Monday, December 14, 2015

බෞද්ධ චිත්‍රපට රැල්ලෙන් ශ්‍රද්ධා භක්තිය විනාශ වෙනවා - රඹුකන සිද්ධාර්ථ හිමි































මේ තරම් පිරිත් අහන, බණ අහන රටක් තවත් තියෙනව ද? මේ තරම් පල්ලි, පන්සල් තියෙන 
රටක් තවත් තියෙනව ද? ඒත් පත්තරයක් අරන් බලද්දි අපිට පේන්නේ මේ තරම් මිනිමරන, මේ තරම් ස්ත්‍රී දූෂණය කරන රටක් තවත් නැති බවයි. අපි අහලා තියෙනව ද අවුරුදු තුන හතරේ ළමයි දූෂණය කරන රටක්. අවුරුදු අසූවේ, අනූවේ අම්මලා දූෂණය කරන රටක්.

පන්සලෙන් පල්ලියෙන් කෝවිලෙන් විය යුත්තේ එකක්. දේශපාලනෙන් විය යුත්තේ වෙනත් දෙයක්. ඒ දෙක එකට පෑහෙන්නේ නෑ
ඔබ වහන්සේගේ ගිහි නම මොකද්ද?
බරණිවල ලියනගේ ආනන්ද
උපන්නේ?
1950 මැයි මස 22. එදා වෙසක් පුර පසළොස්වක පෝය දවසක්.
ගම?
මාතර මොරවක්කෝරලයේ රඹුකන.
ඒක කොයි වගෙ ගමක් ද?
ගොවීන් ජිවත්වන බොහෝම දුප්පත් ගමක්. ගම්මුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වුණේ තේ. ඒ හැරුණුකොට වී ගොවිතැන.
ඔබ වහන්සේගේ පියා කවුද?
බී. එල්. සයිමන්.
මව?
සොබනා හාමි.
පවුලේ කී දෙනා ද?
හත්දෙනයි. පිරිමි පහයි. ගැහැනු දෙන්නයි මම තමයි වැඩිමලා.
පාසල් ගියේ?
මොරවක වැලිව බෞද්ධ මිශ්‍ර පාඨශාලාව. උසස් පෙළ කරන්න පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙනට ආවා.
මහණ වුණේ?
1963 දී. මොරවක වැලිව ගංගාතිලක විහාරයේ.
ඔබ වහන්සේගේ කැමැත්තෙන් ද මහණ වුණේ?
ඔව්.
මහණ වෙන්න හේතුව?

මම ඉපදුණේ වෙසක් දවසක කිව්වනේ. ඒ නිසා ඉස්පිරිතාලේ නර්ස් නෝනා කියලා තියෙනවා, මේ ළමයා හොඳයි මහණ කරන්න කියලා. ඔය මතය අපේ පවුලේ අය තුළත් ඥාති පාර්ශ්වය තුළත් තිබුණා. කවුරුත් මගෙ ඔළුව අතගාලා කියන්නේ මහණ වෙන්න ඉන්න ළමයා කියලයි. ගමේ පන්සල තිබුණේ ඉස්කෝලෙට අල්ලපු වැටේ. අපි පන්සල් ගියා; දහම් පාසල් ගියා. ඒ පසුබිම තමයි මට බලපෑවේ.


කුඩා දරුවන් මහණ කිරීම ගැන ඔබ වහන්සේ දරන මතය මොකක්ද?
ශාසනික වත් පිළිවෙත් පවත්වාගෙන යන්න දැනුමක් නැති අය පැවිදි කරනවට වඩා ගිහි - පැවිදි ජීවිතය වටහා ගත හැකි වයසකට ආපු, කොටින්ම පැවිදි ජීවිතයේ ගැඹුර වටහා ගන්න පුළුවන් වයසේ අය තමයි මහණ කළ යුත්තේ.

ඔබ වහන්සේගේ කුඩා කාලයේ කොහොම ද ගමේ වෙසක්?
ඉස්සර අපි ළමයි එකතු වෙලා බට ගස් කපලා ඒවයේ පතුරු අරන් සැරසිලි කොළ අලවලා වෙසක් කූඩු හදනවා. නමුත් අද නගරයේ ඉන්න ළමයින්ට වෙසක් කූඩුවක් හදාගන්න බැහැ. කඩෙන් සල්ලිවලට ගෙනැත් එල්ලනවා. ඒකෙන් ළමයි තුළ ශ්‍රද්ධා - භක්තිය ඇතිවෙන්නේ නැහැ.
ඔබ වහන්සේ විශ්ව විද්‍යාලයට එන්නෙ?
1970 දී.
කොහොම ද සරසවි ජීවිතය?

