Saturday, October 3, 2015

සිත තුළ අකුසලය හටගත්විට එයින් කර්ම සකස්වන ආකාරය

සිත තුළ අකුසලය හටගත්විට එයින් කර්ම 

සකස්වන 

ආකාරය පිළිබඳ සාමාන්‍ය පුහුදුන් ලෝක සත්වයාට 

අවබෝධයක් නැත




. අවිද්‍යාවෙන් යුක්ත බැවින් සිතට වහල් වී කර්ම රැස්කරයි. එම කර්ම විපාකදෙන බවත් එයින් බේරීමට ස්ථානයක් නොමැති බවත් පුහුදුන් සත්වයාට වැටහෙන්නේ නැත. සියල්ල අවබෝධ කර ගත් ලොව්තුරා බුදුන්වහන්සේ පමණයි කර්මය පිළිබඳ සත්‍ය වශයෙන් කරුණු කාරණා දේශනා කොට වදාළේ.

"අපාය" යන පදය බුදු දහමෙහි බොහෝ තැන්වල විස්තර වන්නේ තනි පදයක් ලෙස නොවේ. තවත් පද කිහිපයක් සමගිනි. එනම් ‘අපායං දුග්ගතිං විනිපාතං නිරයං’ යනුවෙනි. මෙහි දී ‘අපායං’ යන පදය හා ‘දුග්ගතිං විනිපාතං’ යනු සෙසු පදත් නිරය, යන්නට විශේෂණ පද ලෙස යෙදී ඇත. ඒ අනුව බලන විට අපාය යන්න මෙහි දී විස්තර වන්නේ නිරය යන්නට විශේෂණ පදයක් ලෙසය. ‘අපායං’ යන්නෙහි තේරුම වන්නේ සැපයක් නැති (අ+පායං) තැන යන්නයි.
බෞද්ධයින් වශයෙන් අප කාටත් අපාය යන වචනය ඇසෙත් ම බිය මුසු අකැමැති ස්වභාවයක් අප සිතට නැගෙයි. ඊට හේතුව ‘පව් කරන අය අපායේ යති’ යන මේ සංකල්පය කුඩා කල සිට ම අප කාගේත් සිත් තුළ පැළ පැදියම් වී ඇති බැවිනි. කුඩාකල අප පාපයෙන් වැළැක්වීම පිණිස මෑණියන් අපට අවවාද දෙන්නේ ‘පව් වැඩ කරන්න එපා. පව් කරන අය අපායේ යනවා’ යන වදනින් ය. කුඩා කල අපාය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? යන්න අපට ප්‍රශ්නයක් වූව ද අපට අපේ මෑණියන් කියාදෙන අපායේ ඇති ගිනිදැල්, ලෝදිය, කටුඉඹුල වැනි දේ කිසිදා අමතක නොවෙයි. මේ නිසා ම අප බොහෝ දෙනෙක් පාපයන්ගෙන් වැළකීමට හෙවත් අයහපත් දේ නොකිරීමට යම් තරමකට පෙළඹවීමක් ලබා දෙයි.

දහම් පාසල තුළින් ද පාසල තුළින් ද ප්‍රාථමික අධ්‍යාපනයත් සමඟ අපට පන්සිල්වල වටිනාකම තේරුම් කිරීමට උත්සාහ කරන්නේ ‘සතුන් මරන්න එපා අපායේ යනවා. අනුන්ගේ දේවල් ගන්න එපා අපායේ යනවා. කාමයේ වරදවා හැසිරෙන්න එපා අපායේ යනවා. බොරු කියන්න එපා අපායේ යනවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා අපායේ යනවා’ යන අවවාද වලිනි.

