආහාරවලට ප්‍රමාණයට වඩා ගිජුවීමෙන් ද පවුලේ වියදම් අධික වෙයි. රස තෘෂ්ණාවෙන් වෙලී විවිධ ක්‍රමවලට පිළියෙළ කර ඇති මස් මාංශ ආදී අධික මිල ගණන් ගෙවිය යුතු රසකාරක ලූ ආහාර මිලට ගෙන කුස පුරවා ගනී. මුදල් පසුම්බිය හිස් වෙයි. රසයට ගිජුවීම නිසා කුස පුරවා ගන්නා විවිධාකාර කෑම බීම මඟින් බලාපොරොත්තු නොවූ ලෙඩ රෝගවලට මුහුණදීමට සිදුවෙයි. ඖෂධ සඳහා ද මේ අනුව අධික මුදලක් වැයකිරීමට සිදුවෙයි.
දුශ්ශීල ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු නිවසේ ප්‍රධානියෙකු වූ විට ඔවුන් තම ආර්ථිකය සුරාව සූදුව වැනි දුරාචාර සඳහා භාවිතා කරති. එමඟින් පවුලේම ආර්ථිකය බිඳ වැටෙයි. බුදුන් වහන්සේ දේශනා කළ මෙම කරුණු හතර පොහොසතා දුගියෙකු බවට පත්කරන පරිහානීය පිළිවෙතකි.
ගිහියෙකුගේ සැපවත් ජීවන ප්‍රතිපදාව උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ පිළිවෙත් හතරක් සිඟාලෝවාද සූත්‍රයේ දක්වා ඇත. එනම්,
උට්ඨාන සම්පදා
ආරක්‍ඛ සම්පදා
කළ්‍යාණ මිත්තතා
සම ජීවිකතා


අධි සුඛෝපභෝගී නමින් නූතන වෙළඳපොළ මඟින් හඳුන්වා දී ඇති මෙවලම් මිනිසා අලසයෙකු බවට පත් කර තිබේ. නිරෝගී ජීවිතයකට අත්‍යාවශ්‍ය වූ ශාරීරික ව්‍යායාම නතර වීමෙන් සුඛෝපභෝගී සමාජය ගිලන් වී යහන් ගත ;වයි.
උත්සාහය සම්පතකි. එයින් ධනය වැඩි දියුණු වෙයි. දිළිඳු නොවී පොහොසත්කම් ආරක්‍ෂා වෙයි. නැති බැරිකමින් මිදී ඇති හැකි මිනිසුන් බවට පත්වීමට බුදුහිමියන් කියා දුන් උත්සාහ සම්පත්තිය මැනවින් උපකාරි වේ.
සපයාගත් ධනය ආරක්‍ෂා කර ගැනීම අරක්‍ඛ සම්පදාවයි. ධනය රැකගත යුත්තේ සොර සතුරන්ගෙන් පමණක් නොවේ. තම සිතට සොරා තමා විසින්ම පුරුදු පුහුණු කර ගන්නා අපාය මුඛ හයක් දේශනාවෙහි සඳහන් වේ.
“සුරාමේරය මජ්ජපමාදට්ඨානුයෝගො ඛො ගහපති පුත්ත,
භෝගානං අපාය මුඛං, විකාල විසිකා චරියානුයෝගො භෝගානං
අපාය මුඛං, සමජ්ජාභිවරණං භෝගානං අපාය මුඛං
ජුතපමාදට්ඨානානුයෝ භොගානං අපාය මුඛං,
පාපමිත්තානු යෝගෝ භෝගානං අපාය මුඛං, අලස්සානුයෝගෝ
භෝගානං අපාය මුඛං”


සිඟාල නම් ගෘහපති පුත්‍රයාට දේශනා කරන ලද මෙම සූත්‍ර පාඨයෙන් අදහස් කෙරෙන්නේ මදයට (මත්වීමට) හේතුවන සුරාමේරය පානයෙහි නැවත නැවත යෙදීම වස්තු විනාශයේ හේතුවකි. නොකල්හි වීථිවල නැවත නැවත හැසිරීම වස්තු විනාශයේ හේතුවකි. ප්‍රමාදයට හේතු වූ සූදුවෙහි නැවත නැවත යෙදීම වස්තු විනාශයේ හේතුවකි.