සුන්දර නැහැ. හරිම කටුකයි. එදා අද වගේ මහපොළ ශිෂ්‍යත්ව තිබුණේ නැහැ. අපි දුගී දුප්පත් පවුල්වල දරුවෝ. බොහෝම අමාරුවෙන්, අපහසුතාවයන්ගෙන්, විශාල අඩුපාඩුකම් මැද්දේ තමයි අපි ඉගෙන ගත්තේ. හැබැයි අද කියලා වෙනසකුත් නැහැ. දේශපාලනඥයෝ කියනවා, විශ්ව විද්‍යාල ළමයි තමයි රටේ අනාගතය භාරගන්නෙ කියලා. ඒක හරියට මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි කිව්ව වගේ මහ බොරු කතාවක්. අද ළමයි ස්ට්‍රයික් කරනවා. කලකෝලහාල කරනවා. අද අවුරුදු හතරක් විශ්ව විද්‍යාලයේ ඉන්නව කියන්නේ අවුරුදු හතරක් වැලිකඩ බන්ධනාගාරයේ ඉන්නවා වගෙ වැඩක්.


බොහෝ විශ්ව විද්‍යාල පැවිදි ශිෂ්‍යයන් සිවුරු අරින්නේ ඇයි?

පිරිවෙන් විශ්ව විද්‍යාල බවට පත් කළායින් පසුව පරමාර්ථවල වෙනස්කම් සිද්ධ වුණා. ඉස්සර පිරිවෙන් සම්ප්‍රදාය තුළ තමයි පැවිදි පඬිවරු බිහි වුණේ. ඔවුන් පාලි, සංස්කෘත හැදෑරුවා. ත්‍රිපිටකය හැදෑරුවා. නමුත් විශ්ව විද්‍යාලවලදී මේ පරමාර්ථ විකෘති වුණා. සරසවිය කියන්නේ නිදහස් තැනක්. එතැන ඕනැ වරදක් කරන්න පුළුවන් කියන හැඟීම ආවා. එතැනට ගිහියොත් ආවා. විශේෂයෙන් ගැහැනු ළමයි ආවා. ඒ සංකලනයත් එක්ක පරිසරය විකෘති වුණා. මම කියන්නෙ නැහැ ගමේ පන්සලේ සිවුරු හැරියේ නැහැ කියලා. පිරිවෙන් අධ්‍යාපනය තුළ සිවුරු හැරියේ නැහැ කියලා. ඒත් ඒක වුණේ බොහෝම අඩුවෙන්. මොකද, එතැන මෙහෙම පරිසරයක් තිබුණේ නැහැ.
මම ආවේ 1979 දී. එහි කාර්මික විද්‍යාලයක් පටන් ගත්තා. ඉංග්‍රිසි ඉගැන්වූවා, ජනසන්නිවේදනය ඉගැන්වූවා. ඒ වැඩවලට තමයි මං ආවේ. පනස් හයේදී කළ යුතුව තිබුණේ සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි යන භාෂා තුනම සම තත්ත්වයකට ගෙන ඒම. ඉංග්‍රිසි අධ්‍යාපනය කප්පාදු කිරීම නිසා සාමාන්‍ය පවුල්වල දරුවන්ට උගතුන්, බුද්ධිමතුන් වීමේ අවස්ථාව අහිමි වුණා. ඉංග්‍රිසි නොදැන අඩුම ගාණේ ආචාර්ය උපාධියක්වත් කරන්න බැහැනේ.
ඔබ වහන්සේ ගීත රචනයට පිවිසෙන්නේ කොහොම ද?


ඒ 1976 දි විතර. දයාරත්න රණතුංග ගයන ‘කල්ප කාල ගතවන තුරු’ මා ලියු මුල්ම ගීතයයි. මගේ හත්මුතු පරම්පරාවේවත් කලා කාරයෙක් නැහැ. නමුත් අපේ අත්තලා මුත්තලට ජනකවි කියන්න පුළුවන්කම තිබුණේ කට පාඩමින්. පුංචි කාලේ අපි ඇස් පේන්නැති, කන් ඇහෙන්නෙ නැති උන්දැලට තුන් සරණේ, යශෝදරාවත හයියෙන් විලාප ගහලා කියවනවා. ඒ වගේම බුදුසිරිත දිගටම කියවනවා බුද්ධ පරිනිර්වාණය දක්වාම.
ගීත රචනා කිරිම භික්ෂුවකට කැපයි කියලා කියන්න පුළුවන් ද?