මේ නිසා අපාය යන සංකල්පයට ඇති බිය නිසාම පන්සිල්වල නියම අර්ථය නොදැන ගත්ත ද ඒවා ආරක්ෂා කිරීමට අප පුංචි කාලයේ සිට ම හුරු පුරුදු වෙයි. එයින් අප නොදැනුවත්ව ම අපේ ජීවිතවලට යම් සදාචාරාත්මක හරයක් එකතුකර ගනියි. එබැවින් අප පාපයෙන් වැළැක්වීම පිණිස අපාය යන සංකල්පය ඍජුවම අපේ ජීවිතයට බල පා ඇති බව මෙයින් පැහැදිළි වෙයි. අප පව් නොකළ යුත්තේ අපායට ඇති බිය නිසා ද? එසේ නැතිනම් එයින් අප ජීවිතයට යම් අගතියක් වීමට ඉඩ ඇති නිසා ද? එසේත් නැතිනම් අපේ ආගමට දහමට ඇති ගෞරවය නිසා ද යන්න අවබෝධයෙන් තේරුම් ගත යුත්තකි.
මේ කරුණු සලකා බලන විට ‘අපාය’ යනු පව්කම්වල නිරතවන සියලු දෙනා මතු භවයන් හි දී ඔවුන් කළ අකුසල කර්මයන්ට අනුව විපාක ලබා දෙන ස්ථානයක් බව දහම පිළිබඳ සුළු හෝ දැනුමක් ඇති කාට වුව ද පැහැදිලි වෙයි. මේ නිසාමය අප කවුරුත් අපාය යන වචනයට අකැමැත්තක්, බිය මුසු ස්වරූපයක් මෙන් ම පිළිකුල් හැඟීමක් ඇති කරගනු ලබන්නේ.

බුදු දහමෙහි නරකය – තිරිසන් - ප්‍රේත – අසුර යනුවෙන් සතර අපායක් පිළිබඳ කරුණු ඉදිරිපත් කොට ඇත. නරකය යනුවෙන් අදහස් කරන්නේ නිරයෙහි අනන්ත දුක් විඳින සත්ත්වයන් ය. තිරිසන් යනුවෙන් අදහස් කරන්නේ තිරස් අතට හෙවත් හරහට යන සතුන් ය. එනම් අලියා ඇතාගේ සිට සියලු සිව් පා සතුන් මෙම වර්ගීකරණයට ඇතුළත් වෙයි. ප්‍රේත යනු නිසි පරිදි ආහාර - පාන, වස්ත්‍ර - වාසස්ථානාදිය නොලබා දුකසේ ජීවත්වන එමෙන් ම අප්‍රසන්න හා විරූපී ශරීරයන්ගෙන් යුතුව දිවිගෙවන පිරිසකි. අසුර යනු දෙවින්යන්ට පරාජය වූ දෙවියන්ගේ පිළිකුලට භාජනය වූ දෙවියන්ගේ සතුරු පිරිසකි. මේ සතර අපාය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මතු ලිපිවල පළ කිරීමට බලාපොරොත්තු වෙමු.
අපාය යන පදය බුදු දහමෙහි බොහෝ තැන්වල විස්තර වන්නේ තනි පදයක් ලෙස නොවේ. තවත් පද කිහිපයක් සමගිනි. එනම් ‘අපායං දුග්ගතිං විනිපාතං නිරයං’ යනුවෙනි. මෙහි දී ‘අපායං’ යන පදය හා ‘දුග්ගතිං විනිපාතං’ යනු සෙසු පදත් නිරය, යන්නට විශේෂණ පද ලෙස යෙදී ඇත. ඒ අනුව බලන විට අපාය යන්න මෙහි දී විස්තර වන්නේ නිරය යන්නට විශේෂණ පදයක් ලෙසය. ‘අපායං’ යන්නෙහි තේරුම වන්නේ සැපයක් නැති (අ+පායං) තැන යන්නයි. ‘දුග්ගතිං’ යන්නෙහි තේරුම නපුරු ගති පැවතුම් ඇති තැන යන්නයි. ‘විනිපාතං’ යන්නෙහි අදහස නපුරු හා දරුණු වැටීම් හෙවත් පතිතවීම් ඇති තැන යන්නයි. ‘නිරයං’ යනු නරකය හෙවත් පව් කළ අය උපදින ස්ථානය යන්නයි. ඒ අනුව මේ පද හතරෙහි තේරුම ‘සැපයක් නැති, නපුරු ගතිපැවතුම්, ඇති නපුරු හා දරුණු වැටීම් හෙවත් පතිතවීම් ඇති පව් කළ අය උපදින ස්ථානය’ යනුවෙන් අර්ථ දැක්විය හැක.
සත්තං කායදුච්චරිතෙන සමන්නාගතා වචිදුද’දරිතෙන සමන්නාගතා
මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා
මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරං මරණා අපා යං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා
ඉහත සූත්‍ර පාඨයෙන් පැහැදිළි වන්නේ කයෙන් දුසිරිතෙහි යෙදුණු වචනයෙන් දුසිරිතහෙි යෙදුණු මනසින් දුසිරිතෙහි යෙදුණු ආර්ය ධර්මයට නිගරු කරන වැරදි වැටහීම් ඇති වැරැදි කර්මයන්හි යෙදුණු පුද්ගලයින් සිරුරේ බිඳීමෙන් හෙවත් මරණින් පසු සැපයක් නැති, නපුරු ගතිපැවතුම් ඇති නපුරු හා දරුණු වැටීම් හෙවත් පතිතවීම් ඇති නිරයෙහි උපදින බවයි.

