Saturday, December 19, 2015

පන්ති සහිත සමාජයේ තැලෙන ජීවිත උදෙසා ගැයෙන ගී




ලූෂන් බුලත්සිංහලයෝ සිංහල ගීතයේ රූප රචකයා යන විරුදාවලිය ලබා ඇත්තෝ ය. එය සැබෑවකි. ඔහු විසින් රචනා කරන ලද “දම් පාටින් ලා සඳ බැස යනවා” නැමැති ගී යේ පද විමසා බැලීම පමණක් ම ඒ සඳහා සෑහෙයි. ස්ත්‍රි පුරුෂ පේ‍්‍රමයේ නොදුටු අපූර්ව පාර්ශවයක් ප්‍රථමයෙන් ස්පර්ශ කරන්නේ ද ඔහු ය. ගුණදාස කපුගේ සහ මාලනී බුලත්සිංහල ගායනා කරන “මං හින්දා ඔබ නෙතඟින් කඳුළක් හෙළන්නෙපා” නැමැති ගීය විමසන්නකුට එය පහසුවෙන් අවබෝධ කරගත හැකි ය.


පිපුණු මලේ රුව එමල දනීදෝ
පන්ති සහිත සමාජයක සමාජ පීඩනය වස්තු කර ගැනීමේ දී බොහෝ කවියන් මෙන්ම ගීත රචකයෝ ඌන ප්‍රතිභාවක් ප්‍රදර්ශනය කරති. ඒ නිර්මාණාත්මක ගුණය වෙනුවට වාර්තාමය කෘත්‍රිම බවක් නිර්මාණයට ආරෝපණය වන බැවිනි. මේ අභියෝගය ජයගැනීමට ජන්ම ප්‍රතිභාවක් සතතාභ්‍යාසයත් පැවතිය යුතුමය. ලූෂන් බුලත්සිංහලයන් ඒ ද්විත්වය නොමඳ ලබා ගත් රචකයකු බව පැහැදිලිය.
මලකි දුවේ නුඹ
හැඩරුව බලන්නෙපා
නැති බැරිකම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එයි නුඹ අත කරලන දා
කලාව වූ කලී සත්‍ය හා කල්පිතය යි. මේ කල්පිතය තුළ එක්තරා දිළිඳු මවකගේ සිතුවිලි හා හැසිරීම් රචකයා රසිකයා හමුවේ තබයි. තමාගේ රුව තමාට නෙපෙනීම සැබෑවකි. එසේ ම මලක් සේ පිපෙන තම දියණිය රූ ශෝභාව පිළිබඳව මව තුළ ඇතිවන්නේ ද එබඳු හැඟීමකි. එහෙත් ඇය කැඩපත අසලට වී හැඩරුව බලද්දී මේ මව ගේ හදවත තුළ ජනිත වන්නේ විශාල වේදනාවකි.
එනම් මේ මව නිවසේ එකම වීදුරු කැඩපත බිඳ දමයි. මෙයින් රචකයා ප්‍රදර්ශනය කරනුයේ තම දියණිය දුකට පත්වනු බලා සිටීමට මව තුළ ඇති අකැමැත්තයි. එසේ තමන්ට උරුම වී තිබෙන දරිද්‍රතාවෙන් ගැලවීමට ඇති නොහැකියාවයි. දයා කරුණ බරිත මවක තුළ මෙබඳු සුසුමක් ඇතිවීම ස්වාභාවිකය. සමාජ විෂමතාව පිළිබඳ ව සියුම් කම්පනයක් මේ කල්පිත සිද්ධිය තුළින් ජනිත වේ.අතට කරට පැලඳීම යනු නව යෞවනයට පා තබන ඕනෑ ම යුවතියක ගේ සිහිනයකි. මේ දියණියට අතට කරට පැලඳීම වූ කලී සිහිනයක් ම පමණක් වෙයි. දිළිදු බවේ පතුලට ම කිඳා බැස සිටින ඔවුන් වෙත මුතු මාල හතක් වී පැමිණෙන්නේ නැතිබැරි කම පමණි. මෙබඳු රූපකාර්ථි නැංවීම වූ කලී කලාතුරකින් ගීත රචකයකු තුළ හටගන්නා ප්‍රතිභාවකි. මෙහිදී රචකයා තවත් කල්පිතයක් ගොඩනඟනු ලබයි.
“පාළු කනට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ
තම දියණියට දුකක් නොදැනීමට ඈ මේ උත්සාහය ගත් නමුත් ඇය පරාජිත වන ආකාරය රචකයා ඉදිරිපත් කරන්නේ අපූර්වත්වයෙන් යුතු කාව්‍යෝක්තීන් භාවිතා කරමිනි.
“කටුමැටි බිත්තිය හැඩකර අඳිනා
රෑ හෙවණැල්ලෙන් හිස පීරන්නේ
නොතලන් සිත මා ආදර දියණියනේ
කැඩපත බිම දැමීමෙන් ඇගේ යෞවනය සඟවන්නට නොහැකි ය. කුප්පි ලාම්පුවේ එළිය ඇගේ හෙවණැල්ල කටුමැටි බිත්තියේ අඳින මොහොතක, ඈ ඒ හෙවණැල්ල දෙස බලාගෙන හිස පීරයි. රචකයා මවන පරිසරයෙන් මොවුන් මුහුණ දෙන දරිද්‍රතාව සංකේතවත් වෙයි.
මේ සිදුවීම් රචකයා යොදාගන්නේ මේ දිළිදු මව ලබන කම්පාව වඩ වඩාත් රසිකයාට සන්නිවේදනය කරනු පිණිසයි.
සමාජය තුළ ඇත්තේ පාරිභෝගික සමාජයකි. වැඩවසම් සමාජයේ මෙන් නිල් වරළ මල් වලින් සරසා නෙළුම් දඬු මාලයක් ගෙල පලඳින්නට වර්තමාන පාරිභෝගික සමාජයේ නොහැකි ය. කඩ සාප්පු පිරී පවතින්නේ නේකවර්ණ සළුපිළි හා පලඳනා වලිනි. යොවුන් වියට පත් අනික් කුමරියන්, කසීරට සළු වලින්, ගාන්ධාරයේ විලවුන් වලින් හා සිව් සැට බරණින් සැරසෙද්දී ඒ අහිමි යෞවනියක තුළ වේදනාවක් ඇතිවුණු නිසැකය. තම දියණියට හැඩට රුව අඳින්නට පලඳින්නට ලබා දෙන්නට නොහැකි වන මවක තුළ ඇතිවන වේදනාව ඊටත් වඩා ප්‍රබල වේ. මෙවැනි තේමාවන් වස්තු කරගැනීමේදී නිරන්තරයෙන් ලූෂන් බුලත්සිංහලයෝ තම පරිකල්පන ශක්තිය මැනවින් විදහා දක්වති. පහත සඳහන් වන්නේ එතුමන් මාලනී බුලත්සිංහල වෙනුවෙන් රචිත පද මාලාවකි.
“රජ මැදුරක ඉපදී සිටියා නම්
නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බා ගෙන පොල් අතු ඉගිලේ
අද නුඹෙ සිරි යහනේ
හීනෙන් හිනා නොවී මා
හඬවාපන් මේ රෑ යාමේ”





