ඒකට විරුද්ධව කවුරුත් ඇවිල්ලා මෙතෙක් මගෙ මුහුණට බැණලා නැහැ.
ගීත ලිවීමේ ඔබ වහන්සේගේ අරමුණ මොකද්ද?


ගීතය බොහෝම සංවේදී කලා මාධ්‍යයක්. ඒක බුදු බණ මඟක් කර ගැනීමයි මගේ අරමුණ. ඉස්සර නම් හැන්දෑවට පන්සල් ගියාම එළිවෙනකම් වුණත් බණ අහන්න පුළුවන්. ඒ කාලේ හැන්දෑවේ හයට බණ පටන්ගත්තම පහුවදා උදේ හය වෙනකම්ම බණ කියනවා. මිනිස්සු ඒ බණ ඇහුවා. මොකද, ඒ කාලේ කාටත් කන්න දෙවේල අටුවේ කොටුවේ තිබුණා. අද අවිවේකී සමාජය තුළ මිනිසුන්ට පැය ගණන් බණ අහ අහ ඉන්න වෙලාවක් නැහැ. ගීතයක් බස් එකේ යද්දි වුණත් අහන්න පුළුවන්. (අද නම් බස්වල දාන්නේ අහන් ඉන්න පුළුවන් සින්දු නෙමෙයි) මා ලියු ‘හරි හම්බු කරපු දේවල් දුක් මහන්සියෙන් - දනට පිනට දුන්නේ මං හිතේ මනාපෙන්’ වගේ සින්දුවක් අහද්දි කෙනකුගේ ‘දීමේ’ හැඟීම මතුවෙන්න පුළුවන්.
ඒක පන්සල්, පල්ලිවලට වේවා දුගී දුප්පත් මිනිසුන්ට වේවා ඕනැ කෙනකුට දෙන දෙයක් වෙන්න පුළුවන්. අද ගීතයකින් කිසියම් ආකාරයක බණක් දහමක් කියන්න පුළුවන්නම් ඒක ලොකු පිනක් කියලා මම හිතනවා.


ඔබ වහන්සේ ලියපු ‘බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති - බණත් අහන්නැති ඒ කාලේ’ ගීතය අත්දැකීමක් ද?