පාප මිත්‍රයන් නැවත නැවත සේවනය කිරීම වස්තු විනාශයේ හේතුවකි. අලසකමෙහි නැවත නැවත යෙදීම වස්තු විනාශයේ හේතුවකි.
මේ අනුව තමා විසින් හරි හම්බ කරගන්නා ලද ධනයක් හෝ මව්පියන්ගේ ඇවෑමෙන් අයත් වූ ධනයක් හෝ වැඩිදියුණු කර ගැනීම වෙනුවට ඒවා සුරාවට, සූදුවට හා දුරාචාර සඳහා වැය කිරීමෙන් දුප්පතෙකු වන බව බුදු දහමේ අවධාරණය කරයි.


කැසිනෝ සූදුව වැනි සමාජශාලා බහුල ලෙස ව්‍යාප්ත වී ඇති වත්මන් සමාජය තුළ විනෝදකාමී ධනවතුන් ඉහත දැක්වූ දුසිරිත් සඳහා යොමුවන්නේ සුපිරි සමාජ පන්තියකට අත්‍යාවශ්‍ය උවමනාවන් ලෙස සලකාගෙන ය. එහෙත් සුපිරි පන්තියේ ධනවතුන් යැයි කියාගත් කූට උපක්‍රම මඟින් කෝටිපතියන් වූ ඇතැම් පුද්ගලයන් ආපසු යාචකයන් ගේ තත්ත්වයට ඇද වැටුණු හැටි පසුගිය වකවානුව තුළ දැකගැනීමට හැකි විය.


මගුල -අවමගුල - උපන්දින සාද - විවාහ සැමැරුම් දින - ආදී විවිධ තරාතිරමේ සභාශීලී අවස්ථාවන් යොදා ගෙන මත්පැන් බෝතල් හිස් කිරීමේ බේබදු සාද අද දක්නට ලැබෙන අලුත්ම සංස්කෘතියකි. මෙම අවස්ථා නිසා මත්වීමට පත් පුද්ගලයන් ඉහත කී වැදගත් සිරිත් උමතු බවින් විකෘති කරන අයුරු දක්නට ලැබේ. සෑම වැදගත් අවස්ථාවකටම මත්පැන් සම්බන්ධ කරගන්නා සමාජයක් ජීවන වියදම පහත හෙලීමට කෙසේ නම් උපකාර වෙයිද?


බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පුද්ගල පරිහානියට අදාළ සියලු කරුණු වෙළඳ ආර්ථික සමාජ ක්‍රමය තුළ ඇගැයුමට ලක්කර තිබීම වත්මන් සමාජයේ නැගී සිටීමට බාධකයකි. මාධ්‍ය සංස්කෘතිය තරඟකාරී ලෙස සමාජයට ඉදිරිපත් කරන්නේ යථාර්ථයට ප්‍රතිවිරුද්ධ මායාවන්ය. මෙම දෘෂ්ටි මායාවන්ගෙන් මත්වන රටේ අනාගත පරපුර නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඉවතට ගිය පරිභෝජන ක්‍රියාවලිය තුළ පමණක් නැවතී ඇත.


රාත්‍රී කෑම වේලට පාන්ගෙඩියක් ගෙනෙන්නට මාරු කාසි ගණන් කරන අම්මලාට, තාත්තලාට දිනපතා ජංගම දුරකථනයට රීලෝඩ් ඇතුළත් කිරීමට රුපියල් හාර පන්සීයේ වත්කම් සහිත දරුවන් සිටිති. එය ප්‍රගතියේ සලකුණක් ලෙස දැකිය නොහැක්කේ එම දරුවන් උපයන ධනය අධීක වැය ශීර්ෂයන් අරමුණු කොටම උපයන බැවිනි.


සදාතනිකව වෙනස් නොවන ධර්මතාවයන් මඟින් බුදුහිමියන් දේශනා කළ ප්‍රගතියේ මං සලකුණු නීතිගත කිරීමක් මඟින් හෝ ජාතියට හුරුකළ හැකිනම් ජීවන වියදම් අධික නොවූ සාමකාමී යහජීවනයෙන් යුතු සමාජයක් උදාකරගත හැකියි.