මෙබඳු අනේක දුක් වේදනා වළඳන මවුවරු අප අතර සිටිති. එහෙත් ඒ වේදනාව කෙබඳු දැයි ඒ මවුවරුනට විස්තර කළ නොහැකි ය. ඒ වේදනාව හඳුනාගත යුත්තේ කලාකරුවා ය. එය හඳුනා ගැනීමේ සංවේදිතාවය ඔහු තුළ නිරායාසයෙන් තිබිය යුතු ය. ලූෂන් බුලත්සිංහලයන් වඩා වැදගත් වන්නේ ඒ සංවේදීතාව නිස්සරණාධ්‍යාසයෙන් ම එතුමන් තුළ ගැබ් වී ඇති බැවිනි.
නිවසෙහි දැන් වීදුරු කැඩපතක් නොමැති ය. එහෙත් මේ මව නැවත දකින්නේ කුමක් ද? හිමිදිරියේ ම නිසසල ජලය ඇති ළිඳට ඇය එබී සිටින ආකාරයයි. කණකර ආභරණ නොමැති අගේ වත ඇයට ඇස ගැටෙනු ඇතැයි මව බියට පත් වෙයි.
“ළිඳේ අඩිය හිරි නොබලන පින්නේ
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ
නොතලන් සිත මා ආදර දියණියනේ
රචකයා ඉදිරිපත් කරන මේ සිදුවීම් කල්පිත සිදුවීම් බව පැහැදිලි ය. එහෙත් ඒ කල්පිත සිදුවීම් ඔස්සේ සමාජ විෂමතාවය මානව සමාජයට ගෙන දෙන විවිධ දුක් පීඩා හොඳින් ස්පර්ශ කිරීමේ අවස්ථාව රචකයා විසින් උදා කරගනු ලබයි.
මේ ගීතය මීළඟට ආලෝකමත් වන්නේ සංගීතය හා ගායනය තුළිනි. ගායිකාවක සතු සිංහල ලකුණ නන්දා මාලිනිය සතුය. ඇගේ හඬ තුළ ඉන්දීය සම්භාව්‍ය හෝ යුරෝපීය සම්භාවය නොමැති ය. එසේ ම සාම්ප්‍රදායික සංගීත ආකෘතියෙන් මිදුණු තනු නිර්මාණයක් මේ සඳහා සංගීතය සැපයු ඩන්ස්ටන් සිල්වා සංගීතවේදියා විසින් යොදාගෙන තිබේ.
මේ ගීතය රචනා කිරීම සඳහා මුල බීජය රචකයා තුළ පහළ වන්නේ කොතැනින් දැයි මම නොදනිමි. මා දන්නා පරිදි මේ සඳහා මූලික වී ඇත්තේ රජරට ජනකවියකි. අවාසනාවට ඒ ගැන මේ මොහොතේ මට සිහිපත් නොවේ. සිහිපත් වුවහොත් ලිපිය අවසානයේ එය ලියා තබන්නෙමි. හැත්තෑව දශකයේ මතක සුවඳ විහිදුවන ගීත අතර සංකීර්ණ සමාජ ගැටලුවක් සංයමශිලීව ප්‍රතිනිර්මාණය වූ අවස්ථාවක් ලෙස මේ පද මාලාව නම් කළ හැකි ය.