ඔව්. ඒක සිංහල ගැමි සංසාර සංකල්පනාවක්නේ. උපාසක අම්මලා, තාත්තලා සිල් සමාදන් වෙලා ධර්ම ශාලාවෙදි ඔය වගේ දේවල් කියනවා මං අහලා තියෙනවා.
ඒ වගේම ඔබ වහන්සේ ලියලා තියෙනවා, ‘බුදු බණ ඇහුවත් නිරන්තරේ - අපි තවමත් ගති ගුණ අතින් වනන්තරේ’ කියලා.
මේ පිරිහීමට හේතුව මොකද්ද හාමුදුරුවනේ?
ප්‍රධානම හේතුව විවෘත ආර්ථිකය. අංක එකත් සල්ලි. දෙකත් සල්ලි. තුනත් සල්ලි. ඊට පස්සෙ තමයි දෙමවුපියෝ, ගුරුවරු, හාමුදුරුවරු වගෙ වටිනාකම් සලකල බලන්නේ. විවෘත ආර්ථිකය නිසා සාරධර්ම පිරිහුණා. ඉස්සර ගම්වල වෙද මහත්තුරු, ගුරුවරු වැඩ කළේ බුලත් නැට්ටක දෙයක්වත් බලාපොරොත්තු වෙන්නෙ නැතුව. සාමාන්‍ය මිනිස්සුන්ට වුණත් ජීවත් වෙන්නෙ කොට්ටෙයි පැදුරයි තිබුණම ප්‍රමාණවත් වුණා. නමුත් අද එහෙම බැහැ. තියෙන්නේ බහු භාණ්ඩික සමාජයක්. විවෘත ආර්ථිකය කියන්නෙ රටකට වැද්ද නොගත යුතු දෙයක්.
ඔබ වහන්සේගේ ගී නිර්මාණවල දක්නට ලැබෙන්නේ බොහෝම සරල වචන?
මම හුඟක් කැමැතියි ‘ගුත්තිලය’ ලියපු වෑත්තෑවේ හාමුදුරුවන්ට. උන්වහන්සේගේ වචන විශ්ව විද්‍යාල පණ්ඩිතයන්ට වගේ ම ගමේ නූගත් ගැමියකුට වුණත් ග්‍රහණය කරගන්න පුළුවන්. ඒවායින් රසයක් විඳින්න පුළුවන්. ඒ වගේම අපේ ජනකවි, යසෝදරාවත, වෙස්සන්තර ජාතක කාව්‍ය වගේ කවිවලට මං කැමැතියි. අපි හද්ද පිටිසර දුප්පත් ගම්වල දරුවෝනේ. පුංචි කාලේ අපි කියෙව්වෙ ඔය වගේ කවි. අදටත් මට ගීතයක් ලියද්දි මතක් වෙන්නේ ඒවා. ඒ වගේම අපේ අම්මා, තාත්තා, ගුරුවරු, ගමේ පන්සලේ හාමුදුරුවෝ. ගමේ ගොඩේ බස් වහර තමයි මගේ නිර්මාණවලට බලපාලා තියෙන්නේ.
පහුගිය කාලේ කවි කීර්ති කියලා හාමුදුරු නමක් සින්දු වගයක් ලිව්වා. ඔබ වහන්සේට මතක ද ඒ සින්දු?
ඔය කියන්නේ මල් රැල්ලේ සින්දුනේ. පල්ලි, පන්සල් ගාවගෙන ලියපු සින්දු. දළදා වහන්සේ, ජය ශ්‍රී මහා බෝධිය කියන්නේ බෞද්ධ අපිට බොහෝම පූජනීය ස්ථාන. මේ සින්දුවලින් කළේ ඒවා විකුණගෙන කෑමයි. අද බෞද්ධ චිත්‍රපට කියලා කරන්නෙත් ඕකමනේ මහත්තයා. මේවායින් වෙන්නේ ශ්‍රද්ධා භක්තිය විනාශ වෙන එකයි. මේක අවුරුදු දෙදහස් පන්සීයක බෞද්ධ උරුමයක් තියෙන රටක්. දළදා වහන්සේ ගැන, ශ්‍රී මහ බෝධීන් වහන්සේ ගැන තුට්ටු දෙකේ චිත්‍රපට හදලා මේ උරුමය වනසන්න යෑම වැරදියි. මේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්නේ කවුද? ඒකට ඔවුන්ට සුදුසුකම් තියෙනව ද? මේවයේ රඟපාන්නේ කවුද? ඒවායේ තිර පිටපත් ලියලා තියෙන්නෙ කොහොම ද? මේ සියල්ල අධීක්ෂණය කරන්න ඕනැ. ඒත් ඒවා කරන්නේ විෂය දන්නෙ නැති අය. මේ බෞද්ධ චිත්‍රපට රැල්ලත් බුද්ධාගම විකුණගෙන කෑමක්. අද සංචාරක කර්මාන්තයත් කරන්නෙ මේකමනේ. ඉතිහාසය, පුරා විද්‍යාව, පූජා භූමි විකුණගෙන කනවා. ඉහළම මිලකට ආවොත් අපේ අය සීගිරිය වුණත් විකුණගෙන කයි.