පෙළ දහමෙහි අපට වැඩි වශයෙන් හමුවන්නේ 'නිරය' යන වචනයයි. එමෙන් ම ‘නේරයිකා සත්තා’ යන වචනය ද අපට හමුවෙයි. නේරයිකා යන වචනයෙහි තේරුම නිරයෙහි උපන් යන අදහසයි. ඒ අනුව නේරයිකා සත්තා යන්නෙන් නිරයෙහි උපන් සත්වයෝ යන අදහස එයි. එසේ වූව ද අප දෛනික ව්‍යවහාරයේ දී බොහෝ සෙයින් භාවිත කරන්නේ අපාය හෝ දුගතිය යන වචනයන් ය. ඒ සියල්ලන්ගේ ම එකම අදහසක් ඇති බව පැහැදිලි වෙයි. එනම් ‘සැපයෙන් තොර දුක් සහිත ස්ථානයක උපන් අය’ යන්නයි.

සත්ත්වයින්ගේ උප්පත්තිය සිදුවන ක්‍රම හතරක් පිළිබඳව මජ්ක්‍ධිම නිකායේ මහා සීහනාද සූත්‍රයේ විස්තර වෙයි. එනම්, අණ්ඩජ, ජලාබුජ, සංසේදජ හා ඕපපාතික වශයෙනි. මෙයින් හතරවන තැනට විස්තර වන ඕපපාතික යන්නෙහි අදහස ඉබේ පහළවන යන්නයි. ඒ අනුව ඉබේ පහළවන සත්ත්වයන් මෙසේ ය. දෙවියන්, නිරයේ උපදින අය, ඇතැම් මිනිසුන්, දුක්විදින ඇතැම් ප්‍රේතාදීන් යන මේ පිරිස් ඕපපාතික ගණයට අයත් වෙයි.
කතමා ච, සාරිපුත්ත , ඕපපාතිකා යොනි? දෙවා, නොරයිකා, එකච්චෙ ව මනුස්සා, එකච්චෙ ච
විනිපාතිකා අයං වුව්වති, සාරිපුත්ත, ඕපපාතිකා යොනි,
මජ්ක්‍ධිම නිකාය – මහා සීහනාද සූත්‍රය
මෙහි දී අපායෙහි හෙවත් නිරයෙහි උපදින සත්ත්වයන් ලෙස ‘නෙරයිකා’ හා ‘විනිපාතිකා’ යන වර්ගීකරණයන්ට අයත් සත්ත්වයන් හඳුනාගත හැකිය. ඒ අනුව අපායෙහි හෙවත් දුගතියෙහි පහළවීම හෙවත් හටගැනීම සිදුවන්නේ තමා කළ අකුසල කර්මයේ විපාකය අනුව බව මෙයින් පැහැදිලි වෙයි. නිරයේ හෙවත් අපායෙහි විවිධ වර්ගීකරණයන් ඇත. එමෙන් ම ඒ ඒ නිරයන්හි ප්‍රමාණයන් මෙන් ම ඒ ඒ නිරයන්හි දී පමුණුවන දඬුවම හා ආයුෂ ප්‍රමාණ ආදියෙහි විවිධ වෙනස්කම් ඇත.

අකුසලමූලයෝ තිදෙනෙක් වෙති. ලෝභය අකුසල මූලයෙකි, ද්වේශය අකුසල මූලයකි, මෝහය ද අකුසල මූලයක් වේ. මිනිස් සිතේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන ලෝභය නමැති අකුසල මූලය වැඩෙන ආකාරය විමසීමට ගනිමු. නුනුවණින් මෙනෙහි කරන්නාට ලෝභය නමැති අකුසල මූලය හටගත් විට එය මුල්කොට ගෙන මසුරු සිත බලවත් වේ.
එසේ ලෝභ සහගත සිතිවිලි නැවැත නැවැත රැස් කරමින් අපිරිසුදු සිතින් වචනයෙන්, කයින් කර්ම රැස් කරයි. මසුරු වූයේ ලෝභයෙන් ම සිත මැඩ ගත්තේ වෙයි. භාවිත වූයේ වෙයි. ප්‍රබල වූයේ බලවත් ලෝභ සිතැත්තේ වෙයි. හෙතෙම තමාට අර්ථ සාධනයක් සලසා ගැනීමට කැමැත්තෙන් එනම් ඡන්ද රාගයෙන් අන් අයට වධ පමුණුවයි.
ඒ තුළින් තාවකාලිකව සතුටු වී ජීවත් වූවත් ඒ ඒ පුද්ගලයාගේ සීලාදි ගුණ ධර්මයන්ගේ ප්‍රමාණ මත තමාට එහි විපාක ගෙවීමට සිදුවෙයි. ඒ පිළිබඳ හැඟීමක් අවබෝධයක් නැතිව පුහුදුන් සත්වයෝ මරණින් මතු සතර අපායට වැටී අනේකවිධ දුක් විඳිති. එහි කාලවකවානුවත් කිව නොහැකි ය.

ද්වේශය ද අකුසලයකි. එය සිතෙහි බලවත් වූ විට සිතින්, කයින්, වචනයෙන් අකුසල කර්ම රැස් කරයි. සිත මැඩගෙන පවතියි. ද්වේශ මූල සිත බලවත් වූයේ මෙරමා හට නපුරු වචනයෙන් පරිභව කරයි. රළුවදන් ප්‍රකාශ කරයි. දුශ්චින්තාම සිතයි. වධ පමුණුවයි. බන්ධන සිදු කරයි. අත් පා සිඳියි. ධන හානි පමුණුවයි. ගැරහීම් බහුලව සිදු කරයි. මං පැහැර ගනියි. ජීවිත විනාශ කිරීමට පෙළැඹෙයි. මෙසේ අනේකවිධ දුක් පමුණුවයි. තමාට එහි කර්ම විපාක එන බව නොසිතයි. මෙසේ ද්වේශය නිධාන කොටගෙන, කරණ කොටගෙන එයම ප්‍රත්‍ය කරගෙන බාලතෙම මහත් වූ පාප ක්‍රියාවන් සිදු කර ගනී. එයින් අනිෂ්ඨ විපාක විඳීමට සිදුවෙයි. එසේ වූවත් බාලතෙම ඒ ගැන නොසිතා කටයුතු කරයි. විපාක දෙන විට ළයට අත් ගසා විලාප දෙමින් වැළපෙයි.
මෝහය ද බලවත් අකුසලයකි. මුළාවූයේ කරුණු කාරණා තේරුම් කරගැනීමට අදක්‍ෂ වූයේ, මෝහයෙන් මඩනා ලද්දේ එයින් බලවත් වූ සිත් ඇත්තේ අන් අයට වධ හිංසා සිදු කරයි. ධනය සොරකම් කරයි. බිය පමුණුවයි. අභූත චෝදනා ඉදිරිපත් කරයි. කළ නොකළ කාරණාවෙහි මුසාබස් දොඩයි. අනර්ථවාදී යැයි ද අධර්ම වාදී යැයි ද අවිනයවාදී යැයි ද මෝහය මුල්කොට ගෙන අන් අයට අවඥා කරයි. දොස් පවරයි. අවුල් කරනු පිණිසම උත්සාහ දරයි. සමඟි සමාදානය බිඳවයි. අඹු දරුවන් බිඳවයි. ගුරු ශිෂ්‍යයන් බිඳවයි. සේවක සේව්‍යයන් බිඳවයි. රජ සහ රට වැසියන් බිඳවයි. මෙසේ අනේකවිධ අකුසල කර්ම රැස් කරයි. එහි අනිටු විපාක තමා කරා පැමිණෙන බව බාල තෙම නොසිතයි. මුසා බස් දොඩමින් ගම් නියම් ගම් රටවල් ගිනි තබයි.