භික්ෂු දේශපාලනය ගැන ඔබ වහන්සේගේ මතවාදය මොකද්ද?
පන්සලෙන්, පල්ලියෙන්, කෝවිලෙන් වෙන්න ඕනැ කාරණය එකක්. දේශපාලනයෙන් ඉෂ්ට වෙන දේ වෙන එකක්. මේ දෙක එකට මිශ්‍ර කරන්න බැහැ. එහෙම මිශ්‍ර කරන්න ගියොත් එතැන හැප්පිල්ලක් සිද්ධ වෙනවා.
දේශපාලනය කරන අයම කියනවනේ, මේක මහා බොරුවක්, වංචාවක් කියලා. ඉතිං එතැනට භික්ෂුව ඇතුළු වෙනවා කියන්නේ පිරිහීම තමයි. දේශපාලනයෙන් වෙන්නේ මිනිසුන් රැවටීමක්. ඒක මහා පාප කර්මයක්. භික්ෂුව එතැන්ට යන්න ඕනැ නැහැ.
තවමත් සමාජයේ කුල භේදය බොහෝම තදින් බලපවත්වන අවස්ථා දක්නට ලැබෙනවා. මේක බුදු දහමට පටහැනියි නේද?
ඔව්. බුදුන් වහන්සේම කියලා තියෙනවනේ උපතින් කිසිවෙක් බ්‍රහ්මණයෙක් වෙන්නෙත් නැහැ, වසලයෙක් වෙන්නෙත් නැහැ කියලා. ක්‍රියාවෙන් තමයි ඒක වෙන්නේ. උන්වහන්සේ සුනීත, සෝපාක වගේ රොඬි කුලේ දරුවන් පැවිදි කරලා ඔවුන්ට මාර්ගඵල ලබා දුන්නා. එයින්ම සමාජයට පෙන්වලා දුන්නා, කුලවාදය බොරුවක් කියලා. බුදුන්ගේ ඉගැන්වීමත් එක්ක නිකාය භේදයක් තියෙන්න බැහැනේ.
ඔබ වහන්සේගේ මා අගය කරන තවත් උත්තම ගුණාංගයක් තමයි ආගමික සහජීවනය.
මම අදහන්නේ බුද්ධාගම වුණාට මම අනෙක් ආගම්වලට ගරු කරනවා, අපේ පන්සලේ කතෝලික දායකයොත් ඉන්නවා. මා වරක් නත්තල් බැති ගීතයකුත් ලිව්වා. ‘මා හද බෙත්ලෙහෙමක් කරවාලා සෙවණ සදා දෙන්නම් සමි‍ඳේ’ කියලා. ඒක ගායනා කළේ එඩ්වඩ් ජයකොඩි. එතකොට මහත්තයා අහලා තියෙනව ද මං ලියපු ‘මහන්සි නම් මහන්සි නම් යමු පොඩි මල්ලි’ කියන සින්දුව. ඒකෙන් කියැවෙන්නේ දෙව්රම් වෙහෙරත් එකයි; බෙත්ලෙහෙමත් එකයි කියන එකයි. තැන් දෙකෙන්ම ගිමන් තිබෙනව; සමිඳු පිහිට ලැබෙනවා.
අපේ සමාජයේ තිබෙන මිථ්‍යා විශ්වාස ගැන ඔබ වහන්සේ මොකද හිතන්නෙ?
දේවාල ගානේ යන එක තමයි ලොකුම මිථ්‍යාව. මිනි මරලා හරි, ස්ත්‍රි දූෂණය කරලා හරි, කසිප්පු විකුණල හරි, කුඩු විකුණලා හරි පොලීසියට අහුවුණු අයත් පූජා වට්ටි අරන් දේවාල ගානේ යනවා බේරලා දෙන්න කියලා දෙවියන්ට කන්නලවු කරන්න. බෝධින් වහන්සේට නමස්කාර කරලා ඒ පින් දෙවියන්ට අනුමෝදන් කළත් පූජා වට්ටි අරන් දේවාල ගාණේ යෑම තරම් මෝඩ වැඩක් තවත් නැහැ. මිනිසුන්ටවත් කන්න බැරි පලතුරුවලින්නේ ඔය පූජා වට්ටි පුරවන්නේ. ඒවා දැක්කම දෙවිවරුන්ට හතර මායිමක ඉන්න හිතෙන්නෙ නැහැ. මේක බොරුවක්නේ; වංචාවක්නේ.
ඔබ වහන්සේ ජ්‍යෝතිෂය විශ්වාස කරනව ද?
සියයට පනහක් විශ්වාස කරනවා; ඉතිරි සියයට පනහ ඉතිරි විශ්වාස කරන්නෙ නැහැ.
ඔබ වහන්සේගේ පැවිදි ජීවිතය තෘප්තිමත් ද?
අපි ගම්වල ඉපදුණු ගොවි පවුල්වල දරුවෝ. අපි පැවිදි වුණා. ඉගෙන ගත්තා. දැන් ඉතිං අවුරුදු හැටත් පැනලා. සමාජයට අපේ ශක්ති ප්‍රමාණයෙන් පුළුවන් මෙහෙවරක් කළා. ගීතයෙනුත් ඒකට දායක වුණා. ඉතිං තෘප්තියක් නැහැ කියලා කියන්න බැහැ.