මෙසේ ලෝභය කරණකොට ගෙන ද්වේෂය කරණකොටගෙන මෝහය කරණකොටගෙන, එයම වැළැඳගෙන එයින් මැඩුණු සිත් ඇති තැනැත්තා මෙලොව දැඩි වෙහෙස සහිතව උපායාස සහිතව, පරිදාහ සහිතව බොහෝ කලක් දුකින් පීඩිතව වාසය කරයි. මෙලොව හාත්පසින්ම තැවෙයි. මරණින් මතු සතර අපාදී දුගතියම ලබයි. අතීතයේ ද වර්තමානයේ ද අනාගතයේ ද ලෝභ, ද්වේෂ, මෝහ මුල් කරගෙන සත්වයෝ වෙහෙසට පත් වී මහත් දුගතියට වැටී කාල පරිච්ඡේදයකින් තොරව අපමණ දුකට පත්වෙති. යම් හෝ ඵල දරණ ගසක් වසාගෙන මාළුවා වැල හාත් පසින් වර්ධනය වන්නේ වැඩීමට පත්වන්නේ එම ගස ඒ තුළින් වර්ධනයට පත්නොවන්නේ, විනාශයට පත් වන්නේ යම් සේද, ඒ ආකාරයෙන්ම ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසලයන් හාත්පසින්ම කුසල ධර්මයන්ගෙන් ඈත්කර පාපයට පත්කර බොහෝ වෙහෙස දෙවමින් සත්වයා මෙලොවත් තවා පරලොවද දුර්ගතියට පමුණුවන්නේ ය.

ලෝභයේ ආදීනවය සහ බියකරුභාවය වටහා ගැනීමටත් සංවේගය උපදවා ලෝභ, ද්වේශ, මෝහ ආදී අකුසල ප්‍රහාණ කිරීමටත් උනන්දුවනු පිණිස මේ කතාපුවත කවුරුන් අවධානයෙන් බලත්වා! ලෝසක හිමිට කිසි දිනක කුස පිරෙන්න ආහාරයක් ලැබුණේ නැත. ඊට හේතුව වූයේ පුරාණ අකුසල කර්මයක් විපාක දීමයි. කාශ්‍යප ලොව්තුරා බුදුන්වහන්සේගේ ශාසනයේ පැවිදිව හොඳින් සිල් ගුණ පුරමින් සිටියේ ය. එහෙත් ලාභාපේක්‍ෂාවෙන් රහත් භික්‍ෂූන් වහන්සේ නමකගේ සිවුපසය වළක්වාලීය. එම රහතන් වහන්සේට දායක පිරිස සලකනවාට කැමැති වූයේ නැත. එම භික්‍ෂූන් වහන්සේට දුන් කිරිබත් පාත්‍රය ද ද්වේශ සිතින් ගිනි අඟුරෙහි ලා පුළුස්සා දැම්මේ ය. මෙම පාපකාරී ලාමක අකුසලයෙන් අපායෙහි ඉපිද අනන්ත දුක් වින්ඳේ ය. ආත්ම පන්සියයක්ම පිළිවෙළින් යක්‍ෂයෙක්ව උපත ලැබුවේ ය. එම ජාති පන්සියයේම මහත් සා පිපාසයෙන් දුක් වින්දේ ය. එකම දවසක ගැබිමල කා කුස පුරවාගත්තේ ය.

ඉන්පසු තිරිසන් යෝනීයවන පහත් වූ සුනඛ ආත්ම පන්සියයක් උපත ලැබුවේ ය. එහි දී ද දුක් පීඩා වින්දේ ය. වමනය කළ බත් අසුචි කෑවේ ය. මනුලොව ද ඉපිද දුක් වින්දේ ය. අවසාන අත්බවෙහි පිළිසිඳ ගත් දා පටන් ගම්මානය ද පිරිහී ගියේ ය. මෙයට හේතු සොයන ගම්වාසීහු ගැබ්ගත් මව ගමෙන් පිටමන් කළහ. ඇයට ද කිසිම කෙනෙකුගෙන් පිළිසරණක් නොවීය. ආහාර, වස්ත්‍ර, ඉඳුම් හිටුම් නොවී අතිමහත් දුක් වින්දා ය. පසුව දරුවා බිහි කර යමක් ඉල්ලා ඇවිදීමට හැකි වයස තෙක් හදා වඩා කබලක් අතට දී මහ පාරේ අත්හැර දමා ගියා ය. එදා සිට මේ කුඩා දරුවා මහ මඟ ඉඳුල් කමින් දුකසේ හැදුණේ ය. දිනක් සැරියුත් මහරහතන් වහන්සේට මහ මඟ කබලක් ගෙන ඉතා දුක්බරව යන දරුවා දැක මහත් සංවේගයක් ඇතිවිය.

උන්වහන්සේ මේ දරුවා විහාරයට ගෙන ගොස් පැවිදි කළහ. ලෝසක හිමි සමඟ පිණ්ඩපාතයෙහි වැඩියහොත් සැරියුත් මහරහතන් වහන්සේට ද දානය නොලැබෙන්නේ ය. ඒ තරමටම අවාසනාවන්ත විය. රහත්වීමට පවා සසර පිරූ පාරමි දම් බලවත් වූවත්, ඒ පසු පස අකුසල කර්මයද පැමිණියේ ය. දානය පාත්‍රයට පුජා කරන්නට දායක පිරිස පැමිණියද පාත්‍රයේ දන් පිරී තිබෙන බව ඔවුන්ට පෙනී යයි. එබැවින් දන් බෙදීමක් සිදු නොවේ. ඇතැම් විට බෙදුවත් ඒ හැම වියැළී යන්නේ ය. ස්වල්පයක් ම ඉතිරි වන්නේ ය.

පිරිනිවන් පාන දිනතෙක් කුස පිරෙන්න ආහාරයක් නොලැබුණේ ය. ලෝසක හිමියන් පිරිනිවන් පාන දවසේ සැරියුත් මහරහතන් වහන්සේ විසින් තවත් භික්‍ෂුවක අතේ ලෝසක හිමිට දානය එවන ලදී. එම භික්‍ෂුවද අතරමඟ එම දානය වැළැඳුවේ ය. ලෝසක හිමිට නොලැබුණේය. එම කාරණය දැනගත් සැරියුත් මහරහතන් වහන්සේ සංවේගයට පත් වී ප්‍රණීත වූ චතුමධුර පාත්‍රය තමන් වහන්සේගේම අත මත තිබියදීම වළඳවන්නට සැලසූහ.
එදින පමණක් කුස පිරුණේ ය. එදිනම පිරිනිවන් පෑහ. එක් දවසක් කළ පාපකර්මය ආත්ම ගණනක් දුක් විපාක දීමට බලවත් වූයේ බුද්ධාන්තරයක්ම අපමණ දුක් වින්දේ ය.ඔබත් මෙලෙස අකුසල මූලයන්හි දොස් දැක ලාමක අකුසල වලින් මිදෙන්නට උනන්දුවන්න.